කෘත්‍රිම රා මාරයා


 

 

ලන්ඩනයේ සුපිරි තේ පෝච්චියක් පවුම් 500 කට එනම් ශ්‍රී ලංකා මුදලින් රුපියල් 100000 කට ආසන්න මුදලකින් අලෙවි කරන්නට තේ සපයන්නට හැකි කම්කරුවන්ට තමන්ගේ වෙහෙස නිවාගන්නට මිනිසුන් පුරුදු කර ඇත්තේ රා කියා විකුණන තවත් පානයකිනි.   


එහෙත් නමින් රා වුවද, ඒවා කෘත්‍රිම රා බවත් එහි අන්තර්ගතව ඇත්තේ ඒවා පානය කරන මිනිසුන් ඇවිදින ඇටසැකිලි බවට පත් කරන, මන්දපෝෂණය, ස්නායු ආබාධ, වකුගඩු රෝග පමණක් නොව අවසානයේ මරණය පවා වේලාසනින්ම කැඳවන පානයක් යැයි ඒ පිළිබඳව සොයා බැලීමේ දී අනාවරණය වූ කරුණකි.   


මෙම කෘත්‍රිම රා වැඩිපුරම අලෙවිවන්නේ වතුකරයේ ය. ඒවා වැඩිපුර පානය කරන්නේ ද ශ්‍රී ලංකාවට දැවැන්ත විදේශ විනිමයක් අත්පත් කර දෙන වතුකරයේ එම ජනතාව ය. ඒ හැරුණු විට රටේ තවත් ප්‍රදේශ ගණනාවක ජනතාවට මෙම වස අන්තර්ගත කෘත්‍රිම රා බෙදාහරින්නට ලංකාවේ තවත් සුපිරි ව්‍යාපාරිකයින් රැසකට වාසනාව උරුමව ඇත්තේ තවත් දහස් ගණනකට අවාසනාවන්ත මරණයක් උරුම කර දෙමිනි.   


ලංකාවේ ස්කාගාරවලට පොල් රා සැපයීම පෙර සිටම බොහෝ දෙනා කරගෙන ආ කටයුත්තක්. නීත්‍යනුකුලව පොල් ගස්වලින් රා මැදල දෙන්න ඉස්සර කාලේ ඉඳලම ක්‍රමවේදයක් තිබුණා.   


ලංකාවේ ස්කාගාරවලට අරක්කු නිෂ්පාදනයට අවශ්‍ය පොල් රා නිපදවීම සහ ඒ හැරුණු විට ගෘහ කර්මාන්තයක් ලෙසට රා කර්මාන්තය තිබිණ. එහිදී විශේෂයෙන් එම රා ගනු ලැබුවේ පොල් ගස්වලින් සහ තල්ගස්වලින් මදින රා වලිනි. මෙම රා තුළ එතරම් හානිදායක තත්ත්වයක් නොතිබූ අතර ඉන් කොටසක් හකුරු, පැණි වැනි අතුරු කර්මාන්තයක් ලෙස කරගෙන යාමට ජනතාව පෙලඹී තිබිණ. අනිත් කොටස වැඩිපුර සකස් කෙරුණේ මුහුදු ආශ්‍රිත ප්‍රදේශවල අරක්කු නිෂ්පාදනය වෙනුවෙනි.   


මෙම කෘත්‍රිම රා පිළිබඳ කතාව මේ වන විට රට තුළ බොහෝ විට කියැවෙන්නට පටන් ගෙන ඇත්තේ රා පානයත් සමග ඇතිවී තිබෙන දැවැන්ත සමාජ පරිහානිය නිසා ය.   
මේ පිළිබඳව වැඩිදුරටත් කරුණු සෙවීමේ දී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පිළිබඳ ජාතික අධිකාරියේ කමිටු සාමාජික සහ හිටපු අධ්‍යක්ෂ මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධක බළකායේ වෛද්‍ය සමන්ත කුමාර කිතලවආරච්චි මහතා කියා සිටියේ, මෙම කෘත්‍රිම රා, කසිප්පුවලට ද වඩා භයානක බව ය. ඔහු ඊට අදාළ කරුණු කාරණා රැසක් ද ගෙනහැර දක්වමින් එය සහතික කර සිටියේ ය.   


