චීනයේ සන්නිවේදන විප්ලවයක් කළ හුආවෙයි සමාගම


ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි 

  • හුආවෙයි පටන් ගත් රෙන්ෂෙන්ග්ෆෙයි කලින් චීන මහජන විමුක්ති හමුදාවේ සේවය කළ හමුදා සේවකයෙක්
  • හුආවෙයි පටන් ගත්තේ යුආන් 21,000 ක මුදලකින්. මුලින්ම හිටියේ සේවකයින් 14 දෙනයි

 

ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි විශේෂාංගය වෙනුවෙන් අද අප විස්තර කිරීමට සූදානම් වෙන්නේ, ලෝ ප්‍රකට මෙම හුආවෙයි සමාගම ගැනය. ජංගම දුරකතන නිෂ්පාදන ක්‍රියාවලියේදී ඇමෙරිකාවේ ඇපල් ප්‍රමුඛව වැජඹෙන බව කිව හැකිය. එහෙත් මෙම හුආවෙයි යනු විටෙක ඇපල් පවා අභිබවා යමින් වැඩ පෙන්වූ සමාගමකි. දන්නවනෙ චීනාගෙ හැටි. ලෝකය අල්ලා ගන්න ඔවුන් කළ තවත් තාක්ෂණික අංශයේ විප්ලවයක් ලෙස හුආවෙයි සමාගම නම් කළ හැකියි. ලොව විදුලි සංදේශ හා සන්නිවේදන අංශය වෙනුවෙන් උපකරණ සහ උපාංග නිෂ්පාදනය කරන ලොව ප්‍රමුඛතම සමාගම ලෙස සඳහන් වෙන්නේ ද මෙම හුආවෙයි සමාගමය. එම අංශයේ ලොව ප්‍රමුඛ සමාගමක් වූ යුරෝපයේ එරික්සන් පවා අභිබවා ගිය මෙම හුආවෙයි මොන වගේද?   


කවුද මේ සමාගම ලෝකයට බිහි කළේ?   


ආරම්භය   


හුආවෙයි සමාගම චීනයේ ෂේන්ෂේන්හිදී ස්ථාපිත වූයේ 1987 වසරේදීය. ඒ සේවකයින් 14 දෙනෙකුගේ පමණ සමන්විත වූ පුංචිම පුංචි සමාගමක් ලෙසය. මහජන චීනයේ යුද හමුදාව හැඳින්වෙන්නේ මහජන විමුක්ති හමුදාව ලෙසය. එහි එනම් යුද හමුදා රෙජිමේන්තුවක නියෝජ්‍ය ප්‍රධානියාව සේවය කළ රැන්ජොන්ෆේයි හෙවත් රැන්ජොංෆේ (Renzhenfei) නොහොත් රෙන් ෂෙන්ග්ෆෙයි විසින් එදා එලෙසින් මෙම සමාගම ස්තාපිත කළේය.   


Ren Zhengfei   


හුආවෙයි ලොවට හඳුන්වා දුන් රෙන් ෂෙන්ග්ෆෙයි උපත ලැබුවේ 1944 රතු ඔක්තෝබරයේ 25 වැනිදාය. ගුයිෂෝ යනු ඔහු උපන් පළාත වේ. රමණීය පළාතක් වන ගුයිෂෝ අයත් වෙන්නේ ෂෙනින් කලාපයටය. ඔහුගේ සීයා ඒ වෙන විට ප්‍රකටව සිටියේ සූපවේදියකු ලෙසය. සීයාගේ ඇසුරට වඩාත් ප්‍රිය කළ රෙන් ඔහු කළ කී දේ ගැන බලා සිටියේ නොඉවසිල්ලෙනි. සීයා මිය යෑම නිසා රෙන්ගේ පියා වූ මොක්සන් හට විශ්වවිද්‍යාල ජීවිතය අතර මඟ නවතා දැමීමට සිදුවිණි. ඒ නිසා රෙන්ගේ පියා ගුවැන්ෂු වෙත පදිංචියට ආවේය. ආයුධ නිෂ්පාදනය කරන රජයේ ආයතනයක ලිපිකරුවකු ලෙස රෙන්ගේ පියා කටයුතු කළ අතර පසුව ඩුයුන් පළාතේ මධ්‍යම පාසලේ සභාපති ලෙස ඔහු පත් විය. රෙන් හට හොඳ පාසල් අධ්‍යාපනයක් ලබා ගත හැකි වූයේ ඔහුගේ මව වූ චෙං යුවාන්ෂාවෝ ද ගුරුවරියක වූ නිසාය.   


