ට්‍රැක්ටරයකින් පටන්ගත් ලැම්බෝගිනි සමාගම


ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි

“ලැම්බෝගිනි ගැන ඇයි ​අපේ රටේ මිනිසුන් මෙච්චර කතාවෙන්නේ?”

 

ලෝකයේ මෝටර් රථ නිෂ්පාදන අතරින් අතිසුඛෝපභෝගී මෝටර් රථ නිෂ්පාදනයක් ලෙස ‘‘ලැබ්බෝගිනි’’ මෝටර් රථ නාමය නම් කළ හැකිය. ලැබ්බෝගිනි යන නාමය සඳහන් කළ විගස සිහිපත්වන්නේ, ධනවතුන්ය. නො​එසේ නම් ප්‍රභූන්ය. අපේ රටේ නම් ලැබ්බෝගිනි නාමය වඩා ප්‍රකට වූයේ දේශපාලන ක්ෂේත්‍රයේදී එය කතාබහට​ ලක්වූ බැවිනි. ලැම්බෝගිනි යන නාමය කියූ විගස ප්‍රභූන් සහ ධනවතුන්ගේ නම් කියැවෙන්නේ වෙන කිසිවක් නිසා නොවේ.

අතිසුඛෝපභෝගී මෝටර්රථ වන මේවා මිලදී ගතහැකි වෙන්නේ, යහමින් මුදල් තිබෙන ධනවතුනට වීම ඊට හේතුවය. ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි විශේෂාංගය වෙතින් මෙවර අප විස්තර කරන්නේ මෙම ලැම්බෝගිනි සමාගමේ කතාව ගැනය.   


ලැම්බෝගිනි හැදූ ලැම්බෝගිනි කවුද?   


ලොව නිපදවන මෝටර් රථ අතරින් අතිසුඛෝපභෝගී මෝටර් රථ නාමයක් වන ලැම්බෝගිනි යනු ඉතාලියේ ෆෙරූසියෝ ලැම්බෝගිනි විසින් ලෝකයට හඳුන්වා දුන් වඩාත් සුපිරි මෝටර් රථ නාමයකි. බොහෝ ධනවතුන්ගේ සිහින රථය කුමක්ද කියා විමසුවහොත්, ඒ ​බොහෝමයක් දෙනා ලබාදෙන පිළිතුර වන්නේ ‘‘ලැම්බෝගිනි’’ රථයක් මිලදී ගැනීම යැයි කිව හැකිය. වේගයෙන් ධාවනය කළ හැකිවීම, බලය, පෙනුම, අලංකාර බව ආදී බොහෝ දේ මෙන්ම දීර්ඝ වේලාවක් හෙවත් දිගු කාලයක් එක දිගට ධාවනය කරවී​මේ පහසුකම් ඇති නිසා මෙම මෝටර් රථ වඩා ප්‍රකටය. ස්පෝට් ලුක් එක, නොඑසේනම් ක්‍රීඩාශීලි මෙන්ම ක්‍රියාශීලි පෙනුම නිසා තරුණයන් අතර, මෙම රථ අතිශයින්ම ජනප්‍රියය. එහෙත් ඒ සිහින රථය තමාගේ කර ගැනීම හැමෝටම කළ හැකි දෙයක් නම් නොවේ.   


මෙලෙසින් පෙනුමැති ලැම්බෝගිනි රථය ලොවට හඳුන්වා දුන්නේ ඉතාලියේ ​ෆෙරූසියෝ ලැම්බෝගිනි යන කර්මාන්තකරුවා විසිනි. ඔහුගේ මූලික පරමාර්ථය වී තිබුණේ‍ ලෝකයට අලුත් හැඩයකින් යුතු, අලුත් විදිහේ මෝටර් රථයක් හඳුන්වාදීමය. සාමාන්‍යයෙන් මෝටර් රථ තරග සඳහා යොදාගන්නා රථ මෙන්වූ වේගවත් ක්‍රියාකාරීත්වයෙන් යුතු ‘ස්පෝට්’ රථයක් ලෙස මෙම මෝටර් රථය ඔහු විසින් නිර්මාණය කරනු ලැබුවේ 1963 දී පමණය.   


