කොළඹ කුණු පුත්තලමෙනුත් ඉවතට ?


 

පසුගිය දොළොස් වැනිදා සර්ව ආගමික නායකයන් සහ ප්‍රදේශවාසී ජනතාව පුත්තලම කලපු තීරයට එක්රොක් වූහ. ඒ ආරුවක්කාරු කසළ අංගනයට විරෝධය පාමිණි. පිරිසිදු පුත්තලමක් සඳහා වූ සංවිධානය විසින් මෙම වි​​රෝධතාව සංවිධානය කර තිබූ අතර එය ජාති ආගම් භේදයකින් තොර වූවක් වූවේය.   


අරුවක්කාරු ප්‍රදේශයට කසළ බැහැර කිරීම පාරිසරික හා සමාජීය ප්‍රශ්න රාශියක ආරම්භය බව පෙන්වා දුන් සර්ව ආගමික පූජකවරු ජනතාව අමතා එහි ආදීනව පහදා දුන්නේය. ඉන්පසු සංවිධානය වී සිටි ජනතාව නගරය පුරා පෝස්ටර්, බැනර්, කටවුට් ගසමින් හා අත්පත්‍රිකා බෙදා දෙමින් පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය තෙක් පැමිණියහ. ඔවුහු ඉල්ලා සිටින ලද්දේ අරුවක්කාරු ප්‍රදේශය කසළ අංගනය නොකරන්න යන්නයි. ඒ සඳහා ලිඛිතමය ලියකියවිලි ද අදාළ නිලධාරීන්ට භාර දීම සිදු විය.   


අරුවක්කාරු කසළ අංගනය පිළිබඳව ජනතා මතය එසේ වෙද්දී ඒ පිළිබඳව පරිසරවේදියෙකු වන සජීව චාමිකර මහතා පෙන්වා දුන්නේ මෙවන් වූ කරුණුය.   


සජීව චාමිකර පරිසර සංරක්ෂණ භාරයේ අධ්‍යක්ෂ : අරුවක්කාරුව පුත්තලම දිස්ත්‍රික්කයේ වනාතවිල්ලුව ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයට අයිති ප්‍රදේශයක්. විල්ලුපත්තුව දකුණු ප්‍රදේශයට බරවයි මෙම ප්‍රදේශය පිහිටලා තිබෙන්නේ. මේ කිට්ටුව හේරත්කුලිය කියලා ගමක් තිබෙනවා. ඊට අමතරව තව ගම්මාන තිබෙනවා. මේ කසළ රැඳවුම පිහිටලා තිබෙන්නේ විල්ලුපත්තුවට උතුරු දෙසින්. දකුණින් සේරක්කුලිය කියන ගම තිබෙනවා. බටහිරින් පුත්තලම කලපුව තිබෙනවා.   


කසළ රැඳවුමක් ලෙස හඳුන්වන මේ ප්‍රදේශය මීට පෙර හොල්සිම් සමාගම විසින් හුණුගල් ලබා ගැනීමට කැණීම් කළ ප්‍ර​ෙද්ශයක්. මේ හරියේ මයොසීන තැන්පතුවක් තිබෙනවා. මේ ප්‍රදේශයේ සිට යාපනය අර්ධද්වීපයට යන කම්ම මේ හුණුගල් පිහිටීම තිබෙනවා. මෙය මයොසීන යුගයේ නිර්මාණ්‍ය වූවක් මේ කලාපයේ පාෂාණ තට්ටු හැදිලා තිබෙන්නේ හුණුගල් මිශ්‍රවයි. මේ කොටසෙයි කසළ රැඳවුම පවත්වා ගෙන යන්න හදන්නේ.   
​​මෙය පසුගිය ආණ්ඩු කාලේ සිට දිගින් දිගමට ආ කාරණයක්.   


​මේ පිළිබඳ පරිසර වාර්තා 2ක් හැදුණා. පළවෙනි එක හැදුණේ විල්පත්තුව ජාතික වනෝද්‍යානයට මායිමෙන් පිහිටලා තිබෙන කොටසක හදාගෙන ගිය නිසා. ප්‍රශ්න ගොඩක් මතු වුණා. අන්තිමට ඊට ටික දුරකට එහායින් එය හදන්න තීරණය කළා. මීට අමතරව මේ ප්‍රදේශයේම තව ලොකු ගැටලුවක් මතු වෙනවා. මෙතන තිබෙන්නේ මයෝසීන තැන්පතුවක්. එහි පොළොව අභ්‍යන්තරයේ භූගත ජලය පිහිටලා තිබෙනවා. මෙතන කසළ රැඳවුමක් හැදුවොත් එහි අපද්‍රව්‍ය භූගත ජලය හා මිශ්‍ර වෙනවා. එය විශාල ගැටලුවක්.   


භූගත ජලයට අපද්‍රව්‍ය එකතු වීම වසර කීපයක් සිදුවුවහොත් එය යාපනය ප්‍රදේශය දක්වා විහිදී ගිය හැකියි. හේතුව මයොසීන තැන්පතුවේ ඇති භූගත ජලය වෙන් වෙන් වශයෙන් නොපිහිටීම. මේක තමයි ලොකුම අවදානම.   


මීළඟ කාරණය තමයි මෙම අපද්‍රව්‍ය භූගත ජලයට මෙන්ම පුත්තලම කලපුවට එකතු වීම. එම අපද්‍රව්‍ය කලපුවට එකතුවීම මත්ස්‍ය නිෂ්පාදනයට ලොකු බලපෑමක් විය හැකියි.


හේතුව නොගැඹුරු මුහුදු තීරයේ ඉන්න මත්ස්‍ය විශේෂවල බෝ වීමට මෙය තර්ජනයක් වීම.   


​ෙම් කසළ රැඳවුමට නාගරික ප්‍රදේශවලින් එකතු වන කසළ, කර්මාන්තශාලාවලින් බැහැර කරන කසළ, රෝහල්වලින් බැහැර කරන කසළ, සත්ව ඝාතකාගාරවලින් බැහැර කරන කසළ ආදී මහා පරිමාණ කසළ ප්‍රමාණයක් එකතු වෙනවා. මෙය පරිසරයට මෙන්ම සමාජයට ද අයහපත් බලපෑම් එල්ල කරනවා.   


ඒ නිසා මිනිසුන් පරිසර සංවිධාන එකතු වෙලා විරෝධතා පත්වනවා. මුලින් මෙහි ඇති ආදීනව මිනිසුන් දැනගෙන හිටියේ නෑ. ඒත් දවසකට අපද්‍රව්‍ය ටොන් 70-1200 ත් අතර ප්‍රමාණයක් එකතු වෙන බව දැන ගත්තම මිනිසුන් කලබල වුණා.   


මෙගා පොලිස් හා පෝර්ට් සිටි ව්‍යාපෘති නිසාත් දවසට එකතු වන අපද්‍රව්‍ය ප්‍රමාණය වැඩි වෙනවා. තවම ලංකාවේ කසළ කළමනාකරණය සඳහා වැඩසටහන් නිර්මාණය කරලා නෑ. පළමුවෙන්ම සිදු කළ යුත්තේ ඒක. එසේ නොකර කසළ බැහැර කිරීමෙන් ඇති වන ප්‍රතිඵල භයානකයි.   


අද වෙන කොට ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වෙලා තිබෙන්නේ. මෙම ස්ථානයට කසළ බැහැර කිරීම. චම්පික රණවක කොහොම හරි එය කරනවා කියනවා. එය මිලියන ගාණක ව්‍යාපෘතියක්. එයින් ඔහුට පෞද්ගලික ලාබ තිබෙනවා. මීට රංගේ බණ්ඩාර එරෙහිව කතා කරනවා. මෙම ප්‍රශ්නය සංවේදීව විසඳා ගත යුතුයි.   


සජීව චාමිකර මහතා අරුවක්කාරු ගැටලුව පිළිබඳ එසේ අදහස් දැක් වූ අතර පාඨලී චම්පික අමාත්‍යවරයා ඒ පිළිබඳව දක්වා තිබුණේ මෙවැනි අදහසකි.   


රට පුරා කුණු කඳු 330ක් තියෙනවා. මේ කැළි කසළ ප්‍රශ්නය ඉතාම බරපතළ ප්‍රශ්නයක්. තවමත් ඇතැම් දේශපාලනඥයෝ මෙයත් සමග සූදු කෙළිනවා. මීතොටමුල්ලේ 33 දෙනෙක් කුණු කන්දට යටවෙලා මැරිලත් මේ රටේ කාලකන්නි දේශපාලනයට තවම ඒක තේරිලා නැහැ. අද කොළඹ, පුත්තලම ඇතුළු සියලුම ප්‍රදේශවල කසළ ප්‍රශ්නය අවුරුදු 80 කට විසඳන්න පුත්තලමේ හිරි ගල් කඩලා විනාශ කරලා තියෙන වළවල් වල විද්‍යාත්මක කසළ රඳවනයක් කරනවා. නමුත් සමහරුන්ට ඕනෑ ගමට වීරයා වෙලා මේක නතර කරන්න. ඒ ඇත්තන්ට කියනවා කරුණාකරලා මීතොටමුල්ලේ මිය ගිය අය වෙනුවෙන්වත් මේ විද්‍යාත්මක විසඳුමට ඉඩ දෙන්න. මේ විසඳුම කඩාකප්පල් කරන්න එපා. මේ විසඳුම කඩාකප්පල් කරනවා කියන්නේ තමනුත්, තමන්ගේ රටත් විනාශ කරනවා කියන එකයි. 

 
අපි සියලු දෙනාම අනිවාර්යයෙන්ම කසළ කළමනාකරණයේ ඒ ගැටලුව විසඳන්න ඕනෑ. බොරු වීරයින්ගේ බොරු වීරකම් වගේ නෙවෙයි ඇත්තටම අපේ ජනතාවගේ සෞඛ්‍ය ප්‍රශ්නය, අපේ රටේ අනාගතය, නාගරික සංවර්ධනය රැඳිලා තිබෙන ගැටලුව අප විසඳිය යුතුයි. 

 
පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා විසින් අරුවක්කාරු කසළ අංගනය පිළිබඳ ප්‍රකාශ කර ඇති අදහසකි.   


ජනතාවගේත් පරිසරවේදීන්ගේත් අමාත්‍යවරයාගේත් අදහස් එසේ වූ අතර මෙම ව්‍යාපෘතියෙන් කෙරෙන්නේ කුමක්ද? එය සැලසුම්කරණය කර ඇත්තේ කෙසේද? එහි බලපෑම කෙබඳු ද යන්න පිළිබඳ ගැටලු රාශියක් මතුව ඇත්තේය. ඒ නිසාම එම ව්‍යාපෘතියේ වගකිව යුතු නිලධාරියෙකු ලෙස කටයුතු කරන මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රූපසිංහ මහතාගෙන් ඒ පිළිබඳ තොරතුරු විමසුවෙමු. එහිදී ඔහු එම ව්‍යාපෘතිය පිළිබඳ දැක්වූ තොරතුරු මෙසේය.  


ඉංජිනේරු නිහාල් රූපසිංහ

ලේකම් මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය


අරුවක්කාලු ප්‍රදේශයේ ඉදිකෙරෙන නාගරික ඝන අපද්‍රව්‍ය බැහැරලීමේ පහසුකම් හා කැලණියේ ඉදිවන කසළ හුවමාරු මධ්‍යස්ථානය 


 පසුගිය වසර කිහිපය පුරාම ශ්‍රී ලංකා රජය විසින් කොළඹ නගර සීමාවේ එකතු කරන නාගරික ඝන අපද්‍රව්‍ය බැහැරලීම සඳහා පාරිසරික ලෙස පිළිගත හැකි සහ ආර්ථිකමය වශයෙන් සුදුසු විසඳුමක් සෙවූ නමුත් ලබා ගත හැකි වූයේ සුළු ප්‍රගතියකි. කොළඹ හා තදාසන්න ප්‍රදේශයක සනීපාරක්ෂක කසළ රඳවනයක් ඉදිකිරීමට කිහිපවිටක් උත්සාහ කළ ද සමාජමය හා දේශපාලනමය හේතූන් මත එවන් පහසුකමක් ඉදිකිරීමට නොහැකි විය. වර්තමානයේ කොළඹ මහනගර සභාව විසින් නාගරික ඝන අපද්‍රව්‍ය ටොන් 700ක් පමණ දෛනිකව එකතු කරන අතර කොළඹ නගර සීමාවේ අනෙක් නාගරික පළාත් පාලන ආයතනවලින් කසළ ටොන් 1200ක් පමණ දෛනිකව එකතු කරනු ලැබේ.


වර්තමානයේ ද කොළඹ නගර සීමාව තුළ එකතු කරන මිශ්‍ර කසළ බැහැරලීම උග්‍ර ගැටලුවක් බවට පත්ව ඇත. මෙම කසළ බැහැරලීමේ ක්‍රමවේදය තවත් උග්‍ර වූයේ 2017 අප්‍රේල් 14 වන දින මීතොටමුල්ල විවෘත කසළ බැහැරලන ස්ථානයේ එකවරම සිදුවූ බිඳ වැටීමයි. මෙම කසළ බැහැරලන ස්ථානය කොළඹ මහා නගර සභාවේ සහ කොළොන්නාව නගර සභාවේ එකතු කරන නාගරික ඝන අපද්‍රව්‍ය බැහැරලීම සඳහා යොදාගෙන තිබුණි.   
කොළඹ නගර සීමාවේ ජනනය වන නාගරික ඝන අපද්‍රව්‍ය බැහැර කිරීමේ යෝග්‍ය ක්‍රමය වනුයේ සනීපාරක්ෂක කසළ රඳවනයක් ඉදිකිරීමයි. මේ සඳහා අවම වශයෙන් අක්කර 150ක පමණ භූමිභාගයක් අවශ්‍ය වේ. කොළඹ ආසන්නයෙන් සනීපාරක්ෂක කසළ රඳවනයක් ඉදිකිරීම සඳහා එවැනි භූමියක් තෝරාගැනීම අපහසු වී ඇත්තේ සමාජ, දේශපාලනමය බලපෑම් මෙන්ම ඉඩම්වලට ඇති ආර්ථිකමය වටිනාකමත් නිසාය. මෙහි ප්‍රතිඵලය වී ඇත්තේ පාරිසරික වශයෙන් සංවේදී ප්‍රදේශ එනම් පහත් බිම් ප්‍රදේශ, සංරක්ෂණ කලාප සහ තෙත් බිම් වෙත අක්‍රමවත්ව කසළ බැහැරලීමයි.   


මෙම තත්ත්වය යටතේ මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මඟින් කොළඹ නගර සීමාවේ එකතු කරන කසළ බැහැරලීමට සුදුසු තිරසාර විසඳුමක් ලබා දීමේ කාර්යය භාර ගන්නා ලදී. මෙහිදී සකසන ලද වාර්තාවට මීතොටමුල්ල කසළ හුවමාරු මධ්‍යස්ථානය, දුම්රිය මඟින් ප්‍රවාහනය සහ පුත්තලමේ අරුවක්කාලු ප්‍රදේශයේ ඉදිකරන සනීපාරක්ෂක කසළ රඳවනය යන ක්‍රියාකාරකම් අඩංගු විය. කෙසේ වෙතත් මීතොටමුල්ලේ පවතින කසළ බැහැරලන ස්ථානයේ සිදුවූ බිඳවැටීමත් සමඟ මීතොටමුල්ලේ ඉදිකිරීමට යෝජිතව තිබූ කසළ හුවමාරු මධ්‍යස්ථානය කැලණිය ප්‍රදේශය වෙත මාරු කිරීමට සිදුවිය.   


මෙම යෝජිත ව්‍යාපෘතියට කසළ හුවමාරු මධ්‍යස්ථාන 2ක් ඉදිකිරීම (කැලණියේ දී කසළ පැටවීම, අරුවක්කාලුවල දී කසළ ගොඩබෑම) දුම්රිය මාර්ගය ඔස්සේ කසළ ප්‍රවාහනය, වයඹ පළාතේ, පුත්තලම දිස්ත්‍රික්කයේ අරුවක්කාලුවල පිහිටි සියෑම් සිටි සිමෙන්ති ලංකා පුද්ගලික සමාගමට (Siam City Lanka) Ltd දීර්ඝ කාලීනව බදු දී ඇති අත්හැර දමන ලද හුණුගල් ආකර ආශ්‍රිතව සනීපාරක්ෂක කසළ රඳවනය ඉදිකිරීම අයත් වේ.   
කොළඹ නගර සීමාවේ දෛනිකව එකතු කරනු ලබන නාගරික ඝන අපද්‍රව්‍යවලින් ටොන් 1200ක් කැලණියේ ඉදිකිරීමට යෝජිත හුවමාරු මධ්‍යස්ථානයේ දී අඩි 20ක විශේෂයෙන් සකසන ලද බහාලුම්වලට අවශ්‍ය කරන තෙරපුම (Compaction) සහිතව පටවා කැලණියේ සිට පුත්තලම හරහා අරුවක්කාලු වෙත දුම්රිය මාර්ගය ඔස්සේ ප්‍රවාහනය කරනු ලැබේ. කසළ සහිත බහාලුම් අරුවක්කාලුවල දී ගොඩබා එම කසළ සනීපාරක්ෂක කසළ රඳවනය වෙත යවනු ලැබේ.   


