ට‍්‍රම්ප්ට පිස්සුද ?


අලුත් පොතකින් කලබැගෑනියක්

ඩොනල්ඩ් ට‍්‍රම්ප් ඇමෙරිකාවේ ජනාධිපති පදවියට පත්ව ගතවී ඇත්තේ වසරක පමණ කාලයකි. මෙම කාලය තුළ ඔහුගේ ක්‍රියා කලාපය විවිධාකාරයෙන් විවේචනයට ලක් වූ අතර ඒ සම්බන්ධයෙන් කෘති කිහිපයක්ද පළවිය. ඔහුගේ ව්‍යාකූල ක්‍රියා පිළිබඳ තොරතුරු ඇතුළත් නවතම කෘතිය පසුගිය 5 වැනිදා ප‍්‍රකාශයට පත්ව තිබේ. මයිකල් වුල්ෆ් විසින් රචිත එම කෘතිය නම් කර ඇත්තේ ‘ෆයර් ඇන්ඩ් ෆියුරි - ඉන්සයිඩ් ද ට‍්‍රම්ප් වයිට්හවුස්’ (ගින්න සහ වියරුව - ට‍්‍රම්ප්ගේ ධවල මන්දිර ඇතුළාන්තය) නමිනි. 

 

2016 ජනාධිපතිවරණයේදී ට‍්‍රම්ප්ගේ හා ඔහුගේ කාර්ය මණ්ඩලයේ ක්‍රියාකලාපය සහ ජනාධිපතිවරණයෙන් පසු ට‍්‍රම්ප්ගේ ධවල මන්දිර ජීවිතය පිළිබඳ කරුණු රැසක් මෙම කෘතියෙන් අනාවරණ වෙයි. ධවල මන්දිර ජ්‍යෙෂ්ඨ සාමාජිකයන්ගේ අවුල් සහගත ක්‍රියා මෙන්ම ට‍්‍රම්ප් පවුල සම්බන්ධයෙන් ධවල මන්දිරයේ හිටපු උපායමාර්ගික කටයුතු පිළිබඳ ප‍්‍රධානී ස්ටීව් බැනන් විසින් කරන ලද ප‍්‍රකාශද මෙම කෘතියෙහි අන්තර්ගතය. 


පිටු 310කින් සමන්විත මෙම කෘතියෙන් වුල්ෆ් හෙළිදරව් කෙරෙන ප‍්‍රධාන කරුණු අතර ට‍්‍රම්ප් විපරිත බුද්ධියකින් හෙබි අයකු බැව් සඳහන්ය.

ජනාධිපති පදවියේ දිවුරුම් දීමට පෙර දින රැයේ ඔහුට සලසා තිබූ පහසුකම් සම්බන්ධයෙන් උරණව සිටි අතර පසුදින උදයේ සිය බිරිය වන මෙලනියා සමඟ නිකරුණේ කලහයක පැටලී තිබේ. තමාට පහසුකම් සපයා තිබූ කුටියේ දැඩි උෂ්ණත්වයක් පැවැති බවත්, ජලයේ පීඩනය මඳ බවටත්, යහන සුවපහසු නොවූ බවටත් චෝදනා කරමින් ඔහු ප‍්‍රසිද්ධියේ බිරිය සමඟ කලහ කර තිබේ. එයින් වේදනාවට පත් මෙලනියා කඳුළු පිරි නෙතින් යුතුව පසු දින නිව්‌යෝක් බලා යෑමට සූදානම් වූ බවද වුල්ෆ් පවසයි. 


ට‍්‍රම්ප්ගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය මෙහෙය වූ කාන්තාවන් දෙදෙනකු සමඟ ඔහු සමීප ඇසුරක් පවත්වා ඇතැයිද වුල්ෆ් සඳහන් කරයි. 2016 අප්‍රේල් මාසයේ ඔහුගේ ජනාධිපතිවරණ මෙහෙයුමට සහය වූ කෝරි ලෙවන්ඩොව්ස්කි හා ධවල මන්දිර සන්නිවේදන අධ්‍යක්ෂවරිය වන හෝප් හික්ස් එම කාන්තාවන් දෙදෙනා වන අතර පසුව ලෙවන්ඩොව්ස්කි සේවයෙන් පහකර තිබේ. 


ජනාධිපතිවරණයට පෙර එනම් 2015 දෙසැම්බර් 15 දින හිටපු ජාතික ආරක්ෂක මයිකල් ෆ්ලින් මොස්කව්හිදී දේශනයක් පවත්වා තිබේ. එම දේශනය සඳහා ඔහු රුසියානුවන්ගෙන් ඩොලර් 45,000 ලබා ගත් බැව් පැවසේ. එවැනි මුදලක් ලබා ගැනීම සුදුසු නොවන බව ඔහුට පැවසූ අවස්ථාවේ ‘එය ප‍්‍රශ්නයක් වන්නේ අප ජයග‍්‍රහණය කළහොත් පමණක් යැයි’ ෆ්ලින් පවසා ඇතැයි වුල්ෆ් සඳහන් කරයි. ඔහු ට‍්‍රම්ප්ගේ ජයග‍්‍රහණය පිළිබඳව සැකයෙන් සිටි බැව් එම ප‍්‍රකාශයෙන් පැහැදිලි වේ. 


