ජීවිත එකසිය පනහක් දිය රකුසාගෙන් ගලවාගත් පොලිස් පුතා


කතානායක කරු ජයසූරිය මහතා අතින් විරුජන සම්මානය ලබාගත් අවස්ථාව

ආරක්ෂක රාජ්‍ය ඇමති රුවන් විජයවර්ධන මහතා තිළිණයක් පුද කරමින්.

 දෙරණ සම්මානය ලබාගත් අවස්ථාව

පොලිස් සැරයන් සරත් කුමාර දිනාගත් සම්මාන සමග   

 

සීදූව දඬුගම් ඔයෙන් මෙන්ම රජරට වැව්වලින් ලත් පන්නරය ඔස්සේ ශ්‍රී ලංකා පොලිසියේ ජීවිතාරක්ෂකයකු ලෙස පුරා තිස් දෙවසරක් තිස්සේ තම දිවි පරදුවට තබා වික්‍රමාන්විතව කටයුතු කරමින් දියේ ගිලෙන්නට ගිය 150ක පමණ පිරිසකගේ ජීවිත බේරා ගැනීමේ යෙදුණු 23 වැනි ජාතික විරුජන සම්මාන උළෙලේදී විරුජන රජත මුද්‍රිකාවෙන් ද පිදුම් ලැබූ පොලිස් නිලධාරියෙකු මීගමුව ඒත්තුකාල වෙරළ තීරයේදී හමුවිය.   


ශ්‍රී ලංකා පොලිසියට ගෞරවයක් ගෙන දුන් මේ නිලධාරියා ඒ.ඩබ්ලියු.ඒ. දොන් නිහාල් සරත් කුමාර අබේසේකර (56) නම් පොලිස් සැරයන්වරයාය. ඔහු මේ වනවිට ඒත්තුකාල වෙරළ තීරයේ රාජකාරියේ යෙදී සිටී.   
දස දෙනෙකුගෙන් යුත් පවුලේ පස්වැන්නා ලෙස රද්දොළුව කොටරූපේ දී උපත ලැබූ සරත් කුමාරගේ පියා විදුහල්පතිවරයෙකි. මව ගුරුවරියක වූවාය. රද්දොළුගම මහ විදුහලෙන් හා තඹුත්තේගම විදුහලෙන් ඉගෙනුම ලැබූ සරත් කුමාර මහතා 1984 ජූනි 10 වැනිදා ආධුනික පොලිස් කොස්තාපල්වරයෙකු ලෙස කළුතර පොලිස් අභ්‍යාස විදුහලේ පුහුණුවට එක්වී ඇත.   


ඔහු පළමුවරට ජීවිතයක් බේරාගෙන ඇත්තේ පාසල් සමයේදීය. ඒ දඬුගම් ඔයේ ගිලෙන්නට ගිය කාන්තාවක් බේරා ගැනීමෙනි. 1985-86 පොලිස් අන්තර් කොට්ඨාස පිහිනුම් තරගාවලියට රත්නපුර කොට්ඨාසය නියෝජනය කරමින් ජයගත් සරත් කුමාර 1987 දී ජීවිතාරක්ෂක පුහුණුව ලබා ලෝකඩ පදක්කම හා පුහුණු සහතිකය ලබා ගන්නට සමත්වූයේ අනාගතයේ රට වෙනුවෙන් වටිනා සේවයක් කරන අදහසිනි.   


දිවයිනේ විවිධ පෙදෙස්වල රාජකාරි කරමින් මුහුද, ගංගා, වැව් ආශ්‍රිතව උත්සව අවස්ථාවන්වලදී ජීවිතාරක්ෂක නිලධාරියෙකු ලෙස කටයුතු කර ඇත. අනුරාධපුර පොසොන් රාජකාරි, මහනුවර පෙරහැර, කතරගම පෙරහැර, යොවුන් පුර, අභ්‍යන්තර ජලාශ හා ගංගා ආශ්‍රිතව දිවි බේරා ගැනීමේ යෙදුණු සරත් කුමාර මහතා වැල්ලවත්ත, ගල්කිස්ස, හික්කඩුව, ඒත්තුකාල, කිරින්ද, තලවිල ආදී මුහුදු තීරයන්හිද ජීවිතාරක්ෂක කටයුතුවල යෙදෙමින් මේ කාලය තුළ බේරා ගත් ජීවිත ගණන එකසිය පනහක් පමණය. ඉන් ජීවිත සියයක් පමණ බේරාගෙන ඇත්තේ කිසිවකුගේ සහායක් නොමැති වීම විශේෂය. රත්නපුර බලංගොඩ සේවය කරන සමයේ පාසල් දරුවන්ට කලුගඟේ පිහිනීමේ පුහුණුව ලබා දීමටද ඔහු කටයුතු කර ඇත.   


