ගුවන් පාලමෙන් තෙත්බිම වැනසෙයිද ?


 

තලංගම පිහිටි ඇවරිහේන කුඩා වැව හා තලංගම වැව අවට ප්‍රදේශයේ ස්වභාවික සෞන්දර්ය බරපතළ තර්ජනයකට මුහුණපා ඇත. එයට හේතුවී ඇත්තේ මෙම ප්‍රදේශය හරහා රාජගිරියේ සිට අතුරුගිරිය දක්වා ගුවන් පාලමක් ඉදිකිරීමට සැලසුම් කර තිබීමයි. ගුවන් පාලම පිහිටුවීමේ දී කණු සිටුවීම, හෑරීම, සිමෙන්ති, කළුගල් පරිසරයට මුදා හැරීම, ශබ්දය, දෙදරීම, වායු දූෂණය යනාදී කරුණු ප්‍රදේශයේ පරිසරය හානි කිරීමට හේතුවෙන බව ප්‍රදේශවාසීහු සඳහන් කරති.   


පරිසර පනත යටතේ ඇවරිහේන වැව අවට ප්‍රදේශය පාරිසරික වටිනාකමක් ඇති ප්‍රදේශයක් ලෙසට නම් කර ඇත. ඉදිකිරීම්, ශබ්ද ඝෝෂා මෙම ප්‍රදේශයට නොකළ යුතුව ඇත. ජෛව විවිධත්වය ඇති ප්‍රදේශයක් ලෙසට ද මෙම ප්‍රදේශය නම් කර ඇත. මුළු ලෝකයටම ආදර්ශමත් ස්ථානයකි. විවිධ කුරුළු වර්ග, වෙනත් සතුන් බහුලව සිටින මෙම ප්‍රදේශයේ ඇතිවිය හැකි ශබ්දය, නිදහසේ හැසිරෙන සතුන්ට බාධාවක් වීමෙන් උන් ප්‍රදේශය හැර යාමට ඉඩ ඇත.   


දියවන්නා ඔය 1988 දී පිටාර ගැලීමෙන් පසු මේ ප්‍රදේශයෙන් ජලය පාලනය කරනු ලැබීය. කුලුනු ඉදිකිරීමෙන් නිදහසේ ජලය ගලා යාමට බාධා ඇතිවීමට ඉඩ ඇත.   


මෙම තෙත්බිම් ගංවතුර පාලනය හා ගංවතුර සංවේදී ප්‍රදේශවල ජල ප්‍රවාහනයට ඉමහත් බලපෑමක් කරනු ලබයි. ජෛව විවිධත්ව සහ සත්ව විශේෂ සංරක්ෂණයට ද දායක වෙයි. එමෙන්ම කෘෂිකර්මය, ධීවර කර්මාන්තය සහ ව්‍යායාම් මංතීරු සහ පක්ෂීන් නැරඹීම වැනි විනෝදාත්මක කටයුතු සඳහා මෙන්ම අධ්‍යාපනික අරමුණු සහ තාරකා විද්‍යාව කෙරෙහි උනන්දුව දක්වන්නන්ට තාරකා නිරීක්ෂණය සඳහා ද ඇවරිහේන වැව හා ඒ අවට ප්‍රදේශය වැදගත් පරිරසයක් ලෙස හඳුනාගෙන ඇත.   


ඇවරිහේන වැව හා ඒ ආශ්‍රිත ප්‍රදේශය ජාතික පරිසර පනත යටතේ පාරිසරික ආරක්ෂිත ප්‍රදේශයක් ලෙස ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර ඇති නිසා එම ප්‍රදේශය තුළ ගුවන් මාර්ගයක් ඉදිකිරීම අනවසර කටයුත්තක් ද වෙයි.   


ප්‍රදේශයේ පදිංචිකරුවෝ බහුතරයක් මේ ගුවන් මාර්ගය මේ ප්‍රදේශය ඔස්සේ ඉදිකිරීම ගැන බලවත් විරෝධයක් දක්වයි. සුළු ගොවීන් පිරිසක් පරිසරය ගැන හැඟීමකින් තොරව කැමැත්ත දක්වා ඇත.   
පරිසරය, ජෛව විවිධත්වය, වන ජීවින් හා ජීවත් වන අයට පිරිසුදු වාතය අහිමිවීම මගින් සෞඛ්‍ය ප්‍රශ්නවලට මුහුණ දීමට ද සිදුවෙනු ඇත. පරිසරය ආරක්ෂාවීම ඉදිරි පරපුර සඳහා ද වැදගත් වෙන කරුණකි. පරිසරය විනාශ වුවහොත් එය යළි ලබා ගැනීමට ද නොහැකි වනු ඇත. සිමෙන්ති වැලි, ගඩොල් මිශ්‍රකර කරනු ලබන ඉදිකිරීම් වෙනත් ස්ථානයක හෝ සිදුකර ගැනීමට හැකියාව ඇත. එහෙත් පරිසරය විනාශ වුවහොත් එය යළි ගොඩගැනීමට නොහැකි වනු ඇත. පරිසරය යළි සැකසිය නොහැකිය. නව ඉදිකිරීමට වඩා පරිසරය ආරක්ෂා කිරීම බෙහෙවින්ම වටිනා, වැදගත් දෙයකි.   


මේ පරිසරය ආරක්ෂා කර ගැනීම රටේ සංවර්ධනයට ද යොදා ගැනීමට අවස්ථාව සැලසේ. සංවර්ධන ක්‍රියාවලිය තුළ ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීමේ වැදගත්කම හා පාරිසරික පරිහානිය සහ තෙත් බිම් විනාශය වෙත මග පාදන සංවර්ධන කටයුතු නිෂ්ඵලය. මේ කෝවිඩ් වසංගතය පැතිර යන වකවානුවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශයන් තුළ දැක්වෙන පරිදි සෞඛ්‍ය යනු රෝග පාලනය පමණක් නොව කායික, මානසික හා සමාජ සුභසාධනය පැවතීම වෙයි.   


කොළඹ තෙත් බිම් සෞඛ්‍යයේ මේ සියලු අංග ආවරණය කරනු ලබයි. රට අගුලු දමා තිබූ කාලය තුළ දී මිනිසා විසින් සිදු කෙරෙන පරිසර දූෂණයන් නැවතී ගිය අතර කොළඹ තෙත් බිම් ඒවායේ ඓශ්චර්ය පිළිඹිබු කරමින් දිදුලන්නට වූයේ වාතය පිරිසිදු කිරීමේ දී ඒවා කෙතරම් සමර්ථ වන්නේ ද යන්න පිළිබඳව මනා උදාහරණයක් ගෙනහැර පාමිනි.   

 

 

දියත උයන, අපේ ගම උද්‍යානය, නුගේගොඩ නාගරික තෙත් බිම් උද්‍යානය (වැලි පාර්ක්) යනාදී මහජන මධ්‍යස්ථාන සහ උයන නිර්මාණය කරමින් ඒවා තත්ත්වයෙන් උසස් කරනු ලැබුවේය. කෙසේ වුවත්, බැද්දගාන, කො​ළොන්නාව, දියවන්නාව, තලංගම සහ තලවතුගොඩ ආදී ජෛව විවිධත්ව මධ්‍යස්ථාන සැලකිල්ලට ගනිමින් රැම්සාර් සමුළුව යටතේ 2018 වර්ෂයේ දී දකුණු ආසියාවේ තනි තෙත් බිම් නගරය ලෙසට කොළඹ නගරය ප්‍රකාශයට පත් විය.   


මහ කොළඹ ප්‍රදේශය තුළ මේ මොහොතේ ඉතිරිව ඇත්තේ හරිත ප්‍රදේශ කීපයක් පමණි. කෙතරම් සැලකිල්ලෙන් හා මනා ලෙස ඉදිකරනු ලැබුව ද ගුවන් මාර්ග ඉදිකිරීමෙන් ඒවායෙන් නිකුත් වෙන විෂ හා ශබ්දය හේතුවෙන් අදාළ තෙත් බිම් සෙමින් අතුරුදන්ව යන බවට අප්‍රමාණ සාක්ෂි ඇත. මෙම තෙත් බිම්වල ජීවත් වන ජනතාවට සෞඛ්‍ය ගැටලු ඇති කරන විමෝචනයෙන් හා ශබ්ද දූෂණයෙන් තොර යහපත් වාතය භුක්ති විඳීමට අවස්ථාව සැලසී ඇත. එබැවින් පරිසර පද්ධතියට ඉමහත් විනාශයක් ඇති කරමින් ආරක්ෂිත තෙත් බිම් ප්‍රදේශ හරහා දිවෙන ගුවන් මාර්ග ඉදිකිරීම සුදුසු නොවන්නකි.   


විනාශ වුවහොත් යළි කිසිදා තැනිය නොහැකි මෙම අගනා සම්පත විනාශවීම වැළැක්වීම සඳහා අදාළ බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුය.   


