ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම අවම කරගැනීමට පෙට‍්‍රල් හා ඩීසල් වාහන නුදුරේදීම ඉවතට


ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑමේ තර්ජනයට සමස්ත ලෝකයම මුහුණ පා සිටී. කාබන්ඩයොක්සයිඩ් වායු විමෝචනය ගෝලීය උෂ්ණත්වය වර්ධනය වීමට බලපාන ප‍්‍රධානම සාධකයයි. කාබන්ඩයොක්සයිඩ් සංයුතිය ඉහළ යෑමට, වන විනාශය සහ ෆොසිල ඉන්ධන භාවිතය වැනි මිනිස් කි‍්‍රයාකාරකම් බලපා තිබේ. වායුගෝලයට කාබන්ඩයොක්සයිඩ් වායුව වැඩි වශයෙන් පරිසරයට එක්වන්නට වූයේ කාර්මික විප්ලවයෙන් පසුවය. නිෂ්පාදන ක්‍රියාවලිය වර්ධනය වීමත් සමඟ එතෙක් පැවති කාබන්ඩයොක්සයිඩ් විමෝචනය මෙන් 40%කින් වර්ධනය විය. වසර 10,000කට ඉහත කොටස් මිලියනයකට කොටස් 280ක් වූ කාබන්ඩයොක්සයිඩ් සංයුතිය 2016 වනවිට කොටස් මිලියනයකට කොටස් 403 දක්වා ඉහළ ගොස් තිබේ.

 

ගෝලීය උෂ්ණත්වය අවම කර ගැනීමට නම් පරිසරයට මුදා හැරෙන කාබන්ඩයොක්සයිඩ් ප‍්‍රමාණය 2050 වනවිට 70%කින් පමණ අවම කර ගත යුතු බවට පරිසර විද්‍යාඥයන් අනතුරු අඟවා තිබේ. එහෙයින් මෙම පාරිසරික විනාශය අවම කර ගැනීම සඳහා ලොව බොහෝ රටවල් විවිධ කි‍්‍රයාමාර්ග අනුගමනය කිරීමට පියවර ගනිමින් සිටී. වායු දූෂණයට එක් ප‍්‍රධාන සාධකයක් වන ඉන්ධන දහනය අවම කර ගැනීම සඳහා ප‍්‍රංශය, මහා බ්‍රිතාන්‍යය, ඇමෙරිකා එක්සත් ජනපදය, නෝර්වේ, ජර්මනිය, චීනය, ඉන්දියාව, නෙදර්ලන්තය, රෝඩ්ස් දිවයින, කැනඩාව වැනි රටවල් පෙට‍්‍රල් සහ ඩීසල් මගින් ධාවනය කෙරෙන වාහන ඉදිරි දශක දෙක තුළ සම්පූර්ණයෙන්ම නවතා දැමීමට අවධානය යොමුකර ඇත.  


චීනයේ වැඩිම වායු දූෂණය සිදුකෙරෙනුයේ වාහන මගින් නිකුත් කෙරෙන කාබන් ප‍්‍රමාණය හේතුවෙනි. 2012 වසරේ වායු දූෂණය හේතුවෙන් මියගිය චීන වැසියන් සංඛ්‍යාව මිලියනය ඉක්මවීය. එහෙයින් කඩිනමින්ම එයට විසඳුම් සෙවීමට චීන බලධාරීන් හට සිදු වී තිබේ. 2030 වනවිට පෙට‍්‍රල් හා ඩීසල් වාහන ධාවනයෙන් ඉවත් කිරීමට ඔවුන් සැලසුම් කර ඇත්තේ එහෙයිනි.  


නෙදර්ලන්තය සහ නෝර්වේ රාජ්‍යය 2025 සිට ද ජර්මනිය හා ඉන්දියාව 2030 සිට ද ප‍්‍රංශය, ස්වීඩනය හා කොස්ටරිකාව 2040 සිට ද පෙට‍්‍රල් හා ඩීසල් වාහන තම රටවලින් ඉවත්කොට ඒ වෙනුවට විදුලි රථවාහන ආදේශ කිරීමට නියමිතය.  