එලෙසින් අධ්‍යාපනය ලබමින් සිටි රෙන් තම මව වූ චෙං සමග 1958 දී මහජන චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේ යැයි සඳහන් වේ. ජාතිකත්වයට සහ සමාජවාදයට ලැදි වී සිටීම ඊට තවත් එක් හේතුවක් විය. රෙන් හට බාල සහෝදරියන් පස්​ දෙනෙක් සහ එක් බාල සහෝදරයෙක් සිටී. ඒ පවුලේ වැඩිමලා ලෙස තමා පවුලට ශක්තියක් විය යුතු යැයි හේ නිතර විශ්වාස කළේය. රෙන් තමාගේ ළමා කාලය ගත කළේ අතිශය රමණීය කඳුකර පෙදෙසක් වූ ගුයිෂෝ පළාතේ සිටිය. කඳුයාය ඉහළින් පියාසර කරන නේකවිද කුරුල්ලන්ගේ රිද්මය මෙන්ම ඈත ගුවනේ පියාසර කෙරෙන ගුවන් යාන දෙස ඔහු බලා සිටියේ අනාගතයේ සොඳුරු සිහින ඇතිවය. මේ සොඳුරු නිම්නයෙන් එහාට තවත් ලොවක් ඇත. ඒ ලෝකය කෙසේ විය හැකි ද යන්න දැක ගැනීමේ කුතුහලය ඔහු හට තිබිණි. සාර්ථකව පාසල් අධ්‍යාපනය නිම කළ රෙන් චොන්ගින් සරසවියෙන් පිට වූයේ, සිවිල් ඉංජිනේරු හා ගෘහ නිර්මාණ ශිල්පයේ උපාධිධාරියකු ලෙසිනි. මහජන විමුක්ති හමුදාවට එක් වූයේ ඉනික්බිතිවය. සමහර විට එසේ වෙන්නට ඇත්තේ, කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයකු වූ නිසා විය හැකිය. හමුදාවේ තාක්ෂණවේදියකු ලෙස සේවය කළ රෙන් එතෙක් සිවිල් ඉංජිනේරු අංශයට සමීපව කටයුතු කළ ඔහු 1974 දී පමණ හමුදාවේ ඉංජිනේරු බළකායේ සොල්දාදුවකු ලෙස කටයුතු කරන්නට පටන් ගත්තේය. එසේ වුවද රෙන්ගේ පවුල් පසුබිම සහ තම මව්පියන්ගේ රැකියා ආදී දේ ගැන බලධාරීන්ට තිබුණේ ලොකු පැහැදීමකි. රෙන් හමුදාවේ සේවකයකු වුවද, ඔහුට ලැබුණේ ලොකු ගරුත්වයකි. හමුදාවේ රසායනික තන්තු කම්හල පිහිටුවීමට පවා නායකත්වය දී කටයුතු කළේ ඔහුය. දස වසරකට ආසන්න කාලයක් හමුදාවේ සේවය කළ රෙන් කාර්මික ශිල්පියකු සහ ඉංජිනේරුවකු ලෙස උසස් වීම් ලබා විවිධ තනතුරු දැරූ බව සඳහන් වේ. සරළවම කිවහොත් රෙන් චීන මහජන හමුදාවේ ඉංජිනේරු බළකායට මහා ආලෝකයක් ගෙන දුන් චරිතයක් බවට පත්ව සිටියේය. හමුදාවේ සේවය කළ කාලයේදී අවසන ඔහුගේ නිලය වූයේ එම ඉංජිනේරු රෙජිමේන්තු බළකායේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයකු යන තනතුරය. එය එම රෙජිමේන්තුවේ ප්‍රධානියකුගේ තනතුරට සමාන වූ තනතුරකැයි සඳහන් වේ. කෙසේ වුවද ඔහු එලෙසින් කරයුතු කරන විට හමුදා නිලයකින් තොරව තම සේවය ලබා දී තිබේ. එකී ගෙවී ගිය කාලයේදී විවිධ විවිධ අලුත් දේ කිරීම සහ නිර්මාණය කිරීම නිසාත්, එවැනි දේට නායකත්වය දුන් නිසාත් ජයග්‍ර්‍රහණ රැසක් සම්මාන රැසක් එකී හමුදාවේ ඉංජිනේරු බළකාය වෙත දිනා දීමට ඔහුට හැකි විණි. මෙවන් වූ පිළිගැනීමකට ලක්ව සිටි රෙන් ඉංජිනේරුතුමා හට 1978 දී තවත් අපූරු අවස්ථාවක් හිමිවුණි. ඒ ජාතිකව සංවිධානය කර තිබූ විද්‍යා සමුළුව ඇමතීමේ විරල අවස්ථාව ලැබීමය. හමුදාවෙන් විශ්‍රාම යාමෙන් පසුව රෙන් ෂෙන්ෂේන් වෙත පදිංචියට ආවේ ඉලෙක්ට්‍රොනික අංශයේ රැකියාවක් කිරීම වෙනුවෙනි.   


