කිරි මුහුද කැලඹෙයි


නුවර අන්දර - 02

 

 

මහනුවර නගරයට පිවිසෙන කවරෙකුගේ වුව නෙත් සිත් පැහැර ගන්නා ප්‍රධාන ස්ථානය ශ්‍රී දළදා මාලිගාවයි. එහි දකුණු දෙසින් පිහිටි කිරි මුහුද හෙවත් නුවර වැව නගරයේ සිසිලස මෙන්ම සුන්දරත්වය වැඩි දියුණු කරන අපූර්ව නිර්මාණයක් බව බොහෝ අය දනිති. කන්ද උඩරට රාජධානියේ අවසන් රජතුමා වූ ශ්‍රී වික්‍රම රාජසිංහයන් විසින් ක්‍රි.ව 1810-12 කාලයේ නිර්මාණය කර වූ මේ වැව අක්කර 44ක් පුරා විහිදි ඇත්තේ මිනිසුන්ට පමණක් නොව මත්ස්‍ය පක්ෂි හා වෙනත් ජලජ සතුන්ටද ජලජ ශාඛවලටද රැකවරණය සපයමිනි.


එක් අතකට කිරි සයුර අපේ පැරණි රාජධානි නිර්මාණයේ මූලික ලක්ෂණම පෙරට ගෙනයාමකි. අනුරාධපුර රාජධානියේ තිසා, අභය ආදී වැව් ද, ශ්‍රී මහා බෝධිය, රුවන්වැලිසෑය ආදී ආගමික සිද්ධස්ථාන ද, පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රය ප්‍රමුඛ වාරි පද්ධතිය, ගල් විහාරය ප්‍රමුඛ සිද්ධස්ථාන අපේ සිහියට නැගෙයි. රාජධානිය නිරිතට ද බටහිරට ද යළි කන්ද උඩරටටද ද සංක්‍රමණය වූවත් සම්ප්‍රදාය වෙනස් නොවීය. අධ්‍යාත්මිකත්වයට යොමු කළ සිද්ධස්ථාන ද ලෞකිකත්වය හා බැදී වාරි කාර්මාන්ත ද එකට එක්ව තිබුණි. මහනුවර දළදා මාලිගය හා කිරි සයුරද ඒ ලෙස අධ්‍යාත්මික වූ ද ලෞකික වූ ද අර්ථ එක් කරන්නාසේය. 1988 දී මහනුවර ලෝකප්‍රජාවගේ උරුමයක් ලෙස යුනෙස්කෝව විසින් නම් කරද්දී මෙම ඓතිහාසික හා සංස්කෘතික ලක්ෂණ සැලකිල්ලට ගන්නට ඇත.


සීමිත භූමි භාගයක ශීඝ්‍රයෙන් වර්ධනය වෙන ජනගහනය නිසාත්, ඊට සමගාමීව පොදු පහසුකම් සංවර්ධනයව නොතිබීම නිසාත් මේ ලෝක උරුම නගරයේ විවිධ ගැටලු මතුව ඇති බව සත්‍යයකි. මහනුවර නගර සීමා බල ප්‍රදේශය හෙක්. 2853ක් පමණ වන අතර එය ග්‍රාමසේවා වසම් 45කින්ද, නගර සභා කොට්ඨාස 23කින්ද සමන්විතය. නාගරික ජනගහණය 1,50,000ක් පමණ වුවත්, දිනපතා නගරයට 500,000 පමණ දෙනා පැමිණෙන බව ගණන් බලා ඇත. මේ අතර දේශීය හා විදේශීය සංචාරකයින්ද වෙති. 


අධිවේගී මාර්ග ඉදිවීමත් සමග මේ සංඛ්‍යා තවත් ඉහළ යනු ඇත. ඒ සමග නගරයට බැහැර කරන අප ද්‍රව්‍ය ද වැඩිවී. ඒවා කිරි සයුරට එක් වීමට බැරි නැත. කලක් කිරි සයුර මත්ස්‍යයන් ඇතුළු ජලජ ජිවීන්ද තර්ජනයට ලක්වීම ගැන පර්යේෂණ ද සිදු කෙරුණි. ජල දූෂණය නිසා ඇති වෙන තවත් පාරිසරික හා සාමාජීය සෞඛ්‍ය ගැටලු ගැන සංවාදයක් ඇතිවී තිබුණා ද ඒ විසඳීමට සෑහෙන කලක් ගතවී ඇති බව ද පෙනෙයි. මහනුවර අපජල කළමනාකරණ ව්‍යාපෘතිය අරඹා වසර 15ක් පමණ ගෙවී ඇත. එයට ඇති වූ විරෝධතා නිසා බොහෝ මුදල් ද ශ්‍රමයද අපතේ ගියේය. එහෙත් මීට වසර කිහිපයකට පෙර සිට එය නිසි ලෙස ක්‍රියාවට නැගී ඇති බව පෙනෙයි.


මහනුවර නාගරික අපජල කළමනාකරණ ව්‍යාපෘතියේ සමාජ විද්‍යාඥ ආනන්ද දිසානායක මහතා ප්‍රකාශ කළේ, එම විරෙ​ා්ධතා පැන නැගුනේ මහජනතාවට නිවැරදි තොරතුරු ගලා නොගිය නිසා බවය. ශ්‍රී ලංකාවේ දෙවැනි විශාලතම නගරය වන මහනුවර නගරය කේන්ද්‍ර කොට ගෙන විශාල ජනගහණයක් සිටින මුත්, අවිධිමත්ව නාගරීකරණය සිදුවී ඇත. ප්‍රදේශයේ එන භෞතික සාධක අනුව මේ ගැටලුව තවත් ත්‍රීවු කරයි. දැන් ජනතාව දැනුවත්ව සිටින බැවින් ව්‍යාපෘතියට හොඳ සහයෝගයක් ලැබෙන බව ඔහු කියයි. ඔහුට අනුව, මහනගර සභා ප්‍රදේශයෙන් තුනෙන් එකක පමණ ප්‍රදේශයක් ව්‍යාපෘතියෙන් ආවරණය කෙරේ.


නාගරික නිවාස 8504ක්ද ව්‍යාපාරික ස්ථාන 2568ක්ද මීට අයත් වේ. ප්‍රතිලාභ ජනතාවගේ සහභාගීත්වයෙන් පෞද්ගලික වැසිකිළි 512ක්ද පොදු වැසිකිළි ඒකක 15ක්ද ඉදි කෙරේ. පොදු නාන ස්ථාන 4ක් පිළිසකර කිරීමට දැනට ස්ථානයක් ඉදිකිරීමට ද දැන් කටයුතු කෙරෙයි. මේ ස්ථානවලින් පමණක් නොව, ව්‍යාපෘතියට අයත් සියලු ස්ථානවලින් නිකුත්​ කෙරෙන අපජලය නවීන තාක්ෂණික ක්‍රම භාවිත කොට පවිත්‍ර කරනු ලැබේ. එම පිරිපහදුව දැනටමත් ගන්නෝරුවේ ඉදි කරමින් තිබේ. මෙහි දී ඉවත් කරන ඝණ අප ද්‍රව්‍ය ඉඩම් ගොඩකිරීම ඇතුළු වෙනත් ඵලදායී කාර්ය සඳහා යොදා ගත හැකිය. අපජලය ඉතාම පිරිසිදු ජලය බවට පත් කෙරෙන බැවින් ජල දූෂණය අවම කර ගත හැකිවේ. ඒ අනුව පාරිසරික ගැටලු රැසකට පිළිතුරු සැපයෙයි. මේ අත්දැකීම් වෙනත් නාගරික ප්‍රදේශවලටද යොදා ගත හැකි වනු ඇත.


කිරි සයුරේ ජලජ ජීවින් විනාශ වූ යුගය නිමා කිරීමට නම් කිරි සයුරට හා ඒ අවට සමස්ත පරිසරයට අපජලය යොමු නොකොට ඒවා විධිමත්ව කළමනාකරණය කළ යුතුය. නගරයේ ජීවත්වෙන හා නගරයට යන එන සියලු දෙනාත් එහි සියලු ආයතනත් මේ කරුණ සිහි තබා ගෙන කටයුතු කළහොත් කිරි සයුර සොවින් නොකැලබෙනු ඇත. සතුටින් ම කැලඹෙනු ඇත. මෙය දුෂ්කර කාර්යක් වුවත් නිසැකවම ජයගත යුතු අභියෝගයකි.


ලෝක බැංකු​ෙව ආධාර මත ක්‍රියාත්මක වෙන මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයත්, මහනුවර මහ නගර සභාවත් ගන්නා සාමූහික ප්‍රයත්නයට ජනතා සහය නිසැකවම අවශ්‍ය ය. ඒ සඳහා ව්‍යාපෘතිය යොදා ගන්නා සහභාගීත්ව ක්‍රමවේදය රුකුලක්ම වනු ඇත. මෙබදු අවස්ථාවක ඉදිකිරීම් කටයුතු හා වෙනත් සංවර්ධන කාර්ය සඳහා ජනතාවට සිදුවෙන දුෂ්කරතා තාවකාලිකව ඉවසා සිටිය යුතුය. වඩා උසස් යහපතක් උදෙසා යමක් කැප කළ යුතු බව අපි හැම විටම ඉගෙනගෙන ඇත්තෙමු.

 

 

 

 

 

 

 

 

සුගත් වටගෙදර