ජංගම දුරකථනයෙන් පෙරැළියක් කළ නොකියා සමාගම


ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි

 

  • 1865 දී ‘නොකියා’ පටන්ගන්නෙ කඩද‌ාසි නිෂ්පාදන කම්හලකින්  
  • පසුව රබර් නිෂ්පාදන සහ කේබල් නිෂ්පාදන සමාගමක් වුණා.  
  • ‘නොකියා’ යනු ෆින්ලන්තයේ කුඩා නගරයක නාමයක්
  • සන්නිවේදනය සඳහා වූ ජංගම දුරකතන ගෝලීය පද්ධතිය (GSM) ස්ථාපිත වීමෙන් පසු මුලින්ම ලෝකය ග්‍රහණය කරගත්තේ නොකියා නාමයයි.

 

මොබයිල් ෆෝන් හෙවත් ජංගම දුරකතන ගැන කතා කිරීමේදී ලෝකයේ මුලින්ම ප්‍රචලිත ‘සෙලියුලර්’ ෆෝන් නාමය වූයේ මොටෝරෝලා ය. එනයින් මොටෝරෝලා නාමය අතේ ගෙන යා හැකි ජංගම දුරකථන නිෂ්පාදන ක්‍රියාවලියේදී ලෝකයට මුලින්ම පා තැබුවද, ලෝකයේ බොහෝ දෙනා අතර මුලින්ම වඩාත් ප්‍රචලිත වූ නාමය වූයේ නොකියා (Nokia) නාමයයි. 


GSM තාක්ෂණය හෙවත් සන්නිවේදනය සඳහා වූ ජංගම දුරකතන ගෝලීය පද්ධතිය ස්ථාපිත වීමෙන් අනතුරුව, ලෝකය ග්‍රහණය කර ගත්තේ ‘නොකියා’ ජංගම දුරකතන නාමය යැයි සඳහන් කළ හැකිය. දශක තුනකට ආසන්න කාලයකට සමීප ගමනක යෙදෙමින් සිටින මෙම ‘නොකියා’ දුරකථන නාමය ලොවට ද‌ායාද කළේ ෆින්ලන්තයේ නොකියා කෝපරේෂන් සමාගමය. ‘නොකියා’ දුරකථනයට වැඩි වයසක් නොමැති වුවද, මෙම සමාගමට නම් ලොකු ඉතිහාසයක් තිබේ. එනම් නොකියා සමාගම ලෝකයට ද‌ායාද වූයේ මීට වසර 155 ට පෙරදීය. හරියටම කිව්වොත් 1865 මැයි 12 වෙනිද‌ාය.  


ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි විශේෂාංගය වෙතින් ‘නොකියා’ ගැන තවත් විස්තර අද අපි කියවමු.  


‘නොකියා’ යනු එක්වරම තාක්ෂණයෙන් විප්ලව කිරීමට පටන්ගත් සමාගමක් නොවුණි. 1865 දී ඇරඹි මෙම සමාගම මුලින්ම පවත්වාගෙන ගියේ කඩද‌ාසි කම්හලකි. වසර ගණනාවක් එලෙසින් කඩද‌ාසි නිපදවන කම්හලක් හෙවත් ‘Paper Mill’ ලෙස පවත්වාගෙන ගිය අතර, 19 වැනි සියවස එලැඹි පසු විවිධ අංශ වෙතින් ව්‍යාපාරය පුළුල් කර තිබේ. රබර් නිෂ්පාදනය, රැහැන් නිෂ්පාදනය (කේබල්) ඇතුළු අංශ වෙතින් සෑහෙන කලක් යන තෙක් කටයුතු කළ නොකියා සමාගම ​නොකියා කෝපරේෂන් හෙවත් සංස්ථාපිත තත්ත්වයට පත්වූයේ 1967 දී පමණය. එලෙසින් පැමිණි ගමනේදී විදුලි සංදේශ සහ දුරකථන තාක්ෂණය ඇතුළු සන්නිවේදන ක්‍රියාවලියට ඔවුන් අවතීර්ණ වූයේ 1990 දශකය එලැඹීමත් සමගය. ඒ කතාව ගැන කීමට පෙර එනම් ‘නොකියා’ දුරකථන ක්‍රියාවලිය ගැන කීමට පෙර ‘නොකියා’ නාමයෙහි තේරුම කුමක්ද කියා බලමු.  