හුආවෙයි (Huawei) ඇරඹීම 


ෂෙන්ෂේන් වෙත පැමිණ සිටි රෙන් මුලින්ම එලෙසින් ඉලෙක්ට්‍රොනික ආයතනයක ඉංජිනේරුවකු ලෙස රැකියාව කළේය.   


දැන් මේ ඇති, මම මගේ දැනුම ප්‍රායෝගික කළ යුතුයි, මගේම ව්‍යාපාරයක් අරඹන්නට ඕනෑ. එසේ විශ්වාස කළ රෙන් 1987 දී හුආවෙයි ටෙක්නොලොජීස් (Huawei Technologies) නමින් තම තාක්ෂණ සමාගම ස්ථාපිත කළේය.   


ඒ වෙනුවෙන් මුදලක් ආයෝජනය කළ යුතුව තිබිණි. පවුලේ අයගෙන් සහ මිතුරන්ගෙන් ඒ සඳහා ඔහුට මූල්‍යමය උපකාර සුළු වශයෙන් ලැබිණි. ඒ අනුව තමාගේ සමාගම පටන් ගත්තේ යුආන් 21,000 ක මුදලකිනි. එය දළ වශයෙන් එවකට ඩොලර් 5000 කට සමාන විය. මුල්ම වකවානුවේදී හුආවෙයි උපකරණ නිෂ්පාදනය නොකළ අතර, සේවා සැපයීම සහ නඩත්තු කටුයතුවලට දායක වීම මෙන්ම වෙනත් සමාගම් වෙතින් ලද කොන්ත්‍රාත්කරුවකු ලෙස අලෙවි කටයුතු සිදු කිරීම කළ බැව් සඳහන්ය.  


පෙර කළ හොඳ නිසා   


1992 දී හුආවෙයි අලුත් පිම්මක් පැන යාමට උත්සාහයක යෙදුණු අතර, ඒ සඳහා රෙන් හට චීන රජයෙන් ලැබුණේ ලොකු තල්ලුවකි. රෙන්ගේ අතීත තොරතුරු විමසා බැලූ විට ඔහුගේ චරිතය වෙතින් කියැවුණේ හොඳය. පෙර කළ හොඳ දේ මිසෙක වැරදි නොතිබීම නිසා චීන රජයේ කොන්ත්‍රාත්තු හුආවෙයි වෙත පිරිනැමිණි. ඒ අනුව දත්ත මධ්‍යස්ථාන ගොඩනැගීම සහ විදුලි සංදේශ ක්ෂේත්‍රයේ 4G ජාල ඉදිකිරීම සහ ස්ථාපනය කිරීම සිදු කෙරිණි. ඉනික්බිතිව හුආවෙයි විශාල පිම්මක් ජාත්‍යන්තරව පැන ගැනීමට සමත් වූයේ අප්‍රිකානු කලාපයේ මෙන්ම තවත් රටවලදී විදුලි සංදේශ සහ සන්නිවේදන ක්ෂේත්‍රයේ කටයුතු ස්ථාපිත කිරීමට හැකිවීමත් සමගය. ඊට චීන රාජ්‍යතාන්ත්‍රික සහාය ද රෙන්ගේ සමාගමට ලැබිණි. මෙලෙසින් ගමනක් එමින් සිටි හුආවෙයි සමාගමේ නියමුවා වූ රෙන් 2005 දී ලෝ ප්‍රකට ටයිම් සඟරාව නම් කළේ ලෝකයේ වඩාත් බලගතු පුද්ගලයින් 100 දෙනා අතරට අයත් චරිතයක් ලෙසය.   


