කෝටි හත්සීයේ දියමන්තිය පාතාලයට ගිය හැටි


 

 

පොලිස් වෙසින් ගොස්, පන්නිපිටිය ඇරැව්වල ප්‍රදේශයේ කෝටිපති මැණික් ව්‍යාපාරිකයකුගේ නිවසින් රුපියල් කෝටි 700ට අධික වටිනා කැරට් 750 දකුණු අප්‍රිකානු දියමන්තියක් ඇතුළු මැණික් ගල් කිහිපයක් පැහැර ගැනීම මාකඳුරේ මධුෂ් නැමැති පාතාල සාමාජිකයාගේ අපරාධ ලයිස්තුවට අලුතින් එක් වූ විශාලම කොල්ලය බවට පත්ව තිබුණි.   


 ඉකුත් නොවැම්බර් මස 5 වැනි දින ඕස්ට්‍රේලියානු ජාතික විදේශිකයා තවත් ලංකාවේ මැණික් තරැව්කරුවකු සමග මෙම දියමන්තිය රුපියල් කෝටි 700 කට මිලදී ගැනීම සඳහා ව්‍යාපාරිකයාගේ ඇරැව්වල නිවසට ගොස් සිටියදී පොලිස් වෙසින් පැමිණි කොල්ලකරුවන් ව්‍යාපාරිකයා ඇතුළු පිරිස බිය ගන්වා බිම දණගස්සවා දියමන්තිය, තවත් මැණික් ගල් කිහිපයක්, විදේශිකයා සහ බ්‍රෝකර් ඇතුළු කිහිප දෙනකු විසින් පැහැරගෙන ගොස් තිබුණි.   


මෙම කොල්ලය මෙතෙක් ශ්‍රී ලංකාවේ සිදුවූ විශාලතම දියමන්ති කොල්ලය වශයෙන් ඉතිහාස ගත වන අතර මේ සඳහා යොදාගත් විදේශිකයා ද මැණික් බ්‍රෝකර් ද මධුෂ්ගේම ගෝලයන් බවට පොලිසිය සැකකරයි.   


 මෙහි විශේෂිතම සිදුවීම වන්නේ රුපියල් කෝටි 700 ට අධික වටිනා මෙම දියමන්තිය කොල්ල කා දින දෙකක් තරම් කාලයක් තුළ එය මෙරටින් රැගෙන ගොස් ඩුබායි රටේ සැඟව සිටින මධුෂ් අතට පත් කිරීමට කොල්ලකරුවන් සමත් වීමයි.   


 මෙම ව්‍යාපාරිකයා මෙරට බලපත්‍රලාභි ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයකු වන අතර කැරට් 750 දියමන්තිය වසර දෙකක කාලයක සිට අලෙවි කිරීමට සූදානමින් සිටියද ඔහුට නිසි ගැනුම්කරුවකු හමු වී නොමැත. 

 
 මේ අතර ඉකුත් නොවැම්බර් 1 වැනි දින බ්‍රෝකර් කෙනෙකු සමග විදේශිකයකු මෙම දියමන්තිය බැලීමට ව්‍යාපාරිකයාගේ ඇරැව්වල නිවසට ගොස් තිබුණි.   
 එදින ඔහු කිසියම් යන්ත්‍රයකින් දියමන්තිය පරීක්ෂා කර ලබා එම යන්ත්‍රය ප්‍රමාණවත් නොමැති බවත් දින හතරකින් වෙනත් යන්ත්‍රයක් රැගෙන යළි නිවසට පැමිණෙන බවට ව්‍යාපාරිකයාට දැනුම් දී නිවසින් පිටව ගොස් තිබුණි. 

 
ඒ අනුව ඉකුත් 5 වැනි දින පෙරවරුවේ තවත් මැණික් බ්‍රෝකර් කෙනෙක්, භාෂා පරිවර්තකයකු ඇතුළු තිදෙනකු සමග ව්‍යාපාරිකයාගේ නිවසට ගොස් සිට ඇති අතර එහි දී දියමන්තිය පරීක්ෂා කර බලා එය මිල දී ගැනීමට කැමැත්ත පළකර තිබුණි.   