ජනාධිපතිවරණයෙන් ට‍්‍රම්ප් ජයගත් බවට ප‍්‍රකාශ වීමත් සමඟ ට‍්‍රම්ප් හා ඔහුගේ පවුලේ සියල්ලන් විස්මයට පත් වූ බැව් වුල්ෆ් සඳහන් කරයි. ට‍්‍රම්ප් ජයග‍්‍රහණය කරනු ඇතැයි මෙලනියා දැඩි බියකින් පසුවූ බවත්, ට‍්‍රම්ප් ජයග‍්‍රාහකයා බවට නිවේදනය වීමත් සමඟ ඇය හඬා වැළපුණ බවත් ඒ සතුටු කඳුළු නොවූ බවත් ඔහු සඳහන් කර තිබේ. මුල් මාස කිහිපයේ ඇය ධවල මන්දිරයට පැමිණීම ප‍්‍රතික්ෂේප කළ බවද, ට‍්‍රම්ප් හා මෙලනියා අතර ඇත්තේ දුරස්ථ සබඳතාවක් බවද ධවල මන්දිරයේ වාසය කළද ඔවුනොවුන් නිතර හමුනොවන බවද එහි සඳහන්ය. ට‍්‍රම්ප් හා මෙලනියා එකම නිදන කාමරයක නොනිදන අතර දෙදෙනා වෙනුවෙන් නිදන කාමර දෙකක් වෙන්වී තිබේ. ධවල මන්දිර ඉතිහාසයේ මින් ඉහත මෙවැනි අවස්ථාවක් වාර්තා වී ඇත්තේ ජනාධිපති ජෝන් එෆ්. කෙනඩි හා ජැකලයින් කෙනඩි සම්බන්ධයෙන් පමණි. 


තමාට වස දෙනු ඇතැයි යන බියෙන් පෙළෙන ට‍්‍රම්ප් රහස් ඔත්තු සේවය සමඟ පවතින විරසක හේතුවෙන් තම නිදන කාමරයට විශේෂ අගුලක්ද සවිකරගෙන තිබේ. ඔහු නව නීති මාලාවක්ද පනවා ඇති අතර ඒ අනුව ඔහුගේ කුටියේ ඇති කිසිවක් කිසිවකුට ඇල්ලීම තහනම්ය. විශේෂයෙන් ඔහුගේ දත් බුරුසුව ඇල්ලීම තහනම් කර තිබේ. ට‍්‍රම්ප්ගේ කුටියට අගුලක් සවිකර ගැනීම සම්බන්ධයෙන් රහස් ඔත්තු සේවය තම විරෝධය පළ කර ඇත. තමනට එම කුටියට ඇතුළු වීම අත්‍යවශ්‍ය බව ඔවුන් ප‍්‍රකාශ කර ඇත. 


ට‍්‍රම්ප් ධවල මන්දිරයේ හිටපු උපායමාර්ගික කටයුතු පිළිබඳ ප‍්‍රධානී ස්ටීව් බැනන් හට නින්දා සහගත ලෙස බැණවැදීම සම්බන්ධයෙන් කිසි දින පසු නොතැවුණ බවද සඳහන්ය. ‘‘උඹ හරියට ගෙයක් දොරක් නැති එකෙක් වගේ. ගිහින් නා ගනින්. උඹ එකම ඇඳුම දවස් හයක් අඳිනවා.’’ යනුවෙන් වරක් ට‍්‍රම්ප් බැනන් හට බැණවැදී තිබේ. 


ට‍්‍රම්ප් පිළිබඳව මයිකල් වුල්ෆ් හෙළිදරවු කරන තොරතුරු අතර තම මිතුරන්ගේ බිරියන් සමඟ යහන් ගත වීමට ඔහු ප්‍රිය කළ බවද සඳහන්ය. එම කාන්තාවන්ගේ ලිංගික ජීවිතය පිළිබඳ තොරතුරු අනාවරණ කරන ලෙසට තම මිතුරන් පොළඹවන ලද බවද පැවසේ. ‘ජීවිතයට අගයක් ඇත්තේ තම මිතුරන්ගේ බිරියන් සමඟ යහන් ගතවීමෙන් යැයි’ ඔහු නිතර පැවසූ බවද එහි සඳහන්ය. වෙනත් ගැහැනුන් සමඟ සබඳතා පැවැත්වීම සඳහා ට‍්‍රම්ප් තම මිතුරන් පොළඹවන ලදැයි ද වුල්ෆ් සිය කෘතියේ සඳහන් කරයි. 