දිනෙන් දින ජාත්‍යන්තරය ජය ගනිමින් සිටියද, චීන හමුදාවේ සබඳතා මෙන්ම කොමියුනිස්ට් පක්ෂයේ හිතවාදියකු වූ නිසාත්, සමීප සබඳතා ඇති නිසාත් සමහර රටවලදී හුආවෙයි විදුලි සන්නිවේදන පද්ධති ස්ථාපනය කිරීම මෙන්ම, ජංගම දුරකථන ඇතුළු හුආවෙයි නිෂ්පාදන ආලෙවි කිරීමට බාධක ඇතිවිණි. අසල්වැසි ඉන්දියාව සහ චීනය අතර ඇත්තේ හීතල යුද්ධයකි. නැතහොත් ශක්තිමත් මිත්‍රත්වයක් නොමැත. ඉන්දියාව මෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදය ද තවත් යුරෝපීය රටවල් අතරද හුආවෙයි සමාගම කෙරෙහි පැවැතියේ භීතියකි. සැකයකි. නමුත් අද ඒ තත්ත්වය වෙනස් වී ඇති වග සඳහන් කළ හැකිය. මේ රටවල සමහරු පවසන්නේ හුආවෙයි විදුලි සංදේශ පද්ධති ස්ථාපිත කිරීම මගින් තම රටවල ඔත්තු බැලීමේ කටයුතු සිදු කළ හැකි යැයි කියාය. නමුත් ඒවා පිළිගත නොහැකි ප්‍රකාශයක් යැයි හුආවෙයි පැත්තෙන් කිව හැකි දේය.   
රෙන්ගේ පෞද්ගලික ජීවිතයේ හැඩතල


රෙන්ගේ පළමු බිරිඳ වූයේ සිචුවාන් පළාතේ ආණ්ඩුකාරවරයා වූ මෙන්ගේ ඩොංග්බෝගේ දියණිය වූ මෙන්ග් ජුනිය. එම විවාහයෙන් දරුවන් දෙදෙනකු සිටී. දියණිය මෙන්ග් වන්ෂු (වන්ෂු) සහ පුතු රෙන් පින්ග්ය. මේ දෙදෙනාම මවගේ වාසගම භාවිතා කිරීම විශේෂත්වයකි.   


පළමු විවාහයේ දික්කසාදයෙන් පසුව රෙන් ඊළඟට විවාහ වූයේ යාඕ ලිංග් සමගය. එම විවාහයෙන් දියණියක සතුය. කලින් විවාහයේ දියණිය වන මෙන්ග් වන්ෂු හට වඩා ඇනා බෙල්යාඕ නම් වූ දියණිය වසර 25 කින් බාලය. ඇනාබෙල් යනු බැලේ නර්තනවේදිනික මෙන්ම, පරිගණක විද්‍යා අංශයේ උසස් අධ්‍යාපනය ලද තරුණියක මෙන්ම හාවඩ් සරසවියේ උපාධිධාරිනියක වන්නීය.   