 


නොකියා (Nokia) නාමයෙහි තේරුම  


‘නොකියා’ යනු පුද්ගලයකුගේ හෝ අලුතින් නිර්මාණය කරගත් නමක් නොවේ. ෆින්ලන්තයේ ෆිර්කන්මා ප්‍රදේශයේ නොකියන්විර්තා නොහොත් (කොකේමකී) ගංගාව ෆිර්කන්මා ප්‍රදේශයට ගෙන දෙන සුන්දරත්වය වචනයෙන් විස්තර කළහැකි නොවන තරමටම සුන්දරය. තම්පරේ යනු ෆිර්කන්මා ප්‍රදේශයෙහි ප්‍රධාන නගරය වන අතර, ඊට දෙවැනි වූ අනෙක් නගරය වන්නේ මේ කියන ‘නොකියා’ ය. එකල මෙම පළාතේ කළු පැහැ මුගටියකු වැනි සතුන් සිටි අතර දඩයම්කරුවන් විසින් මෙම සත්වයින් දඩයම් කිරීම නිසා වඳ වී තිබේ. එම සත්වයින්ගේ සම කළු ලොම් සහිත කබායක් වැනි වූ නිසා, ඊට කියා ඇත්තේ නොකිනාටා යනුවෙනි.  


සමහරු පවසන්නේ මරතෙන් නමැති එම සත්වයා රුසියාවට අයත් වූ සත්වයකු වූ බවය. ඒ කෙසේ වෙතත්, කළු පැහැ ඇති කබාය යන තේරුම නොහොත්, කළුදුම (ට්‍රක් රථවලින් පිට කෙරෙන) යන තේරුම වන්නේ නොකියා යනුවෙන් අතීත කරුණු විස්තර කෙරුණද, ‘නොකියා’ යන්නෙහි නිවැරදි අරුතක් සොයාගත හැකි නොවේ. නමුදු නගරයක් තිබේ. ඒ පෙර කී ‘නොකියා’ නගරය වේ. කොහෙන් කොහොම මේ විදියට ‘නොකියා’ නාමය ලෝකයට ආවද, ෆින්ලන්තයේ නොකියා නගරයට වඩා ප්‍රචලිත වූවේ මෙම ජංගම දුරකථන ඇතුළු නොකියා සන්නිවේදන සමාගමය. ‘නොකියා’ එලෙසින් ලෝකයට ද‌ායද කළ මිනිසුන් වන්නේ කවුරුන්ද?  


ෆ්‍රෙඩ්රික් ඉඩෙස්තම් (ෆ්‍රෙඩ්රික් ඉඩෙස්ටාම්)  
ලියෝ මැකලීන් (ලියෝ මිෂලීන්)  


‘නොකියා’ සමාගම එද‌ා 1865 දී කඩද‌ාසි නිපදවූ කම්හලක් ලෙස ආරම්භ කරනු ලැබූ පුරෝගාමීන් දෙදෙනා වන්නේ, ෆ්‍රෙඩ්රික් ඉඩෙස්තම් සහ ලියෝ මැකලීන් යන ෆින්ලන්ත ජාතික ව්‍යවසායකයින් දෙදෙනා විසිනි.  


ෆ්‍රෙඩ්රික් ඉඩෙස්තම් උපත ලැබුවේ 1838, ෆින්ලන්තය එවකට රුසියානු රාජධානියේ කොටසක්ව පැවැති සමයේදීය. 'Tyrvanto' යනු ඔහු උපත ලැබූ පළාත ලෙස සඳහන් වේ. පතල් කර්මාන්තයේ ඉංජිනේරුවරයකු ලෙස රැකියාව කළ ඔහු පසුව රටේ ප්‍රකට වූවේ ව්‍යවසායකයකු ලෙසය. ඉහත සඳහන් කළ පරිදි කඩද‌ාසි නිපදවීමේ කර්මාන්තශාලාව ආරම්භ කිරීම නිසා ඉඩෙස්තම් රටේ ප්‍රකට වුණි. මෙම කර්මාන්තශාලාව නිසා ‘නොකියා’ නගරයට කලඑළියක් වැටුණු බව සඳහන් වේ. එය එවකට ෆින්ලන්තයේ කඩද‌ාසි නිපදවීමේ විශාලතම කර්මාන්තශාලාව ලෙස සඳහන් විය. මෙකී මූලාශ්‍ර හැර ඉඩෙස්තම්ගේ පරපුරේ හෝ පෙළපත ගැන මෙන්ම ඔහු අධ්‍යාපනය ලැබූ හැටි ආදිය ගැන විස්තර සඳහන් නොවේ. ඉඩෙස්තම් ව්‍යාපාරික ක්ෂේත්‍රයට අවතීර්ණ වී සිටියදී මෙම නොකියා සමාගම බිහිකිරීමට ද‌ායක වූ අනෙක් පුරෝගාමී චරිතය ලෙස සඳහන් වන්නේ ලියෝ මැකලීන් ය.  


ලියෝ මැකලීන් නොහොත් ලියෝ මිෂලීන් උපත ලැබුවේ 1839 නොවැම්බර් 24 වෙනිද‌ාය. ෆින්ලන්තයේ අගනුවර වන හෙල්සිමකි නගරයට කිලෝමීටර 145 ක් පමණ වන්නට ඈතින් පිහිටි ‘හමිනා’ නගරය යනු මෙම ලියෝ උපන් පළාත වේ. ලියෝපෝල්ඩ් හෙන්රික් ස්ටැන්ස්ලෝස් මිචලින් යනු ඔහුගේ සම්පූර්ණ නාමය වන අතර, ෆින්ලන්තයේ සිටි ප්‍රකට දේශපාලන චරිතයක්, මහාචාර්යවරයකු මෙන්ම ලිබරල් ප්‍රතිසංස්කරණවාදී මත දැරූ චරිතයක් විය. දේශපාලනයේදී කැපී පෙනුණු චරිතයක් බවට එවකට පත්ව සිටියේ, කාන්තා අයිතීන් මෙන්ම දුප්පතුන්ගේ අයිතිවාසිකම් සහ සමාජයීය නිදහස, පුවත්පත් නිදහස ආදී දේ වෙනුවෙන් ප්‍රබල හඬක් නැගූ චරිතයක් වූ බැවිනි.  


ෆින්ලන්තයේ ස්වයං පාලනයක් ඇති කිරීමට මෙන්ම, සියලු ජනතාවට නිදහස් මත දැරීමේ අයිතීන් අගය කළ පරාර්ථකාමී දේශපාලන චරිතයක් විය. 1880 දී ෆින්ලන්තයේ ‘ලිබරල්’ පක්ෂය පිහිටුවීමට මුල් වූයේද ඔහුය. හෙල්සිංකි සරසවියෙන් ශාස්ත්‍රපති උපාධිය ලැබුවේ ‘දර්ශනය’ උදෙසාය. නීති උපාධිය ද ලද හේ 1873 දී පමණ මහාචාර්යවරයකු ලෙස පිළිගැනීමට පාත්‍ර විය. රුසියානු විප්ලවය මෙන්ම ෆින්ලන්තයේ ස්වාධීනත්වය සහ නිදහස උදෙසා කළ මෙහෙවර උදෙසා ගෞරව සම්මාන නම්බුනාම රැසකින් පිදුම් ලැබූවෙකි. ඔහුගේ ගම වන ‘හමිනා’ හි වීදියක් ඔහුගේ නමින් නම් කර තිබේ. එමෙන්ම පිළිරු පවා අඹා තිබේ. ඔහු කවරකුද යන්න එයින් මැනගත හැකිය. නොකියා නාමයට ‘සන්නිවේදන’ සංකල්පය ගෙනා පුරෝගාමියා ඔහු වූ බවද සඳහන් කළ හැකිය. කෙසේ වෙතත් සමාගම බිහිකිරීමෙන් පසුව විවිධ අංශ කරා ව්‍යාප්ත කිරීමේදී ඉඩෙස්තම් සහ ලියෝ අතර මත ගැටුම් පැවතිණි. ලියෝ මහාචාර්යවරයකු වුවද, සමහර තීන්දු - තීරණවලදී ඉඩෙස්තම් හට ඇහුම්කම් දීමට ඔහු හට සිදුවිණි. ඒ කෙසේ වෙතත්, ‘සන්නිවේදනය’ යන අංශයේදී තාක්ෂණයෙන් දුර ගමනක් යාමේ සංකල්පය ගෙනා චරිතය මේ මහාචාර්යවරයාම විය. නොකියා බිහිකිරීමේ ක්‍රියාවලියට සම්බන්ධ වූයේ මෙම ලියෝ සහ ඉඩෙස්තම් පමණක් නොවීය. එඩ්‍රවාර්ඩ් පොලොන් (එඩ්වර්ඩ් පොලොන්) අනෙක් චරිතය විය.


කවුද මේ පොලොන්?  


1861 දී ෆින්ලන්තයේ උපත ලැබූ මෙම එඩ්‍රවාර්ඩ් පොලොන්, එරට ව්‍යාපාරික ප්‍රජාවේ නායකත්වයට උරදුන් චරිතයක් විය. එමෙන්ම දේශප්‍රේමී චරිතයක් ලෙස ෆින්ලන්තය වෙනුවෙන් විවිධ අංශ ඔස්සේ මෙහෙවරක් කළ දෑහිතකාමී නායකයකු විය. ෆින්ලන්තයේ සැබෑ නිදහස උදෙසා ක්‍රියාකාරීව කටයුතු කළේ ව්‍යාපාර නගාසිටුවමින් සහ සමාජ ක්‍රියාකාරකම්වලට උරදෙමිනි. පාර්ලිමේන්තුව නියෝජනය කළ චරිතයක් වූ පොලොන්, ෆින්ලන්තයට රබර් මෙන්ම දැව හා කේබල් නිෂ්පාදිත නව වෙළෙඳපොළක් හඳුන්වාදීමට පු​රෝගාමී වූ මහා චරිතයක් විය. එලෙසින් එද‌ා ෆින්ලන්තයට අගනා මිනිස් චරිතයක් වුවද, පාර්ලිමේන්තුවේ සිටි ප්‍රතිවිරෝධයක් පෑ චරිතයක් වූ බැවින් එවකට ඔහු රුසියාවට පළවා හරිනු ලැබීය. වසරක පමණ කාලයක් 1916 සිට 1917 දක්වා පොලොන් ජීවිතය ගත කළේ රුසියාවේ සිටය. ‘නොකියා’ බිහිකිරීමට පුරෝගාමී චරිතයක් වූ පොලොන්, මියගියේ 1930 දී වයස අවුරුදු 69 දී පමණය.  


මෙම චරිත ත්‍රිත්වය ගැන මෙලෙසින් සඳහන් කළේ සියවසකට එහා ජීවත් වූ චරිත වුවද, ඔවුනට තිබූ අනාගත දැක්ම කෙසේද කියා ඔබට මැනගත හැකි හෙයිනි. ‘නොකියා’ ජංගම දුරකතන ක්‍රියාවලිය දක්වා පියවර තබන විට මේ මිනිසුන් තිදෙනා ජීවතුන් අතර නොවූවද, එද‌ා ඔවුන් දුටු සන්නිවේදන තාක්ෂණයේ දැක්ම පසු කලෙක මල්ඵල ගැන්වූයේ, ඔවුන් එද‌ා දැමූ ශක්තිමත් අත්තිවාරම සහ සංකල්ප නිසාමය.  


නොකියා සන්නිවේදන ක්‍රියාදාමය  


නොකියා නවීන සන්නිවේදන ක්‍රියාද‌ාමය ඇරඹියේ 1970 දශකයේදී පමණ 'Nokia DX 200' දුරකථන හුවමාරු පද්ධතිය සමගය. එකී ගමන 1992 දී, නොකියා ටෙලිකමියුනිකේෂන් ලෙස ව්‍යාප්ත වූ ගමනක් බවට පත්විණි. 1998 දී ඊශ්‍රායලයේ ‘චෙක්පොයින්ට්’ නමැති සමාගම නොකියා සමග අත්වැල් බැඳගෙන යන ගමනකට මුලපිරීය. මෙම සුසංයෝගය නිසා, නවීන සන්නිවේදන අංශයේ පෙරගමනක් යාමට නොකියා හට හැකි වූ බව සඳහන් කළ හැකිය. 1964 සිට නොකියා දුරකතන සන්නිවේදන ක්ෂේත්‍රයේ විවිධ උපකරණ නිපදවමින් සිටි අතර, එදා එලෙසින් බොහොමයක් උපකරණ සහ සන්නිවේදන ජාලා ස්ථාපිත කර දුන්නේ යුද හමුද‌ා අංශ වෙතය. පසුව වාණිජ මට්ටමින්, එනම් අලෙවි කිරීම උදෙසා නොකියා නාමයේ නිෂ්පාදන වෙ​ෙළඳපොළට හඳුන්වා දීමට සමාගමට හැකිවිණි.   


1990 දශකය වනවිට ලෝකයට ‘නොකියා’ ජංගම දුරකතන විප්ලවය හඳුන්වා දීමත් සමග පෙරමුණ ගත්තේ ජංගම දුරකතන තාක්ෂණ ක්‍රියාවලියේ පුරෝගාමී සමාගම ලෙසය. වතාවක ‘නොකියා’ යනු ලෝකයේ වැඩියෙන්ම අලෙවි වූ ජංගම දුරකතන නිෂ්පාදන විය. පසු කලෙක වෙළෙඳපොළ සිදු වූ වාණිජමය අරගලයන් සමග, නොකියා ජංගම දුරකතන ව්‍යාපාර අංශය ‘මයික්‍රොසොෆ්ට්’ සමාගම මිලදී ගත් බව සඳහන් වේ. මයික්‍රොසොෆ්ට් මොබයිල් නමින් සංවර්ධනය වූයේ එයින් පසුවය. එක් අංශයක් එසේ පැවැතියද, 2018 වනවිට නොකියා ලොව පෙරමුණ ගත්තේ, සන්නිවේදන අංශයේ උපකරණ නිෂ්පාදනය කරන ලොව තෙවන විශාලතම ආයතනය ලෙසය.  


‘නොකියා’ යනු ෆින්ලන්තයට සාඩම්බරයක් ගෙන දුන් නාමයකි. රටේ දළ ජාතික නිෂ්පාදන ක්‍රියාවලියට 4% කින් ද‌ායක වී ඇති අතර, අපනයන මගින් රටට 21% ක පමණ ආර්ථිකයක් ලබා දෙන සමාගමක් බවට පත්ව තිබිණි. හෙල්සිංකි කොටස් වෙළඳපොළේ 70% ක වෙළඳපොළ ප්‍රාග්ධනයක් හිමිකරගෙන සිටි සමාගමක් වූයේ මීට වසර කීපයකට පෙරදීය. ලක්ෂයකට අධික ජනතාවකගේ රැකියා පුරප්පාඩු පිරවූ ‘නොකියා’හි ප්‍රධාන මුලස්ථානය පිහිටා ඇත්තේ ෆින්ලන්තයේ හෙල්සිංකි අගනගරයට පමණක් දෙවැනි වූ අනෙක් විශාලතම නගරය වන ‘එස්පෝ’ නගරයේය.  


වත්මනෙහි ‘නොකියා’හි ප්‍රධාන විධායක සහ සභාපති වන්නේ පෙක්කා ලුන්ඩ්මර්ක් ය. ඔහුද ෆින්ලන්ත ජාතිකයෙකි. ‘නොකියා’ නාමය යනු ෆින්ලන්ත රාජ්‍යයට හෙවත් නාමයට වඩා ලෝකයේ ප්‍රචලිත වූ නාමයකි. තවත් විදියකට පැවසුවහොත්, ව්‍යාපාරික අංශය වෙතින් ෆින්ලන්තයට සාඩම්බර ඔටුන්නක් පැලැන්දූ නාමයකි.

 

 

පරිවර්තන සටහන : සඳුන් ගමගේ