ජාත්‍යන්තර බොක්සිං තරග විනිශ්චයට ගිය අපේ පොලිස් පරීක්‍ෂකවරිය


ලක්මවගේ දිරිය දියණියෝ

 

තොටිල්ල පදවන දෑතින් බොක්සිං ක්‍රීඩාව තුළ බොහෝ දේ අපට කියා​ දෙන ඇය හරි අපුරු වූ ගැහැනියකි.  


සියුමැලි ඇය තුළ වූ යකඩ ගැහැනිය ගැන කතා කරන්නට අද තවත් තර්ක අවශ්‍ය නැත. බොක්සිං ක්‍රීඩාව ලංකාවේ කාන්තාවන්ට අභියෝගාත්මක ක්‍රීඩාවකි. ඒ අභියෝගය ජය ගැනීමට ආත්ම ශක්තියක් යම් ගැහැනියක් තුළ ඇති වන්නේ නම් පිරිමියාට තරම් ගැහැනියට ඔරොත්තු දීමේ, දරාගැනීමේ හැකියාවක් නැතැයි කියන තර්කය පරාජය වනු ඇත. මතවාද තර්ක මැද හැමදාමත් සමාජයේ දෙවැනි තැන හිමි වූ ගැහැනියක ලෙස අභියෝග මැදින් බොක්සිං ක්‍රීඩා වළල්ලට ඇතුළු වූ ඇය සැබැවින්ම ලක්මවට පහළ වූ දිරිය දියණියකි.  


තම පාසල් කාලයේ බොක්සිං ක්‍රිඩාව නොකළද පාසලින් නික්ම යෑමෙන් පසුව ශ්‍රී ලංකා පොලිසියට බැදි බොක්සිං ක්‍රීඩාව ප්‍රගුණ කොට අන්තර් ජාතික බොක්සිං තීරකවරියක වූ ඇය අද අපේ කතානායිකාව වුයේ ලාංකීය බොක්සිං ක්‍රීඩාවේ බැබළෙන තරුවක් නිසා පමණක් නොව ක්‍රීඩාවෙන් පසු තීරකවරියක විනිසුරුවරියක ලෙස අන්තර්ජාතික බොක්සිං වළල්ලට එක්වූ පළමු කාන්තාව ඇය වූ හෙයිනි.  
ලාංකීය බොක්සිං ඉතිහාසයේ නව පෙරළියක් කරමින් ඉතිහාසයට එකතු වූ ඇය මේ වෙනවිට පොලිස් පරීක්‍ෂකවරියකි. ලංකාවේ ප්‍රථම බොක්සිං විනිසුරුවරිය වූ පොලිස් කාන්තා ක්‍රීඩිකාව වූ නෙල්කාගේ බොක්සිං ක්‍රීඩා වළලත් පොලිස් නිල ඇඳුමටත් වැසුණු ඒ සියුමැලි කතගේ ජීවිතය ගැන කතා කරන්නට අද අපි කතාබහ තුළින් ඉඩකඩ වෙන්කළා ඇය කාන්තා ප්‍රධාන පොලිස් පරීක්‍ෂිකා නෙල්කා ශිරෝමාලායි.   


සම්පුර්ණ නම   
තම්පු නේල්කා ශිරෝමාලා 
කොහොමද ඔබේ කුඩා කාලය ගත වෙන්නේ.?  


මම ඉපදුණේ මීරිගම එත් පුංචි කාලේ ඉදලා හැදුණේ වැඩුණේ නම් එක එක නාවික හමුදා නිල නිවාස වල මොකද මගේ තාත්තා තම්පු සම්පත් වසර 28 ක් නාවික හමුදාවේ බොක්සිං පුහුණුකරුවෙක් විදිහට සේවය කළා.  
පවුලේ ඉන්නේ මමයි, නංගිලා තුන්දෙනයි. මම තමයි පවුලේ වැඩිමල්ම දරුවා. 
තාත්තාගේ රැකියාවත් එක්ක මටයි නංගිලා තුන්දෙනාටයි ලංකාව වටේම විවිධ පාසල් වලට නිතර මාරු වෙන්න වුණා. මුලින්ම ඉගෙන ගත්තේ ත්‍රිකුණාමලේ නාවික හමුදා පාසලේ එතැනින් පස්සේ පාසල් කීපයකට යන්න වුණා. අවසානයේ නතර වුණේ ගාල්ල රිපන් බාලිකා විද්‍යාලයෙන්.  
මගේ අම්මා ගාල්ලේ සිංහල බෞද්ධ කාන්තාවක්, ඒත් තාත්තා අනුරාධපුරේ මගේ තාත්තා දමිළ තාත්තාගේ රැකියාවත් එක්ක මට නිතර පාසල් මාරු කරන්න වුණ නිසා අම්මා මාවයි ලොකු නංගිවයි ගාල්ලේ රිපන් බාලිකා පාසලට දැම්මා.  


පුංචි කාලේ ඉඳලා උසස් පෙළ වෙනකම්ම මම හිටියේ ගාල්ල රිපන් බාලිකා හොස්ටල් එකේ. පාසල් කාලේ ඉඳලම මම ක්‍රීඩාවට ලොකු දක්‍ෂතාවක් ආසාවක් දැක්වුවා. දැල්පන්දු පාපන්දු බැඩ්මින්ටන් කණ්ඩායම් වල නායිකාව විදිහටත් කටයුතු කළා. හැබැයි කොයිතරම් දඟලලා සෙල්ලම් කළත් කවදාවත් අධ්‍යාපනය කඩාකප්පල් කරගත්තේ නැහැ. උසස් පෙළ වෙනකම්ම මම හැමදාම පන්තියේ පළවෙනියා වුණා. මම කවදාවත් පන්තියේ දෙවැනියා වෙලා නැහැ. එ වගේම මගේ ජීවිතේ හැමදේකටම පසුබිම හදලා ඒ ආත්ම විශ්වාසය හික්මීම පිළිවෙළ කියලා දුන්නේ හොස්ටල් එකෙන්. අදටත් ඒ ලැබුණු දේවල් මගේ ජීවිතේට ලොකු ආශිර්වාදයක් විදිහට මම දකිනවා.  
1997 වසරේදි ඔබ පොලිසියට බැදෙනවා.  


ඔව් පාසල් අධ්‍යාපනය නතර කරනවත් එක්කම මම පොලිසියට අයදුම්පත් දැම්මා. ඒ වෙලාවේ මම පොලිසියට බැදෙනවට තාත්තා ගොඩක් සතුටු වුණා. 1997 දි කාන්තා උප පොලිස් පරීක්‍ෂකවරියක් විදිහට මුලින්ම පොලිසියට බැදුණු අවුරුද්දෙම මාව වව්නියාවේ යුද මෙහෙයුම් වලට යැව්වා. අම්මෝ එදා ගෙදර මතක් වෙලා මම හරියට ඇඬුවා. ඒ තරම් මම කවදාවත් අඬලා නැහැ. අවුරුදු එකහමාරක් විතර යුද සටනේ මානුෂිය මෙහෙයුම් ගණනාවකටම මට යන්න සිදුවුණා.   
ඒ අතර මම අවි පුහුණු උපදේශකවරියක් ලෙසත් වසර හතරක් වැඩ කළා. 1998 සියලුම අවිවලින් දක්‍ෂතම වෙඩි තබන්නිය බවටත් මම පත් වුණා.   
මේ දේවල් එක්ක මගේ ජීවිතේ ගොඩක් වෙනස් වෙන්නේ බොක්සිං ක්‍රිඩාව නිසා  

 

 