ෆෙරූසියෝ ලැම්බෝගිනි උපත ලැබුවේ, 1916දී උතුරු ඉතාලියේ එමිලීයා රොමග්නාහි ෆෙරාරා​රෙනසෝ හිදීය. ගොවි පවුලකට අයත් දරුවකු ලෙස උපත ලද ෆෙරූසියෝ ගොවිතැන් කටයුතු සහ යාන්ත්‍රික අංශය කෙරෙහි වඩාත් උනන්දු වූ චරිතයක් විය. බොලොඤ්ඤාහි ෆ්‍රැටෙල්ලි ටැඩ්ඩියා තාක්ෂණ ආයතනයෙන් කාර්මික අංශයේ අධ්‍යාපනය ලද ෆෙරූසියෝ 1940දී පමණ ඉතාලි රාජකීය ගුවන් හමුදාවට බැඳී කටයුතු කර තිබේ. තමාගේම ආයතනයක් ඇරඹීමට පෙර ඔහු කාර්මිකයකු හා ඉංජිනේරුවකු ලෙස සේවය කළේය. වතාවක වාහන නඩත්තු අංශයක් බාර ප්‍රධාන සුපර්වයිසර්වරයෙකු ලෙසද කටයුතු කර තිබේ. දෙවැනි ලෝක යුද පරාජයෙන් පසු බ්‍රිතාන්‍ය යටතේ ඉතාලිය පැවැති හෙයින්, සිරකරුවකු ලෙස ගත කිරීමටද ඔහුට සිදුවිණි. 1945 දී නැවත ගම්බිම් බලා ඒමට හැකි වූ අතර, 1946දී ක්ලේලියා මොන්ති සමග විවාහ විය. විවාහයෙන් වසරක් ගත වෙද්දී ‘ක්ලේලියා’ හදිසියේ මියගියේ දරු උපතක් සිදුකරමිණි. දරුවා සමග අලුත් ජීවිතයක් ඇරඹීම ෆෙරූසියෝ හට ලෙහෙ​සි පහසු දෙයක් නොවුණි.   
‘‘තෝනිනෝ’’ සිඟිති පුතු සමඟ ජීවිතයේ ඉදිරිය කරා ධෛර්යෙන් යුතුව ගිය ඔහු අන්තා බොර්ගක්කි නම් කාන්තාව සමග යළි විවාහවූවේය. නමුත් ඒ දීගය වැඩිකල් නොපැවතියේ, ‘‘ නොකෙරෙන දීගෙට හෙවනැල්ලත් ඇදට’’ පෙනුණ නිසාය. ඉනික්බිතිව, ෆෙරූසියෝ ලැම්බෝගිනි, ‘‘මරියා තෙරේසා කානේ’ සමග විවාහ වූවේය. පත්‍රිසියා නමින් දියණිය උපත ලැබූවේ එහිඵලයක් ලෙසිනි. මියගිය බිරිඳගේ දරුවා වූ තෝනිනෝ සහ තෙවැනි විවාහයෙන් ලද පත්‍රිසියා දරු දෙදෙනා හට ලැම්බෝගිනි එක ලෙස ආදරය කළේය.   


‘‘ලැම්බෝගිනි’’ ප්‍ර​වේශය   


ෆෙරූසියෝ ලැම්බෝගිනි දෙවැනි ​ලෝක යුද්ධයෙන් පසුව, සක්‍රීයව කටයුතු කරන්නට පටන්ගත් අතර, මුලින්ම ඔහු නිෂ්පාදන ක්ෂේත්‍රයට පිවිසියේ ගරාජයක් අරඹමිනි. එහිදී ෆියට් ටොජ්ලිනෝ රථය නව්‍යකරණය කිරීමට ඔහු පියවර ගත්තේය. එ් අතර වාරයේදී නගරාන්තර ධාවනය සඳහා සුදුසු පරිදි අශ්වබල 750ක ධාරිතාවයකින් යුතු රථයක් නිපදවීමට ඔහුට හැකිවිණි. ඒ සමගම මෝටර් රථ ධාවන තරග සඳහා අවතීර්ණ වූවද, පසුව එම අංශය කෙරෙහි වූ උනන්දුව අත්හැරීය.   