ඒත්තුකාල වෙරළ තීරයේ රාජකාරියේ යෙදෙමින් ජීවිත සිය ගණනක් බේරා ගන්නා අතරේ 2016 සැප්තැම්බර් මස 25 වැනිදා තම ජීවිත අන්තරාය ගැන නොසලකා එම මුහුදු තීරයේ ගිලෙන්නට ගිය පුද්ගලයන් හයදෙනෙකුගේ ජීවිත බේරා ගැනීම වෙනුවෙන් 2007 සැප්තැම්බර් මස 25 වැනිදා කතානායක කරු ජයසූරිය, ආරක්ෂක රාජ්‍ය ඇමති රුවන් විජයවර්ධන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති උළෙලේදී වීර පොදුජන පෙරමුණ මගින් ඔහු විරුජන රජත මුද්‍රිකාවෙන් පිදුම් ලැබීය.   


මේ අතර දෙරණ විරු සම්මානයකටද සරත් කුමාර මහතා හිමිකම් කීවේය. යහපත් රාජකාරි වෙනුවෙන් සාධු සටහන් සියයකට වැඩි ගණනකට හිමිකම් කියන සැරයන් සරත් කුමාර මහතා දෙවතාවක් පොලිස්පති ප්‍රශංසාව ද හිමිකරගෙන ඇත. රත්නපුර හා වව්නියාවේ දී පිහිනුම් තරග ශූරතාවය ද ඔහු හිමි කරගෙන ඇත.   


“අප්පච්චි සමග රටපුරා පාසල්වලට ගියා. ගමේ දඬුගම් ඔයත් ඒ ඒ පෙදෙස්වල තිබූ වැව් ආදියත් නිසා මට පිහිනීම ප්‍රගුණ කරන්නට අවස්ථාව සැලසුනා. පාසල් සමයේ වොලිබෝල් ගහන්න යද්දී පළමු වතාවට දියේ ගිලුනු කාන්තාවක බේරා ගන්න මට ඉඩ ලැබුණා. පසුව දඬුගම් ඔයේ මියගිය දෙනෙනකු ගොඩ ගන්නටත් මම දායක වුණා. පොලිස් සේවයට බැඳුනාට පස්සේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චූලසිරි මහතාත් පොලිස් අධිකාරි පියදාස සිල්වා මහතාගෙනුත් ලැබුණු ආභාෂය ගුරු හරුකම් නිසා මට රට වෙනුවෙන් පොලිසියේ නාමය බබලවන්න හැකිවුණා. 2012 දී කිරින්දේදී ජීවිත දොළහක් බේරා ගන්නට ලැබුණු අවස්ථාව අතිශය බියකරු වුණා. මගේ මේ හපන්කම් කරන්නට සහෝදර නිලධාරීන්ගෙන් ලත් සහාය ද සිහිපත් කරනවා” යැයි ද අප කළ විමසීමේදී සරත් කුමාර මහතා පැවසීය. එමෙන්ම තවත් වසර තුනක් පොලිසියේ රාජකාරි කරන්නට අවස්ථාව ඇති බැවින් ඉදිරි කාලය සාමාන්‍ය රාජකාරිවල යෙදෙන්නට අදහස් කරගෙන සිටින බව ද ඔහු සදහන් කළේය. 

 

පොලිස් සැරයන්වරයා ඒත්තුකාල වෙරළේ රාජකාරියට සූදානම්ව සිටියදී

දරුවන්ට පිහිනුම් පුහුණුව ලබා දෙමින්  

දරුවන්ට පිහිනුම් පුහුණුව ලබා දෙමින්  

 දරුවන්ට ප්‍රථමාධාර පුහුණුව ලබා දෙමින්   

 

 

 


මීරිගම විශේෂ 
පුෂ්පකුමාර මල්ලවආරච්චි