ප‍්‍රංශ පාරිසරික ඇමැති නිකලස් හුලෝ සඳහන් කරන ආකාරයට දැනට ප‍්‍රංශයේ භාවිත කෙරෙන පෙට‍්‍රල් හා ඩීසල් වාහන ප‍්‍රතිශතය 95.2%කි. විදුලි මෝටර් රථ 1.2%ක් හා හයිබි‍්‍රඩ් රථ 3.5%ක් පසුගිය කාලයේ ධාවනයට එක් කර තිබේ. 2019 වනවිට නව මාදිලියේ විදුලි මෝටර් රථ හඳුන්වා දීම ප‍්‍රංශ රජයේ අරමුණය. ක‍්‍රමයෙන් විදුලි වාහන ධාවනයට එක් කරමින් 2040 වනවිට පෙට‍්‍රල් හා ඩීසල් වාහන සම්පූර්ණයෙන්ම භාවිතයෙන් ඉවත් කිරීම ඔවුන්ගේ අරමුණය.


අැමෙරිකාවේ ප‍්‍රාන්ත 8ක නුදුරේදීම වැඩි වශයෙන් විදුලි මෝටර් වාහන භාවිතයට ගැනීමට නියමිතය. 2014 සිට එරට පෙට‍්‍රල් වාහන අලෙවිය අවම වන්නට පටන් ගෙන තිබේ. 2050 වනවිට එකදු පෙට‍්‍රල් හෝ ඩීසල් වාහනයක් තම ප‍්‍රාන්තවල ධාවනය නොවනු ඇතැයි යන්න ඔවුන්ගේ අදහස වී තිබේ.  


1995 වසර වනවිට ලොව පුරා භාවිත වූ පෙට‍්‍රල් හා ඩීසල් මගී ප‍්‍රවාහන වාහන සංඛ්‍යාව වූයේ මිලියන 500කි. 2010 දී එය මිලියන 896 දක්වා ඉහළ ගියේය. 2015 වනවිට එය බිලියනයක් දක්වා වර්ධනය වී තිබූ අතර 2020 වනවිට එය බිලියන 1.2 දක්වා වර්ධනය වන බවට ගණන් බලා තිබේ. සියවසක කාලයක් තුළ භාවිතයට ගැනුණු වාහන සංඛ්‍යාව මිලියන 500ක් වුවද 20 වසරක් තුළ එය බිලියනයක් දක්වා වර්ධනය වීමෙන් පරිසරයට මුදා හැරුණු කාබන්ඩයොක්සයිඩ් ප‍්‍රමාණය කෙබඳුදැයි අනුමාන කළ හැකිය.

 

 

2010 වසරේ ලොව පුරා අලෙවි කෙරුණු මගී ප‍්‍රවාහන වාහන සංඛ්‍යාව මිලියන 44.7කි. 2020 දී එය මිලියන 70.9 දක්වා වර්ධනය වනු ඇති බවට අනුමාන කර තිබේ. ලොව ප‍්‍රකට මෝටර් රථ නිෂ්පාදන සමාගම් සියල්ල මේ වනවිට විදුලි මෝටර් වාහන නිෂ්පාදනයට යොමුවෙමින් සිටී. බී.එම්.ඩබ්ලිව්, ටොයෝටා, යමහා, චෙරි, ෂැවලේ, සිට්රන්, ෆියට්, ෆෝඩ්, හුන්ඩායි, ජේ.ඒ.සී. කේ.අයි.ඒ, බෙන්ස්, මිට්සුබිෂි, නිසාන්, පර්ජෝ, රෙනෝ, ටෙස්ලා, ෆෝක්ස්වැගන් වැනි මෝටර් රථ නිෂ්පාදන සමාගම් රැසක් නව තාක්ෂණයෙන් යුතු විදුලි මෝටර් රථ මේ වනවිටත් වෙළෙඳපොළට හඳුන්වා දී තිබේ.  


වොල්වෝ සමාගම සඳහන් කරනුයේ 2019 පසු තම ආයතනය විසින් විදුලි මෝටර් රථ හා හයිබ්‍රිඩ් මෝටර් රථ පමණක් නිෂ්පාදනය කරනු ලබන බවයි. දැනට පවතින පෙට‍්‍රල් හා ඩීසල් මෝටර් රථ පරිසර දූෂණය අවම කෙරෙන නවාංග එක් කරමින් 2025 වනතෙක් වෙළෙඳපළට නිකුත් කෙරෙන අතර පෙට‍්‍රල් හා ඩීසල් නව නිෂ්පාදන හඳුන්වා නොදීමට ද ඔවුහු අදහස් කරති.

  
ටෙස්ලා සමාගම ලබන වසරේ විදුලි මෝටර් රථ ලක්ෂ පහක් වෙළෙඳපොළට නිකුත් කිරීමට සුදානමින් සිටී. 2020 සිට විදුලි වාහන මිලියනයක් වාර්ෂිකව වෙළෙඳපොළට නිකුත් කිරීම එම සමාගමේ අරමුණය. ෆොක්ස්වැගන් සමාගම 2020 වසරේ සිට විදුලිි මෝටර් රථ 100,000 බැගින් වාර්ෂිකව අලෙවි කිරීමට සැලසුම් කර තිබේ.  


ටොයොටා සමාගම 2020 වනවිට වසරකට දෙමුහුන් (හයිබ්‍රිඩ්) වාහන මිලියන 1.5 බැගින් ලොව පුරා අලෙවි කිරීමට සූදානමින් සිටියි. එම සමාගම හයිඩ‍්‍රජන් වායුවෙන් ධාවනය කෙරෙන මෝටර් රථයක් පසුගියදා වෙළෙඳපළට නිකුත් කිරීමට කටයුතු කළේ ද පරිසර දූෂණය අවම කිරීමේ පියවරක් ලෙසිනි. 2017 පෙබරවාරි වනවිට මිරායි (අනාගතය) යනුවෙන් නම් කර ඇති මෙම වාහන 2840ක් ජපාන වෙළෙඳපළට නිකුත් කර තිබිණි. සම්පූර්ණයෙන් පිරවූ හයිඩ‍්‍රජන් ටැංකියකින් එය කිලෝමීටර් 502ක දුරක් ධාවනය කළ හැකිය. එය ඉන්ධන කෝෂ පද්ධතියක් සහිත මෝටර් රථයක් ලෙස හඳුන්වා තිබේ. සාමාන්‍ය ඉන්ධන වාහනයක හා හයිබ්‍රිඩ් වාහනයක තාක්ෂණය එක්කර නිර්මාණය වූවක් බැවින් එමගින් පරිසරයට මුදාහරිනු ලබන්නේ ජල වාෂ්ප පමණි.  


ඊ.වී. නොහොත් විදුලි මෝටර් රථයේ විශේෂත්වය වනුයේ එය තාපය හෝ අහිතකර වායු පරිසරයට මුදා හරින්නේ සුළු ප‍්‍රමාණයක් වීමයි. විදුලි වාහනවලින් 100%ක් කිසිදු අහිතකර වායුවක් පරිසරයට මුදා නොහරින බවට මතයක් පැවතිය ද එය නිරවද්‍ය නොවේ. එය විදුලිය උත්පාදනයේදී යම් ප‍්‍රමාණයකට අහිතකර වායු නිකුත් කරනු ලබයි. සාමාන්‍යයෙන් මෙම රථවලින් නිකුත් කෙරෙන කාබන්ඩයොක්සයිඩ් ප‍්‍රමාණය 35% වැනි ප‍්‍රතිශතයක පවතී. ඇමෙරිකානු බලශක්ති දෙපාර්තමේන්තු වාර්තාවලට අනුව පෙට‍්‍රල් මගින් ධාවනය කෙරෙන මෝටර් රථයක් සැතපුම් 100ක දුරක් ධාවනය කිරීමේදී රාත්තල් 75ක පමණ බරින් යුත් කාබන්ඩයොක්සයිඩ් ප‍්‍රමාණයක් පරිසරයට මුදාහරින අතර විදුලි මෝටර් රථයක් සැතපුම් 100ක් ධාවනය කිරීමේදී නිකුත් කෙරෙන කාබන්ඩයොක්සයිඩ් ප‍්‍රමාණය රාත්තල් 32කි. මෙම කාබන්ඩයොක්සයිඩ් ප‍්‍රමාණය ද අවම කර ගැනීම සඳහා නව ක‍්‍රමවේද අනුගමනය කිරීමට මෝටර් රථ නිෂ්පාදන සමාගම් සැලසුම් කර ඇති අතර දැනට නිෂ්පාදයේ පවතින විදුලි මෝටර් රථ වන ෆියට් 500 ඊ, ෆෝඩ් ෆෝකස් ඉලෙක්ටි‍්‍රක්, කියා සෝල් ඊවී, වී.ඩබ්ලියු ඊ ගොල්ෆ්, වි ස්පාක් ඊවී, රෙනෝ සොයි, නිසාන් ලීෆ්, ටෙස්ලා මොඩ්ල් එස් යන වාහන මේ වනවිට ජනප්‍රියත්වයට පත්වී තිබේ.

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා