කුසලින් තොරව ලැබෙන නිවනක් නැත


 

 

ආර්යත්වයට පත්වීම සඳහා කුසල් සම්පාදනයේ වටිනාකම අප පසුගිය සතියේ පෙන්වා දුනිමු. ආර්ය මාර්ගයේ ප්‍රමුඛ ධනය කුසලයයි. කුසලින් තොරව ලැබෙන නිවනක් නැත. කුසල් යනු පින නොවේ. පිනත්, පවත් යන දෙකම ප්‍රහීන කරන ආර්ය ශ්‍රාවකයා කුසල් ඉපදවිය යුතු බව බුද්ධ දේශනයයි. එසේ ගත් කළ සමස්ත සමාජයම ගමන් කරමින් සිටිනුයේ බුද්ධ දේශනයෙන් පරිබාහිර ලෝකයක් වෙතය. හෙවත් අඳුරක් වෙතය. අඳුර අතපත ගාමින් මෝහන්ධකාරයේ දැවටෙමින් නිවන සොයති. එවැන්නහුට නිවන නොලැබෙයි. නිවන සඳහා වන සැබෑ මාර්ගයේ තවත් කොටසක් අද කියවන්න.


මජ්ඣිම නිකායේ සබ්බාසව සංවර පරියාය කියලා සූත්‍රයක් තියනවා. මේ සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සැවැත්නුවර ජේතවනාරාමයේදීය.


මෙහිදී පෘථග්ජනයා තුළ පවතිනා ආශ්‍රව හෙවත් කෙලෙස් ඉවත් කරන ක්‍රම හතක් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. මොනවද ඒ..?


1. දස්සනා පහාතබ්බා - දැක්මෙන් හෙවත් දැකීමෙන් ඉවත් කළ යුතු කෙලෙස්
2. සංවරා පහාතබ්බා - සංවර වීමෙන් ඉවත් කළ යුතු කෙලෙස්
3. පටිසේවනා පහාතබ්බා - භාවිත කරන වේලාවට නුවණින් සලකා ඉවත් කළ යුතු කෙලෙස්
4. අධිවාසනා පහාතබ්බා - වීර්යයෙන්, ඉවසීමෙන් නැති කළ යුතු කෙලෙස්
5. පරිවජ්ජනා පහාතබ්බා - නුවණින් යුතුව මගහැර යාමෙන් නැති කළ යුතු කෙලෙස්
6. විනෝදනා පහාතබ්බා - නුවණ භාවිත කරමින් දුරු කළ යුතු කෙලෙස්
7. භාවනා පහාතබ්බා - සමථ විදර්ශනා භාවනාවෙන් ඉවත් කළ යුතු කෙලෙස්


මෙහි පළමුවෙනි කාරණය තමයි ‘දස්සනා පහාතබ්බා’ හෙවත් දැකීමෙන් ප්‍රහානය කළ යුතු කෙලෙස්.


දැන් අපි මේ කාරණා එකින් එක විනිවිද යන්නට ඕනේ. ගැඹුරින් ගැඹුරට ගමන් කරන්නට ඕනෙ. එහෙම කරන අයට නිවනට යන මාර්ගය හමුවෙනවා. වචන කීපයකට සීමා වෙලා මෙය කරන්නට බෑ.


යම් කෙනෙක් ආර්ය මාර්ගයට පත් වීමට නම්, ආර්ය මාර්ගය සම්පූර්ණ වෙන්න නම්, ‘අරියානං දස්සාවි’ ආර්යයන් වහන්සේ නමක් හමුවිය යුතුයි, යනුවෙන් බුද්ධ දේශනයේ සඳහන් වෙනවා. එහෙනම් මේක ඉබේම කරන්නට හැකි දෙයක් නෙවෙයි. ආර්යයන් වහන්සේ කියන්නෙ කවුද? එතැනදි ‘අරිය’ සහ ‘රිය’ කියන දෙපැත්තම අපි බලන්නට ඕනෙ.


රිය කියන්නෙ අස්‍රැතවත් පෘථග්ජනයාටයි. අරිය කියන්නෙ කෙලෙස් ප්‍රහීන කළ මාර්ග ඵල ලාභියාටයි.


පෘථග්ජනයා වැඩ කරන්නෙ රාග, ද්වේශ, මෝහ යන ‘සං’ වලින් විකෘති වූ විඤ්ඤාණයෙන්. ඔහු ආර්ය නෑ හෙවත් අනාර්යයි.
‘සං’ වර කරපු ‘සං’ මා කරපු, ‘සං’ සුන් කරපු කෙනා ප්‍රකෘති ඥානයේ, ප්‍රඥාවේ සිටින කෙනෙක්.... එයා ඉන්නෙ යෝනිසෝ මනසිකාරයෙන්.


පෘථග්ජනයා ඉන්නෙ අයෝනිසෝ මනසිකාරයෙන් යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන ආර්යයන් වහන්සේ නමක් හමුවී උන්වහන්සේ දේශනා කරන ධර්මය අහලා අවබෝධ කරගන්නට දක්ෂයෙක් වෙන්නට ඕනෙ...


‘අරිය ධම්මේ කෝවිදෝ’ කියන්නේ මේකයි. එහෙම කරන්නට කුසල් උපදවා ගෙන රාග ද්වේශ මෝහ ප්‍රහීණ කරන අවස්ථාවේ සිටිය යුතුයි.


දැන් යෝනිසෝ මනසිකාරය කියන්නෙ කුමක්ද? එනම් සම්මා දිට්ඨිය, අවදිවූ මනස, හේතුඵල දහම දැකිය හැකි තැනයි.


‘යෝ පට්ච්ච සමුප්පාදං පස්සති
සෝ ධම්මං පස්සති
යෝ මං පස්සති
සෝ මං පස්සති’


යමෙක් පටිච්ච සමුප්පාදය දකිනවා නම් ඔහුට ධර්මය දැකිය හැකියි. ධර්මය දකින්නා චතුරාර්ය සත්‍යය අවබෝධය ලබන කෙනෙක්. මේ කියන චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්නා කෙනායි යෝනිසෝ මනසිකාරයට පත්වෙන්නේ. ඔහු ශ්‍රැතවත් ශ්‍රාවකයෙක්.


‘අරිය ධම්මේ සුවිනීතෝ’ ආර්ය ධර්මයේ හික්මුණු කෙනෙක්... අයෝනිසෝ මනසිකාරයේ යුතු පෘථග්ජන අයට ආර්යයන් වහන්සේලා දකින හැකියාවක් නෑ. හැබැයි දැක්කා කියලා බොරුවට කියන්න පුළුවන්. ඔහුට ආර්ය ධර්මයේ දක්ෂයෙක් වෙන්න බෑ. ආර්ය ධර්මයේ හික්මෙන්නටත් බෑ.


‘මනසි කරණීය ධම්මේ නප්පජානාති’ සිහිකළ යුතු ධර්මය කුමක්දැයි ඔහු දන්නේ නැහැ.


‘අමනසිකරණීය ධම්මේ නප්පජානාති’ සිහි නොකළ යුතු ධර්මය දන්නෙත් නෑ. සිහි කළ යුතු වූද, සිහි නොකළ යුතු වූද ධර්මය දකින්නේ යෝනිසෝ මනසිකාරයට පත් තැනැත්තාය.


අයෝනිසෝ මනසිකාරයෙන් යුතු පෘථග්ජනයා ‘සං’ වලට (රාග, ද්වේශ, මෝහයට) යටත් වෙලා. ඔහුට නූපන් කාමාශ්‍රව උපදිනවා. (අනුප්පන්නෝවා කාමාසවෝ උප්පජ්ජති)
ඒ වගේම උපන් කාම ආශ්‍රව තවතවත් වැඩෙනවා. (උප්පන්නෝවා කාමාසවෝ පවඞ්ඩති)
ඊළඟට නූපන් භව ආශ්‍රව උපදිනවා. (අනුප්පන්නෝවා භවාසවෝ උප්පජ්ජති)
උපන් භව ආශ්‍රව තව තවත් වැඩෙනවා. (උප්පන්නෝවා භවාසවෝ පවඞ්ඩති)
නූපන් අවිද්‍යා කෙලෙස් උපදිනවා. (අනුප්පන්නෝවා අවිජ්ජාසවෝ උප්පජ්ජති)
උපන් අවිද්‍යා ආශ්‍රව වැඩෙනවා. (උප්පන්නෝවා අවිජ්ජාසවෝ පවඞ්ඩති)


දැන් මොහුට මොකද වෙන්නෙ. සසරින් ගැළවීමක් නෑ.. යෝනිසෝ මනසිකාරයට පත් ආර්ය පුද්ගලයා ගමන් කරන්නේ මෙහි ප්‍රතිවිරුද්ධ අතටයි.


දැන් පේනවා නේද ‘සං’ ‘විසං’ වල වෙනස. අවිද්‍යා ආශ්‍රව, භව ආශ්‍රව, කාම ආශ්‍රව පංච ඉන්ද්‍රියන් පිනවන කෙනාට හේතු ඵලය පේන්නෙ නෑ. අතීතය, වර්තමානය, අනාගතය ගැන ඔහු ඉන්නෙ සැකයක. අතීතය ගැන හෙතෙම දුක්වෙනවා. මගේ අතීතය මේ වගෙයි... මට අද මෙහෙම වුණේ අතීතයේ මෙහෙම සිටි නිසාය.


හෙතෙම අතීතය ගැන වගේම වර්තමානය, අනාගතය ගැනත් දුක් වෙනවා. ඔහුට අතීත, වර්තමාන, අනාගත යන කාලත්‍රය ගැනම තියෙන්නෙ වේගයක්, දුකක්, තාපයක්, වේදනාවක්. හිතලා බලන්න, ඔබටත් එහෙමයි නේද? ඇයි එතනට ඔබ වැටුණෙ..?
නිත්‍ය, සුළු, අත්ථ වශයෙන් සියලු දේ සැලකූ නිසා. සියල්ල නිත්‍යයි, වෙනස් නොවේ යැයි සැලකුවා. සියලු දේ (සුළු) සැපයැයි සැලකුවා. සියල්ල (අත්ථ) මම යැයි, මගේ යැයි මමත්වයෙන් සැලකුවා.


මඤ්ඤති - මාමඤ්ඤති මම මගේ කියලා කටයුතු කරන මමත්වයෙන් යුතු තැනැත්තා උම්මත්තකයෙක්. ඒකයි පෘථග්ජනයෝ පිස්සො, උම්මත්තකයො වෙන්නෙ.


‘අත්ථ තාපන - පරත්ථ තාපන’ තමනුත් තැවෙනවා, අන්‍යයාත් තවනවා. තමන් ගිනි ගන්නා ගමන් අනුන්ටත් ගින්දර පත්තු කරනවා. කුමකින්ද? ඔහුගේ ගිනි කූර රාග, ද්වේශ, මෝහයි.


යෝනිසෝ මනසිකාරයේ යුතු ආර්ය උත්තමයා සියල්ල සලකන්නේ අනිත්‍ය, දුක්ඛ, අනත්ත වශයෙනුයි. එතුමහුට නමඤ්ඤති - මම කියලා කෙනෙක් නෑ. රාග, ද්වේශ, මෝහයෙන් ශූන්‍යයි. තමන් ඇවිලෙන්නෙත් නෑ. අන්‍යයාව අවුළුවන්නෙත් නෑ.


‘දස්සනේන සම්පන්නයි’ කෙලෙස් දැක්මෙන් ඉවත් කරනවා.


‘ජානසෝ පස්සසෝ’ දැනගෙන, දැකගෙන යනවා.


එවැනි උතුමකු හමුවීමෙන් අපට පුළුවන් නිවන් දොරටුව එළිය කරගන්න. නිවීමට පත් වෙන්න. ‘දස්සනා පහාතබ්බා’ යනුවෙන් සබ්බාසව සංවර පරියාය සූත්‍රයේ විග්‍රහ කරන කරුණු හතේ පළමු කාරණය දැන් ඔබට පැහැදිලියි.

සටහන 
අසංක ආටිගල