කැලිකට් මුහුදු තීරයේ බෞද්ධ විහාරය


කැලිකට් මුහුදු වෙරළ

 

​කෝෂිකොඩ් නොහොත් කැලිකට් දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පිහිටි මුහුදුබඩ නගරයක්. එය කුළු බඩු හා කපු වෙළෙඳ මධ්‍යස්ථානයක් ලෙස ප්‍රකටව පැවතිණි. 1498 දී පෘතුගීසි දේශ ගවේශක වස්කෝ ද ගාමා, කැලිකට් වෙරළට ගොඩබට බව ඉතිහාසයේ සඳහන්ය. කැලිකට් යනු කෝෂිකකොඩ් නගරය කලින් හැඳින්වූ නාමයයි. වසර 500කට පමණ පෙර කැලිකට් මලබාර් රාජ්‍යයේ අගනගරය විය. ඒ ඉංග්‍රීසීන්ට නතු වීමට පෙරය.   


කැලිකට් නම් ප්‍රකට මුහුදු නගරයේ පමණක් නොව කේරළ ප්‍රාන්තයේ ද බෞද්ධ වෙහෙර විහාර සුලබව දැකගැනීම අපහසුය. එහෙත් කැලිකට් මුහුදු තීරයට යාබදව පිහිටා ඇති ඉපැරැණි බෞද්ධ සිද්ධස්ථානයකි. ඒ භික්ෂු ධර්මස්කන්ධගේ බුද්ධ විහාරයයි.   


කේරළයේ කැලිකට් නගරයේ කස්ටම් පාර ද අපට සිහිපත් කරනුයේ ශ්‍රී ලංකාවේ මුහුදුබඩ නගරයක පාරක ස්වරූපයයි. භූමි දර්ශන එතරම්ම සමානය. පාර දෙපස ඇත්තේ කුඩා කඩ පේළි හා කුඩා ගෙවල්ය. ඒවායේ නිරතුරුවම සෙනඟ පොකුරු රැඳී සිටිති. මුහුදු වෙරළ අසලම පිහිටා ඇති භූමියක් නිසා සූර්ය රශ්මිය ඇද හැළෙන දිනයකදී උණුසුම ද අධිකය. 

 
බුද්ධ විහාරය පිහිටා ඇත්තේ කස්ටම් පාරේය.   


කස්ටම් පාරට පැමිණිය ද බුද්ධ විහාරය සොයා ගැනීම තරමක් අපහසුය. ඒ සඳහා අවට කිහිප දෙනකුගේම සහාය අවශ්‍ය වෙයි. කැලිකට් හි බොහෝ අයට ඉංග්‍රීසි භාෂාව තේරෙන නිසා තොරතුරු දැන ගැනීමට අපහසුවක් නැත.   


බුද්ධ විහාරය අසලට පැමිණිය ද එහි පිටත බෞද්ධ විහාරයක ස්වරූපය දක්නට නැත. සාමාන්‍ය ගෘහයක් මෙනි. තාප්පයක කුඩා අකුරින් ඉංග්‍රීසියෙන් හා මලයාලම් භාෂාවෙන් බුද්ධ විහාරය යනුවෙන් ලියා තිබේ. ගෙවත්ත ද පාළුය. ගෙඋයනට ඇතුළු වූ විට අපට හමුවනුයේ භික්ෂු ධර්මස්කන්ධගේ දියණියයි. ඇයට හොඳින් ඉංග්‍රීසි භාෂාව හසුරවන්නට හැකිය.   


“මගේ තාත්තා හිටියේ ලංකාවේ. ඒ 1920 ගණන්වල. ඔහු මහනුවර හිටි කාලයේ දළදා මාලිගාවට බොහෝ සේ ඇළුම් කළා. එහි බෞද්ධ පරිසරයට ඔහුගේ සිත බැඳුණා. එහි බෞද්ධ සංඝයා වහන්සේ දැකීමෙන් ඇති වූ ප්‍රසන්නභාවය නිසාම තාත්තා භික්ෂු ධර්මස්කන්ධ නමින් පැවිදි වුණා. ඒ වගේම තාත්තාට බෞද්ධ දර්ශනය ගැනත් මනා වැටහීමක් තිබුණා.   

