ජනගහණයෙන් පහෙන් එකක් දුප්පත්කමින් පෙළෙන බොස්නියාව


වළපල්ලට ගිය රටවල්

 

 

ගරා වැටුණු රටවලට හූනියමක් වී තිබෙන්නේ බල ලෝභී පාලකයින්ය. ඔවුන් අනුගමනය කරන්නේ යහපත් පූර්වාදර්ශ නොවේ. එවැනි පාලකයින් සිටින රට වල ජනතාව හිඟා කන තත්ත්වයට පත්වේ. එවැනි රට වලට කවදා හෝ අරුණෝදය උදා වන්නේ යුක්තිය සක්‍රීය වූ දවසකය. අරාජික රාජ්‍යයන්හි ඕනෑම හොරෙකුට සල්ලි විසි කර බලයට ඒමට හැකිය. සැබෑ මහජන මතය සල්ලි කඳුවලින් වැසී යයි. බොහෝ දේශයන් විනාශ වී ඇත්තේ මේ නිසාය.   


යුරෝපයේ පිහිටි තවත් අසමත් රාජ්‍යයක් බොස්නියාව (Bosnia) රටේ මුළු ගහණයෙන් පහෙන් එකක් (1/5) දරිද්‍රතාවයෙන් පෙළෙන රටකි. 1990 වර්ෂයේ බොස්නියාවේ ජනගහණය ලක්ෂ 43 කි. 2018 වන විට එහි ජනගහණය ලක්ෂ 38 දක්වා අඩු විය. යුද්ධ වලින් මිය යාමත් මෙහි ජනතාව රට අත හැර යාමත් නිසා මෙසේ එහි ජනගහණය අඩු විය.   


බොස්නියාවේ ශෝකාලාපය   


1992 -1995 අතර පැවති යුගෝස්ලෝවියා යුද්ධයෙන් බොස්නියාවේ ගම්මාන වල අසරණ ජනතාව සමූල ඝාතනයට ලක් වූහ. දැරියන් හා කාන්තාවන් දස දහස් ගණනින් දූෂණය කොට පවුල් පිටින් විනාශ මුඛයට පත් කරනු ලැබූහ.   


අංග විකල වූ දරු දැරියන්ගේ සංඛ්‍යාව ලක්ෂ ගණනකි. ලක්ෂ 10 කට වැඩි පිරිසක් අවතැන් වූහ. තවමත් 99,000 කට වැඩි පිරිසක් අනාථ කඳවුරුවල දුක් විඳිති. ලෝක ප්‍රශ්න විසඳිමට වෙර දරණ යුරෝපා සංගමය (EU) ඇස් පියාගෙන සිටි. විවිධ ජාත්‍යන්තර සංවිධාන වලට ද බොස්නියාවේ ශෝකාලාපය නොඇසේ. නොපෙනේ. යුද්ධයෙන් මිය ගිය සංඛ්‍යාව ලක්ෂයකට වැඩිය.   


රටේ තරුණ තරුණියන්ගෙන් සියයට 62 ක් පමණ රැකියා නොමැතිව ගෙවන දිවිය අනුවේදනීය වන්නේය .යුද්ධයෙන් මව්පියන් අහිමි වූ දරු දැරියන් නඟන විලාපය බොස්නියාව පුරා රැව් පිළිරැව් දෙයි. මේ රටේ ඇතුල් පැත්ත පිළිබඳ මනා විස්තරයක් 2019 මැයි 29  දා ‘‘ද ගාඩියන්’’ පුවත් පත මගින් ඉදිරිපත් කර තිබුණි. යුද්ධය නිම වී වසර 25 කට පසුවද බොස්නියාවේ ජනතාව ‘‘අතින් කටට දිවියක්’’ ගෙවන බව එම මාධ්‍ය වාර්තාව දක්වයි. මෙහි තරුණ තරුණියන් යුරෝපයේ වෙනත් දියුණු රට වලට පැන යන්නේ යළිත් රටට පැමිණීමේ අපේක්ෂාවකින් නොවේ.   


යුරෝපයේ අපාය


මීට වසර කීපයකට පෙර ආහාර සහනාධාර ලබා ගනිමින් සිටි සංඛ්‍යාව 6,40,000 ක් පමණ වේ. මෙම සංඛ්‍යාව එන්න එන්නම වැඩි වෙමින් පවතී. අනාථ ආධාර ලබා ගන්නා ජනතාවගේ සංඛ්‍යාව ශීඝ්‍ර ලෙස වැඩි වෙන රටවල් අගාදයට යන රාජ්‍යයන්ය. බොස්නියාවේ අගනුවර සර්ජේවෝය. (Sarajevo) අගනුවර දකින ඕනෑම අයෙකු මේ රට ඉතා දියුණු රාජ්‍යයක් යයි සිතනු නොඅනුමානය. රට අභ්‍යන්තරයෙහි තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්ය. මෙය යුරෝපයේ දිළිඳුම රටක් බව අවබෝධ වන්නේ නගරයෙන් ඈත එපිට ගම්මාන වලට ගිය විටය.   


