කුකුළන් මැරූ පාපයට කෙකර ගගා මරු හමුවූ කිරිගෝරිස්


අකුරැස්ස, පහළ මලිදූව චිත්‍රානන්ද ගුණවර්ධන මහතා ලියා එවූ කතාවකි.  


කිරිගෝරිස් මීට බො​ෙහා් කලකට පෙර ඈත එපිට ගම්මානයක ජීවත්වූවෙකි. ඔහු තම දිවි මඟ සරි කර ගැනීමට ප්‍රධාන මාර්ගය ලෙස කුකුළන් ඇති කිරීම කළ අතර ඒ බිත්තර සහ මස් සඳහාය. ඉතා ජයටම කරගෙන ගිය මේ ව්‍යාපාරය නිසා ඔහුගේ අතමිට බෙහෙවින් සරුවිය.   


ප්‍රදේශයේම මඟුල් තුලා වැනි ඕනෑම අවස්ථාවකට අවශ්‍ය තරම් බිත්තර  මෙන්ම ඕනෑම ප්‍රමාණයක මස් සැපයීමට ද හැකියාවක් ඇති තරමට ඔහුගේ ව්‍යාපාරය ශක්තිමත්ව තිබුණි. සහායකයන් කීප දෙනෙකුගේ ද උදව් ඇතිව මේ ව්‍යාපාරය ජයටම කරගෙන ගිය කිරිගෝරිස් ඕනෑම අයෙක් කුකුළු මස් ​ෙගන යාමට පැමිණි විට එවෙලේම කුකුළන් මරා අලුත්ම මස් ලබා දීම සිදු කළේය.   


ඒ නිසාම කිරිගෝරිස්​ෙග් මස් ව්‍යාපාරය කා අතරත් ජනප්‍රියව පැවතුණි. කුකුළන් මැරීම සිදු කරනු ලබන්නේ කිරිගෝරිස් විසින්මය. ඒ සඳහා ඔහු මහත් ආශාවක් දැක්වීය. ගෝලයන් කරන්නේ ඔහු මරන කුකුලන් මස් සඳහා සැකසීමයි.   


කුකුළන් මැරීමෙන් ඉමහත් සතුටක් ලබන කිරිගෝරිස් ඒ සඳහා සුවිශේෂී ක්‍රමයක් ගෙන තිබුණි. එනම් මස් ලබා ගැනීමට කෙනෙකු පැමිණි විට ඔහුම කූඩුවට ඇතුළු වී කුකුළකු බැගින් අල්ලා ගනී. අල්ලා ගත් කුකුළාගේ හිසෙන් අල්ලා කර කවමින් බෙල්ල අඹරවයි.  


 එවිට කුකුළා මර හඬ දෙමින් කෑ ගසයි. මෙසේ ඉතා සිහින් වන තෙක් ගෙළ අඹරා ඉණේ ගසගෙන සිටින තියුණු පිහිය ගෙන එකවරම ගෙළ කපා කුකුළා අතහරී. ඒ සමගම බෙල්ල නොමැතිව කුකුළාගේ කඳ කොටස පමණක් තටු ගසා අහසේ ඉහළට පියඹා වටයක් දෙකක් කැර කැවී බිමට වැටෙයි. මෙය බලා සිටින කිරිගෝරිස් මහ හඬින් සිනා සෙමින් නිම් හිම් නැති සතුටක් ලබයි. ඒත් මේ ම්ලේඡ ක්‍රියාව බලන්නටවත් බැරි තරම් පිළිකුල් සහගතය.   


​ෙම් ආකාරයට බොහෝ කාලයක් කිරිගෝරිස් තම ව්‍යාපාරය කරගෙන ගියේය. මේ කාලය තුළ ඔහු අතින් ගෙල සිඳී මියගිය කුකුළන් සංඛ්‍යාව දහස් ගණනකි.   


මේ ව්‍යාපාරය නතර කරන ලෙස පවුලේ අය කොතෙක් ඉල්ලා සිටියත් කිරිගෝරිස් එය ගණනකටවත් නොගත්තේය. මෙසේ කාලයක් ගත වන විට කිරිගෝරිස්ගේ උගුරේ අමාරුවක් හට ගත්තේය. මිල මුදල් අතින් කිසිදු අගහිඟයක් නොවූ ඔහු මේ සඳහා ඇති තරම් වියදම් කොට බේත් හේත් කළත් එය සුව වන පාටක් නම් නොවීය. එන්න එන්නම අාබාධය වැඩි වන්නට විය. කෑම ගැනීමට පවා අපහසු විය. කතා කිරීමද හරි හැටි කළ නොහැකි විය. කට හඬ පවා වෙනස් වී කතා කරන දේ තේරුම් ගැනීමට ද අපහසු විය.   


කල් යත්ම ඔහු කතා කරන දේ පැහැදිලි නොවීය. උගුරෙන් පිටවන ශබ්දය හරියට කිකිලියක් කෙකර ගාන හඬක් මෙනි. අසා සිටින අයට මෙය ඇසුණේ හරියටම කෙකර ගෑමක් ලෙසින්මය. කතා කිරීම පමණක් නොව කෑම ගැනීමට ද නොහැකිව අවසානයේ උගුරට දැමූ බටයක් මගින් දියර වර්ග පමණක් ලබාගැනීමට ඔහුට සිදුවිය. මෙසේ ටික දිනක් ගත කර මහත් සේ දුක් විඳ මරණයට පත් වූයේ කළ පව් ඒ ආකාරයටම මෙලොව දීම පළ දෙමිනි. 



කිතුල්ගල දික්හේන එම්.පී. ගුණපාල මහතා ලියා එවූ කතාවකි.   


සාරා එල්ලී මළේය.   


මීට අවුරුදු තිහ හතළිහකට පෙර ඈත පිරිසර ජනතාවගේ ජීවන උපාය වූයේ, වැඩිපුරම ​හේන් ගොවිතැනය. අල බතල, මඤ්ඤොක්කා ආදී වගාවන් කිරීම මෙන්ම කිතුල් මල් කැපීමයි. මෙවන් ගමක ජිවත් වූ මොහු නමින් සරනේලිස්ය. ඔහුට පරම්පරාවෙන්ම හිමි වූ අක්කර ගණනක ඉඩම් යායකි. මෙම ඉඩම් ප්‍රදේශය කැලෑවෙන්ම වටවී විශාල ගහ කොළ වලින් පිරි පැවතුණකි. සිරා, සරා නම්වලින් ද හඳුන්වනු ලැබූ මෙම පුද්ගලයා විශේෂයෙන්ම දඩයමටම වැඩි කාලයක් යෙදවූ නිබඳවම මස් අනුභව කිරීමට ලොල් වූ කුමන හෝ මසකට දිනපතාම ඇබ්බැහිවූවෙකි.   


ගම මධ්‍යයේම මොහුගේ නිවහන පිහිටා තිබූ අතරම සරාගේ ගොවිපළ මෙන්ම කිතුල් මල් කපන කිතුල් ගස් යාය ද ඉඩම ද පිහිටා තිබුණේ ගමට තරමක් දුරට වන්නටය. නිරන්තරවම දවස ගෙවුණේ මෙම ඉඩම තුළය. නිවසට ආවේ ගොම්මන් වේලාවෙදීය. එතෙක්ම කුමන හෝ වැඩක් පළක් කළ අතරම වැඩිපුරම වන සතුන්ගේ අඩිපාර පසු පස යාමටත් ඔවුන් අල්ලා ගැනීමට බඳින තුවක්කු ඇටවීමට හෝ උගුලක් ඇට වීමට හෝ අල්ලා ගත් සතුන් මස් කිරීමට හෝ යෙදීම මුල්ම අරමුණ විය. ඒ ගෝලබාලයන් කෙනෙකු දෙන්නෙකු ද ඔහුගේ පසු පසමය. කිතුල් රා වඩියක් සප්පායම් වීමටත් සතුන්ගේ මස් වලින් කොටසක් ලබා ගැනීමටත් ලැබෙන ඉඩ කඩ නිසාවෙන්මය.   


