ජනපති අගමැති දෙපසට කඹ අදින අාර්මේනියාව


​ලොව බොහෝ රටවල දේශපාලනයට පිවිස සිටින බොහෝ දෙනා උගත් බුද්ධිමත් යහපත් පුද්ලගයින් නොවෙති. රටවල් කාබාසිනියා වන්නේ මේ නිසාය. ඔවුන්ට ඇත්තේ කානු කටවල්ය. සිදු කරන්නේ තප්පුලෑම පමණකි. ඔවුන් ගන්නේ හරි පැත්ත නොවේ. වාසි පැත්තය. ‘නැගී සිටිය හැක එක්සත් වී’ යන කියමන ඔවුන් පිළිගන්නේ නැත. බෙදී ගියොත් රට යයි සුන්වී යන කියමනද ඔවුහු පිළි නොගනිති. විවිධ රාජ්‍යයන්හි මා දුටුවේ සංකීර්ණ ජීවිත තුළ සැනසීමට යමක් සොයන ජනතාවය. සැනසිය නොහැකිව වැනසෙන ජනතාවය. මාටින් ලූතර් කිං කිව්වේ සෑම මිනිසෙකුම සමාන අයිතිවාසිකම් ඇතිව මෙලොවට බිහිවන බවය. අද ලෝකයේ මේ කියමන සාක්ෂාත් වී නැත. රටවල් නරකාදී බවට පත් වන්නේ ජනතාවගේ හෘදසාක්ෂිය නිර්ලජ්ජිත විදියට ඝාතනය කරන මජර දේශපාලකයින්ගේ ක්‍රියාකාරිත්වයෙනි.   


වසරකට වැඩි කාලයක් තිස්සේ අවීචි මහා නරකාදී බවට පත්වී අැති රටවල් රාශියක් පිළිබඳ විස්තර මෙම ලිපි පෙළ මඟින් ඉදිරිපත් කළෙමි. මෙසේ හැඳින්වූ රටවල සිටිනුයේ ජීවිතයක වටිනාකම නොදැන විරිත්තන පාලකයින්ය. ඔවුහු සොරකම් කරනතාක් කල් ජාතික වීරයින්ය. දේශප්‍රේමීන්ය. ​අමන ජනතාව සිදු කරනුයේ ඔවුන් උත්කර්ෂයට නංවා බබළවන එකයි. එම රාජ්‍යයන් නරකාදියෙන් මුදවා ගැනීමට උත්සාහ කරන අයට තැනක් නැත. පාලකයින් විසින් දඩ බල්ලන් යොදවා අහිංසක ජනතාව මෙල්ල කළ තවත් රටකි අර්මේනියාව (Armenia) අද හඳුන්වන්නේ එම අර්මේනියා රාජ්‍යයයි.   