බොක්සිං ක්‍රිඩාවෙන් මේ තරම් දුරක් එන්න මගේ හීනෙකවත් තිබුණේ නැති දෙයක්. මගේ තාත්තා ලංකාවේ දැනටත් ජාතික බොක්සිං ශුරයා ලෙස විරුදාවලිය ලැබු හමුදා බොක්සිං ක්‍රීඩකයෙක්. තාත්තාට ගැනු දරුවොම හතරදෙනෙක් නිසා පුතෙක් නැති හින්දා එයාගෙන් පස්සේ කවුරු හරි බොක්සිං සෙල්ලම් කරනවා දකින්න තාත්තා ආස කළා.  
මම පොලිසයට බැඳෙනකොට කාන්තා ජාතික බොක්සිං තරගාවලි පටන් අරගෙන තිබුණේ නැහැ ලැංකාවේ. 2001 දි ලෝකේ මුලින්ම ජාතික බොක්සිං තරගාවලියක් පැවැත්වුණා. USA වල ඊට සමගාමීව ලංකාවේ බොක්සිං ක්‍රීඩාව ආරම්භ වුණා. එත් පොලිසියේ කාන්තා බොක්සිං ක්‍රිඩාව තිබුණේ නැහැ. එත් තාත්තා මාව පෞද්ගලිකව පුහුණු කරන්න එක්කගෙන ගියා. මුලින්ම බොක්සිං ක්‍රිඩාව පුහුණු වුණේ තාත්තා එක්ක. මම දක්‍ෂ බොක්සිං ක්‍රිඩිකාවක් වේවි කියලා පවුලේ කිසිම කෙනෙක් විශ්වාස කළේ නැහැ. අහම්බෙන් බොක්සිං ක්‍රිඩාවට අාපු මම අද ජාත්‍යන්තර බොක්සිං තරාගාවලි තීරකවරියක් ඒ ගැන මට ලොකු සතුටක් වගේම රට වෙනුවෙන් ලොකු ආඩම්බරයක් දැනෙනවා.  
මුලින්ම මම බොස්සිං වළල්ලට ක්‍රීඩිකාවක් විදිහට ඒන්නේ 2002 වසරේදි පොලිස් කාන්තාවක් ශ්‍රී ලංකා පොලිස් වළල්ලට අාපු පළමු වෙනියා විදිහට එදා මාව ගොඩක් කැපී පෙනුණා. එත් කාන්තාවකට ඔලිම්පික් මට්ටමට මෙම ක්‍රීඩාවෙන් යන්න අවකාශය අඩුයි කියලා මම තේරුම් ගත්තා. එත් මම ඒ උත්සාහය අතහැරියේ නැහැ.  
 මේ වෙනකොට රටවල් 32 ක වඩා මම තරඟ සඳහා සහභාගි වෙලා තියෙනවා. පොලිසියේ වෘත්තිය ජීවිතෙන් එක්ක මගේ ක්‍රීඩා ජීවිතේට ගොඩක් බාධක ආවා. ඒ කිසිම තැනකදි මම මගේ ආත්ම විශ්වාසය නැති කරගත්තේ නැහැ. ඔය අතරේ 2006 දි එක්සත් ජාතින්ගේ සාම සාධක හමුදාවට යන්න මාව තේරුණා. වසර 2ක් බොක්සිං නතර කරලා මම ගියා නැගෙනහිර ටිමෝරයට එරට විපක්‍ෂ නායක සහායා ගුන්වාන් සහ විපක්‍ෂ යේම මරි අල්කදිල් යන දෙපළගේ ආරක්‍ෂක නිලධාරිනිය විදිහට වැඩකරන්න ලැබුණා. එහි ආරක්‍ෂක නිලධාරින් 69 දෙනෙකු අතර එකට කාන්තා නිලධාරිනියකට හිටියේ මම විතරයි.   


ඔබේ ජීවන සහකරුවා මුණ ගැනෙන්නෙත් ආරක්‍ෂක අංශයෙන්මයි.  


ඔව් 2008 ලංකාවට ඇවිල්ලා මම විවාහ වුණා. ඒක වසර දහයක ප්‍රේම සම්බන්ධයකින් ඔහු විශේෂ කාර්ය බළකායේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සන්නිවේදන අංශයේ ස්ථානාධිපති විදිහට සේවය කරනවා ඔහු චන්දන වික්‍රමනායක. තාත්තා මාව බොක්සිං ක්‍රිඩාවට එක්කගෙන ආවට පස්සේ මට මේ ගැන ​ලොකු උණක් තිබුණා. ඒ කාලේ ජීවිතේ වටිනාම සෙල්ලම වු​ෙණ් බොක්සිං ක්‍රිඩාව.  


‘‘චන්දන මා එක්ක විවාහ වෙන්න කලින් මගේන් එක දෙයක් ඇහුව්වා.  


ඔයා බොක්සිංද තෝරගන්නේ මාවද කියලා ඇහුව්වා.’’  


මම කිව්වා මට බොක්සිං සෙල්ලම් කරන්න දෙන්නේ නැතිවුණොත් මේ සම්බන්ධය මට නතර කරන්න වෙනවා කියලා. එතකොට අපේ ආදර කතාවට අවුරුදු 10 ක්. ඒ තරමට මම බොක්සිං ක්‍රිඩාවට ආදරය කළා. අදටත් එහෙමයි. චන්දන මට ගොඩක් ආදරේ නිසා ඔහු මගේ කැමැත්තට ඉඩ දුන්නා. අපි විවාහ වෙලා අවුරුද්දකින් මවක් වෙන ලකුණු පහළ වුණා. ඒ වසරේ නිදහස් සැමරුම් උලේලේ සිවිල් අරාක්‍ෂක බළකායේ අණදෙන නිළධාරිනිය ලෙස මට පෙරෙඩ් එකට සහභාගී වෙන්න වුණා. පෙරෙඩ් එකට ගියාට පස්සේ මගේ පළමු බබා නැති වෙනවා. දැන් මට අවුරුදු 10 ක දුවෙක් ඉන්නවා. ඇය කොළඹ විශාඛා විද්‍යාලයේ 5 ශ්‍රේණියේ ඉගෙන ගන්නවා. මගේ ජීවිතේ  යෝධ සෙවණැල්ල මගේ සැමියා. ඔහු කවදාවත් ගෙදර වැඩ අතපසු වෙනවා කියලා වචනයක්වත් කියන්නේ නැහැ. ක්‍රිඩාව නිසා කවදාවත් අපි අතර හැල හැප්පිම් වෙලා නැහැ. විදේශ රටවලට යනකොට දරුවා බලාගෙන හැමදේකටම මට ශක්තියක් වෙන්නේ එයා. ඔහු මාව ගොඩක් තේරුම් අරන් ඉන්න සැමියෙක්. ඔහු වැනි සැමියෙක් ලැබීම ගැන මම ගොඩක් ආඩම්බර වෙනවා. 2009 දි ඔබ බොක්සිං විනිසුරු පඨමාලාවන්ට අයදුම් කරනවා.  


ඔව් මගේ ක්‍රිඩා ජීවිතේ එක අරමුණක් වුණේ ඒක. ලංකාවේ ප්‍රථම වරට බොක්සිං විනිසුරු පාඨමාලාවන්ට අයදුම් කරන්න අවස්ථාව ලැබුණාම ලොකු විශ්වාසයක් එක්ක මමත් අයදුම් කළා. ඒ අවස්ථාවේදී ප්‍රථම කාන්තා විනිදුරුවරියන් 4 දෙනෙකු අතරට මටත් ඇතැළු වෙන්න වාසනාව ලැබුණා. මාස 6 ක් ඇතුළත තරු එකේ විනිසුරුවරියක ලෙස පත්වීමට අවස්ථාව ලැබුණා. ඒ විදහට තරු 3 දක්වා මම උසස් වීම් ලැබුවා. 2017 මුළු ආසියාවෙන්ම කාන්තා පිරිමි දෙකෙන්ම හොඳම විනිසුරුවරියට හිමි සම්මානය මට ලැබුණා.  
ඒ විදිහට ලෝකයේ ප්‍රථම වෘත්තියමය බොක්සින් විනිසුරුවරියක ලෙස කටයුතු කරමින් දකුණු ආසියානු ගිනිකොන ආසියුනු තරගාවලි කිහිපයකටම මම දායකත්වය ලබා දී තිබෙනවා. ඒ වගේම ලෝක බොක්සිං ශුරතාවලි 4 ක්. ආසියානු බොක්සිං ශුරතාවලි 4 ක්. පොදු රාජ්‍ය මණ්ඩලිය යොවුන් බොක්සිං ක්‍රීඩා තරගාවලිය ඇතුළු ජගත් මට්ටමේ තරගාවලි රාශියක බොක්සිං විනිසුරුවරියක ලෙස නියෝජනය කර තිබෙනවා. 2018 ප්‍රථම කාන්තා විනිදුරුවරිය ලෙස පොදු රාජ්‍ය මණ්ඩලිය තරග නියෝජනය කරන්න ලැබීම ගැනත් ලොකු සතුටක් වගේම ගෞරවයක් තියෙනවා. ඔලිම්පික් උළෙලේ විනිසුරුවරියක් ලෙස නියෝජනය කරන ඒක තමයි මගේ ඊළග කඩඉම මොකද මේ වෙනතෙක් කාන්තාවක් විනිසුරුවරියක් ලෙස ඔළිම්පික් උළෙලට සහභාගි වෙලා නැහැ.  

