කිතු උපත සමරන නත්තල


මේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරන නත්තල් සමයයි. මනුෂ්‍ය වෙස් ගත් දෙවියන්වහන්සේගේ පුත‍්‍රයා මිනිස් කාන්තාවගේ කුසින් මෙලොව එළිය දුටු දිනය නත්තල ලෙසින් සමරනු ලබයි. මින් වසර දෙදහස් ගණනකට පෙර සිදු වූ කිතු උපත පිළිබඳව ශුද්ධ බයිබලයේ සඳහන් වනුයේ මේ අයුරිනි.   


“නාසරතයේ වාසය කළ මරියා නම් යුදෙව් යුවතියක ඉදිරියේ දර්ශනය වූ ගාබ්රියෙල් නම් දේවදූතයා ඇයට මෙලෙස පැවසීය. “නමෝ මරියනි. ප්‍රිය ප‍්‍රසාද පූර්ණවන්තියනි. ස්වාමීන් වහන්සේ නුඹ කෙරෙහිය. ස්ත්‍රීන් අතුරින් ආශිර්වාද ලද්දී නුඹය. ඔබගේ ශ්‍රී කුසයෙහි ඵලය වන් ජේසුස් ආශිර්වාද ලද්දාහුමය.” යනුවෙන් ඇයට පුත්රුවනක් ලැබෙන බවත් එම දරුවා දෙවියන් වහන්සේගේ පුත‍්‍රයා බවත් පවසා සිටියේය. අවිවාහක මරියා මෙම පුවතින් විස්මයටත් කනස්සල්ලටත් පත් වූවාය. එහෙත් ඇය දෙවියන් පිළිබඳ දැඩි විශ්වාසයකින් පසු වූ යුවතියක වූ බැවින් “මම දෙවියන්ගේ දාසියක වෙමි. ඔබ පැවසූ ලෙස සියල්ල සිදුවේවා.” යනුවෙන් දේවදූතයාට පැවසුවාය. 


මරියා විවාහ ගිවිසගෙන සිටියේ ජෝසප් නම් වඩු කාර්මිකයකු සමඟිනි. තමා හා විවාහ වන්නට සිටි කාන්තාව ගැබ්ගෙන ඇති බව දැනගත් ජෝසප් ප‍්‍රසිද්ධියේ නින්දාවට පත් නොවන ලෙස රහසින් ඇය අත්හැර දැමීමට තීරණය කළේය. එහිදී ඔහු වෙත දර්ශනය වූ දේවදූතයෙක් ජෝසප් අමතා “දාවිත්ගේ පුත් ජෝසප්, ඔබ මරියා සරණ පාවා ගැනීමට බිය නොවන්න. ඇය ගැබ්ගෙන ඇත්තේ ශුද්ධාත්මයාණන්ගේ අනුහසිනි. දරුවාට ජේසුස් යන නම තබන්න. ඔහු සියලු ජනතාව පාපයෙන් මුදා ගන්නේය” යනුවෙන් පැවසීය. දේවදූතයාගේ ප‍්‍රකාශයෙන් සැක සංකා පහව ගිය ජෝසප් මරියා තම බිරිය ලෙස කැන්දාගෙන ගියේය. 


අතීතයේ ඊශ‍්‍රායෙල් දේශයේ දකුණු කොටස ජුදා දේශය ලෙසද, මධ්‍යම ප‍්‍රදේශය සමාරියාව ලෙසද, උතුරු ප‍්‍රදේශය ගලීලය ලෙසද බෙදා තිබිණි. ජුදා දේශය හැඳින්වූයේ දාවිත්ගේ දේශය නමිනි. මේ සමයේ ඔගස්ටස් සීසර් අධිරාජයා රෝම අධිරාජ්‍යයට නතු සියලු රටවල ජනයාගෙන් බදු අයකර ගැනීම සඳහා ජන සංගණනයක් ගැනීමට තීරණය කළේය. ඒ අනුව සියලු වැසියෝ තමන් උපන් ගම් පෙදෙස්වලට ගොස් ලියාපදිංචි විය යුත්තෝ වූහ. ජෝසප් ද දාවිත්ගේ වංශයට අයත් වූවකු වූ බැවින් තම ගම්බිම් බලා ගොස් ලියාපදිංචි වීමට ඔහුට සිදු විය. නාසරතයේ ජීවත් වූ ඔහු තම බිරිය වූ මරියාද කැටුව තම උපන් ප‍්‍රදේශය වූ බෙත්ලෙහෙමට ගියේය. ගැබ්බර මරියා තම දරුවා ප‍්‍රසූත කිරීමට ආසන්නව සිටියාය. 