විහාරස්ථානයේ ඇති බෝධීන්වහන්සේ

බුද්ධ විහාරය පිටතට පෙනෙන අයුරු

පැරැණි බෞද්ධ ග්‍රන්ථ

 


යළි කේරළයට පැමිණි පසු ඔහු පැවිදි ජීවිතයෙන් ඉවත් වුවත් ගෙදර බෞද්ධ පරිසරයක්, වත් පිළවෙත් රැකීමත් දිගටම කරගෙන ගියා. අද තාත්තා නැති වුණත් දරුවෝ හැටියට අපි තාත්තාගේ බෞද්ධ ප්‍රතිපත්ති වගේම බෞද්ධ වත් පිළිවෙත් දිගමට රැකගෙන යනවා.   


තාත්තා පරිහරණය කළ බෞද්ධ පොත් පත් රාශියක් තවමත් සුරක්ෂිතව අප තබාගෙන සිටිනවා. ඒවා ඉතා පැරැණි පොත්.” ඒ ඇගේ කතා බහයි.   


බුද්ධ විහාරයේ ගෙඋයන තරමක් විශාලය. නිවස දෙකට බෙදා තිබේ. එක් පැත්තක පවුලේ පිරිස පදිංචිව සිටිති. අනෙක් කොටස බෞද්ධ විහාරය ලෙසට පවත්වාගෙන යයි.   
බෞද්ධ විහාර කොටසට ඇතුළත් වූ පසු අපේ නෙත දිව යන්නේ පොත් අල්මාරිය දෙසටයි. එය ඉදිරිපස ටීපෝවක් තබා ඇත. එහි මල් බඳුනකි. ඒ සමගම ඒ මත ධර්ම පුස්තකයකි. කදිමට සකස් කර ඇත.   


මෙම බුද්ධ විහාරය වන්දනා කිරීමට බැතිමතුන්, සංචාරකයන් නිරතුරුවම නොපැමිණියත් එය ඉතා ප්‍රසන්න ආකාරයෙන් තබාගෙන සිටීමෙන් ඔවුන් බෞද්ධ ධර්මය කෙරෙහි කෙතරම් භක්තියක් දක්වන්නේ දැයි සිතාගත හැකිය. එම දියණියට සිංහල භාෂාව කතා කිරීමට අපහසු වුවත් බොහෝ කාලයකට පෙර ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියේ ප්‍රචාරය වූ ඇතැම් සිංහල වෙළෙඳ දැන්වීම් හොඳින් උච්චාරණය කරයි.   


ඉදිරියට ඇවිදගෙන යත්ම බුදු පිළිමයකි. එහි ගිලන්පස පූජාව ඇතුළු දිනකදී බෞද්ධ විහාරයක සිදු කරන වත් පිළිවෙත් තවමත් අඩු නැතිව කෙරෙන ලකුණු පෙනී යයි.   


ප්‍රධාන බුදු පිළිමය හැරුණු කොට තවත් කුඩා බුදු පිළිම කිහිපයක්ම අවට දැකිය හැකිය. ඒ සෑම ප්‍රතිමාවකම සිරි පතුල් පාමුල මල් ගවසා ඇත. ඇයගේ පියා භික්ෂු ධර්මස්කන්ධ නමින් පැවිදිවීමේදී ගත් ඡායාරූපයක් ද බිත්තියේ දැකිය හැකි අතර පැවිදි ජීවිතයෙන් ඉවත් වූ පසුව ගත් ඡායාරූපයක් ද ඒ සමග දක්නට ඇත.   


සාමාන්‍යයෙන් කේරළයේ බොහෝ විට දැකිය හැක්කේ හින්දු පූජනීය ස්ථානය. ඒ අතුරින් කුඩා වුවත් මෙවන් බෞද්ධ විහාරයක් දැකීමත් සුවිශේෂී වූවකි. භික්ෂු ධර්මස්කන්ධගේ දියණියක වන කරුණා පීටර්සන් මහත්මියගේ තවත් සටහනක දැක්වෙන්නේ 1935 අගෝස්තු 23 වැනිදා තම පියා තවත් භික්ෂුන්වහන්සේලා දෙනමක් සමග කේරළයට සපැමිණි බවයි. එමෙන්ම පිරිමි දරුවන් දෙදෙනකු හා ගැහැනු දරුවන් 6 දෙනකුගෙන් යුත් පවුලේ එක් සහෝදරයකු හා වැඩිමහල් සහෝදරියක වසර ගණනාවකට පෙර මිය ගිය බව ද ඇය පවසයි. තම පියා 1975 දී මිය ගිය බවත් ඇගේ සටහනේ දැක්වෙයි.   


තම පියා භික්ෂුන්වහන්සේලා දෙනමක් සමග පැමිණීමේදී ශ්‍රී ලංකාවෙන් බෝධි අංකුරයක් ගෙනා බවත් එය තම නිවසේ රෝපණය කළ බවත් ඇගේ මේ සටහනේ දැක්වෙයි. මෙය රෝපණය කළේ එකල ප්‍රකට ප්‍රතිසංස්කරණවාදියකු හා පුවත්පත් කලාවේදියකු ද අධිනීතිඥයකු ද වන සී. ක්‍රීෂ්ණන් වකීන් බවත් ඇයගේ සටහනේ දැක්වෙයි.   
සී. ක්‍රිෂ්ණන් වකීන් භික්ෂු ධර්මස්කන්ධගේ මිතුරකු බව ද සඳහන්ය.   


තරුණ පීටර්සන්ගේ ප්‍රකාශය අනුව සිය පවුලේ හැම කෙනකුම ඉපදී හැදී වැඩී ඇත්තේ මේ නිවසේය. ඒ නිසා මෙම දේපළ තම පවුලේ සැමටම අයත් බව ද ඇය පවසයි.   
එමෙන්ම තම පියා මිය යනතුරුම ජීවත් වූයේ මේ නිවසේ බව ද ඇගේ තොරතුරුවල සඳහන්ය.   


“මා ළඟ මගේ පියා ක්‍රිෂ්ණන් සහ තවත් භික්ෂුන්වහන්සේලා දෙනමක් සමග සිටින ඡායාරූප තියෙනවා.” ඇය කියයි.  


තවත් තොරතුරක සඳහන් වෙන්නේ මෙම නිවස 1952 දී භික්ෂු ධර්මස්කන්ධ ක්‍රිෂ්ණන්ගෙන් මිලට ගත් බවයි. කෙසේ වුව ද එකල කේරළ වැසියන් ශ්‍රී ලංකාව සමග ගොඩනගා ගත් සබඳතා හරහා බෞද්ධ භික්ෂුන්වහන්සේලා කේරළයට වැඩම කොට පවත්වාගෙන ගිය ආගමික කටයුතු පිළිබඳව ද තොරතුරු දැකගත හැකිය. ක්‍රිෂ්ණන් බෞද්ධ භික්ෂුන්වහන්සේලාට මෙම නිවසේ නවාතැන් දුන් බව ද සඳහන්ය.   


ශ්‍රී ලංකාවෙන් වැඩම කර රෝපණය කළා යැයි පැවැසෙන බෝධි වෘක්ෂය දැනුදු බුද්ධ විහාරයේ ගෙඋයනේ දැකගත හැකිය. එය ශ්‍රී ලංකාවත් කේරළයත් අතර තිබූ බෞද්ධ සංස්කෘතික සබඳතාවල සංකේතයක් මෙන් අද ද විරාජමානව දැකගත හැකිය. 


කැලිකට් බුද්ධ විහාරයේ පැරැණි තොරතුරු හරහා එකල කේරළයේ සමාජ හා දේශපාලන තත්ත්වය පිළිබඳව ද යම් හෝඩුවාවක් ලබාගත හැකි වීම ද විශේෂත්වයකි.

 

සටහන හා ඡායාරූප
රොඩ්නි විදානපතිරණ