කොටි සංවිධානයේ ම්ලේච්ඡත්වය ගැන ලොවට කියන කිලිනොච්චියේ කන්නක්කා


 ‘‘අපි හිටියේ ළිඳේ ඉන්න මැඩියෝ වගේ, අපි දැකපු එකම අපාය, යමපල්ලෝ තමයි කොටි නායකයෝ. ඒ අය ඒ තරම් හිතක් පපුවක් නැති අය මගේ ඇස් ඉස්සරහම කී දෙනෙක් අහිංසක අම්මා අප්පා මරල දැම්මද ඒ අයට නිකම් සත්තු මරණවා වගේ තිබුණේ අපි නොකරපු වැඩක් නැහැ. නොවිඳි දුකක් නැහැ. දැං අවුරුදු 11 ක් නිදහසේ හුස්ම ටික අරන් ලෝකය දකිමින් ජීවිතය විඳිනවා. 


මෙලෙසින් ඉරිදා ලංකාදීප පුවත්පත වෙනුවෙන් අදහස් පළ කළේ කිලිනොච්චිය අක්කරායන් කුලම් ප්‍රදේශයේ පදිංචි වසන්තකුමාර් ‍ජෙයශීලි නොහොත් කොටි සංවිධානය විසින් ‘‘කන්නක්කා’’ යැයි ඇමතූ තැනැත්තියයි. 
‘‘කන්නක්කා’’ යනු කොටි සංවිධානයේ කටයුතු කළද නිලඇඳුම භාවිතා නොකළ කතකි. ඒ ඇය පූජක ආරාමයක සිටි නිසාය. නමුත් ඇය විසින් 2001 වසරේ සිටම කොටි සංවිධානයේ සියලු‍ වැඩසටහන්හි අත්උදව් දී සියලු‍ කොටි නායකයින්ගේ වත ගොත අධීක්ෂණය කළ කාන්තාවක් වූවාය. 


වැඩසටහන් සංවිධානය, මෙහෙයුම් වෙනුවෙන් අත්උදව් දීම, සිරකරුවන් බලාගැනීම, කොටි සංවිධානයේ තාඩන පීඩනවලට හසු වීම, කොටි සිරකුටිවල කල් ගෙවීම ආදි මේ සියලු‍ දේ පිළිබඳව අත්දැකීම් ඇති මැරි මැරී නොමැරී බේරුණු කාන්තාවකි. 


අද වන විට ඇය තම සැමියා අහිමිව කිලිනොච්චිය අක්කරායන්කුලම් ප්‍රදේශයේ දරුවන් දෙනෙකු සමඟ වෙසෙමින් කිලිනොච්චිය සිවිල් ආරක්ෂක බළකා කඳවුරේ සාමාජිකාවක වශයෙන් සේවය කරමින් සිටින්නීය. 
කන්නක්කා පිළිබඳව සරලව එලෙසින් හැඳින්වීමෙන් පසුව කතාවට මුලපුරමි. 


‘‘ඉතිං කන්නක්කේ ඔබේ ජීවිතය මේ වගේ ඉරණමකට මුල පිරුවේ කොයි වගේ විදිහටද?’’ 


‘ඔව් මම යුද්දේ කාලෙ මෙහේ ජීවත් වුණු කෙනෙක් නෙමෙයි. මම ඇත්තටම කළුතර හිටියේ. 2001 අවුරුද්දේ මගේ මහත්තයා කිලිනොච්චියට ආව වෙලාවේදී කොටි සංවිධානයෙන් අල්ලගත්තා. එතකොට මගේ ළමයට අවුරුදු 4 යි. මහත්තයා නැති නිසා මම ළමයි එක්ක මහත්තයා හොයාගෙන කිලිනොච්චියට ආවා. ඒ එනකොටත් කොටි සංවිධානයෙන් මගේ මහත්තයට දස වද දීලා තිබුණේ. නියපොතු ඔක්කොම ගලවලා. ඒ වගේ දරුණු වද දීලා. ඉතිං කොහොම හරි මහත්තයව යැව්වා කිව්වා. මට යන්න දුන්නැතිව තියාගත්තා. නමුත් අද වෙනකම් මගේ මහත්තයා දකින්න ලැබුණෙ නැහැ. මට එතකොට අවුරුදු 27 ක් විතර ඇති. ඊට පස්සේ 2001 අවුරුද්දේ ඉඳලම මම කිලිනොච්චියේ තමයි ජීවත්වුණේ මගේ ළමයි එක්ක. 


