ගං ඉවුරු කපා වැලි අදින ජාවාරම්කාරයෝ


 

  • දැවැන්ත ගස් අද මහපොළව සිප ගෙන

 

නීත්‍යනුකූල ​​නොවන අයුරින් මෙරටේ ඇතැම් ගංගා හා ඇළ මාර්ගවලින් මහා පරිමාණ වැලි ගොඩ දැමීම හේතුවෙන් එම ගංගා ඇළවේලිවලටත් පරිසරයට මෙන්ම වන සතුන්ට සිදුවන හානිය අතිවිශාලය.   


වැලි ගොඩ දැමීම සඳහා අප රටේ ප්‍රසිද්ධ ප්‍රදේශ වන්නේ මනම්පිටිය, කන්තලේ, මහියංගනය, මහවැලි ගංගාව, වැලිකන්ද සහ මාදුරු ඔයයි.   


මෙම ප්‍රදේශවල විවිධ රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන විවිධ සංවිධානාත්මක දේශපාලන ආධාරකරුවන් මෙන්ම මහා පරිමාණ ව්‍යාපාරිකයින් බලගතු අය වැලි ජාවාරම ජයටම සිදුකරන්නේ කලක පටන්ය.
 මෙලෙස ගංගා ඉවුරු, පරිසරය වනසමින් සිදුකරන අනවසර වැලි ගොඩ දැමීමෙන් පරිසරයටත් වන සතුන්ටත් අපටත් සිදුව අති දැවැන්ත පරිසර හානිය මහා ඛේදවාචකයක් බවට පත්ව හමාරය.   


පොළොන්නරුව මාදුරු ඔය සිට නිහඬව වැලිකන්ද දෙසට ගලා බසින කුඩා ඔය ආශ්‍රිත වැලිකන්ද වඩමුණේ ප්‍රදේශය මේ වනවිට සංවිධානාත්මක වැලි ජාවාරම්කරුවන්ගේ කදිම තෝතැන්නක් බවට පත්ව තිබේ.   
දිවා රාත්‍රි සිදුකරන මෙම මහා පරිමාණ අපරාධය මෙතෙක් බලධාරීන්ට නොපෙනීම මවිතයට කරුණකි.   
මෙම මහා අපරාධය නිසා ඉවුරු තුළත් ගංගාවේ මැදත් අහස උසට වැඩුණ කුඹුක් ගස්වලටත් මහා රුක්ෂ වනස්පතින්ටත් වඩමුණේ ප්‍රධාන පාලමටත් සිදුව තිබෙන හානිය අතිවිශාලය.   


මෙම වැලි ජාවාරම්කරුවන් ප්‍රදේශයේ කුඩා ඔය ගංගාවේ කිලෝ මීටර් දෙක තුනක පමණ දුර ප්‍රමාණයක් ගංගාවේ හා ගං ඉවුරුවල තිබූ දැවැන්ත කුඹුක් ගස් දහස් ගණනක් මහා පොළවට හාන්සි කර හමාරය.   
ගං ඉවුරු කපා ට්‍රැක්ටර් රථ බැකෝ යන්ත්‍ර ගඟට බස්සවා, ටිපර් රථ මගින් සතර දිසාවට වැලි ප්‍රවාහනය කිරීමෙන් මාර්ග පද්ධතිය මෙන්ම වඩමුණේ පාලමත් පණ අදිමින් සිටින බව පරිසරවේදීහු සිහිපත් කරති.  
සෝමාවතිය ජාතික වනෝද්‍යානයත් මාදුරු ඔය ජාතික වනෝද්‍යානයත් රක්ෂිත රැසකට මැදිව ඇති මෙම වඩමුනේ කුඩා ඔය ගංගාව ආශ්‍රිතව සැරිසරන වන අලින් මෙන්ම සෙසු වන සතුන්ගේ ජීවිතවලට ද දැඩි තර්ජන එල්ල වී හමාරය.  


