ගමේම නයි ලගින්න එන නිවෙසක්


වසර හතළිහක සිට නිවෙසට නයි එනවා   

 

විජේරත්න මහතාගේ නිවස

 

බළපිටිය නිවසක හැපින්නියෝ නයි පැටව් බුරුත්තක් දාලා යැයි රාවයක් පසුගිය දා පැතිර ගියේ අමු කැලෑවට ගිනි ගත්තා වාගේය. මේ සිද්ධිය බලන්නට සතර දෙසින් මේ නිවසට පැමිණි පිරිස ද අඩුවක් නම් නොවීය.   


එහි ගිය අපට දැනගත හැකි වූයේ මේ ගෙදරට අද ඊයේ නොව වසර 40කට ආසන්න කාලයක සිට මේ නයි එන කතාන්දරයකි.
   


අපේ නිවසේ හැම තැනම නයි ඉන්නවා. ඒ මදිවාට පැටව් ඉන්නවා නයි 11 ක් අදත් ඇල්ලු‍වා. නයි බිත්තර 10 කුත් මේ නිවසේ තිබුණා. මීට පෙර හැමදාම වගේ නයි අපේ ගෙදරට එනවා. සූනියම් දෙවියන්ට පාන තියනවා. මට ඉල්ලන දේ ලැබෙනවා. ගෙහිමියා වන බළපිටියේ පාතෙගම, සිරි සෙවණ නිවසේ පදිංචි විශ්‍රාමික උප පොලිස් පරීක්ෂකයකු වූ පී.පී. ද එස්. විජේරත්න (80) මහතා අපට පැවසීය.   


මහත්තයාලට කියන්න, වරක් නයි ජැක්සනුත් ගෙන්නලා මේ නයි අල්ලලා මාදු ගඟේ නයි දූපතට දැම්මා. ඒත් තවමත් අපේ ගෙදරට නයි එන්නේ නෑදැයෝ වගේ’’   
විජේරත්න මහතාගේ බිරිඳ මියගොස් සති දෙකක් පමණ වූ කාලයකි. මේ නයි හැපින්නියෝ මියගිය එම කාන්තාවගේ කාමරේ බිත්තර දාන්න තෝරාගෙන සිටීමද තවත් සුවිශේෂී වූ සිද්ධියකි.   


නිතර නිතර වත්ත පිටියේ නයි ගැවසෙන බළපිටියේ මේ නිවසේ කාමරයක නයි බිත්තර දැකිය හැකිය. සත්තකින්ම මේ නිවස වසර 100 කට අධික පැරණි නිවසකි. වත්තේ ද හුඹස් (තුඹස) දැකිය හැකිය. මාදු ගංගාවට ආසන්නයේ නාග දූපතේ ද නයි බොහෝ සෙයින් දැකිය හැකිය. එය ද පුදුම කතාන්දරයකි.   

 


බළපිටියේ නයි ඇල්ලීමට දක්ෂයෙකු වන හීනටියේ ජැක්සන් වීරකෝන් මහතා පවසන්නේ නයි ගැන පුදුම කතාන්දරයකි.   


නයා පහසුවෙන්ම හඳුනාගැනීමට හැකියි. ශරීර වර්ණය දුඹුරු පැහැයේ සිට කළු පැහැය දක්වා වෙනස් වේ. ශරීරයේ තැනින් තැන සුදු පැහැ තිත් දක්නට ලැබේ. දිගටි ශරීරයක් ඇති අතර හොඳින් වැඩුණු නයෙකු අඩි 6ක් පමණ දික්වේ. ඉතා කලාතුරකින් අඩි 8ක් පමණ වර්ධනය වූ අය වාර්තා වී ඇත. හඳුනාගැනීමට පහසුම පෙණය මගිනි. පෙණය විහිදුවා ගත් විට එහි ඉදිරි පසින් ඇති ලප දෙකක් වැනි සලකුණත්, පසු පසින් ඇති “ප“ අකුරේ සලකුණත් හඳුනාගැනීම පහසු කෙරේ.   


නයි බෝවීම ද සිදුවන ආකාරයද නයි සැක්සන් අප සමග කීය.   


නයාගේ බෝවීම සිදුවන්නේ බිත්තර මගිනි. සැපින්න වරකට බිත්තර 5-25 ත් අතර ප්‍රමාණයක් දමයි. ඒවායෙන් දින 48-60 අතර කාලයකදී අඟල් 8ක් පමණ දිගැති පැටවුන් පිටතට පැමිණේ.   


බළපිටිය නයි වත්තේ නයි ගෙදර විජේරත්න මහතා පවසන පරිදි මේ නිවසට නයි එන්නේ ද යම් පුදුමසහගත ආකාරයටය. 


නයි ගැන කියෙන මිත්‍යා මත ද තරමක් සත්‍ය කරවමින් මේ කතාන්දරය එක් දිශාන්තයකට නයා මෙන් ඇදීයන සෙයක් ද විජේරත්න මහතාගේ නයි කතාවෙන් පෙනීයන්නේ ය. 
මේ ගෙදරට එන නයි මරන්නේ නැත. මාදු ගංගාවේ නයි දූපත හෝ ගංගාවේ පිහිටි වෙනත් දූපතකට මේ නයි රැගෙන ගොස් දමන්නේය. 

 


නයි පැටව් ගේ පුරා තැන තැන ගොස් ඇති අතර මේ ගැන සොයා බැලීමේදී පසුගිය මස අගෝස්තු 15 දින මිය ගිය තම බිරිඳගේ කාමරයේ මෙසේ නයි බිත්තර දමා ඇති බව දැක ගත හැකි වූ බව විජේරත්න මහතා පවසයි. මින් විජේරත්න මහතා බියට පත් නොවූ නමුත්, විජේරත්න මහතාගේ දරුවන්, නිවැසියන් මහත් භීතියට පත්ව ඇති අතර අවට නිවැසියන් ද පැමිණ නිවස තුළට යාමට පවා බියෙන් තැන තැන බලා සිටින අයුරු දක්නට ලැබිණ. නයි බිය නිසා ඒ ගම බිය පත්ව ඇති සෙයකි. 


කෙසේ වුවද නයි ඇල්ලීමට දක්ෂයෙකු වන සර්පවේදී හීනටියේ ජැක්සන් වීරකෝන් මහතා ද එම ස්ථානයට ගෙන්වා සිටි අතර ඔහු සමඟ එක්ව අතුල කුමාර තරුණයා නිවසේ තැන් තැන්වල සිටි පැටවුන් අල්ලා බෝතලයකට දැමීමට සමත් විය. 


නිවසේ තව කොතරම් නයි පැටව් ප්‍රමාණයක් සිටීදැයි සිතාගත නොහැකිව ජැක්සන් මහතා එහි ඇති බඩු මුට්ටු එකින් එක ගෙන සෝදිසි කරන්නට විය. ගමේ සමහරු පැවසුවේ ඉහළ මහලේ කාමරවල තව නයි පැටවුන් සිටිය හැකි බැවින් ප්‍රවේසම් විය යුතු බවයි. 


තවදුරටත් අපට අදහස් දැක්වූ මේ නිවසේ හිමිකරු විජයරත්න මහතා පැවැසුවේ මෙවැනි අදහසකි. 


දැනට වසර හතළිහක පමණ සිට රාත්‍රී 9.00 න් පස්සෙ සූනියම් දෙවියන්ට මම එළියෙ පානක් තියනවා. ඇවිදින්න බැරි ලෙඩෙක් තොවිලයක් කරල එදාම ඇවිද්දවල තමයි මට පාන තියන්න කිව්වෙ. මට කරදරයක් වෙන දෙයක් තියෙනවනම් රාත්‍රී පාන තියල කිව්වම කියන්නෙ සාධාරණ දෙයක් නම් ඕනෑම දෙයක් ඉටුකර දෙනවා. ඔය පහනෙ මහා බලයක් තියෙනවා. 


දවසක් මම කුරුණෑගල ඩියුටි (පොලිස් සේවයේ) ගිහින් ඉන්නකොට මගෙ ළඟට නයි පැටියෙක් ආවා. මම ඒක ගැන ලියලා ගෙදරට ලියුමක් යැව්වා. පස්සෙ නෝනා ලියුමක් එවල තිබුණ එයාගෙ ඇඳ ළඟටත් ඒ දිනේ ඒ වෙලාවෙම නයි පැටියෙක් ආව කියලා. ඒ දිනවල දරුවකු ලැබෙන්න හිටිය නිසා මම සාත්තරයක් ඇහුවා. වාසනාවන්ත පුතෙක් ලැබෙනව කීවා. ඒ වගේම පුතෙක් ලැබුණා එයත් අද පොලිස් සේවය කරනවා. 


ඉතිං ඔන්න තවත් දවසක් ගෙදර වැඩට කෙනෙක් ආව. රාත්‍රී එයාගෙ ඇඳට ලොකු නාගයෙක් ඇවිත්. එයා බය වෙලා කෑ ගැහුව. පස්සෙ මම කළයක් අරන් ඇවිත් කළේට එන්න කිවුවා. නයි හාමි කරදරයක් කරන්නේ නැතිව මේ කළගෙඩියට එන්න කීවා. මහත්තයාලට කියන්න.  මෙන්න මේ සතා ඌ කළේ ඇතුළට ගියා. පහුවදා මම ඌ කැලේට අතෑරියා. 


එහා ගෙදරක සිරිපාල කියල වඩු බාස් කෙනෙක් හිටියා. දවසක් එයා ගෙදරට ආ නයෙක් මැරුවා. මාසයක් යන්නට පෙර එයා වහලෙන් වැටිල මැරුණා. නයි ගැන අපිට වෙච්ච දේ බොහොමයි. 


තවදුරටත් අදහස් දැකුවූ සර්පවේදී වීරකෝන් ජැක්සන් කීවේ මෙවැන්නකි. 


රාහු අපලවලට තමයි නයෙක් ඇඳලා බෝ අත්තක එල්ලන්නෙ. මේ සතුන් ටික මරන්නෙ නැතුව බේරුවාම මිය ගිය ඒ අම්මටත් පින් සිදුවෙනවා. අපල නැති වෙනවා. නයි මරන්න හොඳ නෑ. මම නයි සිය ගණනක් දෑතින් අල්ලල අරන් ගිහින් තියෙනවා. මම ගෙදර පරීක්ෂා කළා. දැන් නයි නෑ. 


දැන් මෙතන මාපිල්ලු‍ත් ඉන්නවා. නාගයා තව තැනක බිත්තර දාන්න යන්න ඇති. මාදු ගඟේ දූපතකට මේ අය අත හරිනවා. කොහොම උනත් මෙම සිද්ධි මාලාව දෙස බලන විට සිතා ගන්නට බොහෝ දේ ඇති බව නම් කිව යුතුය. 


නාගයන් සහ මිනිසුන් අතර සහසම්බන්ධය අනාදිමත් කාලයක සිට පවතින්නකි. මෙම ප්‍රවෘත්තිය ද ඊට ලැබුණු අලුත්ම සාධයක් ලෙස පෙනේ. 

 

 

සටහන හා ඡායාරූප
හබරාදූව නිමල් අල්ගෙවත්ත, රත්ගම විශේෂ ධර්මදාස සිරිවර්ධන