වල් ඌරන්, වැලි මුවන්, ඉත්තෑවන්, කබල්ලෑවුන්, මීමින්නන්, රිලවුන් වඳුරන් ආදි සතුන් මෙන්ම වලි කුකුළන් දඬු ලේනුන් ආදී සතුන්ද මේ ඉසව්වේ නිතර ගැවසෙති. එහෙත් ආපසු කැලයට ගියේ මෙයින් ටික දෙනෙකුය. කුමන හෝ උගුලක සිර වී දින ගණන් කැලය දෙවනත් කර මියගියේ ගැලවීමට බැරිම තැනය.   


දිනපතාම මස් අනුභව කිරීමට සරාට ඇති වූ​ෙය් ද මෙම සතුන් අල්ලා ගැනීමට ඔහුට පුළුවන් වූ නිසාවෙන්ය. විටෙක දඟලමින් සිටින සතුන් පොලු ආදියෙන් ගසා මරා ගැනීම ඔහුට සුළු දෙයකි. එමෙන්ම සතකු පැමිණි ලකුණු හඳුනා ගැනීමට ද තිබුණේ පුදුම ඉවකි.   


නිතර බුලත්විට හපමින්ද දුම්පානය කිරීමට ද අමතරව දිනයක් නෑරම මත්වතුර බීමද දින චරියාවේම ප්‍රධාන අංගයන්ය කිතුල් මල් කැපීමට මෙන්ම මත් වතුර පෙරීමට ද මේ අතර වාරයේදී යොමු වූයේ ද ආදායම් වැඩි කර ගැනීමට වගේම තමන්ට ද භාවිතය සඳහා අවශ්‍යම වන නිසාවෙන්මය. වල් ඌරකු වැනි ලොකු සතකු දඩයම් කළ විට මුදලට මස් විකිණීම ද කළේ සමිපතම හිතවතුන් අතර පමණි. එ් නීතියෙන් වහන්වීමටය. විශේෂයෙන් හොර ගිනි අවි භාවිතයෙන් බේරීම සඳහාය.   


වන සතුන් දඩයම් කර ගැනීමට නොහැකි වූ දිනවලදී ඇළේ දොළේ ගංගාවේ මාළුවන් අල්ලා ගෙන ඒමට  හෝ සති පොළෙන් මස් කඩෙන් හරක් මස් ගෙන ඒමට ද නොවරදවාම අනිකුත් කාර්යයන් නවතා හෝ යෙදුණේ වසර ගණනාවක සිටම ඇබ්බැහි වුණ මස් අනුභවය පුරුද්ද නිසාමය.   


සිය බිරිඳ දරුවන් මෙම සත්ව ඝාතනයන් පිළීකෙව් කළත් ඔහු විසින්ම සතුන් මස් කර උයා පිහා ගනිමින් භුක්ති වින්දේය. විටෙක කැබැල්ලෑවකු ඉත්තෑවකු වැනි සතකු මරා ගත් කල පෝර උරයක බහා එළියට කෙසෙල් තැනක වහල්ලක් තබා බැඳ ගෙන ඉදුණු කෙසෙල් කැනක් ගෙනෙන අයුරින් අරගෙන ආවේ මඟ දෙපස නිවෙස්වල මිනිසුන්ට නොපෙනෙන ලෙසින්ය. දිනෙක ඇඳිරි වැටී ගෙන එද්දී මොහු නිවස වෙතට යමින් සිටියේය. එම ගමන් මඟ දෙපස තිබූ ගස් අතරින් එක් ගසෙක දිමියන්ගේ කූඩු කීපයක්ම ඇවිස්සීමෙන් දිමියන් බිමට වැටෙමින් තිබී ඇත. ඔහුට ඉ​ෙවන් මෙන් දැනී ඇත්තේ කැබල්ලෑවකු ගසේ සිටින බවය. ඔහු වහාම අත තිබූ දෑ ඉවතට දමා ගසට ගොඩ විය. කැබල්ලෑවෙකු දිමි ගොටු කඩමින් දිමියන් අනුභව කරමින් සිට ඇත. මොහු එක්වරම කබල්ලෑවගේ බාවෙන් අල්ලා ගත්තේය. ඌ දඟලන්නට වූයේ ගැලවීම සඳහාය. කිසිත් කර කියා ගත නොහැකි තැන ඔහු කළේ තමන්ගේම කටින් සපාගෙන වැරෙන් අල්ලාගෙන ඉනේ තිබූ උල්පිහිය රැගෙන ඇනීමෙන් මෙම සතා මරා ගසෙන් බිමට දැමීමය. පසුව මෙම සිදුවීම හෙළි කළේ ඔහු සමග ඒ මොහොතේ සිටි ඔහුගේ සමීප ගෝලයෙකි.   


මැදි වියේ එළිපත්තට ළඟාවෙමින් සිටියද මෙම පුරුදු පිළිවෙත් සරාට අමතක කිරීමට අපහසුවී තිබිණි. සතුන් මැරීම පිළිකෙව් කළ සෙසු ගොවියන් මොහුගේ මෙම වැඩපිළිවෙල අනුමත කළේ නැත. එහෙත්  කාගේ හෝ බසකට කන් දීමට ද සිරාට වුවමනාවක් තිබුණේද ගරු කළේද නැත. එබැවින්ම හරි දේ අගය කළ වැඩිහිටියන් කීවේ ‘වී වපුලෝ වී ගෙන යන බවත්, අමු වපුලෝ අමුගෙන යන බවත්’ ය.   


ගෙවුණේ ටික කාලයකි. සිරාගේ බිරිඳ අපස්මාරය රෝගයෙන් වරින් වර රෝගී විණ. දිනෙක මුළුතැන්ගෙයි ආහාර පිසිමින් සිටි ඇය ඇද වැටී රෝගාතුර වූවාය. දෙපා තද බල ලෙස ගින්දරට පිළිස්සීමෙන් වූ තුවාල නිසා රෝහල්ගතව මාස ගණනක් ප්‍රතිකාර ලබමින් සිටියාය.   


මේ අතර ආහාර ගැනීමට වූ අපහසුතාවක් නිසාම සිරාද රෝහල් ගත විය. සති මාස ගණනක්ම ගෙවී යද්දී මුඛය උගුර සම්බන්ධ පිළිකා රෝගය වැළඳී ඇතැයි වෛද්‍යවරුන් ප්‍රකාශ කළෙන් තවත් පරීක්ෂණයක් කර මාස ගණනින් පසුව සැත්කම් කීපයකින් පසුව ගමට පැමිණියේ වරින්වර සායනයන් සඳහා යාමට තිබූ නියමයන් අනුවය.   


හඳුනාගැනීමට ද අපහසු ලෙසින් විකෘතිව ගමට පැමිණි මොහු වැඩිපුරම නිවසට වී සිටියේ ද සමාජයට ද මුහුණදීමට නොහැකිවී​ෙමන් විය හැක. නැවත ද පුරුදු චර්යාවන් වලම නිරත වූයේ වෛද්‍ය උපදෙස්වලට ද පටහැනිවීම මතය. කල් ගෙවෙත්ම නැවතත් සැත් කම් කළ ප්‍රදේශ විශාල තුවාල මතුව පැසවීමෙන් දුර්ගන්ධය පැතිරෙන්නට වූ​ෙයන් නිවසේ සිටින්නන්ට ද හිඳීම දුෂ්කර විය. පසුව මුළුතැන්ගෙය අසල වූ දරමඩුව මොහුගේ නවාතැන් පළ විය. දහවල රැය නොනිදාම පහන් විය. අධික වේදනාවෙන් දුර්ගන්ධයක් වූ තුවාලය වණයක් බවට පත්වීමත් නිසා​ෙවන්ම සති ගණනක් ගෙවී ගියේය.   


එක් උදෑසනක නිවැසියන් දුටුවේ දර මඬුවේ යට ලීයේ ගෙල වැළලාගෙන මියගොස් සිටි සරනේළිස්ය. තතු දත් ගමේ අසල්වාසීන් ප්‍රකාශ කළේ දැන දැනම කළ පව්කම් ​ෙමලොවදීම පළ දී ඇති බවත් මෙය හැමටම පාඩම් පෙන්වා දී තිබෙන බව වටහා ගැනීම බුදු දහමෙහි හරය වන බවය.   

 

 

 

 

 


 මෙබඳු කතා ඔබත් දන්නේ නම් ඒවා ඉරිදා ලංකාදීපයට යොමු කරන්න.