කොරෝනාවෙන් බේරෙන්න යාන්ත්‍රික මුඛ ආවරණයක්


නව නිපැයුම් කරන අපේ හපන්නු

 

කොරෝනා වයිරසය පැතිරීමත් සමග ඊට එරෙහිව විවිධ නව නිපැයුම් සෙවීමට බො​හෝ දෙනෙක් ක්‍රියා කළහ. විශේෂයෙන් මුඛ ආවරණ විෂබීජහරණ කුටි මෙන්ම ඖෂධ ලබාදීමේදී රොබෝවරුන් යොදා ගැනීමටද ක්‍රියා කෙරිණ. බොහෝ දෙනෙකු මෙම වයිරසයට එරෙහිව සිය දැනුම උපයෝගි කරගෙන ඊට එරෙහිව යම් යම් යම් උපකරණ නිපදවිය.  


කොරෝනා වයිරසයට එරෙහිව නව මුඛ ආවරණයක් නිපදවීමට කටයුතු කළ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය ආර්.කේ. දුලන ගජබා මහතා ඔහු විසින් නිපදවූ නව මුඛ ආවරණය පිළිබඳ විස්තර කළේය.  


‘මේ නිර්මාණය වැඩිපුරම කළේ වෛද්‍ය පැත්තට යොමු කරවීමට. විශේෂයෙන් දැනට තිබෙන තත්ත්වය ලංකාවට විතරක් නොවෙයි මුළු ලෝකයටම බලපාන තත්ත්වයක්. එයට කොහොමද අප මුහුණ දිය යුත්තේ කියලා මම අධ්‍යයනය කළා. මට ලැබුණු සම්පත් උපයෝගි කරගෙන තමයි මේ නිර්මාණය කළේ. මම මේ ගැන දීර්ඝ අධ්‍යයනයක් කරලා තමයි මේ නිර්මාණය කරන්න කටයුතු කළේ.  


මේ වයිරසයට බලපාන්නේ මොනවාද? මෙහි ඇති රෝග ලක්ෂණ මොනවාද? ඒ අනුව වයිරසයට අදාළව සහ ඊට එහායින් ගිය දෙයක් තමයි මම නිර්මාණය කළේ. ලෝකයේ දැනට තිබෙන වයිරස් පිළිබඳවත් අධ්‍යයනය කරලා කොරෝනා වයිරසය පිළිබඳවත් අදාළ වයිරසය කොහොමද බලපාන්නේ කියලත් සොයා බැලුවා. කො​හොමද මේ වයිරසය අනිත් වයිරසයත් සමග කටයුතු කරන්නේ කියලා අධ්‍යයනය කළා.  


උදාහරණයක් හැටියට මම බැලුවා මේ වයිරසයත් සමග උෂ්ණත්වය රඳා පවතින්නේ ​කොහොමද කියලා. අනිකුත් වයිරස් අතරත් කොහොමද උෂ්ණත්වය රඳා පවතින්නේ කියන අධ්‍යයනයක් කළා. වයිරසයෙන් වයිරසට උෂ්ණත්වය බලපාන්නේ කො​හොමද කියලත් ඊට ක්‍රියා කළ යුත්තේ කොහොමද යන වග සොයා බැලුවා. අනික් කාරණය තමයි ඒ ඒ වයිරසයට රසායනිකයන් වෙනස් වෙන්නේ කොහොමද? තමන්ගේ කෙළ වල වෙනස්වීම් පිළිබඳව වගේම මේ කොවිඩ් වසංගතයට බලපාන්නේ කොහොමද කියලා බැලුවා. කාලයත් සමග අදාළ සියලු දත්ත මෙයින් මනින්න පුළුවන්. අපිට කෙනෙක් දැනුවත්ව හෝ නොදැනුවත්ව අදාළ උෂ්ණත්වයට ඔහු ප්‍රතිචාර දක්වන ආකාරය ස්වයංක්‍රීයව ප්‍රතිචාර දක්වනවා. ඒකට වර්ණ කිහිපයක් යොදා බලා ඒ වර්ණ දැල්වෙන්න සකස් කරලා තියෙන්නේ.  


අදාළ පුද්ගලයා පැයක් හෝ දෙකක් මේ ආවරණය පැලඳ සිටියොත් ඔහුගේ උෂ්ණත්වය පෙන්නුම් කරනවා. උෂ්ණත්වය යථා තත්ත්වයට පත්වුණොත් යළි උපකරණ යථා තත්ත්වයට පත්වෙනවා. සාමාන්‍යයෙන් එක එක වයිරසයට අදාළ උෂ්ණත්වය වෙනස් වෙනවා. සාමාන්‍ය උෂ්ණත්වය අංශක 100ට වඩා වැඩියි. ඕනෑම කෙනෙකුට ඕනෑම අවස්ථාවක උෂ්ණත්වය වැඩියි කියලා හැඟෙනවා නම් ඒ අවස්ථානුකූලව අදාළ පුද්ගලයාට පුළුවන් යම්කිසි ආකාරයකින් දැන ගන්න. මේ උපකරණය මුඛ ආවරණයට එහා ගිය විවිධ උපාංගවලින් සමන්විතයි. සෑම උපාංගයක්ම අපට අධ්‍යයනය කරලා උෂ්ණත්වය වගේම ඊට මුහුණ දිය යුත්තේ කොහොමද කියලා සොයා බලන්න පුළුවන්.  


බොහෝ දෙනෙක් කොරෝනා වයිරසය නිසා රෝහල්වලට යන්න කැමති නැහැ. රෝගය බෝවන්න ඇති බියත් සමග සමාජය ඔහු පිළිබඳ දකින ආකාරය නිසා. ඒ නිසා ගෙදර සිටම යම් කිසි කාලපරාසයක් තුළ මේ වගේ උපකරණයක් භාවිතා කරලා අවශ්‍ය දත්ත අවශ්‍ය ස්ථානයට යොමු කරන්න පුළුවන්. අපි කාර්යාලයක සේවය කරනවා නම් මේ අවස්ථාවල යම්කිසි දුරස්ථභාවයක් තියාගෙන තමයි කටයුතු කරන්නේ. එතකොට ආයතන ප්‍රධානියාට මේ උපකරණය හා සම්බන්ධ වෙලා කටයුතු කළාම ඕනෑම සේවකයකුගේ උෂ්ණත්වය පිළිබඳ තොරතුරක් එනවා. එතකොට තමන් යටතේ සිටින සේවකයන් ගැන දුරස්ථභාවය තබාගෙනම විමසන්නට පුළුවන්.  


අනික රසායනිකයන් වෙනස් වීම, පී.එච්. අගය වෙනස් වීම, විශේෂයෙන් ආහාර රටාවේදී ඕනෑම අවස්ථාවක මෙය වෙනස් වෙන්න පුළුවන්. නමුත් අපි කාලයක් එක්ක පී.එච්. අගය මැන්නොත් අසාමාන්‍ය විදිහට වෙනස් වෙන්න බැහැ. ඕනෑම රෝගයකදී රෝග ලක්ෂණ මතු වුවහොත් එම අගය වෙනස් වෙන්න  පුළුවන්. අදාළ රෝග ලක්ෂණයන්ට අනුකූලව රසායනයන් වෙනස් වීම අපිට ඉදිරියේදී අඳුන ගන්න පුළුවන්. ඒ ඒ අදාළ ගබඩා දත්ත මේ උපකරණයෙන් දැක බලා ගන්න පුළුවන්. එතකොට තමන්ටම බලා ගන්න පුළුවන් පී.එච්. අගය වෙනස් වෙලා තිබෙන්නේ කොහොමද? උෂ්ණත්වය වෙනස් වෙලා තිබෙන්නේ කොහොමද කියලා. ඉදිරියේදී ඇතිවන ඕනෑම වයිරසයකට අදාළ රෝග ලක්ෂණ, ප්‍රතිචාර දක්වන රසායනිකයන් හඳුනා ගන්න පුළුවන්.  


විශේෂයෙන් කුඩා ළමුන්ට, රෝහල් ගතකර සිටින අයට මුහුණු ආවරණ නැතත් මේ උපකරණය අපිට මුහුණ ආවරණයක් ලෙසත් භාවිතා කරන්න පුළුවන්. තවත් ආකාරයකින් මම භෞතික ලක්ෂණ වෙනස් වීම් පිළිබඳවද මම සොයා බැලුවා. වෙන වයිරස් වගේ නොවෙයි කොවිඩ් වයිරසයට අදාළව භෞතික ලක්ෂණ වෙනස්වීමේ අවස්ථාව තිබෙනවා. උදාහරණයකට කැස්ස, කිවිසුම් යාමේ සම්භාවිතාව. රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නැහැ. කියලා සාධක තිබෙනවා. කොරෝනා වයිරසය ආසාදනය වුණාට පස්සේ රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා කියලා කියනවා. මේ මුඛ ආවරණය භාවිත කිරීම තුළින් ඔහු කුමන තත්ත්වයකද පසු වෙන්නේ කියලා අපිට අදහසක් ගන්න පුළුවන්.  


මෙහි තවත් විශේෂ දෙයක් තමයි දුරස්ථභාවය මැනීම. යම් කිසි රෝග ලක්ෂණයක් නොවෙන්න පුළුවන්. මීටරයක් හෝ දෙකක පරතරයක් තුළ අදාළ පුද්ගලයන් නොසිටින්නේ නම් මෙහි දැනුම් දීමක් කෙරෙනවා. වර්ණ වෙනස් වීමකින්. දැනට දුරස්ථභාවය මනින්නේ කාර්ය මණ්ඩලය ​සේවය කරන අවස්ථාවේදියි. මේ යන්ත්‍රය මගින් අපට පුළුවන් දුරස්ථභාවය කොපමණ වේලාවක් තිබේද නැද්ද යන්න කියල සොයා බලන්න. මේ පිළිබඳ ආයතනයේ අංශ ප්‍රධානියාට දැනගන්න පුළුවන්.  


දැන් තිබෙන මුහුණු ආවරණයට වඩා ස්වයංක්‍රීයව දැනුම් දීමක් කරනවා දුරස්ථභාවය පිළිබඳව. ​මේ මුහුණු ආවරණය අපට ඕනෑම ආකාරයකට පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන්. ඕනෑම අයෙකුට මේක උෂ්ණත්වය මනින ආකාරයෙන් භාවිත කරන්න පුළුවන්. මෙහි වැදගත් කාරණය තමයි අදාළ කොටස් වෙන වෙනම භාවිත කරන්නත් පුළුවන් වීම නැතිනම් කොටස් සියල්ල එකවර අමුණ භාවිතා කරන්නත් පුළුවන්. මෙහි තවත් වාසියක් තමයි එක එක කොටස් විෂබීජහරණය කරන්නත් හැකියාව තිබෙනවා. අපේ වගේ රටක දහඩිය දමන සම්භාවිතාව වැඩියි. ඒ නිසා මුඛ ආවරණය පමණක් ඉවත් කරන්න පුළුවන්.  

 

 

මේ නිර්මාණය කරන්න බොහෝ අසීරු වුණා. මොකද අදාළ උපකරණ වගේම අමුද්‍රව්‍ය සොයා ගැනීමට. මොකද මේක අලුත්ම නිර්මාණයක් නිසා. මම පුළුවන් සෑම තැනකම සොයා බැලුවා අදාළ තැන්වල මේ උපකරණ තිබුණේ නැහැ. යුරෝපා සංගමය වගේ. මම මේ උපකරණය ඉදිරිපත් කළා. නමුත් අපට අදාළ උපකරණ ගෙන්වා ගන්න ගැටලුවක් වුණා. කටාර් විශ්වවිද්‍යාලයකටත් ඇමෙරිකාවේ ආයතනයකටත් මම මේ නිර්මාණය ඉදිරිපත් කළා. මට අවශ්‍යකම වුණේ අදාළ උපකරණ ගෙන්වලා අපේ රටේම මේ නිෂ්පාදනය කරලා ඉදිරිපත් කරන්න.  


මේ නව උපකරණ ලංකා​වේ අත්‍යවශ්‍ය සෑම තැනකටම ලබා දෙන්නයි මගේ උත්සාහය. ඊට පස්සේ තමයි ලෝකයේ අනිත් අවශ්‍යතැන් වලට බෙදා දෙන්නේ. මම වෙළෙඳ පොළකට වඩා ලංකාවේ මේ නිර්මාණය කළා කියලා පෙන්වන්න. මගේ රටේම මේ වගේ දෙයක් නිර්මාණය කරලා අපේ රටේම අය මෙය භාවිත කරනවා දකින්න තමයි මගේ අපේක්ෂාව.

 

සටහන :
නිශාන්ත කුමාර බණ්ඩාර