චන්දනාලේපයෙන් ලෝකයට ගිය ව්‍යාපාරිකයා


අභියෝග ජයගත් මිනිස්සු

රංජිත් ප්‍රේමතිලක

 

 

සියනෑ කෝරළයේ වේයන්ගොඩ පළාතේ එවකට විසූ ආර්.ඩී. ජයරත්න ආයුර්වේද වෙද මහත්තයා ගමේ කා අතරත් ජනප්‍රිය චරිතයක්ව සිටියේය. ඊට හේතුව වූයේ ගමේ වෙදමහත්තයා වූ නිසාම නොවීය. ගමේ සෑම කටයුත්තකදීම ලාභ ප්‍රයෝජන නොතකා ද‌ායකත්වය ලබා දුන් නිසාවෙනි. එකල මේ පළාත බෙහෙවින්ම සශ්‍රීකව පැවැති බව ද සඳහන් වේ. ජයරත්න වෙද මහත්තයාට කුඹුරු එහෙමද තිබිණි. බොහෝ දෙනා ගමේ පොදු වැඩ කටයුතුවලදී එක්රොක් වීමට යොද‌ා ගත්තේ ජයරත්න වෙද මහත්තයාගේ කමතය. ඒ කිසිවක් මැරෙන කොට ගෙනියන දේ නොවන වග දැන සිටි වෙද මහත්තයා ගමේ පෙරහර, සල්පිල, දන්සල, බජව්ව මේ කොයි එකටත් ඇති පදමට උදව් කළ අතර, ද‌ායකත්වය ද ලබා දුන්නේ අවංක චේතනාවෙනි.  


 මේ ජයරත්න වෙද මහත්තයාට වේයන්ගොඩ නගරයේ සිංහල බෙහෙත් බඩු කඩයක් තිබිණි. සමහරද‌ාට ලෙඩකට උපදෙස් ගන්න ආ රෝගීන් පරීක්ෂා කළේ ද මෙතැනදීය. වෙද මහත්තයාගේ බෙහෙත් සාප්පුවේ වැඩවලට මෙන්ම අනෙකුත් සියලු කටයුතුවලදී නෝනා හාමිනේගෙන් ලැබුණේ ඉතා ලොකු ද‌ායකත්වයකි. පිරිමි දරුවන් හතර දෙනකු සහ ගැහැනු දරුවන් තිදෙනෙකු මේ යුවළ සතු විය. ඔවුනගේ මහගෙදර පිහිටා තිබුණේ වේයන්ගොඩ හිරිපිටිය ග්‍රාමයේය. එකල හරි ආශ්චර්යවත් දෙයක් සිදුවිණි. එනම් නියං සමයේදී ගමේ සෑම තැනකම ඇළ දොළ, ළිං සිඳී ගිය අතර ජයරත්න වෙද මහත්තයාගේ ගෙදර ළිඳ පමණක් කිසිද‌ාක නොසිඳී ගිය එකක් විය.  


‘ඒක ඇත්තටම හරි පුදුම දෙයක්. කිසිම දවසක මේ ළිඳ සිඳුණේ නැහැ. වතුරත් හරිම පිරිසිදුයි. ඒ නිසා ගමේ බොහෝ දෙනා නෑවේ අපේ මේ ළිඳෙන්. අපේ කමත පවා එහෙමයි. පෙරහරද‌ාට නැටුම් පවා පුරුදු කළේ අපේ කමතේ. මිනිස්සු ගොයම් කපලා පාගලා ඒ කටයුතු කළෙත් අපේ කමතේ. කුඹුරු වැඩවලදී අපිත් තාත්තාට උදව් කළා. තාත්තා උදේ පාන්දර පහට අවදි වෙලා කුඹුරට යාම පුරුද්දක් කරගෙන හිටියා. එතකොට තාත්තාට තේ අරන් ගියේ මම. ඒ වගේම තාත්තාගෙ බෙහෙත් සාප්පුවේ වැඩවලටත් ද‌ායක වුණේ හරි ආසාවෙන්.  


