තමන් බැඳපු ගිනිකඳකට බිලි වූ ආර්ලිස්


ජිවිතය යහ මගට ගැනීමට නිවැරැදි මග පෙන්වීමක් ඇවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.  

අංගොඩ, කුඩා බුත්ගමුව එම්.ඒ. ජයසිරි මහතා ලියා එවු කතාවක් මෙසේය.  

අනුනට කළ කී දේ තමන්ටම පලදෙයි


පැහැපත් පෙනුමෙන් යුක්තවූ කාන්තාවක වන කුසුමා (අන්වර්ථ නාමයකි) දුර්ගුණ ප්‍රකට කළ තැනැත්තියකි. රෝගා බාධ වැලඳී නිසි ලෙස ඇවිද යා නොහැකි අය හට පවා සරදම් කිරීමට තරම් අකාරුණික සිතක් ඇය සතුව පැවති අතර, අනුන් බේද කරලීමටද කුසුමා පුරුදුව සිටියාය. ඒ බොරු කේළාම් කීම මගිනි. එහි ප්‍රතිඵලයක් වශයෙන් අසමගිකම් ඇතිවී ඔවුනොවුන් දොස් පවරා ගන්නා විට එදෙස බලා සතුටුවීම ඇයගේ සිරිතවීය.  


ඇතැමුන් කුසුමා හට ඒ පිළිබඳව දොස් නැඟු අවස්ථාද දක්නට ලැබිණ. ඉන් මදක් සසල වූ ඇය ටික කලක් නිහඬව සිටියාය. පසුව රූපලාවණ්‍ය කටයුතු කෙරෙහි ඇලුම් කළාය. ඒ අනුව තම රූප සොබාව වර්ධනය කර ගැනීමේ උත්සාහයක නිරත වූ අතර ඒ සඳහා අධික ලෙස මුදල් වැය කිරිමටද පසු බට නොවුවාය.  
එමගින් නවක මිතුරියන් ඇසුරු කිරීමටද කුසුමාහට අවකාශ සැළසුණි ඔවුන් කුසුමා සොයා නිවසට පැමිණීමට උනන්දු වූ අතර ඔවුන් සතුටින් පිළිගෙන ආහාර පාන දියෙන් නොමදව සංග්‍රහ කිරීමට ඇයද සැදී පැහැදී සිටියාය. එනමුදු තම සැමියාගේ මව් පියන් කෙරෙහි ඇය අනුගමනය කළේ ඊට වෙනස් පිළිවෙතකි.  
එකී මව්පිය දෙපළද එම නිවසෙහිම වාසය කළ අතර ඔවුන්ගේ අවශ්‍යතා සොයා බලා ඉටු කිරීමේ කටයුතු පුතු වන සැමියා විසින් සිදු කරනු ලැබිණ. එහෙත් කුසුමා ඊට සහය දීමෙන් පවා බොහෝ දුරට වැළකී සිටියාය.  


මව්පියන් හමුවී කතා බහ කරනු පිණිස ඇතැමුන් පැමිණීමද ඇයට ඉවසුම් නොදෙන කරුණක්ව පැවතිණ.  
මව් පිය දෙපළ නොපමාවම නිවසින් ඉවතට යැවීම කුසුමාගේ අභිප්‍රාය වී තිබූ අතර ඒ ගැන තම සැමියා සමඟ මතබේද ඇති කර ගත්තාය. ලේලිය සමග තව දුරටත් එහි රැදී සිටීමට අකමැති වූ මව්පියෝ පවුලේ සමගිය පතා වෙනත් දියණියක වෙත ගියහ. ඒ දුක වාවනු බැරිව පුතුද එනම් සැමියා හදිසියේ රෝගාතුරව දින කිහිපයක් තුළදී මියගියේ අකාරුණික බිරිඳ​ අමානුෂික ක්‍රියා කලාපය ලොවටම පෙන්වමිනි.  


මෙම අවසානාවන්ත සිදුවීමෙන් කලකට පසුව කුසුමා මිතුරියන් කිහිපදෙනෙකු සමග වන්දනා ගමනක නිරත වුවාය.  
අති පූජනීය සිදධස්ථානයක් ද ඊට ඇතුළත් වූ අතර එහි එක් පසෙක නෙළා තිබූ රූපයක්ද විය. ඊට උපහාසාත්මක සිනාවක් පෑ කුසුමා මිතුරියකට යමක් පැවසුවේ. එහි ගෞරවය පිළිබඳවද නොතකා හරිමිනි.  