“ලංකාවේ ස්කාගාරවලට පොල් රා සැපයීම වෘත්තියක් විදියට බොහෝ පිරිස් කරගෙන ආවා. ඒකට නීත්‍යනුකුලව පොල් ගස්වලින් මදින රා මැදල දෙන්න ඉස්සර කාලේ ඉඳලම ක්‍රමවේදයක් තිබුණා. ලංකාවේ ස්කාගාරවලට අරක්කු නිෂ්පාදනයට අවශ්‍ය රා නිපදවූවා. ඒ හැරුණු විට ගෘහ කර්මාන්තයක් විදියටත් ඔය රා කර්මාන්තය තිබුණා. ඒ පොල් ගස්වලින් සහ තල්ගස්වලින් මදින රා කර්මාන්තයයි. ඒකෙ ලොකු හානියක් පෙනෙන්න තිබුණේ නැහැ. කොටසක් ගියා හකුරු හදන්න පැණි හදන්න වැනි අතුරු කර්මාන්තයක් ලෙසට. අනිත් කොටස වැඩිපුර හදන ඒවා. ඔය මුහුදු ආශ්‍රිත ප්‍ර​ෙද්ශවල කළේ ස්කාගාරවලට සැපයුවා අරක්කු නිෂ්පාදනයට. ලංකාවේ රා නිෂ්පාදනයේ තියෙන අතීත කතාව.   
මේ ස්කාගාරවල රා නිෂ්පාදනය දැන් ටික ටික බිඳවැටිලා. මිනිස්සු ඒකට ගියේ නැහැ. සමාජයෙන් ඒක ප්‍රතික්ෂේප වෙන්න ගත්තා. ගම්වල මිනිස්සු මේ ගැන අඩුවෙන් හිතන්න ගත්තා. අනතුරුදායකයි. කතාවටත් කියනවා අතුරේ යනවා කියලා. ලණු දෙකක් මැදි කරගෙන පොල් ගස් දෙකක් අතර ජීවිත අවදානම දරාගෙන තමයි ඒ කටයුත්ත කළේ. කෙසේ වුවත් මෙම රා පසුකාලීනව කෘත්‍රිමව හදන්න පටන් ගත්තා.   


මෙම රා කෘත්‍රිමව හැදීම ගැන ඇති කතාව ද අපූරු ය. සීනි, යීස්ට් වැනි ද්‍රව්‍ය දමා සමහරු කෘත්‍රිම රා නිෂ්පාදනය කරති. තවත් සමහරු හාල් සේදූ වතුර එනම් හාල්පාරු වතුර, කොස් මුල් කිරි යොදා සකස් කරති. තවත් සමහරු යූරියා පොහොර, ඇමෝනියා, ඩිස්ප්‍රින්, ඇස්ප්‍රින් වැනි දෑ දමමින් රා හොඳ හැටි පැසවෙන්නට තබා මෙම පානය සකස් කරති. එසේ සකස් කරන ක්‍රමවේද ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙන අතර වෙනස් නොවන එකම දේ ඔවුන් සදාකාලික රෝගීන් කිරීමත් අවසානයේ වැඩිකල් නොයවාම මළවුන් අතරට යැවීමත් ය.   


මෙම කෘත්‍රිම රා නිෂ්පාදනය කිරීමට කිසිවෙකුට බලපත්‍ර ලබා දීමක් කරන්නේ නැත. එය සැබැවින්ම ගතහොත් නීතියට පටහැණිය. එහෙත් නීතියෙත් සමාජ සම්මත සාරධර්මයන්ගෙත් සමාජ හිදැස්වලින් සූක්ෂ්මව බේරී යමින් සුපිරි ව්‍යාපාරිකයින් මෙම කර්මාන්තය කරගෙන යන බව පෙනෙන්නට තිබේ.   