මෙසේ පවසන්නේ ජයරත්න වෙද මහත්තයාගේ සයවැනි පුතුණුවන් වන රාජසූරිය ජයරත්නලාගේ රංජිත් ප්‍රේමතිලකය. එද‌ා ගමට ඉසිවරයෙක් මෙන් වූ තාත්තාගේ අත්ගුණය, සිත්ගුණය මෙන්ම මනුස්සකම මේ පුතු හට උපතින්ම ද‌ායාද වී ඇතැයි කිව හැකිය. එද‌ා තාත්තා රංජිත් ඇතුළු අනෙක් දරුවනට ද‌ායාද කොට මිය පරලොව ගියේ වත්කම් හෝ දේපළ මිල මුදල් නොවේ. යහගුණය යැයි සඳහන් කළ හැකිය. ඒ යහගුණය ජීව ගුණයකට පරිවර්තනය කිරීමට රංජිත් පුතු හට හැකියාව ලැබී තිබේ.  


 කවුද මේ රංජිත්? අද ඒ නාමයට වඩා ඔහු ගැන රටේ ලෝකේ බොහෝ දෙනා දන්නේ සංජීවක ආයුර්වේද නිෂ්පාදන පුද්ගලික සමාගමේ නිර්මාතෘවරයා ලෙසය. ඊටත් වඩා ඔහු රටේ ලෝකේ ප්‍රකටව සිටින්නේ ‘චන්දනාලේප’ නිෂ්පාදනය නිසාය. මෙරට ඇති මහා පරිමාණයේ බහු ජාතික සමාගම් ගෙන්වා බෙදා හරින ආලේපන පරයා ජනතාව අතර ප්‍රචලිතව ඇති මෙම චන්දනාලේපය ලොවට ද‌ායාද කළ අපූරු චරිතය වෙන්නේ වේයන්ගොඩ සංජීවක ආයුර්වේද ඖෂධීය නිෂ්පාදන සමාගම නිර්මාණය කළ මේ මිනිසාය.  
 චන්දනාලේපයෙන් පටන් ගෙන ගමනක් ආ සංජීවක ඖෂධීය ආයතනය හිමි රංජිත් අද ව්‍යවසාය ක්ෂේත්‍රයේ නැගී සිටින්නේ නිෂ්පාදන ගණනාවක් නිපදවා ලෝකයට බෙද‌ාහරින ආයතනයක් සතු අපූරු මිනිසකු ලෙසය. අද මෙම ආයතනයේ නිෂ්පාදන ජර්මනිය, නෙදර්ලන්තය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය මෙන්ම මැද පෙරදිග රටවල් ගණනාවකට අපනයනය කෙරේ. ISO-9001-2015 තත්ත්ව සහතිකයේ සිට ව්‍යවසායකත්ව ක්ෂේත්‍රයේදී මේ දක්වා මෙම ආයතනය ලබා ඇති සම්මාන සහතික බොහෝය.  


 අද එලෙසින් ලෝකය ජයගෙන ලෝකයේ පැසසුම ලැබුව ද රංජිත් එද‌ා මේ ගමන පටන් ගත්තේ ඉතා සුළුවෙනි. ඒ ඇරඹුමේ කතාව අතීතයෙන්ම පටන් ගන්න අපි ඔහුට ඇරයුම් කළෙමු.  


 ‘මම ඉගෙන ගත්තේ වේයන්ගොඩ මහා විද්‍යාලයෙන්. ඒ කාලයේදී වැඩිපුර නැඹුරුවක් දැක්වූවේ කලාවට. නැටුමට, ගැයුමට වැඩිපුර ආසා කළා. දහම් පාසලේ කටයුතුවලදී දැක්වූවේ වැඩි උනන්දුවක්. උසස් පෙළින් පසුව රැකියා දෙකක් කළා. මුලින්ම කළේ බ්ලු ඩයමන්ඩ් ආයතනයේ. ඉන්පසුව කොළඹ සාප්පුවක රස්සාවට ගියා. ඉස්සෙල්ලාම ගත්තෙ රුපියල් 400 ක වැටුපක්. ඒත් නිතරම මගේ අදහස වුණේ තමුන්ගේම දෙයක් කිරීමටයි. ඒ නිසා තාත්තාගෙ බෙහෙත් සාප්පුවට සම්බන්ධ වී වැඩ කළා. විවිධ බෙහෙත් තෙල් වර්ග, තුවාලවලට ගල්වන තෙල්, විරේක බෙහෙත් නිෂ්පාදන එහෙම තාත්තා ඒ වෙන විට හදලා බෙහෙත් සාප්පුවෙ අලෙවි කළා. ඒ වගේම ආයුර්වේදයේ වෙදකම ගැන සහ බෙහෙත් වර්ග ගැන තාත්තා පොත් ලිව්වා. තාත්තාගේ බෙහෙත් සාප්පුවෙ සිටියදී මම ඒ පොත් කියෙව්වා. ඒ වගේම බොහෝ දැනුම ලබා ගත්තා.  


කොහොම වුණත් බෙහෙත් සාප්පුවටම වෙලා ඉන්න මට ඕනෑ වුණේ නැහැ. ලෝකෙට යමක් නිෂ්පාදනය කිරීමේ තදබල ආසාවක් වගේම උනන්දුවක් තිබුණෙ. තාත්තාගෙ වෙද පොත් පරිශීලනය කරලා මුලින්ම බෙහෙත් තෙලක් නිෂ්පාදනය කළා. තාත්තා ඒ වෙන විටත් කළ දෙයක් වැඩිදියුණු කිරීමයි මම කළේ.  


 අපේ අක්කගෙ නම මල්ලිකා. තාත්තා ඒ තෙලට ද‌ාලා තිබුණෙ අක්කගෙ නම. මම මේ නිෂ්පාදනය පෙට්ටියක ගැට ගහගෙන මෝටර් සයිකලයෙන් ගම්පහට ගෙනිහින් විකුණුවා. තාත්තා මියගියේ මේ අතර වාරයේදියි. ඉන්පසුව බෙහෙත් සාප්පුවෙ තවත් සේවකයින් තුන් දෙනෙක් එක්ක කටයුතු කරගෙන ගියා. මල්ලිකා බෙහෙත් තෙලට අමතරව, හොඳ ආලේපනයක් කිරීමේ අදහස ආවේ තාත්තාගෙ වෙදපොත් පරිශීලනය කරන අතරේදියි. රටට ලෝකයට යන්න නම් ඒ වගේ අලුත් දෙයක් සහ ගුණාත්මක දෙයක් නිෂ්පාදනය කළොත් හොඳයි කියලා හිතුවා.  


 රංජිත් ව්‍යවසායකත්ව ක්ෂේත්‍රයට මුල්ම පියවර තැබුවේ එලෙසිනි. අනාගතය ගැන ඔහුට හොඳ දැක්මක් තිබූ බව ඒ අතීත කතාවෙන් පසක් කරගත හැකිය. එද‌ා තම නිවසේ පුංචි ඉඩකඩක ඔහු මේ අපූරු ආලේපනය නිෂ්පාදනය කිරීමට පටන් ගත්තේය. ඊට බිරිඳ සහ බිරිඳගේ පියා මෙන්ම රංජිත්ගේ මවගෙන් උදව් ලැබිණි. මේ ආලේපනය නම් වූයේ ‘චන්දනාලේපය’ නමිනි. එය රටේ ප්‍රකට වී ලෝකයම ජයගනීවි යන ඉලක්කයට වඩා එද‌ා ඔහුට තිබුණේ වඩා ගුණාත්මක නිෂ්පාදනයක් නිර්මාණය කිරීම බව කියයි. සුදුහඳුන් යොද‌ාගෙන නිපදවන බැවින් ඊට චන්දනාලේප හෙවත් සඳුන් ආලේපය යන නම යොද‌ා ගත් බව ද සඳහන් කරයි.  


