ගමට කෝටියක් ගෙනා යෞවන යෞවනියෝ


“උත්සාහය උක් දණ්ඩක් වැන්නේ - වැළඳූ පසුවයි මිහිර දැනෙන්නේ..” 


හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස සූරීන් රචනා කරන ලද ගී පද මාලාවක පද පේළිවල රසයට වඩා එහි අර්ථයට, සාධාරණීකරණයක් කරන්නට පොල්පිතිගම අන්දරයායේ තරුණ පිරිස ගත් උත්සාහයට ‘‘ගමට රුපියල් කෝටියක්” ලබාදෙන්නට වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය දා කටයුතු කළේය. 


මාර්ග සංවර්ධන අධිකාරිය විසින් රුපියල් කෝටි තුනක (3) වියදමින් ඉදිකරන්නට ඇස්තමේන්තු කරන ලද අන්දරයායේ අඩි හැට නවයක් (69) දිග පාලමක් රුපියල් ලක්ෂ හතළිස් පහක (45) වියදමින් ඉදිකරන්නට වයස අවුරුදු පහළවත් විස්සත් (15-20) අතර දරුවන් පිරිසක් සමත්වූහ. 


ඔවුහු පොල්පිතිගම, අමුණුකොළේ  “ප්‍රභාස්වර” යෞවන සමාජයේ සාමාජිකයෝ වෙති. 2018 වසරේ ඇරැඹි මෙම යෞවන සමාජයේ ආරම්භක සභාපතිනිය වන, දුලන්ජලී ශාලිකා වැඩසටහන මෙහෙයවනු ලැබුවාය. 


 ජාතික තරුණ සේවා සභාව හරහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ක්‍රියාත්මක “ගමට කෝටියක්” වැඩසටහන සඳහා ප්‍රභාස්වර යෞවන සමාජය සම්බන්ධ වෙන්නේ 2018 දීය. සාමාජික සාමාජිකාවන් තිස්පස් (35) දෙනෙකුගෙන් යුත් යෞවන සමාජයෙහි ක්‍රියාකාරී සාමාජිකයන් විස්සක් (20) පමණ සම්බන්ධ කරගෙන “ගමට කෝටියක් ” වැඩසටහන මාස තුනක් ඇතුළත සාර්ථකව නිම කරන්නට ඔවුහු සමත් වූහ. 


කුරුණෑගල - ඉබ්බාගමුව, මඩගල්ල මාර්ගයේ අමුණුකොළේ පාර, බෝගහමුල වැවේ පිටවාන හරහා ඇති පාලම ඉදිකිරීමට ඇය යෝජනා කරනු ලැබුවේ දැඩි වර්ෂා සහිත කාලවලදී තම ප්‍රදේශයේ ජනතාව විඳින දුක් ගැහැටවලට විසඳුමක් වශයෙනි. ගම්මාන අටක (8) පමණ පවුල් දහසක (1000) සාමාජිකයන් දස දහසකට අස්වැසිල්ලක් වෙමින් දිග අඩි 69ක් සහ පළල අඩි 14කින් යුක්ත පාලම මාස තුනක් තුළ දී රුපියල් ලක්ෂ 45ක වියදමකින් ඉදිකරන්නට ඔවුහු මහත් ශ්‍රමයක් කැප කළහ. 


 20 වැනි වියෙහි පසුවෙන ශාලිකාගේ අනෙකුත් සියලු සාමාජික සාමාජිකාවන් වයස අවුරුදු පහළොවත් විස්සත් අතර එම ගමේම සහෝදර නංගිලා මල්ලිලාය. ඔවුන් මෙහෙයවන්නට තමාට හැකි වීම පිළිබඳව ඇය බෙහෙවින් සතුටට පත්වන්නීය. 


හාතිගමුව, අන්දරයාය, අමුණුකොළේ, හිරලුගම, ලියනගම, පොල්පිතිගම, මොරගොඩ, කෝන්වැව ආදී ගම්මානවල ජනතාවට අස්වැසිල්ලක් වෙමින් ඉදිකරන ලද පාලම සඳහා බොහෝ දෙනෙකුගෙන් උදව් උපකාර ලබා ගන්නට ප්‍රභාස්වර සාමාජිකයන්ගේ එකමුතුකමට හැකි විය. 


මෙම පාලම ඉදිකරන්නට රුපියල් කෝටි ගණනින් ඇස්තමේන්තු ඉදිරිපත් කළ ඇතැම් රාජ්‍ය ආයතන සහ කොන්ත්‍රාත්කරුවන්ට අභියෝගයක් වෙමින් මෙම නව යොවුන් කණ්ඩායම මෙවැනි භාරදූර කාර්යයකට අත ගසන්නේ රුපියලක්වත් අතැතිව නොවේ. ඔවුන්ගේ සම්පත් වූ එකමුතුකම, සංවිධාන ශක්තිය, වුවමනාව සහ කැපවීම මත ඉදිවෙන මෙම පාලම ඉදිකිරීමේ දී මුහුණ දුන් අභියෝග පිළිබඳව ශාලිකා සමග කතාබහ කරන්නට ඉරිදා ලංකාදීප අපි ඉඩ වෙන් කළෙමු. 

 

 


“මම උසස්පෙළ විභාගය කළේ 2017 දී. ඊට පස්සේ මං 2018 යෞවන සමාජයට බැඳුණා. ඒ අවුරුද්දෙම මම පොල්පිතිගම යෞවන සමාජයේ සභාපති බවට පත්වුණා. මගේ අනෙක් සාමාජිකයෝ ඔක්කොම මට වඩා බාල නංගිලා මල්ලිලා. ඔක්කොම සාමාජිකයෝ විස්සක් විතර ඉන්නේ. මේ අයත් එකතු කරගෙන මේ ව්‍යාපෘතිය කරන්න අපි තීරණය කළා. අපි මීට පෙර මේ වගේ වැඩ කරලා නෑ. ඒ වුණාට අපි හරි කැමතියි සමාජ සේවා කටයුතුවලට. පාසලේදී විෂය බාහිර කටයුතු අපි හැමෝම කරලා තියෙනවා. ඒවා මේ කටයුත්තට සහයෝගයක් වුණා. 


මේ ව්‍යාපෘතිය කරන්න ගමේ නංගිලා මල්ලිලා එක්ක මමත් එකතු වීම ගැන අද සතුටු වෙනවා. 2018 සැප්තැම්බර් 20 වෙනිදා තමයි මේ පාලම ඉදිකරන්න මුල්ගල් තැබුවේ. ඊට පස්සේ නොවැම්බර් මාසයේදී මේ ප්‍රදේශයට ඇතිවුණු අධික වර්ෂාව නිසා ගංවතුර තර්ජනයක් එල්ල වුණා. ඒ වෙනකොට අපි පාලමේ වැඩ කටයුතු බාගයක් කරලයි තිබුණේ. පාලම යට වුණා. ඉදිකරපු සමහර තැන් හේදිලා ගියා. එහෙම වෙද්දි අපිට බය හිතුණා මේ වැඩකටයුතු සාර්ථකව අවසන් කරන්නට බැරි වෙයි කියලා. ඒ වගේම තමයි, මේ පාලම ඉදි කරපු එක ස්ථානයක් තිබුණා, හරියටම මාසයක් එක දිගට අපි ඒ වළ කැපුවා. වළ කපලා ආයෙත් පහුවදාට යද්දි කඩාගෙන වැටිලා. මේ ආකාරයට හරියටම මාසයක් එක දිගට ම මේ සිද්ධිය වුණා. මේ ගැන ගමේ වැඩිහිටියෝ අපිට කිව්වේ “මේක වැවේ පිටවාන නිසා අපිට නොපෙනෙන බලවේගයක් විසින් මේ වැඩ කටයුතු කරගෙන යන්නට දෙන්නේ නෑ” කියලා. නමුත් ඒ සියලු බලවේග ජයගන්න අපට පුළුවන් වුණා. උපරිමෙන් වැඩ කරලා 2018 දෙසැම්බර් දහ වැනිදා වෙන විට පාලමේ වැඩ අවසන් කරන්නට අපට පුළුවන් වුණා. අපේ ව්‍යාපෘතිය සඳහා අපට ලොකු ශක්තියක් වුණේ, අපේ ගමේ මිනිස්සු. අපේ අම්මලා තාත්තලා ලොකු ශක්තියක් වුණා. විශේෂයෙන්ම මගේ බාප්පා දයාරත්න, යුධ හමුදා විශ්‍රාමිකයෙක්. ඔහු සමහර දවස්වලට තනියම ඇවිත් මේ පාලමේ වැඩ කටයුතුවලට සම්බන්ධ වුණා. ඒ වගේම ප්‍රදේශයේ ස්වෙච්ඡා සංවිධාන ගණනාවක සහයෝගය අපිට නිරන්තරයෙන්ම ලැබුණා. මේ විදිහට වැඩ කටයුතු කරගෙන යන අවස්ථාවල දී අපි අධෛර්යමත් වුණු, වැටුණු අවස්ථා තිබුණා. අපිට හරියට බිල් ටික හදාගන්නවත් වෙලාවක් තිබුණේ නෑ. අපේ යෞවන සමාජයේ නිලධාරීන් සියලුම සාමාජික සාමාජිකාවන් මේ සඳහා විශාල කැපවීමක් කළා. ඒ වගේම තරුණ සේවා නිලධාරී කසුන් ප්‍රසාද් රත්නායක සර්ගෙන් ලැබුණු සහයෝගය අගය කරන්න ඕනෑ. ඒ වගේම අපිව මේ වගේ තත්ත්වයක් කරා රැගෙන යන්නට ලොකුම දායකත්වය, ලොකුම ඉලක්කය නිරන්තරයෙන්ම අපිට ලබා දුන්නේ දිස්ත්‍රික් තරුණ සේවා නිලධාරී ආර්.ඩබ්ලිව්. සුනිල් චන්ද්‍ර‌සිරි සර්. එතුමාගේ මෙහෙයවීම සහ ශක්තිය ‘‘ගමට කෝටියක්” ගෙන එන්න ලොකු ශක්තියක් වුණා . 
ඒ අනුව මාර්ග සංවර්ධන අධිකාරිය හරහා කොන්ක්‍රීට් බීම්, හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුගෙන් අවශ්‍ය සියලුම වැලි, හිටපු ප්‍රාදේශීය සභා සභාපතිතුමාගෙන් කළුගල් ආදී වශයෙන් ද්‍රව්‍යමය ආධාර ලැබී ඇති අතර, යාපහුව එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක අචිනි ලොකුබණ්ඩාර මහත්මිය ලක්ෂ පහළවක්, පොල්පිතිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රුපියල් ලක්ෂයක්, වල්පොළ ධම්මානන්ද හිමි රුපියල් පනස් දහසක්, අමුණුකොලේ සණස බැංකුවෙන් මූල්‍ය ආධාරයක් ලෙස මෙම ව්‍යාපෘතිය සඳහා මූල්‍යාධාර ලැබී ඇත. අමුණුකොළේ සහ හීරලුගම මරණාධාර සමිතිවලින් උදව් උපකාර, පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ උපදෙස් යනාදිය ලබාගෙන මෙම බාරදූර කාර්යය අවසන් කළා. 
 වැඩකටයුතු කරගෙන යන අතරතුර දී ඇති වූ මූල්‍යමය ගැටලු සඳහා ශාලිකාගේ සහ ශාලිකාගේ මවගේ, භාණ්ඩාගාරික කවිඳු ශ්‍රීමාල්ගේ මවගේ රන් ආභරණ ද උගසට තබා මුදල් යෙදවූ බව ද ශාලිකා පැවසීය. 

 

 


ඊට අමතරව ‘‘ප්‍රභාස්වර” යෞවන සමාජයේ ඇතැම් සාමාජිකයන්ගේ මව්පියන්ගෙන් ද ණය ආධාර ලබාගෙන මෙම වැඩ කටයුතු කළ බව ඇය පවසන්නීය. 


“මේ වැඩ කටයුතු කරන අතරතුර දී අපි දෙසැම්බර් දහ වැනිදා වැඩ ඉවර කරනවාත් සමග දෙසැම්බර් එකොළොස් වැනිදා දිස්ත්‍රික් විනිශ්චය සඳහා ආවා. අපිට එහි දී පළමු ස්ථානය ලැබුණා. ඊට පස්සේ දෙවෙනි විනිශ්චය සඳහා දෙසැම්බර් 14 වෙනි දා ආවා. ඒක ජාතික විනිශ්චයක් නිසා අපි ගොඩක් බය වුණා. මං එදා ගොඩක් හැඬුවා. ඒකට හේතු වුණේ පොත්පත්වල පුංචි පුංචි අඩුපාඩු තිබීම. අපි මීට පෙර මේ වගේ වැඩක් කරලා තිබුණේ නෑ. පොත් හදන්නේ කොහොමද කියලා දැනගෙන හිටියේ නැහැ. ගල්ගමුව ප්‍රදේශයේ ව්‍යාපෘතියක පොත්පත් බලාගෙන ඇවිත් අපි ලිපිලේඛන සකස් කළා. පසුගිය ජූලි දහනව වෙනිදා (19) වෙනකම් අපි දැනගෙන හිටියෙ නෑ අපි ප්‍රථම ස්ථානය ලබාගෙන, ගමට කෝටියක් ජයග්‍රහණය ලබාගෙන කියලා. අද අගමැතිතුමා අතින් මෙය ලබාගන්න ලැබීම පිළිබඳ පුදුමාකාර සතුටක් දැනෙනවා. 


මේ ජයග්‍රහණයත් එක්ක ගමේ ව්‍යාපෘති ගණනාවකට යෝජනා ඇවිත් තියෙනවා. එනමුත් මම දැන් ඒ ගමේ යෞවන සමාජයේ සභාපති විතරක් නෙවෙයි, මම ප්‍රාදේශීය බල මණ්ඩලයේම සභාපතිනිය විදිහට දැන් කටයුතු කරනවා. ඒ නිසා අපේ බලාපොරොත්තුව පොල්පිතිගම ප්‍රදේශයටම වැඩ කටයුතු කිරීමයි. අපේ මේ ප්‍රදේශය ඉතාමත් දුෂ්කර සහ කටුක ප්‍රදේශයක්. අපිට පානීය ජලය නැහැ. ඊටත් වඩා රැකියා ප්‍රශ්න තියෙනවා. අපේ ප්‍රදේශයෙ එළවළු, පලතුරු විශාල වශයෙන් විනාශයට පත් වෙනවා. ඒකට හේතුව, පසු අස්වනු තාක්ෂණය නොමැතිකම. ඒ නිසා මගේ බලාපොරොත්තුව ආහාර තාක්ෂණය පිළිබඳ ආයතනයක් ආරම්භ කිරීමත්, ඒ හරහා විශාල පිරිසකට රැකියා අවස්ථා ලබාදීමයි. ඊට පස්සේ මේ ප්‍රදේශයේ ජල අවශ්‍යතාව සපුරාලීමටත් අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා.” 


උත්සාහය, කැපවීම තුළින් අනාගතය සකසා ගන්නට වෙර දරන දරුවන්ට අත්වැලක් සපයන ජාතික තරුණ සේවා සභාව පිළිබඳව ජනතාව තුළ අැත්තේ මහත් ප්‍රසාදයකි. ඊට හේතුව ලෙස ඔවුන් කියා සිටියේ, විවිධ සංවර්ධන ව්‍යාපෘතිවල දී බොහොමයක් ආයතන මුදල් කාබාසිනියා කරද්දී, ජාතික තරුණ සේවා සභාව දරුවන් ශක්තිමත් කරමින්, මුදල්වලට සහ ශ්‍රමයට වටිනාකමක් දී කරනු ලබන මෙවැනි කටයුතු අගය කළයුතු බවය. 

 

 


සටහන, ඡායාරූප
චාන්දනී දිසානායක