ඇය ලෝ ප්‍රකට වූ ප්‍රංශයේ නිරූපන ඉසව්වක් පවා නිරූපණයට එක්වූ ශිල්පිනියක වූවාය. ඇයගේ මව වූ යාඕ ලිංග් ගෙන් රෙන් දික්කසාද විය. ඉන් පසු තෙවැනි විවාහය සිදු වූයේ සුවෙයි සමගය. ඇය අන් කවරකුවත් නොවේ. රෙන්ගේ කලින් ලේකම්වරිය ලෙස කටයුතු කළ තැනැත්තියයි. සියල්ල එසේ සිදු වුවද හුආවෙයි සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරිනිය මෙන්ම උපසභාපතිනිය මුල්ම විවාහයේ දියණිය වන මෙන්ග් වන්ෂුය.   
(Huawei හුආවෙයි) නම ලැබීය


දිනෙක රෙන් තාප්පයක් මත ලියා තිබූ වැකියක් දුටුවේය .

  
එයින් කියැවුණේ ''Zhonghuz Youwei'' (ෂොංග්හුවා යුවෙයි) යනුවෙනි. එහි චීන අරුත වෙන්නේ (Chaina Has Promise) යනුවෙනි. එනම් චීනයට පොරොන්දුවක් ඇත යනුවෙනි. මෙය චීන බසට අනුව, අක්ෂරවලට අනුව ඉතා හොඳින් උච්චාරණය කළ හැකි වූ වචනයක් විය. එහෙයින් හුආවෙයි යන නාමය ලැබීම විශිෂ්ට ජයග්‍රහණයක් ලෙස රෙන් සඳහන් කරයි.   


රෙන් තම සමාගම ගොනු කළේ වචනයකට පමණක් නම් නොවේ. අපි දේශීය වගේම විදේශීය තරගකරුවන් සමග තරග කළ යුතුයි. ඉන් පසුව චීන භූමිය වෙතින් ලෝකයට අස්වැන්න නෙළා දෙන විදුලි සංදේශ සමාගමක් නිර්මාණය කිරීම ඔහුගේ අරමුණ විය.   


Huawei ජංගම දුරකථන ව්‍යාප්තිය 


විටෙක ලොව අංක එකේ ජංගම දුරකථන නිෂ්පාදනය ලෙස සැලකෙන ඇපල් පවා අභිබවා යන තරමට තාක්ෂණයේ විප්ලවීය ගමනක් ආ හුආවෙයි ජංගම දුරකතන නිෂ්පාදන ක්‍රියාවලියට අවතීර්ණ වූයේ 2003 වසරේදීය. අද වෙන විට හුආවෙයි නාමය යටතේ විවිධ මාදිලියේ විවිධ වර්ගයේ නිෂ්පාදන ලෙස ජංගම දුරකථන වෙළෙඳ පොළේදී දැක ගත හැකිය. කැමරා 4 කින් යුතු ලෙස ප්‍රථම ජංගම දුරකථනය මෙන්ම විවිධ පහසුකම් යටතේ වූ නිෂ්පාදන රැසක් ලොවට හඳුන්වා දුන් අතර විටෙක ඇපල් සහ සැම්සුන් පවා අභිබවා ගිය බව සඳහන් කළ හැකිය. 2016 දී කෘත්‍රීම බුද්ධිය (Artificial Intelligence) සහිත උපාංගය සමග වූ දුරකථනය පවා වෙළෙඳපොළට හඳුන්වා දීමට හුආවෙයි හට හැකි විය. Huawei P30 Pro, Mate 20 Pro, Mate 40 Pro, Mate XS, P30 Lite නවතම මාදිලියේ සහ අනර්ඝතම හුආවෙයි ජංගම දුරකථන නිෂ්පාදනයන්ය.   

 

ජනපති ෂිජින් පින් සමග රෙන්

 


ජංගම දුරකථනයෙන් එහාට ගිය හුආවෙයි


හුආවොයි නාමය යටතේ නිපදවෙන්නේ ජංගම දුරකථන පමණක් නොවේ. ලැප්ටොප්, ටැබ්, මෘදුකාංග ඇතුළු විවිධ මාදිලියේ නවීනතම උපාංග හඳුන්වා දීමට සමත්ව ඇති සමාගමකි. හුආවෙයි ලෝකය හමුවේ මෙලෙසින් නැගී සිටියද විවිධ විවේචනවලට ලක් වූ අවස්ථා ද එමටය. බුද්ධිමය ද්පොළ සොරකම් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ බව වාර්තාවල සඳහන් වේ. විටෙක හුආවෙයි හට එරෙහිව ඇමෙරිකානු සමාගමක් නඩු මඟට පවා බැස්සේය. එහෙත් 2019 දී පමණ Huawei ප්‍රධාන නීති නිලධාරියා ප්‍රකාශ කර සිටියේ, පසුගිය වසර 30 ඇතුළත දී කිසිදු තාක්ෂණික සමාගමකින් කිසිවක් සොරකම් කළ හෝ උකහා ගත් බවට සාක්ෂි නොමැති බවය.   


