කොරෝනාවෙන් බැට වැදුණු වෙළෙඳ ව්‍යාපාර


 

මේ වනවිට ලොව පුරා වෙළෙඳ ව්‍යාපාර සහ තාක්ෂණික මධ්‍යස්ථාන ගණනාවකට කොරෝනා වෛරසය විසින් දැඩි ප්‍රහාර එල්ල කර තිබේ. වෛරසය දරුණු ලෙස ව්‍යාප්ත වී ඇති රටවල පමණක් නොව එම වෛරසය නිසා බොහෝ ගැටලුවලට පත් පිරිස ද විශාලය. චීනය සහ වෙනත් රටවල්වල යම් යම් වෙළෙඳ සබඳතා පවත්වා ගනිමින් සිය ජීවනෝපායයන් සලසා ගත් මෙරට බොහෝ සුළු හා මධ්‍ය පරිමාණ විවිධ ව්‍යාපාරිකයන්ට හදිසියේ ඇතිවූ මෙම අවාසනාවන්ත තත්ත්වය හේතුවෙන් සිය ව්‍යාපාර නතර කරන තැනට පත්ව සිටින බව ඔවුන් හා කළ කතා බහේ දී අනාවරණය විය.   


ඒ අය අතර ඇස් කණ්ණාඩි, කර්මාන්ත අමුද්‍රව්‍ය, රෙදිපිළි. සෙල්ලම් බඩු ඇතුළු වෙනත් බොහෝ දෑ ගෙන එන, ව්‍යාපාරිකයන් රැසක් මෙම තත්ත්වය මත දැඩි අර්බුදකාරි තත්ත්වයකට පත්ව සිටිති.   


මේ පිළිබඳව අපි ඔවුන් හා කතා කළෙමු. එහිදී මරදාන, බත්තරමුල්ල යන ප්‍රදේශයන්හි සිය කර්මාන්තය පවත්වාගෙන යන තරුණ ව්‍යාපාරිකයෙකු වන දෘෂ්ටි විශේෂඥ ක්ලියර් විෂන් ආයතනයේ රුවන් වෙදගේ  මහතා: 


“මම හෝල්සේල් පටන් අරගෙන අවුරුදු පහක් විතර වෙනවා. කොරොනා ප්‍රශ්නය මට දැනෙන විදියට ලංකාවට සෟජුවම බලපාල තියෙන්නේ වෙළෙඳාමට තමයි. හැම භාණ්ඩයක්ම ගත්තොත් සියයට 90ක් විතර ජනතාව පරිභෝජනය කරන භාණ්ඩ චීනයෙන් තමයි ගෙන්වන්නේ. සාමාන්‍යයෙන් අපි බොහෝ දෙනා මාස දෙක තුනකට තමයි භාණ්ඩ ගේන්නේ. එක එක අයිටම්ස් ඒ විදියට ගේනවා. සමහරු සතියෙන් සතිය ගේනවා. ඔප්ටිකල් කිව්වහම අපි මාස දෙකෙන් තුනෙන් තමයි චයිනාවලින් බඩු ගෙන්වන්නේ. දැන් අපි කතා කළාම ඒ අයගේ ෆැක්ටරිස්, ෂොප්ස් ඔක්කොම වහලා තියෙන්නේ. ඒ අය අපිට කියන්නේ තව මාසයක්, මාස එකහමාරක් විතර ඒවා ඕපන් කරන්න යනවා කියලයි. කොරෝනා ප්‍රශ්නය නිසා ඒ බොහෝ දෙනා තමන් රැකියා කළ නගරවලින්, ඈත්වෙලා තම තමන්ගේ ගම්වලට ගිහිල්ලා ඉන්නේ. අපි ගනුදෙනු කරන්නේ බොහෝ විට ඔන්ලයින් වීඩියෝ කෝල්ස් වලින්. ඒ අය ගෙවල්වලට වෙලා, ගෙවල්වල තියෙන දෙයක් උයාගෙන කාලා, වැඩිය එළිපහළියට යන්නේ නැතුව අත්‍යවශ්‍ය දෙයක් කරගෙන තමයි ඒ අය ජීවත් වෙන්නේ. ඒක නිසා ඒ අයගේ ප්‍රොඩක්ෂන් සේරම වගේ නැවතිලා තියෙන්නේ. ඒක හින්දා අපි ඒ රටට යන්නේ නැතුව, ඔන් ලයින් හෝ ගිහින් ගෙන්න ගන්න විදියක් නෑ. සමහර වෙලාවට අපිට ඔන්ලයින් ගිහින් බඩු මොනවා හෝ ඕඩර් කරගන්න පුළුවන්කම තිබුණා, ඒ අය ෆෝන් ඕපන් කරලා තිබුණා නම්. නමුත් ඒ කිසිවක් නැහැ.   


