කොටින්ට හිසරදයක් වූ ගජබා රෙජිමේන්තුවේ තාත්තා


 

​හය හතර නොතේරෙන වයසේ සිට මම යුද හමුදාවට ඇලු‍ම් කළෙමි. ඒ කුමන හේතුවක් නිසාදැයි යටින් ඉරක් ගසා හුවා දැක්වීමට නොහැකි වුවද ප්‍රෞඩ ලීලාව, එඩිතරකම, ප්‍රියමනාප බව, ක්‍රමානුකූල බව මින් එක් කරුණක් හෝ සියල්ලම ඒ සඳහා හේතු පාදක වන්නට ඇතැයි මට දැන් සිතේ. යුද හමුදාවට බැඳීමට මහත් කෑදරකමකින් බලා සිටි මම සුදුසුකම් සපිරුවාවූ පළමු අවස්ථාවේදීම ඒ සඳහා යත්න දැරීමි.

එහෙත් දෙමාපියන් සහෝදර සහෝදරියන් ගුරුවරුන් ඇතුළු සියල්ලන් මා වෙත එල්ල කළාවූ දැඩි විරෝධය හේතුවෙන් එය කඩාකප්පල් වී ගියේය. කෙසේ වෙතත් ඉන් වසර ගණනක් ඇවෑමෙන් මම ආධුනිකයෙකු වශයෙන් යුද හමුදාවට බැඳුණෙමි. දියතලාව ආධුනිකයින් පුහුණු පාසලින් සාර්ථකව පුහුණු පාඨමාලාව හැදෑරීමෙන් අනතුරුව මා ඇතුළත්කර ගනු ලැබ තිබුණේ පළමුවැනි රජරට රයිෆල්ස් බළ ඇණියටය. 


පසුව එය ගජබා රෙජිමේන්තුව බවට පත්විය. එය පාබළ රෙජිමේන්තුවකි. කනට කර පවසන දෙයකට ඇහුම්කන් දිය හැකි තරමට සතුරා අසළට ගොස් සටන් කිරීම පාබල සෙබළෙකුගේ කාර්යභාරයයි. නොඑසේනම් ස්වභාවයයි. මේ සඳහා එඩිතර, බුද්ධිමත්, උපායශීලි නායකත්වයක් අත්‍යවශ්‍යය. ඒ සඳහා අධි සම්මාන ලබා දිය හැකි පන්කාදු නායකයින් රොත්තක් අප රෙජිමේන්තුව සතු විය. වත්මන් ජනාධිපති, ආරක්‍ෂක ලේකම්, යුධ හමුදාපති, විශ්‍රාමික මේජර් ජෙනරල් ජගත් ඩයස්, විශ්‍රාමික මේජර් ජෙනරල් නිර්මාල් ධර්මරත්න මේ ඒ අතරින් බොහෝම ටික දෙනෙකි. කීප දෙනෙකුගේ නම් සඳහන් කළද තවත් බොහෝ පිරිසක් සිටියහ. මේ සියල්ලන්ටම පාහේ ගජබා පවුලේ සදාදර තාත්තා ලෙස නියම නායකත්වය කිසිදු අඩුපාඩුවකින් තොරව ලබා දුන්නේ ත්‍රස්තවාදී අරගලයේ හැරවුම් ලක්‍ෂ්‍යකට පැමිණ සිටි මොහොතක අප අතරින් වියෝවූ මේජර් ජෙනරාල් විජය විමලරත්න නමැති අසහාය සෙන්පතියා විසිනි. ඔහු සෙන්පතියකු මෙන්ම අපට සෙවණ දෙන මහා වනස්පතියකු විය. මෙවන් වූ අභීත දැවැන්ත නායකයන් සමඟ උතුරේ බෙදුම්වාදී ත්‍රස්තවාදීන් සමඟ යුද පෙරමුණේ ඉදිරියටම ගමන් කළ හැටි මාගේ මතකයේ නිදන් ගතව ඇත......   


