ජීවිත කාලයම ගව පාලනයේ යෙදෙන දිරිය කතකගේ කතාව


හැමතැනම වැටවල් ගහලා දැන් හරක් හදලා ජීවත් වෙන්න බෑ

චමිලා දුලාණි

 

 

 

තම ජීවිත කාලයම ගවයින් පසුපස යමින් උන්ගේ කුස පුරවා එයින් තමන් ද තම පවුල ද රක්ෂා කරන දිරිය මවක් සොයා අපි හම්බන්තොට බූන්දලට ගියෙමු. 


මෙම දිරිය මව ජීවත් වෙන්නේ බූන්දල ජාතික උද්‍යානය පෙනෙන මානයේය. අප පසුගියදා මෙම දිරිය කාන්තාව සොයා යන විට නිවසේ සිටියේ ඇයගේ වැඩිමහල් දියණිය පමණි. කපරාරු නොකරන ලද කාමර දෙක තුනකින් සමන්විත නිවස අප හට කියාපෑවේ ඇය කොතරම් වෙර වීරිය දැරුවත් ජීවිතයෙන් ගොඩ එන්නට ඔවුනට නොහැකි වී ඇති බවයි. 


‘අම්ම ඉන්නවාද?’ අප ඒ දි‍යණියගෙන් ප්‍රශ්න කළෙමු. 


‘අම්ම මේ ළඟට ගියා. ගාල කඩාගෙන හරක් ටික කුඹුරු යායට වැදිල. අයිතිකාරයො දැක්කොත් විසුමක් නෑ. හරක් ටික දක්කන් එන්න අම්ම ගියා. දැන් එයි. එන්න ගෙට. ඉඳගන්න.’ 


ස්වල්ප වේලාවකින් ගවයන් කිහිප දෙනකු ද රැගෙන ඇය අප අසලට පැමිණියාය. සිනහවකින් සංග්‍රහ කළ ඇය ගවයන් කිහිප දෙනා ගාලට තල්ලු‍කොට අප අසලට පැමිණියාය.  
‘මහත්තයල ආවේ...?’ ඇය ප්‍රශ්න කළාය. 


‘මුළු ජීවිත කාලයම හරකුන් පස්සේ ඇවිදපු සුපිරි තරුව හොයාගෙන තමයි අපි ආවේ. ඔයාගෙ වතගොත ටිකක් හොයල පත්තරේට ඔයා ගැන ලියන්න අපි ආවේ.’
‘ඒක හොඳයි. එතකොට උදව්වක්වත් අපට ලැබෙයිනේ. ජීවත් වෙන්න දැන් බෑ මොනව කළත්.’ ඇය කීවාය. 


ඇය ගලප්පත්ති ආරච්චිගේ චමිලා දුලානීය. හතළිස් වැනි වියේ පසු​ෙවන ඇය දරුවන් දෙදෙනකුගේ මවකි.  


‘මට තේරෙන කාලෙ ඉඳල මම කළේ හරක් බලාපු එක. මම මුලින්ම බැලු‍වෙ ආත්තම්මගෙ හරක් ටික. ආත්තම්මලාට හරක් සීයක් විතර හිටිය. මම ඉස්කෝලෙ යන්න ටිකක් කම්මැලි වුණා. වැලිගත්තෙ දහයෙ කොළනියේ ඉස්කෝලෙට මම ගියේ. හයවැනි ශ්‍රේණියෙන් පස්සෙ මම ඉස්කෝලෙ ගියේ නෑ. ඉස්කෝලෙන් පස්සෙ මම වැටුණෙ බූන්දල කළපුවට.’
 ඇය බූන්දල කළපුව යැයි පවසන්නේ බූන්දල ජාතික උද්‍යානයටය. බූන්දල ජාතික උද්‍යානය පැරැන්නන් විසින් හඳුන්වනු ලබන්නේ බූන්දල කළපුව ලෙසය. මෑත කාලයේදී එය බූන්දළ ජාතික උද්‍යානයක් ලෙස නම් කෙරිණි. 


‘බූන්දල කළපුවට වැටුණ කියන්නේ? අපට තේරෙන්නෙ නෑ.’


 ‘අපේ හරක් ඔක්කොම අපි දක්කන්නෙ බූන්දල කළපුවට. මගේ මුළු ජීවිත කාලයම ගෙවිල තියෙන්නෙ බූන්දල කළපුවෙ.’ 


‘කොහොමද මේ හරක්ගෙ පස්සෙ යන්න පුරුදු වුණේ?’  


අපි ඇයගේ අතීතය හාරා අවුස්සන්න උත්සාහ කළෙමු.  


‘මගේ ආත්තම්මට හරක් සීයක් විතර හිටිය. මම කුඩා කාලයේ අපේ තාත්ත කළෙත් හරක් දක්කන එක. අපේ ආත්තම්මගෙ ඔක්කොම හරක් කැලේට අරන් ගියෙත් ආපහු ගෙදරට ගෙනල්ල හරක් ගාල් කරන්නෙත් අපේ තාත්ත. ඉතින් මමත් සමහර දවස්වලට තාත්තගෙ පස්සෙන් යනවා. සමහර දවස්වලට ඉස්කෝලෙ යන්නෙ නැතිව හරක්ගෙ පස්සෙන් යනවා. ආත්තම්ම හරක්ගෙන් කිරි ගන්නකොට ඒවට මම උදව් කළා. මම පුංචි කෙල්ල වුණාට ආත්තම්මත් එක්ක මම හරක්ගෙන් කිරි දොවන්න පටන් ගත්තා. 
පස්සෙදි මගේ ඉස්කෝලෙ ගමන නතර වුණා. ඊට පස්සෙදි ආත්තම්මගෙ හරක්ගෙ පස්සෙන් මම වැටුණ. ඒක මට විනෝදයක් වුණා. කිරි ගත්තායින් පස්සෙ බූන්දල කළපුවට දාන හරක් ටික ආයේ හවස තුන හතර වෙනකොට දක්කගෙන එනවා. හරක් ටික ගාල් කරල ගෙට ගොඩවදිනකොට හැන්දෑවෙ පහ හය වෙනවා. ඊට පස්සෙන්දත් කරන්නෙ ඔය රාජකාරියම තමයි.’ 


වසර කිහිපයක් හරකුන් පසුපස ගිය චමිලා විවාහ දිවියට පත් වෙනවිට වයස අවුරුදු විස්සකට ආසන්න වෙමින් තිබුණි.  


‘මම අඩු වයසින්ම කසාද බැන්දා. මහත්තය දෙබරවැව පළාතේ කෙනෙක්. එයත් කරන්නෙ මේ රස්සාවම තමයි. කසාද බැන්දට පස්සෙ ජීවත් වෙන්න අමාරු වුණා. ප්‍රශ්න ගොඩක් ආවා. පළමු දරුවා ලැබෙන්න ඉන්න කාලෙත් මම හරක් ටික දක්කගෙන බූන්දල කළපුවට යනවා. මුළු දවසම ගත කරල තමයි ආපහු එන්නෙ.’ 


බූන්දල අභය භූමිය යනු විවිධ පක්ෂීන් ගහන කුරුළු අභය භූමියකි. ලොව පුරා සංචාරය කරනු ලබන පක්ෂීන් රැසක් වසරේ ඒ ඒ කාලවලදී බූන්දල කළපුව සොයා පැමිණේ. වන අලින් රංචුවක් ද බූන්දල කළපුව සිය වාස භූමිය කරගෙන සිටිති. 


හරක් දක්කගෙන බූන්දල කළපුවට යන චමිලාට වන අලින්ගෙන් කරදරයක් වූවේ නැද්දැයි අප කළ විමසුමට ඇය පැවසුවේ, මගේ ජීවිත කාලෙන් වැඩිහරියක් ගත කරල තියෙන්නේ බූන්දල කළපුවේ වුවත් අලින්ගෙන් තමන්ට කරදරයක් නොවූ බවයි.

 

තම ගව රැළත් සමග බූන්දල උද්‍යානය තුළදී 

 

 

 


‘හරක් දක්කගෙන යනකොට සමහර දවසට අලි හම්බ වෙනව. උන්ගෙන් අපිට කරදරයක් වුණේ නෑ. කවදාවත් අපේ පස්සෙන් අලි එළවල නෑ. බූන්දල කළපුවෙ අලිත් හිටිය. අපිත් හිටිය. 


හැබැයි දැන් අපිට බූන්දල කළපුවට හරක් දාන්න එපා කියල තියෙන්නෙ ඒකෙ ඉන්න මහත්තුරු. කළපුව විනාශ වෙනවලු‍. ළඟදි මම හරක් ටික දක්කගෙන යනකොට බූන්දල කළපුවෙ මහත්වරු කීප දෙනෙක් ඇවිත් හරක් දමන්න එපා කිව්ව. හරක් දැම්මොත් අත්අඩංගුවට අරගෙන උසාවි දමනව කිව්ව. මම කිව්ව කමක් නෑ උසාවි දමන්න. ඒ දැම්මත් හෙටත් අපි හරක් දමන්නෙ බූන්දල කළපුවට කියල. අපි මේ හරක් ටික කොහේ කියල දමන්නද?’


 චමිලා ප්‍රශ්න කරන්නීය.


‘කොහොම හරි දැනුත් අපි හරක් දමන්නෙ බූන්දල කළපුවට. ඒ මහත්වරු මාව අල්ලල උසාවි දැම්මෙ නෑ. ඒත් දැන් බූන්දල කළපුව පුරාම පතොක් වැවිල හරක්ට දැන් කළපුවෙ තණ කවන්න අමාරුයි. අලින්ටත් දැන් කළපුවෙ ආහාර හිඟයි.’ 


චමිලට හරකුන්ගෙන් කරදර වූවේ නැද්දැයි අප ඇසූ ප්‍රශ්නයට ඇයගේ පිළිතුර වූයේ එවැනි කරදර තමන්ට සිදු නොවූ බවයි.  


‘දවසක් හරකෙකුගෙ ලණුවක් පැටලිලා මාව බිම ඇදන් වැටුණා. ලණුව බෙල්ලට හිර වුණා. මාවත් ඇදගෙන හරක දුවන්න පටන් ගත්තා. පස්සෙදි මහත්තය දැකල දුවගෙන ඇවිදින් ලණුව කපල මාව බේර ගත්තා. මහත්තය නොහිටින්න සමහර වෙලාවට මගේ ජීවිතේ නැති වෙන්න ඉඩ තිබුණා’ යැයි චමිලා පැවසුවේ සිනහවක් පාමින්ය.  


‘ඒ හැරෙන්න මේ හරකුන් බැලිල්ලෙන් මට කරදරයක් වුණේ නෑ. බූන්දල කළපුවෙ සර්පයෝ ඉන්නවා. නයා, පොළඟ කොයි වෙලාවෙ ඇඟට පනීද දන්නේ නෑ. ගමනක් දෙකක් එහෙම අනතුරු වෙන්න ගිහින් තියෙනවා. අපිට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි කාන්තාවක් බූන්දල මහ කැලේ ඇවිදිනකොට ගොඩාක් අය අපි දිහා වැරදි විදියට බලනවා. ගොඩාක් වෙලාවට ගමේ අයගෙන් අපට කරදරයක් නෑ. සමහර සංචාරක වාහනවලින් එන අය අප විහිළුවට ගන්නවා. අපිත් මේ කරන්නේ ජීවත්වෙන්න කියල ඒ අය හිතන්නේ නෑ. 


හරක් පට්ටියක් බලනව කියන්නේ ඒ මනුස්සයගෙ ජීවිතේම ඒකට කැප කරන එකක්. අපිට තියෙන්නෙ ඒකාකාරී ජීවිතයක්. උදේට නැගිටිනව. උදේට උයනව. ගාලට යනවා. කිරි දොවනව. හරක් ටික අරගෙන කැලෑ වදිනව. ආපහු ඊළඟ දිනයේ කරන්නෙත් ඔය ටිකම තමා. මළගෙදරක යන්න, මඟුල් ගෙදරක යන්න, කොහේ හරි දුර ගමනක් යන්න අපිට කවදාවත් වෙන්නෙ නෑ. මම බූන්දලින් එහාට ගියපු කාලයක් මතක නෑ. එහෙම ගියොත් හරක්ට වතුරු ටික දෙන්න කෙනෙක් නැති වෙනවා. කන්න දෙන්න කෙනෙක් නැති වෙනවා. අපිට කියල පෞද්ගලික ජීවිතයක් නෑ. අපිත් හරක් ගානටම වැටිලා’ යැයි චමිලා සිනහවෙමින් අප සමග පැවසුවාය. 


‘දැන්නම් මේ හරක් හැදිල්ල කරදරයක් වෙලා තියෙන්නෙ. දැන් අපේ මුළු ගම පුරාම තියෙන්නෙ කුඹුරු. හරකුන්ට වෙන් කරල තණ භූමි නෑ. තියෙන ඒවත් වනජීවී එකෙන් කොටු කරල වැටවල් ගහල. නැත්නම් ගමේ මිනිස්සු අල්ලගෙන. හරක් දක්කන්න තැනක් නෑ. කොයි වෙලාවක හරි බූන්දල කළපුවටත් හරක් දක්කන එක නවත්වන්න වෙනවා. එහෙම වුණොත් හරක් කාරයන්ට යන එන මං නැති වෙනවා. දැන් ගමේ බොහෝ අය හරක් විකුණල දමල, හරක් රස්සාව කරන්න බෑ කියල. මූලිකම ප්‍රශ්නෙ හරක්ට තණ කවන්න තැනක් නෑ. 

 

චමිලාගේ නිවස

 

 


දැන් මගේ වයස අවුරුදු හතළිහයි. ඔය වයසෙන් අවුරුදු තිහක් විතරම කළේ හරක් දක්කපු එකම තමයි. මට හරක් දැක්කීම හැර වෙන දෙයක් කරන්න පුරුද්දක් නෑ. මේ රස්සාව කටුකයි. එ්ත් මේකෙන් අයින් වෙලා මට වෙන දෙයක් කරන්න හිත දෙන්නේ නෑ. මේ රස්සාවෙන් අපි කරගත්තු දේකුත් නෑ. බොහොම අමාරුවෙන් කාමර දෙක තුනක් හදා ගත්තා. අඩුම තරමේ බිත්ති ටික කපරාදු කර ගන්නවත් තවම අපිට බැරි වුණා. මේ හරක් ඇතිකිරීමෙන් අපට ඒ හැටි ආදායමක් නෑ. කිරි ගන්න හරක් හිඟ වුණ කාලෙට අපිට ලැබෙන ආදායම හොඳටම අඩු වෙනවා. කිරි ටික දෙන්න ස්ථිර කෙනෙක් නෑ. මේ දවස්වල නම් යෝගට් හදන කොම්පැණියකින් කිරි මිලදී ගන්නවා. ඒ කොම්පැණිය නාවොත් කිරි දෙන්න කෙනෙක් නෑ. 


මේ පළාතට අවුරුද්දෙ වැඩි කාලයක් පායනවා. මුළු පළාතම වේලිලා ගිහින්. මේ වෙනකොට හරක්ට තණ කවන එක ලොකුම ප්‍රශ්නයක් වෙලා.’ චමිලා කුමාරි පවසන්නීය. 
ඇයි ආණ්ඩුවෙන් මේ සඳහා උපකාර කරන්නේ නැද්දැයි අප ඇසූ පැනයට ඇය පැවසුවේ, ඔය රූපවාහිනියේ හරි රේඩියෝ එකේ හරි කියන කිසිවක් සිදු නොවන බවයි.  
‘කිරි හරක් හදන අයට උදව් කරනව කිව්වට අපට කරපු උදව්වක් නෑ. දවසට හරක් දහ පහළොස් දෙනා වාහනවලින් කොළඹට පටවනවා.’ 


මුළු ජීවිත කාලයම බූන්දල කළපුවේ තම ගව රැළත් සමග කරක් ගසන ගලප්පත්ති ආරච්චිගේ චමිලා දුලාණිගෙන් සමුගන්නා ගමන් අප ඇසුවේ තවත් කියන්නට යමක් ඇද්දැයි යන්නයි. 


‘කියන්න දෙයක් නෑ. මගේ ඉතිරි කාලෙත් මම මේ හරක් ටිකත් එක්කම පස්සෙන් ඇවිදිනවා’ යන්නයි. ඇය කිසිවක් නොකියා බොහෝ දේ සිතාගන්නට අපට ඉඩ හැරියාය.

 

 

 

සටහන - ඡායාරූප 
රන්න චන්ද්‍රසේන ගමගේ