කිසිම වාසනාවක් නැති වාලම්පුරි


 

 

 හෙළ සංස්කෘතියට අනුව පැවැත්වෙන ආගමික උත්සව, මංගල උත්සව මෙන්ම වෙනත් ඕනෑම විශේෂ උත්සවයක ආරම්භය සනිටුහන් කරන පොදු හඬ නම් සක් හඬය. එවන් උත්සවයක සංස්කෘතිකමය බව රකිනු ලබන්නේ ඒ සක් හඬිනි. එලෙස උත්සව අලංකාරවත් කරන, සක් හඬ ගෙනෙනු ලබන්නේ හක්බෙල්ලකුගෙනි.   


 සක් නද දෙන හක්බෙල්ලන් (Chank Shells) හඳුන්වන්නේ Turbinella Pyrum නමැති විද්‍යාත්මක නාමයෙනි. වාලම්පුරි යනු එම හක්බෙල්ලන්ගේම එක් වර්ගයකි. බෙල්ලන් විශේෂ ගණනාවක් ළඟ තබාගැනීම පවා තහනම් කර තිබුණ ද වාලම්පුරි හා සක් ලෙස භාවිත කරන බෙල්ලන් විශේෂය ළඟ තබාගැනීමේ තහනමක් නැත. අපේ රටේ සංස්කෘතිකමය අංගයන්හිදී භාවිතා කරන වැදගත් සංකේතයක් වීම එයට හේතු වූවා විය හැකිය. එහෙත් මේ කිසිදු බෙල්ලෙක් මිලදී ගැනීම හෝ විකිණීම සඳහා අවසරයක් නැත. ඒ ඒ විශේෂ අනුව ඇතැම් බෙල්ලන් වනජීවී හා වනසංරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ගේ අවසරය ඇතිව අලෙවි කළ හැකිය.   


 එසේ තිබියදී අපේ රටේ ඇතැම් ව්‍යාපාරිකයන් මහාපරිමාණයෙන් වාලම්පුරි හා වෙනත් විශේෂ බෙල්ලන් විකුණන්නේ එවැනි අවසරයක් සහිතව ද? මෙලෙස වාලම්පුරි, ට්‍රයිටෙන්, ට්‍රයිකෝන් ආදී ලෙස කෝටි ගණන්වලට විකිණෙන බෙල්ලන්ගේ ඇති වටිනාකම කුමක් ද? 

 
 මෘද්වංගික මුහුදු සත්ත්වයින් යටතට ගැනෙන බෙල්ලන් වර්ග රැසකි. මිලිමීටර් හතරක පහක ප්‍රමාණයේ සිට අඩි දෙකක් පමණ වන විශාල ප්‍රමාණයන්ගෙන් ද විවිධ වර්ණ හා හැඩතලවලින් ද යුතුව මෙම හක්බෙල්ලන් අපට දැකගත හැකිය.   


 වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනතේ 31 වගන්තියට අනුව බෙල්ලන් විශේෂ 30ක් ඒවායේ සජීවී හෝ අජීවී කොටස් කිසිවක් ඇල්ලීම, එකරැස් කිරීම, ළඟ තබාගැනීම, ප්‍රවාහනය මෙන්ම අලෙවි කිරීම සපුරා තහනම් වේ. ට්‍රයිටෙන් හා ට්‍රයිකෝන් අයත් වන්නේ ද මේ නාම ලේඛනයටය. පසුගිය වසර දෙකක පමණ කාලයේදී පොලිස් විශේෂ කාර්ය බළකායේ ප්‍රාදේශීය ඒකක මගින් ද වළාන මධ්‍යම දූෂණ මර්දන ඒකකය මගින් ද වෙනත් පොලිස් ස්ථාන මගින් ද අවස්ථා අටකදී පමණ ට්‍රයිටෙන් වර්ගයට අයත් කෝටියේ සිට කෝටි තිහට හතළිහට පවා මිල නියම කරනලද බෙල්ලන් දහසයක් පමණ සමග වෙනත් බෙල්ලන් විශේෂ ගණනාවක් ද අත්අඩංගුවට ගෙන තිබේ. ත්‍රිකුණාමලයේදී වරක් අත්අඩංගුවට ගත් ට්‍රයිටෙන් වර්ගයේ හක්බෙල්ලා සජීවී බෙල්ලෙක් වූ අතර ඒ සතා අයිස් කැට සහිත බඳුනක සඟවාගෙන රැගෙන යමින් සිටියදී අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවී ඇත.   