 බොහෝ ලෙස වන සතුන් දඩයම්කරුවන්ගේ ගොදුරු බවට පත්වන්නෙත් මේ ආශ්‍රිත සැරිසරන වන අලින් ගම් වැදීමටත් මෙම වැලි ජාවාරම්කරුවන්ගේ ක්‍රියාකාරකම් තදින් බලපා ඇති බව ද පරිසරවේදීහු මෙන්ම අවට ගම්වාසීහු පෙන්වා දෙති.   


කොතරම් හමුදා පොලිස් විශේෂ කාර්ය බළකා ආරක්ෂක රැකවල් මේ අවට තිබුණ ද මේ මහා පරිමාණ වැලි ජාවාරම්කරුවන් ආරක්ෂක අංශවල දෑස්වලට ද වැලි ගසා සිදු කරන මෙකී විනාශයට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීම ද කාටත් පුදුමයට කරුණකි.   

 


අහිංසක මිනිසෙකු ස්ථිර නිවසක් ඉදිකර ගැනීමට කුඩා ට්‍රැක්ටරයකින් වැලි ටිකක් ගොඩ දැමීමට ගිය විට ආරක්ෂක අංශවලිනුත් පරිසර බලධාරීනුත් වටලා කුදලා ගෙන උසාවියට දමා දඩ නියම කරන යුගයක ට්‍රැක්ටර්, ටිපර්, ජේ.සී.බී. යන්ත්‍ර කෑ මොර දී ගංගා වනසා මෙම ජාවාරම නිදහසේ සිදු කරගෙන යෑමට අවසර දී ඇත්තේ කුමන ආශිර්වාදයක් නිසා ද යන්න අප හමුවේ පවතින ප්‍රධාන ප්‍රශ්නයයි.   


අසරණ ගොවියෙකු උදලු මිටක් කපා ගැනීමට අසල රක්ෂිතයට ගිය විට ද අල්ලා නීතිය ක්‍රියාත්මක කරන වකවානුවක වැලි කන්ද වඩමුණේ අහස උසට වැඩුණු මහා කුඹුක් ගස් දහස් ගණනින් වැලි ජාවාරම්කරුවන් බිමට සමතලා කරද්දී ඒවාට දේශපාලකයාගේ සිට සියලු ආයතනත් ආරක්ෂක අංශත් නිහඬව සිටීම ඊළඟට මේ හරහා මතුවන ප්‍රබල ගැටලුවකි.   


අප රටේ ඉදිකිරීම් ක්ෂේත්‍රයට වැලි අත්‍යවශ්‍ය සාධකයක් වුවද ඒවා මෙරටේ ගංගා සහ ඇළ මාර්ගවලින් ලබාගන්නා ක්‍රමවේදයක් රජය විසින් සකසා තිබේ. එනමුදු ගංගා ඇළ දොළ හාරා පරිසරය වනසා මේ සිදු කරන බරපතළ විනාශයේ ආනිසංස, ඵල විපාක ස්වභාව ධර්මයෙන්ම අපහට විඳීමට සිදුවන කාලය වැඩි ඈතක නොවන බව අපි ජනතාවගේ නාමයෙන් පෙන්වා දීමට කැමැත්තෙමු.   


මෙම ප්‍රදේශයේ එක්රොක් වන වැලි නිසි අවසරයකින් හා නීත්‍යනුකූලව කැණීමේ බලපත් 30කට ආසන්න සංඛ්‍යාවක් මීට මාස 10කට පමණ ඉහත දී භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය මගින් නිකුත් කර තිබුණ ද ඒවා තාවකාලිව නතර කර ජාවාරම්කරුවන්ට අනවසරයෙන් දිවා රාත්‍රි වැලි ගොඩ දැමීමට අනියම් අයුරින් අවසර ලබා දුන්නෝ කවුරුන් ද?

  
පරිසරවේදීන් මෙන්ම ප්‍රදේශවාසීන් පවසන ආකාරයට මෙම මහා පරිමාණ වැලි ගොඩ දැමිල්ලට කොළඹ, අනුරාධපුරය යන ප්‍රදේශවලින් දේශපාලන ආධාරකරුවන් යන එන බවත් එම වැලි තොග වැලිකන්ද නාමල්ගම ගම්මානයෙන් මඩකළපුව, වාලච්චේන, ඕටමාවඩි යන ප්‍රදේශවල තැන්පත් කර පසුව කොළඹ හා අවට ප්‍රදේශවලට අලෙවි කරන බවත්ය.   

 

අනවසරයෙන් වැලි ගොඩ දැමීම හා ප්‍රවාහනය.  

 


මෙම මහා පරිමාණ වැලි ජාවාරම හා පරිසර විනාශය පිළිබඳව ප්‍රදේශවාසීන් හදිසි දුරකතන ඇමතුම් අංශය දැනුවත් කළ ද දින කිහිපයකට පසුව පැමිණ වැලි ජාවාරම්කරුවන් කිහිප දෙනෙකු අල්ලා උසාවියට යොමු කළ ද දඩ මුදල් ගෙවීමෙන් පසු පසු දිනම යළි ජාවාරම ක්‍රියාත්මක වන බව ද සඳහන්ය. 

 
මතු පරපුර රැකෙන්ට ඇති පාරිසරික උරුමයන් වනසන නරුම නිලධාරීන් ඉන්නා රටක පරිසරයට එකී විනාශයන් සිදුවනවා අරුමයක් නොවුණ ද පරිසරයට වන සතුන්ට ‘හෙණ’ ගැහුවත් කම් නැහැ තමන්ගේ මඩිය තර කර ගන්නා ඇතැම් අන්තවාදීන් කිහිප දෙනෙකු ද මෙම ජාවාරම පිටුපස සිටින බව පළාතේ කාටත් සනාථ වී තිබෙන කරුණකි.   


කිහිප දෙනෙකුගේ සුඛවිහරණය සුබ සිද්ධිය වෙනුවෙන් වැලිකන්ද, වඩමුණේ, මාදුරු ඔය, කුඩා ඔය වැනසෙන්නේ අප රටේ වටිනා පරිසර උරුමයන්ය.   


මහවැලි ගංගාවේන් සෙසු ගංගා ඇළ වේලිවල තිබෙන වැලි තරමටම මුදල් ඉපයීමට කෙළ හළන මෙම මහා පරිමාණ වැලි ජාවාරම්වලට තිත තැබීමේ නීති සම්පාදානය විය යුතු කාලයයි.   


එසේ නොමැති වුවහොත් අප රටේ මේ වැලි කැණීම් කරන ආකාරයට ගංගා, ඇළ දොළ, ජල උල්පත් අප රටට ඉතිරිවේද යන්න සැක සහිතය.   

 

ගංගාවට හානි සිදුව ඇති අයුරු

 

 

පොළොන්නරුව, වැලිකන්ද, වඩමුණේ මහ දවල් එළිපිට සිදුවන මෙම වැලි හා පරිසර විනාශය පිළිබඳව අප භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශයේ සභාපති අනුර වල්පොළ මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමක දී සඳහන් කළේ එම පරිසර විනාශය පිළිබඳවත් අනවසර වැලි ගොඩ දැමීම පිළිබඳව සොයා බලා වැටලීම් කර නීතිමය පියවර ගැනීමට කණ්ඩායමක් පත් කරන බවයි.  


අනතුරුව අප භූ විද්‍යා පතල් කැණීම් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් සත්ජන ද සිල්වා මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමක දී ඔහු පැවසුවේ වැලි ජාවාරම් සිදුවන සැණින් හදිසි දුරකථන ඇමැතුම් අංශයට දැනුම් දෙන ලෙසය. එම අනවසර වැලි ජාවාරම සම්බන්ධයෙන් සොයා බලා නීතිමය පියවර ගැනීමට අවශ්‍ය කටයුතු කරන බව ඔහු පැවසීය.

 

සටහන හා ඡායාරූප
මනම්පිටිය නිමල් ජයරත්න