 පිරිස එම නිවසේ තේ පානය කරමින් තොරතුරු කතා කරමින් සිටියදී පොලිස් නිල ඇඳුම් හා සාමාන්‍ය ඇඳුම්වලින් සැරසුණ කොල්ල කණ්ඩායමක් ගිනි අවිද රැගෙන නිවසට කඩා වැදී ඇත.   


 එම පැමිණි පිරිස “උඹලා ජාත්‍යන්තර වශයෙන් මත්කුඩු හා නීති විරෝධී ජාවාරම්වල නිරත වන බවට අපිට තොරතුරු ලැබී තිබෙනවා.ගේ පරීක්ෂා කිරීමට අවශ්‍යයි” කියා නිවස සෝදිසිකර එම ස්ථානයේ තිබූ වටිනා දියමන්තිය ඇතුළු මැණික් ගල් සමග විදේශිකයා ඇතුළු පිරිස වෑන් රථයේ නංවාගෙන පැහැරගෙන ගොස් තිබුණි.   


පසුව ව්‍යාපාරිකයා මෙම කොල්ලය සම්බන්ධයෙන් පොලිසියට කළ පැමිණිල්ලක් අනුව මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබූ අතර සිද්ධියේ එක් සැකකරුවකු මීට පෙර අත්අඩංගුවට ගෙන ඇත.   


මෙම කොල්ලයට සෘජුවම සම්බන්ධ වූ මාකඳුරේ මධුෂ්ගේ ගෝලයෙක් පසුගිය දෙසැම්බර් මස (1) සවස රත්මලාන මැලිබන් හංදියේ දී මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත් අතර ඔහු හෙළි කළ තොරතුරු අනුව පොලිසිය මෙම කොල්ලයේ සියලු තොරතුරු සොයාගෙන තිබුණි.   
 මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු මාතර, රොටුව ප්‍රදේශයේ පදිංචි තුසිත මධුරංග (38) හෙවත් “මාතර මල්ලි” නමැත්තාය. 

 
 මෙම කොල්ලය සඳහා මාතර මධුෂ් නැමැත්තා සැකකරුට රුපියල් ලක්ෂ 50ක මුදලක් දෙන බවට පොරොන්දු වී ඇති අතර ඒ වෙනුවෙන් අත්තිකාරම් මුදල වශයෙන් රුපියල් ලක්ෂ 2 ක මුදලක්, ජංගම දුරකතනයක් දී ඇත.   


මාතර මල්ලි 2002 වසරේ කොළඹට එන්නේ බොරලැස්ගමුව ප්‍රදේශයේ ඇඟලුම් ආයතනයක රැකියාවක් සඳහා ය. එහි සේවය කරන අතරතුර 2003 - කාලයේ සිට වැල්ලවත්ත ප්‍රදේශයේ දී අවි පෙන්වා රන්බඩු හලක් කොල්ලකා තිබුණි. එම නඩුව තවමත් මහාධිකරණයේ විභාග වෙමින් පවතී.   


2010 අතර කාලයක දක්වා පිළියන්දල, මත්තෙගොඩ, මතුගම, මොරටුව යන ප්‍රදේශවල රන්බඩු හල් හා වෙළෙඳ සලක් කොල්ලකෑම, රත්මලානේ පාතාල සාමාජිකයන් දෙදෙනකු වෙඩි තබා ඝාතනය කිරීම, බැංකු කොල්ලකෑම යන අපරාධ සම්බන්ධයෙන් මාතර මල්ලිට චෝදනා එල්ල වේ.   


 මෙම අපරාධ සම්බන්ධයෙන් නඩු කිහිපයකින් සාක්කි නොමැතිකමින් මාතර මල්ලි නිදහස් වී ඇති අතර තවත් නඩු කිහිපයක් විභාග වෙමින් පවතියි. මෙම සිද්ධීන් සම්බන්ධයෙන් මාතර මල්ලි බන්ධනාගාර ගත වී සිට පැමිණි පසුව විවාහ වී ඇත.   


 ඔහු වසර ගනණක කාලයක පටන් කිසිදු අපරාධ ක්‍රියාවකට සම්බන්ධ නොවී බිරිඳ හා දරු දෙදෙනා සමග හොරණ ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන දිවි ගෙවා තිබුණි.   


අත්අඩංගුවට පත්වන අවස්ථාව වන තෙක්ම ඔහු රැකියාව වශයෙන් වීරකැටිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ විහාරස්ථානයක රියැදුරකු වශයෙන් කටයුතු කරමින් සිටි ඇති අතර ප්‍රසිද්ධ දේශපාලනඥයකගේ පුතෙකු ගේ සහයෙන් ඔහු එම රැකියාව කරගෙන ගොස් තිබුණි.   


 වසර කිහිපයක් එලෙස කාලය ගෙවමින් සිටි මාතර මල්ලිට මෙම වසරේ මාර්තු මාසේ දිනක මාකඳුරේ මධුෂ්ගෙන් හදිසියේ ඇමැතුම් ලැබී තිබුණි.   


එහිදී ඩුබායි රටේ සිට මධුෂ් ඔහුට කතා කරමින් මල්ලි, දැන් මොකද කරන්නේ යැයි විමසා ඇත. “මම පන්සලේ ඩ්‍රයිවින් ජොබ් එකක් කරනවා” යැයි මාතර මල්ලි ප්‍රකාශ කර ඇත. 

 
 මධුෂ් ඔහුට නිතර නිතර කතා කරමින් “ඔහොම නිකම් ඉන්න එපා. මල්ලි අපි එකතුවෙලා වැඩකරමු.” යැයි ඉල්ලීමක් කර ඇත. එයට ප්‍රතිචාර වශයෙන් ඔහු මම දැන් ජීවිතය හදාගෙන ඉන්නේ මට ළමයි දෙන්නෙක් ඉන්නවා. ඒ නිසා පෙර දේවල් ආයෙත් කරන්න මම කැමති නැහැ” යනුවෙන් මධුෂ්ට දැනුම් තිබුණි. .   


 ඔහු එසේ කීවත් මධුෂ් ඔහුගේ උත්සාහය අත්හැරියේ නැත. නැවත දිනක දුරකතනයෙන් ඔහු ඇමතූ මධුෂ් එහෙම කියන්න එපා මලයා ඔයාට ප්‍රශ්න තියනවා නේ, අපිත් එක්ක එකතු වෙමු. ප්‍රශ්න විසඳා ගන්න සල්ලි කොච්චර ඕනේ ද? යන්න මධුෂ් විමසා ඇත. ‘‘මට රුපියල් ලක්ෂ 10-15 වගේ තිබුණොත් මට ඉඩම් කෑල්ලක් අරගෙන ගෙයක් හදාගෙන මගේ පාඩුවේ ඉන්න තිබුණා” යැයි මධුෂ්ට පවසා තිබුණි.   


“හරි අපි එකතු වෙමු. මම ලක්ෂ 15 වෙනුවට ලක්ෂ 50 ක්ම දෙන්නම්. මොකද කියන්නේ අපි එකතු වෙමුද” යනුවෙන් මධුෂ් ඉල්ලීමක් කර ඇති අතර එම ඉල්ලීමට ඔහුට අවනත නොවී සිටීමට බැරි විය.   


ඒ අනුව මධුෂ් ඔහුට රුපියල් ලක්ෂ 2 ක මුදලක් සහ ජංගම දුරකථනයක් ද ලබා දී තිබුණි.   


“මල්ලි මේ ෆෝන් එකට ලොකු කඩවලින් රී ලෝඩ් දාගන්න එපා. පොඩි කඩවලින් රුපියල් 50 ක ෆෝන් කාඩ් විතරක් දාන්න.” දුරකථන අංකයක් ලබා දෙමින් ඔහු සමග අවශ්‍ය කටයුතු කරන ලෙසටත් දැනුම් දී තිබුණි.   


මධුෂ් විසින් ලබාදුන් දුරකතන අංකය අනුව ඔහු සමග සම්බන්ධකම් ගොඩනගාගෙන තිබූ අතර කතා කළද එම පුද්ගලයා පෞද්ගලිකව හඳුන්නේ නැති බවට මාතර මල්ලි පොලිසියට ප්‍රකාශ කර තිබුණි.   


පුද්ගලයා මාතර මල්ලි අමතමින් “අපිට කරන්න මැණික් කේස් එකක් තියනවා” යැයි පවසමින් ඉකුත් 5 වැනි දින මෙම කොල්ලය සිදුවීමට පෙර පෙරවරුවේ මාතර සිට පිළියන්දල බැංකුව අසලට ගෙන්වාගෙන ඇත.   


පසුව එම ස්ථානයට පැමිණි වෑන් රථයකට මාතර මල්ලි ගොඩවී ඇත. එම වෑන් රථයේ තිදෙනකු ගමන්ගෙන ඇති අතර තවත් යතුරුපැදියක් වෑන් රථය පිටුපසින් පැමිණ ඇත. මාතර මල්ලි මෙම කිසිවකු ඔහු හඳුනන්නේ නැති බවට පොලිසියට කියා ඇත.   


වෑන් රථය තුළ දී එහි සිටි පිරිසෙන් කෙනෙකු මාතර මල්ලිට මිලි මීටර් 3.8 වර්ගයේ පිස්තෝලයක් සහ මාංචු කුට්ටමක් දී තිබුණි.   


මෙම කොල්ලය සම්බන්ධයෙන් පිරිස මාතර මල්ලිට අවශ්‍ය උපදෙස් ලබා දී ඇති අතර මාංචු කුට්ටමක් ලබා දෙමින් උපදෙස් ලබා දී තිබුණේ මැණික් ව්‍යාපාරිකයාගේ නිවසේ විදේශිකයකු සිටින බවත් එම නිවසට ගිය විගසම විදේශිකයාට මාංචු දමා ඔහු වෑන් රථයේ නංවා ගන්නා ලෙසටයි. 


වෑන් රථය ඇරැව්වල බලා පැමිණෙමින් සිටින අතරේ එක් අයකු පොලිස් නිල ඇඳුමට සමාන නිල ඇඳුමකින් සැරසී ඇත. මධුෂ් පිරිසට උපදෙස් ලබා දී තිබුණේ එහි සිටින පිරිසට පොලිස් නිලධාරීන් වශයෙන් පෙනෙන ආකාරයෙන් සිට කොණ්ඩා කපා ගන්නා ලෙසටයි. 

 
ඒ අනුව සියලු දෙනා කොල්ලයට සූදානම් ව ව්‍යාපාරිකයාගේ නිවසට ගොස් තිබුණි.  

කොල්ලකරුවන් ව්‍යාපාරිකයාගේ නිවසට පැමිණීමට පෙර ඔවුන්ගේ උපදෙස් මත ව්‍යාපාරිකයා කල් තියා එම නිවසට ගොස් තිබුණි.   


මෙම දියමන්තිය බැලීම සඳහා කොල්ලය සිදුකිරීමට දින 4 පෙර එම නිවසට ගිය විදේශිකයා හා මැණික් බ්‍රෝකර් එම නිවසට ගොස් ඇත්තේ මාකඳුරේ මධුෂ් නමැත්තාගේ කීමට බවට පොලිසිය තොරතුරු හෙළි කරගෙන ඇත.   


මොවුන් දෙදෙනා ඇරැව්වල ව්‍යාපාරිකයාගේ නිවසට ගොස් දියමන්තිය පරීක්ෂාකර බලා ඒ සියලු තොරතුරු මධුෂ්ට දන්වා ඇති අතර ඒ අනුව කොල්ලය සැලසුම් කර ඇති බවද කියති.   


දින හතරකින් මැණික් පරීක්ෂා කිරීමේ යන්ත්‍රයක් රැගෙන නැවත පැමිණෙන බවට විදේශිකයා ඉකුත් 1 වැනි දින ව්‍යාපාරිකයාට දැනුම් දී තිබු අතර එම දැනුම් දීම අනුව ඔහු සමග මැණික් විකිණීමේ බෝකර් කෙනකු, භාෂා පරිවර්තකයකු ඇතුළු තිදෙනකු එම නිවසට ගොස් ඇත.   


ඔවුන් පැමිණ දියමන්තිය පරීක්ෂා කර බලා එම නිවසේ දී තේ පානය කර පැය 1/2 ට අධික කාලයක් පමණ රැඳී සිටියදී පොලිස් වෙසින් පැමිණි කොල්ලකරුවන් පිරිස එක වරම මෙම නිවසට කඩා වැදී ඇති අතර මාතර මල්ලි පෙර දැනුම් දීම අනුව එහි සිටි විදේශිකයාට මුලින්ම මාංචු දමා වෑන් රථයට නංවාගෙන ඇත.   


ඒ අනුව සැකකරුවන් නිවසේ සිටි ව්‍යාපාරිකයා ඇතුළු පිරිස බියගන්වා. එම නිවසේ කාමරයකට දමා බිම දණගස්සවා ඔවුන් සතුව වටිනා දියමන්ති හා මැණික් ගල් කිහිපයක් පැහැරගෙන විදේශිකයා ද සමග වෑන් රථයෙන් පලාගොස් ඇත.   


එදින පෙරවරුවේ විදේශිකයා අතරමග දමා ගොස් තිබුණි. 

 
මෙම කොල්ලය සිදුවීමෙන් පසු මධුෂ්ගේ දැනුම් දීම මත මැණික පාර්සල් කර ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි මැණික් බ්‍රෝකර් කෙනෙකු වෙත ලබා දී ඇත.   
පොලිසිය පවසන ආකාරයට එම විදේශිකයා සහ බ්‍රෝකර් කොල්ලය සිදුකර 7 වැනි දින එකම ගුවන් යානයෙන් දිවයිනෙන් පිටව ගිය අතර ඔවුන් හරහා මධුෂ්ට මෙම දියමන්තිය හා මැණික් ගල් ලැබෙන්නට ඇති බව කියැවේ.   


මෙම දියමන්තිය රුපියල් කෝටි 700 ට වඩා වටිනා එකක් බවට දැනට හෙළි වී ඇති අතර එය කෝටි 1300 ක් පමණ වන එකක් බවට ද දැනට තොරතුරු හෙළි වී තිබේ.   
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගෙන සිටි අයියා නැමැත්තා විසින් දියමන්තිය පාර්සල් කර බ්‍රෝකර්ට භාර දී ඇති බවද කියති.   


සිද්ධියේ ව්‍යාපාරිකයා පොලිසියට පැමිණිලි කර ඇත්තේ මෙම මැණික් ගල විදේශ රටකින් ඔහුට ලැබුණ බවත් එය විකුණා ගැනීමට වසර දෙකක් පමණ කාලයක් ගත වූ බවකි.   
මෙම දියමන්තිය බැලීමට බෝකර්වරුන් 7-8 දෙනකු මීට පෙර පැමිණ ඇති අතර ඔවුන් ගැනුම්කරුවන් රැගෙන එන බව කියා ගියද ඔවුන් කිසිවකු ගැනුම්කරුවන් රැගෙනවිත් නොමැත.   


අවසානයේ ඉහත සැකකාර බ්‍රෝකර් මෙය බැලීම සඳහා පැමිණ පසුව ගැනුම්කරු වශයෙන් විදේශිකයා රැගෙනවිත් ඇති බවද පොලිසිය පවසයි.   


ශ්‍රී ලංකාවේ විශාලතම දියමන්ති කොල්ලය සම්බන්ධ සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වයි.   


නුගේගොඩ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික්‍රමසිංහ, කොට්ඨාස භාර පොලිස් අධිකාරි ප්‍රසාද් රණසිංහ යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ, නුගේගොඩ විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන්, උප පොලිස් පරීක්ෂක හේමන්ත කුමාර, පොලිස් සැරයන්වරුන් වන මෙන්ඩිස් (20553), සුනිල් (56991), ප්‍රසන්න (40248), (14530) සිසිර, (21284) බණ්ඩාර, (81600) සමීර, (72338) ලලන්ත (84762) කුමාර, (77688) අමිල යන මහත්වරු පරීක්ෂණ පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගත්හ. 

 

 

 

 සටහන - ඉන්දිකා රාමනායක