‘කොටි සංවිධානය සමග කටයුතු කරන්න වුණේ කොහොමද? 


‘සම්බන්ධ වෙන්න දෙයක් නැහැ ඒ අයගේ පාලන ප්‍රදේශයේ හිටපු හැම කෙනෙක්ම ඒ සංවිධානයට අයිතියි. දැං ඇවිත් යමං කිව්වොත් යන්න ඕනැ. නැත්තම් බලෙන් අරන් යනවා. ඒකයි ඒ දවස්වල ජීවිතේ. ඒ දේවල් අපට කාටවත් එළියකට කියන්න බැහැනේ මොකද කොටි උසාවියකුත් තිබුණනේ. නඩුයි බඩුයි ඔක්කම එයාලගේ. ඉතිං මමත් ඒ විදිහට ජීවත් වුණා. 


මට කොටි නිල ඇඳුමක් අඳින්න වුණේ නැහැ නමුත් ඒ අයගේ හැම දෙයක්ම මට කරන්න වුණා. මුල් දවස්වල මමත් එයාලගේ හිරකුටියක තමයි හිටියේ. ‘‘මාව එව්වේ ආර්මි එකෙන්. දන්න හැම දේම කියපං’’ කියලා මට වද දුන්නා. එහෙම බොහොම දුක් වින්ඳා. 


‘කොටි සංවිධානයේ නායකයින් එදා මොනවගේ දර්ශනයකද හිටියේ? 


‘වෙන මොනවද ඉතිං අපේ ඊළාම් දේශය ඒ හීනේ තමයි. මේ ළමයිගේ හිත් වලට වැද්දුවේ. පොඩි වයසේ ඉඳන් ආර්මි කියන්නේ යක්කු ගානට දාලා තිබුණේ. මරාගෙන මැරෙන හිතක් ඒ නායකයෝ තමන්ගේ ගෝලයින්ට කා වැද්දුවා. ඒ වගේම උන් කියන දේවල් අහන්නැත්තම් එවේලේම මරල දාන්නත් දෙපාරක් හිතුවේ නැහැ ඒ බයත් එක්ක ඒ අය කියන දෙයක් අහගෙන ජීවත් වෙන්න අපිට සිද්ධ වුණා. 

 

කිලිනොච්චිය අක්කරායනකුලම් ප්‍රදේශයේ පදිංචි දුප්පත් පවුලක දැරියන් තිදෙනෙක්

කන්නක්කාගේ මැහුම් ස්ථානය

 

කොටි සංවිධානයට බඳවා ගැනීම් කොයි වගේ වුණාද? 


‘ඒක තමයි මම මුලින් කිව්වේ පවුලක පිරිමි ළමයි ඉන්නවනම් ඒ සංවිධානයේ සාමාජිකයෝ තමයි. හොඳින් හෝ නරකින් ඒ දේවල් වෙනවා. මම ලබපු එක අත්දැකීමක් කියන්නම්. 


‘‘වයසක අම්ම කෙනෙකුයි, තාත්ත කෙනෙකුයි දවසක් අඬාගෙන ආවා ළමය අරන් ආවා කියලා. ඉතිං එහෙම ඇවිත් මෙහෙ හිටපු කොටි නායකයෙකුට බණින්න ගත්ත. උඹලා මේ මොකද කරන්නේ? මගේ දරුවො මරන්න හදන්නේ ඇයි? කියලා ටික වෙලාවයි ගියේ. ටක් ටක් ගෑවා. අම්මටයි තාත්තටයි වෙඩි තිබ්බා. කතාව ඉවරයි. පුතා සංවිධානයේ. එහෙමයි ඒ සංවිධානය දරුණු වුණේ. කොටි සංවිධානයේ කරපු වැඩ කියන්න අපිට දවසක්වත් මදි 

 

‘හමුදාවයි කොටියි ගහගන්න කොට අතර හිටපු මිනිස්සු කොයි තරම් විඳෙව්වද කියල අපි විතරයි දන්නේ. මොකද මේ කොටි නායකයෝ හමුදාව ගහගෙන එන කොට අහිංසක මිනිස්සු තමයි එදා බිල්ලට තිබ්බේ. බෝම්බ වැටෙන තැන්වලට මිනිස්සු යවලා මිනිස්සු මැරුණහම තුවාල වුණාහම ඒවා ෆොටෝ ගහලා ජාත්‍යන්තරයට කියනවා මෙන්න ශ්‍රී ලංකා හමුදාවෙන් අහිංසක මිනිස්සු මැරුවා කියලා. ඒ දේවල් හින්ද තමයි අදටත් අපිට යුද අපරාද කිය කිය ප්‍රශ්න තියෙන්නේ. 

 


‘‘අවසන් යුද සමයේදී කොහොමද බේරුණේ? 


‘හමුදාවයි කොටියි ගහගන්න කොට අතර හිටපු මිනිස්සු කොයි තරම් විඳෙව්වද කියල අපි විතරයි දන්නේ. මොකද මේ කොටි නායකයෝ හමුදාව ගහගෙන එන කොට අහිංසක මිනිස්සු තමයි එදා බිල්ලට තිබ්බේ. බෝම්බ වැටෙන තැන්වලට මිනිස්සු යවලා මිනිස්සු මැරුණහම තුවාල වුණාහම ඒවා ෆොටෝ ගහලා ජාත්‍යන්තරයට කියනවා මෙන්න ශ්‍රී ලංකා හමුදාවෙන් අහිංසක මිනිස්සු මැරුවා කියලා. ඒ දේවල් හින්ද තමයි අදටත් අපිට යුද අපරාද කිය කිය ප්‍රශ්න තියෙන්නේ. 


‘අවසන් යුද්දෙ වෙලාවේ මමයි දරුවොයි පුදුමාතලන් ගියා. අපේ මිනිස්සු දැනගත්තා මේ යුද්දේ පරදිනවා. මෙහෙම ගියොත් අපි ඔක්කොටම මැරෙන්න තමයි වෙන්නේ කියලා. ඒ නිසා කොහොමහරි බේරිලා හමුදාව ළඟට යන්න ඕනැ කියල හිතලා අපේ අය එන්න ගත්තා. ඒක දැනගත්තු කොටි නායකයෝ අපේ මිනිස්සුන්ට වෙඩි තිබ්බා. දස වද දුන්නා. කොහොම හරි අපේ වාසනාව තිබුණු නිසා හමුදාවට භාර වෙන්න පුළුවන් වුනා. 


‘‘පුනරුත්ථාපනයෙන් පසු ජීවිතය කොයි වගේද? 


‘‘මම ඉස්සෙල්ලම වව්නියාව සෙට්ටිකුලම් මැණික්ෆාම් අනාථ කඳවුරුවල තමයි යුද්දෙ අවසන් වුණු ගමන් හිටියේ. ඒ වෙනකොට මගේ පුතත් අතුරුදන් වෙලා. පස්සේ මාස හතකට විතර පස්සේ තමයි පුතා හොයාගත්තේ. එයා පූන්තොට්ටම් අනාථ කඳවුරේ ඉඳලා තියෙන්නේ. කොහොම හරි අපි හමුදාවෙන් විස්තර අරන් පුනරුත්ථාපන කඳවුරු වෙතට යොමු කරනවත් එක්ක තමයි ජීවිතය කියන්නේ මොකද්ද කියලා අපිට වැටහෙන්න ගත්තේ. 


‘‘අපේ සමහර අයගේ ළමයි ඒ දවස්වල කියනවා කොළඹ කහ පාටයි, නිල් පාටයි, රතු පාටයි, කොළ පාටයි කියලා. ඒ තරමට අපි කොටු වෙලා හිටියේ. අපි ලෝකේ දකින්න ගත්තහම තමයි දැනගත්තේ ළමයි එදා පාට ගැන කිව්වේ ඒ නගරවල තිබුණු ගොඩනැගිලිවල පාට දැකල කියාල. ඇත්තටම අපි දැං ජීවිතේ විඳිනවා. 


‘උතුරු පළාතේ ජීවත් වීම විදිහට නැවත පදිංචියෙන් පසු ජීවිතය කොයි වගේද? 


‘‘අපි දැං ජීවිතය විඳිනවා ඇතුව හෝ නැතුව. මේ රට එදා මහින්ද මහත්තයා එක්ක හිටපු යුද හමුදා නායකයෝ එකතු වෙලා බේරගත්ත නිසා අද අපි නිදහසේ හුස්ම ටික ගන්නවා. ඒකේ ගෞරවය අපි හැමදාමත් ඒ අයට දෙන්නම ඕනැ. නමුත් උතුරු පළාතේ ජීවත් වීමේදී අපේ මිනිස්සුන්ට අද ලොකු ජීවන යුද්ධයකට මුහුණ දෙන්න වෙලා. ලෝකය සංකීර්ණ වෙලා. දියුණු වෙලා. අපේ මිනිස්සුන්ට ඒත් එක්ක ගමන් කරන්න බැරි වෙලා තියෙනවා. අදටත් මේ පළාත් වල ඉන්න බොහෝමයක් නැවත පදිංචි වුණු මිනිස්සුන්ට කන්න බොන්න නැතිව ඉන්නවා. ඒ ගැන ග්‍රාමීයව හොයන්න නිලධාරීන් පත් කළොත් මේ පළාත් බොහොම සුන්දර වෙයි. 


‘‘කාන්තාවන් වශයෙන් කොයි වගේ ගැටලු‍ද තියෙන්නේ? 


යුද්දෙන් පස්සේ මේ පළාත්වල බොහෝමයක් වැන්දඹුවන් වෙලා ඉන්නවා. නමුත් මේ අයගේ ප්‍රශ්න සමාජය ඉස්සරහට ඇවිත් කියන්න බයක් දක්වනවා. ඒ අය කොන් වෙලා වගේ ඉන්නේ. තමන්ගේ මහත්තයා කොටි සංවිධානයේ ඉඳලා මැරුණේ එහෙමත් නැත්තම් එයාලගේ දරුවන්ගෙ අම්ම තාත්තා හිටපු කොටියෙක්ද අපි කොහොමද පාරක බැහැල යන්නේ. ඒ ප්‍රශ්නත් එක්ක ආර්ථික ප්‍රශ්න ඔළුවට ආවහම හරිම අමාරුවකින් ඒ අය ජීවත් වෙන්නේ, 


‘‘ඉතිං මේ ප්‍රශ්නවලට විසඳුම් හොයන්න දෙන්න දැන් ඉන්න දේශපාලන බලධාරීන්ට කියන්නැද්ද? 


‘‘කව්ද ඔය කියන දේශපාලනඥයින් කියන්නේ දෙමළ ජනතාව වෙනුවෙන් කියාගත්තු අයද? අපි කැමති නැහැ අපේම ජාතියට ගරහන්න. නමුත් ඔය කියන සම්බන්ධන්ලවත් විග්නේශ්වරන්ලවත් සුමන්දිරන්ලවත් අපේ ප්‍රශ්න විසඳන්න අාවේ නෑනේ. ඇත්තටම අද අපි කාල ඇඳල ඉන්නේ මේ ආරක්ෂක අංශ හින්දයි. ඒකයි පිළිගත්තත් නැතත් ඇත්ත. 

 


 

කොරෝනා අවදානමත් එක්ක ජීවිකාව කොයි වගේද? 


ඒක තමයි මම කිව්වේ අපේ මිනිස්සුන්ට කොරෝනා වයිරසයේ බලපෑම නිසා කන හාල් ඇටේ ඉඳන් නැති වුණා. උතුරේ හිටපු එක දේශපාලනඥයෙක් ආවද හාල් ඇටයක් දෙන්න. අනේ මෙහෙ ළඟම තිබුණු හමුදා කඳවුරකින් ලැබුණු දෙයෙක් විතරයි නේද අපිට ලැබුණේ. ඇත්තටම ස්වභාව ධර්මය අපේ මිනිස්සුන්ට හොඳටම කියලා දුන්නා පසුගිය අවුරුදු කිහිපය අපේ ආරක්ෂකයා කව්ද කියලා. 


නියඟේ, ගංවතුර, සුනාමිය, කොරෝනා මේ ස්වභාව ධර්මයේ බලපෑම යුද්දෙටත් එහා අපිට බලපෑවා. මරණය දක්වාම බලපෑවා. කව්ද පිහිට වුණේ? හමුදා ළමයි ඇවිත් ඒ අයගේ පණ ගැන හිතන්නැතිව අපේ මිනිස්සු බේර ගත්තා. ඒ දිහා බලලා බොරුවට වචනයක් දෙකක් කියල අපේ මිනිස්සු කොහොමද රවට්ටගෙන තමන් බලය වැඩි කරගන්නේ කියල තමයි මේ දේශපාලනඥයින් මාන බැලු‍වේ. 


අපි ඇත්තට මුහුණ දෙන්න ඕනැ අදටත් කොරෝනා නිසා මේ පැත්තේ මිනිස්සුන්ට කර කියා ගන්න දෙයක් නැහැ. මොකද වැඩි දෙනෙක් කුලී වැඩක් කරල ජීවත් වෙන්නේ. ඒ මිනිස්සුන්ට මොකද වෙන්නේ? කව්ද බලාගන්නේ? ඒ ගැන මෙහෙ අයට බලාගන්න බැහැ. බොරුවට එයාලා මැරිච්ච මිනිස්සු වෙනුවෙන් කිය කිය මලක් පහනක් පත්තු කරනවා විතරනේ. අනේ මේ ජීවත් වෙලා ඉන්න මිනිස්සුන්ගේ ප්‍රශ්න ගැන හිතනවද? 
‘‘ඔබේ ජීවිතය කොයි වගේ ඉදිරියට යයිද. 


‘අපි වගේ අය දැන් මේ සිවිල් ආරක්ෂක බළකා රැකියාව තියෙන නිසා ඒ වගේම මම අමතර රැකියාවක් විදිහට රෙදි මැසීමේ කටයුත්තකුත් කරගෙන යනවා. ගැටගහගෙන යනවා. නමුත් ප්‍රශ්නේ දැන් හරි රටේ වෙනසක් වෙන්න ඕනැ. මොකද දැං රටේ අනාගතය වගකීම තියෙන්නේ යුද විරුවන් පිරිසක් අතේ. ඒ අයට බැරිනම් කාටවත්ම බැහැ මේ රට හදන්න. පසුගිය අවුරුදු පහම අපි එකම තැනක හිටියේ. ණායකාරයෝ වුණ එක විතරයි වුණේ. 


‘‘උතුරු නැගෙනහිර පළාත්වල අද වෙනකොට බොහොම දුෂ්කර ජීවිත ගෙවන අය ඉන්නවා. විශේෂයෙන් වැන්දඹු කාන්තාවන් ඒ වගේම කොටි සංවිධානයේ ඉඳලා ස්වාමියා නැතිවුණු අය මේ අයගේ ප්‍රශ්න ගැඹුරින් සොයා බැලිය යුතුයි. අපි වෙනම ලෝකෙක ඉඳලා ආපු පිරිසක් වගේ තමයි. දැන් අපි මේ ලෝකෙට හැඩගැහෙනවා. එහෙම හැඩගැහෙන්න ටික කාලයක් යයි. එතෙක් අපිව මේ නායකයෝ බලාගත්තනම් ඇති. 


හරියට අපි සිවිල් ආරක්ෂක බළකායට බැඳෙනකොට අපිව භාරගත්තු රත්නප්‍රිය බන්ධු සර් , සාගර වීරසූරිය සර්, දයාරත්න සර් වගේ අය නිසා තමයි අදටත් අපි මෙහෙම ඉන්නේ. ඒ වගේ නිලධාරීන් මේ රටේ හිටියොත් ඉදිරියටත් මේ රට සුන්දර දියුණු රටක් වෙයි. අපේ ජාති ආගම් ගැටලු‍ නැතිව අපේ අතීතය අමතක කරලා අනාගතය ගැන විතරක් හිතුවොත් අපේ ඉලක්කය ඉබේම ලැබෙයි.

 

 

සටහන ඡායාරූප
වන්නි රොමේෂ් මධුෂංඛ