ගැට පොළඟාගේ ශාපය


ජීවිතය යහමගට ගැනීමට නිවැරදි මඟපෙන්වීමක් ඇවැසිය මේ විශේෂාංගය ඒ වෙනුවෙනි. 

 

 

 

 

තලකිරියාගම ඒ.ජී. මුතුබණ්ඩා මහතා ලියා එවූ කතාවකි.   

ගැට පොළඟා ගේ ශාපය


නොනිදන නගරය පැත්තේ ඇති ගමක විසූ බණ්ඩාර මහතා රාජ්‍ය සේවයේ නියුතුව සිටියදී අක්කර එකහමාරක් පමණ වූ තම ගෙවත්තේ ඇති පොල් ගස් වලින් වැටෙන පොල් ගෙඩි එකතු කොට නිවාඩු පාඩු දිනවලදී ලෙලි ගසා පලා අව්වේ වියළා ගෙන කොප්පරා ලෙස විකිණීමට කටයුතු කළේය.   


එහෙත් කොප්පරා ලෙස අව්වේ වියළා ගැනීමේදී ඇතැම් අවස්ථාවලදී ඇදවැටෙන වැස්සෙන් බේරා ගැනීමට නොහැකිව හා රාත්‍රියේදී වැටෙන පින්නෙන්ද ​තෙත්වන විට පලන ලද පොල් පුස්කා දුර්වර්ණ වීම නිසා අලෙවි කිරීමේදී පවතින මිලට වඩා අඩු මුදලකට අලෙවි කිරීමට සිදුවේ. එම නිසා පාඩුවක් විඳ දරා ගැනීමට සිදුවන නිසා සිතටද වද වේදනාවක් ගෙන දීමට හේතු වන්නේය. මේ සඳහා විකල්ප ක්‍රියාමාර්ගයක් ගැනීමට නොහැකි තත්ත්වයක් ඇතිවූයේ රාජ්‍ය සේවයේ යෙදී සිටින නිසා නිවාඩු පහසුකම අවමව තිබුණ නිසාය. පසු කලකදී බණ්ඩාර මහතා රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගිය පසු කොප්පරා ලෙස පොල් අව්වේ වියළා ගැනීමේදී ඇතිවන දුෂ්කරතා මග හරවා ගැනීම සඳහා කොප්පරා මැස්සක් සකස්කර ගැනීමට අදහස් කර ඒ සඳහා දැනුමක් ඇති හිතවතෙකුගේ උපදෙස් ලබා ගෙන ක්‍රියා කිරීමට අදහස් කළේය.   


ඒ අනුව දින කීපයකින් පසුව පොඩිවට මැස්සක්ද සකස් කර ඒ මත පලන ලද පොල් බෑ අතුරා ගිනි දැමීම සඳහා මැස්ස යටට පොල් ලෙලි ගෙනැවිත් දැමීමට කටයුතු කළේය.   
හා හා පුරා කියා ගිනි මැස්සේ පොල් වේළා ගැනීම සඳහා ගෙනැවිත් දමන ලද පොල් ලෙලි අතරින් අැදී යන ගැට පොළඟෙකි. වහා මැස්ස යටින් ඉවතට පැන ගත් බණ්ඩාර මහතා ලීයක් ගෙන ගැට පොළඟාට ගැසූ නමුත් උෟ පොල් ලෙලි ගොඩ අතර සැඟවී ගියේය. පොල් ලෙලි ගොඩ එළියට ඇද දැමීමටද බියවූ බණ්ඩාර මහතා ගැට පොළඟා පිලිස්සී අළුවෙලා යාවියැයි සිතා පොල් ලෙලිවලට ගිනි දමා වෙනතකට ගියේය. ටික වේලාවක් ගිය පසු පට පට ගා ශබ්දයක් කොප්පරා මැස්ස පැත්තෙන් ඇසෙන්නට විය. බණ්ඩාර මහතාට මැස්සේ කොප්පරා වේළා අත්දැකීමක් නොතිබුණ නිසා ඔහු සිතා සිටියේ පොල් බෑ වේළෙන විට නැගෙන ශබ්දයක් ද යන්න කියාය. එහෙත් ස්වල්ප මොහොතකින් කොප්පරා ගෙයි වහලින්ද ගිනි පිටවෙනු දැක වහා පැමිණ වතුර ගසා බොහොම අමාරුවෙන් ගින්න නිවා දැමීමට කටයුතු කළේය.   