සංගණනයට පැමිණ සිටි ජනයාගෙන් සියලු නවාතැන් පොළවල් පිරී ඉතිරී ගොස් තිබූ බැවින් ජෝසප්ට හා මරියාට නවාතැන් ගැනීමට ස්ථානයක් නොතිබිණි. අවසානයේ ගවමඩුවක රැය පහන් කරන්නට ඔවුනට සිදු විය. එදින රැයේ එම ගවහලේදී මරියතුමිය තම දරුවා බිහිකළාය. සුව යහන් නොමැති වූ හෙයින් දරුවා ගව ඔරුවක සතපවනු ලැබීය. 


අප නත්තල ලෙස සමරන්නේ එදා බෙත්ලෙහෙමේ ගව මඩුවක උපත ලද කිතු සමිඳාණන්ගේ උපන් දිනයයි. මිනිසා පාපයෙන් ගලවා ගැනීම සඳහා මෙලොවට වැඩිය දේව පුත‍්‍රයාගේ උපතයි. කිතු උපත සිදු වූ දිනය දෙසැම්බර් 25 වැනිදා වශයෙන් වර්තමානයේ පිළිගැනුණද කිතු උපත සිදු වූ සැබෑ දිනය හෝ වර්ෂය හෝ පිළිබඳව නිවැරැදි වාර්තා නොමැත. 


නව ගිවිසුමේ කිතු උපත පිළිබඳව සඳහන් වන්නේ ශුද්ධ වූ මැතිව්ගේ සහ ශූද්ධ වූ ලූක්ගේ සුබාරංචියේය. එම සුබාරංචි දෙකෙහිම උපත සිදු වූ නිශ්චිත දිනයක් සඳහන් නොවුවද එය රෝමානු අධිරාජයකු වූ මහා හෙරෝද් රජු සමයේ සිදු වූ බව සඳහන්ය. හෙරෝද් රජුගේ මරණය සිදු වූයේ ක්‍රි.පූ. 4 දී බවට වාර්තා වන හෙයින් කිතු උපත එම කාලයේ සිදුවන්නට ඇති බවට අනුමාන කෙරේ. 


ජේසුස් වහන්සේගේ උපත සිදුවීමත් සමඟ අහසේ වල්ග තාරකාවක් දිස් විය. එය දුටු පෙරදිග ශාස්ත‍්‍රවන්තයින් තිදෙනෙක් (රජතුන්කට්ටුව ලෙසද මොවුහු හැඳින්වෙති) කිසියම් උත්තමයකුගේ උපත සිදුවී ඇති බවටත්, එම උත්තමයා සොයාගොස් එතුමන්ට වන්දනාමාන කළ යුතු බවටත් තීරණය කොට තාරකාවේ මඟ පෙන්වීම ඔස්සේ ජේසු බිලිඳුන් සිටි ගවලෙන සොයා පැමිණියහ. ජෙරුසලමට පැමිණි ඔවුහු, ‘යුදෙවුවරුන්ගේ රජව උපන් උතුමාණන් කොතැන සිටින්නේදැ’යි ජෙරුසලමේ වැසියන්ගෙන් විමසූහ. 


අලුත උපන් රජකු පිළිබඳ පුවත එසමයෙහි ජුදයාවේ රජ කළ මහා හොරොද් රජුගේ කන වැකිණි. තමා හැර වෙනත් රජකු නොසිටිය යුතුයැයි සිතූ හෙරොද් රජ ශාස්ත‍්‍රවන්තයන් කැඳවා “බිලිිඳා සිටින්නේ කොහිදැයි කියා සොයාගෙන ඒ බව මටද පවසන්න. මාද එතුමන්ට වන්දනා කිරීමට කැමැත්තෙමි”යි තම යටි අරමුණ සඟවාගෙන ඔවුනට පැවසීය. 


 ශාස්ත‍්‍රවන්තයෝ තාරකාවේ මඟ පෙන්වීම යටතේ දරුවා සිටින ඉසව්ව වෙත ළඟා වූහ. ගවහල ඉහළින් තාරකාව නැවතිණි. ඔවුහු ජේසුතුමන්ට නමස්කාර කොට රන්, තුවරලා (කට්ටකුමන්ජල්) හා සුවඳලාටු පූජා කළහ. හෙරොද් රජුගේ අරමුණ වූයේ ජේසු බිලිිඳා සිටින ස්ථානය ශාස්ත‍්‍රවන්තයන්ගෙන් දැනගෙන එතුමා ඝාතනය කිරීමටය. එහෙත් ශාස්ත‍්‍රවන්තයන්ට සිහිනෙන් දර්ශනය වූ දේවදූතයෙක් රජු මුණ නොගැසී වෙනත් මඟකින් ආපසු යන ලෙසට ඔවුනට දැන්වීය. 


ශාස්ත‍්‍රවන්තයන්ගෙන් බිලිඳා පිළිබඳ ආරංචියක් නොලද හෙරෝද් රජු බිලිඳා මරා දැමීම සඳහා දෑ අවුරුද්දකට වඩා බාල සියලු පිරිමි දරුවන් මරා දමන ලෙසට අණ කළේය. එහිදී දේවදූතයෙක් ජෝසප් හට දර්ශනය වී දරුවා හා බිරිය රැගෙන වහා මිසරයට පළා යන ලෙසට පැවසීය. ඔවුහු හෙරෝද්ගෙන් ගැලවී පළා ගියහ. හෙරෝද් රජුගේ සෙබළු එනුවර සිටි සියලු කුඩා පිරිමි දරුවන් මරා දැමූහ. ජෝසප්, මරියා හා කුඩා ජේසුතුමන් යළි ගලීලයේ නාසරෙත් නුවර පදිංචියට පැමිණියේ හෙරෝද් රජුගේ මරණින් පසුය. 


හෙරෝද් රජුගේ මරණය සිදු වූ බවට වාර්තා වන්නේ ක්‍රි.පූ. 4 දීය. පුරාණ ඉතිහාසඥ ජොසිෆස්ට අනුව හෙරෝද් රජුගේ මරණය සිදු වූයේ චන්ද්‍රග‍්‍රහණයකට පසුවය. එම චන්ද්‍රග‍්‍රහණය සිදුවී ඇත්තේ ක්‍රි.පූ. 4 මාර්තු 13 වැනිදාවක යැයි පැවසේ. කිතු උපත සිදු වූ බවට ශූභාරංචියේ සඳහන් වනුයේ හෙරොද් රජු සමයේ බැවින් කිතු උපත ක්‍රි.ව. 0දී නොව ක්‍රි. පූ. 6ත් 4ත් අතර කාලයේ සිදුවන්නට ඇතැයි විද්වතුන්ගේ මතය වී තිබේ. ශුද්ධ වූ ලූක්ගේ සුබාරංචිය අනුව කිතු උපත සිදු වූ දිනයේ එඬේරුන් තම බැටළුවන් සමඟ තණපිටිවල සිටි බැව් පැවසේ. දේවදූතයා ජේසු බිලිඳුන්ගේ උපත ප‍්‍රථමයෙන් දන්වනු ලැබුවේ ඔවුන්ටය. ඒ අනුව කිතු උපත සීත ඍතුවේ සිදුවූවක් විය නොහැකි බැව් විද්වතුන්ගේ මතයයි. බොහෝ විට එය ග්‍රීෂ්ම ඍතුවේ හෝ සැප්තැම්බරයේ නැතිනම් ඔක්තෝබරයේ හෝ සිදුවන්නට ඇතැයි ඇතැම් ඉතිහාසඥයෝ විශ්වාස කරති. 


ක්‍රි.ව. 336 දී රෝමය පාදක කරගත් කතෝලික පල්ලිය දෙසැම්බර් 25 වැනි දිනය නත්තල් දිනය ලෙසින් නම් කරන ලදී. ‘ක්‍රිස්තු තුමන්ගේ පූජාව’ යන අරුත ඇති Christ's Mass යනුවෙන් ඔවුහු එය හැඳින්වූහ. ක්‍රිස්ට්මස් යන යෙදුම ඉන් බිඳී ආවකි. පුරාණයේ රෝමවරු ‘ඩයිස් නටාලිස් සෝලිස් ඉන්වික්ටි’ නමින් උත්සවයක් දෙසැම්බර් 25 වැනි දින පවත්වා තිබේ. මෙහි අරුත ‘අපරාජිත හිරු දෙවියාගේ උපන් දිනය’ යන්නයි. දෙසැම්බර් 25 දින සූර්යයා අපරාජිතයකු වන බවට ඔවුන් තුළ විශ්වාසයක් පැවතියේය. ඇතැම් විට මෙම අපරාජිත දිනය කිතු උපත සිදුවූ දිනය ලෙසින් සලකන්නට කතෝලික පල්ලිය පියවර ගන්නට ඇතැයි ඇතැම් ඉතිහාසඥයෝ පවසති. එහෙත් එම දිනය යොදාගැනීම සම්බන්ධයෙන් නිශ්චිත සාධකයක් නොමැත. 


නැගෙනහිර පල්ලිය නත්තල් දිනය වශයෙන් තෝරා ගත්තේ ජනවාරි 6 වැනිදා ය. එපිපර්නි නොහොත් ප‍්‍රාදූර්භාවය ලෙස ඔවුහු එය නම් කළහ. ඒ අනුව දෙසැම්බර් 25 වැනි දා සිට ජනවාරි 6 වැනිදා දක්වා දින 12ක කාලය කිතු උපත සිහිපත් කරමින් ලොව පුරා කිතුනුවෝ නත්තල් උත්සවය සමරති.

 

 

 

 

 

 

 

 

 

 

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා