කොටුව පොලිස් ප්‍රධානියාගේ වැඩ තහනම් වූ ‘බෝම්බ ප්‍රහාර’ ලිපිය


දන්නා තොරතුරු අදාළ ස්ථානවලට දැනුම් නොදීමෙන් දැවැන්ත විනාශයකට පාර කැපූවැයි හිටපු පොලිස්පතිටත්, හිටපු ආරක්ෂක ලේකම්ටත් චෝදනා එල්ලවී තිබෙන අතර දෙදෙනාම දැන් ඒ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරගතව ඇත. ඒ අත්දැකීමටම තමන්ටත් මුහුණ දෙන්නට සිදුවේදෝයි ඇති කරගත් කලබලය නිසාමදෝ ලැබුණ තොරතුරු නිසියාකාරව තහවුරු කර නොගෙන අනතුරු ඇඟවීමේ සිද්ධියකට මේ වෙනවිට කොටුව පොලිසියේ අපරාධ අංශයේ හා පාලන අංශ​ෙය් ස්ථානාධිපතිවරුන් පසුගියදා වැඩ තහනමට ලක්ව සිටී.   


පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු ලැබි තිබිණ. පහරදෙන ස්ථාන සම්බන්ධයෙන්ද දළ තොරතුරු ලැබී තිබිණ. පහරදීමට දිනකට දෙකකට පමණ පෙර පහර දීමට නියමිත දෙවස්ථාන මොනවාද යන්න සම්බන්ධයෙන්ද තොරතුරු හෙළිදරව්වී තිබිණ. බුද්ධි අංශයට ලැබුණු තොරතුර බුද්ධි ප්‍රධානියාට ලැබුණ බවට ද තහවුරු විය. එසේම එය ආරක්ෂක ලේකම්වරයාටද ලැබී ඇති බව ද තහවුරු විය. මේ සම්බන්ධයෙන් පොලිස්පතිගේ අනුදැනුම විශේෂ පොලිස් ඒකකවලට ද දැනුවත් කර තිබිණ. එහෙත් එම ප්‍රහාර වළක්වාගැනීම සඳහා ඉන් එහාට කළ යුතු කිසිවක් කිසිවෙක් විසින් සිදුකර තිබුණේ නැත. ‘ගහනවා කියලා කියා තිබුණත් මෙහෙම ගහයි කියලා හිතුවේ නෑ’ යැයි පසුව ආරක්ෂක ලේකම්වරයා මාධ්‍යයට ප්‍රකාශයක් ලබාදෙමින්ද පවසා තිබිණ.   


 එලෙස දැනුවත්ව හෝ නොදැනුවත්ව හෝ හැමෝගෙන්ම සිදුවුණු නොසලකා හැරීම් නිසා අවසානයේ ජීවිත තුන්සීයක් පමණ අහිමිව, තවත් බොහෝ පිරිසකට අතපය ඇස් කන් අහිමි විය. තුවාල සිදුවිය. බරපතළ ශල්‍යකර්මවලට භාජනය වෙන්නට සිදුවිය. ඇතැමුන් වසර දහයක් පහළොවක් පමණ ගතවෙනතුරු සාමාන්‍ය ජීවිතයක් ගත කරන්නට බැරි විෂබීජවලින් දැඩි ආරක්ෂාවක් සහිතව ජීවත් වෙන්නට සිදුවෙන රෝගීන් බවට පත්විය. මේ සියල්ලට වගකියන්නේ කවුද? වගකීම් භාරගත්තද ඔවුන්ගේ පෙර පැවති ජීවිත ලබාදීමට හැකිවෙන්නේ කාටද?   


 පාස්කු ඉරුදින ප්‍රහාරයට මාස පහක් පිරෙද්දී යළිත් ප්‍රහාරයක කසුකුසුවක් ඇසෙන්නට පටන් ගත්තේය. කතාබහ කරළියට පැමිණියේ සංචාරක හෝටල් හා බිෂොප් මැදුර ඔස්සේය. තවත් ප්‍රහාරයක් ගැන තමන්ට ලැබුණු ලියුමක් පිළිබඳව හෝටල් ක්ෂේත්‍රයේ අය අතර කතාබහ පැතිර ගියේ ලැව්ගින්නක් ලෙසිනි. ඒ ආරංචිය බිෂොප් මැදුර වෙතද ඉගිල ආවේය. මැල්කම් කාදිනල් රංජිත් පියතුමා ආරක්ෂක අංශවලින් ඉල්ලීමක් කරමින් පල්ලිවලට පෙර ලබාදී තිබූ ආරක්ෂාව තවදුරටත් ලබාදෙන ලෙස ඉල්ලීමක් කළේය. තවදුරටත් පල්ලි මංගල්‍යයන්හිදි විශාල පිරිස් සහභාගී කර ගනිමින් සිදුකරන පෙරහැර නැවැත්වීමට හෝ චාම්ලෙස සරළව සිදුකරන්නට පියවර ගන්නා ලෙස කාදිනල්තුමා ක්‍රිත්තියානි පල්ලිවලින් ඉල්ලා සිටියේය. පාස්කු ඉරිදා ප්‍රහාරය හා සමාන ප්‍රහාරයක් නැවත සිදුකරන්නට යන්නේය යන කතා බහ සමාජයේ කරළියට පැමිණියේ ඒ සමගය.   
 ඒ පිළිබඳව ආරක්ෂක අංශ දිගින් දිගට සොයා බලාගෙන යනවිට දැනගත හැකිවුයේ එය කාදිනල්තුමාගේ හෝ හෝටල් හිමියන්ගේ හෝ අනියත බියක් නොවන බවය. සාකච්ඡාවට පදනම්වී තිබෙන්නේ කොටුව පොලිසියෙන් නිකුත් කෙරුනු ලියවිල්ලකි. කොටුව පොලිසියේ ස්ථානාධිපතිගේ වගකීම යටතේ අත්සන් කර මෙම ලිපිය කොළඹ ප්‍රධාන පෙළේ හෝටල් දහයකට යොමුකර තිබිණ. හිල්ටන්, ගලදාරී, කිංස්බරි, ෂැංග්‍රිලා, ටාජ්, ග්‍රෑන්ඩ් ඔරියන්ටල්, සිටි, ස්ටුවට්, ෆෙයාවේ හා ද වන් එම හෝටල් දහයය.   
එම ලිපියේ සඳහන්ව තිබෙන්නේ අප්‍රේල් 21 ප්‍රහාරයට සමාන දැවැන්ත ප්‍රහාරයක් සංචාරක හෝටල් ඇතුළු මර්මස්ථාන රැසක් ඉලක්ක කරගෙන සිදුකිරීමට සැලසුම් කර ඇති බවට බුද්ධි අංශ වෙත වාර්තාවී ඇති බවය. එම ප්‍රහාරයට යොදාගන්නා තැනැත්තන්ගේ තොරතුරු ශ්‍රී ලංකා පොලිසිය සතුව ඇති බවද එම ලිපියේ දක්වා ඇත. ඒ අනුව තම තමන්ගේ හෝටල් වෙත දෛනිකව නවාතැන් ගැනීමට පැමිණෙන දේශීය හා විදේශීය සංචාරකයින්ගේ තොරතුරු ඇතුළත් වාර්තාවක් දිනපතා පෙරවරු 9.00ට පෙර කොටුව පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපති වෙත ලැබීමට සලස්වන්නැයි එමගින් ඉල්ලීම් කර තිබේ.   


පාස්කු ඉරිදා සිදුවූ ප්‍රහාරයට ලක්වූ හෝටල් කීපයකටද මේ ලිපිය යොමුකර ඇත. ඒ ඇත්දැකීම විඳ ඇති ඕනෑම කෙනෙක් මේ ලිපිය ලද වහා කලබලවීම පුදුමයක් නොවේ. ඒ නිසා මේ කියන්නේ මොකක්දැයි ඔවුන්ද විවිධ තැන්වලට කතා කරමින් හොයන්නට වූහ. හෝටල් වෙත ලැබුණු ලියුම අනුව කිසිවෙකු ඒ ගැන කාදිනල්තුමා දැනුවත් කර තිබේ. එසේම පොලිසියේ කිසියම් වගකිවයුතු අයෙක්ද ඒ ගැන කාදිනල්තුමන් දැනුවත් කර ඇති බවටද දැන ගන්නට තිබේ.   


 පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු පල්ලිවල උත්කර්ෂවත් ලෙස සිදුකරනු ලබන පල්ලි මංගල්‍යයන් චාම් ලෙස සිදුකිරීමට වගබලා ගැනිණ. පෙරහැර පැවැත්වීම බොහෝදුරට සිමා කෙරිණි. ප්‍රධාන පෙළේ පල්ලිවලට රජයෙන් ආරක්ෂාව ලබාදුන්නේය. ප්‍රහාරයට මාස පහක් ගත වෙනතුරුත් නැවත ප්‍රහාරයක සේයාවක්වත් පෙනෙන්නට නොවුයෙන් රජය පල්ලිවලට ලබාදුන් එම ආරක්ෂාව තරමක් දුරට ලිහිල් කරනු ලැබිණ. මේ ලිපිය පිළිබඳ තොරතුරු වාර්තාවීමෙන් පසු කාදිනල්තුමන් ආරක්ෂක අංශ වෙතින් ඉල්ලීම් කරනු ලැබුවේ එම ලිහිල් කරන ලද ආරක්ෂාව වෙනුවට පෙර පරිදිම තවදුරටත් ආරක්ෂාව ලබාදීමට කටයුතු කරන ලෙසය.   


මේ සම්බන්ධයෙන් අගදරගුරු පදවි මාධ්‍ය සම්බන්ධිකාරක ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා මෙලෙස පැහැදිලි කළේය.   


‘කාදිනල්තුමන්ට විශ්වාසකටයුතු ආරංචි මාර්ගයකින් දැනගන්න ලැබුණා පාස්කු ඉරිදා ප්‍රහාරය වගේම ප්‍රහාරයක් නැවතත් පල්ලි හා හෝටල් කේන්ද්‍ර කරගෙන සිදුකරන්නට යන බව. මේක මැතිවරණ කාලයක්නේ. ඒ නිසා සමහරු අතර කතාවක් ඇති වුණා මැතිවරණ රැස්වීම් ඉලක්ක කරගෙනත් ප්‍රහාරයක් එල්ල වෙන්න පුලුවන් කියලා. ඒ නිසා මේ ආරංචිය සමඟ කාදිනල්තුමා ආරක්ෂක අංශ සමග කතාකර පල්ලිවලට කලින් ලබාදී තිබූ ආරක්ෂාවම ලබාදෙන ලෙස ඉල්ලා සිටියා.”   


 පොලිසියෙන් යවන ලද ලිපිය ඇතැම් මුහුණු පොත් පිටු අතර සැරිසැරුවේය. යළි භීතියක් සමාජය තුළ ඇති කරන්නට එය හේතු විය. ප්‍රශ්නය මතුවෙන්නේ පොලිසියේ ප්‍රධානීන්ටය. කවුද මෙවැනි ලිපියක් යොමු කිරීමට අවසර දුන්නේ? මේ තොරතුර තහවුරු කරගන්නා ලද්දක්ද? පොලිස්පතිගේම අවධානයට යොමුවූ මේ ප්‍රශ්නවලට පිළිතුරු සොයනවිට දැනගත හැකි වූයේ මෙවැනි ප්‍රහාරයක සුදානමක් ගැන බුද්ධි අංශ වෙත වාර්තා වී ඇතත්, එය තහවුරු කරගෙන නැති බවය. තොරතුරක් ලද පමණින්ම එය සත්‍යයක් ලෙස ගත හැකි නොවේ. සාක්ෂි සාධක සහිතව එය තහවුරු කරගත යුතුය. බුද්ධි තොරතුරක් පරිපූර්ණ වෙන්නේ එවිටය. එය ඉහළ නිලධාරීන්ගේ දැනුවත් භාවයට යොමු කරන්නේ ඉන් අනතුරුවය.   


 එහෙත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසන පරිදි, මෙම තොරතුර එලෙස තහවුරු කර නොගත් තොරතුරකි. එවැන්නක් සමාජය අතරට යවා කලබල ඇති කිරීම බරපතල වරදකි. කොටුව පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිගේ හා පාලන අංශයේ ස්ථානාධිපතිගේ වැඩතහනම් කරනු ලබන්නේ ඒ වරද හේතුකර ගනිමිනි.   


තහවුරු කර ගන්නා ලද තොරතුරක් වුවද මෙවැනි බරපතළගණයේ අපරාධ අවස්ථාවකදී එය කිසියම් අංශයක් වෙත දැනුවත් කරන්නේ නම් කළ යුත්තේ පොලිස්පතිගේ අනුදැනුම ඇතිවය. එහෙත් මේ සිදුවීමට අදාළව එවැනි දැනුවත් කිරීමක්ද සිදුව නැත. ලිපිය යොමුකර තිබුණේ ස්ථානාධිපතිගේ අත්සන යටතේය. ලිපියේ කිසිම නිල මුද්‍රාවක් නැත.   
ස්ථානාධිපතිගේ නමින් නිකුත් කළ ලිපියක් සම්බන්ධයෙන් අපරාධ අංශයේ හා පාලන අංශයේ ස්ථානාධිපතිගේ වැඩ නහනම් කරන්නේ ඇයි?   
රුවන් ගුණසේකර මහතා පෙන්වා දෙන්නේ එම ලිපිය ස්ථානාධිපතිගේ අත්සන යටතේ නිකුත් කරනු ලැබුවත් සැබෑවටම එහි අත්සන් කර තිබෙන්නේ ස්ථානාධිපති සාගර ලියනගේ මහතා නොවන බවය. මෙය පාලන අංශයේ ස්ථානාධිපතිවරයා හා අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා එක්ව සැලසුම් කර ව්‍යාජ ලෙස අත්සන යොදා යවා ඇති ලිපියක් බවට තොරතුරු ලැබී ඇතැයිද ගුණසේකර මහතා පැවසීය.   


එසේනම් මේ දෙදෙනා තහවුරු කර නොගත් තොරතුරක් සමාජයට නිකුත් කර කලබලයක් ඇති විය හැකි තත්ත්වයක් නිර්මාණය කිරීමේ වරද පමණක් නොව ස්ථානාධිපතිවරයාගේ අත්සන ව්‍යාජව යොදා ගනිමින් කූට ලේඛන සකස් කිරීමේ වරදටද චෝදනා ලබනු ඇත.   


මෙහි සත්‍ය අසත්‍යතාව කවදා හෝ හෙළිදරව් වෙන්නේ ඔවුන් අධිකරණයකට කැඳවා සාක්ෂි ලබාගත් විටකය. කෙසේ වෙතත් ඔවුන් සිදුකළේ තහවුරු කර නොගත් තොරතුරක් සමාජ ගත කිරීම නම් එසේ සිදුකළේ කුමන හේතුවක් නිසාද? ඒ සඳහා ඔවුන් මෙහෙයවනු ලැබුවේ කවුරුන් විසින්ද? 

 
මේ මැතිවරණ සමයකි. පාස්කු ඉරිදා ප්‍රහාරය අමතක වෙමින් පවතින අවස්ථාවක ජාතික ආරක්ෂාව ගැන වඩාත් කතාබහට ලක්කරමින් ඒ වෙනුවෙන්ම බළය මාරු කළ යුතු යැයි සමාජයේ කතා බහක් ඇතිවෙමින් තිබෙන වෙලාවක මෙවැනි භීතියක් සමාජයේ යළි නිර්මාණයවීම ඇතැම් අපේක්ෂකයින්ගේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට මහත් පිටුවහලක් වනු ඇත. ඒ නිසා මේ සිදුවීම පිටුපස තිබෙන අදිසි හස්තය සොයා ගත යුතුව ඇත. එහෙත් එය කවදාවත් හෙළිදරව් නොවන බව නම් පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා ගැනීමට අසමත් වු වගකිව යුත්තන් හෙළිදරව් නොවුවා සේම සත්‍යයක් බව නම් පැහැදිලිය.  

 

 

 

 


මුදිතා දයානන්ද