පෙරමුණේ සිට හෙළය රකිනා අපයි ගජබා බළමුළු‍   
එදා හෙළ රජ යුගය සිහිකර මෙදා බුජබල පෙන්වමු   
නීල සෙන්පති සමඟ ගජබා නිරිඳු රණ ගී ගය ගයා   
කලම්බා සත් සයුරු එතෙරට සොළීන්ගේ එඩි සුන් කළා   
සොළොස් දහසට සුවිසි දහසක් රැගෙනවිත් තෙද බලය පා   
දෑ අභිමානය පෙන්නු එඩිතර හෙළ පුතුන් මග යමු නොබා   
රජරටේ අනුරාපුරය අප නිජබිමයි එය ජය බිමයි   
ස්වර්ණමාලි සෑ රජුන්ගේ සෙවන දෑ අබිමන් වඩයි   
තුන් කෙළක් අඩ හෙළය ජනතා සුරැකුමට ලැබ ගෙන වරම්   
අපේ ළය එඩි පපා පෙරටම මිසක් නැත ආපසු ගමන්   


යුද පෙරමුණේ ඉදිරියෙන්ම සිට සතුරාට ප්‍රහාර එල්ල කරමින් සටන් වැදුණු අපට ගජබා ගීතය ශබ්ද විකාශන යන්ත්‍ර මඟින් ඇසෙන්නට සලස්වා සතුරාගේ මානසික තත්ත්වය බිංදුවටම දමා ඔවුනට දැඩි අලාභහානි කරමින් අපේ චිත්ත ශක්තිය උපරිමයටම නංවාලමින් රටට යමක් කරන්නට ලැබීම ගැන ඇත්තටම මම අද බොහෝ සෙයින් ආඩම්බර වෙමි. සක්‍රීය සේවයෙහි යෙදී සිටියදී අන්තිම වශයෙන් අවිය ආයුධාගාරයට භාරදී විශ්‍රාම ගන්නේ කවදාදැයි නිතර දෙවේලේ දෑතෙහි ඇඟිලි එහාට මෙහාට ගැන්නද අද වැනි දවසෙක විශ්‍රාමිකයෙකු ලෙස සිටියදී නැවත ආධුනිකයෙකු මෙන් ආරක්‍ෂක හමුදාවට එක්වන්නට ඇත්නම් යැයි සිතෙනවාර අනන්ත අප්‍රමාණය. ඉහත කී නිලධාරීන්ට අපි බොහෝ සේ ඇළුම් කළෙමු. අදද ඇළුම් කරන්නෙමු. ඒ අන් කිසිවක් නිසා නොව ගජබා පවුලේ අපේ සදාදර පියාණන් වියෝ වූ නමුත් ඔහුගෙන් ලද එඩිතර නායකත්වය පුර්වාදර්ශය දිනෙන් දිනම තව තවත් ඔප් නංවමින්, පන්නරය ලබමින්, ඉදිරියටම කරපින්නාගෙන මේ වන විට රටේ අනාගතය බාරගෙන කටයුතු කරන උදාර සේවාව නිසාවෙනි.   


