කොල්ල කල්ලියක් කැමරාවෙන් කොටුකර දුන් අක්කා නගෝ


ආරුක්කු පාලම

 

 

අපේ රටේ විදේශීය සංචාරක ආකර්ෂණය දිනාගත් ප්‍රදේශ අතරින් ඇල්ලට අත්වෙන්නේ සුවිශේෂි ස්ථානයකි. 


ලෝකයේ හොඳම ඔක්සිජන් වායුව ඇති ප්‍රදේශ අතරට ඇල්ල ප්‍රදේශය ද එක්ව තිබීම විශේෂත්වයකි. 


මනස්කාන්ත දියඇලි, තරණය කළ හැකි කඳුමුදුන් හා ඇවිද යා හැකි මහා ප්‍රපාත වැනි සොබාවික උරුමයන් මෙන්ම උඩරට දුම්රිය මාර්ගයේ විස්මිත නිමැවුම් වන ආරුක්කු නවයේ පාලම (NINE ARCH) පිහිටියේද ඇල්ල ආශ්‍රිතවය. මේ නිසා හැමදාමත් විදේශීය සංචාරකයන් සිටින නගරයක් බවට ඇල්ල නගරය පත්ව තිබේ. 


නොබෝදා ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණි ස්කොට්ලන්ත ජාතික අක්ක නගෝ දෙදෙනෙක් ඇල්ලට එන්නේද මේ අසිරිමත් අත්දැකීම් ලැබීමේ අරමුණ ඇතිවය. මීගමුව, දඹුල්ල මහනුවර සංචාරයෙන් පසු ඇල්ලට පැමිණි ඔවුන් ඇල්ලේ හෝටලයක නතරවී පසුදා දවල් ඇල්ල දුම්රිය ස්ථානය පසුකරමින් දුම්රිය මාර්ගයේ පාගමනේ ගොස් ආරුක්කු නවයේ පාලම නැරඹූහ. 


එහි අපූර්වත්වය අපූරුවට ඡායාරූපයට නැගූ අක්ක නගෝ බොහෝ වේලාවක් එම ස්ථානයේ ගත කර ප.ව 1.30ට පමණ ආපසු ඇල්ල දෙසට එද්දී ගැටවරයෝ පස්දෙනෙක් ඉදිරියට පැමිණියහ. 


මේ අක්ක නගෝ ‘හායි’ කියා ඔවුන්ට කීවේ ඇල්ලට එන සංචාරකයන් කවදත් ප්‍ර​ෙද්ශවාසී සහෘදයන්ට ඇලුම් කරන බැවිනි. එහෙත් මේ තරුණයන් ඇල්ලට ආගන්තුකයන්ය. ඔවුන් පස් දෙනා ද හායි කියා ප්‍රතිචාර දැක්වුවත් එය නුහුරු සිදුවීමක් විය. 


අක්ක නගෝ කිලෝමීටර බාගයක් පමණ ගමන්කරනා විට සිදුවූයේ විශ්මිත දෙයකි. කලින් මුණ ගැසුන තරුණයන් තිදෙනෙක් පිටුපසින් පැමිණ එක් වරම පැන තමන්ගේ අත්බෑගය හා පර්ස්එක උදුරාගන්නා බව දැනින. එම තරුණයන් තිදෙනා සැනින් පළා ගියත් (ජෙනිෆාර් අක්කාගේ) අ​ෙත් තිබුණ කැමරාව වහාම ක්‍රියත්මක විය. ඇය තරුණයන් අත් බෑගය ගෙන පලායන යන අයුරු කැමරාවේ සටහන් කර ගත්තාය. 


එතැනින් නොනැවතී ‘හෙල්ප්... හෙල්ප්...’ කියා කෑගසමින් සැකකරුවන් ලුහුබඳින්නට වූහ. 


අවට ගම්වැසියන් ද, සැකකරුවන් ලුහුබඳින්නට වූහ. එම ප්‍ර​ෙද්ශයේ ආරක්ෂක රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් ද වහාම ක්‍රියාත්මක වූහ. 


සැකකරුවන් දෙදෙනෙක් කොටු කරගැනීමට ඔවුන් සමත්විය. අත්බෑගයේ තිබී කොල්ලකෑ රුපියල් 82,000 ක් වටිනා කැමරාව මෙන්ම පර්ස් එකේ තිබී කොල්ලකන ලද රුපියල් 56,000 ක මුදලින් රුපියල් දස දහසක් ද මොවුන් ළඟ තිබී සොයා ගැනීමට පොලිසිය සමත්විය. 

 

කොල්ලකල්ලිය කැමරා‍ව තුලට ගත් අක්ක - නාගෝ

 

සිද්ධිය සැල වූ වහාම එම ස්ථානයට පැමිණි පොලිස් ස්ථානාධිපති මනෝජ් අලගියවන්න මහතා ඇතුලු පොලිස් නිලධාරීන් විසින් තවත් සැකකරුවන් දෙදෙනෙක් දුම්රිය මාර්ගය අසලදීම අත්අඩංගුවට ගත්හ. එහෙත් මේ කොල්ලය මෙහෙය වූ ප්‍රධාන සැකකරු සියලු දෙනාගෙන් මිදී පළාගොස් තිබිණ. විනාඩි කීපයක් තුළ මෙම සැකකරුවන්ගේ සියලු තොරතුරු සොයා ගැනීමට පොලිසිය සමත්විය. ඔවුන් සියලු දෙනා වයස අවුරුදු 20, 22 සහ 23 යන වයස් කාණ්ඩවලට අයත් කැලණිය ගෝනවල පදිංචිකරුවන්ය. 


සැකකරුවන් 5 දෙනා කලින් ලැගුම්ගෙන සිටි නිවස ද සොයාගැනීමට පොලිසියට හැකි විය. දෙමෝදර දුම්රිය ස්ථානයට නුදුරු රබර් වත්තේ පිහිටි එම නිවසට නුදුරින් කැලෑ ප්‍ර​ෙද්ශයක තිබී සැකකරුවන් පැමිණි ත්‍රිරෝද රථයක් සොයාගැනිණ. එහි තිබී කඩුවක් මෙන් දිගැති විශාල පිහියක්, කිනිස්සක්, යකඩ කපන කියතක් හා වෙස් මුහුණක් සොයා ගත් බව පොලිසිය කීවේය. 


පළාගිය කොල්ල කල්ලි නායකයා දින දෙකකට පසු ඇල්ල පොලිසියට පැමිණ බාරවූයේ වෙන කළ හැකි දෙයක් නොවූ බැවිනි. 


ස්කෝට්ලන්ත තරුණිය (ජෙනිෆා) ගත් ඡායාරූප නිසා සැකකරුවන්ට කිසිදු ගැලවීමක් නොවූයෙන් සැකකරුවෝ ඇල්ල පොලිසියේදී පාපෝච්චාණය කළහ. සැකකරුවන්ගෙන් දෙදෙනෙක් කියා සිටියේ තමන් මේ මිතුරන් සමග සිටියත් මේ කොල්ල කෑමට සම්බන්ධ නොවූ බවයි. 


ඔවුන් කී දේ දැන් අපි අසමු. 


“අපි පස්දෙනාම යාලුවෝ පදිංචි කැලණියේ ගෝනවල. අපි පස්දෙනාගෙන් තුන්දෙනෙක් කලින් දෙමෝදරට ආවා ත්‍රීවීලර් එකෙන් ඇවිත් එක්කෙනෙකුගේ මාමාගේ ගෙදර නතර වුණා.