කොට උඩ හිරවුන අර්මේනියාව  


ජනතා පරමාධිපත්‍යය බල්ලට ගිය නීතියේ ආධිපත්‍යය බිඳ වැටුණු ගම් නියම් ගම් සුසාන භූමි බවට පත්වුණු තවත් බංකොලොත් ජන රජයකි මේ කියන අර්මේනියාව. මේ අර්මේනියා රට අයත් වන්නේ යුරෝපයටද ආසියාවටද යනුවෙන් තවමත් විවිධ මත පළ වෙමින් පවතී. මෙය නැගෙනහිර යුරෝපයට හා බටහිර ආසියාවට මැදිව පිහිටි රටකි.   
තුර්කිය, ජෝර්ජියාව, අසර්බයිජානය, ඉරානය යන රටවලට මැදිව පිහිටා ඇත. විශාලත්වය ව.කි.මි 29,743 කි., ව.සැ 11,484 කි. විශාලත්වය අතින් ලෝකයේ 138 වැනි රටයි. ජනගහනය 29,24,816 කි. ක්‍රිස්තියානි ආගම රාජ්‍ය ආගම බවට නම් කළ ප්‍රථම රට මෙයයි. දීර්ඝ කාලයක් සෝවියට් දේශයට අයත්ව තිබූ රාජ්‍යයකි. සෝවියට් දේශයෙන් නිදහස ලබා ගත්තේ 1991 සැප් 21 දාය. පාර්ලිමේන්තුව හඳුන්වන්නේ රාජ්‍ය සභාව වශයෙනි. එහි මන්ත්‍රී ධුර සංඛ්‍යාව 132 කි. මෙහි වත්මන් ජනපති අර්මෙන් සර්කිසියන්ය. (Armen Sarkissian) අගමැති නිකොල් පසිනියන්ය. (Nikol Pashiniyan) 1991 සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසු අර්මේනියාව ස්වාධීන රාජ්‍යයක් වුවත් පසුගිය වසර 28ක කාල සීමාව තුළ දේශපාලන බල අරගල සහ මහා පරිමාණයෙන් දූෂණ හේතු කොටගෙන රට ගොඩ ගියේ නැත. කොට උඩ හිරවිය. අගමැති හා ජනපති කඹ ඇද ගන්නා රටකි.   
2 වැනි ලෝක මහා සංග්‍රාමයේදී අර්මේනියානු ජාතිකයෝ ලක්ෂ 5ක් පමණ යුද බිමට පිවිසුනහ. ඉන් 1,75,000 ක් පමණ මියගියහ. ජෝසප් ස්ටාලින් මියගොස් නිකිනා කෘෂෙප් සෝවියට් දේශයේ පාලනය බාර ගැනීමෙන් පසු 1953 දී අර්මේනියාවේ විශාල පරිවර්තනයක් සිදුවිය. දීර්ඝ කාලයක් තිස්සේ යුද්ධ වලින් හෙම්බත් වූ රටකි. රටපුරා වැඩි වශයෙන්ම අැත්තේ අහස උස කඳුය. තුර්කිය සමග නිතර ගැටුම් පැවතිණි. මෙහි ගයුම්රි (Gyumri) ප්‍රදේශයේ සෝවියට් යුද කඳවුරක්ද පිහිටා තිබුණි. අතීතයේ අසර්බයිජානය සමගද නිතර ගැටුම් හට ගත්තේය.   


ලක්ෂ 9ක් කුසගින්නේ   


මෙහි අද තරුණ පරපුර තුළ විරැකියාව උග්‍ර වී ඇත. රට අතහැර යන අයගේ සංඛ්‍යාව අධික වෙමින් පවතී. මෙහි දරිද්‍රතාව මුළු ජනගහනයෙන් සියයට 30කට වැඩිය. මුළු ජනගහනයෙන් ලක්ෂ 9ක් (9,00000) පමණ අන්ත දුගී අසරණයින්ය. උදාහරණයක් වශයෙන් මෙහි වැන්ඩෝසර් නගරයේ මුළු ජනගහනය 68,000කට මදක් වැඩිය. ඉන් 25,000ක් පමණ ඉතා මහලු වියේ පසුවන පුරවැසියන්ය. ඔවුන්ට රජයෙන් කිසිම සහනයක් නොලැබේ. මුළු රටේම තත්ත්වය මෙයයි. බහුතර ජනතාවගේ දෛනික වැටුප ඩොලර් 1.90 ක් පමණ වේ. සෑම ළදරු උපත් 1000කට ළදරුවන් 20කට වැඩි පිරිසක් උපතේදීම මියයයි. ළමා ශ්‍රමිකයින් වැඩිම පිරිසක් සිටින රටකි. ළමා ජනගහනයෙන් 30% පමණ විවිධ රැකියාවල නිරත වෙති. ළමා කම්කරුවන්ගේ දුක් අඳෝනාව මෙහි දසත පැතිරී යයි. ඔවුන්ට කිසිදු හව්හරණයක් නැත.   