 මෙහි ගුණාත්මක බව රැකගන්න ලොකු පරිශ්‍රමයක් දැරුවේ. ඒ දිනවල අද වගේ තාක්ෂණය යොද‌ා ගැනීමට තරම් ශක්තිමත් ආර්ථිකයක් තිබුණෙ නැහැ. ගුණාත්මක බව ගැන අපි ඉහළින්ම හිතුව නිසා සමහර ද‌ාට අපි ගලෙන් අඹරා මිශ්‍රණය හද‌ාගත් අවස්ථා මුල් කාලයේදී තිබුණා. මේ වැඩේ කරන්න මගේ බිරිඳ සහ ඇයගේ පියාත්, මගේ අම්මාත් මට අත්වැල සැපයුවා. ටිකක් දියුණු වෙද්දි සේවයට ගැහැනු ළමුන් තිදෙනෙකු බඳවා ගත්තා. මුලින්ම අපි මේ කටයුතු පටන් ගත්තෙ ගෙදර අඩි දහයයි දහයෙ පුංචි කාමරයක. ඉන්පස්සේ ඒ නිෂ්පාදන විකුණන්න මුලින්ම යොදා‌ා ගත්තේ දවසේ කුලියට ගත් ත්‍රීවීල් රථයක්. 200-0093 එහි අංකයයි.  


 සමහරද‌ාට එකම කඩයට තුන් හතර පාරක් ගිහින් චන්දනාලේපය අලෙවි කරන්න මහත් පරිශ්‍රමයක් දැරුවෙ. මෙහි ගුණාත්මක බව නිසාම කාන්තාවන් අතර එන්න එන්නම එය ජනප්‍රිය වෙන්න පටන් ගත්තා. විශේෂයෙන්ම එහිදී අපේ නිදහස් වෙළෙඳ කලාපයේ එද‌ා සේවය කළ අක්කලා, නංගිලා නැත්නම්, ඒ කාන්තා පාර්ශ්වයට මම හිස නමා ආචාර කරනවා. ඒ අය තමයි එද‌ා චන්දනාලේපය ගමට අරන් ගියේ. ඔවුන් නිසා තමයි රටේම එය ප්‍රචලිත වෙන්න පටන් ගත්තේ.  


කවුරුත්, කිසිදිනක කීමට මැළිවෙන යථාර්ථවත් කතාවක් රංජිත් මහතා මතකයට ගෙන හැර පෑවේ අතීතය සැබෑ ලෙස මතකයේ ඇති අව්‍යාජ මිනිසකු වන නිසාය. චන්දනාලේපය අලෙවි කිරීම සඳහා එද‌ා ලොකු ප්‍රචාරයක් ලබා නොදුන් අතර අඟල් අටයි හතරේ ස්ටිකර් එකක් පමණක් ප්‍රචාරයට යොද‌ා ගෙන තිබේ.  


 ත්‍රීවීල් රථයෙන් කඩයක් පාසා ගිය මම ඊළඟට ඩෙලිකා වෑන් එකක් හයර් එකට ගත්තා. රථය පදවාගෙන රට පුරා ගිහින් කඩවලට නිෂ්පාදන දැම්මේ මම තනියම. සමහරද‌ාට දුර බැහැර ගියාම සතියක් විතර ගිය පසුවයි නැවත ගෙදර ආවේ. ඒ කැපවීම මහන්සිය දුෂ්කරතාව දරාගෙන ආසාවෙන් ඊට කැප වූ බව කියන්න පුළුවනි.  


1997 දී රංජිත් සඳුන් සුවඳ රැගෙන රට පුරා ගොස් ඒ කටයුත්ත කළේ අප්‍රතිහත ධෛර්ය ඇතිවය. ඔහු කිසි දිනෙක කිසිවක් අනුකරණය නොකළ බව කියයි. ඒත් අද රංජිත්ගේ චන්දනාලේපයට අනුකරණය වී බොහෝ දෙනා නිෂ්පාදන කරන බවත් ඔහු කියයි.  


 ‘ඇත්තටම කිව්වොත් අපේ නිෂ්පාදන රටේ ප්‍රචලිත වෙන්න පටන් ගත්තාම මෙරට බහුජාතික සමාගම්වල (මෙම අංශයේ) බෝඩ් මීටින්වලදී මුලින්ම කියැවිලා තිබෙන්නේ අපේ නම.’  


රංජිත් එසේ පවසන්නේ අභිමානයෙන් යුතුව ආඩම්බරකමකට නොවේ. බහුජාතික සමාගම්වලට පවා ඔහුගේ නිෂ්පාදන අභියෝගයක් වී ඇති නිසාවෙනි. මේ පො​ෙළාවේ උපන් ශ්‍රී ලාංකිකයකු ලෙස අද ඔහු සතු සංජීවක ආයුර්වේද නිෂ්පාදන ආයතනය විසින් නිෂ්පාදනය කරන රූපලාවන්‍ය හා ඖෂධීය නිෂ්පාදන ලෝකයේ බොහොමයක් රටවලට අපනයනය කෙරේ.  