අපි දෙන්නා ආවේ පසුදා 15 දා රාත්‍රී මෝටර් සයිකල් එකෙන් කැලණියේ සිට පිටත් වුණා. 16 දා දෙමෝදරට එනවිට අලුයම 4.30 ට විතර ඇති. අපි දෙන්නාත් යාලුවෝ සමග ඒ ගෙදර නතර වුණා.


දවල් 12 ට විතර අපි පස් දෙනාම ආරුක්කු පාලම බලන්න ගියා. ඊට පස්සේ රේල්පාර දිගේම ඇල්ල ස්ටේෂන් එක ළඟට ගිහින් ස්​ෙට්ෂන් එක බලලා එතැන තිබුණ හෝටලයකින් රොටී කෑවා. 


රොටී කාලා ආපසු නවාතැන් ගෙන සිටි ගෙදරට යන්න රේල්පාර දිගේම එන කොට සුද්දියෝ දෙන්නෙක් හම්බ වුණා. ඒ දෙන්න අපට ‘හායි..’ කිව්වා අපිත් ‘හායි..’ කිව්වා. 


ටික දුරක් යනකොට අපේ එක්කෙනෙක් කිව්වා අපි ගිහින් අර සුද්දිලාගෙන් සල්ලි ඉල්ලගමු වියදමටත් අපට සල්ලි නෑනේ කියලා. දෙයිද කියලා අපි ඇහුවා දුන්නේ නැතිනම් අපි බලෙන් ගමු කියලා යාලුවෝ කිව්වා.
අපෝ බැහැ කියලා අපි දෙන්නා එතැන නතර වුණා. අනිත් තුන්දෙනා සුද්දියන්ගේ පස්සෙන් ගියා. 


වංගුවක් නිසා නොපෙනෙන තරම් දුර ඒ අය ගිහින් තිබුණා. සුළු මොහොතකින් යාලුවෝ තුන්දෙනා දුවගෙන ආවා. අපි දෙන්නා බය වුණා. ඒගොල්ලන් ඉස්සරහින් අපි දෙන්නාත් දුවන්න පටන් ගත්තා. 
ටික වෙලාවකට පසු පොලිසියෙන් ඇවිත් අපි අල්ලාගත්තා යැයි ඔවුහු පැවසූහ. 


සුද්දි ගත් ඡායාරූපය නිසාත් කොල්ලකෑ කැමරාව හා මුදල් ද සමගින් කොටු වූ නිසාත් ගැලවීමක් නැති බව දත් අනෙක් කොල්ලකරුවන් තුන්දෙනා ද සිද්ධිය මෙසේද වමාරා තිබේ. 


ඇල්ලේ ජනතාව කියන්නේ විදේශිකයන්ට හිරිහැර කරන කිසිම කෙනෙකුට පැනයන්නට තමන් ඉඩක් නොතබන බවය. බණ්ඩාරවෙල පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතා පැවසුවේ ඇල්ලේ සංචාරකයන් ගැවසෙන සෑම ස්ථානයක්ම ආවරණය වෙන පරිදි විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් දියත් කර ඇති බවය. ඔහු මෙසේද පැවසුවේය. 


පොලිස් නිලධාරීන්ට අමතරව සිවිල් ජනයා මේ ආරක්ෂක වැඩපිළිවෙළට සක්‍රීය දායකත්වය දක්වනවා. සිවිල් ආරක්ෂක කමිටු සාමාජිකයන්, ත්‍රීරෝද රථ රියැදුරන්, කුලීරථ රියැදුරන්, හෝටල් හිමියන්, වෙළඳ ප්‍රජාව ඇතුලු ආරක්ෂක ජාලයක් දිවා රෑ ක්‍රියාත්මක වන නිසා කිසියම් අපරාධයක් කරලා කාටවත් පැනලා යන්න බැහැ.


පසුගිය කාලය පුරාම විවිධ සිද්ධීන්වල සැකකරුවන් අල්ලා දුන්නේ මේ පිරිසයි. හැබැයි එම අපරාධකරුවන් සියලුදෙනා පිටස්තරයෝ. ඇල්ලේ තත්ත්වය දන්නේ නැතිව මේවාට හවුල්වෙලා කොටු වුණා. 
සංචාරකයන්ට මත්කුඩු අළෙවි කරන්න සූදානම් වූ සැකකරුවන් කීප දෙනෙක් ඇල්ලේදී අත්අඩංගුවට ගන්නත් අපට හැකි වුණේ මේ ආරක්ෂක ජාලය නිසයි. 

 

කොල්ලකරුවන් පලායන අයුරු  විදේශීය තරුණියන්ගේ කැමරාවේ සටහන්ව වු අයුරු.

 

 

ඇල්ල නගර මධ්‍යයේ අපි පොලිස් මුරකුටියක් ස්ථාපිත කර තිබෙනවා. රාවණා දිය ඇල්ල අසලම තවත් පොලිස් මුර කුටියක් ස්ථාපිත කර තිබෙනවා. නගර මධ්‍යයේ සංචාරක පොලිසියක් ස්ථාපිත කිරීමට කටයුතු කරගෙන යනවා. 
ඇල්ල ආරක්ෂිත බව සංචාකරයො දන්නවා. අනෙක් අතට අපි හෝටල් මාර්ගයෙන්ද සංචාරකයන් දැනුවත් කරනවා. 


මේ ස්කොට්ලන්ත ජාතික තරුණියන් හොඳ පාඩමක් කාටත් කියලා දුන්නා. එක තරුණියක් එක සැනින් සැකකරුවන් ඡායාරූපයට නගා තිබුණා. අපි සැකකරුවන් ඇල්ලුවත් එය සනාථ කිරීම සඳහා මේ ඡායාරූපය ප්‍රබල සාක්කියක් සපයනවා. 


මා ඒ දෙදෙනාට ස්තුතිවන්ත වෙන අතර අපේ අයටත් කියන්නේ සිද්ධියක් වූ වහාම කලබල නොවී මේ වගේ සාක්කි ලබාදෙන්න පුරුදුවෙන්න කියලා යැයි ද පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතා කීවේය.  


ඇල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මනෝජ් අලගියවන්න මහතා ද මේ ආරක්ෂක සැලැසුම් විස්තර කළේය. 


මේ සිද්ධියේ පැන ගිය ප්‍රධාන සැකකරුට ද ගැලවීමක් නොමැති බව දැන ඇල්ල පොලිසියට පැමිණ බාර වූ බවත් සැකකරුවන් 5 දෙනාම බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව ද ඔහු පැවසුවේය. 


මා පොලිසියෙන් නික්ම ඇල්ල නගරයට ගියෙමි. 


ඇල්ල නගරය මධ්‍යයේ ඇති පොලිස් මුරකුටියේ පොලිස් නිලධාරීන්ගෙන් ආකර්ෂණීය ස්ථාන පිළිබඳව තොරතුරු විමසන විදේශීය සංචාරක කාන්තාවන් පිරිසක් දුටුවෙමි. 


සවස් වෙන විට ක්‍රමක්‍රමයෙන් ඇල්ල නගරය සංචාරකයන්ගෙන් පිරී යන්නේය. ඒ අතරේ මගේ විශේෂ අවධානය යොමුවූයේ නගරය පුරා සවිකර තිබෙන ආරක්ෂක කැමරා පද්ධතියටය. එහි විශේෂත්වය නම් ඒවා ක්‍රියාත්මක නොවීමය. 


රුපියල් ලක්ෂ 10ක පමණ වියදමින් නගරයේ තැනින් තැන සවිකළ ආරක්ෂක කැමරා (CCTV) ජාලය ඇල්ල පොලිස් ස්ථානයේ සිට සම්බන්ධීකරණය වෙන සේ සකස් කර තිබේ. 


ඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට දුරකථනයෙන් කතාකර විමසූ විට එහි නිලධාරිනියක් පැවසුවේ සංචාරක අමාත්‍යංශය විසින් කැමරා පද්ධතිය ස්ථාපිත කර ඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා පොලිසියට බාරදී ඇති බවයි. කෙසේ නමුත් මාසික බිල ගෙවීමට ප්‍රතිපාදන නොමැතිකමින් දැන් මේ කැමරා පද්ධතිය ප්‍රදර්ශන භාණ්ඩ බවට පමණක් පත්ව ඇතැයි දැනගන්නට ලැබිණ. 


ඇල්ල එක්සත් ත්‍රිරෝද රථ සංගමයේ සභාපති ඩී.එම්.සී. දිසානායක මහතා ආරක්ෂක වැඩපිළිවෙළ පිළිබඳව මෙසේ කීවේය. 

 

අත්අඩංගුවට ගත්  ආයුධ ඇල්ල පොලිස් ස්ථානාධිපතිවරයා විසින් පරික්ෂා කළ අයුරු.

 

 

ලංකාවේ කිසිම සංචාරක නගරයක නැති තරම් ආරක්ෂාවක් මෙහි තිබෙනවා. මේක ආරක්ෂක ජාලයක්. අපි ත්‍රිරෝද රථ රියැදුරන් වශයෙන් ඊට උපරිම සහයෝගය දෙනවා. 


අපරාධයක් කරලා කවදාවත් ඇල්ලෙන් පැනලා යන්න අපි ඉඩ තියන්නේ නැහැ. අපි තමයි පොලිසියට තොරතුරු දෙන්නේ. 


සිවිල් ආරක්ෂක කමිටු, ව්‍යාපාරිකයන් මෙන්ම පොදුවේ ඇල්ලේ සියලු දෙනා සංචාරකයන් හොඳින් බලා ගන්නවා. 


අපි රැකෙන්නේ සංචාරක කර්මාන්තය රැකුණොත් පමණයි. 


අපිත් එක්ක මිතුරු වූ විදේශිකයෝ අපටත් විශාල වශයෙන් උදව් කළ අවස්ථා තියෙනවා. 


සමහර සංචාරකයෝ අවුරුද්දකට දෙතුන් පාරක් ලංකාවට එන අය. ඒ අය කියන්නේ ඇල්ල ඔවුන්ගේ ගෙදර වගේ කියලා යැයි ද ඔහු පැවැසීය. රෑ බෝ වෙත්ම නගරය මුලුමනින්ම සංචාරකයන්ගෙන් පිරී ගියේය. 
මේ ලංකාවද කියා සිතාගන්නත් බැරි තරම්ය. වරක් ලෝකයේ හොඳම රෙස්ටුරන්ට් එක ලෙසට තේරුණ “චිල්" (chill) වෙත ගියෙමි. 


සිරිත් පරිදි එය මුලුමනින් පිරී පැවතියේ විවිධ රටවලින් පැමිණි විදේශිකයන්ගෙනි. 


ඔවුන් කීපදෙනෙක් සමග දොඩමලුවීමට අවකාශ ලැබිණ. ඔවුන් පැවසුවේ ඇල්ලේ ආරක්ෂක වැඩපිළිවෙළ පිළිබඳව සතුටුවෙන බවය. ඇල්ලට ඇති ඇල්ම ගැන තරුණියන් බහුතරයක් තම මතය දැක්වූයේ ​ෙළන්ගතුවමය. 
රාත්‍රී 2 පමණ වෙන තෙක් මේ සංචාරකයෝ නගරයේ අවන්හල්වල ගත කරති. මම ද වීදුරුවක් තොළ ගාමින් සල්ලාපයේ යෙදෙමින් ඔවුන් සමග ගත කළෙමි. ඇල්ල නම් පාරාදීසයකි.

 

 

 

 

සටහන, ඡායාරූප
බදුල්ලේ පාලිත ආරියවංශ