මුස්ලිම් අන්තවාදීන් වැනසූ රට   


තුර්කියේ මුස්ලිම් ආගමික අන්තවාදීන් විසින් අර්මේනියාවේ ස්වකීය මතවාදය පතුරුවාලීමට සිදුකළ විනාශකාරී ක්‍රියා තුළින් රට ආපස්සට ගියේය. මෙම අමානුෂික ක්‍රියා සිදු කළේ තුර්කියේ කුර්දි (Kurds) වරුන්ය. විනාශ කළ ක්‍රිස්තියානි පල්ලි සංඛ්‍යාව අතිවිශාලය. 1916 සිට මුස්ලිම් අන්තවාදී ආගමික කැරලිකරුවන් විසින් අර්මේනියාවේ සිදු කළ මනුෂ්‍ය සන්හාරවලින් මේ දක්වා මියගොස් ඇති සංඛ්‍යාව ලක්ෂ 6කට අධිකය. අර්මේනියාවේ ක්‍රිස්තියානි පල්ලි වනසමින් සිදුකළ මේ සමූලඝාතනය අර්මේනියාවේ සමූලඝාතනය (Aremenian Genocide) වශයෙන් ඉතිහාස ගතවී තිබේ.   


මෙහි පළාත් 11 කින් විවිධ පහසුකම් මද වශයෙන් හෝ ලබාදී ඇත්තේ පළාත් 7කට පමණකි. කඳුකර පළාත්වලට ගමනාගමන, විදුලිය, සෞඛ්‍ය, අධ්‍යාපන පහසුකම් ලබාදී නැත. ලෝක ආහාර සංවිධානය (WFP) මගින් 1993 වර්ෂයේ සිට පවුල් 70,000කට පමණ ආහාර සලාක ලබාදෙයි. මෙහි සිටින්නේ ජනතාවට ලබාදෙන මෙම ආහාර සලාක පවා ගසා කන දේශපාළුවන්ය. දුප්පතුන් වැඩි වශයෙන්ම සිටින්නේ ශිරාක් පළාතේය. එහි දරිද්‍රතාව සියයට 55කට වැඩිය. මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ගේ සංඛ්‍යාව අතිවිශාලය. සෞඛ්‍ය පහසුකම් නැති නිසා මියයන රෝගීන්ගේ සංඛ්‍යාවද අතිවිශාලය.   


 අර්මේනියාවේ අැත්තේ රත්රන්, තඹ, රිදී, යකඩ ඇතුළු විවිධ ඛනිජ ද්‍රව්‍යවලින් යුත් පොළවකි. මෙම ඛනිජ ඉල්ලම් විටින් විට බලයට පත්වන දේශපාලකයින් විසින් විදේශ සමාගම්වලට විකිණීම හෝ බදු දීම තුළින් රටට ඒ සම්පත්වලින් නිසි ප්‍රයෝජන ලබා ගැනීමට නොහැකි වී ඇත. මෙය දූෂණයෙන් පිරුණ රටකි. රටේ කෘෂිකර්මාන්තය නඟාසිටුවීමට රජය පියවර ගෙන නැත. රසායනික ද්‍රව්‍ය, විදුලි උපකරණ, විවිධ යන්ත්‍ර, රෙදි, රබර් භාණ්ඩ නිපද වූ රටකි. අද ඒ කර්මාන්ත බොහොමයක් වැසී ගොස්ය. 1988 සිදුවූ භූමි කම්පාවෙන් මියගිය සංඛ්‍යාව 25,000කට වැඩිය. පන් ලක්ෂයකට පමණ නිවාස අහිමි විය. යුද්ධවලින්ද ස්වභාවික විපත්වලින්ද වැනසුන මේ රට දේශපාලකයින් විසින් කා දමන්නේ හිතක් පපුවක් නැති එවුන් පරිද්දෙනි.   