ඇබ්‍රියාටික් මුහුදු කලාපයේ ක්‍රෝෂියාව සර්බියාව සහ මොන්ටෙන්ග්‍රෝ යන කුඩා රට වල් අසල පිහිටි මේ රටේ විශාලත්වය ව.කි.මි. 51,129 ක් හෙවත් ව.සැ. 19,741 කි. ජනගහණය 35,11,372 කි. යුගෝස්ලෝවියාවෙන් නිදහස ලබා ගත්තේ 1992 මාර්තු 1 දාය. පවතින්නේ පෙඩරල් ආණ්ඩු ක්‍රමයකි. එහි ප්‍රධානියා වැලන්ටින් ඉන්ස්කෝය. ජනාධිපති ඒකකයේ සභාපති සෙල්ජ්කෝ කොම්සික්ය. ජනාධිපතිවරයෙක් හෝ අගමැතිවරයෙකු යන ධුයෙන් නැති රටකි.   


බොස්නියාව යුරෝපයේ දූෂිතම රාජ්‍යයකි. නිව්​ෙ‌යා්ර්ක් ටයිම්ස් පත්‍රයේ වාර්තාවක සිරස්තලය වුයේ බොන්සියාවේ පාලකයින් ​ඩොලර් බිලියන එකක් සොරකම් කරලා යනුවෙනි. විදේශ තානාපති කාර්යාල 10 ක් බොස්නියාවේ සුබ සාධක කටයුතු සඳහා ආධාර වශයෙන් බොස්නියා බැංකුවේ තැන්පත් කළ ඩොලර් මිලියන 20 ක මුදලක් අතුරු දන් වී ඇති අයුරු එම වාර්තාව දීර්ඝ විස්තරයක් ඉදිරිපත් කර තිබේ.   


​බොහෝ රටවල පාලකයින් විදේශ ආධාර යටි මඩි ගසන අයුරු මින් විස්තර කෙරේ.   

 

 


​බොස්නියාවේ අමුතුම ආණ්ඩුව 


යුද්ධයෙන් අවතැන් වූවන් සඳහා ලැබුණු විදේශාධාර සොරකම් කළා. බොස්නියාවේ දේශපාලකයින්ට එරට අධිකරණ පද්ධතිය මගින් දඬුවම් ලබා දී නැතැයි ද එම මාධ්‍ය වාර්තා වේ සඳහන් වේ. 2019 ජුනි 10 දා සී.එන්.එන්. මාධ්‍ය වාර්තාවක සඳහන් වූයේ රැකියා විරහිත තරුණ තරුණියන් දස දහස් ගණනින් බොස්නියාව අත හැර විදේශ රටවල් කරා ඇදී යන්නේ එහි දේශපාලකයින් සිදු කරන දූෂණ වංචා තවදුරටත් ඉවසා විඳ දරා ගත නොහැකි නිසා බවය. පුද්ගලයින් තුන් දෙනෙකු ජනාධිපති බලතල පවරා ගෙන පොදු ජනතාව සූරා කෑමේ අලුත්ම ක්‍රම වේදයක් බොස්නියාවේ ක්‍රියාත්මක වේ.   


බොහෝ ජාත්‍යන්තර මාධ්‍යයන් හඳුන්වන්නේ බොස්නියාව පගාවකින් තොරව ජනතාවට රජයේ කාර්යාලයකින් කිසිම වැඩක් කර ගත නොහැකි රටක් බවයි.   
​මේ රටේ ද බොහෝ දේශපාලකයින් බලය අනුසාරයෙන් රටේ ධන සම්පත් අත්පත් කර ගැනීමේ කටයුතු සරුවට කරගෙන යන බව පෙනේ. අගාදයට ඇදවැටෙන්නේ මෙවැනි වාතාවරණයක් පවතින රටවල්ය. 

 
නීතියට එරෙහි නීතිපති


සර්ජෙවෝ අගනුවර දස දහස් ගණනින් ජනතාව එක් රැස් වී උද්ඝෝෂණය කිරීමට පටන් ගත්තේ එරට නීතිපති වරයාට විරුද්ධවය. නීතිපති මිලාන් ටෙගල්ටිජා නීතියට පටහැණිව නඩු කාරයින් හසුරුවමින් වංචනිකයින් නීතියේ රැහැනින් මුදා හරින බව කියමින් ඔවුන් උද්ඝෝෂණය කරන්නට පටන් ගත්හ. මේ නීතිපති වරයා දේශපාලකයින්ගේ උපදෙස් පරිදි ක්‍රියා කරන බව මෙම උද්ඝෝෂකයින්ගේ මතය විය. ඔවුහු අධිකරණ ඇමැති ඩී. මෙක්ටික්ට එරෙහිව ද විරෝධය පළ කළහ. එහෙත් සිදු වු දෙයක් නැත. විරෝධතා කරුවන් රජය මගින් මර්දනය කරනු ලැබුහ.   


