ණයට ගත් මුදලින් ඇරඹූ ලොව ලොකුම ඖෂධ සමාගම


ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි

 

 

‘‘ෆයිසර්’’ යනු ඖෂධ නිෂ්පාදන ක්‍රියාවලියේදී ලොව අංක එකේ සමාගමකි. ෆෝර්බ්ස් ඇතුළු ව්‍යාපාරික වාර්තා සඳහන් කරන පරිදි වත්මනෙහි, ඖෂධ නිෂ්පාදන ක්‍රියාවලියේ යෙදීසිටින සමාගම් අතර අංක 1 ට පත්ව ඇත්තේ මෙම ෆයිසර් (Pfizar) සමාගමය. 2019 වන විට ඔවුන්ගේ සම්පූර්ණ වත්කම් ප්‍රමාණය ලෙස සඳහන් වුයේ ඩොලර් බිලියන 167.489 ක පමණ අතිවිශාල ධනයකි. බටහිර වෛද්‍ය විද්‍යාව හා ගහට පොත්ත මෙන් බැඳී ලෝකයට ඖෂධ නිපදවන මේ ෆයිසර්ලා කවුද? කොහොමද එයාලා නැගී සිටියේ? ප්‍රකට සමාගම් ලොව දිනූ විශේෂාංගයට අද අප විස්තර කරන්නේ මේ ෆයිසර් (Pfizar) සමාගමේ කතාවයි.   


කාස් ගුස්ටෆ් ෆයිසර් 

 
මේ ෆයිසර් බටහිර ඖෂධ නිෂ්පාදන සමාගමට ඇත්තේ වසර එකසිය පනහකට වැඩි ඉතිහාසයකි. එම ගමන ආරම්භ කළ මහා චරිතය වූයේ කාල් ගුස්ටෆ් ෆයිසර්ය. එහෙත් බොහෝ දෙනා ඔහු හැඳින්වූයේ චාල්ස් ෆයිසර් යනුවෙනි. අපි ඔහු ෆයිසර් කියා හඳුන්වමු. ඔහු උපත ලැබුවේ අද ඊයේක නම් නොවේ. වසර 196 කට පමණ පෙරදීය. හරියටම කිව්වොත් 1824 වසරේදීය. එතරම් ඈත අතීතයක විසූ ෆයිසර්, ඖෂධ නිෂ්පාදන සමාගමක් පටන් ගත්තේ කොහොමද? ෆයිසර් උපත ලැබුවේ එවකට ජර්මානු කලාපයේ ස්ථාපිතව තිබූ වර්ටන්බර්ග් රාජධානියේදීය. පසුව එය ජර්මනියේම කොටසක් බවට පත්විය. ජර්මනියේදී හැදීවැඩුණු මේ ෆයිසර් 1848 දී, අමෙරිකාවට ගොස් පදිංචිවීම හොඳ යැයි සිතුවේය. තම මව සහ පියා ද ඇතුළු ෆයිසර් පවුල ඇමෙරිකාවේ පදිංචියට ගොස් සිටියදී ඉන් වසරකට පසුව,   


තාත්තෙ මට ණය මුදලක් දෙන්න පුළුවන්ද?   


යැයි පියාගෙන් ඉල්ලා සිටියේය. එවකට ෆයිසර්ගේ වයස අවුරුදු 24 ක් විය. රසායන විද්‍යා අංශයෙන් උසස් අධ්‍යාපනය ලබා සිටි ඔහු රසායනවේදියකු ලෙස කටයුතු කරමින් සිටියදී මෙසේ ණය මුදලක් ඉල්ලා සිටියේ, ගොඩනැගිල්ලක් මිලදීගැනීම වෙනුවෙනි. ෆයිසර්, තම පියාගෙන් ඉල්ලා සිටියේ ඩොලර් 2500 ක මුදලකි. එවකට පැවැති ආර්ථික අනුපාතයට අනුව ​ඩොලර් 2500 ක් යනු ලොකු මුදලක් විය. එහෙත් ෆයිසර් පවුලට යමක් කමක් තිබූ නිසාවෙන්, තාත්තා මේ පුතා ඉල්ලු එම මුදල ලබාදුන්නේය. ෆයිසර් පුතා හට යමක් කිරීමේ දැක්මක් ඇති වග, පියා වටහා ගෙන තිබිණි. කා බී විනෝදයට බර වූ චරිතයක් නොවු නිසා පුතා අනිවාර්යයෙන්ම අලුත් දෙයක් කරාවිය යන සිතිවිල්ල ඔහුට තිබිණි. තාත්තා පුතාට කතා කළේ කාල් යනුවෙනි. කාල් පුතා නිව්යෝර්ක් නුවරට යා බද විලියම්ස්බර්ග් හි බෲක්ලින් පළාතේ තිබූ ගොඩනැගිල්ලක් පියා ලබාදුන් ණය මුදලින් අරගත්තේය. පටපණු රෝගය මේ දිනවල ලෝකයේ බහුලව ව්‍යාප්තව තිබු හෙයින් පටපණුවන් නැසීමට භාවිතා කරන ඖෂධයක් නිපදවීමේ කටයුතු එහි සිට දියත් කළේය. එය මෙම පටපණු රෝගය සඳහා භාවිතා කරන ඖෂධ සඳහා මුසුකර ගන්නා වූ ප්‍රධාන සංඝටයක් ලෙස හඳුන්වාදිය හැකිය.   


එලෙසින් රසායනඥයකු ලෙස කටයුතු කරගෙන යන අතරේ ඖෂධ නිපදවීමේ සහ ඒ සම්බන්ධයෙන් වූ බොහෝ දේ ගැන නිරන්තරයෙන් පර්‌යේෂණ ආදිය කිරීමට පෙළැඹ සිටි නිසා විවාහයක් ගැන සිතීමට පවා ඔහු හට වේලාවක් නොතිබිණි.   


ඔහු මෙම රසායනික ද්‍රව්‍යය නිපදවන සමාගම පටන්ගත්තේ ඔහුගේ මස්සිනාව සිටි චාල්ස් එෆ් ඉයර්හාට් සමගය. එවකට මෙම රසායන ද්‍රව්‍යය නිපදවන සමාගම නම් කර තිබුණේ චාල්ස් ෆයිසර් සහ සමාගම යනුවෙනි. ඉහත සඳහන් කළ ආකාරයට පණු රෝග සඳහා යොදාගන්නා ඖෂධ සහ උදරයේ ඒ ආශ්‍රිත රෝග සඳහා ප්‍රතිජීවක ලෙස භාවිතා කළ ඖෂධ නිපදවීම සඳහා යොදාගත් රසායන ද්‍රව්‍යය නිපදවීම මුල් කාලයේදී සිදුකෙරිණි. කාල් ගුස්ටෆ් ෆයිසර් 1859 දී එනම් ඔහුගේ වයස අවුරුදු 35 සපිරී තිබිණි.   


පුතා දැන් ඔයා විවාහයක් කර ගත්තොත් හොඳයි නේද? කියා ෆයිසර්ගේ මව විමසා සිටියාය.


අැනා හවිෂ් සමග වූ විවාහය සිදුකෙරුණේ ඒ අනුවය. වයස 35 දී විවාහවීම මේ යුවළ හට ප්‍රශ්නයක් නොවුණි. දූ පුතුන් සය දෙනකුගේ සාඩම්බර මා පිය යුවළ මේ ෆයිසර් යුවළම වූ බව පැවසිය හැකිය.   


1866 දී උපන් හෙලන් ජුලියා දියණිය විවාහ වූයේ සර් ​ෆ්‍රෙඩ්රික් ඩන්කන් සාමිවරයා සමගය. ඇලිස් දියණිය විවාහවූයේ ද සාමිවරයකු සමගය.   