පෙර සඳහන් කළ පරිදි වතුකරයේ ජනතාව මෙම කෘත්‍රිම රා මිලදී ගන්නන්ගෙන් වැඩිම පාරිභෝගික පිරිස ය. තේ ගස් යට ඉපිද, තේ ගසටම දාඩිය ශ්‍රමය ලේ කඳුළු හෙළා අවසානයේ තේ ගසටම පොහොරවන ඔවුහු බොහෝ දෙනා හෙට දවසට වඩා අද දවස තමන්ට රිසි ලෙස ගත කරන්නට උත්සාහ ගනිමින් සිටින්නෝ ය. එයට සමාජ ආර්ථික දේශපාලන කාරණා කොතෙකුත් තිබෙන බව ද සත්‍යයකි. එහෙත් ඒවා වෙනම කතා කළ යුතු මාතෘකා වී තිබේ. කෙසේ වුවද මෙම කෘත්‍රිම රා ව්‍යාපාරිකයින් ඔවුන් ඉලක්ක කරගෙනම මේවා නිෂ්පාදනය කරන්නේ ඔවුන්ගේ හොඳම ගැනුම්කරුවන් වතුකරයේ ජනතාව නිසා ය. බෝතල් රා එකක මිල රුපියල් 100 කි. එය ගැනුම්කරුවාට ලාභයට පානය කිරීමට හැකි බීමකි.   


 ඒ හැරුණු විට එම ප්‍රදේශවල කෘත්‍රිම රා නිෂ්පාදනය කිරීම අසීරු ය. අධික ශීත කාලගුණය නිසා රා පැසවීම අමාරු ය. 

 

 

 


“කෘත්‍රිමව හදන්නේ සීනි ගෙනැල්ලා, පීප්පවල දාලා, යීස්ට් දාලා ඒක පැසවලා ඒ අය මේක කෘතිමව හැදුවා. හදලා මේක ස්කාගාරවලට සැපයුවා. අරක්කු නිෂ්පාදනය කරන සමාගම් ලංකාවේ තියෙනවානේ. ඒ අරක්කු නිෂ්පාදනයට අවශ්‍ය මූලික අමුද්‍රව්‍ය තමයි මේ රා කියන එක. එතකොට මේකේ සංයුතිය ටිකක් වෙනස්. නමුත් ඒකට අවශ්‍ය මූලික එක් අමුද්‍රව්‍යයක් විදියට මේවා ඒ අයට සැපයුවා. මේක තවදුරටත් මේ අය කරගෙන යන්න පටන් ගත්තහම රා නිපදවනවා කියලා ඇත්තටම මේ අය ලයිසන් අරගෙන තියෙන්නේ පොල් රා නිපදවනවා කියලයි. කෘත්‍රිම රා නිපදවන්න කාටවත් ලයිසන් දීලා නැහැ. ලංකාවේ කිසිම අයෙකුට එහෙම බලපත්‍රයක් දීලා නැහැ.   