අද අක්කරයක පමණ ඉඩකඩක මෙම ආයතනය ස්ථාපිත වී දෙසීයකට ආසන්න සේවක පිරිසකගෙන් සමන්විතව ස්වභාවධර්මයට වඩාත් සමීපව ගොඩනැගිල්ල නිර්මාණය වී තිබුණද එය එක් රැයකින් එක් දිනකින් නිර්මාණය වූ යථාර්ථයක් නොවන වග අතීතය ගැන හොඳ මතකයක් ඇති රංජිත් සිහි ගන්වයි.  


එද‌ා මුලින්ම අපි පදිංචි නිවසේ කාමරයක පටන් ගත්ත මේ ආයතනය පසුව පර්චස් විස්සක විතර ඉඩමක පවත්වාගෙන ගියා. ඒ විදියට පියවරෙන් පියවර තබමින් සේවක පිරිස තුන්දෙනා, පස්දෙනෙකු වී පසුව දහය, පහළොව වී අද මේ දෙසීයකට ආසන්න සංඛ්‍යාවක් දක්වා දියුණු කරවීමට අපට පුළුවන් වුණා. ඒ විදියට සංජීවක ඔෟෂධීය ආයතනය දියුණු වුණේ මගේ තනි උත්සාහය නිසාම නොවෙයි. මගේ ආදරණීය බිරිඳ සහ මගේ සේවක පිරිස අප්‍රතිහතව ලබා දුන් ද‌ායකත්වය නිසයි. ඔවුන් මේ ආයතනයට ආදරය කරන්නෙ එයාලගෙම දෙයක් විදියටයි. අව් වැසි දිවා රෑ නොබලා එයාලා අතීතයේදී මීට ලබා දුන් ද‌ායකත්වය නිසයි. අද ලංකාව ඇතුළත අලෙවි නියෝජිතයින් විශාල ප්‍රමාණයක් අපට සිටිනවා.  


 රංජිත් මේ කතාව මේ විදියට කියවා ගෙන යද්දී එද‌ා වේයන්ගොඩ නගරයේ පුංචි ඉඩක එයාගෙ තාත්තා පවත්වාගෙන ගිය බෙහෙත් බඩු කඩයට මොකද වුණේ? යන්න ගැනත් අපි විමසුවෙමු.  


 ‘අද එය වේයන්ගොඩ නගරයේ නැගී තිබෙන්නේ මහල් තුනකින් යුතු ගොඩනැගිල්ලක් ලෙසයි. මට ආඩම්බරයෙන් කියන්න පුළුවන් එය ලංකාවේ තියෙන අංක එකේ සිංහල බෙහෙත් බඩු අලෙවි ස්ථානයක් කියලා. මගේ බිරිඳ අනෝමා මුතුනායක එහි කටයුතු බාරව සිටිනවා. මම මගේ ලෝකයේ රජු නම්? ඒ රජු තැනූ රැජින ඇයයි.’  
නිහතමානී රංජිත් ප්‍රේමතිලක එසේ කියන්නේ ජීවිතයේ සැහැල්ලුවට බිරිඳගෙන් ලැබෙන අත්වැල නිසාමය. මේ දෙපළට දියණියක සහ පුතකු සිටී. දියණිය තමාලි විවාහකය. පුතුගේ නම සුපුන්ය. ඒ දෙදෙනා මෙහි අධ්‍යක්ෂවරු වන්නේය. සංජීවක ආයතනය අද මෙලෙසින් ලෝකයට විවර කිරීමට රංජිත් හට හැකි වුණේ එද‌ා කළ කැපවීම නිසා යැයි ඔහු නැවත නැවතත් කියන්නේය.  