පසුව ඉන් නික්ම යාමට සැරසුණ ඇය සඳහා පියවර කිහිපයක් ඉදිරියට තැබුවා පමණි. සිරුර අප්‍රාණිකව කුසුමා පසෙකට ඇලවුණු අතර, මිතුරියක විසින් ඇය බිම ඇද වැටීමෙන් වළක්වා ගනු ලැබුවේ මහත් අසීරුවෙනි. වන්දනා ගමනද ඒ සමගම නිමා විය. කුසුමා යළි තම නිවෙසවෙත පැමිණියේ අංශභාග රෝගය වැළදුණ තැනැත්තියක වශයෙනි.  
​දේශීය හා බටහිර වෛද්‍ය ප්‍රතිකාර කලද විශාල ලෙස මුදල් වැය කලද ආර්ථික දුෂ්කරතා ඇති වුවා මිස පළක් නොවිණ වෙනදා මෙන් මිතුරියන් ද දක්නට නොවිය.  
සාත්තු කිරීමට හා තනි නොතනියට සිටියේ රැකියාවක නියුතු එකම දියණිය පමණි.   
මෙලෙස කාලයක් ගතවූ අතර වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම පිණිස කුසුමා එදිනද තම දියණිය සමඟ නගරය වෙත ගියාය. ඒ අවස්ථාවේ මහා වර්ෂාවක් ඇද හැළෙන්නට වුයේ දැඩි සුළඟක්ද සමගිනි.  


ගතවූ​යේ ටික වේලාවකි. ගෙමිදුලෙහි තිබූ දැවැන්ත කොස් ගසක් මුලින් ඉදිරි අවුත් නිවෙසේ වහළය මත පතිත වූයේ මහා හඬක් නඟමිනි. ඉන් නිවෙසට මහත් හානි සිදු වුයෙන්, කුසුමා වඩාත් අසරණ වුවාය. කිසිවක් කරකියා ගත නොහැකිව ඇය තම දියණියද සමග කුලි නිවසක පදිංචියට ගියාය.  
ඇතැම් විට සිහි මඳ ගතියෙන් පෙළෙන කුසුමා තමන් විසින් අනුනට කළ කීදෑ පිලිබඳව දොඩමලු වන අතර, දියණියගේ රැකවරණය යටතේ දුකසේ කල් ගෙවන්නීය.  
ආබාධිත වුවනට සරදම් කිරීම බොරු කේලාම් කියා අනුන් බේද කිරීම අහිංසක මව්පිය යුවළකට උන් හිටි තැන් අහිමි කිරිම ආදී වශයෙන් සිදු කළ පාප කර්ම වල දුක් විපාක කුසුමා හට ඒ අයුරින්ම අත් විදීමට ලැබීමෙන් පෙනි යන්නේ කළ කම් මෙලොවදීම පලදීමේ ධර්මතාව කිසි කලෙකත් බොරු නොවන බවය.  



කොටපොල ජිනදාස ආරියගේ මහතා ලියා එවූ කතාවක් මෙසේයතිරිසන්

වෙස් ගත් මිනිසුන්ට ගිනිපත්තු වූ හැටි


පිත්තල, බොත්තම්, රන්පදක්කම් එක දිගට ඇමුණු කළු කෝට් බෑයෙන් උඩු කය වසා බටු ගෙඩියක් තරම් කොණ්ඩය බැද නැමි පනාව හිසේ ගසා ඉදිරියට නෙරාගිය තඩි බඩ සොලවමින් උඩු රැවුළ අඹරමින් බස්තම බිම අනිමින්, ගරු ගාම්භීරව ගමන් කරන ගම්මුලාදෑනියා හෙවත් ආරච්චි උන්නාන්සේ කෙරෙහි යටත් වැසියන් දක්වන්නේ භය මුසු පක්ෂපාතිත්වයකි.  


