කොටි විනාශ කළ දේපොළට අදත් වන්දි නැති එරාවුර් සිංහලයෝ


 

කොටි ත්‍රස්තවාදීන්ගේ අපරාධ සහ ඝාතන රැල්ලේ දින පොතෙහි මඩකලපුව එරාවුර් සම්මානය සටහන් වෙන්නේ අප ඉතිහාසයට අමිහිරි ඛේදජනක, බිහිසුණු සිද්ධීන් රැසක් ඉතිරි කරමිනි.


රැයක්, දවාලක්, කලක්, වෙලාවක් නොමැතිව රුදුරු එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් එදා දිගට හරහට පරහදී එරාවුර් සිංහල වැසියන් රැසක් ඝාතනය කළහ. කප්පම් ගනිමින් දසවධ දී මරා දැමූහ. ගම්බිම්වලින් සිංහල වැසියන් එළවා දැමූහ.


විටෙක පන්සල්වල වැඩ සිටි හාමුදුරුවරු කපා කොටා කහ සිවුර රුධිරයෙන් තෙත් කළ කොටි ත්‍රස්තයින් අහිංසක නිරායුද සිංහල වැසියන්ද නිදි පැදුරේම කපා කොටා මරා දැමූහ.


මේ දරුණු ප්‍රහාර හා සැහැසි කම් හමුවේ එදා එරාවුර් ගම්මානයේ සිංහලයින් සී සීකඩ විසිර ගියහ. පිරිසක් අනාථ කඳවුරුගත වූහ. බොහෝ දෙනෙකු ඥාතී නිවාස කරා ගමන් කළහ. තවත් කොටසක් තම නිජ බිමේම නතර වූහ.


යුද්ධය අවසන් වූවද මඩකළපුව එරාවුර් ගමට නගරයට එල්.ටී.ටී.ඊ. ත්‍රස්තයින් කර ඇති විනාශයන් දෙස බලන කළ එහි සිංහල ජනතාවට සැනසීමක් නැති තරම්ය.


යුද්ධය ආරම්භවීමට පෙර එරාවුර් නගරය සිංහල ජනතාවගෙන් පිරීගොස් තිබිණ. ඒ 1948 වර්ෂයේදී වෙළඳාමට පැමිණි සිංහල ව්‍යාපාරිකයින් නිසාය.


එදා එරාවුර් නගර මධ්‍යයේ තිබූ පොදු වෙළෙඳ සංකීර්ණය නැගෙනහිර පළාතේ ප්‍රමුඛ වෙළෙඳ මධ්‍යස්ථානය විය.


එහි වෙළෙඳ කුටි 72කි. ඉන් සිංහල වෙළෙඳුන්ට කඩ කාමර 52ක්ද, මුස්ලිම් ව්‍යාපාරිකයින් වෙනුවෙන් කාමර 19ක් සහ දමිළ ව්‍යාපාරියෙකුට කඩකාමර එකක් වශයෙන්ද අයත්ව තිබිණ.


යාපනය, මහනුවර, ත්‍රිකුණාමලය, මඩකළපුව, කල්මුණ, කාත්තන්කුඩි, පොළොන්නරුව, වැලිකන්ද ආදී ප්‍රදේශවලින් මෙහි පැමිණ මාළු, දොඩම්, කෙසෙල් ඇතුළු වෙළෙඳ ද්‍රව්‍ය රැගෙන ගියහ.


මේ අයුරින් එදා සිංහල ජනතාව තම සහෝදර දමිළ මුස්ලිම් ජනයා සමඟ සමගියෙන් වෙළහෙළඳාම් කළහ.


එරාවුර් තරුණ බෞද්ධ සංගමයක්ද 1960 වර්ෂයේ පිහිට වූ සිංහල ජනතාව නැගෙනහිර බුදුරැස් නමින් 1963 වසරේදී වෙසක් උත්සවයක්ද සංවිධානය කර තිබුණි.


සිංහල දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් දුම්රියපොළ අසල සිංහල පාසලක්ද එදා ආරම්භ විය.


