ගව ඝාතකයාගේ පවුලම වැනසුණු හැටි


ජීවිතය යහ මගට ගැනීමට නිවැරැදි මගපෙන්වීමක් ඇවැසිය. මේ විශ්වාසය ඒ වෙනුවෙනි.   

කොටපොළ ජිනදාස ආරියගේ මහතා ලියා එවූ කතාවක් මෙසේය.   

මෙලොවදී විපාක දුන් ප්‍රාණ ඝාත අකුසලය   


තුරුණු විය ඉක්මවා මැදිවියේ පසුවන සේදප්පු ගතකරන්නේ තනිකඩ ජීවිතයකි. තනිකඩව ජීවත් වීමට ඔහුට සිදුවී තිබෙන්නේ අවිවාහකයකු නිසා නොවේ. සුදුසු වියේදී විවාපත් වූ නමුත් ඉතා සුළු කලකින් බිරිඳ ඔහු අතහැර ගිය නිසාය. එසේ වූයේ බිරිඳගේ වරදකින් නොව සුද්දප්පුගේ පව්කාර ක්‍රියාවක් ඉවසා දරා සිටීමට ඇයට නොහැකි වූ හෙයිනි.   


සුද්දප්පුගේ රැකියාව මෙන්ම විනෝදාංශය ද වූයේ සතුන් දඩයම් කිරීම සහ රා මැදීමය. දඩයම් කිරීමත්, රා මැදීමත්, කළේ ඔහුගේ ප්‍රයෝජනය මූලික කරගෙන වුවද ඉන් ආදායමක්ද නොලැබුණා නොවේ. ජීවිතය ගෙන යාමට ඒ ආදායම ප්‍රමාණවත් විය.   


දවස පුරා වරින් වර රා බොන ඔහුට මසින් තොර අහරක් ගැනීම කිසිසේත්ම කළ නොහැක්කේය. මළ පුඩු තැබීමෙන් සහ බොරු වළවල් කැපීමෙන් ඌරන් වැනි සතුන් මරා ගන්නා අතර, කුරුලු කොබෙයියෙකුට වුවද ඔහුගෙන් ගැලවී යාම පහසු නැත.   


වියළුණු දඩමස් කැබලි පමණක් නොව, පිහාටු ගලවා බොකු ඉවත් කළ කුරුලු මළ කුණු ද දුම්මැස්සේ පිළිවෙළට එල්ලෙමින් තිබේ. ඒ අලංකාරය සඳහා නොව රා වලට කටගැස්ම සඳහාය. අලුත් මසක් සොයාගත නොහැකි වූ දිනට දුම්මැස්සේ එල්ලෙන වියළුණු කුරුලු කුණක් හෝ මිරිස් තුනපහ වලින් නැහැවී තෙල් තාච්චුවේ කරවී බත් පිඟානට පැමිණේ.   


කිතුල් මැදීමත් දඩයම් කිරීමත් හැරුණු විට වෙනත් මනාප කාරියක් ඔහුට තිබුණේ නැත. සතුන් මරහඬ නගා මැරෙන ආකාරය බලා සිටීමෙන් සහ ගලන ලේ දෑතේ තවරාගෙන මස් කැපීමෙන් ඔහු ලබන ආස්වාදය, සතුට, තෘප්තිය මෙපමණ යැයි කියා ඔහු ද නොදනී.   


අමුඩයෙන් මිදී සරමකින් සැරසී සේදප්පු ගෙයින් දොරට බසින්නේ මිරිස් දුරු තුනපහ හිඟවී ඒවා ගෙන ඒමට කඩමණ්ඩියට යන විට පමණය. නෑදෑ හිතවතුන් ඇසුරු කිරීම, ඔවුන්ගේ නිවෙස් කරා යාම ඒම, මඟුල් මරණ ආදියට සහභාගි වීම ආදී දේවලට ඔහුගේ කාලසටහනේ වේලාව වෙන් වී නැත.   


එක් දිනක් තලගොයකු පසුපස හඹා ගිය සේදප්පු දැඩි වෑයමකින් තලගොයා වලිගයෙන් අල්ලා ගලක ගැසුවේය. යළි යළිත් ගලේ ගසා තලගොයාගේ දිවි තොර කිරීමෙන් පසු ඔහු කළේ තලගොයි මළකඳ ගසක එල්ලා හම ගැලවීමය. හදිසියේ ඇතිවූ වෙනත් අවශ්‍යතාවක් නිසා තලගොයි කුණ එසේ තිබියදී එතැනින් ඉවත්වීමට ඔහුට සිදුවිය. මඳ වේලාවකදට පසු නැවත එහි පැමිණ බලන විට තලගොයා පෙනෙන්නට නැත. එල්ලා තිබුණු වැල් කැබැල්ල පමණක් ඉතිරිව තිබේ.   


විශ්මයට පත්වූ හෙතෙම විපරමෙන් වට පිට බැලුවේය. කේන්තිය ඉහ වහා ගොසිනි. හම ද ඉවත්කොට තිබුණු තලගොයා කවරෙකු හෝ ගෙන ගොස් ඇතැයි යන සැකය එක්වරම ඔහුට ඇති විය.   


කොයි එකා ද බොල මේ පාහර වැඩේ කළේ? ඕකල දන්නෙ නෑ මේ සේදප්පුව කව්ද කියලා. එ්‍ක මට අහුවුණොත් තලගොයා වගේ ඇඟේ ඉඳන් පට්ට ගහනවා’ යනාදී වශයෙන් පාරම් බාන් ඉදිරියට ගිය සේදප්පු දුටුවේ තල​ෙගායාගේ කුණ බිම දමා කනාටු බල්ලෙකු විසින් හපා කනු ලබන බවය. කෝපය දෙගුණ තෙගුණ විය. ඒ අසල බිම තිබුණේ වැටමාර පොල්ලකි. එය අතට ගත් ඔහු සිරුරේ මුළු වැර යොදා බල්ලාගේ පසුපසට වේගවත් පහරක් ඇදබෑවේය. බල්ලා මරහඬ තලද්දී පොල්ලෙන් තවත් පහරක් ගසා සැනසුම් සුසුමන් හෙළා තලගොයි කුණ ද රැගෙන පසු බැස්සේය.   


ඉන්පසු බල්ලා ජීවත් වූ කාලය පුරාම ඌ ගමන් කළේ බඩගාමින්ය. පස්සා ගාත් දෙක එසවීමට නොහැකිව සුළු කලක් වේදනා විඳිමින් සිට මිය ගියේය.   


බල්ලා මියගිය ආසන්නයේ දිනක කිතුලකින් ඇදවැටුණු සේදප්පුගේ කොඳු ඇට පෙළ කැඩුණි. ඉන්පසු ඔහුට අත්වූයේ පොලු පහරින් බල්ලාට අත්වූ ඉරණමය. දෙපයින් නැගී සිටීමට නොහැකිව පසුපස බිම උලමින් දෑතේ රැඳවූ සෙරෙප්පු දෙකක් ආධාර කොට ගෙන දොට්ට පිළට පවා ගිය සේදප්පු දැඩි දුක් වේදනා විඳිමින් සිට කලක් ගතවූ පසු මිය ගියේය.   



මතුගම පියසේන දොඩම්ගොඩ මහතා ලියා එවූ කතාවක් මෙසේය.   

බලු පැටව් ගංවතුරට දැමූ පාපය මුළු පවුලටම පලදුනි   


අප රටේ ගම් නියම්ගම් හා නගරයන්හි දඩාවතේ යන බල්ලන්ගේ ගණන ද අතිවිශාලය. මේ වන විට රට තුළ බලු ගහණය හැටදහසක් පමණ වේ යැයි ගණන් බලා ඇති බව ද වාර්තා වේ. මෙම බල්ලන් නිසා සමහරෙක් ඒ සතුන්ට කෑම බීම දී කුසල් රැස් කරගන්නා අතර ඇතැම් අසත්පුරුෂයන් දඩු මුගුරුවලින් පහර දී අකුසල් පුරවා ගන්නා බව නොරහසකි.   


එක්තරා පළාතක එක් කාන්තාවක් දිනපතා නගරයට ගොස් හෝටල් හා ආපන ශාලාවල ඉතුරු බිතුරුවන කෑම එක්කාසු කර අයාලේ යන බල්ලන්ට ගෙනවිත් දී සිදු කරගන්නේ මහඟු පිංකමකි. මේ අතර මහ මග අයිනේ යන එන බල්ලෙකුට ගලකින් හෝ පොලු කැබැල්ලකින් හෝ ගසා උගේ කකුලක් කඩා සතුටක් ලබන පව්කාර කාලකණ්ණි අය ද බහුලව සිටින බව ද පැහැදිලි කරුණකි.   


මෙම තිරිසන් සතුන්ගේ බෝවීම ද ශීඝ්‍ර ලෙස වර්ධනය වෙන බව පෙනේ. බැල්ලියකට වරකට පැටවුන් හතර පස් දෙනා ලැබේ. සමහරුන් මෙම බලු පැටව් හොර රහසේ පන්සල්වලට ගෙන ගොස් දමා යෑම ප්‍රසිද්ධ රහසකි. ඇතැමුන් තම නිවසේ අගුපිලක සිටීමට ඉඩකඩ සලස්වා කෑම බීම දී බලුපැටව් උස් මහත් වෙන තුරු රැක බලා අවැසි අයට ගෙන යෑමට ඉඩ ලබාදීම ද මාහැඟි උතුම් ක්‍රියාවකි.   


ගිරිගෝරිස් මුදලාලිගේ නිවසට යාබදව පිහිටි තම​ මෝටර් රථය දමන ගරාජයේ මුල්ලක දඩාවතේ යන බැල්ලියක් තම පැටවුන් පස්දෙනා රැකබලා ගෙන සිටියේ එය ආරක්ෂාකාරී තැනක් නිසාවෙනි. එහෙත් බලු පැටවුන් එහෙ මෙහෙ දුව පැන යාමට පටන් ගත් බැවින්, මුදලාලිට බලු පවුල රිස්සුවේ නැත. දිනක් මහ වැසි දිනක දී ‘‘හිටපන් මම තොපිට හොඳ වැඩක් කරන්නම්’’ කියා බලු පැටවුන් පස්දෙනා ​ෙපා්ර උරයක දා කට බැඳ ගංවතුරට විසිකර දැම්මේ ‘‘වීරයෙක්’’ ලෙසිනි.   


පවුලේ ඇත්තන්ද මොහුගේ ​ෙම් පාපතර ක්‍රියාවට විරුද්ධ වූයේ නැත. කාලය ගෙවී ගියේය. දිනක් මෙම පවුලේ හැමදෙනා විනෝද චාරිකාවක් සඳහ නිවසින් පිටවූයේ බලවත් සතුටිනි. එහෙත් චාරිකාව නිමවා ආපසු එනවිට තම මෝටර් රථය ලිස්සා පාරෙන් ඉවතට පැන අසල වූ ගඟකට ඇද වැටුණි.   


මේ අතරතුර මේ සිද්ධිය දුටු අසල්වාසීන් පැමිණ තුවාලකරුවන් ඉමහත් වෙහෙසක් දරා එළියට ගත්ත ද ඒ වෙන විටත් පවුලේ පස්දෙනාම මියගොස් තිබුණි. බලු පැටවුන් දියේ ගිල්වා මරා දැමූ පාපය මුළු පවුලටම පළ දුන් බව ගමේ වැඩිහිටියන් කතා බහ කරනු තවමත් දක්නට ලැබේ.   


 


බිංගිරිය කොස්වත්තේ ඩී.එන්. දිසානායක මහතා ලියා එවූ කතාවක් මෙසේය.   

හරක් ඝාතක පාපතරයාගේ මුළු පවුලම විනාශ වූ හැටි   


මධ්‍යම පළාතේ එක්තරා ගමක විසූ ඔහු අපි එම්මානුවෙල් යන අන්වර්ථ නාමයෙන් හඳුන්වමු. මෙකී එම්මානුවෙල් ඉතා දරුණු ගණයේ හරක් ඝාතකයකු වූ අතර ඔහුගේ ජීවිකා වෘත්තිය වූයේ ගම් දනව්වල ඇවිද ඉතා අඩු මුදලකට හරක් මිලදී ගෙන දක්කාගෙන විත් තම නිවස පිටුපස ගස්වල බැඳ ගාල් කර ගැනීමය. මෙලෙස හරක් දහ පහළොස් දෙනෙක් එකතු වූ පසු තම පුතුන් දෙදෙනා සමග එම්මානුවෙල් එම හරක් දෙන්නා බැගින් ඈදාගෙන පඩිවෙල ප්‍රදේශයේ පිහිටා ඇති ගව ඝාතකාගාරයකට ගෙන​ ගොස් බාරදී අධික මුදලක් ලබාගනියි. මෙසේ කාලයක් තිස්සේ මෙම පාපතර ක්‍රියාවලියෙහි යෙදුණු ඔහුගේ පවුල, බිරිඳ, දුවා දරු දෙදෙනෙක් ද පුතුන් දෙදෙනෙකුගෙන්ද සමන්විත වූ අතර, ඔවුනද මෙම පාපතර ක්‍රියාවලියට හවුල් වූහ. ඔවුන් සියල්ලෝම නඩත්තු වූයේ එම්මානුවෙල්ගේ මෙම පාපතර ක්‍රියාවලියෙන් ලත් ආදායමිනි.   


පියා හා පුතුන් දෙදෙනා විසින් සිදු කරන ලද මෙම පාපතර ක්‍රියාවලියේ පටිසන් දීම ආරම්භ වූයේ මෙතැන් සිටය. ඒ එම්මානුවෙල්ගේ එක් පුතෙක් යතුරුපැදි අනතුරකින් සඳහටම මෙලොව හැර ගිය අතර අනෙක් පුතු පොල් කැඩීම සඳහා පොල් ගසකට නැගීමේදී පය ලිස්සා ඇදවැටී මරු වසඟයට පත්විය. මේ අතර එම්මානුවෙල්ගේ එක් දියණියක් දිය නෑමට ගොස් වැවක ගිලී මියගිය අතර අනෙක් දියණිය ඩෙංගු වසංගත රෝගය වැළඳී මියගියේ හදිසියේය. තම දූ පුතුන්ගේ මෙම අකල් මරණවලින් දැඩි ලෙස කම්පනයට පත් එම්මානුවෙල්ගේ බිරිඳ අංශභාග රෝගය වැළඳී ටික කලක් රෝගාතුරව සිට මියැදුණු අතර අවසානයට ඉතිරි වූයේ පාපතර එම්මානුවෙල් පමණි.   


එම්මානුවෙල්ද මේ අතර දිනක් ගොන් නාම්බෙක් මිලදී ගෙන දක්කාගෙන එන අතරතුර ගොන් නාම්බාට මරණ බය ඉවෙන් මෙන් දැනී ඔහුගෙන් ගිලිහී කැලෑ වැදුණි. ගොන් නාම්බා සෙවීමට එම්මානුවෙල්ද කැලෑ වැදුණු අතර, එහිදී ඔහුට පයට පෑගුණු පොලඟකු දෂ්ට කිරීම නිසා තම නිවසට ඒමට නොහැකි වූ එම්මානුවෙල් මහ මග අයිනේ වැටී සිටිය දී ගමේ කිහිප දෙනකු ඔහුව ඔසවාගෙන ගොස් සර්ප වෙදමහතකු ගෙන්වා ප්‍රතිකාර කළ ද ඒ වන විට සර්ප විෂ දරුණු ලෙස ශරීර ගතවී තිබීම හේතුකොට ගෙන එම්මානුවෙල් ද අකාලයේ මිය පරළොව ගියේ මුළු පවුලම ‘‘දිට්ට ධම්මවේදනීය කර්මය’’ මේ ආත්මයේදීම පටිසන්දීම හේතු කොට ගෙනය.   
මෙබඳු කතා ඔබත් දන්නේ නම් ඒවා ඉරිදා ලංකාදීපයට යොමු කරන්න.        

 

 

 

 

සකස් කළේ 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්