කොරෝනා එන්නත සූදානම්


 

‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ශ්‍රී ලංකාවේ අපට පමණක් නොව මුළු ලොවට ම හිසරදයකි. පසුගිය දා සුබ ආරංචියක් අසන්න ලැබුණි. ඒ, තවත් සාර්ථක යැයි පැවැසෙන, ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වීම වැළැක්විය හැකි ආකාරයේ එන්නතක් සම්බන්ධයෙනි.   


මෙම එන්නත ජර්මනියේ ‘බයෝ ඇන් ටෙක්’ ඖෂධ නිෂ්පාදන සමාගම සහ ඇමෙරිකාවේ ‘ෆයිසර්’ ඖෂධ නිෂ්පාදන සමාගම එකමුතුවෙන් නිර්මාණය කරන ලද්දකි. තෙවැනි අදියරේ පළමු පෙළ සායනික පර්​ෙ‌ය්ෂණ එසේත් නැතිනම් අත්හ දා බැලීම් ද මේ වනවිට සාර්ථක වී ඇති අතර, එන්නතේ සර්ථකභාවය සියයට 90කට වඩා වැඩිය.   


වඩාත් වැදගත්ම දේ, එන්නත ලබා ගැනීමෙන් අතුරු ආබාධ හෝ සංකූලතා හෝ හට නොගැනීමය. ඒ අනුව, ‘බයෝ ඇන් ටෙක් - ෆයිසර්’ එන්නත සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානය යොමු වී අවසන්ය. ඒ අනුව, කෙටි කාලයක දී කොරෝනා වයිරසයට එරෙහි නිර්මාණය කළ එන්නත මෙය බව ද පැවැසෙයි.   
‘අද විද්‍යාවටත්, මනුෂ්‍ය වර්ගයාටත් හොඳ දවසක්. අපට සුබ ආරංචියක් කියන්න තිබෙනවා. අපේ කොරෝනා මර්දන එන්නත සාර්ථකයි’.‘බයෝ ඇන් ටෙක්’  සහ ‘ෆයිසර්’ ඖෂධ නිෂ්පාදන සමාගම් පසුගිය 9වැනිදා ඔවුන්ගේ නව එන්නත පිළිබඳ පුවත ලොවට හෙළි කළේ මෙසේ පවසමිනි.  


රටවල් 6ක, ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූවන් අතරින්, 43,500ක පිරිසක් තෝරා ගනිමින්, එන්නතක් අත්හදා බලා ඇති අතර, ඔවුන්ට ‘කොවිඩ් 19’ වයිරසයෙන් බේරීමට හැකියාව ලැබී ඇත. අතුරු ආබාධ කිසිවක් වාර්තා වී නැත. එන්නත සියයට සියයක් සාර්ථක බව තහවුරු කරමින්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඊට අනුමැතිය හිමි වීමට නම්, තෙවැනි අදියරේ සායනික අත්හදා බැලීම් මුළුමනින්ම අවසන් විය යුතුය. ‘බයෝ ඇන් ටෙක්’ සහ ‘ෆයිසර්’ එන්නත ඇමෙරිකාවේ, ජර්මනියේ, දකුණු අප්‍රිකාවේ, තුර්කියේ, ආජන්ටිනාවේ සහ බ්‍රසීලයේ දී අත්හදා බැලීම් සිදු කර ඇත.   

 

 

එන්නත මාත්‍රා දෙකකින් සමන්විත බව පැවැසෙයි. සති තුනක පරතරයක් යටතේ ඒවා ලබා දෙයි. අවසාන මාත්‍රාව ලබා දීමෙන් පසු ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයෙන් පූර්ණ ආරක්ෂාවක් ලැබේ. එන්නත නිපදවා ඇත්තේ වයිරසය ආසාදනය වීම වැළැක්වීමට පමණි.   


වයිරස ආසාදිතයන් සුවපත් කිරීමට නොවෙයි. ‘බයෝ ඇන් ටෙක්’ සහ ‘ෆයිසර්’ එන්නත සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පර්​ෙ‌ය්ෂකයන් පවා පැහැදීමෙන් කතා කරයි. ඔක්ස්ෆර්ඩ් වෛද්‍ය පර්​ෙ‌ය්ෂකයන් ද මේ වනවිට කොරෝනා මර්දනය කළ හැකි එන්නතක් නිපදවමින් පවතී. එය ද තෙවැනි අදියරේ සායනික අත්හදා බැලීම් සඳහා යොදා ගැනෙයි.   


ඔක්ස්ෆර්ඩ් වෛද්‍ය පර්​ෙ‌ය්ෂකයන් එන්නත නිපදවන්නේ ‘ඇස්ට්‍රා-සෙනෙකා’ ඖෂධ නිෂ්පාදන සමාගම සමඟ එක් වෙමිනි. සායනික අත්හදා බැලීම්වල දී මතුවුණු අතුරු ආබාධ සැලකිල්ලට ගනිමින් ඔක්ස්ෆර්ඩ් එන්නත නිපදවීමේ කටයුතු සිදුවන්නේ මන්දගාමීවය.   


රුසියාවත්, චීනයත් මේ වනවිට ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා එන්නත් නිපදවා ඇත. රුසියාවේ එන්නත ‘ස්පුට්නික් 5’ යන නමින් හැඳින්වෙන අතර, චීනයේ කොරෝනා ආසාදනය වළක්වන එන්නත හැඳින්වෙන්නේ ‘කොරෝනාවැක්’ යනුවෙනි. ලොව පළමුවෙන් ලියාපදිංචි කළ කොරෝනා එන්නත ලෙස සැලකෙන්නේ ‘ස්පුට්නික් 5’ය. රුසියන් රජය , ‘ස්පුට්නික් 5’ එරට වැසියන්ට ලබා දීම සිදු කරයි. එන්නත ලබා දෙන්නේ අවුරුදු 18 වැඩි සහ 65 ට අඩු නිරෝගී පුද්ගලයන්ටය. චීනය ‘කොරෝනාවැක්’ එන්නත පළමුවෙන් ම ලබා දුන්නේ එරට හමුදා සොල්දාදුවන්ටය. 

 
‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආරම්භ වූ වූහාන් නුවර වැසියන්ට ඩොලර් 60ක් වැනි මුදලකට චීන එන්නත ලබා ගැනීමට ද හැකි බව පැවැසෙයි. රුසියන් එන්නත සහ චීන එන්නත මෙසේ ලබා දෙන්නේත්, එය වෙනත් රටවල අත්හදා බැලීම් කරන්නේත් තෙවැනි අදියරේ සායනික පර්​ෙ‌ය්ෂණ යටතේය. රුසියාව ඔවුන්ගේ ‘ස්පුට්නික් 5’ එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය වෙනුවෙන් ඉදිරිපත් කර ඇති නමුත් තවමත් අනුමැතියක් හිමි වී නැත. ඒ, තෙවැනි අදියරේ අවසන් සායනික පර්​ෙ‌ය්ෂණ වාර්තා නොලැබීම නිසා යැයි ද පැවැසෙයි. ‍ලෝක සෞඛ්‍ය සංවිධානය එන්නතකට අනුමැතිය දෙන්නේ එහි සාර්ථකත්වය සියයට 50ට වැඩි නම් පමණි.   


ජර්මනියේ ‘බයෝ එන් ටෙක්’ සහ ඇමෙරිකාවේ ‘ෆයිසර්’ ඖෂධ නිෂ්පාදන සමාගම් එක් වී නිපදවා ඇති, ‘කොවිඩ් 19’ වයිරසය ආසාදනය වළක්වන එන්නත පළමුවෙන් ලැබෙනු ඇත්තේ ඇමෙරිකානුවන්ට ය. ඊට හේතුව, එන්නත පළමුවෙන් ඇමෙරිකානුවන්ට පමණක් ලබා දීමට ‘බයෝ එන් ටෙක්’ සමාගම ඇමෙරිකන් රජය සමඟ ගිවිසුමකට අත්සන් කර තිබීමය. එන්නත නිපදවා ඇත්තේ ඇමෙරිකන් රජයේ මුදලිනි.   
එන්නත නිපදවන්නැයිි ‘බයෝ එන් ටෙක්’සමාගමට උපදෙස් දී ඇත්තේ පසුගිය ජනාධිපතිවරණයෙන් ධූරය අහිමි වුණු ඩොනල්ඩ් ට්‍රම්ප් ය.   


‘බයෝ එන් ටෙක්’ සමාගමට ඇමෙරිකාවේ ‘ෆයිසර්’ ඖෂධ නිෂ්පාදන සමාගම් සම්බන්ධ කළේ ද ට්‍රම්ප් ය. ට්‍රම්ප්ට අවශ්‍ය වූයේ නොවැම්බර් 3 වැනිදා ඇමෙරිකන් ජනාධිපතිවරණය පැවැත්වීමට පෙර, එන්නත සාර්ථක බව ලොවට කීමට ය. ඒ වනවිට එන්නත සාර්ථක බව තහවුරු වී තිබුණු බව ට්‍රම්ප් පවසා ඇත. කෙසේ නමුත් ප්‍රතිවා දී ඩිමොක්‍රටික් පාක්ෂික ජෝ බයිඩන් ප්‍රමුඛ තම සතුරන් එය වැළැක්වූයේ යැයි ට්‍රම්ප් චෝදනා නගයි. එන්නත සාර්ථක බව ජනපතිවරණයට පෙර නිවේදනය කළේ නම්, එය ට්‍රම්ප්ට වාසියක් වනු නොඅනුමානය.

 

 

ලු‍සිත ජයමාන්න  
රොයිටර් ඇසුරිනි