චීනයේ සොබාවික සම්පතින් පොහොසත්ම පළාතට ගිය ගමන


 

නිරිතදිග චීනයේ පිහිටි ගුයිජොව් ප්‍රාන්තය සැලකෙන්නේ ආර්ථික හා සමාජ සංවර්ධනය අතින් චීනයේ සෙසු ප්‍රාන්තවලට සාපේක්ෂව දිළිඳු ප්‍රදේශයක් හැටියටය. වර්ග කිලෝමීටර් 176167 ක භූමි ප්‍රමාණයකින් සමන්විත මේ ප්‍රාන්තයෙහි ජනගහනය මිලියන 35 කට ආසන්නය. අගනගරය ගුයියන්ග් ය.   


ගුයිජොව් ආර්ථික සංවර්ධනය අතින් දිළිඳු ප්‍රාන්තයක් වුවද එය ස්වාභාවික සම්පත් හා ජන විවිධත්වය අතින් චීනයේ ඇති පොහොසත්ම ප්‍රාන්තය ලෙස නම් දරයි. නිරතුරුව දක්නට ලැබෙන සෞම්‍ය දේශගුණය මෙහි ඇති අනෙක් විශේෂත්වයයි. චීනයේ අගනගරය වන බෙයිජින් ඇතුළු තවත් ප්‍රාන්ත බොහොමයක මේ දිනවල උෂ්ණාධික කාලගුණික තත්ත්වයක් දක්නට ලැබුණ ද ගුයිජොව්වල ඇත්තේ සෞම්‍ය දේශගුණයකි. මේ හේතුවෙන් මේ ප්‍රාන්තය දේශීය සංචාරකයන්ගේ ද නොමඳ අවධානයට ලක්වන්නකි.   


සංචාරක කර්මාන්තය හා කෘෂිකර්මාන්තය නිශ්චිත සැලසුම්වලට අනුව සංවර්ධනය කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම නිසා මේ වනවිට මෙම ප්‍රාන්තය සංවර්ධන මාවතට අවතීර්ණ වී තිබේ. අනෙක් වැදගත්ම කාරණය නම් දුප්පත්කම තුරන් කිරීම හා සංවර්ධන ක්‍රියාදාමයට පොදු ජනයා සක්‍රීය ලෙස සම්බන්ධ කරගැනීමට අදාළව ගුයිජොව්හි ක්‍රියාත්මක කරන වැඩසටහන් හැදෑරීමට වුව සුදුසු අනර්ඝ ආදර්ශ මාදිලි බහුල වීමය.   


ගුයිජොව්හි සොබා සුන්දරත්වය, ස්වාභාවික සම්පත්, සංචාරක කර්මාන්තය හා කෘෂිකර්මාන්තය යන මේ විශේෂතා ගැන සඳහන් කිරීමේ දී ඉතා වැදගත් නගරයක් වන්නේ ලියුපන්ෂුයි ය. බැලු බැලූ අත හරිත පැහැයෙන් දිදුලන කඳුපන්ති හා ඒවා මත ඇතිරූ සුදු සේල බඳු අයස්කාන්ත මිහිඳුම් පටලයකින් වැසී ගත් රමණීය නගරයක් වන ලියුපන්ෂුයි සැලකෙන්නේ චීනයේ ඇති සිහිල් නගරය ලෙසටය. ගුයිජොව්හි බටහිර වූමන්ග් කඳු වළල්ලෙන් වට වූ මේ නගරය ආවරණය කරන මුළු භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 9965 කි. ජනගහනය 3400000 කි. Yi, Miao, Byui ඇතුළු සුළු ජන කණ්ඩායම් 44කට අයත් ජනයා මෙහි දැකිය හැකි අතර ඔවුන්ගේ සංස්කෘති හා ඒවා ඇසුරින් කෙරෙන ඉදිරිපත් කිරීම් සංචාරක ආකර්ෂණය සහිත අංග අතර පෙරමුණේ පසුවෙයි.   

 


ගිනිමැල උත්සව   


Byui නමැති වාර්ගික සුළු ජන කණ්ඩායම අතර ඉතාමත් ප්‍රචලිත මේ ගිනිමැල උත්සව මෙහි පැමිණෙන සංචාරකයන්ගේ ද නෙත් සිත් පිනවන්නකි. එසේම එය අනාදිමත් කාලයක පටන් පැවත එන චාරිත්‍ර විධියක් වන අතර මෙහි දී ප්‍රධාන වශයෙන් සිදුවන්නේ සිදුරු කරන ලද දැවවලින් විශාල ගිනිමැලයක් සකස් කර එය දල්වා අනතුරුව ඒ වටා ගී ගයමින් නර්තනයෙහි යෙදීමය. ගිනි මැලයට නමස්කාර කිරීමෙන් මේ උත්සවය ආරම්භ වෙයි.   
මේ උත්සවය සම්බන්ධයෙන් එන ජනප්‍රවාදයකට අනුව ඉපැරැණි Byui ජනයා එසේ කර ඇත්තේ භයානක වන සතුන්ගෙන් සිය ජීවිතවලට එල්ල විය හැකි අනතුරු මගහරවා ගැනීමටය. එසේම දඩයමේ ගොස් ගෙන එන ආහාර ද්‍රව්‍ය එක්කොට මේ ගිනිමැලය වටා තබා උත්සව පවත්වා තිබෙන බවට ද තොරතුරු වෙයි.   


එහිදී ඔවුන් එකිනෙකාගේ අත්අල්ලාගෙන ගිනිමැලය වටා නර්තනයෙහි යෙදී ඇති අතර ඒ මගින් එකිනෙකා අතර සතුට සාමූහිකත්වය වර්ධනය කරගැනීමට ඉඩ සලසා ගෙන ඇත. වර්තමානයේ දී ගිනිමැල උත්සවයෙහි ඒ අතීත රූපය සෑහෙන දුරකට විකාශනය වී ඇති නමුත් එහි එන ප්‍රධාන අංගය වන ගිනිමැලය වටා ගී ගයමින් නර්තනයෙහි යෙදීම පෙර ලෙසම අද ද සිදු වෙයි. රාත්‍රි ආහාරයෙන් පසු තෝරාගත් විශාල එළිමහන් ස්ථානයන්හි මෙම උත්සවය වත්මනේ දී පැවැත්වෙන අතර එහිදී සංචාරකයන් නවාතැන් ගන්නා හෝටල් ආදී ස්ථානවල වැඩි වශයෙන් මෙය පැවැත්වෙනු දැකිය හැකිය. අපට ද එවැනි ගිනිමැල උත්සව අවස්ථාවක අසිරිය විඳ ගැනීමට හැකි විය. 


අප රැඳී සිටි හෝටලයෙහි ඉදිරිපස තිබූ විශාල තැනිතලා භූමියට රැස්වූ Byui ජනයා ඉතාමත් උද්‍යෝගයෙන් යුතුව විශාල ගිනිමැලය සකස්කර ආගන්තුක අප පැමිණෙන තෙක් උත්සවය ඇරඹීමට බලා සිටියහ. එහිදී පළමුව සිදුවූයේ ආගන්තුකයන් අතට ගිනි දැල්වූ විශාල පන්දම් ලබා දී ඔවුන් නිල වශයෙන් උත්සවයට සම්බන්ධ කර ගැනීමය.   


අනතුරුව නානා වර්ණයේ චීන සාම්ප්‍රදායික ඇඳුම් ඇඳගත් Byui තරුණ තරුණියෝ එම ආගන්තුකයන් ද එක්කර ගනිමින් විශාල ගිනිමැලය වටා ගී ගයමින් වෘත්තාකාරව තරමක වේගයකින් ඇවිද්දෝය. එහි ඇති විශේෂත්වය වන්නේ පන්දම් සහිතව කරන එම මඳ වේග නර්තනය අවසන් වූ පසු එකිනෙකාගේ අත්අල්ලාගෙන දෙපාවලින් නර්තන ඉදිරිපත් කරන අතරතුරේ ගිනිමැලය වටා වේගයෙන් දිවීමය. එම වේගයට අනුව ගයන ගීත මෙන්ම ඒවායෙහි රිද්මය ද වෙනස් වෙයි.   


Byui ජනයාගේ මෙම ගිනිමැල උත්සවවලට අමතරව Byui ජනයාගේ ආලෝක උත්සවය (Torch festival හා miao ජනයාගේ මුද්‍රණ කලාවද මෙහි ඇති අනෙක් වැදගත් සංස්කෘතික අංග අතර වෙයි. 

 

 


ස්වාභාවික සම්පත් හා ආර්ථිකය:   


ගුයිජොව්වල ස්වාභාවික සම්පත් හා ආර්ථිකය ගැන කතා කිරීමේ දී වැදගත් වන එක් නගරයක් හැටියට ද ලියුපන්ෂුයි නම් කළ හැකිය. මෙම ප්‍රාන්තයෙහි දක්නට ලැබෙන ස්වාභාවික සම්පත්වලින් සෑහෙන ප්‍රමාණයක් මේ ප්‍රදේශය සතු වෙයි. ලියුපන්ෂුයි ඛනිජ සම්පත්වලින් සමෘද්ධිමත් නගරයක් හැටියට සැලකෙන අතර මෙහි 30 කට වැඩි ඛනිජ වර්ග සොයාගෙන ඇත. ඒ අතර ගල්අඟුරු, යකඩ, මැන්ගනීස්, සින්ක් හා බැසෝල්ට් යනාදිය ප්‍රධාන වන අතර මෙහි ගල්අඟුරු පමණක් ටොන් බිලියන 84.4 ක සංචිත පවත්වා ගෙන යයි.   


තවද මෙම ප්‍රදේශයේ විවිධ වර්ගයේ ගල්අඟුරු දැකිය හැකි අතර ඒවා චීනයේ ඇති ඉහළ තත්ත්වයේ ගල්අඟුරු බවට ද හඳුනාගෙන ඇත. ලියුපන්ෂුයි හි ගල්අඟුරු ගැන සඳහන් කිරීමේ දී Yungui coal base වැදගත් වන්නේ එය යැංග්ට්සේ නදියෙහි දකුණු තීරයේ ඇති ජාතික ගල්අඟුරු පර්යන්ත 14 අතර අංක එකේ පර්යන්තය වීම නිසාත් කෝක් සෑදීමේ විශාලතම ගල්අඟුරු පර්යන්තය එය වීම නිසාත්ය.   


මේ ප්‍රදේශයෙහි ආර්ථිකයෙහි වැදගත් තැනක් ඛනිජ සම්පත් ඇතුළු ස්වාභාවික සම්පත්වලට හිමි වන්නා සේම සංචාරක කර්මාන්තය ද ඒ හා සමානම වැදගත්කමක් උසුලයි. විශේෂයෙන්ම මෙහි දක්නට ලැබෙන අලංකාර කඳු වළලු , ගංගා, දියඇලි, වැව්, ගල්ගුහා ආදී ස්ථාන කේන්ද්‍ර කොටගෙන විශේෂ සංචාරක කලාප පිහිටුවා ඇති අතර එවැනි ප්‍රධාන වර්ගයේ සංචාරක කලාප 10 ක් වර්තමානයේදී මෙහි දැකිය හැකිය.   


එම දහය අතරට A හතර මට්ටමේ ජාතික සංචාරක ආකර්ෂණ ස්ථාන හයක් හා ප්‍රාදේශීය මට්ටමේ සංචාරක නවාතැන් ස්ථාන ද ඇතුළත් වෙයි. මෙහි සංචාරක කර්මාන්තය ආශ්‍රිතව දැකිය හැකි විශේෂත්වයක් නම් සංචාරක ආකර්ෂණය සහිත ස්ථානවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීමත් ඒවා මනාව කළමනාකරණය කිරීමත්ය.   

 


විශේෂයෙන්ම සංචාරක අවශ්‍යතා හඳුනාගෙන ඔවුන්ට අවහිරතා ඇති නොවන පරිදි කටයුතු කිරීමත්ය. මෙපරිදි මනා ලෙස සංචාරක ස්ථාන හඳුනාගෙන ඒවා කළමනාකරණය කිරීම නිසා 2017 වසරේදී ලියුපන්ෂුයි වෙත පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව මිලියන 30කි. එයින් උපයා ඇති ආදායම යුආන් බිලියන විස්ස ඉක්මවා ඇත.   


ශ්‍රී ලංකාවේ ද ආර්ථිකයෙහි වැදගත් තැනක් සංචාරක කර්මාන්තයට හිමි වන නමුත් ඇතැම් සංචාරක ආකර්ෂණය සහිත ස්ථාන මෙපරි දි කළමනාකරණය කරනවාද? යන්න ප්‍රශ්න සහගතය. මීට ටික කලකට ඉහත දී පළ වූ මාධ්‍ය වාර්තාවක සඳහන් වූයේ සීගිරිය නැරඹීමට පැමිණෙන විදේශීය සංචාරකයන් සඳහා වැසිකිළි පහසුකම් නොමැති නිසා එම අවශ්‍යතා සම්පූර්ණ කරගැනීම සඳහා ඔවුන් ඒ අවට පිහිටි කෑලෑවලට යන බවය.   
මෙහි සංචාරක කර්මාන්තය දියුණුවීමත් සමග ප්‍රදේශවාසී දිළිඳු පවුල්වල ජීවන තත්ත්වය ද ඒහා සමානව උසස් මට්ටමකට පැමිණ ඇති අතර සමහරුන් සංචාරක මගපෙන්වන්නන් බවටත් සංචාරක ආකර්ෂණය සහිත ස්ථාන කළමනාකරණය කරන කොටස්කරුවන් බවටත් පත්ව ඇත. මීට ඉහත දී සඳහන් කළ පරිදි ගුයිජොව් ප්‍රාන්තය දුගීභාවය තුරන් කිරීම සඳහා ගෙන යන වැඩසටහන් ඉතා වැදගත් වන අතර මෙහිද ඒ ආකාරයේ වැඩසටහන් ක්‍රියාත්මක වෙයි. එවැනි එක් වැඩසටහනක් නම් Haiping Yi vellage peverty alleviation relocation project ය.   


නිවාස 1006 කට අයත් වැසියන් 4213 ක් ඉලක්ක කොටගෙන ක්‍රියාත්මක වන මේ වැඩසටහන යටතේ ඉදිකිරීම් සිදුකෙරෙන සමස්ත භූමි ප්‍රමාණය වර්ග මීටර් 135000 කි. ආයෝජනය යුආන් මිලියන 263 කි. මෙමගින් දුගීභාවය තුරන් කිරීමට අමතරව එම ගම්මානය ආශ්‍රිතව සංචාරක කර්මාන්තය දියුණු කිරීමත් Yi නමැති සුළු ජන ප්‍රජාවගේ සංස්කෘතික අනන්‍යතා සංවර්ධනය කිරීමත් සිදුවෙයි. පොදු ජනයා හා ඔවුන්ගේ ආර්ථිකයත් සංස්කෘතික අනන්‍යතාත් වර්ධනය වන ආකාරයට මෙවැනි වැඩසටහන් පවත්වා ගෙන යෑම ඉතා වැදගත්ය. ලියුපන්ෂුයිහි වනගහනය සියයට 53ක් වන අතර ශාක වර්ග 162කට අයත් පැළෑටි මෙහි දැකිය හැකිය. රාජ්‍ය මට්ටමේ සංරක්ෂණ පැළෑටි වර්ග 10 ක් නම් කර ඇති අතර chinensis, ginkgo, dovetree metasequoia ආදී ශාක ද ඒ අතර වෙයි. එමෙන්ම ජාතික දෙවන මට්ටමේ සංරක්ෂිත ශාක වර්ග 15ක්ද නම් කර ඒවාද ආරක්ෂා කිරීමට අවශ්‍ය විධිවිධාන ද සලසා තිබේ. ලියුපන්ෂුයි ginkgo biloba, Chinese yew, China wild kiwi fruit, China wild thron rosa ආදී ශාකවල මහගෙදර යන විරුදාවලිය ද ලබා ඇත.   


මෙහි ඇති kiwi පලතුර ඉතා විශේෂ අතර එය මේ ප්‍රදේශයෙහි එක් අනන්‍යතාවක් ද වෙයි. ජාතික වනෝද්‍යාන හා තෙත්බිම් උද්‍යාන ද මෙහි විශාල වශයෙන් දැකිය හැකි අතර ඒවායෙහි ලංකාවෙහි විල්පත්තුවේ හා සිංහරාජයේ මෙන් දැව ජාවාරම් සිදුවන පුවත් අසන්නට නොලැබේ.  

 

 

 

 

උපුල් වික්‍රමසිංහ   
චීනයේ ගුයිජොව් පළාතේ සිට....