ගසක් සිටුවා විප්ලවයක් කරමු


කුරේරා මාලා චිත්තං භූමි භාගා වනෝරමා කුඤ්ඡරුභි රුදා රම්මා තේ සේලා රමයන්තිමං   


පැතිරුණු ලුණුවර්ණ ගස් වදුලෙන් පරිසරය අලංකෘතය. භූමි ප්‍රදේශය මනහරය. ඇතුන්ගේ කුංචනාදය වන පියස ගිගිරුම් දෙයි. මේ ගිරි කඳුරු පිරි පරිසරය මගේ සිත පැහැර ගත්තේය.   


බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලයේ මහා කසුප් තෙරුන් විසින් තුරුලතාවන්ගෙන් පරිපූර්ණ වූ පරිසරයේ ඇති රමණීය කමණීය බව විස්තර කළේ එසේය.   


එසේම පජ්ජෝත සූත්‍රයෙහි පොළොව අසුරු කළ යම් ප්‍රාණීහු වේද ඒ සියලු දෙනාම වැස්ස නිසාම ජීවත් වෙති. යැයි දක්වා ඇත. වනරෝපා සුත්‍රයට අනුව යමෙක් මල් පල උයන් වවන්නේද පියවි වන වගා කරන්නේ ද ඔවුනට දිවා රාත්‍රී පින් අත් වන බව සඳහන් වෙයි.   


වනාන්තර රැකගැනීම සඳහා ගන්න ඕනෑම පියවරක් අගය කළ යුතු කාලයක ගල්ගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ආසිරි මුණසිංහ මහතා හරිත නමින් පොතක් ලියා ඇත. එහි අන්තර්ගත වන්නේ වසරක් තුළ සියයට එකක් වන ප්‍රමාණය වැඩි කර ගන්නා ආකාරයයි. ව්‍යාපෘතියක් ලෙසින් දැනටමත් කුරුණෑගල ප්‍රදේශ​ෙය් ක්‍රියාත්මක කරවන මෙම හරිත ව්‍යෘපෘතිය පිළිබඳ ඔහුගේ අදහස් මෙසේ විය.   


ඔබව හඳුන්වා දුන්නොත්‍්?   


මම වෛද්‍ය ආසිරි මුණසිංහ ගල්ගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සහ පරිසරවේදියකු විදියට කටයුතු කරනවා.   


ඔබේ අරමුණ පැහැදිලි කළොත්.   


පරිසර විනාශයට අකමැති කෙනෙක්. ජපානයට ගිය වෙලාවේ දුටුවා එහි මිනිස්සු ඇළේ ගලා ගෙන යන වතුර පානය කරන ආකාරය. ජපානය කියන්නේ අතිශය කාර්මික රටක්.   


එ්ත් කෘෂිකාර්මික රටක මිනිස්සු වෙලත් අපි බොන්නේ බෝතල් කළ වතුර.   


​ෙම් නිසා මම ජපානයේ පරිසර ප්‍රතිපත්තිය පිළිබඳ හොයන්න පටන් ගත්තා. ඒ අයගේ රටේ වන ප්‍රතිශතය දැනට සියයට 70 ට ආසන්නයි. එයාලගෙ පරිසර ප්‍රතිපත්තිය කාලයෙන් කාලයට වෙනස් වෙන්නේ නෑ. වනාන්තර ප්‍රමාණය එහෙමමයි. පාරවල් සඳහා තිබෙන භූමි ප්‍රමාණය එහෙමමයි. නව පාරවල් අවශ්‍ය නම් ගුවන් පාලම් හෝ භුගත මාර්ග නිර්මාණය කරනවා. ගොඩනැගිලි නිර්මාණයත් ඒ ආකාරයටයි සිදු කරන්නේ. කිසිදු විටක වනාන්තරවලට අත තියන්නේ නෑ. එබැවින් ඔවුන්ට කිසිඳු පරිසර ප්‍රශ්නයක් ද නැත.   


ඒත් කෘෂීකාර්මික රටක් වෙච්ච අපේ රටේ තත්ත්වය මීට හාත්පසින්ම වෙනස්. මේ රටේ 2017 වසර වන විට පැවති වනාන්තර ප්‍රමාණ්‍ය සියයට 29 යි. 1920 දී සියයට 49 ක වන ප්‍රමාණයක් තිබුණා. බලාගෙන යනකොට අවුරුද්දකට සියයට 1.43 ක වේගයෙන් වනාන්තර කැපෙනවා. මේ දවස්වල ප්‍රසිද්ධ රාවයක් තිබෙනවා. තව අවුරුදු 20 කදී ලංකාවත් කාන්තාරයක් වෙනවා කියලා.   


කවුරුත් කිව්වට විශ්වාස කරන්නේ නෑ. හැබැයි මීට අවුරුදු විස්සකට විතර කලින් අපට වතුර බෝතල් කර බොන්න වෙන බව පැවසුවා. එතකොටත් මිනිස්සු එය විශ්වාස කළේ නෑ. ඒත් ඒක අද වෙලා තිබෙනවා. අද බෝතල් වතුර පිළිබඳවත් තිබෙන්නේ වෙනම ආකල්පයක්. එය පෝස් ට්‍රෙන්ඩ් එකක් වෙලා. ළිඳෙන් වතුර බොනවට වඩා බෝතල් වතුර බොන එක පහසුයි කියලා හිතනවා. ඒත් මෙහි ඇති ​ලොකු අනතුර මිනිසුන්ට පේන්නේ නෑ. මේක කාන්තාරයක් වුණොත් ​මොකද කරන්නේ?   


වතුර නැති වුණොත් මොකද වෙන්නේ?


ජීවිතේ සියලු දේ අඩාළයි නේද? ඒ නිසා මේ පරිසර ප්‍රශ්නය ගැන අපි මුල ඉඳලා සිතිය යුතුයි. ඒ නිසා මම මේ නව වැඩ පිළිවෙළට අත ගැසුවේ. මේ සියයට 29ක වන ප්‍රමාණය අපට එක දවසකින් සියයට 70 ක් කරන්න බෑ. ඒත් එය සියයට 1 කින් වැඩි කරලා. සියයට 30 ක් කරන්න පුළුවන්. ඒ නිසයි මම වත් පර්සන්ට් අයිඩියා කියලා සංකල්පයක් හඳුන්වා දුන්නේ.   


එය ක්‍රියාත්මක කරවන්නේ කෙසේද?   


මෙය ලංකාවේ වර්ග ඵලය අනුවයි සැලසුම් කළේ. ලංකාවේ භූමි ප්‍රමාණය වර්ග කිලෝ මීටර හැට පන් දාස් හයසිය දහයයි. (65,610 Km) භූමි ප්‍රමාණයෙන් සියයට එකක ප්‍රදේශයක වනාන්තරයක් ඇති කිරීමට ගස් එක් කෝටි හැට තුන් ලක්ෂයක් අවශ්‍යයි.   


ලංකාවේ ජනගහනය කෝටි දෙකකට අධිකයි. නිකමට එක් කෙනෙක් එක ගහක් හදලා අවුරුදු තුන හතරක් බලා ගත්තොත් නිකම්ම සියයට එකක වන ප්‍රමාණයක් හැදෙනවා.   


එය මිනිසුන්ගේ සංස්කෘතික අංගයක් ලෙසයි හඳුන්වා දෙන්නේ.   


ඒ සඳහා ඔබ යෝජනා කරන වැඩපිළිවෙළ මොකක්ද? 

 
ගස් දහයක සංකල්පයක් මා යෝජනා කරනවා.   


පළමු අවස්ථාව නිවුන් සහෝදර ගස. එය දරුවකු ඉපදෙන අවස්ථාවේ දී දරුවාට රෝහලෙන් පැළයක් තෑගි කරනවා. දරුවා එක්ක පැළයක් හැදේවි. ඒකට වතුර දාන්න එය දරුවාගේ වයසත් එක්ක වැඩෙන්න හරින්නත් රැක බලා ගන්න සලසනවා. එය හරියට ළමයාගේ නිවුන් ස​ෙහා්දරයෙක් වගේ. මෙහෙම කියලයි අපි පැළය ලබා දෙන්නේ. මෙම පැළය වර්ධනය වන ආකාරය අපි අධීක්ෂණය කිරීමටත් වැඩපිළිවෙළක් යොදලා තිබෙනවා.   
දෙවැනි අවස්ථාව වන්නේ පරිණත ගස් සංකල්පය. අවුරුද්දකට සැරයක් අපේ උපන් දිනය එනවා. එක උපන් දිනයකට එක ගහක් හැදුවොත් වයස 61 ජීවත් වේදිදි ගස් 61 ක් හැදෙනවා.   


මීළඟ ගස් වර්ගය වන්​නේ නැණවත් ගස. එය දරුවා පාසලට ඇතුළත් කරන මුල්ම දිනය සිහි ගන්වන්න රෝපණය කරන්නේ.   


ප්‍රබුද්ධ ගස කියන්නේ තවත් සංකල්පයක්. විවාහක දිනය වැනි සුවිශේෂී දවස් මතක් කර ජීවිතයේ සාර්ථකත්වය ප්‍රාර්ථනා කරමින් ගස පෝෂණය කළ යුතුයි. අනුස්මරණ ගස කියන්නේ සමීපතමයෙකුගේ වියෝවේ දී ඔහු හෝ ඇය සිහිවීම පිණිස රෝපණය කරන ගසටයි.   


මීළඟට හඳුන්වා දෙන්නේ චාරිත්‍ර ගස. මෙය සංස්කෘතිකමය වටිනාකමක් ඇති දිනයක රෝපණය කළ හැකියි. උදාහරණයකට කිව්වොත් අලුත් අවුරුද්දකට වැඩ ඇල්ලීමේ දී ගසක් රෝපණය කිරීම සුබ කටයුත්තක් ලෙස සිතා සිදු කිරීම ඉතාම වැදගත්.   


වනස්පති ගස නිවසක සශ්‍රීකත්වයට සංකේතතයක් කර ගත හැකියි. නිවසට සිසිල ලබා දෙන අතු පතර විහිද යන ගසක් රෝපණය තුළින් නිවසට සිරියාවක් එකතු වෙනවා.   


නිරෝගී ගස් තවත් සංකල්පයක් විශේෂයෙන් කුඹුක් කරඳ වැනි ගස් නිවසේ ළිඳ අසල රෝපණය කිරීම මගින් ළිඳේ ජලය පිරිසිදු වනවාසේම සිසිල් වෙනවා. මෙය වකුගඩු වැනි බෝ නොවන රෝග මර්දනයටත් ඉතා වැදගත් වෙනවා.   


වන්දි ගස යන සංකල්පයෙන් කරන්නේ අපෙන් කැපෙන එක ගසක් වෙනුවෙන් පැළ 10 ක් රෝපණය කිරීමයි. විශිෂ්ට සේවා ගස සහ සේවා පරිසර දිනය වෙනුවෙන් ගසක් රෝපණ කිරීම අපේ දහවන අදහස යි. ඉන් සේවා ස්ථානයකින් මාරු වීමේදී හෝ විශ්‍රාම යාමේදී ඔහුට හෝ ඇයට පැළයක් ලබා දී රෝපණය කිරිමට සැලැස්වීමයි සිදු වන්නේ.   


මේ ආකාරයට සැලසුම් කර ඇති වන රෝපණ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා රජයේ හා පෞද්ගලික අංශවල සහායත් අවශ්‍යයි. මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනිමට අවස්ථාව උදා වුවහොත් අඩුම තරමේ වසරකට සියයට 1 කින් හරි වන ප්‍රමාණය වැඩි කර ගන්න පුළුවන්.   


​වෛද්‍යවරයා ඔහුගේ අදහස් හා යෝජනා එසේ ඉදිරිපත් කළේය. වන විනාශයේ අහිතකර ප්‍රතිඵල හඳුනා ගත යුත්තේ ඔබය, ඔබගේ දරුවා වෙනුවෙන් රුක් රෝපණය සිය වගකීමක් කර ගත යුත්තේය. රජයක් ලෙස සාර්ථක පරිසර ප්‍රතිපත්තියක් හඳුනා ගත යුතුය. පුරවැසියන් ලෙස සිය ජීවනාලිය වන් වන සම්පත රැක ගැනීමට කටයුතු කළ යුතුය. එය ඔබගේ සහ අපගේ පරම යුතුකම වන්නේය.

 

 

 

 

 

සටහන
කුමාරි හේරත්