ගුවන් යානයකට මිසයිල ගැසූ කොටි පොලිසියට දුන් කට උත්තරය


 

 

විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ සැඟව සිට පළාලි ගුවන් හමුද‌ා කඳවුරේ සිට රත්මලාන ගුවන් හමුද‌ා කඳවුර දක්වා ත්‍රිවිධ හමුද‌ා නිලධාරීන් සහ පොලිසියේ නිධාරීන් ඇතුළු 37 දෙනෙකු රැගෙන පියාසර කළ ඇන්ටනොව් 32 වර්ගයේ මගී ගුවන් යානයකට මිසයිල ප්‍රහාරයක් එල්ලකර බිම හෙළා විනාශ කළ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් දෙදෙනකුට වසර 185 ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කරනු ලැබුවේ උතුරු මැද පළාත්බද මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමින් මහතාය.   


මෙසේ සිර දඬුවම් නියම කරනු ලැබුවේ ඉරාසිතුරෙයි ජෙගන් නොහොත් පුලවන් සහ නල්ලාම් සිවලිංගම් යන එල්.ටී.ටී.ඊ මිසයිල බළකායේ ප්‍රබල සාමාජිකයන් දෙදෙනෙකුටය.   
නීතිපතිවරයා විසින් අධි චෝදනා 37ක් යටතේ අධිකරණයේ නඩු පවරා තිබූ අතර මොවුන් දෙදෙනා එම සියලු චෝදනාවලට අධිකරණය හමුවේ වරද පිළිගත් නිසා එක් චෝදනාවකට වසර පහ බැගින් චෝදනා 37ක් සඳහා වසර 185ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කළ මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් මහතා එම දඬුවම් වසර පහකින් ගෙවීයන ලෙසට ක්‍රියාත්මක කරන්නැයි නියෝග කළේය. 

 
විත්තිකරුවන් දෙදෙනා වසර 08කට ආසන්න කාලයක් අඛණ්ඩව රක්ෂිත බන්දනාගාර ගතකර සිටි අතර එම කාලසීමාවද සැලකිල්ලට ගනිමින් විනිසුරුවරයා මෙම දඬුවම නියමකර තිබිණි.   


පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ සුදර්ශන ද සිල්වා මහතා ද විත්තිකරුවන් දෙදෙනා වෙනුවෙන් රජයෙන් පත්කළ නීතිඥ විනෝදනී සිරිවර්ධන මහත්මියද පෙනී සිටියහ.   
ඇන්ටනොව් යානය එහි සිටි ගුවන් කාර්ය මණ්ඩලය ඇතුළු ත්‍රිවිධ හමුද‌ාවේ සහ පොලිසියේ නිලධාරීන් 37දෙනා සමඟ මිසයිල ප්‍රශාරයකින් විනාශකර දමා තිබුණේ 2000 වසරේ මාර්තු 30 වැනිදාය.   


ඇන්ටනොව් ඒ.එන්. 26 වර්ගයේ ගුවන් යානය අඩි 9000ක පමණ ඉහළින් පියාසර කරමින් සිටිය අතරවාරයේ මිසයිල ප්‍රහාරයට ගොදුරු වූ අතර එය කඩා වැටී තිබුණේ අනුරාධපුරය තලාව මද්දුමාගම වීරවැව තේක්කවත්තටය. 

 
මේ බව දැනගත් මොහොතේ කොළඹ සිට තලාව බලා ඒ ගැන තොරතුරු සොයා බලා වාර්තා කිරීමට එද‌ා එහි ගියේ ඉරිද‌ා ලංකාදීපයේ ප්‍රසන්න සංජීව තෙන්නකෝන්, අපේ ඡායාරූප ශිල්පි ඇලෙක්සැන්ඩර් බාලසූරිය සහ මෙම සටහන බව තබන ලේඛකයාත්ය.   


අනුරාධපුරය කොට්ඨාසය භාර එවකට රාජකාරි කළ පොලිස් අධිකාරි විල්ප්‍රඩ් මහනායක සහ එවකට අනුරාධපුර මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරයාව සිටි පසුකාලයක සහකාර පොලිස් අධිකාරිවරයෙක් ලෙස උසස්වීමක් ලබා මේ ව විට විශ්‍රාම ලබා සිටින ජේ.එම්.පී ජයලත් යන මහත්වරුන්ද මේ ගුවන් අනතුර සම්බන්ධයෙන් මූලික විමර්ෂණ පැවැත්වූ අතර පසුව වැඩිදුර පරීක්ෂණ සඳහා කොළඹ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයට බාරදී තිබේ.   


කොළඹ ත්‍රස්වාදි විමර්ෂණ කොට්ඨාසයේ එවකට නියෝජ්‍ය පොලිස්පතිවරයාව සිටි නිමල් චන්ද්‍ර වාකිෂ්ඨ මහතාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි ජගත් ​ෙෆාන්සේකා සහ පොලිස් අධිකාරි අසංක කරවිට යන මහත්වරුන්ගේ මෙහෙයවීම යටතේය.   


සහකාර පොලිස් අධිකාරි ජගත් ​ෙෆාන්සේකා මහතා පොලිස් අධිකාරිවරයෙක් ලෙස උසස්වීම ලබා මේ වනවිට සේවය කරන්නේ වවුනියාව පොලිස් අධිකාරි කොට්ඨාසයේය.   
ත්‍රස්තවාදි විමර්ෂණ කොට්ඨාසයේ එවකට ස්ථානාධිපති මේ වනවිට සහකාර පොලිස් අධිකාරි නිලයට උසස්වීම් ලබා ඇති ප්‍රසන්න ද අල්විස්, පොලිස් පරීක්ෂක එන්.ඒ. ආබ්දීන් සහ සැරයන් නිශාන්ත (48857) යන මහත්වරු මෙම පරීක්ෂණ කණ්ඩායමට ඇතුළත් වූහ.   


පොලිස් පරීක්ෂක ආබ්දීන් මහතා මේ වනවිට පොලිස් සේවයෙන් විශ්‍රාම ලබාගොස් ඇති ත්‍රස්තවාදි විමර්ෂණ කටයුතුවලදී දක්ෂතා පෙන්වා ඇති නිලධාරියෙකි.   
ඇන්ටනොව් යානයට මිසයිල ප්‍රශාර එල්ලකළ ත්‍රස්තවාදීන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබුවේ එම ප්‍රහාරය සිදුවී වසර 12ක පමණ කාලයකට පසුවය.   
වන්නි මානුෂීය මෙහෙයුම අවසන් කාලයේ යුද මුක්ත කලාපයේ සිට රජයේ පාලන ප්‍රදේශයට පැමිණ ජනතාවට රැඳී සිටීමට වවුනියාව හා ඒ අවට ප්‍රදේශවල පිහිටවනු ලැබූ සරණාගත කඳවුරු ඇතිකර තිබුණා. සාමාන්‍ය ජනතාව අතරේ සැඟ වී ආ කොටි ත්‍රස්තයන් හඳුනාගෙන ඔවුන් අත්අඩංගුවට ගැනීමට එම කඳවුරුවලට සරණාගතයන් ලෙස වෙස් වළාගත් බුද්ධි අංශ නිලධාරීන් යොදවා තිබුණි.   


මරඳමඩු සරණාගත කඳවුරේ අපි වෙස්වළාගෙන සිටි එක් පුද්ගලයෙක් තවත් සරණාගතයන් කිහිප දෙනෙක් එක්ක පුරසාරම් දොඩවමින් සිටියා. ඔහු කිව්වා මම තමා විල්පත්තුව කැලෑවේ හැංගිලා ඉඳලා ප්ලේන් එකකට ගැහැව්වේ කියා. තවත් අයෙක් මේකට සහය වුණ බවත් ඔහු කිව්වා. ඒ අනුව තමා විල්පත්තු කැලෑවේ සිට ඇන්ටනොටව් යානයට මිසයිල ප්‍රහාර එල්ල කළ කොටි ත්‍රස්තවාදීන් දෙදෙනා අල්ලාගත්තේ යැයි විශ්‍රාමික පොලිස් පරීක්ෂක එන්.ඒ අාබ්දීන් මහතා පැවසීය.   


වන්නි මානුෂීය මෙහෙයුමේ නිරතව සිටි හමුද‌ා කණ්ඩායම්වල ප්‍රශාරවලින් විනාශවී ගිය ඉරණමඩු කොටි ගුවන් කඳවුරු භූමියේ තිබි හිස් මිසයිල කොපු දෙකක් සොයාගනු ලැබීය.   
සොයාගත් මෙම හිස් මිසයිල කොපු දෙකේ ගුවන් යානයට ප්‍රහාරය එල්ලකළ දිනය හා එම ප්‍රහාරය එල්ල කර තිබූ කොටි මිසයිල බළකායේ දෙදෙනාගේ නම් ද සටහන් කර තිබිණි.   
මෙම මිසයිල හිස් කොපු දෙකේ ලියා තිබුණේ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ නිලධාරින් අත්අඩංගුවට ගත් කොටි දෙදෙනාගේ නම්ය.   


රැඳවුම් නියෝග යටතේ මෙම කොටි ත්‍රස්තවාදීන් දෙදෙනා රඳවා තබාගෙන වැඩිදුර පරික්ෂණ පවත්වමින් සිටියදී ඇන්ටනොව් ගුවන් යානයට ප්‍රහාර එල්ල කිරීම ගැන ස්වේච්ඡාවෙන්ම පාපොච්චාරණ කිරීමට තීරණය කර ඇත.   


කොළඹ ත්‍රස්තවාදී කාර්යාංශයේ එවකට සහකාර පොලිස් අධිකාරිවරයෙක් ලෙස සේවය කළ ජගත් ​ෙෆාන්සේකා මහතා හමුවේ මෙම කොටි ත්‍රස්තවාදීන් දෙදෙනා සිද්ධිය සම්බන්ධයෙන් පාපොච්චාරණයක් කර ඇත්තේ ඒ අනුවය.   


පොලිස් අධිකාරි ජගත් ​ෙෆාන්සේකා මහතා ප්‍රබල ත්‍රස්තවාදී ක්‍රියාකාරිකයන් රැසක් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ මෙහෙයවා ඇති දක්ෂ නිලධාරියෙකි.   


මුලතිව් නයිවේලි ප්‍රදේශයේ පදිංචි ඉරාසිතුරෙයි ජෙගන් (35) නමැත්තා ජගත් ​ෙෆාන්සේකා මහතා හමුවේ පාපොච්චාරණය කරමින් ගුවන් ප්‍රහාරය ගැන මෙසේ ප්‍රකාශකර ඇත.   


මොහු දෙමළ භාෂාවෙන් කරන ලද මෙම පාපොච්චාරණය සිංහල භාෂාවට පරිවර්තනය කර ඇත්තේ පොලිස් සැරයන් සියාබ්දීන් (53251) මහතා විසිනි. එහි මෙසේ සඳහන් වේ.   


මා යාපනය ඉනුවිල් සයිවර් මහ විද්‍යාලයේ 08 වන වසර ඉගෙනුම ලමින් සිටියදී පාසල් නිමවී නිවසට යාමේදී එල්.ටී.ටී.ඊ සංවිධානයේ සදීස් යන අය මාර්ගයෙන් ස්ව කමැත්තෙන් මා එල්.ටී.ටී.ඊ. සංවිධානයට බැඳී ඔහු සමඟ මා යාපනය ඕල්පාක් කදවුරට රැගෙන ගියා. එම කඳවුරේ සිට 1991.03.01 වන දින යාපනයේ මනියන්තෝට්ටම් ප්‍රදේශයේ පිහිටා තිබූ එල්.ටී.ටී.ඊ. පුහුණු කඳවුරට රැගෙන ගියා. එහිදී මා සමඟ 250 ක එල්.ටී.ටී.ඊ. සමාජිකයන් සමඟ ශාරීරික අභ්‍යාස පුහුණුව, පෙළපාළි අත්බෝම්බ, ඒ.කේ 47, අවි සම්බන්ධයෙන් මාස 03 ක පුහුණුවක් ලබා දුන්නා. එම පුහුණුව ලබා දුන්නේ ඉරේක් මාස්ටර්, තෝමස් මාස්ටර් විසිනි.   


එම පුහුණුව අවසානයේ මට එල්.ටී.ටි.ඊ සංවිධානය විසින් 0129 අංකයද, එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නම ‘පුලවන්’ බවත් ඉම්රාන් පාන්ඩියන් බළකායට අනුයුක්ත කළා. පසුව 1991 වසරේ මාව මුලින්ම බඳවා ගත්තේ යාපනය දිස්ත්‍රික් බළකාය වෙනුවෙන් පුහුණුවෙන් පසු අපි සියලු දෙනාම එක එක පළාත්වලට එල්.ටී.ටී.ඊ ක්‍රියාකාරකම් සඳහා යෙදෙව්වා මාව යාපනයේ රෝහලේ සිටින එල්.ටී.ටී.ඊ. තුවාලකරුවන්ට උදව් කිරීමට යෙදෙව්වා.   


1992.06 වන මාසය දක්වා උමාකාන්තන්ගේ නායකත්වය යටතේ එල්.ටී.ටී.ඊ ක්‍රියාකාරකම් සිදු කළා. පසුව යාපනය නගරයේ එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් පිහිටවා තිබූ අධ්‍යාපන පීඨයට ගොස් 1993 වසර දක්වා එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ඉතිහාසය හා සාමාන්‍ය ගණිතය, විද්‍යාව සම්බන්ධයෙන් පුයි මාස්ටර් විසින් පුහුණුවක් ලැබුවා. එම කඳවුර භාරව සිටියේ පදුමන් යන අයයි. ඉන්පසු මාව යාපනය කොඩිකාමන් ප්‍රදේශයේ පිහිටා තිබූ 47 පුහුණු මධ්‍යස්ථානයට ගියා.   


එහි දී මා ඒ.කේ. 47 අවිය සහ දේශපාලනය සම්බන්ධයෙන් 1995 වසර දක්වා පුහුණුව ලැබුවා. ඊට පසුව මාව දිවි බළ ඇණියට (සිරිත්තපඩෙයි) අනුයුක්ත කළා. එම බළකායේ නායකයා වශයෙන් රාජු තමයි හිටියේ. පසුව රාජු විසින් මා සමඟ 03 දෙනෙකු වන ජෙයසිලන්, චන්ද්‍රන්, මිසයිල පුහුණුව සඳහා එල්.ටී.ටී.ඊ නායකයෙකු වන ගඩාපිට භාර දුන්නා. ලිමාවන් යන මිසයිල පුහුණු කඳවුර පිහිටා තිබුනේ එලදුමට්ටුවාන්වල අපිව එම කඳවුරට එක්ක ගියා. එම කඳවුරේ දී මාස 03ක කාලයක් මිසයිල සම්බන්ධයෙන් වෙඩි ජිනේසන්. විසින් මටත් රාහුලකන් අංගිලේස්වරන්, සංකර්, ජෙයසිලන්, කිසන් යන අයට මිසයිල සම්බන්ධයෙන් පුහුණුව ලබා දුන්නා.   


ඉන්පසු එම ප්‍රදේශය යුද හමුදාව විසින් අත්පත් කර ගැනීමත් සමඟ අප වන්නි ප්‍රදේශයේ පුදුකුඩි ඉරුප්පුවලට ගියා. මේ විදියට මම 2000 වසර දක්වා එල්.ටී.ටී.ඊ. සංවිධාන ක්‍රියාකාරකම් සිදු කරගෙන හිටියා. එසේ සිටිය දී මට මතක හැටියට 2000.03 වන මාසයේ දී දිනක එල්.ටී.ටී.ඊ නායකයෙකු වන ගඩාපි කිවා මටත්, සේරන්ටත් විල්පත්තු කැලය ප්‍රදේශයට ගොස් එහි දී අහසේ සැරිසරන ගුවන් යානා සම්බන්ධයෙන් තොරතුරු ලබාගෙන ඇති නිසා එයට ප්‍රහාරයක් එල්ල කිරීමට මමත්, අරුලානන්දන්, සුඩර්, මේහන්. අර්ඩුනන් යන අය සමඟ විල්පත්තු කැලය ප්‍රදේශයට යාමට ස්ටෙලා වර්ග මිසයිලයක්ද, දින 10 කට අවශ්‍ය කෑම අරගෙන, විල්පත්තු කැලය ප්‍රදේශයට ගියා. 