මෙන්න අර්මේනියාවේ ජීවන අරගලය   


2018 සැප් 29 දින ‘‘ද ගාඩියන්’’ පුවත්පත අර්මේනියාවේ අතීතය හා අනාගතය පිළිබඳව විශේෂ ලිපියක් පළ කර තිබුණි. එම ලිපියෙහි සිරස්තලයෙහි සිංහල පරිවර්තනය මෙසේය. ‘‘අර්මේනියාවේ ජීවන අරගලය මියයාම වඩාත් හොඳය’’ මෙම විශේෂ ලිපියෙහි සඳහන් දත්තයන් හද කම්පා කරවනසුලුය. සිරියාවේ රුසියානු මැදිහත්වීම්වලට සහය දැක්වීම සඳහා අද අඳුරු අගාධයකට තල්ලු වී ඇති අර්මේනියාව තම රටේද හමුදාව යැවූ බවට 2019 අප්‍රේල් 10දා විවිධ ජාත්‍යන්තර මාධ්‍යයන් පුවත් පළ කර තිබුණි. තම රට වළ පල්ලට ගියත් තම පැවැත්ම සඳහා ලොව බොහෝ පාලකයින් ලොව බළකඳවුරවලට සමීප වන අයුරු මින් පැහැදිලි වේ.   


ලෝකයේ තවත් අඳුරු අගාධයක හිරවී ඇති අර්මේනියාවට යළිත් නවෝදය උදාවන බවක් පේන තෙක්මානයක වත් නැත. 2018 මැයි 8දා අර්මේනියාවේ නව අගමැති වශයෙන් පත්වුයේ නිකොල් පශිනියන්ය. ඔහු ප්‍රවීන මාධ්‍යවේදි​ෙයකි. පුවත්පත් කතුවරයෙකි. පොත් කීපයක්ම ලියා පළකළ ලේඛකයෙකි. දේශකයෙකි. මධ්‍යස්ථ මත ධාරියෙකි. රාජ්‍ය ත්‍රස්තවාදයට, අල්ලසට, දූෂණයට එරෙහිව රට පුරා උද්ඝෝෂණ ව්‍යාපාර මෙහෙයවූ සටන්කරුවෙකි. ඔහු අර්මේනියාවේ අගමැති තනතුරට පත්වීම දීර්ඝ කාලයක් තුළ සිදුවන සටනක ප්‍රතිඵලයකි.   

 

ජනතාව දුක් විඳින හැටි   

 

 


හිටපු ජනපතිගේ පවුල් පාලනය. 

 
නිකොල් අගමැති බවට පත්වුණේ මහජන ඡන්දයෙනි. හිටපු ජනපති සර්ගිසන් 2018 අප්‍රේල් මස ඉල්ලා අස්වූයේ මහජන උද්ඝෝෂණ උග්‍රවීම නිසාය. සර්ගිසන් අර්මේනියාවේ දෙවරක් අගමැති තනතුරු දැරීය. 2008 සිට 2018 දක්වා වසර 10ක් ජනපති තනතුරු දැරුවේය. ඔහු පවුල් බලය තර කරගත් බලලෝභී පාලකයෙකු වශයෙන් ප්‍රකටය. 1975 වර්ෂයේදී යර්වන් (Yereven) නගරයේ විදුලි උත්පාදන බලාගාරයක සේවය කළ මේ සර්ගිසන් රටේ මුල් පුටුවට පත්වීම වෙනම කතාන්දරයකි.   