මැද පෙරදිග හට ගත් අරාබි වසන්තය වැනිම වු බොස්නියා වසන්තය (Bosnian Spring) යනුවෙන් ජනතා හඬක් මුලු මහත් බොස්නියාව පුරාම හට ගත්තේය. ​බොස්නියාව අස්ථාවර රාජ්‍යයක් බවට ක්‍රම ක්‍රමයෙන් පත් වුණේ මේ නිසාය. දූෂිත අධීකරණ පද්ධතියක් ක්‍රියාත්මක වන හැම රටක්ම විනාශ මුඛයට පත් වේ. බොහෝ රටවල දූෂිත පාලකයින්ට රැකවරණය ලැබෙන්නේ අධිකරණයෙනි.   


ඇමෙරිකා එක්සත් ජනපදය මෙන්ම යුරෝපා සංගමය ද බොස්නියා රජයට චෝදනා කර ඇත්තේ එරට වංචාව හා දූෂණය මැඩ පැවැත්වීමට රජය කිසිදු පියවරක් ගෙන නොමැති බව සඳහන් කරමිනි. නීතිපති දෙපාර්තමේන්තුව මෙන්ම නඩු කාරයින් දූෂිත දේශපාලකයින් හා රාජ්‍ය සේවකයින්ට එරෙහිව පියවර නොගෙන ඇස්පියාගෙන සිටින බව එම චෝදනා වලට ඇතුළත්ය.   


බොස්නියාවේ දේශපාලකයින් සම්බන්ධ වූ මහා පරිමාණයේ වංචා දූෂණ නඩු 67 කට සිදු වුයේ කුමක් දැයි ජාත්‍යන්තර මාධ්‍ය විමසයි.   


බොස්නියාවේ දේශපාලකයින් විසින් තමන්ට අවනත පක්ෂපාතී පුද්ගලයින් නඩු කාරයින් වශයෙන් පත් කරගෙන වංචා දූෂණ සිදු කරමින් රට කාබාසිනියා කරන බව මාධ්‍යයන්ට අනාවරණය කළේ බොස්නියාවේ යුරෝපා සංගම් කාර්යාලයේ ප්‍රධානී ලාර්ස් ගුනර් විග්මාර්ක්ය.   


2019 ජුලි 31 දා ඉන්ඩියා ටුඩේ පත්‍රයේ පළ වූ වාර්තාවක සඳහන් වුයේ ඉන්දියාවේ යකඩ හා ලෝහ කර්මාන්ත කරුවන් අතර ප්‍රධානියා වූ ආසියාවේ අංක එකේ පොහොසතෙකු වන ප්‍රමෝද් මිටල් බොස්නියාවේදී එරට රජය සමග සිදු කළ මහා පරිමාණයේ වංචා සහ දූෂණ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බවය. ඔහු ඩොලර් මිලියන 12 ක වංචාවක් සිදු කර අතැයි යථෝක්ත මාධ්‍ය වාර්තාවේ සඳහන් විය. ඔහු සමග මෙම වංචාවට සම්බන්ධ බොස්නියාවේ දේශපාලකයින් පිළිබඳ විස්තර එම වාර්තාවේ සඳහන් නොවීය.   


ලොව බොහෝ රටවල පාලකයින් විදේශ සමාගම් සමග එක් වී රාජ්‍ය දේපොළ කුණු කොල්ලයට විකිණීම හා විවිධ සේවාවන් ලබා ගැනීමේදී කොමිස් ගැනීම තුළින් හා මුදල් විශුද්ධිකරණය තුළින් එම රට වල ආර්ථිකය පිරිහුණ අයුරු මෙම තීරුව යටතේ වසර එක හමාරක පමණ කාල සීමාවක් තිස්සේ උදාහරණ සහිතව පෙන්වා දීමට හැකි විය.   
බොස්නියාවේ පොලිස් සේවය ද ඉතා දූෂිත බව හෙළි වි තිබේ. පගාව දී පොලිසියෙන් බේරී යාමට හැකි යුරෝපයේ එකම රට බොස්නියාව බව කියනු ලැබේ. බොස්නියාවේ පොලිසිය ඉල්ලා සිටින අඩුම පගාව යුරෝ 500 කි.   


යුද්ධයෙන් අවතැන් වු අසරණ වැසියන් පවුල් පිටින් නිරාහාරව අනාරක්ෂිත වනාන්තර වල දුක් අඳෝනා නගමින් කඳුළු වගුරුවද්දී ඔවුන්ට ජාත්‍යන්තර සංවිධාන වලින් සපයන ආහාර පවා ගසා කන පිංගුත්තර දේශපාළුවන් සිටින බොස්නියාව වැනි රටක් කවදා හිස ඔසවනු ඇද්ද?   


මෙවැනි රට වලට කවදා අරුණැලි උදා වේද? අඳුර නිමවේද?

 

 

සිරී හීන්පැල්ල   
නිව්​ෙ‌යා්ර්ක් නුවර සිට ලියයි