කොතරම් ධනයක් තිබුණද, ජනාධිපතිවරයකු වුවද ඩොනල්ඩ් ට‍්‍රම්ප් හුදෙකලා වූවකු බවට මෙම කෘතියෙන් ඉඟි පළ කෙරේ. විවාහ තුනක් කර ගත් ඔහුට එම විවාහවලින් ලද දරුවන් අතුරින් වැඩි සබඳතා ඇත්තේ තම වැඩිමහලු දියණිය වන ඉවන්කා සමඟ පමණක් වන අතර ඇයගේ සැමියා වන ජාරෙඩ් කුෂ්නර් ඔහුගේ උපදේශකයකු ලෙස කටයුතු කරයි. 


ඔහුගේ තැඹිලි පැහැති කොණ්ඩය හා ඔහු හිස පීරන ආකාරය පිළිබඳව ඉවංකා උපහාසයෙන් යුතුව කතා කර ඇතැයි පැවසේ. 


මයිකල් වුල්ෆ් මෙම කෘතිය සඳහා ඩොනල්ඩ් ට‍්‍රම්ප් සහ ධවල මන්දිර කාර්ය මණ්ඩල සාමාජිකයන් ඇතුළු 200 දෙනකු සමග සාකච්ඡා පවත්වා තිබේ. ඒ සඳහා ධවල මන්දිරයේ බටහිර කොටසට ඇතුළු වීමට ඔහුට අවසර ලැබී ඇත. 


ඩොනල්ඩ් ට‍්‍රම්ප් මෙම කෘතියේ සඳහන් කරුණු ප‍්‍රතික්ෂේප කරමින් තම ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබේ. ‘මෙය තනිකර මුසාවලින් පිරුණු කෘතියක්. මෙම කෘතිය සඳහා මා ඔහුට කිසිදු සම්මුඛ සාකච්ඡාවක් ලබා දී නැහැ. ඔහු ධවල මන්දිරයට පිවිසීමට අවස්ථා ගණනකදී ඉල්ලා සිටියද එයට අවසර ලැබුණේ නැහැ. මෙහි අඩංගු සම්මුඛ සාකච්ඡා ලබාගෙන ඇති පුද්ගලයන් සත්‍ය අය නොවෙයි. මෙය ගොතන ලද කතාවක්’ යනුවෙන් එහි සඳහන්ය. 


එන්බීසී රූපවාහිනියේ ටුඩේ වැඩසටහනට සහභාගී වෙමින් ට‍්‍රම්ප්ට පිළිතුරු දුන් වුල්ෆ් කියා සිටියේ සම්මුඛ සාකච්ඡාවල ලිඛිත හා පටිගත කරන ලද සියලු වාර්තා තමා සතු බවය. 


හෙන්රි හෝල්ට් ප‍්‍රකාශන සමාගම මගින් ප‍්‍රකාශයට පත් කෙරුණු ‘ෆයර් ඇන්ඩ් ෆියුරි - ඉන්සයිඩ් ද ට‍්‍රම්ප් වයිට්හවුස්’ කෘතිය නිල වශයෙන් එළි දැක්වීමට නියමිත වූයේ පසුගිය 9 දාය. එහෙත් ඒ සඳහා පැවැති අති විශාල ජනතා ඉල්ලුම හමුවේ ජනවාරි 5 වැනි දින නිකුත් කිරීමට ප‍්‍රකාශකයෝ පියවර ගත්හ. කොන්ග‍්‍රස් මණ්ඩලයේ සියලු සාමාජිකයන් එහි පිටපතක් මිලදී ගත් බැව් පැවසේ. දැඩි සීතල මධ්‍යයේ වුව පොත මිලදී ගැනීම සඳහා පාඨකයෝ පෝලිම් ගැසී සිටි බැව් පැවසෙන අතර මුද්‍රණය කරන ලද සියලු පිටපත් මේවන විට අවසන් වී තිබේ. 


දැනට පළමු සතිය තුළ වැඩිම අලෙවි වාර්තාවක් තබා ඇති කෘතිය වශයෙන් වාර්තා ගතව ඇත්තේ හිලරි ක්ලින්ටන්ගේ ‘හූස් වට් හැපන්ඩ්’ නම් කෘතියයි. පළමු සතිය තුළ එහි පිටපත් 300,000ක් අලෙවි විය. ‘ෆයර් ඇන්ඩ් ෆියුරි’ කෘතිය එම අලෙවි වාර්තාව බිඳ හෙළනු ඇතැයි විශ්වාස කෙරේ. 


ට‍්‍රම්ප්ගේ ව්‍යාකූල ජීවිතය හා ඔහුගේ මතවාද පිළිබඳ තොරතුරු ඇතුළත් කෘතියක් පසුගිය වසරේද ප‍්‍රකාශයට පත් විය. කිත් ඔල්බර්මාන් විසින් රචිත එම කෘතිය නම්කර තිබුණේ ‘ට‍්‍රම්ප්ට පිස්සු’ යන නමිනි.

 

 

 

 

 

 

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා