කියවන ලෝකයට ‘පෑන’ කළ විප්ලවය


බෝල් පොයින්ට් පෑන හැදුවේ හංගේරියාවේ පුවත්පත් කලාවේදියෙක්   

 

 

ලෝකයේ ප්‍රථම වරට පවුන්ටන් පෑනක් නිෂ්පාදනය කළේ ලුවිස් එඩිසන් වෝටර් (LEWIS EDISON WATER) 1837 - 1901 ලෙස ඉතිහාස ගත වී ඇත. අංග සම්පූර්ණ ලෙස පෑනක් නිෂ්පාදනය කර ව්‍යාපාරයක් ලෙසට නිර්මාණ හිමිකම් බලපත්‍රය (PATENT) ලබාගත්තේ අසෙල් ස්ටෝරස් නැමැති අමෙරිකානු ජාතිකයෙකි. 

 
 භාෂා ශිල්ප ශාස්ත්‍ර දැන උගත් පසු අපේ මී මුත්තෝ අකුරු ලිවීමට පුරුදුකර වූයේ වැලි පිළෙන්ය. ගුරුවරයා ගෝලයාගේ දකුණතේ දබරැඟිල්ල අල්ලාගෙන එක් එක් අකුර වැලිපෝරුවෙහි ලියවයි. ඒ අතර “අ” යනු කී අයන්නේ, අ යන්න ලියා ඇලපිල්ල ලියාලුවෙන් ආ යන්නේ ආදී වශයෙන් කියවීමද පුරුදු කරවූයේය. මේ කියවීමට කීවේ පිල්ලම්කීම කියාය. වැලිපිළ පුරුදු වූ පසු ගුරුවරයා වියළුණු තලකොළයක් (කරකොළ) අකුරු ලියා දී උල්කටුවකින් ඒ උඩ ඇඳීමට සලස්වයි. ගෝලයා අකුරු සම්පූර්ණයෙන් වෙන්වන තුරු ඇන්ඳ යුතුය. එයට කීවේ සටහන් කැපීම කියාය. ශෝභනව වට අකුරු ලිවීමට හුරුවීම මේ ප්‍රයත්නයේ ප්‍රතිඵලයයි. හොඳාකාරව අත හැඩ ගැසුණු කල පුස්කොළ හා පන්හිඳ පාවිච්චි කිරීමට ඉඩ ලැබුණේය.   


 මෙසේ පසුකලෙක කටුවෙන්, මිටියෙන් ගල්වල ලීවේය. ගලේකෙටූ අකුරු සියවස් ගණනක සිට තවම පැවත එන්නේය. ගස්කොළ පොතු, මල්වලින් යුෂ මිරිකා තීන්ත සදා ගත්පසු ලීයක් සිහින්වනසේ උල්කර ඒ තීන්තවලින් ලීවේය. එය පිහාටු පෑන දක්වා වර්ධනය විය. ලංකාවට විදේශිකයන් පැමිණීමෙන් පසු තීන්තත් තීන්ත බෝතලයේ ඔබා ලියන කටු පෑනත් අපට පුරුදු වුණේය. පාසල් අධ්‍යාපනයේ කුඩා ළමයින්ට ඇක්සයිස් පොතත් කටුපෑනත් තීන්ත බෝතලයත් ලැබුණේය. පහේ හයේ පංතිවල ළමයින්ට පවුන්ටන් පෑන්වලින් ලියන්නට අවසර තිබුණි.   


පවුන්ටන් පෑන කොටස් කීපයකින් යුක්ත විය. තලය, දිවත, කර, බැරලය, සහ කොපුව වශයෙන් හැඳින්වුණි. ලෝකයේ ප්‍රථම වරට පවුන්ටන් පෑනක් නිෂ්පාදනය කළේ ලුවිස් එඩිසන් වෝටර් (LEWIS EDISON WATER) 1837 - 1901 නැමැත්තෙකි. ඔහු පෑනේ ප්‍රථම නිර්මාණකරු ලෙසට ඉතිහාසය ගත වෙතත් ඔහුටත් පෙර 1827 දී රුමේනියාවේ පෙට්රාචේ පොඑනරේ දී නමැති අයෙකු ලොකු හංස පිහාටුවකට තීන්ත දමා උල්පත් පෑනක අදහස නිර්මාණය කළ බව සඳහන්ය. 1848 අසෙල් ස්ටොරස් ලයිමන් (AZEL STORRS LYMAN) නමැති අමෙරිකන් ජාතිකයෙකු පවුන්ටන් පෑන නිර්මාණය කිරීමේ හිමිකම් බලපත්‍රය PATENT ලබා ගත්තේය. ඔහුගේ පෑන් හඳුන්වා ඇත්තේ RESERVOIR රෙස්ර්වොර් නමිනි.   
පවුන්ටන් පෑන් නිෂ්පාදනය වෙනවාත් සමඟම විවිධ නිෂ්පාදන වෙළෙඳ පොළට එන්නට විය. පෑනට දමන තීන්ත වර්ග නිල්, කළු, රතු, සහ කොළ යන පාටවලින් තීන්ත නිෂ්පාදනය වන්නට විය. “පෙලිකන්” තීන්ත සමාගමත් පාකර් පෑන් සමාගමත් තරගයට මෙන් තීන්ත නිපදවා වෙළෙඳපොළට බෙදා හරින්නට වූහ. පසුව චීනය හීරෝ නමින් තීන්ත නිපදවන්නටත් පෑන් නිපදවන්නටත් පටන් ගත්තේය.   


තීන්තෙන් ලියු පසු වැරදුන අකුරු මකා දැමීමට “මිල්ටන්” නමින් දියරයක් චීනය නිපදවූ අතර පසුව ඔවුන් ඒ සඳහා මකනයක් නිෂ්පාදනය කළේය. එය SCELORINA සෙලොරිනා නම්වූ අතර එහි කොටසකින් තීන්ත මැකීමටත්, අනෙක් පැත්තේ පැන්සල් සටහන් මකා දෑමීමටත් හැකි අන්දම නිපදවා තිබුණේය. මේ සමඟම “​බ්ලොටින් පේපර්” නමින් තීන්ත උරාගන්නා කඩදාසි වර්ගයක්ද එංගලන්තයේ නිපදවිණ. 

 
උල්පත් පෑන ලෝකය පුරා ජනප්‍රිය වුවාට පසු “බෝල්පොයින්ට්” නමින් පෑන් වර්ගයක් දෙවන (ලෝක යුද්ධකාලයේදී) නිෂ්පාදනය කළේය. වියදම අඩු, අතට පහසු මෙම පෑන් ලියා ඉවරවූ පසු ඉවත දමන අන්දමට නිපදවිණ. ඒ අතරම නැවත වරක් තීන්ත කූරු දමා ප්‍රයෝජනයට ගත හැකි ලෙසට නිෂ්පාදනය කර තිබුණේය. බෝල්පොයින්ට් පෑන ලියැවෙන්නේ වානේ, පිත්තල, සුදුයකඩ හෝ තන්ස්ටන් කාබයිඩ් (TUNGSTEN CARBIDE) නම් වූ ද්‍රව්‍යයෙන් සැදුම් ලත් බෝලයකිනි. ඝන කාබන් තීන්ත ලියැවෙන්නේ මෙම කුඩාබෝලයේ ආධාරයෙනි. කාබන් පෑනේ තුඩ බෝලයක් වීම නිසා බෝල් පොයින්ට් නම් විය. 

 
 බෝල් පොයින්ට් පෑනේ නිර්මාණකරු හංගේරියානු පුවත්පත් කලාවේදීයෙකු වූ ලස්ලෝබිරෝ LASZLO BIRO නමැත්තෙකි. මෙම පෑනේ අන්තර්ගතය වන කාබන් තීන්ත කූර, ස්ප්‍රිනය, කොපුව, රඳවනය, උඩට පහතට යන ක්‍රියාකාරී කොටස යන මේ සියල්ල නිර්මාණය කළේ මෙම පුවත්පත් කලාවේදියා විසිනි. මෙම පෑනට සුදුසු කාබන් තීන්ත වර්ගයක් සොයා ඔහු පුවත්පත් මුද්‍රණය කරන තීන්තවලින් විවිධ පර්​ෙ‌ය්ෂණ කළේය.   


 බයිරෝ 1943 දී ආජන්ටිනාවේදී බෝල්පොයින්ට් පෑන් වෙනුවෙන් නිර්මාණය හිමිකම් බලපත්‍රය හිමිකර ගත්තේය. දෙවැනි ලෝක යුද්ධය අවසන් වනවාත් සමඟම ලස්ලොබයිරෝ ඊට පෙන් ETER PEN සමාගම සමඟ විශාල පෑන් ව්‍යාපාරයක් ආරම්භ කළේය. 1944 දී මෙම ව්‍යාපාරය සුප්‍රකට අමෙරිකානු ව්‍යාපාරයක් විසින් මිලයට ගන්නා ලදී. 

 
බික් (BIC)   


ප්‍රංශ වංශාධිපතිවරයෙකු වූ BIC බික් 1950 දී විශාල පෑන් කොම්පැණියක් ආරම්භ කළේය. එය 21 වන සියවස වනවිට ලෝකය පුරාම ජනප්‍රිය වන්නට විය. බික් ක්‍රිස්ටර් පෑන වසරක් තුළ මිලියන 14ක් විකිණීමෙන් වාර්තාවක් පිහිටුවේය. අමෙරිකාවේ නිව්යොර්ක් නගරයට පමණක් බික් නිෂ්පාදනවලින් සියයට හැටක් මිලයට ගත් බව සඳහන් වේ. 

 
ලෝකයේ පෑන් වර්ග   


මොන් බ්ලාන්ක්, පාකර්, පෙලිකන්, ෂෙෆර්, ක්‍රොස්, වොල්ටමන්, සේබර්කැස්ටල්, පයිලට්, සෝන්, රිපොම්, බ්‍රෙවලි කැමරන්, සේලර්, ආදී පෑන් ලෝකයේ කිර්තිමත් නාමයන් දිනා ඇති පවුන්ටන් හා බෝල්පොයින්ට් ලෙස සඳහන් කළ හැකි ය. මෙයින් මොන් බ්ලාන්ක් (Mont BLANC) පෑනක් අමෙරිකන් ඩොලර් 730,000ක් පමණවනු ඇත. රූබී, සැපයර්, දියමන්ති, ආදී විවිධ මැණික් වර්ග එබ්බවූ මෙම පෑනක් නිෂ්පාදනය කිරීමට වසරකට වැඩි කාලයක් ගතවනු ඇත. “මොන්ට් බ්ලාන්ක් රාජකීය” වර්ගයේ පෑනක මිල ඩොලර් මිලියන 1.5 කි. මෙම සමාගම නිෂ්පාදනයකර වෙළෙඳ පොළේ ඇති සාමාන්‍ය පවුන්ටන් හෝ බෝල්පොයින්ට් පෑනක මිල අමෙරිකන් ඩොලර් 200ක් වෙයි. මොන්ට් බ්ලාන්ක් සමාගම ආරම්භ කළේ 1910 දීය. ජර්මනියේ විශාල වෙළෙඳ සමාගමක් වන මෙය කාටියර් (CARTIER) නමැති ජාත්‍යන්තර වෙළෙඳ සමාගම යටතේ පාලනය වන්නේය. මහා බ්‍රිතාන්‍යයේ අගමැතිව සිටි සර්වින්ස්ටන් චර්චිල් කැමතිම පෑන මොන්ට් බ්ලාන්ක් (MONT BLANC) පෑනයි. ජර්මනියේ කාටියර් ඉන්ටර්නැෂනල් සමාගම “සර් වින්ස්ටන් චර්චිල් 53” නමින් පෑනක්ද නිෂ්පාදනය කළේය. ඔහු විශිෂ්ටතම ග්‍රන්ථ කර්තෘවරයෙකු වශයෙන් 1953 දී සාහිත්‍ය පිළිබඳ නොබෙල් ත්‍යාගය දිනා ගැනීමත්, එම වර්ෂයේම දෙවැනි එළිසබෙත් අග රැජිණ විසින් එතුමාට උසස්ම පෙළේ නයිට් පදවියකින් සම්මාන පිදීමත් හේතු කොටගෙන මෙම උපහාර පෑන නිපදවිණ. 

 
 බ්‍රිතාන්‍යයේ සුප්‍රකට වෙන්දේසි සමාගමක් වන බොන්හාම්ස් (BON HAMS) සමාගම මෑතකදී එම පෑන පවුම් 22,000කට වෙන්දේසි කළ බව LUXL PENS.COM වෙබ් අඩවිය වාර්තා කොට තිබුණි. 

 
එළිසබැත් රැජිණ   


දෙවන එළිසබැත් රැජිණ කැමතිම පෑන පාකර් 51 වර්ගයේ පෑනයි. එය නිෂ්පාදන කළේ 1939 දී පාකර් කොම්පැණියට අවුරුදු 51ක් සම්පූර්ණ වීම නිමිත්තෙනි. රැජිණ රාජකීය ලියුම් අත්සන් කරන්නේ කළුපාට තීන්තෙනි. පෞද්ගලික ලියුම් ලීවේ කොළපාට තීන්තෙන්ය. පාකර් පෑන ඔවුන්ගේ රාජකීය පවුලේ පෑන ලෙස ප්‍රකටය.   


පාකර්  (Parker)


ලෝකය පුරාම ජනප්‍රිය වී ඇති පාකර් (PARKER) පෑන් සමාගම අමෙරිකාවේ නිෂ්පාදනය කිරීමට පටන් ගත්තේ 1888දීය. පාකර් පෑනක් නැති රටක් ලෝකයේ නැති තරම්ය. මෙය සාමාන්‍ය ජනතාවට ඔරොත්තු දෙන මිල ගණනකින් යුක්ත වන අතර මධ්‍යම පංතියේ හොඳම වර්ගයේ පෑනක් ලෙසට සැලකේ. අද ලංකාවේ පාකර් බෝල්පොයින්ට් පෑන් විවිධ මිල ගණන්වලට ඇතත් රීපිලරයක මිල රුපියල් දහසකට වඩා වන්නේය.   


පෙලිකන් (PELICAN)


උසස් තත්ත්වයේ පෑනක් ලෙසට ලොව නමක් දිනා ඇති පෙලිකන් පෑන ජර්මනියේ නිෂ්පාදනය කරනු ලැබුවේ 1832 සිටයි. විශේෂයෙන් ජර්මනියේ පාසල් සිසුන් වෙනුවෙන් මෙම පෑන් වර්ගය වෙළෙඳපොළට හඳුන්වාදුන් පසු ලොව පුරාම විශාල වශයෙන් ඉල්ලුමක් ඇතිවිය. ශක්තිමත් පෑන ලෙස නම් දැරූ පෙලිකන් නම් කර තිබුණේ “ජීවිතයටම එකයි” කියාය.   


ක්‍රොස් (CROSS)   


 1846 දී අමෙරිකාවේ රිචඩ් ක්‍රොස් නමැති ව්‍යාපාරිකයා විසින් ආරම්භකරන ලද ක්‍රොස් පෑන් සමාගම ලොවපුරාම අලෙවි නියෝජිතයන් පත්කරගෙන සිටින දැවැන්ත සමාගමකි. 1970 සිට අමෙරිකාවේ ජනාධිපති මන්දිරයේ නිල පෑන් වර්ගය විය. රේගන්, බිල් ක්ලින්ටන්, වැනි ජනාධිපතිවරු සියලුම රාජකාරී ලිපි ලේඛන අත්සන් කළේ ක්‍රොස් පෑනෙන්ය. අතට පහසු, සැහැල්ලු, ක්‍රොස් පෑනක් රුපියල් 25,000 සිට ඉහළ මිල ගණන්වලට විකිණෙයි. දැනට මෙම ආයතනය ඒ.ටී. ක්‍රොස් සමාගමෙන් පාලනය වේ.   


ෂෙෆර් (SHEAFFER) 

 
අමෙරිකාවේ නිෂ්පාදිත ෂෙෆර් පෑන පෑන් ලෝකයේ රජකරන තවත් සුවිශේෂී පෑනක් ලෙසට හඳුන්වාදිය හැකිය. 1912 දී වෝල්ටර් ෂෙෆර් විසින් ඒ.ටී. ක්‍රොස් සමාගමේ අනුබද්ධ නිෂ්පාදනයක් ලෙසට මෙය ලෝකයට හඳුන්වා දුන්නේය. කැරට් 24 ඝන රනින් මෙහි තලය නිමවා ඇති අතර සාක්කුවේ රඳවනයද රත්තරන් වලින්ම නිෂ්පාදනය කර තිබේ. කාන්තාවන් සඳහා සුවිශේෂී පෑන් ද බෝල්පොයින්ට් මෙන්ම පවුන්ටන් පෑන් වර්ග ද මෙම ආයතනයේ නිෂ්පාදන අතර වේ. අමෙරිකාවේ උපන්දින සාදවලදී ද ආදරවන්තයන්ට තෑගි පිරිනැමීමේදී ද මෙම පෑන් වර්ගය ඉතා ජනප්‍රියවෙයි. මෙයද අධික මිලකින් යුක්තය. 

 
සෙබර් කැස්ටල්   


 1761 දී ජර්මනියේ නිපදවූ “සෙබර් කැස්ටල්” පෑන සහ පැන්සල ලෝකයේ රටවල් සියයක ජනප්‍රිය වූ බව රීඩර්ස් ඩයිජෙස්ට් සඟරාව පවසයි. මෙම පෑන හඳුන්වා දී ඇත්තේ “විශ්වාසවන්තම පෑන” ලෙසටයි. මෙහි මිල අමෙරිකානු ඩොලර් 2000 කි.   


පයිලට්   


 ජපානයේ ටෝකියෝවල නිෂ්පාදනය කළ පයිලට් පෑන 1950 සිට ලංකාවේ ඉතා ජනප්‍රිය වූවකි. පාසලේ පහේ පංතිය දක්වා කටු පෑනෙන් ලියූ පාසල් සිසුන්ට ප්‍රථම වරට ෆවුන්ටන් පෑනකින් ලියන්නට වරම් ලැබුණේ පයිලට් පෑනෙන්ය. 50 දශකයේ පයිලට් පෑනක මිල රුපියල් තුනයි සත පණහක් විය.   


වෝටමන්   


1884 දී ලුවිස් වෝටමන් විසින් නිෂ්පාදනය කරන ලද “වෝටමන්” නමැති පෑන් වර්ගය අැමෙරිකාවේ ඉහළ පැලැන්තියේ ප්‍රභූන් සඳහාම විය. 1900දී READERS DIGEST සඟරාව විසින් රන් පදක්කමකින් පිදුම් ලත් මෙම පෑන තවත් මිල අධික පෑනක් ලෙස වාර්තා තබා තිබේ. මෙහි තලය විශේෂ තාක්ෂණයෙන් යුතුව රනින් නිමවා ඇත. ප්‍රංශයේ හිටපු ජනාධිපතිවරයෙකු වූ ප්‍රංශුවා මිතුරො (FRANCOIS MITTERRAND) සිය රාජකාරි ලිපි කටයුතු කළේ වෝටමන් පෑනෙන් බව වාර්තාවේ. ජනාධිපතිවරයා මෙම පෑන් වර්ගයට ඇළුම් කරන බව දැනගත් ප්‍රංශ වංශාධිපතිවරුන් ද වෝටමන් පෑන් වර්ගය පාවිච්චි කළ බව කියැවේ.   


ෂර්ලොක් හෝම්ස් මැවූ ශ්‍රීමත් ආතර් කොනන්ඩොයිල් (1859 - 1930) අභිරහස් හා ගුප්ත කනාන්තර ලීවේ පාකර් පෑනකින්ය. එම පෑනේ වර්ගය PARKER DUOFOLD විය.   
ඉංග්‍රීසි මාරක කතා විශාල සංඛ්‍යාවක් ලියූ සිටීවන් කීන්ග් (STEPHEN KING) පොත් ලීවේ වෝටර්මන් (WATER MAN HEMIS PHERE) නමැති පෑනෙන්ය.   


ස්වෝන් (SWAN)   


ස්වෝන් පෑන නිෂ්පාදනය කළේ 1887 දී අමෙරිකාවේ නිව්‌යෝර්ක් නගරයේය. මෙය නිෂ්පාදනය කළ සමාගම හැඳින්වූයේ MABIE TODD යන නමිනි. ලෝකය පුරාම ජනප්‍රිය වූ ස්වෝන් පෑන උසස් ප්‍රමිතියකින් යුක්ත විය. 1950 දී මෙම පෑන් සමාගම වසා දැම්මේය. බ්‍රෙවලි කැමරන්, සේලර්, රිපෝඩ්, ආදී විවිධ නම් වලින් මිල අධික පෑන් සමාගම් රාශියක් අලුතින් බිහි වී තිබේ.   


සෙලර්   


ජපානයේ හිරෝෂිමා නගරයෙදී නිපදවූ සෙලර් නමැති පෑන වෙළෙඳ පොළට හඳුන්වා දුන්නේ 1911 දී ය. KYUCORO SAKATA කියුකොරෝ සකතා සමාගමේ නිෂ්පාදනයකි.   
ඇල්බට් අයින්ස්ටයින් (1879 - 1955) තම ජීවිත කාලය පුරාම ලීවේ පෙලිකන් (PELICAN-100N) වර්ගයේ පෑනකින්ය.   


විශ්ව සාහිත්‍ය ඉතිහාසයේ අමරණීය සාහිත්‍යවේදියකු වන, මහල්ලා සහ මුහුද කී සැනෙන් අපට මතක් වෙන අර්නස්ට් හෙමිංවේ (ERNEST HEMING) නමැති පෑනෙනි. මෙම පෑන් නිෂ්පාදන ආයතනය පිහිටා තිබුණේ ඔහුගේ නිවසට යාබදවයි.

   
විශ්ව සම්භාව්‍ය ලේඛක මාර්ක්ට්වෙන් (1835 - 1910) (MARK TWAIN) ලීවේ කොන්ක්ලින්ක්‍ ක්‍රසන්ට් පිලර් (CONKLIN CRESCENTFICCER) නමැති පෑනෙන්ය. ඔහු පසු කලෙක ක්‍රසන්ට් පිලර් පෑන් සමාගමේ ප්‍රචාරක ප්‍රකාශකයා විය. 

 
මූලාශ්‍ර, කැලණි වි.වි. දුර්ලබ පොත් අංශයේ ලැ/ සටහන්, LUXIPENS.COM   
පවුන්ටන් පෙන්බ්‍රක් හිස්ට්‍රි ඇන්ඩ් ආට් කතෘ STEINBERG JONATHAN   

 

 

 

පී.ඇම්. සේනාරත්න