ගංවතුරට දිවි දුන් වීරයාට රත්නපුරේ හැදූ ස්මාරකය


වසර සියයකට වඩා පැරණියි

ස්මාරකයේ ලියැවී ඇති සටහන

 

රත්නපුරය යන නාමය ඇසූ පමණින් අපට සිහිවන්නේ මැණික්ය. රත්නපුරයට එම නාමය ලැබීමටද හේතු වී ඇත්තේ මෙම භූමිය ඈත අතීතයේ සිටම මැණික් ආකරයක් වීම නිසාවෙනි. මේ කියන්නට යන්නේ මැණික් ගැන කතාවක් නම් නොවේ. උතුම් වූ කාර්යයක් ඉටුකර දිවියෙන් සමුගත් මැණික්වලටත් වඩා වටිනා පුද්ගලයෙකු පිළිබඳවය. 


ඔහු නම් එස්.ටී. කාර්තිගේශන්ය. ඔහු සිහිපත් කරනු වස් තැනූ ස්මාරකයක් රත්නපුර නගරයේ පදික වේදිකාවේ අද පවා නිහඬව රැඳී තිබේ. අද රසවිතෙන් දිග හැරෙන්නේ එස්.ටී. කාර්තිගේශන් මහතා වෙනුවෙන් රත්නපුරයේ ඉදිකර ඇති සියවසකටත් වඩා පැරැණි මේ ස්මාරකය පිළිබඳවය. 


සමන් දෙවියන්ගේ අඩවිය වූ රත්නපුරය මැණික්වලට ප්‍රචලිත සේම ගංවතුරටද ඒ තරමටම ප්‍රසිද්ධියක් උසුලයි. සමනළ ගිරි මුදුනෙන් හටගන්නා කළු ගඟ නිසංසලව ගලා ගොස් කළුතරින් මුහුදට වැටුණද වර්ෂා කාලයේදී එය ගලා බසින්නේ රත්නපුරයට ඇති පදමට වතුර ලබාදෙමිනි. මෙසේ කළු ගඟ පිටාර ගැලීම නිසා 1857, 1872, 1893, 1913, 1957, 1969, 1978, 1982 හා 2003 යන වර්ෂයන්වලදී විශාල ජීවිත හානි සිදුකරමින් මහා ගංවතුර තත්ත්වයන් ඇති වූ බව වාර්තා වී ඇත. අද දිගහරින කතා ප්‍රවෘත්තියද රත්නපුරයේ මේ මහා ගංවතුර සමඟ බැඳී පවතී. 


කොළඹ සිට පැමිණෙන ඔබ රත්නපුර නගරය ආසන්නවත්ම වම් පසින් පිළිවෙළින් මිහිඳු විද්‍යාලය හා ජාතික කෞතුකාගාරය පසුකරනු ලබයි. ජාතික කෞතුකාගාරය පසුකර මීටර 10කටත් වඩා අඩු දුර ප්‍රමාණයක් එම දිශාවෙන්ම ඉදිරියට ගිය විට පදික වේදිකාව හරස් කරමින් එහි මධ්‍යයේ ගොඩනගා ඇති පෙට්ටියක හැඩය ගත් ඉදිකිරීමක් දැකගත හැකිය. තනිකරම ගලෙන් නිමවා ඇති මෙම නිර්මාණය පිළිබඳව ඒ අවට ජීවත්වන හා ඒ අවට වෙ​ෙළඳ කටයුතු සිදුකරන කඩ හිමියන් පවා වැඩි අවධානයක් යොමුකර නොමැති බව පෙනේ. ඔවුන් මෙය දුටුවේ පදික වේදිකාවේ ගමන් කරන්නන්ට ඇති බාධකයක් ලෙසය. 


 

මෙහි වටිනාකම නොදත් නිසාවෙන්ම ඇතැම් අවස්ථාවලදී නගරයේ තාප්ප විදුලි කණු වසාගත් පෝස්ටර් මෙම ස්මාරකයේද අලවා තිබූ බවට සාධක තවමත් වැස්සට සේදී යමින් පවතී. මීට සියවසකට පමණ ඉහතදී එක් දිනක ඇති වූ මහා වර්ෂාවක් සමඟ කළු ගං කොමළිය සැඩ පරුෂ ලෙස දෙගොඩ තළා යන්නට විය. එම අවධියේ මෙම ස්මාරකය අසල වූ පහත භූමියේ ඇළ මාර්ගයක් පැවති ඇති අතර මෙම ගංවතුර නිසා එයද පිටාර ගලමින් පැවත ඇත. 


මේ කාලයේ රත්නපුරයේ දිස්ත්‍රික් ඉංජිනේරුවරයා ලෙස සේවය කර ඇත්තේ එස්.ටී. කාර්තිගේශන් මහතාය. ඔහු දිනක් මහා වැසි මධ්‍යයේ මෙම ස්ථානයෙන් ගමන් කරමින් සිටින විට දැක ඇත්තේ මහා ජල පහරකට හසුවී ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වී සිටින ස්ත්‍රීන් පිරිසකි. යටත් විජිත පාලන සමයේ උසස් තනතුරක නියැළී සිටි කාර්තිගේශන් මහතා මෙසේ මරණය අසල සිටින ස්ත්‍රීන් පිරිස නොදැක්කා සේ නොගොස් වහාම දියට පැන්නේ මනුෂ්‍ය ජීවිතයක වටිනාකම හොඳින් හඳුනන මිනිසෙකු වූ නිසාවෙනි. 
එහෙත් සිදුවූයේ මහත් ඛේදවාචකයකි. ඒ මහා ජල පහරත් සමඟ පොරබැඳීමට එම මහතාට අපහසු වූ අතර දියෙහි ගිලී සිටි ස්ත්‍රීන් ගොඩබිම වෙත ගෙනෙන විට ඔවුන් සමගම කාර්තිගේශන් මහතාද දියේ ගිලී මරුමුවට පත්ව ඇත. තමන්ගේ ජීවිතය පිළිබඳව නොසිතා අනුන් වෙනුවෙන් දිවි පිදූ මේ ශ්‍රේෂ්ඨ ඉංජිනේරුවා සිහිපත් කරනු වස් එකල ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය මෙම ස්මාරකය ඔහු මිය ගිය ස්ථානයේම තනවා තිබේ. 


 මනාව කපා ඔපමට්ටම් කරන ලද ගල් කුට්ටි භාවිතයෙන් ඉදිකරන ලද මෙම ස්මාරකයේ පාදම චතුරස්‍රාකාර ස්වභාවයක් ගනී. පාදම කොටස හැරුණවිට මධ්‍ය කොටස ගල් පේලි 7කින් සමන්විත වේ. ඉහළින් වූ 7වෙනි පේලිය අවසානයේ ලීස්තරයක් සහිතව තනි ගල් කුට්ටියකින් සකස් කරන ලද කුලුනු හිස වේ. එහි කොළඹ-රත්නපුර මාර්ගයට මුහුණලා ඇති පැත්තේ ඉංග්‍රීසි බසින් මෙම ස්මාරකය තැනීමේ හේතුව සඳහන් කර තිබේ. එහි සිංහල අරුත “අන් අයගේ ජීවිත ගලවා ගැනීම සඳහා මෙම ස්ථානයේදී සිය ජීවිතය පූජා කළ ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් ඉංජිනේරු එස්.ටී. කාර්තිගේශන් මහතා සිහිකිරීම පිණිස එම දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය 1913 ඔක්තෝබර් මස මෙම ස්මාරකය ඉදිකරන ලදි”. 


 පදික වේදිකාවේ දිනපතා ඔබ මොබ යන රත්නපුර මිහිඳු විද්‍යාලයේ හා ෆර්ගසන් බාලිකාවේ දරු දැරියන්ට සේම රත්නපුර වැසියන්ට බාධාවක් ලෙස පෙනෙන අරුතක් නොදත් මෙම ස්මාරකය ශ්‍රේෂ්ඨ මිනිසෙකු සිහිපත් කරනු වස් තැනූ පැරැණි ස්මාරකයක් බව සිහිපත් කරන්නේ හෙට දින මෙම ස්ථානයෙන් යන ඔබට එය බාධාවක් සේ නොපෙනෙනු පිණිසය. 

 

 

කේ. උදේනි අරුණසිරි 
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව රත්නපුර