ගැබ්බර මීමින්නිය මැරූ පව පලදුන්නේ ළිං පතුලේ සැඟවිලා


ජීවිතය යහමගට ගැනීමට නිවැරදි මග පෙන්වීමක් අවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.   


රිකිල්ලගස්කඩ ටී.ඇම්. සෝමපාල මහතා ලියා එවූ කතාවකි.   

ගමට එපා වූ දඩබ්බරයාට හිතුමතේ ගෙනා බිරිඳත් අහිමි වෙයි   


දකුණු ප්‍රදේශයේ ආසන්නතම ග්‍රාමයක සිදුවූ සත්‍ය පුවතකි. වයස අවුරුදු විස්සක් පමණවූ ඔහු තරුණයකු වුවද සමාජයේ අසම්මත ක්‍රියාවන්හි යෙදෙමින් තම මාපියන්ටත් සහෝදර සහෝදරියන්ටත් එපා වෙන අයුරින් ක්‍රියා කිරීමෙන් ගමටද එපා වූ අයෙකි. මොහු සමඟ මිතුරුදම් ඇති කරගත් ගමේ සමවයස් අයටත් කවුරුත් උපදෙස් දුන්නේ ඔහු සමඟ ඇති ඇයි හොඳැයිකම වහාම නවතන ලෙසටය.   


ගම්මුන් ඔහු හැඳින්වූයේ කුඩුකාරයා ගංජාකාරයා, බේබද්දා නාමවලිනි. මේ නිසා ග​ෙමන් පිටව කොළඹ අගනගරයේ ඇඟලුම් හලක සේවයට ගොස් නැවත ගමට පැමිණියේ වසර තුනකට පසුවය. ගමට නැවත පැමිණියේ එම ඇඟලුම් කම්හලේදී හිත මිතුරියක වූ යුවතියකද සමගය.   


විවාහක යුවතිය තම ස්වාමියාගේ නියම තතු දැනගත්තේ ස්වාමියාගේ නිවසට පැමිණීමෙන් අනතුරුවය. තම මාපියන්ගේද බලවත් විරෝධය පැවැතියදී තම අත්තනෝමතික මතය පරිදි කරගත් විවාහයක් හෙයින් ඇයත් මෙහිදී අසරණ වුවත් දෙදෙනා කතිකාකර ගත් පරිදි ඉතුරු කරගෙන ආ ප්‍රමාණවත් මුදලක් ඇති හෙයින් ඇය තම පවු​ෙල් බර කරට ගත්තාය. ගමේ වැඩි පිරිසක් ඇය හා මිත්‍රවීමට වැඩි දවසක් ගත නොවුණු හෙයින් ඇය තම ස්වාමියාගේ සියලු දුසිරිත් නවතාගෙන යහපත් පවුල් ජීවිතයකට මූලික අඩිතාලම සකස් කළාය.   


දුසිරිතින් තොර යහපත් මිනිසෙකු වන බවට සැමියා දිව්රා පොරොන්දු කරගත් ඇය ප්‍රධාන මාවතේ එළවළු වෙළෙඳ සලක් ආරම්භ කළාය. සැබැවින්ම වෙළෙඳාම ලාභදායක විය. ගතව ගි​ෙය් මාස කිහිපයකි. තොග වශයෙන් එළවළු වෙ​ෙළඳ සලට ගෙන ඒමට සිදුවිය.   


කලට වේලාවට එළවළු ප්‍රවාහනය නොහැකිවීමේ ගැටලුව උදා විය. දෙදෙනා ඉතුරුකරගත් මුදලින් කුඩා ලොරි රථයක් මිලට ගමුයි යෝජනා කළේද ඇය විසිනි. අදහස සාර්ථක විය. ඇඹිලිපිටිය වැල්ලවාය ප්‍රදේශවලට මේ පෙදෙසේ අඩු මිලට ගත් එළවළු රැගෙන යාමත් එම පෙදෙසේ එළවළු ප්‍රවාහනයත් සිතුවාටත් වඩා සාර්ථක වූයේ ලොරි රථය හේතුවෙනි.   
පිටපළාත්වලට එළවළු ප්‍රවාහනය කරමින් දෙවතාවක් ගිය ගමන අතමිට සරු විය. තෙවැනි වර නිදි නොතකා එළවළු ප්‍රවාහනය කරමින් සිටියදී වැල්ලවාය නගරය පසුකරත්ම මාර්ගයෙන් ලොරි රථය ඉවතට පැන ගසක හැපී දරුණුතම අනතුරකට ලක් විය. දකුණු පස අසුන් ගෙන සිටි බිරිඳ වේදනාව ඉවසා ගත නොහැකිව සුසුම්ලන්නට වූවාය. අනතුරින් රියැදුරුටත් හානි සිදුව ඇත. ​ෙව්ලාව අලුයම තුනට පමණ නිසාවෙන් මාර්ගයේ කිසිවෙක් නැත. තමන්ට ඇතිවූ තද නිදිබර ගතිය නොසලකා හැරීමෙන් මෙම අනතුර සිදුවූ බව හොඳින්ම දන්නකි. පැයකට පමණ පසු වාසනාවකට මුස්ලිම් ජාතිකයෙක් ඔවුන් දැක පිරිස රැස්කරවා වාහනයේ දොරගුලු කඩා දෙදෙනාම ඉවත්කොට ගෙන රෝහලකට ඇතුළු කොට පසුව වැඩි ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට මාරුකරනු ලැබීය. හදිසි ප්‍රතිකාර අංශයේ ප්‍රතිකාර දින 03 ක් ලැබුවද ආදරණීය බිරිඳ ඔහුට අහිමි විය.   


සිදුවීම දැනගත් ඥාති මිතුරන් ලොරි රථය සොයා යනවිට එහිවූ සියලු එළවළු වන අලින් ආහාරයට ගත් අයුරු බලා සිටියා විනා අලි රංචුව එළවා දැමීමට කිසිවෙක් සමත් නොවිණ.   
දින දෙකක් ඥාති මළගෙදර නිදි වරමින් වැඩි මුදලක් පතා ගිය ගමනින් තම බිරිඳ පමණක් නොව උපායගත සියල්ල ඔහුට අහිමි විය. පාදයක අපහසුව විඳිමින් කල්පනා බරව සිටින ඔහුට ව්‍යාපාරය පවත්වාගෙන මාස හයක් ගතවන්නට පෙර සිදුවූ අවාසනාවන්ත ඉරණම කර්මය පල දුන් බවට මහ සඟරුවන කළ ප්‍රකාශය පිළිගෙන හමාරය. ආදරණීය බිරිඳට තෙමස් දානමය පුණ්‍ය කර්මය පැවැත්වීමට වත් මුදලක් නැති ඔහුට බිරිඳගේ පාර්ශ්වයෙන් දැඩි දෝෂ විනා ඔවුන්ගේ පවුලෙන් බිරිඳගේ කිසිදු හිතවතෙකු ඥාතියෙකු ඇයගේ මළගමට දන්වා තිබියදීත් පැමිණ නැත. අසරණව සිටින ඔහුට ව්‍යාපාරයක් අරඹන්න පවත්වාගෙන යාම සිහිනයක්ව පවතී.   

 



 මතුගම පියසේන දොඩම්ගොඩ මහතා ලියා එවූ කතාවකි.   

දවස තිස්සේ වාචාල බස් කියමින් කරක්ගැසූ ඔහුට අවසානයේ දී හිමි වූයේ රෝද පුටුව පමණි.   


දැනට දශක තුන හතරකට පමණ පෙර ගමේ ජීවත් වූ ගැමි ජනතාව අතර තොවිල් පවිල්, හදි හූනියම්, යන්ත්‍ර මන්ත්‍ර කොඩිවින, ගුරුකම්, ඇස්වහ, කටවහ දෝෂ හා අනවින ආදිය කෙරෙහි පැවතුනේ දැඩි විශ්වාසයකි. එකල තිබුණු පරිසරය අනුව බැලුවත් යක්ෂ, ප්‍රේත, කුම්භාණ්ඩ හා නිසාචර බැල්ම තිබුණ බව පිළිගත යුතු සත්‍යයකි.   


නිතරම පාහේ ගැමියන්ට භූත දෝෂයක් වැලදුණු බැවින් රාත්‍රි කාලයේ ගමේ ගෙදරකින් ‘බෙර හඬක්’ නෑසුණ දවසක් නැති තරම්ය. ඇස්වහ කටවහ දෝෂයන් බහුලව තිබුණ බැවින් ගමේ පවුලක දියුණුවක් දකින්නට නොලැබ, නිවැසියන්ට රෝග පීඩා නිතර දෙවේ​ෙල් ඇතිවෙන විට ඔය එක එකාගෙ කටවහ වැදිලා යනුවෙන් ගමේ කට කතා ඇති වෙන්නේය.   
එබැවින් ග්‍රහ පූජා, ශාන්තිකර්ම, දෙහිකැපීම් සහ ඇස්වහ දිය මතුරා සියලු වස්​ෙදාස් නිමාකරගැනීමට හැකියාවක් ඇති බව පිළිගන්නා ගමේ උදවිය එම වත් පිළිවෙත් සපුරා හිත සනසා ගැනීම පුරුද්දකි.   


ගමේ ජීවත්වූ බබානිස් ද යමක් කිව්වොත් එය ‘කිරිගහට ඇන්නාක්’ සේ කටවහ දෝෂ ඇති බැවින් ඔහු හා කතා බහේදී පවා පරිස්සමෙන් කතා කිරීම ගමේ කොයි කාගේත් සිරිතක්ව පැවතුණි. ගහක කොළක සරු පලදාවක් දුටු හැටියේ ඒ ගැන හිමිකරුවාග් හිත් රිදෙන කතාවක් පැවසීම බබානිස්ගේ තිබුණ නරක පුරුද්දකි.   


දිනපතා වාචාල කතා කියමින් ගම පුරා කරක්ගැසූ බබානිස් ගැමියෙකුගේ ගෙවත්තේ තිබූ ‘ගෙඩි පිරුණ අඹ ගසක් දැක’ මේ අඹ ගහට පිස්සු හැදිලා වගෙයි පවසා යන්නට ගියේය. දින තුනක් යාමට මත්​තෙන් අඹගසේ අතු බර වී පැසීගෙන එන අඹ සියල්ලම පාහේ පැලී කුණුවී බිම පතිත විය.   


දිනක් ගැමිගෙදරක ගෙමිදුලේ වවා කියා තිබුණ සරුසාර බුලත් මැස්සක් දැක මේක යට වැස්සකට වුණත් ඉන්නට හැකි බව ඔහු පවසා දින කීපයක් යාමට කලින් බුලත්කොළ සියල්ල මැළවී කහ පැහැ ගැන්වී වඳ වී ගියේය.   


රබර් වත්තක රබර් කිරි පොල්කටුව උතුරායනු දුටු බබානිස් පැවැසුවේ ‘මේ ගහෙන්ම කිරිබාල්දිය පුරවා ගත හැකි’ බවයි. සතියක් යෑමට පෙර රබර් ගස මැරී ගියේය.   
දිනක් තම ඥාතියෙකුගේ අත දරුවෙකු වඩාගෙන පොඩිඑකා බෝල ගෙඩියක් ලෙස සනීපෙට හැදිලා යයි බබානිස් පවසා දින කීපයක් යනවිට දරුවාගේ ඇඟ පුරා පලු දමා රෝගිවිය. ළදරුවාගේ මවුපියන් ඇදුරෙකු ලවා ඇස්වහ දිය මතුරා දරුවා සුවපත් කරගෙන බබානිස්ට නොපෙන්වීමට වගබලා ගන්නා ලදී.   


මේ කටවහකාරයාගෙන් මුළු ගමටම වූයේ මහත් හිරිහැරයකි. දිනක් ගමේ කිරිවැදී පැසී තිබුණ වෙල් යායේ වී කරල් හුරාබලමින් ඇවිද ගිය බබානිස්ට සිදුවුයේ ලොකු විපතකි. නියර දිගේ යනවිට වක්කඩකින් පැනීමට යාමේදී පය පැකිලී ගොස් බබානිස් දියවළට ඇදවැටී එහි තිබූ උලක් ඇනී වතුරෙන් ගොඩ ඒමට පවා අපහසුවිය. අසල තම කුඹුර බැලීමට ගොස් සිටි ගොවියෙකු බබානිස් අමාරුවෙන් වත්තන් කරගෙන ගෙදරට ගෙනවිත් රෝහල් ගත කළත් කකුලේ තුවාලය සුවපත් කිරීමට දිගුකලක් ගතවුවත් අවසානයේ ඔහුට හිමිවූයේ රෝද පුටුව පමණි.   

 



 
ඉලිප්දෙණිය තිස්සෝගම රූපසිරි ලියනගේ මහතා ලියා එවූ කතාවකි.   

ගැබ්බර මීමින්නිය මැරූ පව පළදුන්නේ ළිං පතුලේ සැඟවිලා


වැව ළඟ ගෙදර ඒබරන් දැනට වසර විසි පහකට පමණ පෙර වයඹ පළෘතේ විසූවෙකි.   


ඔහුගේ බිරිඳ ඇගිහාමිත් දරුවාත් ඇතුළු පවුලේ තුන්දෙනා වෑකන්ද පාමුල කුඩා ඉඩමක කටුමැටි ගේක වාසය කරන අතර ඒබරන් වැවේ දැල් ගසා මාළු අල්ලා වැඩි හරිය විකුණා ඉතිරිය ගෙදර කෑමට ගනී. ඇතැම්විට වැව් මාළු වේලා කරවල විකිණීමද කරයි.    


ඒ විතරක් නොවේ, යළ මහ දෙකන්නේ වී ගොවිතැන් කිරීමෙන්ද අස්වනු නෙළාගෙන ගෙදර අටු කොටු පුරවා ගනී.   


කල දවස එසේ ගෙවෙද්දී ඒබරන් අනුන්ගේ අරක්කු ​නොබී සතියකට වතාවක් කාඩියක් දමා තමාම අරක්කු පෙරාගෙන බීමේ කටයුත්තක යෙදුණේය.   


එදා පුර පොහෝ දවසකි. රිදී රබානක් සේ වැවට උඩින් සඳ දෙවි බැබළෙයි. සපුරුදු පරිදි ඒබරන් කොටන තුවක්කුව අතැතිව වැව් කැලේට රිංගා කාඩිය ළිප තබා ගිනි පත්තුකර අවසානේ වටපිට සෝදිසියක යෙදුණේ අඩුතරමේ හාවෙකුවත් මරාගැනීමේ චේතනාවෙනි.   


මඳ වෙලාවක් ගතවිය. පව්කාරයාට මරුවා එකමුතුයි කීවා සේ සතෙකු කලබල වී දුවනු දැක ඒබරන් වහා වෙඩි තිබ්බේය. ගිහින් බැලින්නම් මීමින්නෙකු ලේ පෙරාගෙන මැරී සිටී.   
කසිප්පු වඩිපො​ෙළ් වැඩකටයුතු ඉක්මනින් අවසන් කළ ඒබරන් අරක්කු බූලි කැලේ සඟවා තබා බීමට බෝතලයක් තම ඉනේ ගසාගෙන මළ සතා රැගෙන ගෙදර ගියේය.   
ඇගිහාමිට මළ සතුන් හම ගසා මස් කැපීම හොඳට හුරු පුරුදු කාර්යයකි. ඈ කුස්සියේ එම කටයුත්ත කරන අතරේ සතාගේ බඩේ මී මිනි පැටවු සිටිනු දැක බියට පත් වී අනේ හත්දෙයියනේ මේ මිනිහා අද පෝය දවසේ බඩ ගැබ්බර මී මින්නියක මරන්නේ. මේ පාප කර්මයට තමාත් දායක වුණේ යැයි දොස් කියමින් ගෙමිදුල පුරා ඇවිද ඒබරන් සෙවුවාය.   
ගේ පිටුපස ළිඳ ළඟ රෙදි වැලේ ඒබරන්ගේ සරම දුටු ඇගිහාමි ළිඳ තුළ වතුර කැලඹෙන හඬ ඇසී බලන විට ඒබරන් මරුවා සමග පොර බදනා හැටි දැක ඇගිහාමි ගමට ඇසෙන සේ හඬා වැළපෙන්නට වූවාය.   


ළිඳ ළඟට රැස්වූ ගම්වැසියන් මිනිය ගොඩ ගෙන අවසාන කටයුතු සඳහා උදවු උපකාර කළහ.   


ඒ සමගම ඒබරන්ට කළ පව්කම් පල දුන්නා කියා ගමේ කට කතා පැතුරුණි.  

 

 


මෙබඳු කතා ඔබත් දන්නේ නම් ඒවා ඉරිදා ලංකාදීපයට යොමු කරන්න.  

සකස් කළේ 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්