එදා සිංහල පවුල් පන්සියයකට ආසන්න ප්‍රමාණයක සාමාජිකයින් එක්දාස් හයසියයක් පමණ ජීවත් වූ එරාවුර් ප්‍රදේශය හා ඒ අවට සිංහල ජනපද එලෙස ගොඩ නැගුණි.


මෙලෙස සිංහල පවුල්වල වර්ධනයත් සමඟ ගම්මාන බිහිවීම ඒ.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ගේ අපරාධ ගමන් මඟට මහා බාධකයක් විය. ඒ නිසාම එරාවුර් ප්‍රදේශය සිංහලයින්ගෙන් තොර කලාපයක් බවට පත්කිරීමට එල්.ටී.ටී.ඊ. ය සිය රුදුරු ක්‍රියාකාරකම් දරුණු කළහ. ඒ වෙනුවෙන් කැපවුණු ජාතිවාදී දමිළ රාජ්‍ය නිලධාරී පිරිසක්ද එදා කටයුතු කළහ.


ඒ අනුව ශක්තිය අතට ගත් කොටි ත්‍රස්තවාදීන් එරාවුර් සිංහල ජනතාවට විරුද්ධව අවි ආයුධ කඩු, මුගුරු ඔසවන්නට වූහ. සිංහල පවුල් සඳහා සෑම අයුරින්ම කෙණහිලිකම් කරමින් ජීවත්වීම එපා කරවූහ.


1958 දී ඇතිවූ ජාතිවාදී අරගලයේදී ද බොහෝ සිංහල පවුල්වලට උන්හිටිතැන් අහිමිවිය.


නැවත 1965 වසරේ එරාවුර් සිංහල ජනතාවට දමිළ, මුස්ලිම් ගැටළුවලට මැදිවී පීඩාවට පත්වීමට ද සිදුවිය.


මේ අයුරින් 1971 අප්‍රේල් කැරැල්ල, 1983 කළු ජූලිය, මෙන්ම 1987දී ආරම්භ වූ ත්‍රස්ත ප්‍රහාරවලට ගොදුරු වූ සොඳුරු ජීවිත අති විශාලය.

 


කොටි ත්‍රස්තවාදීන් සිය බලසේනාව සමඟ එරාවුර් ගම්මානයේත් නගරයේත් වෙසෙන සිංහල පවුල්වලට එල්ල කරන පීඩන මොහොතින් මොහොත වර්ධනය කළහ.


එරාවුර් පුළිමතලාව විහාරස්ථානයේ වැඩසිටි හික්කඩුවේ සුමනසිරි හිමියන් 1986 වසරේදී කොටි ත්‍රස්තවාදීන් විසින් වෙඩි තබා ඝාතනය කළහ. එම වර්ෂයේදීම මහබාගේ සුමනසිරි හිමියන් වැඩ සිටි සිප්පිමඩුව විහාරස්ථානයේ බෝධීන් වහන්සේ කපා කොටා දැමූ එල්.ටී.ටී.ඊ. ය විහාරස්ථානයටද ගිනි තැබූහ.


කොටි ත්‍රස්තවාදීන් එරාවුර් ගම්මානයට දරුණුම ප්‍රහාරය එල්ල කිරීමට සියල්ල සූදානම් කරගත්හ.


1987 ඔක්තෝබර් 05 වැනිදා හිරු සැඟව ගොස් පැය දෙක තුනක් ගත වීමටත් මත්තෙන් තොප්පිගල සැඟවී සිටි කොටි රැළ එරාවුර් ප්‍රදේශයට ගමන් කරමින් දරුණු ප්‍රහාරයකට මුල පිරූහ.


එරාවුර් සිංහල ජනපදය ලේ විලක් බවට පත්කර රටම කම්පාවට පත් කරමින් එදින සිංහල වැසියන්ගේ ජීවිත 52ක් නිහඬ කරවූ අමානුෂීය ප්‍රහාරයෙන් කොටි ලේ පිපාසය නිවාගත්හ.


මෙදින කොටින්ගෙන් බේරුණු අසරණ නිරායුධ සිංහල වැසියන් ලේ ගංගා මැදට කඳුළු වැසි එකතු කරමින් එරාවුර් පොලිසියට පලාගොස් කොටසක් දිවි බේරා ගත්හ.