 
එහිදී මම රැගෙන ගිය මිසයිලයේ 2000.03 ගුවන් යානයට ප්‍රහාරයක් එල්ල කළා. එහි දී එම ගුවන් යානය විනාශ වුණා. 2001 වසරේදී ගඩාපි යන අයගේ උපදෙස් මත මම අර්ජුන් සමඟ මිසයිලයක් ද රැගෙන වට්ටුවාල් ප්‍රදේශයට ගොස් එම ප්‍රදේශයේ දී නාවික හමුද‌ා ඩෝරා යාත්‍රා 02කට ප්‍රහාර එල්ල කළා. එහි දී එම යාත්‍රා දෙක විනාශ වුණා.   
පසුව මාව 2006 වසරේ දී මම එල්.ටී.ටී.ඊ සංවිධානයෙන් ඉවත් වීමට ලිපියක් භාර දුන්නා. එයට එල්.ටී.ටී.ඊ සංවිධානය විරුද්ධ වුණා. ඉන්පසු මාව පුදුකුඩිඉරුප්පු ප්‍රදේශයේ වල්ලිපුරම් කඳවුරුවල එල්.ටී.ටී.ඊ ක්‍රියාකාරකම් සිදු කරමින් සිටියදී 2009 ජනවාරි මාසයේ දී යුධ හමුද‌ා මානුෂීය මෙහෙයුම් ආරම්භ කිරීම සමඟ එම ප්‍රදේශය අතහැර පුදුකුඩිඉරුප්පු දේවපුරම් ප්‍රදේශයට පැමිණ අවසන් වරට මුල්ලිවෛයික්කාල් පැමිණ වට්ටාපලෙයි ප්‍රදේශයේ දී යුද හමුද‌ා පාලන ප්‍රදේශයට පැමිණියා.   
පසුව යුද හමුද‌ාව විසින් අප ඔමන්ත කඳවුරට ගෙනවිත් එහි රඳවා සිට ඉන්පසු පුන්තොට්ටම් කඳවුරට රැගෙනගොස් අවසාන වරට මා වැලිකන්ද මරදමඬු කඳවුරේ දී මාව අත්අඩංගුවට ගෙන කොළඹ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයට ගෙන ආවා.   


මේ අනික් සැකකරුගේ ප්‍රකාශයයි.   


නම තල්ලාම් සිවලිංගම්, වයස අවු: 33 යි, උපන් දිනය 1978.12.13 ලිපිනය - සිරිප්පිට්ටි, නැගෙනහිර, නිර්වේලි, යාපනය. යන අය මෙසේ කියා සිටියි. මම 10 වෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටියදී 1995 අප්‍රේල් මාසයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානයේ දේශපාලන අංශය මගින් මා ඉගෙනුම ලැබූ පාසලට හා මා පදිංචි ප්‍රදේශයට පැමිණ එල්.ටී.ටී.ඊ. සංවිධානයට බැඳීමට කැමති අය ඉදිරිපත්වන ලෙසට ප්‍රචාරක කටයුතු සිදුකළා.   


එම ප්‍රචාරක කටයුතු සිදුකිරීමෙන් පසු මට එල්.ටී.ටී.ඊ සංවිධානයට බැඳීමට ආශාවක් ඇතිවුණා. මම 1995 වර්ෂයේ අප්‍රේල් මාසයේදී නිර්වේලි ප්‍රදේශයේ එල්.ටී.ටී.ඊ. දේශපාලන අංශය බාරව කටයුතු කළ සිරි යන අය හමුවී එල්.ටී.ටි.ඊ. සංවිධානයට බැඳීමට කැමැත්ත ප්‍රකාශ කිරීමෙන් පසු මාව එල්.ටී.ටී.ඊ. සංවිධානයට බඳවාගෙන නෙල්ලිඅඩි නාවන්ඩිබ් ප්‍රදේශයේ පිහිටි 10වෙනි සරත් බාබු පුහුණු කඳවුරට රැගෙන ගොස් මට යුද පුහුණුව හා ඒ.කේ. 47 අවිය සම්බන්ධයෙන් මාස 03ක පුහුණුවක් ලබා දුන්නා.  


එම කඳවුරේ මා සමග 200 දෙනෙකු පමණ පුහුණුව ලැබුවා. එම කඳවුරේ සිටි සෙල්ලකිලි මාස්ටර් සහ කීමන් මාස්ටර් අපිට පුහුණුව ලබාදුන්නා. මෙම පුහුණුව අවසානයේ මට එල්.ටී.ටී.ඊ නම වශයෙන් සින්නතිලකන් වශයෙන්ද, අංකයක් ලබාදුන්නා. එය මට දැන් මතක නැහැ. ඉන්පසුව මම එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ඉම්බ්‍රාන් පාන්ඩියන් බළකායට අනුයුක්ත කළා. එම බළකායේ ප්‍රධානීන්ගේ උපදෙස් පරිදි මුත්තියන්තට්ටු ප්‍රදේශයේ පිහිටි 1:9 කඳවුරේ ආරක්ෂක කටයුතු සිදු කරමින් වසර 03 ක් පමණ සිටියා. පසුව එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ප්‍රධානියෙකු වන ගඩාබිගේ උපදෙස් පරිදි මුලතිව් දේවපුරම් පිහිටි පුහුණු කඳවුරකට ගියා.   


එම පුහුණු කඳවුරේ මා ඇතුළු ඊලරංජන්, ස්වර්ණමී, මුල්ලේතම්ලන්, කාසි, ඉලන්පුලි, අන්බන්, වේයලන්, වානම්, අරුච්චෙල්වම්, නිලාවලි යන අප කණ්ඩායමට ගුවන් යානා නාශක මිසයිල අවි පිළිබඳව පුහුණුවක් ලබා දුන්නා. එම පුහුණුවෙන් පසුව ගඩාබිගේ සහ මිසයිල අංශ ප්‍රධානියෙකු වන අයිලේෂ් යන අයගේ දැනුම් දීම මත 2000 වර්ෂයේ පෙබරවාරි මාසයේදී මම පුලවන්ගේ ප්‍රධානත්වයෙන් ඊලරංජන් සහ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ බුද්ධි අංශ සාමාජිකයින් දෙදෙනෙකුද වයස්ගත සිවිල් පුද්ගලයෙකු සමඟ මිසයිල අවියක්ද ​රැගෙන වෙඩිතලතිව් දූපත හරහා බෝට්ටුවකින් පුත්තලම ප්‍රදේශයට ගොස් කැළෑ පාරකින් විල්පත්තු කැළයට ගියා.   


විල්පත්තු කැළයේ අපි මිසයිල අවිය තබාගෙන මාසයක් පමණ කාලයක් කැළයට වී සිටියා. අපිට කෑම බිම ගෙනත් දුන්නේ අප සමග ගිය වයසක සිවිල් පුද්ගලයාය. අපි කැලේ සිටිනවිට 2000 වර්ෂයේ මාර්තු මාසයේදී අවසන් කාලයේදී පමණ අප සිටි ස්ථානයට ඉහළින් පියාසර කළ අළු පාට විශාල ගුවන් යානයකට අප රැගෙන ගිය මිසයිල අවිය උපයෝගි කරගෙන පුළුවන් විසින් ප්‍රහාරයක් එල්ල කළා. එම මිසයිල ප්‍රහාරය වැදී ගුවන් යානය කඩා වැටුණා. පසුව අප කණ්ඩායම දින 10ක් පමණ කැලෑ මාර්ගයෙන් මන්නාරම් ප්‍රදේශයට පැමිණ එතන සිට සිවිල් සහ එල්.ටී.ටී.ඊ. සංවිධානයට අයත් වාහනවලින් පුදකුඩිඉරිප්පු කෝපාපලම් කඳවුරට පැමිණියා.   


අප රැගෙන ගිය මිසයිල අවිය පුලවන් විසින් ප්‍රශාර එල්ල කිරීමෙන් පසු එම හිස් බැරලය අප සියලු දෙනාම මාරුවෙන් මාරුවට නැවත පැමිණෙනවිට රැගෙන ආවා. ඉන්පසුව මම එම සංවිධානයේ ප්‍රධානීන්ගේ උපදෙස් පරිදි එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සිතියම් ලකුණු කිරීමේ අංශයේ ප්‍රධානියෙකු වන ශෂිකුමාර් මාස්ටර්ගේ රියැදුරෙකු වශයෙන් කටයුතු කරමින් මෙහෙයුම් සඳහා අවශ්‍ය සිතියම් ලබාදීමේ කටයුතුවල නිරතව සිටියා.   


2009 ජනවාරි මාසයේදී යුද හමුද‌ා මානුෂීය මෙහෙයුම ආරම්භ කිරීම සමඟ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ මෙහෙයුම් සිදුකරමින් මානුෂීය මෙහෙයුම අවසන් වන තෙක් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ රැඳී සිට සාමාන්‍ය ජනතාවට මුවාවී යුද හමුද‌ා පාලන ප්‍රදේශයට පැමිණෙන අවස්ථාවේදී යුද හමුද‌ාව විසින් ඕමන්ත කඳවුරට ගෙනවිත් එහි රඳවා සිට පසුව පුන්තෝට්ටටම් කඳවුරට ගොස් අවසන් වරට මා වැලිකන්ද මරඳමඩු කඳවුරේදී මාව අත්අඩංගුවට ගෙන කොළඹ ත්‍රස්තවාදී විමර්ෂණ කොට්ඨාසයට ගෙනාවා.

 

 

 

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය   
ඡායාරූපය - මාදම්පේ එස්.හේරත්