ඔප්ටිකල් නැතහොත් ඇස් කණ්ණාඩි කියන භාණ්ඩය, සාමාන්‍ය මිනිස්සුන්ට අත්‍යවශ්‍ය භාණ්ඩයක් කියලා නැහැ. හැබැයි අත්‍යවශ්‍ය භාණ්ඩයක් නොවුණාට, මෙම භාණ්ඩය පාවිච්චි කරන කෙනාට මෙය හරිම ඉහළයි. ඒක නැතුව වැඩක් කරගන්න බැහැ. නමුත් වෙන රටවල්වල විශේෂයෙන්ම මාලදිවයින වැනි රටවල මාස හයෙන් හයට ඇස් කණ්ණාඩි වෙනස් කරනවා. ලංකාවේ සාමාන්‍යයෙන් කරන්නේ අවුරුදු දෙකක් විතර පාවිචිචි කරලා තමයි අලුත් එකක් නැවත ගන්නේ. ඒ නිසා ලොකු වෙනස්වීමක් නැහැ. අපිට ඉල්ලුම අනුව භාණ්ඩ සැපයීමට දැනට පුළුවන්. දැනට මාකට් එකේ ඇස්කණ්ණාඩි හිඟයක් වෙලා නැහැ. හැබැයි සුවිශේෂ ඇස් කණ්ණාඩි ලෙන්සස් තියෙනවා. ස්ටොක් එකේ ගොඩාක් අඩු ලෙන්සස් තියෙනවා. ඒවා සමහර කට්ටිය මේ වෙලාවේ මිල පොඩ්ඩක් වැඩි කරලා තියෙනවා. අපිට තොග වෙළෙඳාමේ දී අලුත් කස්ටර්මර් කෙනෙක් අලුත් පාරිභෝගිකයෙක් අල්ල ගන්න වෙනවානේ. හැබැයි ඒක දැන් නතර කරලා තියෙනවා. අලුත් කස්ටර්මර්ලා හොයාගෙන, ඒ අයට බඩු දෙන්න විදියක් නැහැ. ඇයි අපි අපේ පරණ කස්ටර්මර්ට දෙන්න බැරිවෙනවානේ. ඒ නිසා බිස්නස් එක රදා පවත්වා ගන්න අපි අපේ පරණ අයට විතරක් මේ වෙලාවේ බඩු දෙනවා.   


කොරෝනා කේස් එක තව මාස 6 ක් විතර එක දිගට මේ විදියට ගියොත් අපිට විශාල පාඩුවක් වෙනවා. අපි ඒ අය එක්ක කතා කළාම කියන්නේ තව මාසයක් විතර යයි. අපි මාසෙකට විතර පස්සේ ඕපන් කළාම ප්‍රශ්නේ ඉවරයි කියලා. දැනට ඒ තත්ත්වය තමයි තියෙන්නේ.   


ලංකාව තුළ අපිට ලොකු ටෙන්ඩර් එකක් ආයතනයකින් ලැබෙනවා කියලා. ඒවට අපි කළින් දීපු මිලක් තියෙනවානේ. ඒ මිල පොඩ්ඩක් වෙනස් වෙනවා අලුත් මාකට් එකත් එක්ක.   
පොඩි පොඩි ව්‍යාපාර කරන අයට ප්‍රශ්න ඇතිවෙලා තියෙනවා. භාණ්ඩ ගෙන්වීමේ දී ප්‍රමාදයන් ඇතිවෙලා තියෙනවා. ඒ නිසා අපේ ව්‍යාපාරවලටත් පොදුවේ බලපා තියෙනවා. කම්කරුවන් නැති නිසා වැඩ කෙරෙන්නේ නැහැ. සමහර රටවල භාණ්ඩ හිරවෙලා තියෙනවා. ඒ නිසා ඒ අයගේ ආර්ථිකයත් හිරවෙලා තියෙනවා. මම කරන්නේ ප්ලාස්ටික් කර්මාන්තයට සම්බන්ධ අය.   


අනුර විජේතුංග- පොලිමර් නිෂ්පාදකයන් සහ ප්‍රතිචක්‍රීකරණියේ සභාපතිවරයා ය. ඔහු වසර ගණනාවක් පුරා නිරතව සිටින ක්ෂේත්‍රය වන්නේ පොලිතීන් සහ ඒ ආශ්‍රිත කර්මාන්තය. මෙම කොරෝනා වෛරසය සමග ඔහු මේ වන විට පත්ව ඇති වියවුල පිළිබඳව ඔහු සිය අදහස් ප්‍රකාශ කර සිටියේ මෙසේ ය.   


 “මේ කර්මාන්තය අවුරුදු 40-50 ක් පරණයි. මම මේ කර්මාන්තයට ඇවිත් අවුරුදු 20ක් විතර වෙනවා. මේක තමයි අපිට පළමු වෙනි වතාවට ආපු විශාලම ප්‍රශ්නය. කර්මාන්තවලට චීනයෙන් අමුද්‍රව්‍ය එන්නේ නැහැ. ස්පෙයා පාර්ට්ස් එන්නේ නැහැ. මෙෂින් එන්නේ නැහැ. රසායනික ද්‍රව්‍ය, වර්ණක, ගෙන්වනවා. බාගෙට නිෂ්පාදනය කරපු භාණ්ඩ, වෙනත් භාණ්ඩ වෙනුවෙන් ගෙන්වනවා. ඒ සියල්ල දැන් නතර වෙලා තියෙනවා. මේ තත්ත්වය තව මාස දෙක තුනක් තිබුණොත් එහෙම මේ කර්මාන්තයටම අති විශාල බලපෑමක් වෙනවා. තාම අර කලින් ගෙන එන ලද ස්ටොක් එක තියෙනවා. චිනයේ සමහර ආයතන වැඩ යන්තම් පටන් අරන් තියෙනවා. සමහර කම්පැනිස් අනික් පැත්තට වෙනස් වෙලා තියෙනවා. මගෙත් සිප්මන්ට්ස් වගයක් මේ මාසේ මැද වෙන කොට ඒ අය දාන්නම් කියලා පොරොන්දු වුණා. නමුත් පසුගිය මාසෙටම කිසිම දෙයක් එහෙන් ආවේ නැහැ.   


පොලිතීන් කර්මාන්තකරුවන් රටේ 800ක් පමණ ඉන්නවා. මෙයට සෟජුවම සම්බන්ධ වෙලා ඉන්නවා 40,000 කට වැඩි පිරිසක්. වක්‍රව ලක්ෂ 6-7 කට වැඩිය ඉන්නවා. අපි නිෂ්පාදනය කරන ඒවා, තොග වෙළෙඳාම්කරුවන් අරන් යනවා, ඒ අයගෙන් සිල්ලරට ගන්න අය. ඒ අයගේ පවුල් , තව අපේ ආයතනවලට සැපයුම්කරුවන් එනවා. ඒ සේරම අය ගත්තහම ලක්ෂ 6-7 ක් ඉන්නවා. මේකට විසඳුමක් ඇත්තටම නැහැ.   


චිනය තමයි අද ලෝකයේ සියලු දෙනා අමුද්‍රව්‍ය සම්බන්ධයෙන්, ආහාර වර්ග සම්බන්ධයෙන් ඇඳුම් පැලඳුම් ගැන මේ සේරම චිනයෙන් බලාගෙන ඉන්නවා. වෙන රටවල් චීනයට එක්ස්පෝර්ට් කරනවා මැනිෆැක්චර්වලට. ගෙනැල්ලා ලෝකයටම බෙදා හරිනවා. දැන් හැමෝම ගල් වෙලා වගේ බලා ඉන්නවා. බොහෝ දුරට අපි හිතනවා තව මාස 2-3කින් හරියාවි කියලා.   