එම ප්‍රහාරයෙන් දිවි රැකගත් සිංහලයින් මාස තුනකට අධික කාලයක් පොලිස් හා හමුදා ආරක්ෂාව මැද එරාවුර් සරණාගත කඳවුරක විවිධ දුක් ගැහැට මැද දිවි ගෙවූහ.


මේ කාලයේදී ආරක්ෂක අංශයට මෙන්ම පොලිසියට ද එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීහු වරින් වර දරුණු ප්‍රහාර එල්ල කළහ.


සිංහල වැසියන්ගේ ආරක්ෂාව තහවුරු වන බවට සහතිකයක් නොමැති බව වටහාගත් ඔවුහු නිජ බිම හැරදා එදා ඥාති ගම්බිම් කරා යන්නට තීරණය කළහ.


1987 ඔක්තෝබර් 05 වැනිදා ත්‍රස්ත ප්‍රහාරයට ගොදුරුව ජීවිත බේරාගෙන තම සිංහල ජනයාට යුද ගැටුම් නිසා අහිමි වූ දෑවලට වන්දි ඉල්ලා අදටද සටන් කරන ව්‍යාපාරිකයෙකු අපට මුණ ගැසිනි.


ඔහු නමින් ඇල්මිස් වල්ගම මහතායි. 84 වියෙයි පසුවන ඇල්මිස් මහතා මඩකළපුව එරාවුර් නගරයේ ව්‍යාපාරික කටයුතු කරන අතරතුර යුද්ධයත් සමඟ බොහෝ දෑ අහිමි වූවෙකි. එල්.ටී.ටී.ඊ. කලබල සමයේදී සුබසාධක කඳවුරුවල සිට ඔහු දැනට හබරණ නගරයේ පදිංචිව සිටින අතර එරාවුර් සරණාගතයින්ගේ සුභසාධක සමිතිය නමින් සංවිධානයක්ද පිහිටුවා ගෙන තිබේ.


එම කඳවුරුවල සිටි තමන් වැනි කිසිදු වන්දියක් නොලැබූ අය පනස් දෙනෙකු මෙම සංවිධානයට එක්කරගෙන සිටින ඔහුගේ සටනේ අරමුණ වන්නේ යහපාලන රජයෙන් හෝ වන්දි මුදලක් ලබා සාධාරණයක් හිමිකර ගැනීමටය.


ඇල්මිස් වල්ගම මහතා පවසන්නේ අවතැන්වූ සියලු දෙනාට රජයෙන් වන්දි මුදල් ලබාදෙද්දී එරාවුර් පදිංචිව සිටි පවුල් 52කට පමණක් වෙනස්කම් සිදුකරන්නේ මන්ද යන්නයි.

 


ඇල්මිස් වල්ගම මහතා එදා කොටි ත්‍රස්තයින්ට මුහුණ දී ජීවිතය බේරාගත් බිහිසුණු අත්දැකීමත් තම ජීවිත කතාවේ මතකයන් මෙලෙස අවදි කළේ දැඩි වේදනාවක් හදවතෙහි තැන්පත් කරගෙනය.


මම එරාවුර් වන්දාරමුල්ල මැදි විදුහලේ 1950දී ඉගෙන ගත්තා. දැන් මට අවුරුදු 84ක් වෙනවා. කොළඹ - මඩකළපුව දුම්රිය මාර්ගය හදන්නත් කලින් අපි ගාල්ලේ ඉඳලා මඩකළපුවට ඇවිත් වෙළෙඳාම් කළා. එදා එරාවුර්වල වෙළෙඳ සංකීර්ණයක් හදලා සිංහල, මුස්ලිම්, දෙමළ අපි හැමෝම සහෝදරත්වයෙන් එකට වෙළඳාම් කළා. 1956 ශ්‍රී අකුර සම්බන්ධව ඇති වූ ආරවුලේදී අපිටත් තර්ජන එල්ල වුණා. 1957 ගංවතුරෙන් 1958 ජාතිවාදී අරගලයෙන් අපි බැට කෑවා.