1983 වසරේදී පැවැත්වූ ජනමත විචාරණය සඳහා යාපනය ප්‍රදේශයේ රාජකාරිවල නිරතව සිටියදී රජරට රයිෆල්ස් බළඇණියේ සෙබළුන් අතින් සිදු වු අවාසනාවන්ත සිදුවීමක් හේතුවෙන් එම බළඇණිය විසුරුවා හරින ලදී. විනය පුහුණු පාඨමාලාවකින් අනතුරුව විජයබා පාබළ රෙජිමේන්තුව සමඟ ඒකාබද්ධ කොට ගජබා රෙජිමේන්තුව ස්ථාපිත කරන ලද්දේ අනුරාධපුර සාලියපුර මුලස්ථානය කොට ගනිමිනි. එහි ප්‍රථම අණදෙන නිලධාරියා වුයේ මේජර් විජය විමලරත්න නම් වූ අභීත යුග පුරුෂයාය. බළඇණි දෙකක් එකට එකතුකර නිර්මාණය කළා වූ එක් රෙජිමේන්තුවක් පවත්වාගෙන යාම එසේ මෙසේ කටයුත්තක් නොවේ. එසේ මෙසේ පුද්ගලයෙකුට කළ හැකි කටයුත්තක්ද නොවේ. ඒ සඳහා උපායශීලී එඩිතර, අභීත නායකත්වයක් අවැසි වේ. බළඇණි දෙකක නිලධාරීන් සහ සෙසු නිලයින් එක මේසයක කෑමට වාඩි කරවා ගැනීමම මහත් ගැටලු‍වකි. අභියෝගයකි. අපි විජයබා සෙබළුන් හා නිලධාරීන් දෙස බැලු‍වේ පිළිකුලෙනි. ඔවුන් අපේ තත්ත්වය බාල්දු කළා යැයි අපි ඔවුනට පරිභව කළෙමු. එදා අප සිටියේ ඇමෙරිකාවේ කළු ජාතිකයින් සහ සුදු ජාතිකයින් ලෙසිනි. එහෙත් ඒ සියල්ලන් කිසිදු මතභේදයකින් තොරව එකිනෙකා වැලඳ ගන්නට වැඩි දොහක් ගත වුයේ නොවේ. ඒ අණදෙන නිලධාරිතුමාගේ හරවත් දේශනයක් හෝ දෙකක් පැවැත්වීමෙන් අපේ ටිකිරි මොළ සෝදාපවිත්‍ර කිරීමෙන් අනතුරුවය. ඉන්පසු කිසිඳු වාදභේදයකින් තොරව සෑම සියලු දෙනාම අත්තපාත් කර ගත්තාක් මෙන් එඩිතර නායකත්වයට ගරු කරමින් අද වන විට පවතින තත්ත්වයට ගජබා රෙජිමේන්තුවේ අභිමානය ගොඩනගන්නට කටයුතු කළහ. සමඟිය ශක්තියයි යන උද්ධෘතයට ඒ නියමාර්ථයට අපි දිවිහිමියෙන් ජීවය ලබා දුන්නෙමු. එම සාර්ථක අස්වැන්න සමස්තයක් ලෙස මේ හෙළදෙරණට ලැබීම සබැඳිව ශ්‍රී ලාංකිකයෙකු වශයෙන් මෙහි ඡන්ම ලාභය ලද්දේ නම් අනිවාර්යයෙන්ම මේ නායකත්වය ලබා දීම ගැන ඔහුට හිස නමා ආචාර කළ යුතුය. ගරු බහුමානයෙන් සිහිපත් කළ යුතුය.   


1989 වසරෙහි මම අම්පාර ප්‍රදේශයෙහි රාජකාරි කරමින් සිටියෙමි. ඒ වන විට පැවති රජය ගෙන ගියා වු පාලනයට එරෙහිව නැගුණාවූ තරුණ නැගිටීම තුළින් ජන ජීවිතය අවුල් වෙමින් තිබිණ. එක් තුණ්ඩු කැබැල්ලකින් රටම “ෂට්ඩවුන්” විය. පොලිසියටත් ත්‍රිවිධ හමුදාවටත් රාජකාරී අතින් හුස්මක් කටක් ගන්නට පවා බැරි විය. ලංකාව දෙපැත්තම අවුළන ලද දෙකොන විලක්කුවක් විය. ඒ අතරට මම නිවසින් ලද අසුභ ආරංචියකින් නන්නත්තාර වීමි. කරකියාගත හැකි කිසිවක් නොමැතිව කරන්නේ කුමක්දැයි සිතාගන්නට බැරිව පිස්සෙකු බවට පත්වීමි.   


“මල්ලි ලොකු පුතා හමුදාවෙන් අරං ගියා”   


මගේ අයියාගේ පුතා එවකට උසස් පෙළ ඉගෙනුම ලබමින් සිටි අතර රටේ ඒ වන විට පැවැති භාෂාවෙන් සඳහන් කරතොත් ඔහු මරන්න හොඳ වයසක් සහ සටන් පුහුණුව සඳහා ඩමියක් ලෙස පාවිච්චි කිරීමට සුදුසු දේහයකින් යුක්ත විය. මේ හේතූන් නිසාම මගේ හද බොහෝ සෙයින් රිදුම් දෙන්නට විය. මම වහාම මගේ කණ්ඩායමේ නිලධාරි අණදෙන වශයෙන් කටයුතු කළ කපිතාන් කමල් ගුණරත්න මහතා ඉදිරියෙහි සියල්ල වැමෑරුවෙමි. රටේ පැවැති වාතාවරණය සම්බන්ධව මනා වැටහීමක සිටි ඔහු ඒ මොහොතේම මා සමඟ අණදෙන නිලධාරී මේජර් නියුමාල් පලිපාන මහතා හමුවට ගියේ කිසිඳු පැකිළීමකින් තොරවය. තත්ත්වය මටත් වඩා හොඳින් අණදෙන නිලධාරීතුමාට වටහා දුන් ඔහු මේ ගැන කළ හැකි උපරිම දේ ඉෂ්ටසිද්ධ කරදෙන ලෙස ඉල්ලා සිටියේ ප්‍රමාදය තව තවත් ගැටලු‍ව ව්‍යාකූලවන බවට අනතුරු අඟවා පහදා දෙමිනි.   


“ඔයා නිවාඩුවක් දාලා දැන්මම ගෙදර යන්න. මම මෙහෙන් කරන්න පුළුවන් දෙයක් කරන්නම්.” කපිතාන් කමල් ගුණරත්න මට ලබාදුන් උපදෙස අනුව මම ක්‍රියාන්විතය සැලසුම් කළෙමි.   


නිවසට පැමිණ වහාම මම ගාල්ල වලව්වත්ත හමුදා කඳවුරට ගියෙමි. මාගේ අනන්‍යතාව තහවුරු කර දරුවා පිළිබඳ විමසුවෙමි. ඒ ඒවනවිට කඳවුරෙහි සිටි උසස්ම නිලධාරියා සමඟය. එහෙත් මට ලැබුණු පිළිතුර සබැඳිව මම සෑහීමකට පත්නොවුණෙමි. මම ඔහු සමඟ දිගටම තර්ක කළෙමි.   


“ස්ටාෆ් ඔයා ඔයාගේ පුතා හොයාගෙන මෙහාට ආවනං හිතේ තියාගන්න පුතා දැක්ක කිසි කරදරයක් නැහැ කියලා. හැබැයි අපි ඔයාගෙ පුතා ගෙනාවෙ නැහැ.” උසස් නිලධාරියාගෙන් මා ලද පිළිතුරෙන් තාර සහ ටින්ටෙක්ස් ඇණකෑවාක් මෙන් විය. එහෙත් දරුවා ඔවුන් රඳවාගෙන සිටින බවට ලද ඉඟියෙන් මම යම් අස්වැසිල්ලක් ලද අතර ඔහු පියවි දසුනක් ලෙස දැකගන්නට මුළු නිවාඩු කාලයම ඒ සඳහා දිය කළෙමි. නමුදු අවසන හිස් අතින් මම නැවත සේවයට වාර්තා කළෙමි.   


“හරි ස්ටාෆ් මෙහේ ඉඳගෙන ඕකට මොකවත් කරන්න බෑ. මම හෙට නිවාඩු යනවා. අපි යමු බ්‍රිගේඩියර් විමලරත්න ගාවට. එයා කොළඹනේ ඉන්නේ.”කපිතාන් කමල් ගුණරත්න මට පැවසූ දෙයින් මම බොහෝ සතුටට පත් වුණෙමි. ගනුදෙනුව බේරාගත හැකි ඉවක් මට දැනෙන්නට විය.   
මම කපිතාන් කමල් ගුණරත්න සමඟ ඒකාබද්ධ මෙහෙයුම් අණදෙන නිලධාරී කාර්යාලයට ගොස් බ්‍රිගේඩියර් විමලරත්න හමු වීමි.   


“මොකක්ද ස්ටාෆ් ප්‍රශ්නෙ?”   
“සර් මගේ අයියගෙ පුතා ගාල්ල කෑම්ප් එකෙන් අල්ලගෙන ඉන්නවා” මට කියන්නට හැකි වුයේ එපමණකි.   
“ස්ටාෆ් එන්න එපා ඔය කෙටේරි දෙක ඔළුවෙ ගහගෙන මට ත්‍රස්තවාදී නිදහස් කරන්න කියල කියන්න. වහාම යන්න එළියට”   
මම හැඟු‍ම්බරව හිස් අතින් එළියට ආවෙමි. මම හැඟු‍ම්බර වනවා බ්‍රිගේඩියර් ද හොඳටම දුටුවා යැයි මම සිතුවෙමි. එහෙත් අවසන් තීරණයෙන් මට සෑහීමකට පත්වීමට සිදුවිය. අඩු වශයෙන් ප්‍රශ්නෙට ඇහුම්කන් දුන්නනං මට සිතුණි.   
ගතව යන්නට ඇත්තේ තවත් විනාඩි දෙක තුනකි.   
“සර් ඔයාට සර් කතා කරනවා.” කෝප්‍රල්වරයෙකුගේ දැන්වීමෙන් මම යළිඳු බ්‍රිගේඩියර් අබියසට ගියෙමි.   
“මොකක්ද මොකක්ද තමුසෙ කියන්නෙ. දැං ඒ මිනිහා බේරල ආයෙම රට ගිනිතියන්න නිදහස් කරල ගෙදර යවන්න කියලද කියන්නෙ.” පෙර තිබූ සැර පරුෂ බව මඳක් නිවී ගොස් “කූල් ඩවුන්” වී ඇති බව මට පැහැදිලි වන්නට විය.   
“නෑ සර් මගෙ දරුව වරදක් කරල තියෙනවනං ඒකෙන් එයා නිදහස් කරල දෙන්න කියල මම කියන්නෙ නැහැ. මම ඉල්ලා හිටින්නෙ වැල්ලෙ උසාවියෙ නඩුව අහල දඬුවම් කරන්න එපා කියල කියන එකයි. මට දරුව පෙන්නල ඉන්න බව සනාථ කරන එකයි විතරයි.”   
අංක කරකවා ඇමතුම් ලබා ගන්නා දුරකථනයෙන් ගාල්ල වලව් වත්ත කඳවුරට ඇමතුමක් ලබා ගත් ඔහු මා දෙස බැලු‍වේ සංසුන් වූ මනසකිනි. එය මට මහත් අස්වැසිල්ලක් විය.   
“හා.....වසන්ත කොහොමද? මං මේ හදිසියෙම ගත්තේ මෙන්න මේ මගෙ ස්ටාෆ් කෙනෙක් ඇවිල්ල මං ගාව කන් කෙඳිරි ගානවා එයාගෙ පුතා ඔයාලා අල්ලගෙන ඉන්නවයි කියලා.” ඔහු කතා කරන්නේ ගාල්ල කඳවුරු භාර සේනා විධායක කර්නල් වසන්ත පෙරේරා සමඟ බව කතාවෙන් මම අවබෝධ කර ගතිමි.   
“ආ.........නම.........”බ්‍රිගේඩියර් මගෙ මුහුණ බැලු‍වේ දරුවාගේ නම අසන්නාක් මෙන් සංඥාවකිනි.   
“අමල් නිශාන්ත” මම කීවෙමි.   
“අමල් නිශාන්ත.....ආ.....හයි ඉන්වෝල් නේ.....ආ.....අපිට පුළුවන් නේද ස්ටාෆ්ට වගකීම දීල ඕකා මිනිහට භාර දෙන්න. ඌ ප්‍රවේශම් කරගන්න බැරි උනොත් අපි ස්ටාෆ් අල්ල ගමු.” සංවාදයේ සියල්ල මට නෑසුණද බ්‍රිගේඩියර් පවසන දෙයින් මම සියල්ල අවබෝධ කර ගතිමි.   
“ආ.....මම මිනිහ එවන්නම්”   
“හරි වසන්ත. ඕකේ සීයූ......”   
මම දෙවිවරුන්ට පිං දෙන්නට ප්‍රථම බ්‍රිගේඩියර් විජය විමලරත්න නම් දෙවියාට, උතුම් මිනිසාට පිං දුන්නෙමි. එදිනම සවස මම දරුවා නිදහස් කර ගතිමි.   
වරෙක ගජබා ඒකකයේ කණ්ඩායම් දෙකක් පූනානි ප්‍රදේශයේ ක්‍රියාන්විතයක් සඳහා පිටත්ව ගියහ. අණදෙන නිලධාරී විජය විමලරත්නද ඒ සඳහා සහභාගි වී සිටි අතර සැරයන් සිරිවර්ධන ඔහුගේ ආරක්‍ෂක මුරය සඳහා යොදවා තිබිණ. වාහනයක ඇති වු ආබාධයක් හේතුවෙන් මනම්පිටියේදී ගමන මඳකට නතර කරන්නට සිදු විය. ඒ අනුව අණදෙන නිලධාරිවරයාද එහි රැඳී සිටියේය.   
“ආ....සාජන් සිරිවර්ධන ගෙවල් මෙහේ නේද?”   
“සර් මගෙ ගෙවල් කළුතර. මෙහේ මගෙ වයිෆ් ටීචින් කරනවා.”   
“එතකොට ඔයා......?”   
“ඔව් සර් දැනට මම මෙහේ ඉන්නව තාවකාලිකව. එයාගෙ “ට්‍රාන්සර්” එක දෙන්න බෑ කියනවනේ මෙහෙන්.” සැරයන් සිරිවර්ධන ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත්තේය.   
“ඒ මොකද බෑ කියන්නේ? හරි..... සම්පුර්ණ විස්තරය ලියල කළුතර යන්න ඕන ඉස්කෝලෙ සඳහන් කරල සීසීට ගෙනත් දෙන්න මට දෙන්න කියලා. සති දෙකකින් වැඩේ හරි නොගියොත් ඇවිල්ල මාව හම්බ වෙන්න.”   
දින හත අටක් පමණ ගත වෙන්නට ඇත. උ/මැ/දියසෙන්පුර මහා විද්‍යාලයේ සිට ක/වේලාපුර මහා විද්‍යාලයට ගුරු මාරුව සිදු කෙරුන අතර සැරයන් සිරිවර්ධන අණදෙන නිලධාරී හමුවී තිබුණේ ඒ බව දැනුම් දීමට සහ ස්තුතියක් පුද කිරීම යුතුකමක් වන නිසා බැවිනි.   
“ඇයි සාජන් ඒ වැඩේ හරි ගියේ නැද්ද?”   
“නෑ සර් වැඩේ හරි. අප්‍රේල් මාසෙ 29 ඉදල කළුතර වැඩ භාර ගන්න තියෙන්නේ. මම සර්ට ස්තුති කරන්නයි ආවේ.”   
“ආ....ඒකනේ මම මේ ඩිම් උනේ වැඩේ හරි ගියේ නැද්ද කියලා. දැන් මෙහේ අස් කරගෙන එහේ යන්න ඕනැනේ?”   
“ඔව් සර් වාහනයක් හොයාගෙන ගෙදර බඩුටික අරන් යන්න ඕනැ.”   
“හා...ඒක කෙරෙන දවසට එම්.ටී. එකෙන් වාහනයක් ඉල්ල ගන්න බඩු ටික අරන් යන්න. එම්.ටී. ඔෆිසර්ට කියන්න මගෙන් වර්ක් ටිකට් එක අත්සන් කරවගන්න කියල.”   