මෙයට අමතරව පුත්තලම දිස්ත්‍රික්කයේ සමහර පළාත් පාලන ආයතනවල එකතු කරන නාගරික ඝන අපද්‍රව්‍ය අවසන් බැහැරලීම සඳහා මෙම සනීපාරක්ෂක කසළ රඳවනය යොදා ගැනීමට නියමිතය.   


ව්‍යාපෘතියේ තාක්ෂණික පසුබිම   


කොළඹ ප්‍රදේශයේ එකතු කරන නාගරික ඝන අපද්‍රව්‍ය කැලණිය කසළ හුවමාරු මධ්‍යස්ථානය වෙත රැගෙන ඒමෙන් පසු එහි දී අඩු පීඩනයක් සහිත කුටීරයක් තුළ දී කසළ සම්පීඩනයට ලක් කරනු ලැබේ. එහි දී කසළවල ඇති වැඩිමනක් ජලය ඉවත් කර ඝනත්වය වැඩි කිරීමෙන් පසු බහාලුම්වලට බහා විශේෂිත වූ දුම්රියක් මගින් අරුවක්කාලු කසළ හුවමාරු මධ්‍යස්ථානය වෙත රැගෙන එනු ලබයි. කැලණිය කසළ හුවමාරු මධ්‍යස්ථානයේ දී කසළ මගින් ඉවත් වෙන අපජලය පිරිපහදු කරනු ලැබේ. මේ සඳහා භාවිතා කරනුයේ ලෝකයේ අති නවීන තාක්ෂණ ක්‍රමවේදයක් වන මෙම්බ්‍රේන් බයෝ රියැක්ටර් (Membrane Bioreactor - MBR) අල්ට්‍රා ෆිල්ටරේෂන් (Ultra Filtration) සහ නැනෝ ෆිල්ටරේෂන් (Nano Filtration) යන ක්‍රමවේදයන් ය. මෙහි දී අපජලය මධ්‍යම පරිසර අධිකාරියේ නිර්දේශිත ප්‍රමිතීන්ට අනුකූලව පිරිපහදු කිරීමෙන් අනතුරුව බාහිර පරිසරයට මුදා හරිනු ලැබේ. මෙම කසළ හුවමාරු මධ්‍යස්ථානයේ දුර්ගන්ධය පාලනයට දුර්ගන්ධ පාලන ද්‍රව්‍ය (Deodarization) ඉසීම සිදු කෙරේ.   


අරුවක්කාලු සනීපාරක්ෂක කසළ රඳවනය ඉදි කරනුයේ කොරියානු තාක්ෂණය යටතේ ලෝකයේ පවතින උපරිම තාක්ෂණික ක්‍රමවේද අනුගමනය කරමිනි. දශක දෙකකට පමණ පෙර දී හුණු ගල් කඩා ඉවත් කර අතහැර දමන ලද හුණු ගල් ආකර කිහිපයක් එකතු කර බේසමක හැඩයට පස් කපා සකස් කර එහි පතුල සහ පැති බැමි ඉතා ශක්තිමත් ලෙස සකසනු ලැබේ. මෙම සනීපාරක්ෂක කසළ රඳවනය ඉදිකිරීමේ දී භුගත ජලය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරනු ලැබේ. පසෙහි භූගත ජල මට්ටම සහ පසෙහි තත්ත්වය පරීක්ෂා කිරීමෙන් අනතුරුව සනීපාරක්ෂක කසළ රඳවනයේ භූගත ජලය එකතු කිරීම සඳහා වෙනම සිදුරු සහිත නල පද්ධතියක් අතුරනු ලබන අතර එම භූගත ජලය කසළ රඳවනයෙන් ඉවතට ගැනීමට හැකියාව ඇත.   


මෙම බිම් ආස්තරණ මගින් භුගත ජලය හා අපදියර සම්පූර්ණයෙන් වෙන් කරන අතර කිසිදු විටෙක අපජලය භූගත ජලය හා මිශ්‍ර වීමක් සිදු නොවේ. පිරිපහදු කරන ලද අපජලය වාහන සේදීමට, කන්ටේනර් සේදීමට හා වෙනත් අවශ්‍යතා සඳහා නැවත භාවිතා කරන අතර කොටසක් උද්‍යාන පාලන කටයුතු සඳහා යොදා ගැනේ. ඉතිරි වන ජලය වියළි කාලගුණ තත්ත්වවලදී භාවිතා කිරීමට ටැංකිවල රඳවනු ලැබේ. ඒ අනුව පිරිපහදු අපජලය කිසි විටෙක අවට කලපුවට හෝ වෙනත් බාහිර ජල මූලාශ්‍රවලට මුදා හැරීමක් සිදු නොවේ.   


මෙයට අමතරව වර්ෂා ජලය වෙනම එකතු කර රොන්මඩ පෙරීමට සැලැස්වීමෙන් අනතුරුව මඩ රහිත පිරිසිදු වර්ෂා ජලය පමණක් බාහිර පරිසරයට මුදා හරිනු ලැබේ.   


සනීපාරක්ෂක කසළ රඳවනය වෙත දිනපතා රැගෙන එන කසළ දෛනිකව පස් තට්ටුවකින් වසනු ලැබේ. එමගින් දුර්ගන්ධය පාලනය වන අතර එමෙන්ම මැස්සන්, කුරුල්ලන් හා වෙනයම් සතුන් කුණු මත ඇදී ඒම වැළක්වෙන අතර සුළඟ මගින් කුණු ගසාගෙන යෑම ද වැළකේ.   


මෙයට අමතරව මුළු භුමිය වටාම වනජීවී දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ විදුලි අලි වැටක් හා ජීව වැටක් ඉදිකරන බැවින් එමගින් අලි වැනි සතුන් කසළ වෙත ඇදී ඒම වැළකේ. එසේම ආරක්ෂිත දැල් වැටක් ද භුමිය වටා ඉදිකෙරෙනු ඇත. මේ සියල්ලම වටා ස්වාරක්ෂක කලාපයක් ලෙස ප්‍රදේශයට උචිත ශාක වැවීම සිදු කෙරේ.   


මෙම සනීපාරක්ෂක භූමිය සහ කසළ හුවමාරු මධ්‍යස්ථානයේ දුර්ගන්ධය පාලනයට දුර්ගන්ධ පාලක ද්‍රව්‍ය ඉසීම (Deodarization) සිදු කෙරේ. සනීපාරක්ෂක කසළ රඳවනයේ මෙහෙයුම් කටයුතු සඳහා ලොව නවීනතම යන්ත්‍රෝපකරණ ආනයනය කිරීමට ද නියමිත ය.   


ඒ අනුව මෙම සනීපාරක්ෂක කසළ රඳවනය මගින් කිසිදු අයුරින් භූගත ජලය, වාතය හෝ පස දූෂණය වීමක් සිදු නොවේ.   


මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය විසින් විවිධ ආයතන නියෝජනය වන පරිදි අධීක්ෂණ කමිටුවක් පත්කර ඇති අතර එම කමිටුව නිරන්තරයෙන්ම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු අධීක්ෂණය කරමින් පවතී. මෙයට අමතරව මෙම ව්‍යාපෘතියේ සැලසුම් හා ඉදි කිරීම් කටයුතු අධීක්ෂණය සඳහා ශ්‍රී ලංකාවේ මධ්‍යම ඉංජීනේරු කාර්යන් පිළිබඳ උපදේශක කාර්යාංශය සහ දකුණු කොරියාවේ දෝවා ඉංජිනේරු ආයතනය යොදවා ඇත. ඔවුන් පූර්ණකාලීනව ව්‍යාපෘතියේ සියලු සැලසුම් හා ඉදිකිරීම් කටයුතු අධීක්ෂණය කරමින් පවතී.   


ඒ අනුව මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු මධ්‍යම පරිසර අධිකාරියේ සහ වයඹ පළාත් පරිසර අධිකාරියේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදුකරන අතර ව්‍යාපෘතියේ මෙහෙයුම් අවධියේ දී මෙම අධීක්ෂණය නිරන්තරයෙන් සිදුකිරීමට නියමිත ය.  

 

 

 

සටහන - කුමාරි හේරත්