ගවයන් මරා කෑ පවින් වැනසුණු ගුරා සහ ගෝලයෝ


​ජීවිතය යහ මඟට ගැනීමට නිවැරදි මඟ පෙන්වීමක් අවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.   

 

බටුගොඩ ශ්‍රී ජයසුන්දරාරාම මහා විහාරාධිපති නාලන්දේ විමලවංශ හිමියන් ලියා එවූ කතාවකි.   


එළ ගවයන් මරා කෑ ගුරා සහ ගෝලයාගේ පවුල් පිටින් වැනසුණි.   


බෞද්ධ සාහිත්‍යයට අනුව මුගලන් රහතන් වහන්සේ වනාහි සෘද්ධිමතුන් අතරින් අගතැන් ලත් මහ රහතන් වහන්සේ නමකි. උන් වහන්සේ විටෙක දෙව් ලොවට වැඩම කර එහි තතු සොයා බලා ගෙන විත් මිනිසුනට පැහැදිලි කර දෙයි. තවත් විටෙක අපායෙයි, ප්‍රේත ලෝකයෙහි නිරිසතුන් වෙත වැඩම කර, එවැනි විපතකට පත් වීමට හේතු වූ කරුණු විමසීමෙන් පසු ඒවා මිනිසුනට පැහැදිලි කර දෙයි. ලෝකයෙහි වෙසෙන අනෙකුත් සත්ත්වයනට වධ හිංසා පමුණුවන සත්ත්ව ඝාතනය, සොරකම, කාම මිථ්‍යාචාරයෙහි යෙදෙන බොරු කියන මත් වතුර, මත්ද්‍රව්‍ය පානය කරන වෙහෙර විහාර වනසන තුනුරුවනට නින්දා අපහාස කරන උදවිය අපා ගත වෙයි. එසේ පව් කම් කොට ප්‍රේත ආත්ම භාවයන් ලැබූ අය ගැන ප්‍රේතවත්ථු වර්ණනාව යන ග්‍රන්ථයෙහි එයි.   


අපාගත වීම යනු නිමක් නැති දුක් ​ගොඩකට ඇදවැටීමයි. නරක, තිරිසන්, ප්‍රේත අසුරනිකාය යනුවෙන් අපාය සතරක් ඇත. සතුන් මැරීම, සොරකම් කිරීම, කාම මිත්‍යාචාරයෙහි යෙදීම, කේළාම් කීම, බොරු කීම, පරුෂ වචන කීම, මිථ්‍යා දෘෂ්ඨි ගැනීම යන වැරදි කළවුන්හු මරණයට පත් වීමෙන් පසු අපායෙහි උපදිති. අපා ගත වූ නිරි සත්ත්වයාට යම පල්ලෝ පළමුව පංචවිධ බන්ධන නම් දඬුවම ලබාදෙයි. යම පල්ලෝ රත් වූ යකඩ උල් පහක් ගෙන ඒවා දෑතට දෙපයට පපුවට වශයෙන් ස්ථාන පහකට ගසති. එයින් දැඩි වේදනාවට පත් වෙයි. එසේ වේදනා ලැබුවද මරණයට පත් නොවෙයි තව තවත් වේදනා විඳුවයි. ඉන් පසු පොරෝ වලින් අග පසඟ සිඳ දමති. පාද ඉහළට ඔසවා පැසෙන ලෝදිය හැළියකට දමති. පෙණ දමමින් පැසෙන ලෝ දිය බඳුන තුළ එහෙ මෙහෙ ගමන් කරයි. අකුසල ශක්තිය තිබෙනතාක් මෙම සන්සිද්ධිය සිදු වෙයි. මෙය අපායෙහි ස්වභාවය දක්වන කෙටි පැහැදිලි කිරීමකි. නරක අපායෙහි ප්‍රභේද අටක් ඇත. එනම් සංජීවය, කාල සූත්‍රය, සංඝාතය, රෞරවය, මහා රෞරවය, තාපය, ප්‍රතාපය, අවීචිය යන මෙම අට මහා නරකයයි. මේවා අතරින් වඩාත් භයානක වන්නේ අවීචි මහා නරකයයි. විශේෂයෙන් පංච ආනන්තරීය කර්ම කළ අය එම නරකයෙහි උපදිති.   


මිනිසුන් විවිධ පව් කම් කරති. ඒ අනුව එම පව්වල විපාක ද අත් විඳිති. ඒවා පිළිබඳ දහමෙහි විවිධ නිදසුන් කතා දක්වා ඇත. දිනක් මුගලන් රහතන් වහන්සේ ලක්ඛණ හිමියන් සමග ගිජුකුළු පව්ව මුදුනේ සිට පහළට වැඩම කරමින් සිටි සේක. එසේ වඩින අතර මුගලන් රහතන් වහන්සේට එක් වරම සිනහවක් ඇති විය. මෙය පිළිබඳ කුතුහලයක් ඇති වූ ලක්ඛණ හාමුදුරුවෝ බුදු හිමියන්ගෙන් මේ ගැන විචාලහ. එවිට බුදු හිමියෝ එම සිනාවෙහි අරුත් මුගලන් රහතන් වහන්සේ ලවාම ප්‍රකාශ කිරීමට සැලැස්සූ සේක. ගිජු කුළු පව්වේ සිට පහළට බසින විට සිරුරෙහි සම නොමැති ප්‍රේතියක් දක්නට ලැබුණ බවත්, එම සම නැති පාවෙන සිරුරට නොයෙක් ගිජු ළිහිණියන් උල් හොට වලින් අනිමින් ලේ බොන අතර මස් කැබලි ද කඩා ගන්නා බවත් ප්‍රකාශ කළහ. ඇය ​ෙව්දනාවෙන් මර හඬ දුන්නද කිසිවෙකුටත් ඇය බේරා ගැනීමට ඉදිරිපත් නොවුණි. මෙවැනි දරුණු දඬුවමකට ලක්වූයේ ඇය මෙයට ඉහත ආත්මයක ඉතා රූමත් කාන්තාවක වශයෙන් සිටියදී තම සිරුර නීත්‍යානුකූල නොවන අයුරින් වෙනත් අයගේ මන දොළ සපුරනු පිණිස ලබා දීමයි. එසේ තම සිරුර අලෙවි කරමින් මහත් භව භෝග සම්පත් විඳිමින් සුකුමාර ජීවිතයක් ගතකරමින් සිටි ඇය මියගොස් කරන ලද කර්මානුරූපව මෙසේ දුක්ඛිත තත්ත්වයට පත් වූ බව පැවසූ සේක.   


ඇතැම් දෙනා නොයෙක් දුක් දී සතුන් මරති. පව්කාර මිනිසුන්ගේ ස්වකීය මාංශ ලෝලිත්වය උදෙසා සිය දහස් ගණන් සතුන් ඝාතනය කරති. මීයන්, කුකුළන්, සාවුන් වැනි සතුන් පණ තිබියදී පැසෙන උණු වතුර බඳුනක ගිල්වා ඒ සමගම ඇල් දිය බඳුනක ඔබා ප්‍රාණය තිබියදීම සම ගලවා දමන අයුරු මෑත දිනක අන්තර්ජාලය ඔස්​ෙස් දැක ගැනීමට ලැබුණි. ඇතැම් සතුන් දින ගණනක් නිරාහාරව තබා වද වේදනා දෙමින් මරණයට පත් කරයි. කුසෙහි දරුවන් සිටින තිරිසන් මව්වරුන් පවා ඝාතනය කරති. මස් පිණිස මෙන්ම වෙනත් අවශ්‍යතාවන් වෙනුවෙන් ද ඇතැම් දෙනා කිසිදු අනුකම්පාවක් නොමැතිව සතුන් ඝාතනය කරති. මෑත කාලයෙහි ගල්ගමුව ප්‍රදේශයෙහි කාගේත් ගෞරව ආදරයට ලක් වෙමින් සිටි. දළ ඇතා කුරිරු ලෙස මරා දමා ඇත්තේ දළ ලබා ගැනීමේ පවිටු අරමුණ ඇතිව බව සිතිය හැක. ඇතැම් ආගමිකයන් පවසන්නේ සතුන් දුක් විඳින නිසා ඔවුන් මරා අනුභව කිරීමෙහි වරදක් නැති බවයි. එම තර්කයට අනුව මිනිසුන් වුවද ඝාතනය කිරීමෙහි වරදක් නොවන බව පෙනෙයි. ලෝක ජනගහනයෙන් වැඩි කොටසක් දුක් විඳින ජනතාව බව නොරහසකි. කුමන හේතුවක් දක්වමින් හෝ සත්ත්ව ඝාතනය අනුමත කිරීමට නොහැක. එය බලවත් පාප කර්මයකි. මේ ආත්මයේ කොතරම් සතුටක් ලැබුවද මරණින් මතු සුගතියක් නම් අත් නොවේ. මේ ආත්මයේ දී වුව ද එම කර්මවලට විපාක පළ දෙන බව පහත සඳහන් කථා පුවතින් වටහා ගත හැකිය.   


මෙයට වසර පනහකට හතළිහකට පෙර උතුරු මැද පළාතට අයත් පිටිසර ගම්මානයක සිදු වූ කතා පුවතකි. ඔහු​ෙග් නම ගුනේරිස් වුවද කවුරුත් ඔහු හඳුන්වන ලද්දේ ‘වෙද මහත්තයා’ යන නමින්ය. එසේ ආමන්ත්‍රණය කළේ ඔහු වට්ටෝරු වෙදකම කරන අයෙක් බැවිනි. ඔහු ඉරිදා පොළට ගොස් පොත් වෙළඳුන්ගෙන් මිලදී ගන්නා වෙදපොත් බලාගෙන වෙදකම් කරයි. පොළෙන් මිලදී ගන්නා මන්ත්‍ර පොත් බලාගෙන මන්ත්‍ර ගුරුකම් ද කරයි. හේන් ගොවිතැන ජීවන වෘත්තිය වශයෙන් කරන මොහු අඹං ගඟ අසල වනාන්තර හෙළි පෙහෙළි කරමින් හේන් ගොවිතැන් කරයි. ඔහුට ගෝලයෙක් ද සිටියේය. ඔහු වන්නි ප්‍රදේශයෙන් පැමිණි අයෙකු බැවින් වන්නියා යනුවෙන් හඳුන්වන ලදි. වන්නියා වෙදකම ඉගෙන ගැනීමට යයි කියමින් වෙදා ළඟට කිට්ටු විය. ඒ නිසා වන්නියා ගුණේරිස්ට ආමන්ත්‍රණය කළේ ගුරුන්නාන්සේ යන වචනයෙනි ගුනේරිස් සහ වන්නියා හේන් කෙටුවේ එක යායටය. දෙදෙනා ගජ මිතුරෝ බවට පත් වූහ. හේනෙහි පැලක් නොහොත් වාඩියක් සකස් කර ගැනීම අනිවාර්යය දෙයකි. මේ කාලය තුළ නිත්‍ය වාසස්ථානය වන්නේ එම වාඩියයි. හේන් ගොවිතැන කළත් ඔවුන්ගේ ප්‍රධාන ව්‍යාපාරය වුණේ සතුන් දඩයම් කිරීමයි. අවට කැලෑවෙහි යහමින් වන සත්තු සිටිති. නිතර සතකු මරා ගන්නා ඔවුහු දෙදෙනා රිසිසේ මස් අනුභව කළහ. කොටසක් වියළා තබා ගත් අතර තව කොටසක් අලෙවි කර මුදල් ලබා ගත්හ.   


කොතරම් දඩ මස් තිබුණත් ඒවා ගව මස තරම් ඔවුන්ගේ මන දොළ සපුරන්නේ නැත. එවක නිදැල්ලේ ගව රංචු විශාල වශයෙන් සිටින ලදි. හොඳින් තණ කොළ තිබුණ බැවින් පුෂ්ටිමත් සිරුරුවලින් යුක්ත විය. නාබර වස්සකු මරා ගැනීමට ඔවුහු දැඩි අවධානය යොමු කළහ. ඒ අනුව මසකට වස්සන් දෙතුන් දෙනෙක් ඝාතනය කළහ. එක් අයෙකු ගවයා තදින් අල්ලාගෙන සිටි අතර අනෙකා තියුණු පිහියකින් ගෙල සිඳ දැම්මේය. ගවයා කොතරම් මර හඬ දුන්නත් එය ගණන් නොගත්තේය. බීමට අවශ්‍ය කසිප්පු නමැති මත් වතුර ඔවුහු පෙරා ගත්හ. මෙසේ කාලයක් තිස්සේ ගුරා සහ ගෝලයා සතුන් මරමින් මහත් විනෝදයෙන් සිටියහ. ගුරාට දරුවන් දොළහක් සිටි අතර එකොළහක්ම පිරිමි දරුවන් විය. ගෝලයාට එක් පිරිමි දරුවෙකි. ගුරාගේ දරුවන් එකිනෙකා මිය ඇදෙන්නට වූයේ අකාලයේ ය. වැඩි දෙනෙක් වස පානය කිරීමෙනි. එක් දරුවකු සර්ප දෂ්ටයකින් මිය ගිය අතර, තවත් අයෙක් ගෙල වැලලාගෙන මියගියේය. දියණිය ද අඹු සැමි ආරවුලකදී ස්වාමියාගේ පොලු පහරකින් මිය ගියාය. ගෝලයා නොහොත් වන්නියාගේ එකම පිරිමි දරුවා ද නයි මුගටි සටනක් සිදු වන අතර නොදැනුවත්ව ඒ අසලට යාමෙන් නයා දෂ්ඨ කිරීමෙන් මියගියේය. මෙසේ දරු පවුලම විනාශයට පත් වූ එම පව්කාරයන් දෙදෙනාගේ ඉරණම සුවදායක නොවුණි. ගුනේරිස්ට අංශභාග රෝගය වැළඳී මුඛය කන දක්වා අැදී යන ලදි. අවසන් කාලය ප්‍රේතයකු මෙන් දුක් වින්දේය. මැරී සුළු මොහොතකින් ඔහුගේ සිරුර පුරා සුදු පැහැති පණුවන් දුවනු දැකිය හැකි විය. ඔහුගේ මරණය පවා බොහෝ දෙනාට පිළිකුල් සහගත විය. ගෝලයා නොහොත් වන්නියා කිසිවකුගේ හව් හරණයක් නොමැතිව සිට ඔහුගේ උපන් ගම් ප්‍රදේශයට ගිය බව දැන ගන්නට ලැබුණි. ඔහුගේ ඉරණම කෙසේ විසඳුනාදැයි නොදනිමු. එහෙත් එය ද ඉතා දුක්ඛිත ඉරණමක් බව නම් සක් සුදක් සේ පැහැදිලිය. එපමණකට ඔවුන් දෙදෙනා විසින් කරන ලද පව් කම් බලවත්ය.

 



අකුරැස්ස, පහළ මලිදුව චිත්‍රානන්ද ගුණවර්ධන මහතා ලියා එවු කතාවක් මෙසේය.  


ගහ කොළ වනසා සැප විඳි ගුණසෝම මෙලොවදීම දහ දුක් විඳ පරලොව යයි.   


මෙයට බොහෝ කලකට පෙර ඈත දුෂ්කර නියම් ගමක විසූ මහා ඉසුරුමතෙකි ගුණසෝම. නමින් ගුණසෝම වුවත් ඔහු තුළ වූ ගුණයක් නම් නැති තරම්ය. එයට ප්‍රධාන හේතුව නම් ඔහු මහා ඉසුරුමතෙකු බවට පත් වූයේ යහපත් කටයුතුවලට වඩා අයහපත් ක්‍රියා මාර්ගවලින් වීම නිසා ඔහු ප්‍රධාන ආදායම් මාර්ගය බවට පත් කරගෙන තිබුණේ වනාන්තරවල තිබූ ගස් කොළන් කපා විකිණීමයි. මෙයින් ඔහු කොතරම් ධනවතෙක් වූයේ ද යත් අපේ කාලයේ සිටුවරයෙක් බඳු වූවා යැයි හැඳින්වූවාට වරදක් නැත. මෙසේ උපයා ගත් මුදලින් ඇති තරම් ඉඩ කඩම් වාහන මිලදී ගත් අතර තම ඉඩම් වල වැඩ කළ අයට ඔවුන්ගේ කුලිය පවා හරි හැටි ගෙවීමක් නොකළේය.   
එකල ගැමියන්ට වාහනයක් දැක ගැනීමට නම් නගරයටම යා යුතු විය. එවන් කාලයක ඉතා දුෂ්කර ගමක වුවත් වාහන හිමිකරුවකු බවට ගුණසෝම ඉතා පහසුවෙන්ම පත් විය. කොතරම් වාහන තිබුණත් වැරදීමකින් හෝ ගැමියකුට එම වාහනයකට ගොඩ වීමකටවත් ගුණසෝමගෙන් ඉඩක් නොවීය. ගමේ කෙනෙකු මරණාසන්න අවස්ථාවකට පත් වුවත් ඔහුගේ වාහනයක පිහිට ලබා ගැනීමට නම් කිසිදු හැකියාවක් නොවීය.   


එසේම දරුවන් කීප පොළකගේ පියෙකු වූ ගුණසෝම දරුවන්ට පමණක් ​ෙනාව පරම්පරා ගණනකට ජීවත් වීමට ඇති තරම් මහා ධනයක් ඒකරාශී කරගෙන සිටියේය. එහෙත් ඔහුට ඇතිවීමක් නම් නොවීය. එබැවින් දරුවන්ට ජීවත්වීමේ ගැටලුවක් කිසි විටක ඇති නොවීම නිසා ඔවුන්ට හරි හැටි අධ්‍යාපනයක් ලබාදීමට ද ඔහු එතරම් උනන්දුවක් නොදැක්වීය. දරුවන් ද තම පියාගේ දේපළවලින් යැපෙමින් කෙළි ලොල් දිවියක් ගත කිරීමට පුරුදු වූවා මිස ඉගෙනීමේ කටයුතුවලට කැමැත්තක් දැක්වූයේ නැත. එපමණක් ද නොව ඔවුහු සුරාවට සූදුවට ද ඇබ්බැහිවන්ට වූහ. ගමේ අහිංසක ගැමියන්ට ඔවුන් නිසා හිරිහැර සිදු වූ වාර අනන්තය.   


එහෙත් මේ කිසිවක් පිළිබඳව එතරම් ගණනකට නොගත් ගුණසෝමගේ මුදල් ඉපයීමේ ආශාවේ අඩුවක් නම් නොවීය. දිනපතා ලොරි ගණනින් මහා වනස්පතීන් කපා හෙළමින් විකුණා ගන්නට විය. ගමේ අහිංසක ගැමියන්ට කළ හැකි එකම දෙය වූයේ මේවා දෙස බලා සුසුම් හෙළීම පමණි. ගුණසෝමට ඇති මුදල්වලින් ගොඩ නැගුණු මහා බලය නිසා මේ කිසිවකට එරෙහිවීමට කිසිවකු ඉදිරිපත් නොවීය. ඒවාට එරෙහිවීමෙන් ඵලක් ද නොවීය.   
කාලය කෙමෙන් ගෙවී යත්ම ගුණසෝමට තම ව්‍යාපාර කටයුතු කර ගෙන යාම අපහසු වන්නට වූයේ ඔහු වයස්ගත වීම නිසාය. ඒ අනුව තමා සතු ඉඩ කඩම් වාහන ඇතුළු මහා වස්තු සම්භාරය දරුවන් අතර බෙදා දීමට කටයුතු කළේය. කරුමයක මහත! ගුණසෝමගේ ඉසුරුමත් දිවියට කණකොකා හැඬීම ආරම්භ වන්නට විය. තම ව්‍යාපාර කටයුතු මනා කළමනාකරණයකින් ගෙන යන්නට ගුණසෝමට හැකියාව තිබුණත් තම දරුවන්ට ඒ හැකියාව නොවීය. එයට ප්‍රධානතම හේතුව වූයේ ඔවුන් කිසිදු අධ්‍යාපනයක් නොලැබීමත් ව්‍යාපාර කටයුතුවලට හවුල් නොවී කෙළි ලොල් දිවියක් ගත කිරීමත්ය. ඔවුන්ට කළ හැකි එකම දෙය වූයේ තම පියාගෙන් ලැබුණ මහා වස්තු සම්භාරය විකුණා ගෙන කෑම පමණි. එය වැඩි කලක් කරගෙන යාමට නොහැකි විය. ඔවුන් සතු වාහන මෙන්ම අක්කර සිය ගණනක් වූ ඉඩ කඩම් ද විකිණී ගියේ ඔවුන්ටත් නොදැනීය. ගුණසෝම අන්ත දිළින්දකු බවට පත් විය. විවාහ වී වෙන වෙනම ජීවත් වූ ඔහුගේ දූ දරුවෝ ද තම පියා අත් හැර ගියේ කිසිදු අනුකම්පාවකින් තොරවය. සැප සම්පත් තබා දවසට තුන් වේල කෑම බීම ටික පවා නොලැබෙන තත්ත්වයට පත් විය. තම දරුවන් කිසිවෙක් පැත්ත පළාතකට වත් නොපැමිණියහ. අවසානයේ ඉතුරු වූයේ ගුණසෝමගේ වතුවල සේවය කළ සිය ගණනක් වූ කම්කරුවන්ගෙන් එක් අයෙකු පමණි. ගුණසෝම අන්ත දුක්ඛිත තත්ත්වයටම පත් වූ අතර බේතක් හේතක් ගැනීමට පවා ක්‍රමයක් නොවීය. ජීවිතයේ අවසන් කාලයේ ඇවිද ගැනීමට පවා නොහැකිව දිවි ගෙවූ ඔහු මහ වනයේ වනස්පතීන්ට කළ විනාශය සිහි කරමින් පසුතැවුණේය. විඳින්නට තිබූ ඉහළම සැප සම්පත් විඳි ගුණසෝම අවසානයේ ජීවිතයේ විඳින්නට තිබූ සියලු දුක් ගැහැට ද විඳ අවසන් ගමන් ගියේ වන විනාශයත් මහා පාප කර්මයක් බව හැමට කියා දෙමිනි. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

සකස් කළේ
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්