ගඟේ දේවාලය සහ ගණ දෙවියෝ


 

‘වන්දේ ශම්භූ උමාපතිම් සුරගුරුම් වන්දේ ජගත්කාරනම්  
වන්දේ පන්නක භූෂනම් මිගදරම් වන්දේ පශුනාම්පතිම්  
වන්දේ සූර්ය්‍ය සසාංක වන්හි නයනම් වන්දේ මුහුන්දප් ප්‍රියම්
වන්දේ භක්ත ජනාශ්‍රියන්තවරදම් වන්දේ ශිවම් සංකරම්’ 

 

‘ශිවරාත්‍රී පුරාණය’ සහ ‘බ්‍රහ්මාණ්ඩ පුරාණයට’ අනුව තමන් අතරින් බලවතා කවුරුන්ද යන්න තෝරා ගැනීම සඳහා මහා බ්‍රහ්මයා සහ මහා විෂ්ණු දෙවියන් අතර, තරගයක් ඇති විය. එහිදී තීරණය වූයේ ඊශ්වර දෙවියන්ගේ ප්‍රමාණය කොපමණද යන්න සොයා බැලීමයි.  


මහා බ්‍රහ්මයා හිස දක්වා උසත්, මහා විෂ්ණු දෙවියන් පාදය දක්වා වන ප්‍රමාණයත්, සෙවීමට එකඟ වූහ. ඌරු වේශයක් ගත් මහා විෂ්ණු දෙවිඳුන් පාදය සොයා ගියත්, එසේ කිරීමට නොහැකි වූ විට, තරඟය අතහැර දැමීමට තීරණය කළේය.  


හිස සොයා ගිය මහා බ්‍රහ්මයාට ද හිස සොයා ගැනීමට නොහැකි විය. එසේ සොයා යන අතරතුර වැටකෙයියා මලක් හමුවිය. දෙදෙනාටම තමන් බලාපොරොත්තු වූ ආකාරයෙන් හිස හා පාදය සොයා ගැනීමට නොහැකි වුවත් මැවුම්කාර මහා බ්‍රහ්මයාණන් පරාජය පිළිගැනීමට මැළි විය.  


දෙදෙනා හමුවූ විට තමන් හිස දුටු බවත් අත ඇති වැටකෙයියා මල එයට සාක්ෂි බවත් මහා බ්‍රහ්මයා පවසා සිටියේය. මේ අවස්ථාවේ මහා ආලෝකයක් විහිදුණු අතර, ඒ තුළින් ශිවලිංගම් හි උපත (ලිංගෝත්භවය) සිදුවිය.  
ඒ නවම් මස අව තුදුස්වක තිථිය යෙදී තිබූ දිනකදීය. මෙහිදී ශිව දෙවියන්ගේ හිස දුටු බවට බොරුවක් ප්‍රකාශ කළ මහා බ්‍රහ්මයාට ඊශ්වර දෙවියන්ගේ ශාපයකට ලක්වීමට සිදු විය. ඒ කිසිම තැනක මහා බ්‍රහ්මයා වෙනුවෙන් වෙන්වුණු මූලස්ථාන දේවාලයක් ඇති නොවන ලෙසටත්, සාක්ෂි ලෙස යොදා ගත් වැටකෙයියා මල කිසිම පූජාවකට යොදා නොගන්නා ලෙසත්ය.  


‘ශිව ලිංගම්හි, පහළ වීම ඒ ආකාරයෙන් සිදුවිය.  


මේ අතර, දඩයම සඳහා වන වැදුණු දඩයක්කරුවකුට පැමිණි මාර්ගය සොයා ගැනීමට නොහැකි වී අතරමං විය. රාත්‍රිය උදාවිය. දරුණු කොටියෙක් දඩයක්කරු දැක ඔහු පසු පස පන්නන්නට විය. කොටියාගෙන් බේරීමට දඩයක්කරු අසල තිබූ බෙලිගසකට නැග ගත්තේය. දඩයක්කරු බිමට බසින තෙක් කොටියා බෙලි ගස මුල ලගින්නට විය. එවිට ශිව දෙවියන්ගේ බැතිමතකු වූ දඩයක්කරු ඕම් නමඃ ශිවාය යන්න ජප කරමින් ගසේ වූ බෙලි පත්‍ර එකකින් එක කඩා බිමට දමමින් නිරාහාරව නොනිදා රාත්‍රිය පහන් කළේය. කෙසේ වුවද ඔහු ගසින් කඩා දැමූ බෙලි පත්‍ර සියල්ල වැටී තිබුණේ බෙලි ගස පාමුල වූ ශිවලිංගයක් මතටය. උදෑසන දර්ශනය වූ ශිව දෙවි​ෙයා් දඩයක්කරුට ආශිර්වාද කළහ. ශිව රාත්‍රී පූජෝත්සවයේ ආරම්භය මෙම සිද්ධීන් මුල් කරගෙන සිදුවිය.  


දැඩි ශිව බැතිමතකු වූ රාවණා රජුගේ මරණින් පසු ලංකාවට ඇති වන ශාපයෙන් මිදීම සඳහා රාවණා රජුගේ වන්දනාවට පාත්‍ර වූ දේවාලද, ඇතුළත්ව ලංකාව වට කොට ඊශ්වර දේවාල පහක් ඉදිකරවන ලදී. පංචේශ්වර නමින් හඳුන්වන මෙම දේවාල, මන්නාරම, තිරුකේතීෂ්වරම් යාපනය (කීරිමලේ) නගුලේෂ්වරම්, ත්‍රිකුණාමලය, කෝනේෂ්වරම්, හලාවත මුන්නේෂ්වරම්, මඩකළපුව තාන්තෝන්ඩේෂ්වරම් නම් වේ. මෙම දේවාල පහේම පිහිටි ශිවලිංගම් ස්වභාවිකව පහළ වූ (ස්වයංභූලිංගම්) හෝ දෙවියන්, සෘෂීන් විසින් අතින් සාදන ලද ඒවා වේ.  


ඊශ්වර දෙවියන්ගේ වාස භවනය වශයෙන් සලකන ඉන්දියාවේ කෛලාශය (හිමාලය) සහ ශ්‍රී ලංකාවේ​ සෙල්ල කතරගම ගණ දෙවි දේවාලය පිහිටන්නේ අක්ෂාංෂ 82° සීමා වේය. කතරගම දෙවියන් හා වල්ලි මෑණියන්ගේ විවාහය සිදුකිරීම නිමිති කොට ඒ වෙනුවෙන් ගණ දෙවිඳුන්ට පූජෝපහාර දැක්වීමට, ඉදිකරන ලද මෙම දේවාලයේ ඉතිහාසය කිව නොහැකි තරම් ඈතට දිව යයි. ගණ දෙවිඳු ප්‍රමුඛ විශාල දෙවි දේවතාවුන් ප්‍රමාණයකගේ ජීවමාන පාදස්පර්ශය ලැබීමෙන් පාරිශුද්ධත්වයට පත් මෙම දේවාලයේ, වන අනෙක් විශේෂත්වය නම් ගණ දෙවිඳුන්ගේ දකුණු පසින් පොළොවෙන් පැන නැගී තවමත් වැඩෙමින් පවතින ශිව ලිංගයයි. (ස්වයංභූලිංගම්)  
ඔබගේ වම් අත දෙසින් දිස්වන්නේ ගණ දෙවිඳුන් අසල වැඩෙමින් පවතින (ස්වයංභූලිංගම්) ශිව දෙවි හාමුදුරුවන්ය.  


මේ නිසා ඉහත දේවාල පහේ සහ මෙම දේවාලයේ ශිව රාත්‍රී පූජෝත්සවය අති විශේෂ වේ. දේව පුරාණයන්හි සහ වේදයේ සඳහන් වන පරිදි එදින බැතිමතුන් යම් කාරණාවක් වෙනුවෙන් උපවාස කරමින් රාත්‍රිය නොනිදා පහන් කරමින් ශිව දෙවියන්ට ප්‍රාර්ථනා කරන්නේද, එය නිතැතින්ම ඉටු වේ. සෙල්ල කතරගම ගණ දේවාලයේ මෙවරද, 2018 පෙබරවාරි මස 13 වන දිනට යෙදී ඇති මහා ශිව රාත්‍රී පූජෝත්සවය ඉතා ඉහළින් සිදු කිරීමට මේ වන විටත් කටයුතු සැලසුම් කර ඇත.  


2018 පෙබරවාරි මස 13 වන දින පෙරවරු 2.30 ට මහා ගණපති හෝම පූජාවත් සමග ආරම්භ කර පෙරවරු 3.00 ට මහා අභිෂේකම් පූජාව සිදු කරනු ලැබේ. ඉන් අනතුරුව උදෑසන 6.00 ට, 9.00 ට දහවල් 12.00 ට සවස 3.00 ට සවස 6.00 මහා පූජාවන් පවත්වනු ලබයි. රාත්‍රී 8.00 ට මහා පූජාවෙන් පසු රාත්‍රී 8.30 අරඹන මහා ගණපති හෝම පූජාව සහ අභිෂේක පූජාවෙන් අනතුරුව රාත්‍රී 12.00 ට පවත්වනු ලබන මහා පූජාව විශේෂිත වේ. පසුව 14 වන දින උදෑසන 3.00 ට උදෑසන 6.00 ට පූජාවන් තැබීමෙන් පසු මහා ශිව රාත්‍රී පූජෝත්සවය නිමාවට පත්වේ.  


මෙහිදී සිදු කරනු ලබන පූජා කටයුතුවලට අමතරව බැතිමතුන්ට දානය ලබාදීමටත්, අනෙකුත් පහසුකම් සැපයීමටත් මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇත.  


ඔබ මහා ශිව රාත්‍රී පූජාවට සහභාගී වන බැතිමතකු හෝ බැතිමතියක් නම් දැන් සිටම ඒ සඳහා සූදානම් වන්න. මස් මාංශයෙන් වළකින්න. යහපත් සිතුවිලි වලින් මනස සකස් කරගන්න. අන් අයට උදව් උපකාර කරන්න. එසේ කැපවූ ඔබට, ඔබ ශිව රාත්‍රී දින පූජාවේදී බලා​පොරොත්තු වන කාරණා හා ප්‍රාර්ථනා ඒ ආකාරයෙන්ම ඉටුවන බව දැක ගත හැකිය.  


එම කාරණාවන් වෙනුවෙන් පැයෙන් පැයට පොල් ගෙඩි විසි පහක් (25) බිඳිමින් ප්‍රාර්ථනා කළ බැතිමතුන් ඊළඟ, වර්ෂයේදී අප වෙත දැනුම්දී ඇත්තේ තමන්ගේ ප්‍රාර්ථනා ඒ ආකාරයෙන්ම ඉටුවූ බවය. ඔබ විසින් දෙවියන් අභිෂේක කිරීම සඳහා කිරි ලබාදීමට බලාපොරොත්තු වන්නේ නම් පෙබරවාරි 13 වන දින සවස 6.00 ට පෙර දේවාලයට ලබා දීමට කාරුණික වන්න. 

 
විශේෂයෙන් පත්‍ර තුනම සහිත බෙලි කොළ කිහිපයක් හෝ බෙලි කොළ මාලයක් නැති නම් රුද්‍රාක්ෂ මාලයක් පූජා කිරීමට හැකි නම් වඩාත් සුදුසුවේ.  


බැතිමත් ඔබටත්, ශ්‍රී ලංකාද්වීපයටත් ශ්‍රී මහා ගණපති දෙවිඳුන්ගේ, මහේෂ්වර දෙවිඳුන්ගේ පිහිට, ආරක්ෂාව නිරතුරුව ලැබේවා.  

 

 

 

 


ලෝකා සමස්තා සුඛිනෝ භවන්තු සමස්ත සහ මංගලානි සන්තු  

 


ලෝවැසි සියලු සත්ත්වයෝ සැප සම්පත් ඇත්තෝ වෙත්වා සියල්ලන්ටම සියල්ලම මංගල්‍යයක් වේවා.