මම ජනාධිපති කාර්ය සාධක බළකායේ හිටපු අධ්‍යක්ෂවරයා හැටියට අපි වැටලීම් ගොඩක් කරලා තිබුණා. ඒ සියල්ල කළේ ලොකු පොල්වතු අරගෙන, ලොකු ගුදම් සහ ටැංකි හදාගෙන වතුර පුරවාගෙන කන්ටේනර්ස් පිටින් ගෙනැල්ල දාල මේවා හදලා ස්කාගාරවලට විතරක් යවපු එක නෙමෙයි කළේ. මේවා තැබෑරුම්වලට බෝතල් රා කියලා නිෂ්පාදනය කරලා යැව්වා. ඒකට මේ අය ඇමෝනියා දානවා. යූරියා දානවා. මේක ඉක්මනට පැසව ගන්න සහ සැර එන්න. මේක හරිම භයානකයි. මෙය කසිප්පුවලට වැඩිය හරිම සාන්ද්‍රතාව වැඩියි. මේකේ ඇමෝනියා ප්‍රමාණය වැඩියි. තල් හෝ පොල් රා වල හෝ තියෙන සංයුතියට වඩා විශාල සැර සංයුතියක් තියන්නේ. නමුත් නීතියට පෙන්වන්නේ මේක පොල් රා කියලා. මේක අපි සුරාබදු දෙපාර්තමේන්තුවත් එක්ක ගිහිල්ලා වැටලුවාමත් මේක ඒ අය ඇනලයිස් කරන්න රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට යැව්වම කියන්නේ මේක රා කියලයි. මූලිකව නීතියේ තියෙන යම් යම් අඩුපාඩු නිසා ඒ රා කියන මට්ටමේ නිර්දේශයක් තමයි ඒ දවස්වල දුන්නේ. සමහර නඩු අහක ගියා. හැබැයි ඇත්තටම වෙන්නේ අදත් මේවා අයිති ගොඩාක් දේශපාලනඥයින්ට ආසන සංවිධායකවරුන්ට මේ වගේ අයටයි.   


කළුතර ඉඳලා මාරවිල දක්වා යන තුරු බොහෝ ප්‍රදේශවල මේවා නිෂ්පාදනය කරනවා. මේකේ භයානකකම තියෙන්නේ මේවා නිෂ්පාදනය කරලා කෙළින්ම මේ තැබෑරුම්වලට එවනවා බෝතල් රා විදියට. ඒ බෝතල් රා වැඩිපුරම පාවිච්චි කරන්නේ මේ වතුකරයේ ඉන්න ජනතාව. උදාහරණයක් විදියට නුවරඑළිය, පුස්සැල්ලාව, රත්නපුරය, බළංගොඩ පැත්තේ ජනතාව. වතුකරයේ ජනතාව මේකට තදට ඇබ්බැහිවෙලා තියෙනවා. එකක් මේක ලාභයට දෙනවා රුපියල් 200ත් 250ත් අතර රා බෝතලයක් වෙනවා. මේ රා තැබෑරුමක් රජයෙන් ටෙන්ඩර් කරන විට රුපියල් කෝටි 4 කට විතර තමයි ටෙන්ඩර් වෙන්නේ. ඒ කියන්නේ මේතරම් විශාල ආදායමක් මේ අය රා විකුණලා අවුරුද්දකට හොයනවා. මුළු නුවරඑළිය පැත්තම තලවකැලේ හැමතැනම එහෙමයි. සමස්ත වතුකරයේ ජනතාව මේ ව්‍යසනයට ඇබ්බැහි වෙලා තියෙනවා. ඒ වගේම තමයි වතුකරයේ ඉන්න කාන්තාවනුත් මේකට තදින්ම ඇබ්බැහිවෙලා ඉන්නේ. ඒක හරිම භයානක තත්ත්වයක්. ගෙදර මනුස්සයා තැබෑරුමෙන් හොඳ හැටියට රා බීල ගෙදර ඉන්න තමන්ගේ බිරිඳටත් රා බෝතලයක් අරන් යනවා. ඒ අය සාමාන්‍යයෙන් රුපියල් 1000 ක 1200 ක විතර වැටුපකට වැඩකරන මේ කම්කරු ජනතාව හවස දෙක විතර වෙද්දි මේ බාර්වලට ගොඩක් එකතු වෙනවා සියලුම පිරිමි. බෝතල් දෙකක් තුනක් බීලා ගෙදර ඉන්න ගෑනිටත් බෝතලයක් අරන් යනවා. සමස්තව ගත්විට වතුකරයේ ජනතාවගෙන් සියයට 60ත් 80ත් අතර තියෙන ලොකු ප්‍රශ්නයක්. ගෙදර ඉන්න ගෑනිටත් දීලා බීලා වෙරිමතේ නිදා ගන්නවා. දරුවන්ට කන්න දෙයක් නැහැ. පාන්පිටි ටිකක් අරන් ගිහින් රොටියක් හදලා කන්න දෙනවා විතරයි. සමස්ත වතුකරයේම මේක දරුණු ඛේදවාචකයක් වෙලා තියෙනවා.   

 

 


මෙම කෘත්‍රිම රා පානය නිසා ඇතිවන සෞඛ්‍ය හානිය ද සුළුපටු නොවේ. වෛද්‍ය සමන්ත කුමාර කිතලවආරච්චි පෙන්වා දෙන අන්දමට මෙම පවුල්වල දරුවන් සහ වැඩිහිටියන් අතර මන්දපෝෂණය උග්‍රය.   


“ඇත්තටම ඔවුන්ට හරි ආහාරයක් ලැබෙන්නේ නැහැ. මේක භාවිතා කරන මිනිස්සු හරියට දිරාගෙන යනවා. හේතුව මේකට යූරියා දානවා. ඇමෝනියා ප්‍රතිශතය වැඩියි. මේක බිව්වහම ආහාර පාන ගන්න හිතෙන්නේ නැහැ. අනිත් එක ආහාර පාන ගන්න මුදලක් අතේ රැඳෙන්නෙත් නැහැ. ඇත්තම කීවොත් ඇවිදින ඇටසැකිලි වගේ තමයි මේ කෘත්‍රිම රා දිගටම පාවිච්චි කරන ජනතාවගෙන් පේන්න තියෙන්නේ. විශේෂයෙන්ම වතුකරයේ ජනතාව.   


ප්‍රධානවම බලපානවා වකුගඩුවලට. වකුගඩු බරපතළ ලෙස හානි වෙලා තමයි මේ අය රෝගී තත්ත්වයට පත්වෙන්නේ. ඊට අමතරව මේ අයට ස්වසන ආබාධ වැඩියි. මන්දපෝෂණය, ශරීරයේ දුබල බව, වකුගඩු අක්‍රිය වීම ඒවා අතර වෙනවා.“ වෛද්‍යවරයා පවසයි.   


මෙම කෘත්‍රිම රා නිෂ්පාදනය කිරීම මෙන්ම බෙදාහැරීම ද ඔවුන් සිදුකරන්නේ ඉතා සූක්ෂ්මව ය. කොටින්ම කිසිවෙකුට සැකයක් ඇති නොවන ලෙසට මෙම කටයුත්ත කරගෙන යාමට ඔවුන්ට අපූරු හැකියාවක් තිබේ.   


“කෘත්‍රිම රා නිෂ්පාදනය වෙන්න වෙලා දැන් අවුරුදු 10-15 ක් විතර වෙනවා. මේවා ප්‍රවාහනය කිරීමටත් තහනම්. නමුත් ඔවුන් මේවා ප්‍රවාහනය කිරීමට ඉතාමත් රහසිගතව ලොකු ටැංකියක් හදලා ඇලුමිනියම් බොඩි තියෙන ලොරි ඇතුළේ මේ අය ටැංකියක් හදලා තියෙනවා. කිරි ගෙනියන බවුසර් වගේ ඇතුළේ තියෙනවා ඒක එළියට පේන්නේ නැහැ. ඇලුමිනියම් වගේ තියෙන්නේ. අපි එවැනි ඒවා ගොඩාක් වැටලීම් කර තිබුණා. අපි අල්ලලා සුරාබදු එකෙන්. 

 
හැබැයි මේකට සුරාබදු එකෙනුත් සමහර අය උදව් කරනවා. රා එම ස්ථානවල සුරාබදු දෙපාර්තමේන්තුවේ කාර්යාලයක් තියන්න කියලයි තියෙන්නේ නිෂ්පාදකයින්ට. හැබැයි ඒ තියන්න කියලා තියෙන්නේ පොල් රා දෙනවා කියලා. පොල් රා කියලයි නිර්දේශය දෙන්නේ. අදාළ නිර්දේශයන් දිය යුත්තේ සුරාබදු දෙපාර්තමේන්තුව විසිනුයි.   


රා නිෂ්පාදනය කිරීමට නීත්‍යානුකූලව තිබිය යුතු දේ තිබෙනවා නම් සුරාබදු දෙපාර්තමේන්තුව අවසර දෙනවා. ඒක ඒ අදාළ ප්‍රමිතීන්ට තියෙනවා නම් ඒ යවන තොගයටත් ඒ නිර්දේශය දෙනවා.   


මෙය වැටලීමට සුරාබදු එකෙන් උදව් කරන්නේ නැහැ. ඒක තමයි නීතිය ඉදිරියට ගිහාම ඒ අය කියනවා මේක පොල් රා කියලා. වැටලීම්වලදී ගැටලු එනවා. මිනිස්සු හිතනවා මේව වටලයි කියලා. හැබැයි සුරාබදු දෙපාර්තමේන්තුව නඩු දාන්න ගිහාම නඩු අහක යන්නේ මේක පොල් රා වලට අදාළ සංයුතියට සමානයි කියලා තමයි පෙන්වන්නේ. හැබැයි අපි ඒ ස්ථානවලට ගිහින් හොයා බැලුවාම පෙනෙන්නේ ඒ අය මහ විශාල කෘත්‍රිම රා හදන ස්ථානයි. “ඔහු ඇතැම් නිලධාරින් වෙත චෝදනා එල්ල කරමින් පවසයි.   


කෙසේ වුව ද නිරන්තරව කෙරෙන වැටලීම් ද විශාලය. කොතෙත් වැටලීම් කරනු ලැබුවද ඒවා නතර වෙන පාටක් පෙනෙන්නට නැත.   

 

සමන්ත කුමාර කිතලව ආරච්චි

 


“ජනාධිපති කාර්ය සාධන බළකායෙන් මේවා වැටලීම් කිහිපයක් කළා. නමුත් ඒවා ඉදිරියට ගෙනියන්න, ඒ තිබුණු බලපෑම් නිසා හම්බවුනේ නැහැ. මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බළකාය හරහා මේකට පසුගිය කාලයේදී වැටලීම් විශාල ගණනක් වුණා. නමුත් ඒවා අඩපණ වුණා මේ දේශපාලනඥයින්ගේ නොයෙක් නොයෙක් ආකාරයෙන් ආපු බලපෑම් මෙන්ම ඊට අදාළව නීතිමය අඩුපාඩු නිසා. කළුතර ඉඳලා මාරවිලට යනකම් මේ කෘත්‍රිම රා හරියට තිබෙනවා.   


මේ නිපදවන කෘත්‍රිම රා වැඩි වශයෙන්ම අරන් යන්නේ වතුකරයටයි. එහේ මේවා හදන්න බැහැ. නුවරඑළිය ඇතුළු එම ප්‍රදේශවල රා හදන්න බැහැ. රා පැහෙන්නේ නැහැ. එහි තියෙන අධික ශීතල නිසා. ඒ හේතුව මත මෙහේ රා හදලා හැමදාම උදේට ලොරි 100 ක් විතර උඩට යනවා. ලොරි 100 කට අධික ප්‍රමාණයක් මේ වතුකරයේ ජනතාවට රා අරගෙන දෛනිකව යනවා. කසිප්පු තහනම් කරනවා කියලා කසිප්පු අල්ලගෙන යනවා. නමුත් මෙය කසිප්පුවලට වැඩිය භයානකයි.   


මේක මුළුමනින්ම වළක්වන්න ජනාධිපතිවරයාට විශාල ඕනෑකමක් තියෙනවා. නමුත් අවශ්‍ය නිලධාරින් සියලු දෙනාම එක ලෙසට ක්‍රියාත්මක වෙන්න ඕනෑ. සුරාබදු දෙපාර්තමේන්තුව මේ පිළිබඳව නිවැරදි ක්‍රියාමාර්ගයකට එන්න ඕනෑ. ඒක තනිකර ඒ අයගේ වැඩක්. ඒ අය දැනුවත්ව කරන වැඩක්.   

 

 

 

පද්මිණි මාතරගේ