කුමන වන උයනේ මිනී කන කොටි


කුමනදි හමුවූ පැන්තරාපාඩස් කොටියෙක්

 

 

සෙල්ලදොරේ රවිචන්‍ද්‍රන් ඇතුළු පිරිස සිංහල හින්දු අලුත් නිවාඩුව අවසන්කර ගෙවුණු දහ අටවැනි දා යළි කුමන ජාතික උද්‍යානයේ මාර්ග සංවර්ධන කටයුතුවලට පැමිණියේ ඔහු සමග වැඩකරන සෙසු අය ද සමගය. එහෙත් ඒ ඔහුගේ අවසන් ගමන යැයි කිසිවෙකුත් නොසිතූහ. 


රවිචන්ද්‍රන් ට්‍රැක්ටර් රියැදුරකු ලෙස සේවය කරයි. පසුගිය අවුරුද්දේ අගභාගයේ සිට කුමන ජාතික උද්‍යානයේ අභ්‍යන්තර මාර්ග අලුත්වැඩියාවේ භාරගත් කොන්ත්‍රාත්කරුවකු යටතේ කටයුතු කරයි. 


ඔහු හිතවත් රියැදුරන් කිහිප දෙනෙක් සමග කුමන ජාතික උද්‍යානයේ බාගුරා කළපුව අසලින් බඹරගස්තලාවට යන පාරේ කිලෝමීටර් එකහමාරක් දෙකක් ගියවිට හමුවන කිරිපොකුණ ප්‍රදේශයේ පස් පිරවීම එදින කළේය. ට්‍රැක්ටර් පහක් එකටම පස් පුරවාගෙන ගිය පිරිස දහවල් දෙකත් තුනත් අතර කාලය තුළ කිරිපොකුණ ප්‍රදේශයේ පස් බෑමෙන් අනතුරුව දිවා ආහාරය ගත්හ. ට්‍රැක්ටර් ටික ආසන්නයේ අඩි විස්සකට නොවැඩි දුරකින් පස්දෙනා ගිමන් හැරියහ. 


රවිචන්ද්‍රන් සහ සුනිල් එක් තැනක ද කුලරත්න ඇතුළු තිදෙනා ඊට අඩි පහළොවක් පමණ දුරින්ද ගිමන් හරිමින් කතාබහ කරමින් සිටියහ. රියැදුරු සුනිල් වැල්ලේ බිම වැතිරී සිටි අතර රවිචන්ද්‍රන් සුනිල් අසල වාඩි වී සිටියේය. 


“එක පාරටම රවි පිටිපස්සෙන් පැන්න කොටියා රවිගේ බෙල්ලෙන් අල්ලලා නැගිට්ටුවා. කොටියත් නැගිටලා. සුනිල්ට කෑගැස්සුණා. මගේ අතේ තිබුණ උදැල්ලෙන් ගැහුවා. මොහොතකින් රවිව ඇදගෙන කොටියා කැලේ ඇතුළට ගියා. අපි කෑගැහුවට කොටියා රවිව අතහැරියේ නෑ,” සිද්ධිය ඇසින් දුටු ට්‍රැක්ටර් රියැදුරෙකු වන පානම ජී. කුලරත්න මහතා පැවසීය. 


කොටියා විසින් කැලේ ඇතුළට දඩයමක් ලෙස රැගෙන ගිය සෙල්ලදොරේ රවිචන්ද්‍රන් අවුරුදු හතළිස් හතක් වයසැති විවාහකයෙකි. ඔහු පොතුවිල් තිරුක්කෝවිල් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. 


“රවිව කැලේට අරගෙන ගිය කොටියා පස්සේ යාම භයානක නිසා අපි ගියේ නෑ. අපි කෑගැහුවා. නමුත් නොපෙනී කැලේ ඇතුළට ගොදුර අරගෙන කොටියා ගියා. අපි ට්‍රැක්ටර්වලින් කිලෝමීටර් දෙකක් විතර දුර බාගුරා ප්‍රදේශයට ගිහිං ටෙලිෆෝන් සිග්නල් තිබුණ නිසා වනජීවියට දැනුම් දුන්නා.” 


“පැය එකහමාරක් දෙකකට පස්සේ සෆාරි ජීප් එකකින් වනජීවී මහත්වරු ආවා. අපි සිද්ධිය වූ තැන පෙන්නුවා. වෙඩි ආදිය දාලා වනජීවී නිලධාරීන් කැලේ ඇතුළට ගියා. මිටර් දෙසීයක් විතර කැලේ ඇතුළේ රවිගේ සිරුර තිබුණා. සිරුරේ උදර කොටස් කාලා තිබුණේ. වනජීවී නිලධාරීන් පැමිණි සෆාරි ජීප් එකේ රියදුරා සිරුරේ ඡයාරූප ගත්තා. සිරුර තිබුණ තැනට ටිකක් එහායින් ලොකු හුඹසක් තිබුණා. කට්ටිය සිරුර ළඟින් ටිකක් ඈත් වුණා. සෆාරි ජීප් රියදුරා තනියම සිරුර තිබුණ තැනට යළි ගියා. 


වනජීවී නිලධාරීන් යන්න එපා කියද්දිත් ඔහු පාත්වෙලා සිරුරේ ෆොටෝ එකක් ගන්න හදනවත් එක්කම හුඹස පිටිපස්සේ හිටිය කොටියා එයාටත් පැන්නා. පස්සේ වනජීවී මහත්වරු වෙඩි දාලා සද්ද කළත් ගොදුර අතහැරියේ නෑ. අන්තිමට රබර් උණ්ඩ දාලා කොටියට වෙඩි තියලා තමයි සෆාරි රියැදුරා බේරා ගත්තේ.” කුලරත්න මහතා ඒ අනුවේදනීය සිදුවීම පැහැදිලි කළේය. 


වසර ගණනාවක් තිස්සේ කුමන වනෝද්‍යානයේ සංචාරකයන් ගෙනයන ජීප් රථයක රියදුරෙක් ලෙස කටයුතු කරන සියඹලාණ්ඩුව දඹගොල්ලේ පදිංචි අබේසිංහ හේරත් මුදියන්සේලාගේ චමීර අබේසිංහ නමැති විසි හය හැවිරිදි අවිවාහකයකු එසේ දෙවන ගොදුර බවට පත්ව තිබුණි. 

කොටි දැකගතහැකි ගස්

 


මේ වනවිට ඔහු අම්පාර මහ රෝහලේ ශල්‍යකර්ම කිහිපයකට භාජනය කර දැඩිසත්කාර ඒකකයේ පසුවෙයි. කුමන කැලේ මේ අකාරයට කොටින්ගේ දඩයම්වලට ලක්ව මිනිසුන් ජීවිතක්‍ෂයට පත්වීමේ සිද්ධීන් මෑතකදී වාර්තා වී නැති බව වනජීවී නිලධාරීහු අවධාරණය කළහ. 


යුද සමයෙන් පසුව නැවත මහජනතාවට කුමන වනෝද්‍යානය විවෘත කිරීමෙන් පසු කුමන සහකාර උද්‍යාන භාරකරු ලෙස මෙන් ම උද්‍යාන භාරකරු ලෙස ද කටයුතුකර මේවනවිට යාල ජාතික උද්‍යානයේ භාරකරු ලෙස කටයුතු කරන ඩී.පී. සියාසිංහ මහතාගෙන් තොරතුරු විමසුවෙමි. 


“ත්‍රස්තවාදී ක්‍රියා නිසා කාලයක් වසා දමා තිබූ කුමන වනෝද්‍යානය යළි 2002දී මහජනතාවට විවෘත කළා. නමුත් විවෘත කරපු කාලේ සත්තු කුලෑටි වෙලා තිබුණේ. විශේෂයෙන් කොටි වගේ සත්තු වාහන ශබ්ද ඇහනකොට හැංගෙනවා. කාලයක් යනකොට වාහන ශබ්දවලින් කරදරයක් නෑ කියලා අවබෝධ කරගෙන කැලේට නොයා ඉන්නවා. දැන් තියෙන්නේ එවැනි තත්ත්වයක්. ” 


“මීට ඉස්සර 2014 අවුරුද්දේ පාද යාත්‍රාවේ ආපු අක්කරපත්තුවේ ගුරුවරියක් කොටියෙකුගේ ගොදුරකට ලක්වෙලා මියගියා. නමුත් ඒ සිද්ධිය වුණේ යාල කලාප අංක දෙකේ මැණික් ගඟ ආශ්‍රිත මීගස්සෙවණ ප්‍රදේශයේ දී. ඒ හැර කුමන දී කොටින්ගේ තර්ජන සාමාන්‍ය ජනතාවට තිබූ බවට සිද්ධීන් වාර්තා වෙලා නෑ” සියාසිංහ මහතා පැහැදිලි කළේය. 
කුමන සහ යාල වනෝද්‍යාන ආශ්‍රිතව වෙසෙන කොටියන් හඳුන්වන විද්‍යාත්මක නාමය පැන්තරාපාඩස් කොටියා බව සියාසිංහ මහතා පැවසුවේය. 


