ගරු කළ යුතු අයට බුලත් දෙන්නේ ඇයි ?


බුලත් සෞභාග්‍යයේ සංකේතයයි. ශ්‍රී ලාංකික බෞද්ධ සංස්කෘතියේ බුලත් කොළයට හිමිව ඇත්තේ අති විශාල ප්‍රමුඛස්ථානයකි. උදාවන අලුත් අවුරුදු සමයේ බුලතට ලැබෙන්නේ ද මුල් ස්ථානයයි. පැරණි ජන කතාවල සඳහන් පරිදි බුලතේ උපත මෙසේ සඳහන්ව ඇත.   


එක් ආත්මයක අප මහ බෝසතා​ෙණා් හාවෙකු වී ඉපදී භාවනාවේ යෙදී සිටින බව සක් දෙවියන් දැක එය සත්‍යද යන බව සොයා බැලීම සඳහා මහලු වෙසක් මවා ගෙන හාවා අසලට පැමිණ මට හරියට බඩගිනියි කියා කෑමට දෙයක් ඉල්ලූ විට හාවා අසල ගිනි ගොඩක් ගසන්ට කීවේය. එවිට සක් දෙවියන් ගිනි ගොඩක් ගැසූ විට හාවා ‘‘දැන් මම මේ ගිනිගොඩට පනිනවා ඉන්පසු උඹ රැගෙන කාපන්’’ කියා ගිනිගොඩට පැන්නේය. එවිට හාවා දෑතින් අල්ලා හොඳට නහවා සක්දෙවියන්ගේ ලෝකයට ගෙන ගොස් හාවාගේ රුව හඳේ ඇඳ එම තෙලිකූර බිමට දැම්මේය. එවිට තෙලිකූර පොළව පළාගෙන ගොස් නාග ලොවේ විසූ නාරජුගේ මුවට පතිතවී මරණයට පත්විය. ඊට පසු නා රජු ආදාහන කළ තැනින් දින හතකට පසු බුලත් පැළ පැළවුනු බවත් ඒ නිසා ‘දළුමුණි’ යන නම බුලතට යෙදූ බවත් ජනප්‍රවාදයේ සඳහන්වේ.   


කලකට පසු මහා සම්මත රජ දවස මැණික් පාල බිසවුන් වහන්සේට බුලත් කෑමට දොළ දුකක් හට ගත්තේය. මනුෂ්‍ය ලොව එකල බුලත් නොතිබුණු නිසා නාලොවින් බුලත් ගෙන එන ලෙස රජතුමා අණකළ පසු නාගයෙක් බුලත් කොලය දෙකට නමා කටින් අල්ලා ගෙනවින් දුන්න නිසා එහි නාගවිෂ ඇතැයි යන මතය අනුව අදත් බුලත් කෑමට පෙර එහි අග හා මුල කඩා විසිකර බුලත් කෑමට ගන්නා බව අපට දකින්ට ඇත.   


මංගල උත්සවවලදී බුලතට මුල් ස්ථානය ලැබේ. බුලත් පිදියයුත්තන් වන්නේ බුදුන්ට, සඟුන්ට, දෙවියන්ට, ගුරුන්ට, මවට, පියාට, වෙදුන්ට, ජ්‍යොතිෂඥයන්ට, ප්‍රභූවරුන්ට, වෛශ්‍යාවන්ට බව කියා ඇත. අද බොහෝ දෙනා බුලත් නැතිව හිස් අතින් යාමට පුරුදුව ඇත. එසේ හිස් අතින් ගියවිට ඔබට අත වනන ශුභ අශුභ මෙසේ පෙන්වා ඇත.   


‘දෙව රාජ ගුරු භාර්ය්‍යා වෛද්‍ය නක්ෂත්‍ර පාඨකාන්   


නාගච්​ෙඡද්‍රිකත හසෙතන කාර්ය්‍යං භවනී නිෂ්ඵලං’   


අදහස: දෙවියන්ද, රජුන්ද, ගුරුන්ද, වෛශ්‍යාවන්ද, වෙදහුද නැකැත් දන්නාහුද යනාදීන් දක්නා විට ශුන්‍ය හස්තයෙන් ගියකල අභිප්‍රාය සිද්ධ නොවෙයි යනු භාවයි.   


බුදුන්ට බුලත් පුදන විට ‘නාගවල්ලී දලු පේතං’ යන ගාථාව බෞද්ධයෝ කියති. දෙවියන් උදෙසා කරන පූජාවලට, යන්ත්‍ර, මන්ත්‍ර යාග හෝම වලට නිමිති ශාස්ත්‍ර බැලීමට බුලත් යොදා ගනී. බුලත් සාමාන්‍ය, නාගවල්ලි කියා කොටස් දෙකකි. මන්ත්‍ර විද්‍යාවේ සඳහන් පරිදි දේව බුලත්, ස්ත්‍රී බුලත්, පුරුෂ බුලත්, යක්ෂ බුලත් යනුවෙන් වර්ග හතරකට බෙදා ඇත. පලුදු නැති ලක්ෂණ පියකරු බුලත් දේව බුලත් වශයෙන්ද, බුලතේ අග දකුණට නැමී ඇති බුලත් පුරුෂ හා වමට නැමී ඇති බුලත් ස්ත්‍රී බුලත් කියාද විකෘති බුලත් යක්ෂ බුලත් කියාද වර්ග වේ. දේව බුලත් දේව පූජාවලටද ස්ත්‍රී බුලත් ස්ත්‍රීන් වශී කිරීමටද පුරුෂ බුලත් පුරුෂයින් වශී කිරීමටද ප්‍රභූ වශීයට, රජුන් වශීයටද යක්ෂ බුලත් අණවින කොඩිවින ආදි හූනියන් කැපීමේ ශාන්ති කර්මයන් සඳහා ද යොදාගනී.   


බුලත් හුරුල්ලකට 20,20 බැගින් කොළ හතළිහක් ගනී. එසේ ගන්නේ අපේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයේ දන්තයන් 40 ක් තිබුණු නිසාය. පළමුව දත්වලට බුලත් යොමුවන නිසා බුදුන්ගේ ශ්‍රී මුඛය ආශ්‍රිතව සැලකූ බව පෙනේ. බුද්ධ පූජාවට බුලත් 40ක් ගනී. දේව පූජාවලට බුලත් 35ක්ද, ග්‍රහ පූජා වලදී බුලත් 12ක්ද නව ග්‍රහ පූජාවට බුලත් 9ක්ද ශාන්ති කර්ම සඳහා යක්ෂ භූත තටුවලට බුලත් 21, 18 බැගින් යොදාගනී.   


විශේෂයෙන්ම කොටහළු, විවාහ උත්සව සඳහා ඇරයුම් කරනවිට බුලත් කොළයක් දීම ගෞරවනීය වේ. කිට්ටුම ඥාතීන්ට කලන මිතුරන්ට බුලත්දී  ඇරයුම් කළ යුතුමයි. වර්තමානයේ මුද්‍රිත කාඩ්පත පමණක් දීමට බොහෝ අය පෙලඹී ඇතත් එය වැරදිය. කාඩ්පත දෙනවිට බුලත් කොළයක් සමග දීම ගෞරවයක් හා පුරාණ චාරිත්‍ර විධියකි. කොටහළු ගෙදරට මගුල් ගෙදරට ඒමට ආරාධනා කරනවිට බුලතක් දී නොකීවා නම් එය පිළිනොගන්නා අතර එම උත්සවයට සහභාගි නොවන බව ඔබ දැන්වත් ඉගෙන ගත යුතුයි. එය අමනාපවීමට හේතුවන්නේය.   


වෙදදුරන්ට මුදලට වඩා බුලත් අත වටින්නේය. ජ්‍යෝතිෂඥයකු හමුවට යනවිට බුලත් ගෙනයාම අනිවාර්යයි. වෙනත් අය විසින් දුන් බුලත් මේසය මතින් ගෙන එහි පඬුරු දීම අසිරිතකි. ඊට ප්‍රධාන හේතුව ඔහු ගෙන ආ බුලත් කොළ ගණන කොළයේ හැඩය කුමන වර්ගයේ බුලත්ද යන්න ශාස්ත්‍රය වශයෙන් ගැන බලා නිවැරදිව පලාඵල විස්තර කීමට හැකි නිසාය. එය ශ්ලෝකයෙන් මෙසේ දක්වා ඇත.   


‘ඵල පුෂ්ප යුතෝයෝහි  
දෛවඥ පරිපෘච්ඡතී   
තස්වෛකථයෙන් ප්‍රශනං   
සත්‍යං භවතී නෘත්‍යතායි’යි   


මෙහි තේරුම දෛවඥයාගෙන් ඇසු ප්‍රශ්නය සත්‍ය වන බවයි.   


ඉපැරැණි පුස්කොළ පත් ඉරුවල සඳහන් වශිකර්ම කීපයකින් උපුටාගත් මෙම වශීකර්ම සත්‍යයයි.   


සර්වලෝක වශියට: බුලතේ රුව ඇඳ නම ලියා හඳුන් තෙලෙන් කළුමැද පුෂ නැකතින් මේ මන්ත්‍රයෙන් 324 මතුරා ඉණ තබා ගොස් කථා කරනු. ඉටුවේ. ‘‘ඕං සර්වලෝක වසං කරාය කුරු කුරු ස්වාහඃ’’  


ස්ත්‍රී වශීකරණයට: නාගවල්ලිය ස්ත්‍රී බුලතේ ස්ත්‍රී රුවක් ඇඳ ඇගේ නම ලියා වම් සුළඟිලි ලේ මිශ්‍රකර බුලතේ ගා මෙම මන්ත්‍රයෙන් 108 වර මතුරා උඩින් පන්නා පැඟිරි දරෙන් පුලුස්සා අළු ගිතෙලින් අනා නළලත ගා කැමති කාන්තාව දකිනු. වශිවේ. මන්ත්‍රය ඕං කාමක්ෂි දේවි (....නම.......) මෙ වශං කුරුකුරු ස්වාහ....  


පුරුෂ වශී කරණයට - පුරුෂ බුලත් 5ක් ගෙන එහි මැද පුරුෂ නම ලියා පුරුෂ රුව ඇඳ තමාගේ නමද ලියා ස්ත්‍රී නිමිත්තේ සොරස සමඟ සිංදුර ගොඩ මානෙල් අල හිරියල් ලුණුවිල රහසඟ කෙස් සමඟ අඹරා පහත මන්ත්‍රයෙන් 108 වර ජපකර ඇඟ ගානු. බැඳපු අය නම් රහසඟ ගානු. කිරිපැණි මෙන් එක්වේ. පරඅඹුවන් තිත්ත වෙයි. කිසිදා නොයයි.   


මේ මන්ත්‍රවල නම ඇති තැනට තමාගේ නම ලියා ගත යුතුය. මේ නිසා බුලත් කොළයේ බල මහිමය කෙතෙක්දැයි කිව නොහැකිය. එබැවින් උදාවන මහා හෙළ සංස්කෘතික උ​ෙළලේදී සිංහල අළුත් අවුරුද්දේදී බුලත් දී වැඳීම කිරිම අත්‍යවශ්‍යයම දෙයකි.   

 

 

 

 

 

ජ්‍යෝතිෂ්‍ විද්‍යාජෝති 
ජිනදාස එදිරිසිංහ