සමහර චිනයෙන් රෙදිපිළි ගේන අයට මෙවර සිංහල අවුරුද්දට විකුණන්න රෙදි නැහැ. අපි මාසයකට සැරයක් දෙසැරයක් මැෂින්, ස්පෙයාපාර්ට්ස් ගේන්න චීනයට යනවා. ආණඩුව කියනවනේ ලන්චිෂිට් එක කොම්පෝස්ට්වලින් ගහන්න කියලා. දිරායන ලන්ච් ෂීට් ගහන්න කියලා. ඒක ලංකාවේ කෙරෙන්නේ නැහැ. ඒක වෙනම කතාවක්. එය ලොකු ප්‍රශ්නයක්. දැනට ඒ මැටිරියල් සියයට 99 ක් ම එන්නේ චීනයෙන්. ලන්ච්ෂීට්වල නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැති නිසා දැනට ගැටලුවක් නැහැ. නමුත් හරියට නීතිය ක්‍රියාත්මක වෙනවා නම් ලන්ච් ෂීට්වල හිඟයකුත් ලංකාවේ එනවා. මේ ප්‍රශ්නය මුලු ලෝකයටම බලපාපු ප්‍රශ්නයක් නිසා, අපිට මේ විසඳුම් දෙන්න කියලා කාටවත්ම අපිට බල කරන්න බැහැ. මෙය සමාජ ව්‍යසනයක් වෙලා නැහැ. චීනයේ බොහෝ තැන්වල කර්මාන්තශාලා ඇරලා තියෙනවා. නමුත් වැඩකරන්න වර්කස්ලා ඇවිල්ලා නැහැ. කතා කරන කතා කරන හැම තැනකම කියන්නේ නෝ වර්කර්ස් කියලා තමයි. ස්ටාෆ් එක විතරයි ඉන්නේ.”   


බදුල්ල සහ රත්නපුර විදේශ නිමි ඇඳුම් ව්‍යාපාරික උපුල්’ස් ඉන්ටර් නැෂනල් ආයතනයේ අධිපති උපුල් පෙරේරා මහතා:   


“අපි බණ්ඩාරවෙල, රත්නපුර යන ප්‍රදේශවල ටෙක්ස්ටයිල් කරනවා. අපි ඉහළම ප්‍රමිතියෙන් යුතු ඇඳුම් තමයි අලෙවි කරන්නේ. සියලුම ඇඳුම් අපි පිටරටින් තමයි ගෙන්වන්නේ. අපේ නම හදාගෙන තියෙන්නේ සායම නොයන, ඉහළ ප්‍රමිතියක් තියෙන ඇඳුම්. ඒ නිසාම අපිටම හැදුණු විශේෂ ක්‍රවුඩ් එකක් අපිට ඉන්නවා. අපි ලෝකල් කළොත් අපේ ෂොප්වලට සෙනඟ එන්නේ නැතුව යනවා. වියට්නාමය, පිලිපීනය, ඉන්දියාව, බැංකොක්වලින් තමයි ඇඳුම් ගේන්නේ. එදා ඉදන් අපි කරගෙන ගියා.   


අපි පිලිපීනයෙන් ඇඳුම් තොගයක් ගේනවා නම්, ඒකත් ලංකාවට එන්නේ සිංගප්පූරුව හරහා කොහේ හෝ ට්‍රාන්ස්සිස්ට් එකකනේ. අපි ජනවාරි මාසේ ගිහිල්ලා දාපු බඩු, අපි බලාපොරොත්තු වෙනවා මේ වෙනකෙට අපේ සාප්පුවලට ඇවිල්ල තියාගන්න. නමුත් තාම ඒ තැන්වල ඒවා. අපි ඒ අදාළ සීසන්වලට බැංකු ණය අරන්, ණය වෙලා තමයි මේවා අමාරුවෙන් කරන්නේ. අවුරුදු දෙකක කාලය තුළ අපි ආර්ථිකයෙන් පීඩාවට පත්වෙලා හිටියනේ. ඒකත් එක්ක දැන් මේ ප්‍රශ්නෙදී අපි හිතුවා හොඳක් වෙයි කියලා. ඒ නිසා එක එක රටවලින් ඇඳුම් අරන් කන්ටේනර් වලින් දැම්මා. ඒවා දැන් තැන් තැන්වල නතර කරලා තියෙනවා. අපේ පාරිභෝගිකයෝ එනවා ඇඳුම් අහගෙන. එතකොට අපි ගාව විකුණන්න කිසි දෙයක් නැහැ. අපි බලාපොරොත්තු වුණේ නැහැනේ මෙහෙම දෙයක්. ජනවාරි මාසේ දාපු කන්ටේනර් තාම සිංගප්පූරුවේ නවත්තලා තියෙනවා. ඇත්තටම මේවා ආවේ නැති වුණොත් අපිට අපේ ෂොප් ටික වහන්න වෙනවා. සියයකට වැඩිය සේවක පිරිසක් අපි ළඟ ඉන්නවා. කාගෝ වලින් අපි ඇහුවහම කියන්නේ මේ කොරෝනා ප්‍රශ්නය නිසා මේ සියල්ල නතර කරලා තියෙනවා කියලා තමයි. ඒ අය කියන දේ අහලා අපි බලාගෙන ඉන්නවා.”   


චීනයේ සිට ප්ලාස්ටික් භාණ්ඩ ගෙනවිත් මෙහි ව්‍යාපාර කටයුතු කරන තවත් ව්‍යාපාරිකයෙකු සිය අදහස් ප්‍රකාශ කර සිටියේ, නම සඳහන් නොකරන ලෙසට ඉල්ලීමක් ද කරමිනි.

   
චීනයේ ඇත්තටම දැන් වැඩ පටන් අරන් තියෙනවා. පාසල් විශ්වවිද්‍යාල තාම පටන් අරන් නැහැ. කර්මාන්ත ශාලා වැඩ පටන් ගත්තට එහි බොහෝ සේවකයන් තවම රැකියාවලට ඇවිත් නැහැ. ඒ නැති නිසා නිෂ්පාදනය අඩාළ වෙලා තියෙන්නේ. චීන රජයට හොඳ නැහැ අපි එහෙම ප්‍රකාශ දෙනවට. චීන රජය කිසිසේත්ම කියන්නේ නැහැ අපේ සියල්ල අඩාළ වෙලා තියෙනවා කියලා. නමුත් පෞද්ගලිකව මට පේන දෙයක් තමයි ඒ අයට අපේ ඉල්ලුම සපයන්න බැරි වෙලා තියෙනවා. නමුත් රටක් විදියට එහෙම ප්‍රකාශයක් කරන්නේ නැහැ. තාම ඒ කර්මාන්ත ශාලාවල වැඩ සාර්ථකව කෙරෙන්නේ නැහැ කියන එක තමයි කියන්න තියෙන්නේ.   


චීන බඩු ගුණාත්මක බවින් අඩුයි කිව්වට අපි ගෙන්වන භාණ්ඩ ප්‍රමිතියෙන් හොඳයි. භාණ්ඩ වැඩිපුර ඉල්ලන කොට කොලිටි එක බාල කරලා බඩු සප්ලයි කරන එකනේ වෙන්නේ. සෙල්ලම් බඩු වුණත් ඉහළම ප්‍රමිතියේ ඒවා යුරෝපයට යනවා. අඩු ප්‍රමිතියේ ඒවා තමයි අපේ වගේ රටවලට එන්නේ. හේතුව අපිට මුදල් වැයකරන්න බැහැනේ. අපේ දුප්පත් මිනිස්සුන්ට තමන්ගේ දරුවන්ට ඉහළම ප්‍රමිතියෙන් යුත් සෙල්ලම් බඩුවක් අරන් දෙන්න හැකියාවක් නැහැනේ. ඒකයි ඒ තියෙන්නේ.   


මේ සියලු කතන්දර මැද කියැවෙන එකම දේ වන්නේ ඔවුන් සියල්ලන් මෙම කොරෝනා වෛරසය නිසා මේ වෙන විට ඇතිව තිබෙන තත්ත්වයන් මත දැඩි ලෙස අසරණව සිටින බව ය. තමන්ට පිළිසරණක් වෙන ලෙසට කිසිවෙකු හමුවේ ඉල්ලීම් කළ නොහැකි වුව ද, උදාවෙන හෙට දවස යහපත් වනු දැකීම ඔවුන්ගේ ප්‍රාර්ථනය වී තිබේ.   

 

 

පද්මිණි මාතරගේ