“තනි තනිව මේ කොටි පිරිමි සතුන් ජීවත් වෙන්නේ. උගේ ආහාර දාමයට ඇතුළත් මුවන්, මීමින්නන්, ගෝනුන්, හාවුන්, කුරුල්ලන් වැනි සතුන් බහුල පිට්ටනි සහ පඳුරු ආශ්‍රිතව වෙන වෙනම කලාප මායිම් කරගෙන උන් ඉන්නේ. ගල්ගුහා, දියකඩිති, මෙන්ම සතාගේ පෘෂ්ටිමත් ආදිය පදනම් කරගෙන උන්ගේ කලාප වෙනස් වෙනවා. මුත්‍රා, මළපහ, බිම පහුරුගෑම් ආදියෙන් ඌ තමන්ගේ සීමාවන් ලකුණු කරනවා. සමහර කොටි ඒක් ගෑනු සතෙක් හෝ දෙන්නෙක් තියාගෙන ඉන්නවා. කොටි පිරිමි සතෙක් මේ සලකුණු කළ කලාපයක් ආක්‍රමණය කරන්නේ බොහොම අඩුවෙන්. ආක්‍රමණය කළත් දුබලයකුගේ කලාපයක් තමයි. මිනිස්සු වගේමයි.” 

 

“දැන් යාල කලාප අංක එකේ ෆොටෝ ජෙනික් කොටි ගෑනු සතෙක් ඉන්නවා. අපි එයාට කියන්නේ ස්ට්‍රෝබෙරි කියලා. කැලේ ඉන්න වෙලාවක වාහන ශබ්දයක් ඇහුණොත් එයා වාහනවලට පේන තැනකට එනවා. ෆොටෝ ගන්න පුළුවන් ඉරියව්වලින් ඉන්නවා. වාහන ගියොත් තමයි එයා යන්නේ. ඒ තරමටම හුරුවෙලා.” සියාසිංහ මහතා කොටින්ගේ ජීවන චර්යාව විස්තර කළේය. 


රවිචන්ද්‍රන්ට කොටියා පැන්නේ කුමන වනෝද්‍යාන පිවිසුම වූ ඕකන්ද පිවිසුමේ දොරටුවෙන් ඇතුළුවී කිලෝමීටර් අටක් පමණ ඇතුළට ගියවිට පළමුවෙන් හමුවන බාගුරා කලපුවෙන් දකුණට හැරී බඹරගස්තලාවට යන පාරේ කිලෝමීටර් දෙකක් පමණ ඇතුළත දීය. කොටි ප්‍රහාරයෙන් මියගිය රවි උඩුකයට ඇඳ සිටියේ රතු කමිසයකි. රතු ඉරි සහිත රෙද්දක් හිසේ දාගෙන සිටියේය. මේ ප්‍රහාරය එල්ල කළ කොටියාගේ කලාපයේ දී ගොදුරක් ලෙස සලකා රවිට කොටියා පනින්න ඇද්ද? චමීර ගොදුරට ළංවී ඡායාරූප ගන්න සූදානම් වන අවස්ථාවේ ගොදුර ඩැහැගන්නට සූදානම් බවට සැක කර ඔහුට පැන්නාද? සියල්ල ප්‍රශ්නාර්ථයකි. 


“කුමන වනෝද්‍යානය ඇතුළේ ලේනව කියන ප්‍රදේශයේ දරුණු වර්ගයේ කොටි හිටියා කියලා තාඹුගල ආනන්දසිරි කියන හාමුදුරුවෝ ලියපු පොතක සඳහන් වෙනවා. ඒ කොටි නම් මිනීමරු කොටි කියලයි උන්වහන්සේගේ පොතේ තියෙන්නේ. ඔය නිට්ටෑවෝ කියන ජන කොට්ඨාසය අන්තිමට ම හිටියා කියන්නේ ලේනව කියන ප්‍රදේශයේ. ඒ නිට්ටෑවෝ වඳවෙලා තියෙන්නේ මේ කොටි විසින් ආහාරයට ගැනීම නිසා කියලා ජනප්‍රවාදයේ තියනවා කියලත් හාමුදුරුවන්ගේ පොතේ තියනවා.” 


“මේ පැන්තරාපාඩස් කියන කොටියාගේ මුහුණේ තියන පුල්ලිවලින් උන් වෙන් කරලා හඳුනා ගන්න පුළුවන් කියලා උන් ගැන පර්යේෂණය කළ මහාචාර්ය මංගල ද සිල්වා මහතා අඳුනාගෙන තියනවා. මිනිස්සුන්ගේ ඇඟිලි සලකුණු එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස් වෙනවා වගේ පැන්තරාපාඩස් කොටියාගේ මුහුණේ පුල්ලිවලින් සුළු සුළු හෝ වෙනස්කම් තියනවලු. උන්ගේ මුහුණුවල ගත් ඡායාරූප පදනම් කරගෙන මහාචාර්යවරයා මේ නිගමනයට ඇවිත් තියෙන්නේ.” 

 

කුමන බාගුරා විල්ලුව

කුඩා කැබිලිත්ත

 


“කුමන වනෝද්‍යානයේ තුන්මුල්ල සහ කිරිගල්ඇබේ කියන ස්ථාන දෙකේ සංචාරක බංගලා දෙකක් තියනවා. ඊට අමතරව කුමන මෝය, හෙරළිගස්ආර, ඇදකුඹුක අංක එක සහ අංක දෙක, ගල්අමුණ කියන තැන්වල කඳවුරු පවත්වාගෙන යන්න සංචාරකයන්ට අවසර දෙනවා. මේ කියන කිසිම තැනකදී කිසිම කෙනෙක් කොටින්ගේ හෝ වෙනත් වන සතෙකුගේ ප්‍රහාරයට ලක්වෙලා නෑ” 


“ඒ වගේම වනෝද්‍යානයට ඇතුළු වුණාම බාගුරා කලපුව, අන්දර කලපුව, ඉටිකළ කලපුව, යාකළ කලපුව පහුකරලා ආවාම තමයි කුරුල්ලන් ඉන්න කුමන විල්ලුව තියෙන්නේ. එතනත්, ඊට පස්සේ කුඹුක්කන් ඔය ආසන්නේ කුඩා කැබිලිත්ත දේවාල අසලත්, කැස්බෑ සංරක්‍ෂණ මධ්‍යස්ථානය අසලදීත් සංචාරයකයන්ට වාහනෙන් බහින්න අවස්ථාව දෙනවා. නමුත් ඒ තැන්වලදී වන සතුන්ගෙන් සංචාරකයන්ට හානි වෙලා නෑ” සියාසිංහ මහතා පැවසුවේය. 


කුමන ජාතික උද්‍යානයේ සෆාරි ජීප් රියැදුරන් පවසන්නේ මේ කොටි ප්‍රහාරයෙන් සංචාරකයන්ගේ පැමිණීමේ සැලකිය යුතු අඩුවක් ඇති බවයි. සරත් ජයසිංහ සහ සුසන්ත ධර්මනායක යන සෆාරි ජීප් රියැදුරන් පැවසුවේ සෆාරි ජීප් රියැදුරෙක් කොටි ප්‍රහාරයකට ලක්ව ඇති බවට තොරතුරු ප්‍රචාරය වීම තුළ බොහෝ දෙනෙක් තේරුම් ගෙන ඇත්තේ සංචාරකයන් ගෙන යද්දී සෆාරි රියැදුරා කොටි ප්‍රහාරයට ලක්ව ඇති බවට වැරදි ලෙස තේරුම් ගැනීම බවද ඔවුහු පෙන්වා දෙති. 


‘ඇත්තටම කුමන කොටින්ගෙන් හෝ වෙන සතෙකුගෙන් සංචාරකයන්ට කිසිම කරදරයක් නෑ. වනජීවී නිලධාරීන් එක්ක ගිය ගමනකදී ප්‍රධාන පාරෙන් කිලෝමීටර් දෙකක් විතර ඈතින් තමයි මේ සිද්ධිය වෙලා තියෙන්නේ. ඒ නිසා කුමන සංචාරයට කිසිම බියක් ඇති කරගන්න එපා” සෆාරි ජීප් රියැදුරන් වෙනුවෙන් ඔවුහු ඉල්ලා සිටිති.

 

 



අජිත්ලාල් ශාන්තඋදය සහ
පානම ප්‍රියනාත් චන්ද්‍රපාල