ප්‍රථම විවාහයෙන් බිරිඳ මියගොස් ඒ සාංකාවෙන් ​පෙළුණද, ලැම්බෝගිනි හට හොඳ දැක්මක් තිබිණි. දෙවැනි ​ලෝක යුද්ධයෙන් පසුව කෘෂිකාර්මික හා කාර්මික අංශය කෙරෙහි පුනර්ජීවයක් ඇති වග වටහා ගෙන සිටි ඔහු ස්වකීය ව්‍යවසායකත්වයේ ගමන ආරම්භ කිරීමට පියවර ගත්තේය. යුද හමුදාවේ රථවාහනවල එන්ජින් සහ කොටස් උපයෝගී කරගෙන ‘‘කැර්ඕකා’’ නමින් ට්‍රැක්ටරයක් නිෂ්පාදනය කිරීමට ඔහුට හැකිවිණි. එය සිලින්ඩර හයක පෙට්‍රල් එන්ජිමකින් සමන්විත වූවක් විය. නමුත් එවකට ඉතා​ලියේ පෙට්‍රල් මිල අධික වූ බැවින් මොරිස් රථවල එන්ජින් වැඩි දියණු කර ලාභදායී ඩීසල් ඉන්ධනවලට හුවමාරු කරවිය හැකි එන්ජිමකින් යුතු ට්‍රැක්ටර් නිෂ්පාදනය කිරීම ඇරඹුවේය. ට්‍රැක්ටරයෙන් පටන්ගෙන නව මාදිලියේ අලංකාර බෝට්ටු නිෂ්පාදනය කිරීමටද ලැම්බෝගිනි දායකත්වය ලබාදී තිබේ.

   
මෝටර් රථ නිෂ්පාදනයට එළැඹීම.   


කර්මාන්තකරුවකු ලෙස ගමනක් එමින් සිටි ෆෙරූසියෝ ලැම්බෝගිනි, ආර්ථිකව ශක්තිමත් වෙමින් සිටියදී, මෝටර් රථ නිෂ්පාදන ක්‍රියාවලිය කෙරෙහි සිත් යොමුකළේය. තාරුණ්‍යයේ සිටම මිල අධික මෝටර් රථවලට සහ ක්‍රීඩාශීලි පෙනුමැති ස්පෝට් රථ කෙරෙහි වඩා උනන්දු වූ ඔහු අැල්ෆා රෝමියෝ, ලන්සස් වැනි රථවල හිමිකාරීත්වය දැරුවේය. එමෙන්ම මර්සිඩීස් බෙන්ස් නවතම සුපිරි රථ හා තවත් සුපිරි රථ එකතු කිරීම විනෝදාංශයක් කරගෙන සිටි ​අයෙක් විය.

   
මෙකී කාලවකවානුවේදී එන්සෝ ෆෙරාරි විසින් ලෝකයට හඳුන්වා දී තිබූ ෆෙරාරි රථ සුඛෝපභෝගී රථ ලෙස වර්ග වී තිබිණි. එහෙත් ඒවායෙහි සමහර අංශ කෙරෙහි වූ අඩුපාඩුකම් දුටු ලැම්බෝගිනි එන්සෝ ෆෙරාරි සමඟ මත ගැටුම් ඇති කරගත් බව සඳහන්ය. වතාවක එන්සෝ ෆෙරාරි සමඟ වාදයක පැටලී සිටි ලැම්බෝගිනි, ෆෙරාරිගේ ස්පෝට් රථවල අඩුපාඩුකම් කියද්දී, 

 
‘‘තමුසෙ, තමුසෙගේ වැඩක් බලාගෙන, ට්‍රැක්ටර් හදාගෙන ඉන්නවා මිනිහෝ’’ කියා ෆෙරාරි කෝපයෙන් කෑ ගැසීය. 