චීන සමාගම් ලොව නැගී ඒම සමහර විට යුරෝපයේ මෙන්ම තවත් රටවලට ඉවසා දැරිය නොහැකි දෙයක් වග ද සඳහන් කළ හැකිය. මේ නිසා විවිධ ​​චෝදනා එල්ල කරමින් ඔවුනට ඇඟිල්ල දිගු කරනවා විය හැකිය. එය හරියට ඵල ඇති රුකට ගල් ගසන්නාක් මෙන් වූ දෙයක් විය හැකිය.   


එදා 14 දෙනෙකුගෙන් යුතු සේවක සංඛ්‍යාවකින් පටන් ගත් හුආවෙයි සමාගම අද දෙලක්ෂයක් ඉක්ම වූ සේවක සංඛ්‍යාවකගෙන් සමන්විතය. එම සේවක සංඛ්‍යාව ඔවුන්ගේ වත්කම ලෙස සමාගම කියයි. එමෙන්ම හුආවෙයි යනු මෙම විදුලි සංදේශ අංශයේ පර්යේෂණ සහ සංවර්ධන කටයුතු උදෙසා ව්‍යාපෘති දියත් කිරීමට වැඩි අවකාශයක් ලබා දුන් සමාගමකි. ඒ වෙනුවෙන් සමාගමේ ආදායම් වෙතින් මිලියන ගණනක් වෙන් කර ඇති අතර, මධ්‍යස්ථාන 11 ක් පමණ ස්ථාපිත කර තිබේ. 5G තාක්ෂණය සඳහා පමණක් ඩොලර් මිලියන 600 ක් පමණ ආයෝජනය කළ බැව් වාර්තාවල සඳහන් වේ. ලෝ ප්‍රකට වෝඩා ෆෝන් සඳහා චීනයේ අනුමැතිය ලද එකම සමාගම හුආවෙයි වෙයි.   


කාන්තාවන්ට හොඳම තැන   


තාක්ෂණ ක්‍රියාවලියේදී බොහෝ විට ප්‍රමුඛව කටයුතු කරන්නේ පිරිමි පාර්ශ්වයයි. නමුත් හුආවෙයි සමාගම ලොව පුරා කාන්තා පාර්ශ්වයට මහඟු අවස්ථාවක් ලබා දී ඇත. එනම් තාක්ෂණික අංශයෙන් ඔවුන් පෙරමුණට ආ යුතු යැයි සමාගමේ අදහසයි. එහිදීත් තුරුණු ගැහැණු ළමුන්ට අවස්ථා ලබා දිය යුතු බව සඳහන් කරයි. ඒ අනුව ඉදිරියේදී තාක්ෂණය ප්‍රායෝගිකව එනම් නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා කාන්තා පාර්ශ්වයේ සේවය හුආවෙයි බහුලව ලබා ගනු ඇත. නිෂ්පාදන ක්‍රියාවලිය කාන්තාව අතට ගිය හුආවෙයි වෙතින් හෙට දින සැබෑ මිනිස් හැඟීම්වලට අනුව නිෂ්පාදනය වූ රොබෝ යන්ත්‍ර මෙන් වූ උපාංග පවා බිහිවීම සිදුවනු ඇත.   
ඒ නිසා පිරිමි දෑතින් නිපදවෙන නිෂ්පාදනවලට වඩා වඩාත් මෘදු සුමුදු සහ ආකර්ෂණීය නිමැවුම් හුආවෙයි වෙතින් ලෝකයට දායාද වේවි.

 

 

පරිවර්තන සටහන : සඳුන් ගමගේ