තවත් විශේෂත්වයක් වෙන්නේ මේ ප්‍රදේශය සංචාරකයන් සඳහා වැඩිදියුණු කිරීමට ඇති හැකියාවයි. මෙම ප්‍රදේශය මුළු ලෝකයටම විවෘත කළ හැකි ප්‍රදේශයකි. හොඳ ආදායම් මාර්ගයක් ලෙස දියුණු කළ හැකිය.   
කොළඹ ආසන්නයේ පිහිටි නිසා සංචාරකයන්ට ගමන් කිරීම ද පහසුය. විද්‍යාත්මකව මෙම ප්‍රදේශය හරිත ප්‍රදේශයක් වශයෙන් හඳුන්වා දී තිබෙන්නේ මෙහි ඇති වටිනාකම නිසාය. පනතක් මගින් නම් කර තිබෙන්නේ ද එම වටිනාකම හේතුවෙනි.   


මෙම ප්‍රදේශය ඔස්සේ ගුවන් පාලම් මාර්ගයක් ඉදිකිරීමට බලාපොරොත්තු වෙන්නේ ප්‍රවාහන පහසුකම් සැලසීමට නම් ඒ සඳහා යෝජනා කීපයක් ඉදිරිපත් කළ හැකිය. ඒවා මෙසේය. 

 
රට හා ලෝකය පීඩාකාරී කෝවිඩ් - 19 වසංගතය මෙන්ම ආර්ථිකයන් මත ඇතිවෙන ඉතා අයහපත් බලපෑම් සමග සටන් කරන මෙම කාලය තුළ නැවත සකස් කළ නොහැකි පාරිසරික හානි වෙත අවධානය යොමු කරමින් සම්ප්‍රදායික සංවර්ධන මාදිලියෙන් ඔබ්බට ගොස් මානව ආත්මය සමගම සංවර්ධන සිදු කෙරෙන විකල්ප මාර්ගයක් වෙත අවධානය යොමු කළ යුතුව ඇත. එබැවින් රථවාහන තදබදය අවම කිරීම සඳහා අධික පිරිවැයක් දරමින් අපගේ සුවිශේෂී වූ පරිසර පද්ධතිය විනාශ කෙරෙන අයුරින් ආරක්ෂිත තෙත් බිම්වලට ඉහළින් මහා මාර්ග ඉදිකිරීම වෙනුවට අඩු පිරිවැයක් දරන විකල්ප ක්‍රියා මාර්ග අනුගමනය කළ හැකිය.   


1. කොළඹ නගරයට ඇතුළුවෙන අය සඳහා වාහන ගාල් කර යෑමේ බහු මාදිලි ප්‍රවාහන මධ්‍යස්ථාන පුළුල් කිරීම.   


2. මෙට්රෝ දුම්රිය පද්ධතිය ද ඇතුළුව සාමාන්‍ය පොදු ප්‍රවාහන හා දුම්රිය ප්‍රවාහන පද්ධතිය වැඩිදියුණු කිරීම් සිදු කිරීම.   


3. කොළඹ නගරයට ඇතුළු වෙන පුද්ගලික රථවාහන සඳහා අධික බදු පැනවීම සහ එමගින් පොදු ප්‍රවාහනය භාවිත කිරීමට අනුබල දී මාර්ග තදබදය අඩු කිරීමට පියවර ගැනීම.   


4. කොළඹ නගරය සහ ඉදිවෙමින් පවතින වරාය නගරය, හරිත නගරයක් බවට සංවර්ධනය කිරීම.

වෘක්ෂලතාදිය අඩු, ඉහළට ඉදිවූ ගොඩනැගිලිවලින් සිරවී පවතින සිංගප්පූරුව, ඩුබායි, හොංකොං වැනි නගර හා සන්සන්දනය කරනවිට වෙනස් ආකාරයකින් ආකර්ශනයක් ලබා ගැනීමට මෙන්ම තරගකාරිත්වයක් ලබාදීමටත්, තිරසර සංවර්ධන ඉලක්ක පවත්වා ගැනීමෙන් ගෝලීය වශයෙන් යහපත් ප්‍රතිරූපයක් පවත්වා ගැනීමට හැකිවීම. එමගින් ශ්‍රී ලංකාව හරිත නගර සංකල්පය සහිත රටක් ලෙස ආදර්ශයට නැගෙනු ඇති අතරම, ජීවත්වීමට මෙන්ම සංචාරය කිරීමට යහපත් රටක් ලෙස විදහා දැක්වෙනු ඇත.  


5. දැඩි රථවාහන තදබදය මගින් සිදුවෙන වි​​මෝචනයෙන් හා දූෂණයන්ගෙන් සමන්විත වෙන ඉහළට එසවූ මාර්ගවලින් විනාශ වෙනවා වෙනුවට, සංචාරක ආකර්ෂණය වැඩි වෙන පරිදි කොළඹ තෙත් බිම් ‘ගාර්ඩ්න්ස් බයි අ වේ’ සංකල්පය අනුව පහසුවෙන් වෙනස් කළ හැකිය.  

 

 

 

දයාසීලි ලියනගේ