 
‘‘හරි, හරි​ එහෙනං බලාගන්නවකො මම ට්‍රැක්ටර් හදන හැටි’’ කියා, ලැම්බෝගිනි එදා අභියෝගය බාරගත්තේය. නොඑසේ නම්, ඔහු ලැම්බෝගිනි ස්පෝට් වර්ගයේ රථ නිපදවීමට උනන්දුවූයේ ෆෙරාරි කළ අභියෝගය නිසා යැයි සඳහන් වේ.   


‘‘මෙය නිෂ්පාදන ක්ෂේත්‍රයේ යෙදී සිටින බොහෝ දෙනා හට කදිම පාඩමක් නොවන්නේද?’’   
අභියෝග හමුවේ එදා ලැම්බෝගිනි පළාගියේ නම්, අද ලැම්බෝගිනි නමින් සුපිරි රථ නිෂ්පාදනය නොවන්නට ඉඩ තිබිණි.   


ඒ හැරත් ලැම්බෝගිනි රථ නිෂ්පාදනයේදී එක් පුද්ගලයෙකුගේ දායකත්වය මත පමණක් සේවය නොලබන අතර, එක් එක් අංශ සඳහා පුද්ගල දායකත්වය සිදුකොට කණ්ඩායමක නිර්මාණයක් ලෙස එළිදැක්වීම සිදුකර තිබේ. කණ්ඩායමක සාමූහික ප්‍රයත්නයක ඵලය ​අවසන ලැබෙන්නේ ලෝකයට වඩා අනර්ඝ නිෂ්පාදනයන්ය. 

 
ලැම්බෝගිනි කලින් කලට විවිධ මාදිලියේ විලාසිතා.

   
ඉහළ කාර්යසාධනයක් සහිත සුපිරි ලැම්බෝගිනි රථ නිපදවීම ඇරඹූ දා සිට නිෂ්පාදනය වූ​යේ එකම මාදිලියේ රථ හැටියට නොවේය. කලින් කලට විවිධ හැඩයන්ගෙන් යුතු නිෂ්පාදන එළිදැක්වීම සිදුවිණි. ප්‍රථම වරට ‘SUV’ හෙවත් (ක්‍රීඩාශීලි උපයෝගිතා වාහන) ලෙස සුඛෝපභෝගී රථ කාණ්ඩය යටතේ නිපද වූයේ, LM-002 යන රථය වේ. ෆෙරූසියෝ ලැම්බෝගිනි යනු ඉතාලි ‘ගොන්පොර’ තරග කෙරෙහි දැඩි රුචිකත්වයක් දැක් වූ චරිතයක් වූ අතර, ඔහු ගවයා සමාන ක​ළේ මෝටර් රථයක බලයට සසඳමිනි. මේ නිසා ‘‘ස්පැනිෂ් ෆයිටින් බුල්ස්’ හෙවත් ස්පාඤ්ඤ ගොන්පොර සඳහා යොදාගත් ගොනුන්ගේ රුව ලැම්බෝගිනි මෝටර් රථයේ ලාංඡනය ලෙස යොදාගැනීමට පවා තීරණය කළේය. ‘ලැම්බෝගිනි මියුරා’ එලෙස ගවයාගේ ආකෘති සලකුණ යොදාගත් රථයකි. එලෙසින් ගමනක් ආ ෆෙරූසියෝ හට 1963 දී ලැම්බෝගිනි එස්.පී.ඒ. නමින් මෝටර් රථ සමාගම ස්ථාපිත කිරීමට හැකිවිණි. 

 

 


ලැම්බෝගිනි වෙනත් අයෙකුට හිමිකාරීත්වය පැවරීම.  


සු​ඛෝපභෝගී රථ නිෂ්පාදන ලෙස ලැම්බෝගිනි ලස්සන ගමනක් එමින් සිටියදී, පළමු දශකයේදී එය ලාභ ලැබුවද, 1970 දශකයේ ඇතිවූ ලෝක ආර්ථික අර්බුදය හමුවේ පාඩු ලබන තත්ත්වයට සමාගම පත්විණි. එම අර්බුදය හමුවේ, ෆෙරූසියෝ විසින් ලැම්බෝගිනි, ජෝජ්ස් හෙන්රි රොසෙට්ටි සහ රෙනේලීවර් වෙත පවරාදීම සිදුකරන ලද්දේය. එසේ කොට 1974 දී, ෆෙරූසියෝ ලැම්බෝගිනි විශ්‍රාම සුව ගැනීමට තීරණය කළේය. කෙසේ වෙතත්, 1978 වනවිට සමාගම බංකොලොත් විය.   


අතින් අතට ගිය ලැම්බෝගිනි  


රොසෙට්ටි සහ ලීවර් යටතේද අසාර්ථක වූ ලැම්බෝගිනි සමාගම පසුව එවකට ඩොලර් මිලියන 3ක පමණ මුදලකට ජෝන් ක්ලුඩ් සහ පැට්‍රික් මිම්රාන් සහෝදර දෙපල විසින් මිලදී ගත්තේය. එසේ මිලදීගෙන සාර්ථක ගමනක් ආ සමාගම නැවතත් 1987දී පමණ පැට්‍රික් මිම්රාන් විසින් ක්‍රයිස්ලර් සමාගම වෙත පවරාදීම සිදුකළේය. එවර එය පවරාදීම සිදුකළේ ​ඩොලර් මිලියන 25ක පමණ මුදලකටය. පසුව ක්‍රයිස්ලර් සමාගම විසින්, මලයාසියානු මූල්‍ය සමාගමක් වෙත පවරාදීම සිදුකර තිබේ. එම සමාගම විසින් ඉනික්බිතිව 1998 දී පමණ වෝල්ක්ස්වැගන් සමූහයට විකිණීම සිදුකළේය. වත්මනෙහි ලැම්බෝගිනි අයත්වන්නේ ​වෝල්ක්ස්වැගන් සමූහයේ ‘අවුඩි’ අංශය වෙතය. 

 
සුපිරි රථයක් ලෙස ෆෙරූසියෝ ලැම්බෝගිනි වෙතින් නිෂ්පාදනය වී වෙනත් සමාගම් වෙත මෙලෙසින් හිමිකාරිත්වයට නතුවූ තවත් මෝටර් රථ නිෂ්පාදනයක් ලොව නොමැති තරම්ය. එය හරියට අතිශය රූමත් කාන්තාවක් කලින් කලට පිරිමි කිහිප දෙනෙකු අතට පත්වූවාක් මෙනි. මොන විදියට හිමිකාරීත්වයට නතුවුවද ලැම්බෝගිනි නිර්මාණ ආකෘති නම් සැමදාම අපූරු අලංකාර හැඩයක් ගත්තේය. හොලිවුඩ් චිත්‍රපට සඳහා නැතුවම බැරි මෝටර්රථයක් බවට වෙලාවකට ලැම්බෝගිනි පත්විය. විශේෂයෙන්ම ත්‍රාසය රැගත් ක්‍රියාදාම චිත්‍රපට සඳහා මෙම රථ යොදාගෙන තිබේ. 

 

 
ලැම්බෝගිනිවලට ප්‍රියකළ ලෝ ප්‍රකට චරිත

  
ලැම්බෝගිනි රථ පැදවීමට බෙහෙවින් ප්‍රියකළ ලෝ ප්‍රකට චරිත බොහෝය. ඒ අතරින් ලෝ ප්‍රකට බටහිර ගායන ශිල්පී ​ෆ්‍රෑන්ක් සිනාට්‍රා එක් අයෙකි. ක්‍රිස් බ්‍රවුන්, කාන්යේ වෙස්ට්, කිම් කාර්​ඩේෂියන් ඇතුළු ප්‍රකට හොලිවුඩ් හා බටහිර ගායන ශිල්පීන් ඒ අතර වෙති.   


ලැම්බෝගිනි, වෙනීනෝ රථය ලොව නිෂ්පාදනය වූ ඉතා මිල අධික රථයක් මෙන්ම, දුර්ලභ නිෂ්පාදන අතරට අයත්වේ. ප්‍රථම රථ පමණක්​ ඩොලර් මිලියන හතරකට අලෙවි වී තිබේ. ඉතාලියේ පොලිසියට භාවිතය සඳහා ලැම්බෝගිනි මෝටර් රථ ප්‍රදානය කර තිබීමද විශේෂිත දෙයකි. 2016 වසර යනු ලැම්බෝගිනි වසර ලෙස හැඳින්වීමට වඩාත් සුදුසු වන්නේ, වැඩි ප්‍රමාණයක් රථ අලෙවි වූයේ එම වසරේදී වීම නිසාය. වතිකානුව වෙනුවෙන් ලැම්බෝගිනි නාමයේ ගොල්ෆ් කාට් එකක් හෙවත් ගොල්ෆ් ක්‍රීඩා කිරීම සඳහා භාවිතා කළ හැකි විශේෂ වූ රථයක් නිපදවා දී තිබේ. එයද විශේෂයෙන් සඳහන් කළ හැකි දෙයකි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි පොලිසිය තම සේවා සඳහා යොදා ගත්තේ ලැම්බෝගිනි ඇතුළු සුපිරි රථ වීම තවත් විශේෂිතව සඳහන් කළ හැකි දෙයකි.  


ෆෙරූසියෝ ලැම්බෝගිනිගේ පසුකාලීන වූ ජීවිතය


ලෝකයට අධිසුපිරි රථයක් හඳුන්වා දුන් ෆෙරූසියෝ ලැම්බෝගිනි, විශ්‍රාම සුවය ගතකළේ පුංචි ඉඩකඩක නම් නොවේය. කිලෝමීටර තුනකට ආසන්න විශාලත්වයකින් එනම්, අක්කර 750ක පමණ විශාල ප්‍රමාණයකින් යුතු උද්‍යානයක ඔහු සැඳෑ සමය ගත කළේය. එම වතුයාය නම් කර තිබුණේ, ‘ලා ෆියොරිටා’ නමිනි. ත්‍රාසිමේනෝ විල අසල වෙරළ තීරයට ආසන්නව එය පිහි​ටා තිබේ. එහි සිට ෆෙරූසියෝ ලැම්බෝගිනි ජීවිතය යළි ඇරඹුවේ පටන් ගත් තැනිනි. එනම්, කෘෂිකර්මයට, ​ගොවි කටයුතුවලට මෙන්ම ​ගොවිපොළ කටයුතුවල නිරතවීමෙනි. තමාගේම වයින් නිපදවීමේ ස්ථානයක් මෙන්ම ගොල්ෆ් ක්‍රීඩාවට වෙන් වූ විශාල භූමියක්ද මෙම ​අක්කර ගණනාවකින් යුතු භූමියට අයත්ය. තෙවැනි බිරිඳට ෆෙරූසියෝට දාව පත්‍රීසියා දියණිය ලැබුණේ, මෙම ෆෙරූසියෝගේ වයස අවුරුදු 58දී වීම තවත් විශේෂිත අවස්ථාවක් විය. ලෝකයට සුපිරි මෝටර් රථයක් හඳුන්වාදුන් ලැම්බෝගිනි, සැඳෑ සමය ඉතා ප්‍රීතිමත්ව ගත කළ අතර, වයස අවුරුදු 76ක් ආයු වළඳා මියගියේද, තමා උපත ලැබූ රෙනාසෝහිදීය.

  
‘‘ජීවිතයේ පටන්ගැන්ම හරි සුන්දරය, ඒ පටන්ගැන්මෙහි අවසානයද සුන්දර කරගත හැකි නම්, ජීවිතයට තව වෙන මොනවද අවශ්‍යය?’’.

 

 

සටහන - සඳුන් ගමගේ