තවමත් තොරතුරක් නැති කාන්තා හිසේ අභිරහස


බොල්ගොඩ ගඟ රක්ෂිතයෙන් හමුවූ හිස පරීක්ෂා කරන පොලිස් නිලධාරීන්

 

 

රටේ එකිනෙකට ඉතා දුරබැහැර ස්ථාන දෙකක දී පසුගියදා හමුවූ කබරයෙකු විනාශ කරන්නට ගිය කාන්තා හිසක් හා වැවක පාවෙමින් තිබූ කාන්තා මළ සිරුරක කඳ කොටසක් පොලිස් දෙපාර්තමේන්තුව බැරෑරුම් ප්‍රශ්නයකට මැදිහත් කරනු ලැබ තිබේ. මෙම සිරුරු කොටස් හමුවූයේ නොවැම්බර් 04 වැනිදාය. 


බණ්ඩාරගම, බොල්ගොඩ ගඟ රක්ෂිතයේ තිබී කාන්තා හිසක් පසුගිය 04 වැනිදා උදේ හතට පමණ මුලින්ම දකින්නේ ඒ අවට පදිංචි කාන්තාවකි. කබරයෙකු විසින් ඇදගෙන යන්නට සූදානම් වන යමක් දැක විමසා බැලීමේ දී එය මිනිස් හිසක් බව දැක ඇය පොලිසියට දන්වා තිබිණ. එදිනම සවස හතරට පමණ සෙවණගල, කිරිඉබ්බන්ආර වැවෙහි පාවෙමින් තිබූ හිස හා දෙපා රහිත, කාන්තා සිරුරක කොටසක් සෙවණගල පොලිසිය සොයා ගනු ලැබිණ. ටීෂර්ට් එකක්, හා යට ඇඳුමක් පමණක් සිරුරේ තිබුණ අතර ඇයට අතවරයක් කර ඇති බවට පෙනෙන ලකුණු කිසිවක් මතුපිටින් දක්නට ලැබුණේ  නැත. තවමත් එහි දෙපා හමුවී නැත. 


මෙම සිරුරු කොටස් දෙකම ඩීඑන්ඒ පරීක්ෂණයකට යොමු කළේ ඒවා එකම තැනැත්තෙකුට අයත් ඒවාදැයි නිශ්චිත කරගැනීමටය. එය සාර්ථක විය. ඒවා එකම පුද්ගලයෙකුට අයත් බව තහවුරු විය. දැන් ගැටලුව තිබෙන්නේ ඇය කවුද යන්න ගැනය. 


හමුවූ සිරුරු කොටස්වල වර්ණය හා හැඩය අනුව ඇය විදේශීය කාන්තාවක් විය හැකි බවට ද පොලිසියට සැක මතු විය. සෑම පොලිස් ස්ථානයකටම දැනුම් දී අතුරුදන් කාන්තාවන් පිළිබඳ තොරතුරු රැස්කිරීමට පරීක්ෂණ මෙහෙයවන බණ්ඩාරගම පොලිසිය හා පානදුර කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකය කටයුතු කළේය. ඒ අනුව පැමිණිලි කීපයක් වාර්තා විය. එකක් ගාල්ලෙනි. ඒ මලයාසියානු තානාපති කාර්යාලය මගින් සංචාරක පොලිසිය හරහා ලැබුණකි. ඒ අතුරුදන් බව කියන මලයාසියානු ජාතික සිය මව වෙනුවෙන් දියණියන් දෙදෙනා යොමු කළ පැමිණිල්ලකි. ඇය සිය විවාහක සැමියා සමග ගාල්ල ප්‍රදේශයේ පදිංචිව සිට ඇති අතර එම පුද්ගලයා මේ වන විට මුදල් වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව රිමාන්ඩ් භාරයේ පසුවේ. පොලිසිය ඒ සම්බන්ධයෙන් කරන ලද පරික්ෂණවල දී ඇය ජීවතුන් අතර සිටින බවටද තහවුරු වී ඇත. 


අනෙක් පැමිණිල්ල මොරොන්තුඩුව පොලිසියට ලැබුණකි. එ් පැමිණිල්ල ගැන අවධානය යොමු වුණේ අතුරුදන් කාන්තාවගේ පියා වන ජානක දිලිප් කුමාර යන අය පොලිසියට කරන ලද ප්‍රකාශයක් අනුවය. ඔහු පවසා තිබුණේ මෙම කාන්තා හිස තම දියණියගේ බවට තමන් සැක කරන බවය. සිය බිරිඳ අතුරුදන් වූ බවට ඇගේ සැමියා ද මොරොන්තුඩුව පොලිසියට පැමිණිල්ලක් කර ඇති බව පසුව සොයා ගන්නා ලදී. 