මහ මගදී හමුවන කවරෙකු වුවද හිසේ සුම්බරය කරේ සාළුව අතට ගෙන කාණුවට බැස දෙකට නැමී ආචාර කර මග ඉඩදීම අනිවාර්යයෙන් කළ යුතුය. එසේ නොකළහොත් දැඩි දඩුවම් විඳීමට සිදුවන බව ගම්වාසී සියලු දෙනා හොදින් දනිති. එතුමාගේ එකම පුතණුවන් වන පොඩි රාලහාමිගේද ගම්භීරත්වය ඊට නොදෙවැනිය.  
ගම්භීරත්වයට වඩා පාපතර පාදඩයෙකු බව ගම්වාසින් හොදින් දනි. එහෙත් ඔහුගේ අවලම් ක්‍රියා කලාපයට අබමල් රොනක තරමේ විරෝධය පෑමට සමතෙකු ඔවුන් අතර සිටියේ නැත.  


හිරිමල් වියේ නාඹර ගැටිස්සියක් ඔහුගෙන් ගැළවී සිටියානම් ගමෙන් පිටවගිය එකියක් පමණි. ගැටිස්සියක්, පමණක් නොව දරුවන් වැදු අම්මණ්ඩිලාද ඔහුගේ බහට අවනත විය යුතුය එසේ නොවී විරෝධය පැවොත් වන්දිගෙවීමට සිදුවන්නේ ඇයට පමණක් නොවේ. ඇගේ සැමියාද ඊට වග කිව යුතුය අැතැම් මව්පියන් සිය දියණිවරුන් ඈත පෙදෙසක නෑදෑ ගෙදරක නතර කිරීම හෝ පිට පළාතක රැකියාවකට යැවීම හෝ සිදුකරන්නේ පොඩිරාලහාමිගේ තරම හොදින් වටහාගෙන ඇති නිසාය.  
තෙපානිස්, කිරිඩිංගා, පින්තුවා පොඩිරාලහාමිගේ ගජ මිතුරෝය. පොඩිරාලහාමිගෙන් ඉල්ලීමක් හෝ අණකිරීමක් සිදුවුවහොත් වාර මුඛයට පැනීමට වුවද ඔවුන් පසුබට නොවේ දඩයම් කිරීමේදී සහ රා මුට්ටි හිස් කිරීමේ දී සහායට එන්නවුන් අතර මොවුහු මුල් තැන සිටිති.  


කිතුලක පැහෙන රා කළයක් දුටු විට එහි හිමිකරු කව්දැයි සොයා බැලීමට ඔවුනට අවශ්‍ය නැත. පොඩිරාලහාමිගේ මුවින් ම්හූ..... ම්හූ ශබ්දය පිටවීමත් බෙල්ල ඇළකර ඇස් ලොකුකර ගස උඩ බැලීමත් කළ යුතු කාරියට ලැබෙන අණ බව ගෝල බාලයෝ දනිති එසැණින් ගසට නගින්නේ පින්තුවාය.  
පොඩිරාලහාමි පෙරටුකරගෙන ගමවටා ඇවිදින විට කිරිඩිංගාගේ සහ තෙපානිස්ගේ උර මත ගිනිබට වරදින්නේ නැත. ඒවාට බලපත්‍ර ඇද්දැයි සොයා බැලීමට ඒජන්ත උන්නාන්සේවත් පියවර ගත්තේ නැත. පොඩිරාලහාමිගේ අතේ ලෙළදෙන මුවහත් කඩුවකි.  


ගම්මානයටත් වන රොදටත් මායිම්ව අතුපතර විහිඳා නැගී සිටින රූස්ස ගස් මුදුනේ කුඩූ තනා ජීවත් වන බටගොයි රෑන් වෙඩිතබා බිම හෙලීම ඔවුන්ගේ විනෝදාංශයයි එක පතරොමකින් බටගොයි දහ පහළොස් දෙනෙකු බිම හෙලීම තෙපානිස් අති දක්සයෙකි. රාමුට්ටියද රැගෙන ගොස් එදා ඔවුන් නතරවූයේ වෙල්යාය යාබඳ වන වදුල අසලය.  
රා පුරවා පොල්කටුව අතට ගත් පොඩිරාලහාමි එය එක හුස්මට ඇද බා කාරා කෙළ ගසා කිරිඩිංගා දෙස ඇස් ලොකුකර බැලුවේය.  
එසේ බලන්නේ විශේෂ යමක් ප්‍රකාශ කිරීමට හෝ අණක් දීමට බව කිරිඩිංගා පුරුද්දෙන් දනී කිරියෝ හැමදාම බටගොයි මස් හපන්න බැ බොල අදවෙන අතක් බලමු. කවුරුත් වෙන වෙනම කල්පනවාට වැටුණි.   


හරි මම කියන්නම් මොහොතකින් පින්තුවා හඬ අවදි කළේය.  


‘‘කියපිය යකෝ කියපිය’’ ඒ වෙරි මර ගාතේ වැනෙන පොඩි රාලහාමිගේ හඬයි. ඒ අර තෙපා ගුරාගෙ ගාලෙ සුදු වහු පැටියයි මහ වැස්සියි. මොකොද කියන්නේ? හරි යකෝ හරි පැටිය ඇදගෙන වර ‘‘ගුරා හරස් කපයිද? ‘‘ඌ කොහේද මේ පොඩි රාලහාමිට කටක් හොල්ලන්නේ’’ එකෙණෙහිම කිරිඩිංගා පිටත් වුයේ දුම්මල වරමෙන් ආවේශ වුවෙකු මෙනි.  
වෙඩිල්ලක් මෙන් පිම්මේ දිවගිය කිරිඩිංගා ගාලේ දොර ඇර මව් දෙනගේ බුරුල්ලේ එල්ලී කිරි උරමින් සිටි සුරතල් වසු පැටි ඇදගෙන විත් ගසක බැන්දේය.  
තෙපාගුණ ගල්ගැසී හිටිවනම බලාසිටියා මිස කට සෙලවුයේ නැත. විරෝධයක් දැක්වූවානම් අත්වන ඉරණම තෙපාගුරු දැන සිටියේය.  
කඳුළු පිරුණු දෙනෙත් දල්වා මඳ වෙලාවක් හිටිවනම සිටි ඔහු ඇස් අන්ධකාරවන්නාක් මෙන් දැනී එතනම ඉඳගත්තේය.  
පතුල පෙනෙන නොපෙනෙන තරමට රා හැළිය අවසානය. තිදෙනාම පදමට පදම් වී ඇත. තවවරක් කාරා කෙළ ගැසු පොඩි රාලහාමි සිනා සී කඩුව අතට ගත්තේය. වෙරදරා දෑතින් කඩුව ඔසවා ගැසු එක පහරින්ම වසු පැටියාගේ හිස කඳින් වෙන් වී බිම පතිත විය එකණෙහිම කෑ ගසමින් පිම්මේ දිව ආවේ ගාලේ තනි වූ එළදෙනයි. ‘‘තියපිය යකෝ ඔකිටත්’’ පොඩි රාලහාමි මොර දුන්නේය.  


වෙරිමර ගාතේ සිටි පින්තුවාගේ අතවූ තුවක්කුවේ කොකා කලබලයෙන් ගැස්සුණි උණ්ඩය වැදුණේ එළදෙනට නොවේ වැනි වැනී ඉදිරියට ආ පොඩි රාලහාමිගේ හිසටය. ‘‘බුදු අම්මෝයි’’ කෑ දෙමින් පොඩිරාලහාමි කපා හෙලු ගසක් මෙන් බිම පතිත විය.  
මොකක්ද යකෝ කළේ යැයි බෙරිහන් දුන් කිරිඩිංගාගේ තුවක්කුවෙන්ද වෙඩිල්ලක් පිට විය. එහි ඉලක්කය වී තිබුණෙ පින්තුවාගේ පපුවය. ඇයි කිරිඩිංගෝ මෙහෙම කළේ පොඩිරාලහාමිට වැදුණේ වැරදීමෙන් කී පින්තුවා මඳක් වෙවුලා බිම ඇදවැටී ඇස් පියා ගත්තේය. තිරිසන් වෙස් ගත් මිනිසුන්ට අහිංසක තිරිසනුන් ඝාතනය කිරීමේ පාපය එවේලේම පළදුන්නේ එසේය.

 



උහුමීය ගුණතිලක මැටිගනේ මහතා ලියා ඒවු කතාවක් මෙසේය.  

තමන් බැඳපු ගිනිකඳකට බිලි වූ ආර්ලිස්  


ගින්නේරි කන්දේ මිහිරි සුවදැති මල් පිපේවා. යි හෙළයේ මහා කවි ජී.බී. අල්විස් පෙරේරාණන් කොළඹ කොල්ලුපිටියේ නොව, මෙගොඩ ඕතර කෝරළයේ පිහිටි තම ගම්බද නිවහනේ පෑලදොර පැත්තේ තබාගත් පුටුවක හිඳ ඈගලුඔයට එපිටින් පැතිර ගිය කඳුවැටිය දෙස බලා කවිපද ගෙතුවේ සිරිලක් මෑණියන්දෑගේ පින්සාර භාවය වර්ණනා කරන්නට වුවත් ආර්ලිස් වැනි සත්ව මාංශ ලෝලීන්ට නම් එය අගනා දඩබිමක් වුයේය.  


සොරාට ගණදෙවි නුවණ ඇතැයි කියනු ලැබේ. එමෙන්ම දඩ වැද්දාට සතා සිවුපාවා ගැවසෙන තැන් හඳුනාගන්නට ඉව තිබේ. කර්මානුරූපව ඔවුනට ඒ සුවිශේෂී නිල ශාස්ත්‍රය දායාද වී ඇත්තේ තව තවත් පවුකම් සම්පුර්ණ කොට ගෙන අවීචි මහා නරකයේ ජනගහනය වැඩි කර ලන්නට විය හැකිය. සතා සරුපයාගේ ගමන් මාර්ගය මේ වේයැයි කියන්නට උහු දනිති. අසුවල් වේලාවට තනි ඌරා ගැවසෙන්නේ අසුවල් ඉසව්වේ යයි කියන්නට දනිති.  


ආර්ලිස් බේත් කොටන තුවක්කු කඳන් බැදීමේ දක්‍ෂයෙකි. මෝරෝප් කම්බියෙන් මදු ගැසීමෙහි හපනෙකි. සත්ව මාංශ ලේ රසට තෘෂ්ණාවෙන් බැදි පිරිසකට ආර්ලිස් ඉටු දෙවියෙකි. ඔවුන් අතර ආණ්ඩු​වේ නිලමඃකාරයෝ ද වුවෝය. ඔවුන්ගේ බුරුල හා අනුග්‍රහය ඔස්සේ ආර්ලිස් තම රස තෘෂ්ණාවද පිනවාගෙන යහමින් මුදල්ද උපයාගත්තේය.  
මේ කඳු බෑවුමේ එක් පසෙක හපුමල් බංඩාර දේවතා උන්නාස්සේත් වැඩ සිටියද උන්නාන්සේ ද දවසින් දවස මස් වැද්දන්ට බිලිවන අසරණ සතුන් දෙස දිවැස් බලා නොවැදැරුවත්, මනසා චේ පදුට්ඨෙන, භාසතිවා කරොති වා කතොනං දුක්ඛ මංවෙති ඡායාව අන පායිනි යන ධම්මපද පාඨය ප්‍රකාරව ආර්ලිස් සහ සමාගමට ද කළකම් ඵල දෙන ඊශ්වර විංසතිය උදාවන්නට විය.  


කලක් මේ කොම්පැනියේ පෙරමුණේ රාල කෙනෙකු වූ අමරපාල හකු පිළිකාවකින් ගිලන්ව හිට හිමිදිරියේ අමාරුවෙන් අඹ ගසකට නැග වයර් මාලයක් ගෙල වටලාගෙන අත්තකින් පහළට රීටුවේය. දරුමේගේ ඉලක්කයට නැවතීමේ තිත තබන්නට ලොකු ගොරොක් ගෙඩියකට හැකියාව ලැබිණි. සතුන් හුළුගෑම, පෙරන්ගෑම, කුට්ටි කිරීම ආදී අත් වැඩ පරවැඩවලට දක්‍ෂයෙකු වූ සින්තෝනාට ද ඇස් අන්ධව ගියෙන් අත පත ගා ගොස් අඹ ගසකට නැග තොන්ඩුව දමා ගන්නට විඥානය විසින් මග පෙන්වන ලදී (ඔහුට ඒ සඳහා කණවැල ඇල්ලුයේ මාරයාය)  


ළාවට වැහි පොදක් වැටී පායන හද රබාන මත තුරුපත් හෙවනැලි අදින හැන්දැව සතා සීපාවාට පෙං කෙළින්නට ප්‍රයෝගකාරී ගොම්මනක් බව ආර්ලිස්ට අමුතුවෙන් උගන්වන්නට දෙයක් නැත. ගිනි කඳත් මරුවැලක් අතට ගත් ආර්ලිස් තම අනුමාන අද්දැකීම පොබයා මරුපොළ සිතින් සනිටුහන් කැර ගත්තේය. ඒ තනි ඌරා ගල් රැන්දක හිඩැසින් ඔය දිහාට පාත්වන දඩ ඉමකි.  