 

 


බොක්සිං වළල්ල තුළ වගේම නිල ඇදුමෙන් වැසුණු රාජකාරිය තුළත් ඇය අති දක්‍ෂ පොලිස් නිළධාරිනියක්.  


2017 කොල්ලුපිටිය පොලිසියට පත්ව එද්දි අභියෝග රැසකට මට මුණ දෙන්න වුණා. පොලිස් කාන්තාවක් විදිහට ජිවිතේ වැඩිපුරම අත්දැකිම් ගත්තේ කොල්ලුපිටිය පොලිසියෙන්.  
කුඩු, ගංජා, සිගරට්, මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයේ වැටලීම් කරලා මගේ කණ්ඩායම එක්ක මම අල්ලලා තියෙනවා. ලංකාවේ වැඩිම කෝටි 4 1/2 අධික සිගරට් තොගය අල්ලන්න කණ්ඩායමට මුලිකත්වය දුන්නේ මම. කොල්ලුපිටියේ දේශපාලන හයියෙන් කරගෙන ගිය ස්පා 2 ක් තිබුණා. මම කොල්ලුපිටියේ ඉද්දි වැටලීම් කරලා ඒ සම්බාහන මධ්‍යස්ථාන 2 ම වැහුව්වා. ගංජා, කුඩු අල්ලද්දි ස්පා වහද්දී මාව එහාට මෙහාට ස්ථාන මාරු කරන්න බොහෝ දෙනා උත්සාහ ගත්තා. දේශපාලන බලපෑම් ආවා. පොලිස් නිලධාරිනියක් විදිහට මම හැමදාමත් කොන්ද කෙළින් තියන් වැඩ කළා.  


කොන්දක් නැති මිනිස්සු දේශපාලන හයියෙන් එහාට මෙහාට ස්ථාන මාරුවීම් දිලා එපා කරවන්න හැදුවා. ඒ අවස්ථා වලදී හොද පිට කොන්දක් තියෙන ගැහැනියෙක් විදිහට මම ඒවට මුණ දුන්නා.  


ගණිකා නිවාස වැටලීම් රැසක් මම කළා. නිලධාරිනියකට වඩා ගැහැනියක් විදිහට ඒ සමහර කතා ඇහුව්වම සමාජය ගැන මට ලොකු කලකිරීමක් දැනුණා. විශ්වවිද්‍යාල රැසක ගැහැනු දරුවෝ අමතර රැකියාවක් විදිහට කරන්නේ සමාජ ශාලා වල වැඩ කරන එක.  


 නිල ඇදුමට ඇතුළෙන් හිත ගිනිගත්ත කතා වගේම මගේ හදවත අඬපු අවස්ථා අනන්තයි. අප්‍රමාණයි.   


ජීවි​තේ අනුවේදනිය කතා අහන්න ලැබුණේ‍ නිට්ටම්බුව ළමා හා කාන්තා අංශයේ ස්ථානාධිපති වෙලා ඉද්දි. වෙසක් පෝය දවසේ හාමුදුරුනමක් අත්අඩංගුවට ගන්න මට සිද්ධ වුණා පොඩි දරුවකුට අතවර කිරීම සම්බන්ධයෙන්. ඒක මට කවදාවත් අමතක කරන්න බැරි දෙයක්.  


ජිවිතේ ගැන අද මොකද හිතෙන්නේ.  


මගේ නිල ඇදුමෙන් බොක්සිං ක්‍රිඩාවෙන් මගේ රට වෙනුවෙන් තව කරන්න ගොඩක් දේවල් තියෙනවා. මගේ දැනට තියෙන එකම අරමුණ බොක්සිං විනිසුරුවරියක් විදිහට ඔලිම්පික් තරඟයක් නි​යෝජනය කරන එක. මගේ පියා විශ්‍රාමිකයි. අම්මා මීට වසර 8 කලින් දරුවන්ගේ වගකීම් වලින් නිදහස් වෙලා කඩවත විශාඛා ලෙස මෙහෙණියක් වුණා. අපි දරුවෝ 4 දෙනාම උපාධිධාරින් කළා. දඟකාරව ගත කරන ජීවිතේ මගේ දියණියගේ වැඩ කටයුතු අවසන් වුණාට පස්සේ මගේ අම්මා ගිය පාරේ යන්න හිතුණෝත් දෙපාරක් හිතන්නේ නැහැ.  

 

 

නදීශා අතුකෝරළ