ගම්පහ ‘‘අග්‍රා’’ මැදුර ළඟදීම කටුගෙයක්


 

 

 

ගම්පහ දිස්ත්‍රික්කයෙහි පරිපාලනය සිදු කරනු ලබන කච්චේරි සංකීර්ණය පිහිටි දිගු අතීතයක් සහිත පෞරාණික ගොඩනැගිල්ල,  කැටයම් හා ගෘහනිර්මාණ ශිල්පීන්ගේ හැකියාවන් කදිමට පෙන්නුම් කොට ඇති සුවිශේෂී ස්ථානයකි. 


ගම්පහ දිසාවේ ප්‍රධාන රාජ්‍ය ආයතන ප්‍රධානීන් විසින් කාර්යාල පවත්වාගෙන යාම පිණිස මෙම මන්දිරය වර්තමානයේ භාවිතා කරනු ලබන අතර මීට වසර සියයකට පමණ ඉහතදී මෙය භාවිත කොට ඇත්තේ ඩේවිඩ් කරුණාරත්න නමැති දානපතියෙකුගේ පෞද්ගලික නිවස වශයෙනි. 


මෙම මන්දිරය ඉදිකොට ඇති එම හිමිකරු වූ ගම්පහට සුවිශේෂී සේවාවක් කොට ඇති ඩේවිඩ් කරුණාරත්න මහතා යනු මෙරටට නිදහස ලැබීමෙන් පසු බිහි වූ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවෙහි ගම්පහ නියෝජනය කළ ප්‍රථම මන්ත්‍රීවරයාය. 


ඔහුගේ අභාවයෙන් පසු කලෙක මෙම ගෘහය රජයට පවරා ගෙන ඇති අතර එතැන් පටන් ගම්පහ කච්චේරිය ලෙසින් මෙය භාවිත කරනු ලබයි. මෙම මන්දිරය ඉදිකොට ඇත්තේ ඉන්දියානු ගෘහනිර්මාණ හා කැටයම් ශිල්පයට අනුව ඉන්දියානු ශිල්පීන් විසින් බව දැනගත් තොරතුරුවලින් ප්‍රකාශ වේ. කරුණාරත්න මහතා ඉන්දියාවේ කළ සංචාරයකදී නෙත් ගැටී ඇති මෙම කැටයම් කලාව පිළිබඳ ඇති වූ දැඩි ඇල්ම මත, ඉන්දියානු කැටයම් ශිල්පීන් හා ගෘහනිර්මාණ ශිල්පීන් පිරිසක් මෙරටට ගෙන්වා වර්ෂ 1920දී පමණ මෙය ඉදිකරන ලද බව තතුදත් අය පවසති. 


මෙම ගෘහයේ විශේෂත්වය වන්නේ මෙහි ඇති කැටයම් කලාවය. දෙමහල් ගොඩනැගිල්ලක් වන මෙහි සෑම කොටසක්ම පාහේ නිමවා ඇත්තේ විවිධ ලී කැටයම්වලිනි. 
මෙහි ඇති කුලුනු කරවිල, වැටකොළු, දඹල වැනි එළවළු වර්ග සහිත කැටයම්වලින් නිමවා ඇති අතර සෑම කාමරයකම වහලයෙහි සිවිලිම් ද අලංකාර කැටයම්වලින් නිමවා තිබේ. එමෙන්ම මෙම මන්දිරයෙහි බොහෝ ගෘහභාණ්ඩ නිමවා ඇත්තේ විවිධ පැරණි කතා පුවත්වලට අනුසාරව කැටයම්වලිනි. එම ගෘහභාණ්ඩ අතුරින් දැනට ඇති කණ්ණාඩි මේසවල දක්නට ඇත්තේ නරියා සහ මිදිවැල, කුඩා දරුවෙකු නාන බේසම අසලට එන නාගයෙකුට මුගටියෙකු පහරදීම, කපුටා සහ කේජු කැබැල්ල වැනි කතා පුවත් සහිත කැටයම්ය. මෙවන් කැටයම්වලින් නිමවූ කණ්ණාඩි මේස, පුටු, කබඩ් සහ මේස අදටත් මෙහි සුරක්ෂිතව පරිහරණය කරන ආකාරයක් දක්නට ඇත. 


මෙම ගෘහයෙහි නිමැවුම් සඳහා වැඩි වශයෙන් යොදා ගෙන ඇත්තේ රැංගුන් තේක්ක හා බුරුම තේක්ක වැනි වටිනා දැව වර්ග බව ද පැවසේ. 


වර්තමානයෙහි මෙම මන්දිරය තුළ ගම්පහ දිසාවේ ප්‍රධාන රාජ්‍ය ආයතනයන්හි කාර්යාල පවත්වාගෙන යාම පිණිස යම් යම් වෙනස්කම්වලට ලක් කොට ඇතත් මෙහි පෞරාණික බව රැකගැනීම කෙරෙහි දැඩි අවධානයක් යොමු කොට ඇති බව මෙහි වත්මන් ආයතන ප්‍රධානියා වන ගම්පහ දිසාපති සුනිල් ජයලත් මහතා පවසයි. 


“අග්‍රා” මන්දිරය පිළිබඳව අදහස් දක්වමින් දිසාපතිවරයා ප්‍රකාශ කොට සිටියේ මේ වනවිට කච්චචේරි සංකීර්ණයෙහි ඉදිවෙමින් පවතින දිස්ත්‍රික් පරිපාලන ගොඩනැගිල්ලෙහි කටයුතු අවසන් වූ පසුව මෙම මන්දිරය පුරාවිද්‍යාව දෙපාර්තමේන්තුවේ මගපෙන්වීම යටතේ දිසාපති කාර්යාලයෙහි පූර්ණ අධීක්ෂණය මත, කෞතුකාගාරයක්, ලෙස සංරක්ෂණය කිරීමට සැලසුම් කොට ඇති බවය. 


තවද සුනිල් ජයලත් මහතා මෙම ගෘහය පිළිබඳව අදහස් දක්වමින් පවසා සිටියේ ගම්පහ දිසාවට නාග ගෝත්‍රිකයින්ගේ සම්බන්ධයක් ඇති බවට සඳහන් වන බැවින් මෙම ගොඩනැල්ලේ කැටයම් බොහොමයක නයි පෙනය සහිතව නිර්මාණ කොට ඇති බවක් දැකිය හැකි බවය. 


වරක් මෙම ගෘහය දැකබලා ගැනීමට පැමිණි මෙරට ප්‍රවීණ විශ්ලේෂකයෙකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ ජේ.ආර්.පී. සූරියප්පෙරුම මහතාද පවසා ඇත්තේ මෙය කෞතුකාගාරයක් කළ යුතු බවය. 


මෙම අග්‍රා මන්දිරය ඉදිකිරීම පිණිස මෙරටට පැමිණි ඉන්දියානු කැටයම් ශිල්පීන් හා ගෘහනිර්මාණ ශිල්පීන් විසින් කොළඹ විශ්වවිද්‍යාලයෙහි, කොලේජ් හවුස්, නමින් හැඳින්වෙන ගොඩනැගිල්ල හා කොළඹ ශ්‍රාවස්ති මන්දිරය ද තනවා ඇති බවද පැවසේ. 


මෙම මන්දිරයෙහි අලංකාර බව සේම ගෘහයට අවශ්‍ය සිසිලස ලබා ගැනීමේ අරමුණින් වටිනා ශාක සහ ඖෂධ පැළෑටි වගා කොට තිබී ඇති අතර මින් සුළු ප්‍රමාණයක් භූමියෙහි අදටත් සුරක්ෂිතව පවතින ආකාරය දක්නට ඇත. 

 

 

 


මෙම “අග්‍රා” මන්දිරය කැටයම් කලාව හා ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳ ඇල්මක් දක්වන සැමට දැනුම්වත් බවක් ලබා ගැනීමට සුවිශේෂී වූ ස්ථානයක් බව සදහන් කළ හැකිය. 
(මෙම ලිපිය සකස් කිරීමේදී තොරතුරු ලබා ගැනීම පිණිස සහාය ලබාදීම සිදු කළ ගම්පහ වත්මන් දිසාපති සුනිල් ජයලත් මහතාටත් කලකට ඉහතදී තොරතුරු ලබා ගැනීමට සහාය වූ අභාවප්‍රාප්ත ඩේවිඩ් කරුණාරත්න මහතාගේ මිනිපිරියන් වන ගුණසේකර සහ චූලනී ජයවර්ධන යන මහත්මීන්ට සහ ගම්පහ හිටපු නාගරික මන්ත්‍රී චන්ද්‍රසේන මහතාට, “ඉරිදා ලංකාදීපය” වෙනුවෙන් ස්තුතිය) 

 

 

සටහන සහ ඡායාරූප 
තිලකරත්න දිසානායක - ගම්පහ