චීනයේ සුන්දර සිචුවාන් පළාත


නිරිතදිග චීනයේ පිහිටි සිචුවාන් Sichuan පෙදෙස විවිධත්වය අතින් මෙන්ම සොබා සෞන්දර්යය අතින් ද දැකුම්කලු ප්‍රාන්තයකි. චීනයේ අභිමානවත් ප්‍රෞඪ සංස්කෘතිය විදහාලන විශිෂ්ට ප්‍රාන්ත අතර සිචුවාන්වලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. එනිසාම ඇතැම් ඉතිහාසඥයන් මේ ප්‍රාන්තය හඳුන්වන්නේ චීන ශිෂ්ටාචාරයේ තොටිල්ල ලෙසය.“සමෘද්ධිමත් දේශය’’ සිචුවාන් ප්‍රාන්තය හැඳින්වීමට යෙදෙන තවත් විශේෂ නාමයකි. මේ ප්‍රාන්තය ආර්ථික හා සමාජීය වශයෙන් ඉහළ දියුණුවක් ලබා නොගන්නට එවැනි නාමයක් පටබැඳෙන්නේ නැත. සිචුවාන් සිය ඓතිහාසික සංස්කෘතික උරුමය රැකගනිමින් සංවර්ධනයෙහි අරුණැල්ලෙන් පිබිදෙන ප්‍රාන්තයකි. 

 
සිචුවාන්වලට මේ ආකාරයේ ආකර්ෂණයක් හිමි වී තිබෙන නිසා සංචාරකයන් අතරද මේ ප්‍රාන්තය ඉතා ප්‍රසිද්ධය. චීන ආසියා පැසිෆික් මාධ්‍ය මධ්‍යස්ථානය China Asia Pacific Press Centre - CAPPC නියෝජනය කරමින් මාධ්‍යවේදීන් වන අපටද මේ ප්‍රාන්තයෙහි සංචාරය කිරීම සඳහා අවස්ථාව උදා විය. එහිලා CAPPC හි නව අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් අභිනවයෙන් පත්වූ යුව් ලි Yu Lei මහතා මෙන්ම CAPPC හි කාර්ය මණ්ඩලය අපට ලබා දෙන නායකත්වය මෙන්ම සහයෝගයද ස්තූති පූර්වකව සිහිපත් කළ යුතුය.   


සිචුවාන් නිරිතදිග චීනයේ පිහිටා ඇති අතර එහි උතුරු සීමාව යැන්ට්සෙ (Yangtze) හා යෙලො (Yellow) කහ ගංගාව යන ගංගාවලින් සලකුණු වී ඇත. දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන සිචුවාන්වල මුළු භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 486000 කි. ඒ අනුව සිචුවාන් චීනයේ 5 වැනි විශාලතම ප්‍රාන්තයයි.   


මෙහි ඉතිහාසය අදින් වසර මිලියන දෙකක අතීතයකට විහිදෙන බවට චීන ඉතිහාසඥයෝ මත පළ කරති. මේ ප්‍රාන්තයට උතුරු දෙසින් පිහිටි යැන්ග්ට්සේ ගංගාව මුල් කොට ගෙන මීට වසර 4000 ත් 5000 ත් අතර කාලයකට පෙර ගොඩනැඟුණු ශිෂ්ටාචාරය චෙන්ග්දු තැනිතලාව කේන්ද්‍ර කොටගෙන සම්භවය ලබා ඇත. ෂැන්ග් (Shang) හා සූවූ (Zhou) යන අධිරාජ්‍ය යුගවලදී මේ ප්‍රාන්තය රාජ්‍ය දෙකක් වශයෙන් ක්‍රියාත්මක වී තිබේ.   


එයින් එකක් හඳුන්වා ඇත්තේ සූ (Shu) ලෙසය. එය සිචුවාන් ප්‍රාන්තයෙහි බටහිර පෙදෙස කේන්ද්‍ර කොටගෙන ක්‍රියාත්මක වී ඇත. දෙවැනි රාජ්‍යය හඳුන්වා තිබෙන්නේ බා (Ba) ලෙසය. සිචුවාන්හි නැගෙනහිර පෙදෙසෙහි මේ රාජ්‍යය ක්‍රියාත්මක වී ඇත. මේ හේතුවෙන් අතීතයේදී මේ ප්‍රාන්තය හඳුන්වා තිබෙන්නේ බාෂූ (Bashu) යනුවෙනි. එහි ඉහත සඳහන් කළ රාජ්‍යයන් දෙකෙහිම නාමයන් නිරූපණය විණි.   


වර්ෂ (B.C.) 316 දී පමණ මෙම රාජ්‍යයන් දෙක අතර යුද ගැටුම් හටගෙන ඇති අතර එම යුද්ධය අවස්ථාවක් කොටගත් කුයින් (Qin) නමැති රජු මෙම ෂූ හා බා යන රාජ්‍යයන් දෙක එකම ප්‍රාන්තයක් ලෙස ගොඩනැගීමට කටයුතු කර ඇත. 1286 වසරේදී යුආන් (Yuan) අධිරාජ්‍ය යුගයේදී මෙහි විධායක මහලේකම් කාර්යාලයක් පිහිටුවා ඇති අතර පළමු වතාවට මෙම ප්‍රාන්තය සිචුවාන් ලෙසද එම කාලයේදී නම් කර ඇත. 1949 චීන විප්ලවයෙන් අනතුරුව මේ ප්‍රාන්තය නිදහස් ප්‍රාන්තයක් බවට පත්ව ඇති අතර 1955 දී ෂීකන්ග් (Xikang) ප්‍රාන්තයද මෙයට එක්කොට ඇත.   


1977 දී මෙය චොන්ග්චියන්ග් (Chongqing) නගර සභාව හා සිචුවාන් ප්‍රාන්තය ලෙස වෙනම පරිපාලන ඒකක දෙකක් හැටියට බෙදා ඇත. අද වන විට සිචුවාන් ප්‍රාන්ත පාලනය සතු නගර 18 ක් හා වාර්ගික ස්වායත්ත ප්‍රාන්ත 03 ක් පවතියි. චෙන්ග්දු මෙහි අගනගරයයි.   

 

 

 සිචුවාන්වල මුළු ජනගහනය මිලියන 91 කි. මේ ප්‍රාන්තය ආර්ථික සංවර්ධනය අතින් සෑමවිටම බටහිර ප්‍රාන්ත 12 අතර පෙරමුණේ පසුවිය. සිචුවාන්වල ඉහළ ආර්ථික වර්ධන වේගය සම්බන්ධ ආසන්න උදාහරණ වෙත අවධානය යොමු කළහොත් 2016 වසරේදී මේ ප්‍රාන්තයෙහි දළ දේශීය නිෂ්පාදිතය (GDP) යුආන් ට්‍රිලියන 3.2 ක ඉක්මවීය. එය 2015 වසරට වඩා සියයට 7.7 කින් අගය ඉහළ යෑමකි. දළ දේශීය නිෂ්පාදිත අගය අතින් චීනයේ අනිකුත් ප්‍රාන්ත අතර සිචුවාන්වලට එම වසරේදී (2016) හය වැනි ස්ථානය හිමිකර ගැනීමට හැකි විය.   


2017 වසරේදී සිචුවාන්වල GDP අගය යුආන් බිලියන 3698 ක් විය. සම්පත් බහුල ප්‍රාන්තයක් වන සිචුවාන් ජල සම්පත අතින් චීනයේ සමෘද්ධිමත්ම ප්‍රාන්තය හැටියටද සැලකෙයි. මනරම් කඳු වළලු මේ ප්‍රාන්තයට එක්කර තිබෙන්නේ වචනයෙන් විස්තර කළ නොහැකි සුන්දරත්වයකි. එහිලා ලෙෂාන් (Leshan) නගරය විශේෂයෙන් සඳහන් කළ යුතුමය. සිචුවාන්හි ඉතිහාසය හා සංස්කෘතික අනන්‍යතා විදහාලන පුරවරයක් හැටියට ප්‍රචලිත ලෙෂාන් අලංකාර කඳු පන්තිවලින් මෙන්ම ගංගා රැසකින් ද සිය සුන්දරත්වය සකසා ගෙන ඇති අතර එහි පිහිටි අයස්කාන්ත බුද්ධ ප්‍රතිමා ඒ සුන්දරත්වයට එක්කර තිබෙන්නේ මනරම් ආලෝකයකි.   


කාර්මීකරණය අතින්ද ඉහළ දියුණුවක් අත්පත් කරගෙන සිටින මේ ප්‍රාන්තය සතුව භාණ්ඩ නිෂ්පාදන, ගෑස්, රසායනික, ඉංජිනේරු නිෂ්පාදන, මෝටර් රථ නිෂ්පාදන, ආහාර නිෂ්පාදන ආදී විවිධ මාදිලිවල නිෂ්පාදන කටයුතු විශාල වශයෙන් සිදු කෙරෙයි. චීනය යැයි කී සැණින් බොහෝදෙනකුගේ මුවට නැගෙන විශේෂ වචනයක් තිබේ. එනම් “පැන්ඩා”ය.   


චීනයේ පැන්ඩා ගැන කතා කරන්නේ නම් සිචුවාන් ගැන කතා නොකරම බැරිය. ඒ තරමටම සිචුවාන් පැන්ඩාවන්ට විශේෂය. පැන්ඩාවන්ගේ මහගෙදර ලෙස සිචුවාන් හැඳින්වෙන්නේද මේ නිසාය. ලෝකයේ සිටින පැන්ඩාවන්ගෙන් සියයට අසූවකට ආසන්න ප්‍රතිශතයක් චීනයේ වෙසෙන අතර චීනයේ සිටින පැන්ඩාවන්ගෙන් සියයට 70 කට වැඩි ප්‍රමාණයක් සිටින්නේ සිචුවාන්වලය. පැන්ඩාවන්ගේ සුන්දර දසුන් දෙස් විදෙස් සංචාරකයන්ගේ නෙත් පිනා යෑමට හේතුවක් වී ඇති අතර සිචුවාන්හි පැරණි සංස්කෘතිය මගින් මේ ප්‍රාන්තයට ලබා දී තිබෙන ආලෝකය නිසා මෙය සංචාරක පුරවරයක් හැටියටද හැඳින්විය හැකිය.   


මෙහි තිබෙන විචිත්‍රවත් රාත්‍රි ගංගා තරණ බෝට්ටු සේවාද සංචාරකයන්ගේ නොමඳ පැසසුමට ලක්වන අංගයකි. සිචුවාන්හි අගනුවර වන චෙන්දු ඒ සම්බන්ධයෙන් ඉතා වැදගත්ය. සිචුවාන් ප්‍රාන්ත ආණ්ඩුව උපුටා දක්වන තොරතුරුවලට අනුව 2016 වසරේදී මෙහි පැමිණ ඇති මුළු සංචාරකයන් ගණන මිලියන 630 කි. මේ ප්‍රාන්තය සතු තවත් විශේෂත්වයක් නම් දියුණු ප්‍රවාහන පද්ධතියක් තිබීමය.   

සිචුවාන්වල අගනගරය වන චෙන්ග්දු Chengdu සැලකෙන්නේ ගුවන් ගමන් කටයුතු සිදුවන නගර අතර හතර වැන්න හැටියටය. 2015 වසරේ ජනවාරි මාසයේදී චෙන්ග්දු හි දෙවන ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඉදිකිරීමට අනුමැතිය හිමි වූ අතර එය ඉදිවූ පසු චෙන්ග්දු සැලකෙන්නේ ජාත්‍යන්තර ගුවන්තොටුපළ දෙකක් හිමි චීනයේ තෙවැනි නගරය හැටියටය. බෙයිජින් හා ෂැන්හයි නගර එහි පළමු හා දෙවන ස්ථානවල පසුවෙයි. එමෙන්ම ලෝක ප්‍රජාවගේ වැඩි කතාබහට ලක්ව තිබෙන චීනයේ Belt and Road වැඩසටහන යටතේ ඉදිරියේදී සිචුවාන් ප්‍රාන්තයටද ඉහළ ප්‍රතිලාභ ලබාගත හැකිවනු ඇත.   


මේ ලිපිය ආරම්භයේදීද සඳහන් කළ පරිදි සිචුවාන් යනු චීන සංස්කෘතියෙහි විශිෂ්ට ප්‍රකාශනයකි. චීන සංස්කෘතියෙහි වැදගත් තැනක් බුදුදහමට හිමි වෙයි. චීනයේ බුදුදහම ගැන කතා කරන විට මේ ප්‍රාන්තය නොසලකා හැරිය නොහැකිය. එයින්ද ලෙෂාන් නගරය විශේෂය. මන්ද එහි බුදුදහමට සම්බන්ධ වැදගත් ඓතිහාසික ස්ථාන රැසක් තිබෙන නිසාය. එක් ස්ථානයක් නම් ලෙෂාන්වල පිහිටි සුවිශල් බුද්ධ ප්‍රතිමාවයි (Leshan Giant Buddha).   


මෙහි විශේෂත්වය ප්‍රකට කෙරෙන්නේ එය පිහිටා ඇති ස්වභාවය අනුවය. යෙන්ග්ට්සේ ගංගාවෙහි ප්‍රධාන අතු ගංගා වන Minjian, Qingyi, Dady යන ගංගා එකට එකතු වන ස්ථානයෙහි මේ මනරම් බුද්ධ ප්‍රතිමාව පිහිටා තිබීමය. ඒ හේතුවෙන් මෙම ප්‍රතිමාව ලෙෂාන් නගරයෙන් වෙන්ව පිහිටා ඇත. කෙසේවෙතත් මෙහි ඇති ප්‍රධානතම විශේෂත්වය නම් එය ලෝකයේ ඇති ගලින් නෙළන ලද විශාලතම මෛත්‍රි හිඳි පිළිමය වීමය. මෙහි උස මීටර් 71 කි. ක්‍රි.ව. 713 ත් 803 ත් අතර කාලයේ වැඩ නිම කර ඇති මේ බුද්ධ ප්‍රතිමාව දෙස බැලූවිටම එය කෙසේ නෙළා ඇත්දැයි සිතා ගැනීමට අපහසු තරමට අපූරු නිර්මාණයක්. පිළිමයෙහි මුහුණත ගංගාව දෙසට යොමුව ඇති අතර දෙපා ගංදිය ස්පර්ශ වන සේ නෙළා ඇත. දෙඅත් දෙදණ මත රඳා පවතින අතර දෑස්වලින් කරුණා ගුණය ප්‍රකට වෙයි.   


මේ ස්ථානය දැක බලා ගැනීමට හා වන්දනාමාන කිරීම සඳහා දෙස් විදෙස් සංචාරකයන් විශාල වශයෙන් පැමිණෙන අතර ඒ සඳහා විශේෂ බෝට්ටු සේවාවන්ද ක්‍රියාත්මක වෙයි. ලෙෂාන්වල ඇති තවත් විශේෂ බුද්ධ ප්‍රතිමාවක් නම් සැතපෙන බුද්ධ ප්‍රතිමාවයි. ලෙෂාන්හි අලංකාර කඳු පන්ති කීපයක් මත පිහිටා ඇති මේ සැතපෙන බුද්ධ ප්‍රතිමාව එක් සංචාරකයකු විසින් අහම්බයෙන් සොයා ගෙන ඇති බව සඳහන් වෙයි. මීටර් 4000 ක දිගකින් යුත් මේ ප්‍රතිමාවෙහි හිස දකුණු දෙසත් පාද උතුරු දෙසට වන්නටත් පිහිටා ඇත. පෙර තොරතුරු සඳහන් කළ මෛත්‍රී හිඳි පිළිමය මේ

සැතපෙන පිළිමයෙහි හදවත හැටියට චීන බෞද්ධයෝ විශ්වාස කරති.   


සිචුවාන්හි පිහිටි බුදුදහම සම්බන්ධ තවත් විශේෂ ස්ථානයක් නම් එමෙයි කඳු පන්තිය Mount Emei හා එහි පිහිටි මහායාන බුදුදහමෙහි එන සමන්තභද්‍ර බෝධිසත්වයන්ගේ සුවිසල් ප්‍රතිමාවයි. මෙහි උස මීටර් 3099 ක් වන අතර මේ ස්ථානය ලෙෂාන් නගරයට බටහිර දෙසින් කිලෝමීටර් 37 ක දුරකිනුත් එමෙයිෂාන් නගරයට නැගෙනහිර දෙසින් කිලෝමීටර් 7 ක දුරකිනුත් පිහිටා ඇත.   


මේ ස්ථානය සැලකෙන්නේ චීනයේ සුප්‍රසිද්ධ බෞද්ධ සිද්ධස්ථාන සහිත කඳු මුදුන් අතර පළමුවැන්න හැටියටය. මෙහි ඇති සමන්තභද්‍ර බෝධිසත්වයන්ගේ ප්‍රතිමාව සැලකෙන්නේ ලෝකයේ ඇති විශාලතම ලෝහමය වාස්තුවිද්‍යාත්මක නිර්මාණය හැටියටය. එහි උස මීටර් 48 කි. එමෙයි කඳු පන්තියෙහි පූජනීය ස්ථානය හැටියට මේ ස්ථානය නම් දරයි. මේ ස්ථානයට ළඟාවීම සඳහා කේබල් රථ පහසුකම් සපයා තිබෙන අතර එය මෙහි පැමිණෙන සංචාරකයන්ට අපූරු ආස්වාදයක් ලබා දෙයි. කේබල් රථයෙහි ගමන් කරන විට හාත්පස පරිසරය නිදහසේ නැරඹීමට හැකි අතර තුෂාරය සමග වෙළීමෙන් සුදු පැහැගැන්වුණු මනරම් කඳු පන්ති යායකට වටවී ගමන් කරන අත්දැකීමක් විඳීමට ද හැකිය.   


පසුගිය 12 වැනි දින සිචුවාන් ප්‍රාන්ත වැසියන්ට ශෝක දිනයක් විය. ඊට හේතුව නම් මීට වසර දහයකට කලින් එනම් 2008 වසරේ මාර්තු මස 12 වැනි දින පස්වරු 2.28 ට මෙම ප්‍රාන්තයෙහි වෙන්චුවාන් ප්‍රදේශයට බලපෑ භූමිකම්පාවය. එයින් මිනිස් ජීවිත 90000 කට ආසන්න ප්‍රමාණයක් අහිමි වූ අතර විනාශ වූ දේපොළ ද අතිමහත්ය.   

 

 

 

 

 

 

සටහන හා ඡායාරූප : උපුල් වික්‍රමසිංහ   
(චීනයේ සිචුවාන්හි සිට....)