 වළාන මධ්‍යම දූෂණ මර්දන ඒකකය වරක් ජපන් ජාතිකයකුගේ පහසුකම් සපයන්නකු ලෙස උපාය දූතයකු යොදවා වෙන්නප්පුවේදී අල්ලා ගත්තේ එසේ මෙසේ ජාවාරම්කරුවකු නොවේ. ඔහු සතුව ට්‍රයිටෙන් වර්ගයේ බෙල්ලන් පමණක් නවයක් තිබී හමුවූ අතර එහි නිල් සහ කහ පැහැයෙන් යුත් (By Colour) බෙල්ලෙක් ද තිබිණ. ඒ බෙල්ලාගේ වටිනාකම රුපියල් කෝටි සියයක් බව සැකකරු ගනුදෙනුකරුට පවසා තිබිණ.   


 ලංකාවේ වාලම්පුරි විකිණීම සම්බන්ධයෙන් කතා කරනවිට පෙරමුණෙන්ම කියවෙන එක්තරා පුද්ගලයෙක් මිලිමීටර පහක හයක පමණ ප්‍රමාණයේ සිට ඉහළට තිබෙන ලොකු බෙල්ලා දක්වා අලෙවි කරනු ලබන්නේය. ඔහු ඒවාට මිල නියම කරන්නේ ගෙල පළඳින මාලවල පෙන්ඩන ලෙස භාවිතා කරන්නේ නම් ඔවුන්ගේ උපන් දිනය, උපන් නැකත, ලග්නය ආදී විවිධ කාරණා සලකා බලා, වාසනාව කැඳවිය හැකි බලගතු තෙලක් ද යොදවා ඒ අනුව බව ඔහුම මාධ්‍යයට අවස්ථා කීපයකදී ප්‍රකාශ කර ඇත. ඔහු එහිදී ඒ ඒ පුද්ගලයාගේ අවශ්‍යතාවයේ තරම පිළිබඳව ද සලකා බලන බව පෙනෙන්නට තිබෙන සත්‍යය ය. 

 
බෙල්ලකු සජීවී බෙල්ලකු වන්නේ එහි කටුව ඇතුළත අස්ථි රහිත මස් ගොඩක් වැනි මෘද්වංශික සතා සිටියහොත් පමණි. ඒ සතා මිය ගිය පසු ඉතිරි වන්නේ අජීවී බෙලිකටුව පමණි. එහෙත් මේ ජාවාරම්කරුවන් බෙල්ලා සජීවී බව පෙන්වීමටත්, බෙල්ලා ව්‍යාජ නොවන බව පෙන්වීමටත් විදුලි පන්දමක් අල්ලා බෙල්ලාගේ නහර යැයි එහි සියුම් නාරටි සහිත තැන් පෙන්වීමට ද උත්සාහ කරනු ලැබේ. මේ ජාවාරම්කරුවන් කියන දේවල් කොයි තරම් දුරට මේ සමාජය තුළ මුල්බැසගෙන තිබෙන්නේ ද යත් ඇතැම් විට පොලිස් නිලධාරීන්ට පවා ඇත්ත බෙල්ලන් හා ව්‍යාජ බෙල්ලන් හඳුනා ගන්නා ක්‍රමවේදයන් මොනවාදැයි තෝරා බේරාගන්න බැරිව පැටලී තිබේ.   


වාලම්පුරි (Turbinella Pyrum) හා ට්‍රයිටෙන් (Charonia Tritons) ආදී ලෙස මෙම බෙල්ලන් අතරින් අපේ රටේ ජාවාරම්කරුවන් හොර රහසේ දහස් ගණන්වල සිට කෝටි ගණන්වලින් අලෙවි කරන්නේ කවචය දක්ෂිණාවර්තව කැරකුණ හක්බෙල්ලන්ය. මෙවැනි බෙල්ලන් ඉන්දියන් සාගරයේ හමුවන්නේ ලක්ෂයකට පමණ එකක් බව පැවැසේ. එහෙත් ඇමෙරිකාවේ ෆ්ලෝරිඩා මුහුදු තීරයේ මෙවැනි බෙල්ලන් බහුලව හමුවන අතර ඒ මුහුදු තීරයේ දුර්ලභ වන්නේ වාමාවර්තව කවචය කැරකුණු හක්බෙල්ලන්ය. 

 
ඇමෙරිකාව වැනි මෙවැනි බෙල්ලන් බහුලව හමුවන රටවලින් බෙල්ලන් හොර රහසේ ආනයනය කරමින් ලංකාවේ කෝටි ගණන්වලට විකුණන බවට ද සැකයක් තිබේ. එසේම ඉන්දියානු මුහුදු ප්‍රදේශවලින් හමුවන වාලම්පුරි වර්ගයට නොවැටුණ ද ඒ හා සමානකම් සහිත වෙනත් බෙල්ලන් විශේෂයක් ද ලංකාවට ගෙනවිත් විසිදාහේ සිට ඉහළ මිල ගණන්වලට විකුණන බවට ද සැකයක් තිබේ. මෙම වාලම්පුරිවල ද හැඩතල අනුව, වර්ණ අනුව ගෞරී හා ලක්ෂ්මී යනුවෙන් නම් කරමින් ඒවාට ද වෙනස් වූ මිල ගණන් නියම කර තිබේ. මෙයින් මිල අධිකව අලෙවි වන්නේ ගෞරී වාලම්පුරිය වේ. එසේම සමහර ජාවාරම්කරුවෝ වාමාවර්තව කැරකුණ වාලම්පුරි තමයි වාසනාව ගෙන එන්නේ යැයි වෙනම මතයක් ගොඩනගමින් මෙරට බහුලව හමුවන වාලම්පුරි විශේෂය ඉහළ මිල ගණන්වලට විකුණති.   


සත්‍ය වාලම්පුරියක් යැයි පවසමින් තමන්ට රුපියල් ලක්ෂ හතරකට ව්‍යාජ වාලම්පුරියක් විකුණා වංචාවක් කළැයි එක්තරා ගනුදෙනුකරුවෙක් විසින් කරනලද පැමිණිල්ලකට අනුව පසුගියදා නමෝ නාරායන මධ්‍යස්ථානයේ හිමිකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබිණ. පසුව අධිකරණයෙන් ඔහු ඇප මත නිදහස් කෙරිණ. ඔහුට එහෙරිව පැවැති චෝදනාව වූයේ සත්‍ය වාලම්පුරි වෙනුවට ව්‍යාජ වාලම්පුරියක් අලෙවි කිරීමය.   


වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත අනුව වාලම්පුරි වර්ගයට ගැනෙන හක්බෙල්ලන් ළඟ තබාගැනීමේ තහනමක් නැති වුව ද කිසිම පුද්ගලයකුට ඒවා විකිණීමට හෝ විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීම, ප්‍රවාහනය, බෙල්ලන් රැස්කිරීම, ඝාතනය කිරීම ආදී කිසිවක් කිරීම තහනම්ය. එසේ නම් යටම වාලම්පුරි අලෙවි කරන්නේ කෙසේ ද? පොලිසියත් වනජීවී දෙපාර්තමේන්තුවත් පන්න පන්නා සොයන්නේ බෙල්ලෙක් දෙන්නෙක් අල්ලාගෙන නොයෙකුත් බොරු කියමින් පණ බයේ ගැහෙමින් අහුමුලුවල සිට බෙල්ලන් ජාවාරමේ යෙදෙන්නන් පසුපස පමණක් වීම මහාපරිමාණ ජාවාරම්කරුවන්ට නිදහසේ තමන්ගේ ජාවාරම කරගෙන යාමට ඉඩ සලසා දෙනු ඇත.   


නීති පොත්වල තිබෙන නීති වෙනස් විය යුතුව ඇත. එසේම මේ ආයතන යම් නියාමනයකට යටත් විය යුතුය. එසේ නොවන්නට නීතියට මුවා වී තහනම් බෙල්ලන් ජාවාරමේ පවා ඔවුන්ට යෙදීමට ඉඩ කඩ තිබේ. වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනතට අනුව ළඟ තබාගැනීම පවා තහනම් බෙල්ලන් විශේෂවල නාම ලේඛනයට අපේ රටේ ජන ක්‍රීඩාවක් වන පංච දැමීම සඳහා භාවිත කරන බෙල්ලන් පවා ඇතුළත්ය. එසේම අපේ රටේ වෙරළාශ්‍රිතව බහුලව හමුවන බෙල්ලන් විශේෂ ද මේ නාම ලේඛනයට ඇතුළත්ය.   


වෙරළාශ්‍රිතව සංචාරක කර්මාන්තය හා බැඳුන වෘත්තීන්වල නියැලෙන්නන්ගේ සිට රටේ අත්කම් නිෂ්පාදන අලෙවිසල් ලෙස ප්‍රකට ස්ථානවල පවා මෙවැනි බෙල්ලන් ඇසුරෙන් නිපදවන ලද යතුරු රඳවන (Key Tag), විවිධ සතුන් ඇතුළු විවිධ නිර්මාණ විකිණීමට තබා තිබේ. නීතිය නිසියාකාරව ක්‍රියාත්මක වන්නේ නම් මේ අත්කම් නිෂ්පාදන අලෙවි කළ නොහැකිය. අලෙවි කිරීම නොව ප්‍රදර්ශනය කිරීම, ප්‍රවාහනය පවා තහනම්ය. මේවා වනජීවී අධ්‍යක්ෂ ජනරාල්ගේ අවසරකියන්වත් අලෙවි කළ නොහැකිය. එහෙත් කිසිදු අවහිරයකින් තොරව මේවා විකිණීමට වෙළෙඳපොළේ තබා ඇත. සංචාරක කර්මාන්තය පැත්තෙන් සලකා බලනවිට විදේශිකයන්ගේ සිත් වඩාත් තදින් ඇද බැඳ ගන්නා විසිතුරු නිර්මාණ අතර මේ බෙල්ලන් විශේෂ ඇසුරෙන් කරනු ලබන අත්කම් නිෂ්පාදන තිබේ.   


එසේ බහුලව පවතින බෙල්ලන් වර්ග ළඟ තබාගැනීම පවා තහනම් නාම ලේඛනයට ඇතුළත්ව තිබියදී වාලම්පුරි සඳහා යොදාගන්නා හක්බෙල්ලන් ඇතුළත් වන්නේ ළඟ තබාගැනීම තහනම් නොවන ලේඛනයටය. එසේම ඒවා වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල්ගේ අවසරය ඇතිව අලෙවි කිරීමට ද අවසර තිබේ. එසේ තීරණය කරන්නට ඇත්තේ අපේ රටේ සංස්කෘතික අංගයක් ලෙස භාවිතයට ගන්නා සක් සඳහා යොදාගන්නේ ද මේ වර්ගයේ බෙල්ලන් වන නිසා විය හැකිය. මෙවැනි දුර්ලභ බෙල්ලන් විශේෂ අලෙවියට අවසරයක් යමකුට ලබාදෙන්නේ නම් එය කළ යුතුව තිබෙන්නේ යම් නියාමනයකට යටත්වය. එහෙත් එවැනි නියාමනයක් සිදුවන බවක් දක්නට නැත. මේ සියලු කරුණු සලකා බලනවිට වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනතේ ඇතැම් වගන්ති වෙනස් කිරීමට කාලය එළැඹ ඇති බව පෙනේ. එසේ නොවන්නට නීති පොත්වල නීති තිබියදී රටේ ප්‍රසිද්ධියේම නීති කැඩීමට ලක්වනු ඇත. එයින් නීතිය යනු නොසලකා හැරිය හැකි දෙයක් බවට ද පත්වනු ඇත.   

 

 

 මුදිතා දයානන්ද

 


ළඟතියා ගන්න පුළුවන් - විකුණන්න බෑ


​බෙල්ලන් ජාවාරම සම්බන්ධයෙන් අදහස් දැක් වූ වනජීවී දෙපාර්තමේන්තුවේ නීති අංශයේ සහකාර අධ්‍යක්ෂ ශාන්ත වීරසිංහ මහතා මෙසේ පැවසීය.   


වාලම්පුරි ලෙස භාවිත කරන හක්බෙල්ලන් විශෙ​්ෂය ළඟ තබා ගැනීමේ තහනමක් නැහැ. එහෙත් එයින් අදහස් වෙන්නේ නැහැ ඒවා විකිණීමට හැකියි කියලා. මේ කිසිම බෙල්ලෙක් හෝ බෙල්ලන්ගේ කොටස් විකිණීමට හෝ ඒ වෙනුවෙන් ප්‍රදර්ශනය කිරීමට, ප්‍රවාහනය කිරීමට නොහැකියි. හක් ගෙඩි ලෙස භාවිතා වෙන්නේත් මේ ​ෙබල්ලන්ගේම එක වර්ගයක්. හක්ගෙඩි කියන්නේ අපේ සංස්කෘතියේ අංගයක් වෙන නිසා ඒවා විකුණන තැන් තිබෙන්න පුළුවන්. මේ අපේ ආඥා පනතේ ඇතැම් වගන්ති නැවත සලකා බලා සමාලෝචනයක් කරගෙන යම් වෙනසක් කළ යුතුව ඇති බවට දැන් සාකච්ඡා වෙමින් තිබෙනවා.