කොළඹට මැණික් කෞතුකාගාරයක් ගෙනා“රම්සි ජෙම්ස්”


අභියෝග ජයගත් මිනිස්සු

 

 

මොහොමඩ් රාසික්ගේ පරපුරේ අය එකල නිරත වූයේ වෙළෙඳාමෙහිය. ආපනශාලා වැනි දේ මෙන්ම හෝටල ද පවත්වාගෙන ගිය වෙළෙන්දෝ වූහ. රාසික්ගේ පවුලේ සහෝදර සහෝදරියන් හත්දෙනෙකි. එයින් සමහර අය රැකියාවල නිරතව සිටින අතර, කීපදෙනෙක් විදෙස්ගතව සිටිති. මේ පවුලේ ‘මැණික්’ ව්‍යාපාරයට පිවිසි එකම චරිතය වන්නේ මේ මොහොමඩ් රාසික් පමණකි.   


එනමින් හැඳින්වීමට වඩා ශ්‍රී ලාංකීය ප්‍රජාව අතර මොහොඩ් රාසික්ගේ ව්‍යාපාරය ප්‍රකටව අැත්තේ “රම්සි ජෙම්ස්” නමිනි. රම්සි යනු රාසික්ගේ වැඩිමහල් පුත්‍රයාය.   
සාමාන්‍ය පවුලක චරිතයක් ලෙස එදා මැණික් ව්‍යාපාරයට ආ රාසික් විවාහ වූයේ සිංහල බෞද්ධ කාන්තාවක සමගය. රම්සි ඒ යුවළගේ වැඩිමල් පුතුවන අතර, රාසික් යුවළට දියණියෝ දෙදෙනෙක්  සිටිති. අද මේ ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂ තනතුරු දරන්නේ රාසික් යුවළගේ ඒ දූ-පුත්තු වෙති.   


අද රම්සි ජෙම්ස් ගැන ව්‍යාපාරික ලෝකය කතා වන්නේ නොබෝදා කොළඹදී විවෘත කළ රම්සි ජෙම්ස් නවීනතම ශාඛාව නිසාය. එය රාසික්ගේ පුතු රම්සිගේ සංකල්පයකට අනුව නිර්මාණය වූවක් වන අතර, එහි අලෙවි කෙරෙන්නේ ඉතා උසස් තත්ත්වයෙන් සහ ගුණයෙන් යුතුව නිර්මාණය වූ ස්වර්ණාභරණ වන අතර, ඒවා අනර්ඝත්වය නිසා ඉහළ වටිනාකමකින් යුතුය. මීට අමතරව මෙහි ඇති විශේෂත්වය වන්නේ, මැණික්වලට සමාන වූ විවිධ පාෂාණවලින් සමන්විත කෞතුකාගාරයක් තිබීමය.   


“මැණික් ව්‍යාපාරයට ආදා සිට විනෝදාංශයක් ලෙස මම පොළොවෙන් ලැබෙන විවිධ වර්ගයේ පාෂාණ එකතු කරන්න පටන් ගත්තා. මැණික් පොළොවෙන් එකවර හමුවන පාෂාණ නොවෙයි. ඊට පෙර ඉල්ලම දක්වා මැණික් සොයා යෑමේදී විවිධ පාෂාණ වර්ග අපට හමුවෙනවා. එවැනි පාෂාණ වර්ග එකතුවක් තමයි ​ෙම්.”   


රාසික්ගේ පුත් රම්සි මෙම මැණික් කෞතුකාගාරය ගැන පවසන්නේ එලෙසිනි. ඔහු ඉතා නිර්මාණශීලී සහ කලාත්මක සිතිවිලි ඇති තාරුණ්‍යයේ චරිතයක් වග පෙනේ. අද මෙලෙසින් දිවයිනේ ප්‍රකෝටිපති ව්‍යාපාරික පවුලක් වී සිටිය ද එදා තමාගේ තාත්තා මැණික් වෙළෙඳාමට අවතීර්ණ වූයේ මාරපනට ටෝච් එක විතරක් අරගෙන ගිහින් ඇරැඹි පුංචි ගමනක ප්‍රතිඵලයක් වශයෙන් යැයි රම්සි සඳහන් කරයි. ‘කළුවා මාරපන ගියා වගේ’ යැයිද කතාවක් තිබුණ ද රාසික් මාරපන යෑම නිසා ජීවිතයට උදාකර ගත්තේ ස්වර්ණමය එළියකි. මේ ඒ අතීත කතාවේ හරය ඔහුගේ පුතු රම්සි ගෙන හැර පෑ විදියයි.  


“තාත්තා මුලින්ම කරලා තියෙන්නෙ මැණික් ගල් ගැන අවබෝධය ලබාගැනීමයි. ඉන්පසුව​ ටෝච් එක අරගෙන ගල් බලන්න මාරපනට ගිහින් තියෙනවා. ඒ දිනවල ගෙවුඩවලට මාරපන හොඳ ඉල්ලුමක් තිබුණලු. විවාහයෙන් පසුව තාත්තා රත්නපුරේ සිට කුරුවිටට ඇවිත්. ප්‍රේම සම්බන්ධයක් මත තමයි විවාහ වෙලා තියෙන්නේ. අම්මා බුද්ධාගමේ.   
උදේ පාන්දර දෙක තුන වෙද්දී තාත්තා හැමදාම අවදි වෙනවලු. අවදි වෙලා බස් එකේ දුරු කතර ගෙවාගෙන, මහන්සි නොබලා ඔක්කම්පිටිය, මාරපන වගේ තැන්වලට ගිහින් මැණික් ගල් ගැන හොඳ දැනුමක් ලබන අතරේ, එක දෙක ගල් ගන්න පටන් ගෙන. එක එක මැණික් ගල් මිලදී අරගෙන තාත්තා සුළු ලාභයක් තියාගෙන ඒවා විකුණන්න පටන්ගෙන. ඒ විදියට දුෂ්කරව ගත කළ කාලයේදී තාත්තා ​බොහෝ කැප කිරීම් කරලා තියෙනවා.   


තාත්තා මිනිසුන් අතර වඩා ජනප්‍රිය වුණේ එයාගෙ තිබුණු සාධාරණකම නිසයි. මිනිස්සු තාත්තට ආදරය කරන්න පටන් ගත්තෙ ඒ නිසා බව කියන්න පුළුවන්. වසර ගණනාවක් යනවිට ‘රාසික්’ මුදලාලි රත්නපුරේ වඩාත් ප්‍රකට වුණේ සාධාරණ මිලක්, ගල් ගෙනා අයට දුන් නිසයි. දියුණුව ටිකෙන් ටික ඇතිවෙලා තියෙන්නේ තාත්තගෙ තිබුණු ඒ ගුණ යහපත්කම නිසයි. ඒ වගේම කළ කැපවීම් නිසයි.” 

 
පුතු රම්සි තාත්තාගේ මැණික් ව්‍යාපාර ගමන ගැන මතකය අවදි කළේ එලෙසිනි. වැඩිමල් දරුවා රම්සි පවුලට එක්වීමත් සමග ඒ පවුල තවත් දියුණුවට පත්ව තිබෙනවා.   
ඊට පෙර රම්සි ජෙම්ස් වෙනත් ව්‍යාපාර ගොඩනැගිල්ලක් තිබී නැහැ. රාසික් මුදලාලි මැණික් ගල් මිලදී ගැනීමේ ව්‍යාපාරය පවත්වාගෙන ගොස් ඇත්තේ නිවසේදීමයි. ඒ හැරත් ඒ කාලයේ ඔහු මෙම මැණික් ව්‍යාපාරයට අවතීර්ණ වූයේ ගුරුගේ, පියදාස, නිමල් සහ රංජිත් පතිරණ, රත්නාලෝක වැනි පතාක යෝධයින් නැගී සිටි අවදියකදීය. ‘රත්නපුරයේ අඹ ගහ යට’ යනු එවකට මැණික් ව්‍යාපාර සඳහා ප්‍රකටව තිබූ තැනකි. රාසික් මුදලාලි මුලින්ම කුලියට කඩයක් අරගත්තේ මේ අඹ ගහ යටදීය. රාසික් මුදලාලි මැණික් ගල් ගැන අවබෝධයක් ලබා ගත්තේ ඔහුගේ පළපුරුද්ද සහ ආත්මයෙන්ම ගෙනා සහජ දක්‍ෂතාව නිසා යැයි පැවැසිය හැකිය.   


“ඇත්තටම තාත්තාට මැණික් ගල් හඳුනා ගැනීම වෙනුවෙන් තිබුණේ හරි විස්මිත දැනුමක්. ඒක හොඳ ගලක් ද? පළුදු වූ එකක් ද? එහි වටිනාකම කෙසේ තක්සේරු කළ හැකි ද? යන පුළුල් අවබෝධයක් තාත්තාට තිබෙන බව කියන්න පුළුවනි. ‘මුදලාලිගෙ මිල සාධාරණයි’ කියන කතාව හැමෝම අතර ප්‍රකට වුණා.   


ඈත දුර පළාත්වල සිට මිනිස්සු උදේම ඇවිත් තාත්තාට මැණික් ගල් දුන්නා. ඇත්තටම තාත්තාගේ ව්‍යාපාරය දියුණු වුණේ මිනිසුන්ගේ ගෞරවය එක්ක ආ ගමනක් වගේම මිනිසුන්ගේ ආශිර්වාදය එක්ක ආ ගමනක් වීම නිසයි. තාත්තා වඩා සාධාරණ වීම නිසා තමයි ඒ විදියට දිනෙන් දින ව්‍යාපාරය දියුණුව ලැබුවේ. සල්ලි එනකොට තාත්තා ඒවා පොදි නොගහා තව තවත් සාධාරණ වුණා.”   


රම්සි තම පියාගේ හැකියාව ගැන ප්‍රකාශ කරන්නේ එලෙසිනි. සැබැවින්ම මැණික් වෙළෙඳාම යනු හැමෝටම කළ හැකි දෙයක් නොවේ. ඒක හරි ‘අමුතු දෙයක්’ කිව්වොත් වඩා නිවැරැදිය.’ ඇත්තටම මැණික් ගලක් මිල තක්​ෙස්රු කරන​්නේ කෙසේ ද? අපි රම්සිගෙන් විමසීමු.   


“මැණික් මිල බොහෝ විට සසඳන්නේ කැරට් ප්‍රමාණය අනුවයි. නමුත් මුලින්ම ඔප දැමූ ගල් නෙවෙයි රළු තත්ත්වයේ තිබෙන ඒවා. එවැනි පාෂාණ ගැනීමේදී කෙනෙක් ලක්‍ෂ විස්සක් කියලා කියන්න පුළුවනි. තව කෙනෙක් ලක්‍ෂ පනහක් කියලා කියන්නත් පුළුවනි. එතැනදී වඩා වටින්නේ මැණික ගැන තමාගේ තියෙන දැනුමයි. ‘ඇස’ තමයි කිව්වොත් හරි. අපි හිතමු කැරට් 100ක මැණිකක් කියලා. ඒත් එය ඔප දමා නිර්මාණය කළ පසු එහි සැබෑ ලෙස ඇත්තේ කැරට් 10ක් වෙන්න පුළුවනි. එහෙම වන්නේ පළුදු සහ ගලේ ගත හැකි ප්‍රමාණය තීරණය කිරීමෙන් විතරයි.   


ඒ වගේම මොකක්ද මේ ගල කියන එක හරියටම නිශ්චිතව නිර්ණය කිරීම කළ යුතුමයි. මේක පසිංගලයක් ද නිලක් ද රතක් ද එහෙමත් නැත්නම් සින්තටික් ගලක් ද කියලා දැන ගන්න ඕනෑ. ටෝච් එකෙන් බලන්නෙ කොච්චර පළුදු ද? බුබුළු කොච්චර තියෙනව ද? කියලයි.   


ඉතින් මැණික් ගල් ගැනීමේදී ඒ මිම්ම හරි වැදගත්. ඒකට හැකියාව කියන දේ තිබිය යුතුමයි.”   


රම්සිගෙ තාත්තා මැණික් ගල් ගැනීමේදී උපන් හපනකු වූවේ ඒ හැකියාව රාසික් හටත්ලබා දුන්නේය. තාත්තාගෙ මැණික් ව්‍යාපාරයේ ගමනට රම්සි අවතීර්ණ වුණේ කොහොම ද?   
“ඉස්සෙල්ලාම මම ඉගෙන ගත්තෙ බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලයේ. පසුව කොළඹ විචර්ලීස් ජාත්‍යන්තර පාසලට ගියා. ඉගෙනීමෙන් පසුව ව්‍යාපාර කරන්න රත්නපුරේට එන්න කියලා තාත්තා කිව්වා. මටත් වෙන අරමුණක් තිබුණේ නැහැ. අවුරුදු 18 වෙද්දී මම රත්නපුරයට ගියා. බිස්නස් කරන්න පුරුදු වෙන්න කියලා තාත්තා මට කිව්වා. මුලින්ම මම කළේ තායිලන්තයෙන් එන ගැනුම්කරුවන්ට මැණික් ගල් විකිණීමයි. අද වගේ නෙවෙයි, එදා මැණික් මිලදී ගන්න පන් හයසීයක විතර ගැනුම්කරුවන් පිරිසක් රත්නපුරේට ආවා. අද එය සම්පූර්ණයෙන්ම වෙනස්.   


එදා මුලින්ම මම අලෙවි කළ මැණික් ගලට තාත්තා මට කොමිස් මුදල ලෙස රුපියල් 15,000ක් දුන්නා. තව අපේ මාමලා දෙන්නෙකුත් මට උදව් කළා. මැණික් විකිණීමට කියන්නෙ ඉරට්ටු ගහනවා කියලයි. මුලින්ම මට සිද්ධ වුණේ ඉරට්ටු ගහන්නයි. ඒ හැර මම තාත්තා වගේ මැණික් ගල් මිලදී ගන්න ගියේ නැහැ. ඒක හැමෝටම පිහිටන දෙයක් නෙවෙයි. ඒකට දක්‍ෂතාව වගේම වාසනාවත් තියෙන්න ඕනෑ. නොදන්නා දේ කරන්න ගිහින් ඇන ගන්න මට ඕනෑ වුණේ නැහැ.”   


එසේ පවසන රම්සි මැණිකක වටිනාකම කීමට තාත්තා මෙන් තමාට හැකියාව නැතැයි කීව ද මැණික් ඉතිහාසය ගැන මෙන්ම මැණික් ගැන වූ අතීතය ගැන අවබෝධයක් ඇති අ​ෙයකි.   


“ඉස්සර වසර සිය ගණනකට පෙරදී මුලින්ම මැණික් ​ෙසායාගෙන ඇවිත් තියෙන්නෙ ‘මුක්කරුවෝ’ ලෙස සඳහන් වූ මිනිසුන්. එයාලා රජතුමාගේ සේවකයින්. රජතුමාට මැණික් සොයා දෙන්න තමයි මුක්කරුවෝ රත්නපුරයට ඇවිත් තියෙන්නේ. ඒ විදියට ආපු මේ මුක්කරුවෝ පතල් හාරා හොඳ ගල් ටික අරගෙන, හොඳ නැහැ කියලා විශ්වාස කළ ගල් හිල් කරලා පතලටම දාලා යන්න ගිහින්. අදටත් මුක්කරු ගල්වලට තියෙන්නෙ ලොකු ඉල්ලුමක්.   


මැණික් තියෙන්නෙ ඉල්ලමේ. ඉල්ලම හමුවන්නෙ පොළොව කපාගෙන යන පතුලට යනවිටයි. පසෙහි තට්ටු කීපයක් තිබෙනවා. අන්තිමට තමයි ඉල්ලම හෙවත් ‘මාලාව’ තියෙන්නෙ. ඊට යටින් කළු ගල. ඒ ගර්භයේ කළු ගලට උඩින් තමයි මේ මැණික් තියෙන මාලාව පිහිටන්නෙ. එතකොට මැණික් මෙච්චර මිල අධික වෙන්නෙ දුර්ලභ සහ ඝණත්වය වැඩිම පාෂාණයක් වීම නිසයි. ඝණත්වය වැඩිම දියමන්තිවල. ඊට පසු මැණික්.   


ලංකා පොළොවේ දියමන්ති නැහැ. සිලෝන් සැෆායර් හෙවත් ‘නිලට’ තමයි ලෝකයේ හොඳ මිලක් තියෙන්නෙ.”   


මේ විදියට මැණික් වෙළෙඳාමෙහි නිරතවන පිරිස අතර සහයෝගීතාවක් අැති බව ද රම්සි කියයි. එතෙක් රත්නපුරයට පමණක් සීමා වී තිබූ රම්සි නොබෝදා බම්බලපිටියට ආවේ නිකම්ම ස්වර්ණාභරණ සාප්පුවක් ලෙස නොවේ. මැණික් කෞතුකාගාරයක් ද ස්ථාපිත කරමිනි. මෙලෙසින් රත්නපුරයේ සිට කොළඹට සේන්දු වීමේ අරමුණ ගැන මීළඟට ඔහු පැවැසුවේ මෙලෙසිනි.   


“වසර 17ක් විතර මම රත්නපුරයේ හිටියා. මැණික් වෙළෙඳාමෙන් ලාභ පාඩු දෙකම ලැබුවා. එදාට සාපේක්‍ෂව අද රත්නපුරයේ මැණික් වෙළෙඳාම තරමක් පල්ලෙහාට වැටිලා. ඉස්සර වගේ ලොකු බිස්නස් කරන්න බැහැ. මේ නිසා අපි වෙනස් දේ ගැන හිතුවා. මගේ එක නැගණියක් ඔ්ස්ට්‍රේලියාවේ සාප්පුවක් විවෘත කළා. ඒ අතරේ කොළඹ සාප්පුවක් දාන්න මට සංකල්පය ආවා. තාත්තා ඒකට උදව් කළා.   


මෙතැන තියෙන්නෙ ස්වර්ණාභරණ සාප්පුවක් විතරක් නෙවෙයි. විවිධ පාෂාණ වර්ගවල එකතුවක් සහිත පුංචි කෞතුකාගාරයක් ඇරඹීම මගේ අරමුණ වුණා. ඒ නිසා අධ්‍යාපනය ලබන දූ දරුවනට පොළොවේ ඇති මේ ගල් වර්ග ගැන හොඳ අවබෝධයක් ලබා ගන්නට පුළුවනි.   


මෙම කෞතුකාගාරයේ තිබෙන්නේ දුර්ලභ වර්ගයේ ගල් වර්ගයි. සමහර ඒවා කැණීම්වලදී හමුවූ ඒවා. විනෝදාංශයක් හැටියට එදා සිට මම ඒවා එකතු කළා. සමහර ඒවා මිලදී ගත්තා. අනුරාධපුරය, කිලිනොච්චිය වැනි ප්‍රදේශවලිනුත් මම මිලදී ගත්ත විවිධ ගල් වර්ග මේ කෞතුකාගාරයේ තිබෙනවා. සමහර ඒවා රත්නපුරයට විතරක් සීමා වූ ඒවා.​ පොළොවේ පිහිටි ආකාරයෙන්ම, ඛනිජ සම්පත්වල එකතුවක් තමයි මේ විදියට මෙතැන තියෙන්නේ. මෙය ඇත්තටම විනෝදාංශයකට කළත්, අධ්‍යාපනික වශයෙන් ලොකු වැදගත්කමක් ඇති වග අද බොහෝ දෙනා මට කියනවා.   


නොබෝදා බම්බලපිටියේ ස්ථාපිත කළ රම්සි සහ සමාගම ගැන රම්සි කරුණු ගොනු කළේ එලෙසිනි. මෙම සාප්පුවේ ඇති මැණික් ගලින් නිම වූ නිර්මාණ ඉතා සුවිශේෂී නිර්මාණ වන අතර, මිල ද ඉතා අධිකය. ඊට හේතුව ලෙස රම්සි කියා සිටියේ මෙවැන්නකි. 

 
“ලංකාවේ මැණික්වලට ලෝකයේ ඉල්ලුමක් තියෙන්නෙ අනර්ඝත්වය නිසයි. ඒ නම අපි කවදාවත් පළුදු කළ යුතු නැහැ. පසුගිය දිනෙක විදේශිකයන්ට මැණික් ආභරණ වෙනුවට සින්තටික් යොදා නිම කළ දේ අලෙවි කළ බවට පුවත් අපට අහන්න ලැබුණා. මෙහෙම කළාම එය ‘ලංකාවේ’ යහපත් නාමයට ලොකු කැළලක්. වංචාව මේ ව්‍යාපාරය තුළ තිබිය යුතු නැහැ. දෙන දේ ඉතා අනර්ඝ මට්ටමින් ලෝකයට ලබාදීම මගේ අරමුණයි.   


මගේ සාප්පුවේ මැණික් ස්වර්ණාභරණ හරි මිලයි. ඒකට හේතුව ඒවා හොඳම දේ නිසයි. එය විකුණුනත්, නැතත්, බාල දේ විකිණීම මගේ පරමාර්ථය නෙමෙයි. මිනිසුන්ට හොඳම දේ දීලා ලබන ආත්ම තෘප්තිය තරම් දෙයක් තවත් නැහැ.”   


මෙසේ තමාගේ ජීවිතයේ පරමාර්ථය ගැන කියන රම්සි, මිල්ටන් මල්ලවාරච්චිගේ ගීතවලට දැඩි ලෙස ප්‍රිය කරන චරිතයකි.   


“මම තමයි මිල්ටන්ගෙ ලොකුම රසිකයා. හැබැයි ඒවා ඔක්කෝම බූට් සිංදු. ඒත් මගේ අමරණීය ගායකයා තමයි ඔහු. ඔහුගේ ගීතයක් ඇහුවේ නැත්නම් ඒ දවස මට වැඩක් නැහැ වගෙයි.”   


මිල්ටන්ගේ විරහා ගීතයේ ​ෙලාකුම රසිකයා රම්සි වුව ද ඔහු ජීවිතයේ විරහව ලැබූ අයෙක් නොවේ. ආදරණීය බිරිඳ සහ දියණිය රම්සිගේ ආදරණීය ලෝකයයි.   


“මොනවා කළත් වැඩක් නැහැ, ගෙදරට හොඳ සැමියෙක්, තාත්තා කෙනෙක් වෙන්න බැරි නම්.” රම්සි එසේ කියයි.   


අවසන අපි ඔහුගෙන් විමසුවේ, තාත්තා මුස්ලිම් සහ අම්මා සිංහල යන සැසඳීම එදා ඔහුට ගෙන දුන්නේ මොන වගේ හැඟීමක් ද යන්නයි.   


“ඒක හරි හොඳ දෙයක්. ඉස්සර අපි අාච්චි අම්මගෙ ගෙදර ගියාම කැවුම්, කොකිස්, කිරිබත් කෑවා. සීයා එක්ක අවුරුද්දට ඒ චාරිත්‍ර කළා. ඒවා හොඳ මතකයන්.” 

 

 

 

සඳුන් ගමගේ