තනි ඌරාට කද බැදීම බොහොම සුක්‍ෂ්මව කළ යුත්තකි. ඔහු ඌරාගේ උස අගලට දනී. ඇලපතටත් ග්‍රීව මාංශ කුට්ටියත් අතර මරු නිලය හඳුනයි. ඉන් පිට වෙන අහකට ඉලක්කය වැදුණොත් සතා ගිහින් වැටෙන්නේ් තලවත්තේගෙදර දිහාවට විය හැකිය.  


බොහොම සීරු මාරුවට ඇටවුම සකස් කළ ආර්ලිස් වැඩේ ඉලක්කයටම ගස්සා දෙන්නැයි හපුමල් බංඩාර දේවාලය දෙසට හැරී තුන්වරක් වැඳ වැටුණේය. සාක්කියට කොළ අත්තක්ද කඩා එල්ලුවේය. වෙනදාට ගන්නා හීන් අඩිය ඉක්මවා මහත අඩියක් ද ගැසුවේය. ගෙදර විත් උම්බලකඩ කැල්ලක්ද රතු ලුණු ගෙඩියක්ද තලාගෙන කට ගැස්මක් ද හදා ගත්තේය.  


ඉස්තොප්පු කැල්ලේ ලණු ඇදේ දිගා වූ ඔහුට පෙනි පෙනී නොපෙනී යන්නට වුයේ තනි ඌරාගේ සම්ප්‍රාප්තියයි.  


දළ සහිත තනි ඌරා පිට සොහොන් යකා නැගි සිටිතැයි විශ්වාසයක් පවති. තනි ඌරා රැලෙන් වෙන්ව ඒක චාරිව හැසිරෙන්නේ තම පිට මත නැග සිටින යක්‍ෂයා ඊරියන්ගේ කිල්ලෙන් බේරා තබා ගැනිමට යයි උපකල්පනය කරත හැකිය.  


මේ අතර ඊට මදක් එපිටින් වූ සොහොන් පිටිය පැත්තෙන් වෙඩි හඬක් නිකුත් විය. ආර්ලිස්ව එය කනේ මී බිදු වැටුණාක් වැනි ශුභාරංචියකි. ඌරු මතින් නින්දත් නොනින්දත් අතර එකල වෙමින් සිටි ආර්ලිස්ට ඒ වෙඩිහඬ විමුක්තිකාමීන් විසින් ද්‍රෝහියකැයි හංවඩු ගසා යමෙකුට තැබූ වෙල්ලකැයි දැනුම්වත් වීමක් තිබුණි නම් ඌරෙකු තබා ගෝනෙකු වැටී ඇතැයි කිව්වත් අම්මේ මුත්තේ කිව්වත් ඔහු නොවේ එයින් එළියට බසින්නේ. එහෙත් දිට්ඨධම්ම වේදනීය කර්මය පටිසන් දෙන විට එයට ලෞකික කරුණු කාරණා වැදගත් වන්නේ නැත. ඒ මහාර්ඝ කර්ම ඵල බලවේගය විසින් ආර්ලිස්ට තමාම ඇට වූ තුවක්කු කදේ මරුවැල පයට පැටලෙන්නට අපුරුවට පාර පෙන්වන ලදී.   


හෙණ ගහන්නැහේ වන ශබ්දය මැද්දෙන් නැගුණු වෙඩිහඩ අතරේ ආර්ලිස් ගේ මර ළතෝනියට ඒ තරම් වටිනාකමක් ​දෙන්නට කිසිවෙකුත් ඉදිරිපත් නොවුයේ අහිංසක වන සතුනට මිනිසා කෙරෙන් එල්ල වන භීෂණයත් මිනිසාට මිනිසා වෙතින්ම එල්ල වූ භීෂණයත් මැද කවුරු කවුරුත් තම පණ කෙන්ද ආරක්‍ෂා කර ගන්නට වග බලාගත් බැවිනි. ඒ හේතුව කරණකොට ගෙනම ආර්ලිස්ටත් සැතපෙනු පිණිස යන්නට සිදු වුයේ ද ඒ කැරකෝප්පුවටමය.

 


මෙබදු කතා ඔබත් දන්නේ නම් ඒවා ඉරිදා ලංකාදීපයට යොමු කරන්න.

සකස් කළේ
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්