19 හැවිරිදි අයේෂා කල්හාරි වන ඇය මොරොන්තුඩුව තරුණසේවා මාවතේ පදිංචිව සිටි තැනැත්තියකි. ඇය හා සැමියා අතර පෙර දින යම් අමනාපයක් ගොඩනැගී තිබුණ බවට පොලිසියට වාර්තා වී ඇත. කෙසේ වුවද ඇය ඔක්තෝබර් 27 වැනිදා සැමියා හා නැන්දම්මා සමග වෛද්‍යවරයෙකු හමුවීමට ගොස් තිබිණ. 


ඒ ඇය ගැබ්ගෙන තිබේදැයි දැන ගැනීමටය. එහෙත් එවැනි දෙයක් නැති බව වෛද්‍යවරයා තහවුරු කර ඇත. ඇය ආපසු නිවසට යමින් සිටින අතරතුර පැමිණි ත්‍රිරෝද රථය අතරමග නවතා බැසගොස් තිබේ. වෙළෙඳ සැලකට ගොස් ආය කටුවක් ඉල්ලා ගෙන තිබේ. ඒ කැඩුණු සෙරෙප්පුව හදන්න කියාය. ඒ වෙළෙඳසැලේ හිමිකරු හා සේවකයින් ගෙන් පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. එසේම ඇගේ දෙමාපියන් වාසය කරන දෙයියන්දර කැටියපේ නිවසට ද ඇය ගොස් නැති බව තහවුරු කරගෙන තිබේ. ඒ හැර මේ දක්වා ඇය ගැන වැදගත් තොරතුරක් දැනගන්නට ලැබී නැත. 


පියා කරන ලද ප්‍රකාශය අනුව ඔහුගේ ඩීඑන්ඒ පරීක්ෂණයක් සිදුකිරීමට පසුගිය 28 වැනිදා ඔහුව පානදුර මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය ඩී.එස්.කේ. කරුණානායක මහත්මිය වෙත යොමු කර තිබේ. එහි වාර්තා තවම ලැබී නැත. පියාගේ ඩීඑන්ඒ වාර්තා මළ සිරුරු කොටස්වල ඩීඑන්ඒ වාර්තා හා සැසඳුනහොත් ඝාතකයා ගැන සොයා බැලීමට ඇගේ දුරකථන දත්ත, ඇගේ සැමියාගේ හා මවගේ දුරකථන දත්ත වාර්තා සමග ඉදිරි පරීක්ෂණ සිදුකිරීමට බලාපොරොත්තු වේ. 


එහෙත් පොලිසියේ අදහස වී තිබෙන්නේ මෙය විදේශීය කාන්තාවකගේ නැතහොත් මෙරට පදිංචි බර්ගර් හෝ මැලේ ජාතික කාන්තාවකගේ සිරුරක් විය හැකි බවය. එහෙත් තවම එවැනි කාන්තාවක අතුරුදන්වීම ගැන පැමිණිලි කිසිවක් ගැන වාර්තා වී නැති බව පොලිසිය පවසයි. සිරුරු කොටස් හමුවී මාසයක් ගතවී තිබේ. එසේ තිබිය දී තවමත් අතුරුදන් තැනැත්තියක ගැන තොරතුරක් වාර්තා නොවීම පොලිසිය අපහසුතාවට ලක් කර ඇත. 


මේ සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂණවල දී මෙම ඝාතනය සිදුකළේ සෙවණගලදී ද නැත්නම් බණ්ඩාරගම දී ද යන ප්‍රශ්නයත් පොලිසියට සොයාගැනීමට සිදුව තිබේ. එයද ඝාතකයා සොයා ගැනීමට ඉවහල් වනු ඇත. ඝාතකයා හෝ එයට සහය දැක්වූවන් සොයා ගැනීමෙන් ද මරණකාරිය සොයා ගැනීමට ඉඩ කඩ සැලසෙන්නට ඉඩ තිබේ. මේ සිරුරු කොටස් හමුවූ දිනයට ආසන්න පෙර දින රාත්‍රියේ හෝ දින කීපයක් ඇතුළත කාලය තුළ මේ ස්ථානවල සැකකටයුතු ලෙස සැරිසැරූ පුද්ගලයන්, වාහන ආදිය පිළිබඳ තොරතුරු, ආරක්ෂක කැමරා දර්ශන මගින් තහවුරු කරගත හැකිය. 


දැන් පොලිසියට ලෙහා ගැනීමට ප්‍රශ්න රැසක් ඉතිරි කර තිබේ. ඇයි මේ සිරුරු කොටස් විනාශ නොකර මේ ආකාරයට තැන් දෙකකට දැම්මේ? එහි හිස සෙවණගල වැනි ප්‍රදේශයක සිට දුරුකතර ගෙවාගෙන බණ්ඩාරගම තෙක් ගෙන ආවේ ඇයි? ගඟ රක්ෂිතය ආසන්නයේ මිනිසුන් වාසය කරද්දී ඔවුන්ට නොදැනෙන්නට හිස කොටස මෙහි දමා යන්නට ඝාතකයා මේ ප්‍රදේශය ගැන දැන සිටියේද? ඝාතනයට ලක්වූ කාන්තාව සෙවණගල ප්‍රදේශයේ අයෙක් නොවේ නම් ඇයි මේ ඝාතකයා ඇයව එහි ගෙන ආවේ. ඝාතකයාට සෙවණගලට හෝ බණ්ඩාරගමට හෝ ඇති සම්බන්ධය කුමක්ද? 


මේ සියලු ප්‍රශ්නවලට පිළිතුරු සොයමින් මේ වන විට බණ්ඩාරගම පොලිසියත්, පානදුර කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකයත් පරීක්ෂණ සිදුකරමින් සිටී. පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලක්සිරි විජේසේන, සහකාර පොලිස් අධිකාරි සුසිල් විජේගුණවර්ධන, බණ්ඩාරගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.ඩබ්. වික්‍රමරත්න, අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ.ජේ.එන්. ද සිල්වා, සැරයන්වරුන් වන 27061 අනුර, 9642 පෙරේරා, පොලිස් කොස්තාපල් 56678 ගාමිණි මහතා ඇතුළු පොලිස් නිලධාරින් කණ්ඩායමක් ද වැඩිදුර පරීක්ෂණ සිදුකරති.

 

 

මුදිතා දයානන්ද සමග 
බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ

 


නාඳුනන මළ සිරුරක කොටස් සොයාගත් විට එහි හිමිකරු සොයාගන්නේ මෙහෙමයි

අධිකරණ වෛද්‍ය විශේෂඥ මහාචාර්ය සරත්චන්ද්‍ර කොඩිකාර 

මුලින්ම මේ සිරුරු කොටස් සියල්ල එක් අයෙකුගේදැයි දැනගැනීමට ඒවායේ ඩීඑන්ඒ පරීක්ෂණයක් සිදුකළ යුතුයි. ලැබී තිබෙන සිරුරු කොටස් හොඳින් පරීක්ෂා කර බාහිර ලක්ෂණ විමසා බැලීම වැදගත් වෙනවා. විශේෂයෙන්ම තුවාල කැළැල්, ශල්‍යකර්ම සිදුකළ ඒවායේ කැළැල්, ලප, ඉන්නන් වැනි විශේෂ ගැටිති, ටැටූ (පච්ච) වැනි දේවල් සිරුර මතුපිට තිබේ නම් ඒවා ඡායාරූප ගත කර තබාගත යුතුයි. දත් නිය ආදියේ වෙනස්කම් හොඳින් නිරීක්ෂණය කර ඒවායේ ද ඡායාරූප ලබාගැනීම වැදගත් වෙනවා. ඉන්පසුව එහි හිස් කබලේ, දත්වල, අස්ථි පද්ධතියේ ආදී ලෙස ශරීරයේ අභ්‍යන්තර කොටස්වල එක්ස්රේ පිටපත් ලබාගැනීම වැදගත්. අනතුරුව අතුරුදන් පුද්ග     ලයින් පිළිබඳ වාර්තාවක් ලබාගෙන ඒ අයගේ ළඟම ඥාතීන් මගින් සිරුරේ බාහිර විශේෂ ලක්ෂණ පෙර කී ආකාරයේ ලප හෝ වෙනත් කැළැල් ගැන විමසා දැන ගැනීම අවශ්‍ය වෙනවා. 


 ඒ වගේම ඔවුන්ගේ පවුලේ ඥාතීන්ගේ ඩීඑන්ඒ පරීක්ෂණයක් සිදුකර ඒවා සොයාගත් සිරුරු කොටස්වල ඩීඑන්ඒ වාර්තාව සමග සැසඳේදැයි බැලිය හැකිය. එවැනි පරීක්ෂණයකට අවස්ථාවක් නොමැති අවස්ථාවක අතුරුදන් තැනැත්තාගේ වෛද්‍ය වාර්තා, දත් පිළිබඳ එක්ස්රේ ඡායාරූප හා වෙනත් වාර්තා ලබාගෙන ඒවා මේ සිරුරේ වාර්තා සමග සසඳා බැලිය යුතුය. ඊට අමතරව අතුරුදන් පුද්ගලයාගේ ඡායාරූපයක් වේ නම් එය හා ලැබී තිබෙන හිස්කබලේ ඡායාරූපයක් එකිනෙක මත පරිගණක මගින් සසඳා බැලීමෙන් ද එය අදාළ තැනැත්තාගේම දැයි නිශ්චිත කරගත හැකිය.