1965 දී ඇති වූ ද්‍රවිඩ මුස්ලිම් ගැටුමෙනුත් අපි බැට කෑවා. 1987 ඔක්තෝබර් 05 වැනිදා එරාවුර් සිංහල ගමට ත්‍රස්තවාදීන් එල්ල කළ ප්‍රහාරයෙන් අපේ සිංහල වැසියන් 50කට වැඩිපිරිසක් මැරුණා. එදා අපි පණ බේරාගත්තේ පොලිසියට පැනලා ගිය හින්දා. එදා ඉඳලා අද වෙනකල් අපි අනාතයින් වගේ රටේ විවිධ තැන්වල ජීවත් වෙනවා. මම තමයි එරාවුර්වල තියෙන පුලිනතලාරාමය ආරම්භ කළේ. ඒ පන්සලේ වැඩ හිටපු හාමුදුරුවන්ටත් කොටි වෙඩි තියලා මරලා දැම්මා. අපි ජීවත්වුණ ප්‍රදේශයට යන්නවත් අපිට පහසුකම් නැහැ. වෙළෙඳ සංකීර්ණය ගරා වැටිලා. පාසල සම්පූර්ණයෙන් විනාශ වෙලා. එතැන ලොකු වතුර ටැංකියක් හදලා. දැන් යුද්ධය ඉවරවෙලා සාමය ඇවිත් අවුරුදු අටක් වෙනවා. මේ එරාවුර් වෙළෙඳ සංකීර්ණය අලුත්වැඩියා කරලා සිංහල, දමිළ, මුස්ලිම් අපි හැමෝටම සමගියෙන් වෙළෙඳාම් කරගෙන යන්න අවස්ථාව පාදලා දෙන්න කියලා රජයෙන් ඉල්ලනවා”.


දරුවන් හයදෙනෙකු ඇතිදැඩි කරමින් ඇල්මිස් වල්ගම මහතා අද ජීවිතයේ සැඳෑ සමය ගෙවුවද තම එරාවුර් සිංහල ගම්වාසීන්ගේ අහිමි වූ අයිතීන් ඉල්ලා දේශපාලකයින්, රජයේ උසස් නිලධාරීන් සමඟ සටනක නියෙලෙන්නේය.


2009 වසරේදී මෙරටට සාමය උදා වූවද යුද්ධයට සෘජුව මුහුණ දී ජීවිත බේරාගත් තම සිංහල ජනතාවට පැවැති රජයෙන් සහ යහපාලන රජයෙන් මෙතෙක් කිසිදු සහනයක් නොලැබුණ බවද වල්ගම මහතා පෙන්වාදෙන්නේ දැඩි කම්පාවෙනි.


එරාවුර් කොටින්ගෙන් බැට කෑ සිංහල ජනතාවගේ අයිතිය, සහන ඉල්ලා වල්ගම මහතා පැවැති හා වත්මන් රජයේ බලධාරීන්ට කවියෙන් පවා ලිපි ලියා යවා ඇත්තේ පීඩාවට පත් සිංහල වැසියන්ට යම් උපකාරයක් ලබා ගැනීමට අවධානය දැඩිව යොමු වේයැයි අපේක්ෂාවෙති. 


දරුවන් හය දෙනෙක් ඇති දැඩි කළ    තරුණ
මම දැන් නාකියෙකි ලෙඩ ගාණක්    තිබෙන
රජයෙන් ලැබෙන විට දේපළ වල    සහන
මිහිඳන් කරපු තැන බඳිනට හැකි    සොහොන


ඇල්මිස් වල්ගම මහතා ලියූ කවි පන්තියකින් ඔහුගේ කතාව එලෙස අවසන් කළද එරාවුර් නගරයට නැගෙනහිර අරුණෝදය ගලා එනතුරු ඇඟිලි ගනිමින් සිටින අභීත සිංහල දිරිය කාන්තාවගේ කටහඬ අපට මෙලෙස අවදි කළාය.


ඇය 47 වියැති ඩබ්ලිව්.යූ. අනෝමාය. ඇගේ මෑණියන් සමඟ එරාවුර් වෙළෙඳ සංකීර්ණයේ කුඩා වෙළෙඳ සැලක් පවත්වාගෙන යමින් ජීවිතය ගැට ගහගත් අනෝමා අතීත බිහිසුණු අත්දැකීම් මෙලෙස දිග හැරියාය.


“නැගෙනහිර පළාතේ යුද්ධයෙන් එරාවුර්වල හිටපු සිංහල මිනිසුන් තමයි ගොඩක් දුක්වින්දේ. අජිත් ජානක මගේ මල්ලිට 1985.03.17 වැනිදා වෙඩි තියලා මැරුවා.


එතකොට එයාට වයස අවුරුදු 17යි. කොටි අපිට ගහන්න පටන් ගත්තේ ඊට පස්සේ. අපිට විතරක් නෙමෙයි කොටි හමුදාවේ පොලිසියේ අයත් මරලා දැම්මා. අම්මෝ ඒවා කියද්දී තවමත් ඇඟ කිළිපොළා යනවා. දැන් මේ පළාතේ යුද්ධය ඉවරයි. රටට සාමය ලැබිලා. ඒත් අපිට කිසිම සාමයක් නිදහසක් නැහැ. අපි එදා ඉඳලා ජීවත් වුණේ මේ වෙළඳ සංකීර්ණයේ පොඩි කඩයක් දාගෙන. දැන් ඒකත් ගරා වැටිලා. කොටි නිසා මේවට ලොකු හානි සිදුවුණා. අපි රෑට ඉන්නේ කුප්පි ලාම්පු එළියෙන්. මේකට නඩුවක් යනවා කියලා විදුලි බල මණ්ඩලයෙන් අපිට විදුලිය දෙන්නේ නැහැ. විදුලි බල මණ්ඩලයෙන් කියනවා නගර සභාවට යන්න කියලා. මේ විදිහට මේ පළාතේ දමිළ රාජ්‍ය නිලධාරීන් සිංහල අපිව වටේ යව යවා රස්තියාදු කරවලා. කිසිම වැඩක් කරලා දෙන්නේ නැහැ. එදත් ඒ ටිකමයි. අදටත් එහෙමයි. ඉතින් අපිට අදත් නිදහසක් නැහැ.


අනික මුස්ලිම්, දමිළ අය කොකු ගහලා අනවසරයෙන් හොරෙන් කරන්ට් එක ගන්නවා. ඒවට විදුලිබල මණ්ඩලයෙන් නීතිය නැහැ. සිංහල පවුල් දෙකකුත් ඒ විදිහට කොකු ගහලා කරන්ට් එක ගත්තා. උසාවියට දාලා රුපියල් 18,000 ගානේ 36,000ක් දඩ ගෙවන්න වුණා. අපි කළෙත් නීති විරෝධී වැඩක්. නමුත් අපි අහන්නේ අපිට විතරද මේ නීතිය කියලා. අපි ඉන්න තැනට කරන්ට් එක දෙන්න කියලා විදුලිබල ඇමැතිවරු කිහිප දෙනෙකුත්, පළාතේ ආණ්ඩුකාරතුමන් වෙතත් ලිඛිතව දැනුම් දුන්නා. ඒත් මේ පළාතේ විදුලිබල මණ්ඩලය නිලධාරීන් ඒ ලිපි සත පහකට ගණන් ගන්නේ නැහැ.” අනෝමාගේ නෙතට ගලා ආ සංවේදී කඳුළු බිඳු පිසලමින් තම වේදනා බර හැඟීම් එලෙස අවදි කළාය.


යුද්ධයෙන් පසු මඩකළපුව එරාවුර් සිංහලයින්ට රජයෙන් ලැබෙන අයිතීන් ලබා ගැනීමට තම මව සමඟ සටන් කරන ඇය ජීවිතයේ මතක සටහන් තවත් මෙලෙසින් පෙරළන්නට වූවාය.


“මහත්තයෝ, අපි වගේම සිංහල මිනිස්සු යුද්ධ කාලයේදී ජීවිතයත් මරණයත් අතර සටන් කරලා ජීවිත දං දීලා මහපොළවට ලේ හැලිලා මේවා මේ තරම් දුරට රැක ගත්තා. අද සාමය ආවට පස්සේ මේවායෙන් අපිව පල නොකියා එලවා ගන්න හදනවා. නඩු වැටුනත් උසාවියේ කතා කරන්න එන්නේ දෙමළ නීතීඥවරු. නඩු අහන්නේ දෙමළ භාෂාවෙන්. රාජ්‍ය කාර්යාලවල කටයුතු කරන්නේ දෙමළ භාෂාවෙන්. සේවය කරන්නේ දමිළ අය. අද අපි යුද්ධ කාලවල වගේම අසරණ වෙලා. මේ පළාතේ සිංහල අපිට උරුම වී තිබුණු ඉඩම් දෙමළ අයට පවරලා දීලා ඒවාට ඔප්පු පවා සකසා ගැනීමේ ජාවාරම් ක්‍රියාත්මක වෙනවා. අද අපි ඉන්න වෙළෙඳ සංකීර්ණය රජයේ ඉඩමක කියලා පල්ලියට අයිති ඉඩමක අලුතින් හදන්න යනවා. 33 අවුරුදු බදු යටතේ ඒ ඉඩම පවරා ගෙන අදියර දෙකක් යටතේ වෙළෙඳ සංකීර්ණය හදලා අවුරුදු 33 පස්සේ වෙළෙඳ සංකීර්ණයෙන් එන ආදායම පල්ලියට ගන්න ජාවාරමක් ක්‍රියාත්මක වෙනවා. මේ ගැන සොයා බලන්න සිංහල නායකයින් දේශපාලකයින් මේ පළාතේ නැහැ. රජයේ අවධානය යොමු කරලා මේවා වහාම නවත්වලා පාර්ලිමේන්තුවේ කතා කරලා පක්ෂ විපක්ෂ දේශපාලකයින් ජාතිය වෙනුවෙන් හඬක් නගන්න කියලා මම ඉල්ලනවා. 


ඒ වගේම මේ පළාතේ සිංහල අයගේ ඉඩම් නැවත දීලා නිවාස හදන, පහසුකම් දෙන වැඩපිළිවෙලකට යන්න කියලා සිංහල මිනිසුන් වෙනුවෙන් අපි ඉල්ලා සිටිනවා. ඒ වගේම එරාවුර්වල පදිංචිව සිටින සිංහල මිනිසුන්ගේ ඉඩම් ගැටලු වගේම මූලික ගැටලු විසඳන්න කමිටුවක් පත් කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. 


අද නැගෙනහිර පළාතේ සිංහල මිනිසුන්ගේ ඉඩම් නිහඬව කොල්ලකාලා අපිව දකුණට එළවලා දමන යුගයක් බිහිවෙලා. මේවා මේ රටේ සිංහල දේශපාලකයින්ට පේන්නේ නැද්ද කියලා අපි අහනවා.”


ජීවිතයේ විවිධ දුක් ගැහැට විඳිමින් කොටි ප්‍රහාරවලින් ජීවිතය බේරා ගෙන එරාවුර් නගරයේ මේ වනවිට කුඩා සිල්ලර වෙළෙඳසැලක් පවත්වා ගෙන යන 77 වියැති වල්ගමගේ මැගිලින් මාතාව එදා ත්‍රස්තයින් කළ අමානුෂික සැහැසි ක්‍රියාවන් මෙලෙස විස්තර කළාය.
“මම 1964 දී තමයි එරාවුර් ගමට ආවේ. අපේ ළමයි ඉගෙන ගත්තේ එරාවුර් සිංහල මහා විද්‍යාලයේ. ඒ කාලේ ගුරුවරු ගොඩක් ලොකු සේවයක් කළා. අපිට දිගින් දිගටම කොටි කරදර තිබුණා. 1985 දී කොටි වෙඩි තියලා මගේ පුතෙක් මරලා දැම්මා. ඒ කාලේ මගේ ඉඩමක් තිබුණා එරාවුර්වල. යුද්ධය නිසා ඒවා අතහැරලා දාලා අපි ගියා. මගේ ඒ ඉඩමටත් අද හොර ඔප්පු හදාගෙන සමහර අය බලය පාවිච්චි කරලා බලෙන් අල්ලාගෙන ඉන්නවා. මේවට උසාවියේ නඩු දැම්මට අදටත් සිංහලෙන් අපි වෙනුවෙන් කතා කරන්න නීතීඥයෝ නැහැ. දෙමළ - මුස්ලිම් කතා කරන නීතීඥයින් විතරයි ඉන්නේ. අපි මේ වෙළඳසැලේ ඉන්නවට එරාවුර් නගර සභාවෙන් නඩු පවරලා. අපි සිංහල අය ඒ නඩුවට අප්‍රේල් මාසයේ පෙනී සිටින්න ඕන. ඉතිං අපි වෙනුවෙන් කතා කරන්න නීතීඥ සංගමයක් හරි ඉදිරිපත් වුණොත් මේ වෙලාවේ හැටියට ලොකු උදව්වක් වගේම පිනක්.