මේ ඔහු කළ මානුෂීය උපකාර කීපයක් පමණි. අප නොදන්නා මෙවන් සත්කාරයන් තවත් කොපමණනම් ඇත්ද? එවන් වු උතුම් මිනිසෙකු ශ්‍රේ‍ෂ්ඨ නායකයෙකු අපට අහිමි වීම රටට කෙතරම් පාඩුවක්දැයි කෙසේ නම් තරාදියක දමා කිරනවා දැයි මටනම් වැටහෙන්නේ නොවේ.   


1940 අගෝස්තු මස 25 වන දින වනිගමුනි ඉන්ද්‍රජිත් විජයකුමාර මෙන්ඩිස් විමලරත්න නමින් දකුණේ රුහුණු පුරවරයේ තලල්ල නම් ග්‍රාමයේදී උත්පත්තිය ලද මොහු අධ්‍යාපනය ලබන්නේ කොළඹ රාජකීය විද්‍යාලයෙහිය. අද මෙන් නොව හැටේ දශකයේ ආරක්‍ෂක හමුදාවන්වල නිලධාරියෙකු ලෙස සම්බන්ධ වීමේදී බොහෝ සුදුසුකම් සපුරාලිය යුතුව තිබිණ. අධ්‍යාපන සුදුසුකම්වලට වඩා අමතර සුදුසුකම් රාශියක් තිබිය යුතු විය. වෙන එකක් තබා පරම්පරා ගණනක වතගොත, වත්පොහොසත්කම් ගැනද පරතෙරටම සොයා බලන ලදී. රත්තරන් පෙරන්නාක් මෙන් සම්මුඛ පරීක්‍ෂණ ගණනාවකින් පසුවයි සුදුසුම පුද්ගලයා ඒ සඳහා තෝරාගනු ලබන්නේ. 1962 වසරේ කැඩෙට් නිලධාරියෙකු ලෙස ආරක්‍ෂක හමුදාවට එක්වු ඔහු ඉන්දියානු මිලිටරි ඇකඩමියට ගොස් එතෙර යුද පුහුණුවකින් සහ මෙරට පුහුණුවකින් පසු 2/ලු‍තිනන්වරයෙකු ලෙස පාබල හමුදාවට අධිකාරි පත්වීම් ලබන්නේය. 1969 වසරේ ගැමුණුහේවා බලඇණියටත් 1983 වසරේ ගජබා රෙජිමේන්තුව ආරම්භයත් සමඟ එහි ප්‍රථම අණදෙන නිලධාරියා වන්නේය. මා දන්නා තරමට යුද හමුදාවේ වැඩිම පාඨමාලා ගණනක් කළ නිලධාරියා වන්නේ ඔහුය. ඒවා මෙහි සඳහන් කළොත් ලිපිය අවසන් කරන්නට වන්නේ ඒවා ගැන විස්තර වලින් පමණි.   


 මේ අසහාය නිලධාරියා හැකි සෑම අවස්ථාවකම යුද පිටියේ ඇවිදිමින් සංචාරය කරමින් ත්‍රස්තවාදීන් මර්ධනය කිරීම සඳහා නවීන යුද උපක්‍රම සොයා ගියේය. කැලෑවල සැඟවී සටන් කරන්නාවු ත්‍රස්තවාදීන්ට ප්‍රහාර එල්ල කළ හැකි හා ඒවා තුළ ඇති කඳවුරු විනාශ කර දැමිය හැකි කැලෑ සටන් සඳහා වෙනමම හමුදා කණ්ඩායම් පුරුදු පුහුණු කළහ. දින ගණන් සති ගණන් කැලෑ තුළ සැඟවී රැක සිට පහර දීම සඳහා කණ්ඩායම් පුරුදු පුහුණු කළහ. විශේෂයෙන් මෙවැනි කණ්ඩායම් කළාවු පහරදීම් අති සාර්ථක වී එයින් ත්‍රස්තවාදීන්ද අන්ද මන්ද වී ගිය අතර ත්‍රස්තවාදී නායකත්වයට ගැටළුවක් වී තිබුණේ ඔවුන්ගේම කණ්ඩායම් මෙවන් ප්‍රහාර එල්ල කරනවා ඇත්ද යන්නයි. මෙම අභීත සෙන්පතියා සාමන්‍ය නිල ඇඳුම හෝ තම නිලතල පදක්කම් ඇඳ සිටිනු මා දැක නැති ගාණය. ඔහු දකින සෑම අවස්ථාවකම පාහේ මා දුටුවේ කැලෑ ඇඳුමින් සැරසීගෙනය. ඔහුට “බ්‍රිගේඩියර් ජන්ගල් විජේ විමලරත්න” යන නම පටබැඳුනේ එනිසා වෙන්නට ඇතැයි මට සිතමි.   

 


මා ඉහත සඳහන් කළ ගජබා රෙජිමේන්තුවේ නිලධාරීන් සියලු‍ම දෙනාට අපි ඇලු‍ම් කළෙමු. අදටද ඇළුම් කරන්නෙමු. ගෞරව කරන්නෙමු. ඒ ඔවුන් අපගේ ජානමය වශයෙන් ලේ නෑයන් වන නිසාය. අප පලදිනු ලැබුවේ එකම හිස්වැස්ම නිසාය. අප එකම රෙජිමේන්තුවක නිසාය. එහෙත් ඒ සමානවම අපි ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මැතිතුමාටද ගෞරව කරන්නෙමු. ඒ උතුරේ පැවති ත්‍රස්තවාදී අරගලයේදී ජෙනරල් විමලරත්නත්, ජෙනරල් කොබ්බෑකඩුවත් යන මේ සුසංයෝගයෙන් දියත් කළා වු ක්‍රියාන්විතයන් සඳහා ලද එඩිතර නිර්භීත නායකත්වය නිසාය. කෙසේ වෙතත් ඔවුන්ගෙන් නිසි, නිවැරදි නායකත්වයක් ආරක්‍ෂක හමුදාවන්ට ලැබුණද ඒ සඳහා පැවති රජයෙන් අවශ්‍ය දේශපාලන සහය නොලැබුණාය යන්නයි එවකට ආරක්‍ෂක අංශ සාමාජිකයින් තුළ තිබුණාවූ කසුකුසුව. එබැවින් ඔවුන් යුද්ධය ඇදගෙන ගියේ ඇඟේ හයියෙන් බව කිවයුතු මනාය.   


මීට අවුරුදු විසි අටකට ප්‍රථම 1992.08.08 වන දින යාපනය අර්ධවීපයේ කයිට්ස්හි අරාලි තුඩුවේදී නිරීක්‍ෂණ චාරිකාවක යෙදී සිටියදී බිම්බෝම්බයකට හසුවීමෙන් මෙම අභීත නායකයින් රටට දැයට අහිමි වී ගියේය. එය අපේ අවාසනාවටම සිදු වූ දෙයකි. එසේ නොවන්නට උතුරේ ත්‍රස්තවාදී අරගලය දශක තුනකට ආසන්න කාලයක් පුරාවට ඇදී නොයනු ඇතැයි යන්න අපේ අදහසය. ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මැතිතුමනි, ජෙනරල් විජය විමලරත්න මැතිතුමනි, ඔබලා රටට ණය නැති මිනිසුන්ය. අපි ඔබලා සෑම දිනකම හොරණෑ හඬ නංවා ආදරයෙන් ගරුබහුමානයෙන් යුක්තව මෙනෙහි කරන්නෙමු. ඔබලාට මල් පුදන්නෙමු. 

 

පියසිරි අජිත් ලියනගේ   
වත්තෙගම - දික්වැල්ල