 ඔහු රටේ මුල් පුටුවට පත්වීමෙන් පසු තම දියණියන් දෙදෙනා වූ අනුෂ් සහ සැටනික් රජයේ ඉහළම තනතුරුවලට පත්කර ගත්තේය. මහ බැංකුවේ අධිපතිකමට තම මල්ලී වූ ටිග්රන් සර්ගිසන් (Tigran sargsyan) පත් කළේය. මහ බැංකුව ශුද්ධ කිරීමට ඔහුට හැකි වුණේ මෙසේය. රටේ මුල් පුටුවේ සිටි සර්ගිසන් රුසියාවේ පුටින්ගේ හයිය කරට ගත්තේය.   
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය කියන පරිදි ඔහු තම පවුලේ උදවිය ඛනිජ ඉල්ලම් වලින් අතිවිශාල මුදලක් යටිමඩි ගසා ඇත. යෙරෙවන් නගරයේ ජල ව්‍යාපෘතිය සඳහා ලෝක බැංකුව සැපයූ මුදල් වලින් ඩොලර් මිලියන 30ක් අවභාවිතා කිරීම ඔහුට එල්ල වූ තවත් චෝදනාවකි. රට ප්‍රපාතයට ඇද වැටුණේ සර්ගිසන්ගේ පවුල් පාලනය නිසා බව විවිධ ජාත්‍යන්තර ජන මාධ්‍යයන් හෙළි කළේය.   


2008 මාර්තු 1දා පැවැත්වූ මැතිවරණය ඉතා දූෂිත බව හෙළිවිය. මෙම මැතිවරණ සමයේදී තමාට විරුද්ධව සිටි ජනතා නියෝජිතයින් 10 දෙනෙකු තම ආරක්ෂකයින් ලවා ඝාතනය කිරීම ඔහුට එල්ල වූ තවත් චෝදනාවකි. රට අගාධයට ඇදවැටෙද්දී සර්ගිසන් තම පවුල සමග රාජ්‍ය සම්පත් මංකොල්ල කෑම සිදුකරන බව මුල්වරට නිර්භයවම සාධක සහිතව ජනතාවට පෙන්වා දුන්නේ මාධ්‍යවේදී නිකොල්ය. නිකොල් 1998 දී ‘‘අර්මේනියන් ටයිම්ස්’’ (Armenian Times) පුවත්පත ඇරඹීය. රාජ්‍ය දූෂණ හෙළි කිරීම නිසා රජය මගින් 1999 දී මෙම පුවත්පත තහනම් කරනු ලැබීය. නිකොල්ට වසරක සිර දඬුවමක් නියම විය.   


(රට පෙරට ගෙන යන මාධ්‍යවේදීයා)   


වසරක සිර දඬුවම අවසන් කර ගෙදර පැමිණි නිකොල් ‘‘පෘථිවියේ අනිත් පැත්ත’’ යනුවෙන් පොතක් ලියා පළ කළේය. රට පුරා එම පොත උණු කැවුම් මෙන් විකිණී ගියේය. ඉන් ඔහුට රජයට එරෙහිව ප්‍රබල මහජන හඬක් නැංවීමට හැකි විය. මේ කියන අර්මේනියාවේද ජනපති හා අගමැති අතර කඹ ඇදීමේ තරගයක් පවතී. අර්මේනියාවත් ලත් තැනම ​ෙලාප් වී තිබෙන්නේ මේ නිසාය.   


නිකෝල් නායකත්වය දුන් උද්ඝෝෂණ ව්‍යාපාර වලින් කියැවුණේ දූෂිත සර්ගිසන්ට ඉල්ලා අස්වන ලෙසටයි. රුසියාවේ පුටින්ගේ මිතුරා ඉල්ලා අස්වුණේ කරකියා ගත හැකි වෙනත් දෙයක් නොවූ බැවිනි. නිකොල් නමැති ප්‍රවීන මාධ්‍යවේදියාට පහරදී බරපතළ තුවාල සිදු කිරීම ඔහු ගමන්ගත් වාහනයට බෝම්බ ගසා ඔහු ඝාතනය කිරීමට කටයුතු කිරීම ආදී චෝදනා එල්ල වූ හිටපු ආරක්ෂක ඇමතිවරයාද මහජන උද්ඝෝෂණ හමුවෙහි ඉල්ලා අස්විය. බන්ධනාගාරයේදී ආරක්ෂක නිලධාරීන් යොදවා ඔහුට අමානුෂික අයුරින් වධ දීමේ සිද්ධියද ජාත්‍යන්තර මාධ්‍යයන්හි පළවිය. පත්‍ර කර්තෘ නිකොල් අර්මේනියාවේ අගමැති තනතුරට පත්වීම අර්මේනියාවේ ප්‍රජාතන්ත්‍රවාදය ජයගත් එක් සුවිශේෂ අවස්ථාවකි.   


(ව්‍යවස්ථාවට පයින් ගැසූ ජනපති)   


මේ රටේද හිටපු පාලකයා වූ සර්ගිසන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණිව ක්‍රියා කිරීම ඔහුට එල්ල වූ තවත් චෝදනාවකි. ජනාධිපති ධුර කාලය අවසන් වීමෙන් පසු ජනාධිපති සතු බලතල අගමැතිවරයා වෙත පැවරීම සඳහා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ බහුතරයකගේ සහය ලබා ගැනීමට ඔහු ජාතික ධනයෙන් සොරකම් කළ මුදල් යෙදවූ බවට අනාවරණය විය. 1999 ඔක්තෝබර් 27 දා පාර්ලිමේන්තුවට එල්ල වූ ප්‍රහාරය පිළිබඳවද විවිධ තොරතුරු පළවිය. එම ප්‍රහාරයේදී කතානායක කරන් දිමිර්චියන් (Karen Demirchyan) ප්‍රමුඛ මන්ත්‍රීවරුන් 7 දෙනෙකු ඝාතනය කරන ලදී. මෙසේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාදාමයන් රාශියක් සිදුවූ අර්මේනියාව පාලනය වෙනස් වුවත් තවමත් එතැනමය.   


මාධ්‍යවේදී නිකෝල් මෙහි සිදුකළ පෙරළිය යුගොස්ලෝවියාව, රුවන්ඩාව සහ දකුණු අප්‍රිකාව යන රටවල සිදුවූ පෙරළියට සමානය. මා මෙම කරුණු කෙටියෙන් වුවත් සඳහන් කරනු ලබන්නේ මේ රට ක්‍රම ක්‍රමයෙන් වළපල්ලට යාමට ඒවා ඉවහල් වූ බැවිනි. නිකෝල් බලයට පත් වීමෙන් පසු මෙහි හිටපු ජනපති වරයෙකු වූ රොබර්ට් කොචරින් (Robert Kochryan) 2018 දෙසැම්බර් 7 වැනිදා දූෂණ චෝදනා යටතේ අත්අඩංගුවට ගන්නා ලදී. ඔහුට ඇප ලබාදීම පවා අත්අඩංගුවට ගෙන සති 3කට පසුවද එනම් 2018 දෙසැ 28 දා අධිකරණය මගින් ප්‍රතික්ෂේප කරන ලදී. බලය රැක ගැනීම සඳහා පුද්ගලයන් අතුරුදන් කිරීම, ඝාතනය කිරීම සහ අාරක්ෂක හමුදා යොදවා ස්ත්‍රීන් දූෂණය කිරීම, මුදල් විශුද්ධිකරණය ආදී චෝදනා රැසක් ඔහුට එරෙහිවද එල්ල විය. මේ රටේද විවිධ චෝදනා යටතේ අත්අඩංගුවට ගත් දේශපාලකයින් පිළිබඳව කියනු ලබන්නේ ඒවා දේශපාලන පළිගැනීම් බවයි.   


නිකෝල් බලයට පත්වීමෙන් පසු හිටපු රජයේ තවත් ප්‍රබලයින් රාශියක් දූෂණ චෝදනා යටතේ අත්අඩංගුවට ගන්නා ලදී. 2018 ජුනි 16දා එච්මෙයාසින් නගරයේදී අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයෙකු වූ මැනුවෙල් ගිරිගෝරියන් හා විශ්‍රාමික මේජර් ජනරාල්වරයෙකු වූ ආතර් ඇසට්‍රියන් මොවුන් අතුරින් කැපී පෙනෙන පුද්ගලයින්ය. ඔවුන්ගේ නිවාසවල තිබී පුපුරණ ද්‍රව්‍ය, ගිනි අවි 12,000 ක්, මුදල් මලු, විවිධ ජාත්‍යන්තර සංවිධාන රටට පරිත්‍යාග කළ ටින් කෑම වර්ග ටොන් ගණනින් ගබඩා කර තිබුණි. මෙහි අසරණ ජනතාව කුසගින්නෙන් කිසිදු පහසුකමක් නොමැතිව දුක් විඳිද් දී දේශපාලකයින් සිදුකර ඇති තිරිසන් ක්‍රියා පෙන්වා දීමට තවත් උදාහරණ රාශියක් ඇත. මෙවැනි කෙටි ලිපියක ඒවා සියල්ල සටහන් කිරීම අපහසුය.   


පත්‍ර කතුවරයා අභියෝග ජයගනීද?  


දූෂිත දේශපාලකයින්ගේ ගොදුරක් බවට පත්වූ මාධ්‍යවේදී නිකෝල් (Nikol) බලයට එ්මෙන් පසු අර්මේනියාවේ සිදුවූ පරිවර්ථනය ගැන ලෝක ජන මාධ්‍යයන් විවිධ පුවත් පළ කළේය. 2018 මැයි 3 ‘‘වොෂින්ටන් පෝස්ට් පුවත්පත පළ කළ විශේෂ ලිපියක සිරස්තලය සිංහලට පරිවර්තනය කළ විට මෙසේය අර්මේනියාවේ නැටුම් සහ පරිවර්තනය”   
2018 මැයි වීදි සටන්කරුවා අගමැති වෙයි.   


‘‘යුරෝ ඒසියා නෙට්’’ දින 100කට පසු අර්මේනියාව 2018 දෙසැ 11 ‘‘The Economist’’ ද එකොනොමිස්ට් අසන්නේ ඊළගට අර්මේනියාවේ සිදුවන්නේ කුමක්ද යනුවෙනි. ද ගාඩියන් පත්‍රය අල්ලස් හා දූෂණ කොමිසමේ දූෂණ යනුවෙන් විශේෂ ලිපියක් පළ කර තිබුණි.   


නිකෝල් ජනතාවට තේරෙන භාෂාවෙන් ලිව්වේය. දිගට හරහට දූෂිත දේශපාලකයින් ගැන කරුණු අනාවරණය කළේය. මැතිවරණයේදී සියයට 70ක ජයග්‍රහණයක් ලබා ගත්තේය. ඔහු අර්මේනියාව විනාශ කරන සියලු බලවේග මර්දනය කරමින් තවදුරටත් ඉදිරියට යනු ඇද්ද? 1975 ජුනි 1 දා උපන් යෙරවන් විශ්වවිද්‍යාලයෙන් ගෞරව උපාධියක් ලබාගත් අතේ සතයක් නැතිව දේශපාලනයට පිවිසි කීපවරක්ම මරණීය තුවාල ලැබූ ජාත්‍යන්තර දේශපාලනය ගැන මනා දැනුමක් ඇති සිව්දරු පියෙකු වේ. නිකෝල් පසිනියන් අර්මේනියාව ගොඩ ගැනීම සැක සහිතය. ඊට මූලික හේතුව එරට දූෂිත හිටපු පාලකයින් සහ ඔවුන්ගේ අනුගාමිකයින් තවමත් අර්මේනියාවේ හොල්මන් කරන නිසාය. 

 

 

සිරී හීන්පැල්ල
නිව්​ෙ‌යා්ර්ක් නුවර සිට ලියයි.