රටේම යුද්ධය ඉවර වෙලා දැන් අවුරුදු අටක් වෙන්නත් යනවා. ඒත් අපිට තවම යුද්ධය තියෙනවා වගේ දැනෙනවා. මොකද අපිට ඉඩම් ගැටලු, විසඳාගන්න ගියාම ඉන්නේ දෙමළ මුස්ලිම් රාජ්‍ය නිලධාරීන්. ඒ අය අපිව රස්තියාදු කරනවා. මේ ගැටලුවලට රජයේ අවධානය ඉක්මණින්ම යොමු කරලා අපිට විසඳුම් දෙන්න. ජනාධිපතිතුමාගේත්, අගමැතිතුමාගේත් අවධානය එරාවුර්වලට වගේම නැගෙනහිර පළාතේ සිංහල අසරණ අපිට යොමු කරලා මේ ගැටලුවලට විසඳුම් දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. 


සිංහල ජාතියේ වගේම නැගෙනහිර යුද්ධයෙන් බැට කාලා ජීවත් වෙන සිංහල වැසියන් වෙනුවෙන් හඬ අවදිකරන ඉරිදා ලංකාදීප පුවත්පතට අපි ස්තූති කරනවා. එරාවුර් දුක්විඳින අපි ගැන දැන්වත් ඇස් ඇරලා බලලා අපේ ගැටලු විසඳීමට යහපාලන රජය මැදිහත් වෙයි කියලා අපි විශ්වාස කරනවා” මැගිලින් මහත්මියට කියන්නට බොහෝ දෑ ඇතත් ඒවා හදවතේ ඉතිරි කර ගනිමින් කතාව එලෙස අවසන් කළාය.


ශ්‍රී ලංකාවේ තිබෙන පළාත් නවය අතරින් නැගෙනහිර පළාතේ සිංහල, දමිළ, මුස්ලිම් ජනතාව රුඳුරු එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් වෙනුවෙන් ජීවිත අකල් මරණවලින් අවසන් කරගෙන දේපළවලින් පවා වන්දි ගෙවූහ. අප රටේ දරුණුතම සහ බිහිසුණුම යුද ගැටුම් පැවැතියේ නැගෙනහිර පළාතේය. ඒ තත්ත්වය යටතේ වසර 30ක කාලය පුරා කොටි සතුරන් අපට අහිමි කළ ජීවිත හා දේපළවල වටිනාකම් මිල කළ නොහැකි තරම්ය. දැන් යුද ගැටුම් හමාරය. යුද්ධයක් වෙනුවෙන් දැවුණු මුදල් ද ඉතිරිය.


මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ අඩුපාඩු කියමින් ජනතාවට යහපාලනයක් ඇති කිරීමට හවුල් ආණ්ඩුවක් ද බිහිවිය. නැගෙනහිර ජනතාවද යහපාලන ආණ්ඩුව බලයට ගෙන ඒමට කතිරය භාවිතා කළේ දහසක් සිහින පොඳි බැඳගෙනය. එම සිහින අඩු වැඩි වශයෙන් ඉටු වුවද එරාවුර් නගරයෙන් සිංහල ජනතාවගේ සංවර්ධන පහන්සිළු දැල්වෙනවාද යන්න වරක් නොව දහස්වරක් සිතා බැලීමට ජනතාවගේ කතාවලින් අපට ඉතිරි කර ඇත.


නැගෙනහිර පළාතේ සිංහල ජනතාවගේත් යුද්ධයෙන් බැට කා දැනට පදිංචිව සිටින අසරණ සිංහල ජනතාව වෙනුවෙන් දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් මෙන්ම දිඹුලාගල දේවාලංකාර නාහිමියන් අප්‍රමාණ වෙහෙසක් දරමින් ඔවුන්ගේ ගැටලු විසඳීමට දේශපාලකයින්, රාජ්‍ය නිලධාරීන් හමුවී විශාල සටනක නිරතව සිටිති.


නැගෙනහිර සිංහල ජනතාව වෙනුවෙන් හඬ අවදි කරන දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් අප සමඟ එරාවුර් මෙන්ම සිංහල ගම්මානවල අවශ්‍යතාවයන් මෙලෙස පැහැදිලි කළහ.


“අපි යහපාලන ආණ්ඩුවක් පත් කරගත්තේ මේ රටේ දුක් විඳින ජනතාවගේ ප්‍රශ්න ගැටළු තේරුම් ගෙන ඒ සඳහා විසඳුම් ලබාදෙයි කියන ලොකු විශ්වාසයකින්. නමුත් නැගෙනහිර පළාතේ සිංහල ජනතාවගේ මූලික ගැටලුවලට විසඳුම් නොලැබෙන පාටක් අපට පෙනෙනවා. දැන් යුද්ධය ඉවර වෙලා අවුරුදු අටයි. අපි කියනවා මේ යහපාලන රජයට නැගෙනහිර සිංහල ජනතාවගේ ඉඩම් ගැටලු විසඳලා ඒ අය ඉඩම්වල පදිංචි කරවලා පහසුකම් ලබාදීමට තවත් කල් මරන්න එපා කියලා. 


අවුරුදු 30ක් යුද්ධයෙන් බැට කාපු නැගෙනහිර සිංහල, දමිළ, මුස්ලිම් ජනතාවගේ ගැටලුවලට වහාම පිළියම් දෙන්න. ඒ වගේම සිංහල ජනතාවගේ අයිතිවාසිකම් කඩ කරලා ඔවුන්ගේ අවශ්‍යතා ඉටු කිරීමට කටයුතු නොකළහොත් යහපාලන රජයටත් ගෙදර යන්න වේවි. ඒ වගේම මේ රටේ ධානපතීන්, පරිත්‍යාගශීලීන්, නිලධාරීන්, බලධාරීන්, නීතීඥයින් මහා පරිමාණ ව්‍යාපාරිකයින් නැගෙනහිර දැනට පදිංචිව සිටින සුළු සිංහල පිරිසට යම් ආධාර උපකාරයක් ලබා දෙයි කියලා අපි මේ තුළින් අපේක්ෂා කරනවා.”
මඩකලපුව එරාවුර් සිංහල ජනතාවගේ සහ යුද්ධයෙන් පසු ප්‍රදේශයට වෙන සංවර්ධන වැඩසටහන් පිළිබඳව අප මඩකලපුව දිස්ත්‍රික් ලේකම් පී.එස්.එම්. චාර්ලිස් මහත්මියගෙන් දුරකතනයෙන් කළ විමසීමකදී පැවසුවේ එරාවුර් ප්‍රදේශයේ සියලු අංශයකින්ම අදාළ සංවර්ධන කටයුතු කිරීමට රජය මගින් මුදල් ප්‍රතිපාදන වෙන්කර එරාවුර් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට බාරදී ඇති බවයි.


කෙසේ වෙතත් සිංහල ජනතාවගේ සැබෑ ගැටලු රජය විසින් හඳුනාගෙන ස්ථීර විසඳුම් කඩිනමින් ලබාදෙන තෙක් නැගෙනහිර සිංහල ජනතාව මෙන්ම එරාවුර් සිංහල ගම්වාසීන්ද සටන්කරන බව මෙරටේ දේශපාලකයින්, රාජ්‍ය ආයතන හොඳින් මතක තබා ගත යුතු බව අප සිහිපත් කරමු.


සටහන හා ඡායාරූප 
මනම්පිටිය නිමල් ජයරත්න