අනතුරුව අසල තිබුණ පොල් ගසකට ​හේත්තුවී සිදුවූ දේ ගැන කල්පනාවකට වැටණන බණ්ඩාර මහතාට සිතුණේ පණ පිටින් ගින්නට හසුව දැවී අළුවූ ගැට පොළඟාගේ ශාපය තමන් වෙත ලැබුණ නිසාදෝ කියාය.  

 



මීගස්ආරේ ගුණපාල වික්‍රමආරච්චි මහතා ලියා එවූ කතාවකි.   

රජගෙදරින් මහමඟට.... 

 
කොළඹට නුදුරු නාගරික ප්‍රදේශයක අක්කර 50ක් පමණ විශාල ඉඩමක් වූ අතර එහි අක්කර 40ක් පමණ පොල් වගාවද ඉතිරි කොටස නොයෙකුත් ඵලදාවන් හා රූස්ස ගස් කොළන් වලින්ද යුක්ත විය. පිය උරුමයෙන් මෙම ඉඩම්වල අයිතිය ආතර් සිංඤෝට ලැබිණ. ඔවුනට පුතුන් දෙදෙනෙක්ද දියණියන් දෙදෙනෙක්ද වූහ.   


නගරාසන්නයේ ඔවුන් පදිංචි වී සිටි ඉහත කී විශාල ඉඩම රැකබලා ගැනීම සඳහා එහි තැනින් තැන කුඩා නිවෙස් සාදා දී පවුල් කිහිපයක් පදිංචිකොට තිබුණි. එම වත්තේ පොල් ඵලදාව විකිණීමෙන් ආතර් සිංඤෝට ලැබෙන මුදල් බැංකුවක තැන්පත් නොකළ අතර නිවසේ සුරක්ෂිත ස්ථානයක තැන්පත් කොට තැබිණි. වසර ගණනාවක් තිස්සේ මෙසේ එක් රැස්වූ රුපියල් කෝටි ගණනක මුදල් ආතර් සිංඤෝට අහිමිවීම දරාගත නොහැකි දුකක් විය. එවකට මුදල් ඇමැතිව සිටි ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මැතිතුමා විසින් මුදල් නෝට්ටු අවලංගු කිරීම හේතුවෙන් ආතර් සිංඤෝට මෙකී ඉරණම අත්විය. වත්කම් හෙළිකොට මුදල් නෝට්ටු බැංකුවේ තැන්පත් කිරීමට අනුග්‍රාහක කාලයේදී හැකියාව තිබුණ නමුත් එසේ කිරීමටද අාතර් සිංඤෝ කැමති නොවූයේ ඔහු තුළ තිබූ උඩඟුකම හේතුවෙනි.   


පාසල් අධ්‍යාපනයෙන් පසුව ආතර් සිංඤෝගේ පුතුන් දෙදෙනා රැකියාවන් සඳහා යොමුවූහ. ඉන් පසු කාලයේදී ඔවුහු විවාහ වූහ. වැඩිමහල් පුතා පීටර් තම බිරිඳගේ නිවසේ ජීවත්වූ අතර බාල පුතා ඩේවිඩ් තම මවත් පියාත් නැගණියන් දෙදෙනාත් සමග මහ ගෙදර වාසය කළේය.   


කල් ගතවත්ම අාතර් සිංඤෝගේ බිරිඳ රෝගාතුරව මිය ගියාය. බිරිඳගේ වියෝවෙන් වැඩි කලක් යන්නට මත්තෙන් අාතර් සිංඤෝද පරලොව ගියේය. පසුකාලයේදී ඩේවිඩ්ගේ වැඩිමහල් නැගණිය වූ මුදිතා විවාහ කර දීමට කටයුතු සූදානම් කිරීමට ඔවුන්ගේ නෑදෑයෝ කටයුතු කළහ. ඒ සියල්ල සූදානම් වී එකඟතාවකට පැමිණියේය. මුදිතාට දෑවැද්ද වශයෙන් ඔවුන් පදිංචිව සිටි ඉඩමෙන් අක්කර 10ක් ලබා දීමට කැමැත්ත ප්‍රකාශ විය. ඩේවිඩ් මේ සඳහා මුලදී කැමැත්ත දුන් නමුත් පසුව එයට එකඟ නොවීය. ඒ හේතුවෙන් මුදිතාගේ විවාහ යෝජනාව ප්‍රතික්ෂේප විය. බලවත් සිත්කම්පාවට පත් මුදිතා තම සහෝදරයින්ගෙන් හා නෑදෑයින්ගෙන් ඈත් වී ආගමික ආයතනයක පිහිට ලැබ කන්‍යා සොහොයුරියක වූවාය.   


පසු කාලයේදී මුදිතාගේ නැගණිය වූ පද්මාටද ඇයගේ අයියණ්ඩිය වූ ඩේවිඩ්ගේ ක්‍රියාකලාපය නොරිස්සූ හෙයින් ඇයද ඉහත කී කන්‍යාරාමය වෙත ගොස් එහි සුළු සුළු වැඩ කටයුතුවලට දායකවෙමින් සිටියාය. ඒ අතරතුරේදී එහි සේවය කළ ත්‍රිරෝද රථ රියැදුරෙකු සමග ඇතිවූ මිත්‍රත්වයකින් පසුව මුදිතා ඔහු සමග විවාහ වූවාය.   
ඩේවිඩ් ඔහුගේ බිරිඳත් දරු දෙදෙනාත් සමග මහගෙදර ජීවත් වූහ. කල්යත්ම චිත්‍රපටයක් නිෂ්පාදනය පිළිබඳව ඩේවිඩ්ට අදහසක් ඇතිවිය. ඔහුගේ හිතවතුන් කිහිප දෙනෙකු හා එක්ව එම වැඩ කටයුතු ආරම්භ කරන ලදී, ඒ සඳහා ලොකු මුදලක් එකවර ආයෝජනය කිරීමට නොමැතිවීම මූලික ප්‍රශ්නයක් විය. ඩේවිඩ් පදිංචිව සිටින නිවස හා පොල් ඉඩම උගසට තබා ණය මුදලක් ලබාගෙන චිත්‍රපටයේ වැඩකටයුතු නිම කරන ලද නමුත් අපේක්ෂිත පරිදි එමගින් ආදායම් ලබා ගැනීමට නොහැකි විය. ඩේවිඩ් ලබාගත් උගස් ණය මුදල ගෙවා දැමීමට නොහැකිව වසර ගණනාවක් පොලී වෙමින් ඔහුගේ බැරකම් තවත් වැඩි විය.   


මේ තත්ත්වය හමුවේ උගස් හිමියා ණය මුදල පියවන ලෙස ඩේවිඩ්ගෙන් කිහිප අවස්ථාවකදීම ඉල්ලීම් කරනු ලැබීය. ඩේවිඩ්ගේ හිතවතුන් කිහිපදෙනෙක් මේ පිළිබඳව උගස් හිමියා හා කතිකා කර ගනු ලැබ ඉඩමෙන් අක්කර 5ක බිම් කොටසක් උගස් හිමියාට පවරා දී උගස නිරවුල් කරදීමට යෝජනා කෙරිණි.   


අත්තනෝමතික හා හිතුවක්කාරී ගතිපැවතුම්වලින් යුත් ඩේවිඩ් මෙම නිරවුල්කාරී විසඳුමට එකඟ නොවීය. මේ හේතුවෙන් උගස් හිමියා විසින් ඩේවිඩ්ට එරෙහිව නීති මගින් කටයුතු කරනු ලැබීය.නඩු විභාගය හමුවේ ඩේවිඩ් නීති උපදෙස් හෝ නීතිඥයෙකුගේ සහාය නොලැබූ අතර තම මනාපය පරිදි උසාවියේ පෙනී සිටියේය. මේ තුළින්ම ඔහුගේ උද්දච්චකම හා ලෝභීකම පැහැදිලි වනු නොවේද.   


උගස් ණය මුදල නොගෙවීම හේතුවෙන් උගසට තබන ලද දේපළ උගස් හිමියාට අයිති වන බවට නඩු විභාගයේදී තීරණය විය. පිස්කල් මගින් එම ඉඩමේ පදිංචිකරුවන් ඉවත්කොට සන්තකය ලබා දීමට උසාවිය මගින් කටයුතු සලසනු ලැබීය.   


මේ වන විට ඩේවිඩ්ගේ බිරිඳ ඔහුගෙන් වෙන්වී ඇයගේ ගම් පෙදෙස බලා ගොස් සිටියාය. ඩේවිඩ් ඔහුගේ පුතුන් දෙදෙනා සමග නිවසින් ඉවතට දමනු ලැබූහ. එයට වසර 10කට පමණ උඩදී කිසියම් චෝදනාවක් හේතුවෙන් ඩේවිඩ් වත්තේ කුලී වැඩකරමින් සිටි පියදාස නමැති අයෙකු එළවා දැමීමට ඩේවිඩ් කටයුතු කොට තිබුණි. ඉන් පසුව ඔහු ඒ අසල ඉඩමක් මිළට ගෙන කුඩා නිවසක් සාදාගෙන කුලී වැඩකරමින් දිවි ගෙවීය. ඩේවිඩ්ට අත්වූ ඉරණම පිළිබඳව දැනගත් පියදාස ඔහු වෙත පැමිණ ඩේවිඩ් හා ඔහුගේ පවුලේ අය පියදාසගේ ගෙදරට කැඳවා ගෙන ගියහ.   


අක්කර 50 ක් තරම් වූ වත්තේ කුඩා නිවාස කිහිපයක පදිංචිව සිටි පවුල් 10ක් පමණ වූහ. ඔවුන් වත්තේ වැඩකටයුතු කළ අතරම ආරක්ෂාව වෙනුවෙන්ද කටයුතු කළහ. මෙම පදිංචිකරුවන් වෙනුවෙන් විකල්ප නිවාස ස්ථාන ලබාදීමට උගස් හිමියා කටයුතු කළේය. එම ඉඩමට ආසන්න ඉඩමක අලුතින් නිවාස ඉදිකොට ඔවුනට එහි පදිංචිය සඳහා අවස්ථාව ලබා දුනි.   


ඉඩමේ පදිංචිකරුවන් ඉවත් කිරීමෙන් පසුව වල්බිහි වී තිබූ සම්පූර්ණ වත්ත ඩෝසර් මගින් එළිපෙහෙළි කොට කටු කම්බි වැටවල් ගසා නිරවුල් සන්තකය ලබා ගැනීමට උගස් හිමියා කටයුතු කළේය.   


තම පවුලේ සහෝදරියන්ට ගරහමින් ආගමික හා සමාජීය වාතාවරණයක පහස නොලැබූ අත්තනෝමතික ක්‍රියාවන්ට පෙළඹුණු ඩේවිඩ් බඳු අධිමානසිකත්වයෙන් යුක්ත වූ පුද්ගලයින්ගේ ජීවන ක්‍රියා කලාපය හමුවේ ලද ප්‍රතිචාර ඉතා අනුවේදනීය සහගතය.   

 



මතුගම පියසේන දොඩම්ගොඩ මහතා ලියා එවූ කතාවකි.   

ඌරන් මසට මැරූ බුරම්පි ඌරෙකු මෙන් මියගියේය.   


සමාජය විසින් මිනිසා වරදට පොළඹවනු ලබයි. සමාජය හැදෙන්නේ ද මිනිසුන් මගින් බැවින් මෙයට වරදකරුවන මිනිසාද නැතහොත් සමාජයදැයි ගැටලුවකි. හරියට මුලින්ම ලොව පහළ වූයේ කිකිළියද එසේ නැත්නම් බිත්තරයද යන පැනය මෙහි ලොව උපන් සියලු දෙනාම උපතේ සිට මරණය දක්වා ගෙවාලන මෙම අවිනිශ්චිත සුළු කාලය තුළ පවත්වා ගෙන යෑම සඳහා මුදල් උපයා ගැනීම පිණිස නොකරන දෙයක් නැත. අනෙකාට ඉහළින් නැගීසිටීමට ධනය, බලය හා නිලය රැකගැනීමට මරණින් මතු ඉන් එහා තවත් පරලොවක් නැතැයි සිතා කටයුතු කරන වැඩි දෙනෙක් ඇති රටේ ජනතාවගේ නෙත් පහදවා ඔවුන් යහමගට ගෙන ඒමට දිගු කාලයක සිට ඉරිදා ලංකාදීප ගන්නා වෙහෙසට පාඨක ජනතාවගේ හදබැතිය නොඅඩුව පිදෙන බව අමුතුවෙන් කිවයුතු නැත. ගොනා පසුපස කරත්තය ඇදී එන්නා සේ මේ ආත්මයේදී තමා කළ පව්කම පලදෙන බව ඒකාන්ත සත්‍යයකි. එම සාරගර්භ කතාවලින් ඒ බව සහසුද්දෙන්ම මනාව පැහැදිලි වේ. ධාර්මිකව මුදල් උපයනවාට වඩා පව්කම්වල යෙදීමෙන් පහසුවෙන් මුදල් උපයාගැනීම පහසු බව කෙනෙකුට පෙනුනත් ඒ සුළු මොහොතකට පමණි. එවැනි අය නිතරම මරණයට බියෙන් ජීවිතය විඳින අය නොව විඳවන අය බව ඔවුන් දෙස විමසිලිමත්ව බැලීමෙන් පෙනේ.   


ගමේ ජීවත් වූ බුරම්පි ද හරිහමන් ඉගෙනීමක් නොලද බැවින් රැකියාවක් ලබාගත නොහැකි වූ හේතුවෙන් පහසුවෙන් මුදල් උපයාගැනීමට අැති එකම මග මස් පිණිස ඌරන් ඇති කිරීම ආරම්භ කළේ තම බිරිඳගේ හා දරුදෙදෙනාගේ බලවත් විරුද්ධත්වය තඹ සතේකට ගණන් නොගෙනය. තම ගෙවත්තේ ඉඩමේ කෙළවරේ ඌරු කොටුවක් තැනූ බුරම්පි ඌරු පැටවුන් දහයක් මිළට ගෙන එහි රඳවා කෑම බීම දී මාසයක් දෙකක් ගතවෙන විට ඌරු කොටුව වැඩිදියුණු වන බව නොරහසකි. දිනපතා හැන්දෑයාමේ ඌරු කොටුවට වදින බුරම්පි හොඳින් වැඩුණ ඌරෙකු මඩුවෙන් එළියට ගෙන පොලු මුගුරුවලින් පහර දී ගෙල කපා මරාදමා පසුදා උදේ නගරයේ ආපන ශාලාවලට ඌරුමස් ගෙන ගොස් අලෙවි කිරීමට ඔහු සිරිතක් කොටගෙන තිබුණි. මේ අතර දිනක් හැන්දෑවේ ඌරුකොටුවට ගිය බුරම්පි රෑ අඳුර වැටෙන විටත් ගෙට නොපැමිණි බැවින් බිරිඳ හා දරු දෙදෙනා ඌරු කොටුවට ගියේ ඔහු ගැන සොයා බැලීම සඳහාය. ‘‘හත්වලාමයි’’ ඌරුකොටුව අසල සෙම පෙරා අවසිහියෙන් ගොරොද්දේ අදිමින් බුරම්පි බිම වැටී සිටියේය. දුටු දසුනෙන්ම බියපත්ව බිරිඳ හා දරුවන් මරහඬ දුන් බැවින් ඒ හඬ අසා අහල පහල උදවියද එකතුව රෝගියා හැකි ඉක්මනින් රෝහල වෙත ගෙන ගියේ්‍ය. එහෙත් පමා වුණා වැඩිය. රෝහල් ගත කරන විටත් ඔහු මියගොස් තිබුණි. අධික ලෙස ඌරුමස් කෑම නිසා තෙල වැඩි වී නහරයක් පුපුරා බුරම්පි මළ පුවත ගම පුරා පැතිර ගියේ විදුලි වේගයෙනි.   

 


මෙබඳු කතා ඔබත් දන්නේ නම් ඒවා ඉරිදා ලංකාදීපයට යොමු කරන්න.

සකස් කළේ - ප්‍රසන්න සංජීව තෙන්නකෝන්