වසර කිහිපයකට පෙරදී තාත්තාගෙන් ඩොලර් 2500 ක් ණයට ඉල්ලාගෙන ඇරඹී ෆයිසර් සමාගම දිනෙන් දින ලෝකය ඇල්ලුවේ, අලුත් අලුත් ඖෂධ නිපදවීමට පටන් ගැනීමත් සමගය. 1880 දී පමණ සිට්‍ර්ක් ඇසිඩ් සාන්ද්‍රණය නිපදවීමත් සමග ෆයිසර් සමාගමට ලොකු ඉල්ලුමක් ඇතිවුණි. ඒ සමගම රසායනාගාරය බිහිකිරීම වෙනුවෙන් ෆයිසර් ලොකු ඉඩමක් මිලදී ගත්තේය. එසේ ව්‍යාපාරය දිනෙන් දින දියුණුව කරා යමින් තිබියදී ඔහුගේ ව්‍යාපාරික සහකරු වූද මස්සිනා වූද චාල්ස් එෆ් එයර්හාට් වයස අවුරුදු 70 දී ජිවිතක්ෂයට පත්විය. ඔහුගේ මරණින් පසුව චාල්ස් ෆයිසර් සමාගමේ ගිවිසුමට අනුව ව්‍යාපාරයේ වත්කම්වලින් හරි අඩක් පමණ උරුමය එයර්හාට් හට තිබූ බැවින් එම උරුමය ඔහුගේ පවුලේ උදවිය වෙත වහාම පවරා දීමට හිත හොඳ මිනිසකු වු ෆයිසර් කටයුතු කළේය.   
ඒ වන විට එයර් හාට් හට හිමිව තිබූ වත්කම ඩොලර් 119.350 ක් ලෙස සඳහන් විණි. ඉනික්බිතිව සමාගම සංස්ථාගත කරන තෙක් එනම් 1900 වසර තෙක් ප්‍රධානියා ලෙස කටයුතු කළේ ෆයිසර්ය. 1906 ඩොලර් මිලියන 3.4 ක පමණ ධනයකට සමාගම උරුමය දරද්දී කාල් ගුස්ටෆ් ෆයිසර් ජිවිතක්ෂයට පත්වූයේ ගිම්හාන සමයේදීය. ඔහු සතු ගිම්හාන නිවස්නයට ගොස් සිටියදිය. පියගැට පෙළ නගිමින් ඉහළ මාලයට යද්දි ෆයිසර් ලිස්සා ගොස් බිම ඇඳ වැටිණ. එහිදී ඔහුගේ එක් අතකට බරපතළ ලෙස තුවාල සිදුවිණි.   


ඊට සාත්තු සප්පායම් ලබමින් සිටියදී, එම අනතුර සිදු වී සති කිහිපයකට පසුව ඔහු ජීවිතක්ෂයට පත්වූයේ ධනවතුන් බොහොමයක් විසූ පළාතක් වන බෲක්ලීන්හි ක්ලින්ටන්හිල් පළාතේදීය.   


තාත්තාගෙන් පසුව පුතුන් අතට ගිය හැටි  


ෆයිසර්ගේ මරණින් පසුව ඔහුගේ වැඩිමහල් පුතු වූ චාල්ස් ෆයිසර් ජුනියර් සමාගමේ මුල් පුටුවට පත්විණි. ඔහුගේ විශ්‍රාම ගැනීමෙන් අනතුරුව බාල සොහොයුරා වූ එමීල් සමාගමේ ප්‍රධානියා බවට පත්විය. පළමු ලෝක සංග්‍රාමය පැවැති කාල වකවානුවේදී කැල්සියම් සිට්රේට් හිඟයක් පැවතිණ. ඊට විකල්ප සොයා ගිය ෆයිසර්ලා ‘‘සිට්රික් ඇසිට්’’ සාන්ද්‍රණ ඉතාලියෙන් ගෙන්වීමට කටයුතු කළේය. ඉනික්බිතිව තවත් අලුත් ඖෂධ සඳහා වූ සාන්ද්‍රණ නිපදවීම ආරම්භ කළ අතර 1919 දක්වා සමාගමේ නිෂ්පාදනවලට ඇතිවූයේ ඉහළ ඉල්ලුමකි. පළමු ලෝක යුද්ධයෙන් අනතුරුව 1939 දී පමණ වන විට දෙවැනි ලෝක යුද්ධය ඇතිවීම නිසා ෆයිසර් සමාගමට සුවිශේෂී කාර්ය බාරයක් කිරීමට සිදුවූයේ ඔවුනගේ රසායන ද්‍රව්‍යයන්ට ඉහළ ඉල්ලුමක් ලැබීම නිසාය. වෙසෙසින්ම යුද හමුදාවන්හි තුවාල ලැබූ සෙබලුන් හට ඖෂධ රැසක අවශ්‍යතාවය ඇතිව තිබිණි. එහෙත් ඒ වන විට පෙනිසිලින්වලට තිබු ඉල්ලුම සහ මිල ඉතා අවම තත්ත්වයට වැටී පැවැති බැවින් ෆයිසර්ලා වෙනත් විකල්ප සෙවීය. තුවාල ලද සෙබළුන් සඳහා ප්‍රතිජීවක ඖෂධයක් ලෙස පෙනිසිලින් යොදාගත් අතරේ ඒවාට වඩා ඵලදායක සහ ලාභ ලැබිය හැකි අනර්ඝ ඖෂධ රසායන ද්‍රව්‍යය නිෂ්පාදනය කිරීමට සමාගම පෙළැඹිණි. මිත්‍ර හමුදා සඳහා බොහෝ ඖෂධ නිපදවීමට ෆයිසර් සමාගමට ලැබුණේ ඇණවුම් තොග ගණනිනි.   


දෙවැනි ලෝක යුද්ධයේ නිමාවත් සමග ෆයිසර් සමාගම ලෝකය ඇල්ලීම. 

 
දෙවැනි ලෝක යුද සමයේ බොහෝ සමාගම කඩා වැටී තිබිණ. සමහර සමාගම්, පොළොවටම සමතලා විය. එහෙත් දෙවැනි ලෝක යුද්ධයේ අළුමතින් ෆයිසර් සමාගම නැගී සිටියේ, පෙරටත් වඩා ශක්තිමත්වය. කොහොමටත් ඖෂධ සඳහා රසායන නිපද වූ සමාගමක් වීම හේතුවෙන් යුද්දයේ විනාශය හමුවේ පවා එම සමාගමේ ආර්ථිකය හොඳින් පැවතිණි. යුද්ධයේ නිමාවත් සමග බෙල්ජියම, බ්‍රසීලය, කැනඩාව, කියුබාව සහ එංගලන්තය, ඇතුළු රටවල් ගණනාවක ෆයිසර් සමාගම් ස්ථාපිත කෙරිණ. ඒ ගමන නතරවූයේ වෛද්‍ය පර්‌‌යේෂණ ආයතනයක් නිව්‌‌යෝර්ක් නගරයේදී ස්ථාපිත කරමිනි. මෙලෙසින් ඖෂධ නිෂ්පාදනය කිරීම සඳහා වූ නිෂ්පාදන රසායන බෙහෙවින් නිෂ්පාදනය කරමින් සිටි ෆයිසර්ලාගේ ස්වර්ණමය ගමන ඇතිවූයේ 1980 න් පසුවය. 

 
ඔවුන්ගේම වෙළෙඳ නාමය යටතේ වු ඖෂධ නිෂ්පාදනයක් ලෙස ෆෙල්ඩීන් (පිරොක්සිකම්) නිපදවීමට හැකි වූ අතර පළමු නිෂ්පාදන තොගය අලෙවි කිරීමෙන් ලද මුදල ඩොලර් බිලියනයක් හෙවත් ඩොලර් කෝටි සියයක් පමණ විය. අසූව සහ අනූව අතර කාලයේදී සොලොෆ්ට්, ලිපිටර්, ව්‍යාඝ්‍රා, සිත්රොමැක්ස් ඇතුළු බෙහෙත් රැසක් නිෂ්පාදනය කොට වෙළෙඳ පොළට හඳුන්වාදීමට ෆයිසර්ලා හට හැකි විණි. ඒ අතරින් ලිපිටර් (Lipitor) ඖෂධය වාර්තා පිට වාර්තා තබමින් අලෙවි විණි.   


රුධිරයේ ඇති නරක මේදය (කොලෙස්ටරෝල්) ඉවත්කර වීමට මෙම ඖෂධය භාවිතා කරයි. එමෙන්ම දියවැඩියාව, අධික රුධිර පීඩනය බර අඩුවීම ඇතුළු රෝග ගණනාවකට විවිධ මාත්‍රා යටතේ නිපදවනු ලබන ඖෂධ නාමයකි. ලොව වැඩියනේම අලෙවි කෙරෙන ඖෂධය වන්නේ මෙම ලිපිටර්ය. එය ෆයිසර්ලාගේ පමණක් නොවේ. අනෙකුත් සමාගම් ද නිපදවන අතර, බිලියන 131 ක ජනකායක් භාවිත කළ ඖෂධයකි.   


ඖෂධ යනු අපට නැතුවම බැරි දෙයකි. එහෙත් මේ ඖෂධ සමාගම් පවත්වාගෙන යාම යනු දැලි පිහියෙන් කිරි කෑමක් වැනි අනතුරුදායක කටයුත්තකි. පොඩ්ඩ එහෙ මෙහ වුණොත් මුහුණ දීමට සිදුවන්නේ නඩු හබ රැසකටය. මේ ෆයිසර් සමාගම ද එලෙසින් එදා සිට නඩු හා වන්දි ගෙවීම් ආදී නීතිමය අවස්ථාවන්ට නිරන්තරයෙන් මුහුණදුන් සමාගමකි. වතාවක ඉහත කී ලිපිටර් නිෂ්පාදනයේදී පේටන්ට් බලපත්‍රයේ කල් ඉකුත් වී තිබීම නිසා ලොකු ප්‍රශ්නයකට මුහුණ දීමට සිදුවිණි. ෆයිසර් නාමය යටතේ නිපද වූ ව්‍යාඝ්‍රා නිෂ්පාදන කල් ඉකුත් වී තිබීම හේතුවෙන් වතාවක නඩුවලට පෙනී සිටීමට සිදුවිය. මෙලෙසින් මේ ගමන ඔවුනට යාමට සිදුවුයේ නිරන්තරයෙන් නඩු හබ වලට මුහුණ දෙමිනි. කෙසේ වෙතත් ව්‍යාඝ්‍රා පෙත්ත දහතුන් වසරක් ඇතුළතදී ඩොලර් බිලියන 24 ක් සමාගමට උපයා දුන් නිෂ්පාදනය විය. මෙලෙසින් මිනිසා හට නැතුවම බැරි ඖෂධ වර්ග නිෂ්පාදනය කරන මෙම ෆයිසර් සමාගම 2000 දී පමණ ටෝනර් ලැම්බර්ට් ඖෂධ නිෂ්පාදන ආයතනය ඩොලර් බිලියන 111.8 කට අත්පත් කරගත්තේය.   


එලෙසින් වු තවත් අංශ අත්පත් කර ගැනීමට සමත් වුවත්, ඩොලර් බිලියන 160 ක පමණ මහා ධනස්කන්දයකට ඒකාබද්ධ වීමට ගත් උත්සාහ අසාර්ථක වූ බව සඳහන් වේ.   


2018 පමණ වන විට ෆයිසර් ඒකක ත්‍රිත්වයක් යටතේ, ප්‍රතිසංවිධානය කළ අතර පාරිභෝගික සෞඛ්‍ය සේවා අංශයක් පවා විවර කෙරිණි. ඖෂධ නිෂ්පාදන ක්‍රියාවලිය වෙතින් සංසථාවක් ලෙස මහා පරිමාණයෙන් ලාබ උපයන ෆයිසර් සංස්ථාපිත සමාගම, කරන හෙඳ වැඩ ගැනත් සඳහන් කිරිම හොඳයි. අප්‍රිකානු කලාපයේ අසංවර්ධිත රටවලට ඖෂධ අලෙවියේදී, සැලකිය යුතු වට්ටම් යටතේ ලබාදීමට කටයුතු කර තිබේ. වෙසෙසින්ම ඒඩ්ස් තුරන් කිරීම වෙනුවෙන් නොමිලයේ සෞඛ්‍ය සේවා සහ ඖෂධ සපයා තිබේ. නඩු හබ කීමට බිලියන ගණනින් මුදල් වැය කිරීමට සිදුවන අතරේ මෙලෙසින් සමාජ සත්කාරයන් කරන්නේ මිලියන ගණනින් වැය කරමින්ය. 2012 දී ෆසියර්ලා තමුන්ගේ ළදරු නිෂ්පාදන අංශය ඩොලර් බිලියන 11.85 ක පමණ මුදලකට නෙස්ලේ සමාගම වෙත විකුණුවෝය.   


අප්‍ර්‍රිකානු කලාපයේදී ෆයිසර් නාමයේ නිෂ්පාදන වෙතින් අත්හදා බැලීම් කරන්නට යාම නිසා ළමුන් පහළොවක් පමණ මිය ගියා යැයි කියා ෆයිසර් වෙත ලොකු ප්‍රශ්නයයකට මුහුණ දීමට සිදුවුණි. එවැනි දේ නිසා අපහසුතාවයට පත්වූ ඔවුන් අසංවර්ධිත රටවලට සෞඛ්‍ය ප්‍රවර්ධන කටයුතු සහ සේවාවන් දියුණු කරවීමට බොහෝ සෙයින් උදවු උපකාර කරන බවද දැකගත හැකිය.   


ලෝක යුද්ධ දෙකකට මුහුණ දෙමින් ආර්ථික කඩාවැටීම් ලෝක වසංගත ආදී දේට මුහුණ දෙමින්, ෆයිසර්ලා සාර්ථකව දුර ගමනක් ආයේය. ඒ ආ ගමනේදී වසර 160 ක පමණ කාලයක් පුරා එනම් ආරම්භයේ සිට අද දක්වා ඖෂධ නිෂ්පාදන සහ ඖෂධ නිෂ්පාදනය සඳහා යොදාගන්නා රසායන ද්‍රව්‍යය නිෂ්පාදනය කිරීමේ ලොව ප්‍රමුඛයා ලෙස නිරන්තරව වැජබීමට ෆයිසර් සමාගමට හැකිව තිබේ.

 

 

සටහන : සඳුන් ගමගේ