‘කැපවීමෙන් සිහින දකින්න, ඔබට සිහිනයක් තිබිය යුතුයි. ඒ සිහිනයේ ජීවත් වෙන්න. එවිට එය සැබෑ කරගන්න පුළුවනි. ඒ වගේම කුමක් හෝ එක් දෙයක් ජීවිතයේ තෝරා ගන්න. එක් දෙයක් කරා විතරක් හඹා යන්න. අද මම සමාජය වෙතින් දකින දුර්වලම දේ මව්පියන් දරුවන් බොහෝ දේ වෙත බලහත්කාරයෙන් යොමුකරවීමයි. ඒක ඉතාම වැරදි දෙයක්. අන්තිමට දරුවට කුමක්ද කළ යුත්තේ යන්න සොයා ගැනීම පවා අපහසු වෙනවා. ඒ නිසා නැටුමට දක්ෂ නම් එයින් ජාත්‍යන්තරයට යාම දක්වා දරුවාට උදව් කරන්න. ජීවිතයේ අපි කරන එක් දෙයක් හරියට කරන්න ඕනෑ. ජීවිතය ජයගන්න පුළුවන් වෙන්නෙ එවිටයි.’  


සංජීවක මැවූ මිනිසා රටට පණිවුඩයක් ලබා දෙන්නේ එලෙසිනි. ඔහුගේ මෙම ආයතනයට මෙහි සේවය කරන පිරිස කෙතරම් ආදරේද යත් කිසිවෙකු හෝ ඒ ආයතනය හැර නොයන වග මෙම ආයතනයෙහි ප්‍රධාන විධායක නිලධාරි පිලිප් මුල්ලේගම පවසයි. සංජීවක ඖෂධීය නිෂ්පාදන ආයතනයට සේවය කරන පිරිස එලෙසින් ආදරය කරන නිසා සේවය හැර යන අය ඉතා අල්පය. මේ නිසා ‘සමාවෙන්න, ඇබෑර්තු නැත.’ යනුවෙන් පුවරුවක් විටෙක ප්‍රදර්ශනය කෙරෙන වග ප්‍රධාන විධායක අපට කීවේය.  


චන්දනාලේප නිසා රටට සුවඳක් ගෙන දුන් මේ ව්‍යවසායකයා රංජිත් ප්‍රේමතිලක හට අද ජීවිතය දැනෙන්නේ කොහොමද? ජීවිතය ගෙවන්නේ කොහොමද? ඒ ගැනත් අපි විමසීමු.  
දනට පිනට මම හරි කැමැතියි. සමාජ සේවයට කැප වුණේ තාත්තා නිසයි. මේ ව්‍යාපාරය මගේම කියලා කියනවාට වඩා අපේම කියලා කියන්න මම කැමැතියි. මෙහි සේවය කරන පිරිස එක්ක එතරම්ම සහෝදර බැඳීමක් තියෙන්නේ. අපි සෙනසුරාදා ඉරිද‌ාට වැඩ නැහැ. වසරකට වතාවක් අපි ට්‍රිප් යනවා. උත්සව පවත්වනවා. අපට අපේම කියලා පිට්ටනියකුත් තියෙනවා. මෙතැන තියෙන්නෙ අපේකම. ජීවිතය ආපස්සට හැරී බලද්දී මට තියෙන්නෙ ලොකු සතුටක්. අද මේ ආයතනය සහ එහි සිදුවෙන දේ ගැන දැනගන්න පාසල් ළමුන්, සරසවි දරුවන් පැමිණෙනවා. අනර්ඝ දෙයක් ලෝකයට ද‌ායාද කළාම දැනෙන සතුට වචනවලට පෙරළන්න බැහැ. අද නවීනතම ජංගම රූපලාවණ්‍යාගාරයකට පවා උරුමකම් කියන්න අපට පුළුවන් වෙලා තියෙනවා. අපි සියල්ල ස්වභාවික ගුණයෙන් යුතුව නිෂ්පාදනය කරන්නෙ. ඒ තමයි අපේ රහස. ඒ හැර සඟවා ගත් වෙනත් රහස් අපට නැහැ. ස්වභාවධර්මයට අනුව යමින් ස්වභාවිකවත්වයට වඩාත් සමීප නිෂ්පාදනයක් ලෝකයට දෙන්න. එවිට ඕනෑම කෙනෙකුට ජීවිතය දිනන්නට පුළුවනි. එය දිනීමකටත් වඩා ජීවිතයට මහා අරුතක් ගෙන දේවි.  

 

 

 සටහන සඳුන් ගමගේ